Daily Archives: සැප්තැම්බර් 29, 2012

මා සමඟ මෙතෙක් කළක් රැඳී සිටියාට ස්තුතියි…………….!


ස්තූතියි ඔබ සැමට

ජුලි මාසෙ පැවැත්වුන බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොග් අඩවියත් ඇතුළත් කළේ දහසකුත් එකක් වැඩ රාජකාරි අතරෙයි… ඔබ සැම සියළුම දෙනා දන්නා පරිදි මට අළුතෙන් ජර්මනියෙ රැකියාව ලැබුණෙත් ඒ නිසාම ලංකාවට එන්න තිබුණෙත් මේ බ්ලොග් සම්මාන උළෙලට ලිපි ලියලා පළ කළ යුතු කාලෙමයි.. තරඟ නීති රීති වලට අනුකූලව ලිපි දින පතා පළ කළ යුතු නිසාම, ඒ වැඩ මොනවා තිබුණත් සුපුරුදු රටාවටම ලිපි ලියා පළ කරන්න සිදු වුනා… සමහර විට ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන තමයි මේ ලිපි ලියැවුනේ…. බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොගය ඉදිරිපත් කළා කියලා අමුතුවෙන් නිර්මාණාත්මක ලිපි ලියන්නවත්, මගේ පාඨකයන්ගෙන් ඒවා බෙදා ගන්නවත් කියලා අමුතුවෙන් ඉල්ලන්න නොගියෙ මම ඉල්ලුවත් නැතත් හොඳ ලිපියක් තිබුණා නම් ඔබ ඒක බෙදා ගන්න බව දැනගෙන….

ඉතින් මගේ බ්ලොග් අඩවියත් කැටගරි දෙකකටම තේරිලා තිබුණ බව දන්නෙත් අද උදේ…

විනිසුරු මඬුල්ල දිහා බැලුවාම මගේ බ්ලොග් අඩවිය තේරිලා තිබීමම ගෞරවයක්… නියෝජනය වෙලා තිබුණ බ්ලොග් අඩවි දිහා බැලුවාම මට සමහර විට තැනක් නොඑයි කියලත් හිත්නෙ පසුගිය මාස දෙකේ වැඩිපුර ලිපි ලියන්නත් බැරි  වුන නිසා… මොකද ලංකාවෙ නිවාඩුවකට ඇවිත් නෙ හිටියෙ… නිවාඩුවට ආවම කවුද බ්ලොග් ලියන්නෙ ?

ඉතින් අද බ්ලොග් සම්මාන උළෙලට සවන් දුන්නෙත් අහම්බෙන්… ඒ උදේ බස් රේඩියෝව අහද්දියි දැනගත්තෙ අද සම්මාන දෙනවා කියලා…

ඉතින් මගේ බ්ලොග් අඩවිය හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවිය ලෙස තේරී පත් වුනා… ඒ ගැන ඇත්තටම සතුටුයි… සම්මාන උළෙලකට ඉදිරිපත් කළ දෙවන අවස්ථාව මේ… ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්ත කාළෙම රාජකීය විද්‍යාලය මඟින් පවත්වපු සම්මාන උළෙලට එය ඉදිරිපත් කළත් ටිකක් පරක්කු වෙලා තමයි ඉදිරිපත් කළේ… ඒ වගේම ඒ කාළෙ බ්ලොගය වැඩිපුර ජනප්‍රිය හෝ පරිණත වෙලා තිබුණෙත් නැහැ.. ඒ නිසාම ඉඩක් ලැබුණෙ නැහැ…. ඉතින් මේ ජය ගැන නිහතමානීව ආඩම්බරයි…  සන්තෝසයි…

ඒත් එක්කම මේ සම්මාන උළෙල පවත්වපු බස් රේඩියෝ කාර්ය මණ්ඩලයට සුවිශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි මේ වගේ දෙයක් සංවිධානය කළාට.  බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු ඇහුම්කන් දෙන, ඉහළ රසඥතාවයක් සහිත සහ හොඳ ගීත ප්‍රචාරය කෙරෙන.. බස් රේඩියෝවෙ කටයුතු ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන් මෙය සංවිධානය කිරීමේදී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න ඇති… ඒ සියල්ල මැඩගෙන ඔවුන් කළ මේ දේ අගය කළ යුතුයි.

ඒ වගේම මේ සම්මාන සඳහා තමන්ගෙ බ්ලොග් ඉදිරිපත් කළ සියළුම දෙනා සුවිශේෂයි… බ්ලොගයක් පවත්වාගෙන යනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නොවෙයි… ඒ සියළුම දෙනා අගය කළ යුත්තෙ තමන්ගේ දැනුම සිතුවිලි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න තමන් තුළ ඇති පරාර්ථකාමී හැඟීම සහ ඊට කාළය යෙදවීම ගැන…

අවසානයේ මම ස්තුතිවන්ත වෙන්නෙ මගේ පාඨකයන්ට.. ඔබ නිසයි මම මේ බ්ලොගය ලියන්නෙ.. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අගෙයි මට… ඒ වගේමයි විවේචන…. මගේ වැරදි හදා ගන්න පුළුවනි. මගේ ලිපි ලිවීමේදී ඔබේ ප්‍රතිචාර වලටත් ලොකු සැලකිල්ලක් ලැබෙනවා. සමහරු දේශපාලන ලිපි වලට කැමතියි…(ඇල්කෙමිච්චි නම් කැමතිම නෑ) සමහරු අධ්‍යාපනික ලිපි වලට කැමතියි… මම කතන්දර නම් ලියන්නෙ නෑ… මොකද ඒවා ලියන්න ඕනතරම් කට්ටිය ඉන්න නිසා.. ඉදින් මම දන්න දෙයක් බෙදා හදාගෙන මම කැමති දේවල් අගයමින් ඒ වගේම මම අකමැති දේවල් විවේචනය කරමින් මම බොහොම හෙමින් ගමනක් යනවා. ඒ සියල්ල කියවාගෙන මට දිරි දෙන ඔබට බොහොම තුති…

ඉතින් පෙර වගේම ඉදිරියේදිත් මම ඔබට සේවය කරන්නම්… මේ සම්මානය මට ගෞරවයක්, දිරියක්… සමහර විට මේ නිසා මට තව තවත් ලිපි ලියන්න කැමැත්ත ඇති වේවි..

ඉතින්… තවත් ලිපියකින් හමු වෙමු… ඔබ සියල්ලටම බොහොම ස්තුතියි.

%d bloggers like this: