2012 ඔක්තෝබර් 01 : ළමුන් සහ වැඩිහිටියන් එකම දිනක සමරමු…..


අද ඔක්තෝබර් 01 වන දිනය… ලෝක ළමා සහ වැඩිහිටි දිනය…. ළමුන්ටත් වැඩිහිටියන්ටත් වෙන වෙනම දින වෙන් කරන්න ඕන නැති නිසා එකම දිනයක දෙකම සැමරීමත් එක්තරා අන්දමකට බොහෝ දේ ඉතිරි කර ගැනීමක්…

ඒත්…. ළමුන්ට සමරන්න දිනයක් ඉතිරි වෙලා තියෙනවද ? වෙන රටවල කෙසේ වුවත් අපේ ළමුන්ගෙන් නම් ළමා කාළය වැඩිහිටියන් විසින් සොරකම් කරලා ඉවරයි. වැඩිහිටියන්ගේ උවමනා එපාකම්, මහන්තත්තකම්, බලාපොරොත්තු වෙනුවෙන් අනුන්ගෙ ළමයිනුත් තමන්ගේ ළමයිනුත් බිළි දෙන කාළයක් මේ. ඉතින් අද රට වටා උත්සව තියෙයි ළමුන් වෙනුවෙන්. ජනාධිපති තුමා විශේෂ කතාවක් කරයි.. උත්සවයකුත් සංවිධානය කරයි… අද පමණක් ළමුන්ට මුල් තැන දීලා වැඩ කරාවි…. ඒත් මේ සියල්ල මෙහෙම වුනත් ළමුන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්න ළමුන්ට කිසි කෙනෙක් නැහැ.

ඉස්සර අපි…..

මේ කතා කරන්නේ හෝඩියෙ ඉඳලා හතර වසරට වෙනකල්….

උදේට නැගිටලා නැවුම් කිරි කෝප්පයක් බීලා පාසැල් යනවා… නැවුම් කිරි නැතිනම් කිරිපිටි හරකාගෙන් හරි කෝප්පයක් බීලා පාසැලට යනවා. උදේ පාසල පටන් ගන්නකල් මොනවා හරි සෙල්ලම් කරනවා.. පාසැල පටන් අරගෙන පාසැලේ වැඩ කරලා, සරඹ කාලපරිඡෙදය එනකල් බලාගෙන ඉන්නවා.. නැතිනම් විවේකය එනකල්… සෙල්ලම් කරන්න.. ඒ දවස නිම වෙලා ගෙදර එන අපි පාසැලේ දෙන ගෙදර වැඩ කරලා අහළ පහළ ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා. හවස ගෙදරින් ගියාම ගෙදර එන්නේ ඇඳිරි වැටිලා… වටේ පිටේ වැඩිහිටියො හැම දෙනාම ඇහැ ගහගෙන හිටිය නිසා වැරැද්දක් කරන්නත් ලැබුණෙ නැහැ… වැරැද්දක් කරපු ගමන් එක්කො ගුටි කනවා නැතිනම් ගෙදරට පණිවුඩේ එනවා.. ඒ අත්දැකීම් වලින් අපි සතා සීපාවට-පරිසරයට ආදරය කරන්න ඉගෙන ගත්තා විතරක් නෙවෙයි ඒ සමඟ සහජීවනයෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා.. කන්න අවශ්‍ය ගෙඩියක් කඩාගෙන කනවා මිසක් නාස්ති කිරීම නොකිරීම… මාළුවෙක් ඇල්ලුවත් ආයෙම වතුරට දැමීම වගේ දේවල් ඉගෙන ගත්තෙ කවුරුවත් කියලාම නොවෙයි.. ඒ නිසාම අපට පරිසරය ගැන පුළුල් දැනුමක් වගේම අත්දැකීමුත් ලැබුවා…

ඔහොමයි අපේ කාළෙ අපි ළමා කාළය ගෙවුවෙ… ඇත්ත… දැන් ළමයින්ට එහෙම බෑ.. තියෙන තරඟය එක්ක උදේ නැගිට්ට වෙලේ ඉඳලා වැඩ කරන්න ඕන.. ශිෂ්‍යත්‍වයට ලෑස්ති වෙන්නෙ දෙක වසරෙ ඉඳලා. එලකියුෂන් නොගියොත් ඉංග්‍රීසි බැරි වෙනවා. කරාටෙ නොගියොත් කවුරු හරි ගැහැවුවත් ආරක්‍ෂා වෙන්න බැරි වෙනවා. ස්විමින් නොගියොත් වතුරේ ගිළිලා මැරෙනවා… සංගීතෙ නොකළොත් වස ලැජ්ජාව.. සිංදුවක් වත් කියාගන්න බැරි ළමයෙක් හැදුවා කියයි… මේ වගේ දහසක් දේ මැද්දෙ දෙමාපියන්ගෙ බලාපොරොත්තු අතරේ ළමයින්ගේ ළමා කාළය හොරා අරගෙන.. ඒ කොළඹ රටේ කතාව. ඈත පිටිසර ළමුන්ට තියෙන්නෙ වෙන ප්‍රශ්න.. අම්මා රට… තාත්තා ළමයි බලාගෙන ගෙදර ඉන්නවා.. නැතිනම් වෙනත් ගෑණීයෙක් එක්ක ජීවත් වෙනවා… නැතිනම් රෑට කටගොන්නක් බීගෙන ගෙදර එනවා… ඇවිත් කන්න ඉල්ලනවා.. ඒ මිනිහගෙන් බේරෙන්න කැලේ හැංගෙන්න ඕන… ඒ වගේ ප්‍රශ්න..  එහෙම නැතත්, දෙමාපියො දෙදෙනාම ගෙදර හිටියත් නොයෙකුත් ප්‍රශ්න.. සමහර විට අම්මා තාත්තා වැඩ කරලා ගෙදන එනකල් තමන්ගේ නංගිලා මල්ලිලා බලා ගන්න ඕන…. කෑම හදලා තියෙන්න ඕන… ගෙවල් බලාගෙන ඉන්න ඕන… මේ වගේ දේවල්… ඔවුන්ට වැඩිය හීන නෑ… හෙට ජීවත් වෙන්න අද රෑට කාලා නිදා ගන්නෙ කොහොමද කියන දේ වෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නය….. ඒ අතරේ සිදු වන අතවර ගැන කතා නොකර ඉඳිමු….

ඉතින් මේ අපේ දරු පරපුරේ අන්ත දෙකක්…. මේ අන්ත දෙක ඇතුළේ විවිධාකාර පරිසර වල විවිධාකාර ළමුන් ජීවත් වෙනවා… ඒ හැමෝම ගැන අපි හැමෝටම බලන්න බෑ… ඒත් අපට පුළුවන් ඔවුන්ට උදවු කරන්න… තමන්ගෙ දරුවො ඒ පැත්තට යොමු කරන්න… මීට පස්සෙ ඔබේ පුතාගෙ දුවගෙ උපන් දිනේ වෙනුවෙන් සාදයක් පවත්වනවා වෙනුවට ළමා නිවාසයකට දානයක් දුන්න නම්, ඔබේ දරුවාට පෙනෙයි තමන්ට වඩා වෙනස් දරුවන් කොටසක් ජීවත් වෙනවා කියලා.. ඔවුන් තේරුම් ගනීවි තමන් සමහර විට කරන ඉල්ලීම් කොච්චර අසාධාරණද කියලා… ඔවුන් ඉගෙන ගනීවි බදාගෙන ජීවත් වෙනවට වඩා බෙදාගෙන ජීවත් වීම කොයි තරම් අගනේද කියලා…

ඉතින්… ළමුන් වගේම වැඩිහිටියන්ටත් එකසේම සළකන්න… වැඩිහිටියන් බවට පත් වුනාම කොයි කෙනත් ළමුන් බවට ඉබේම පත් වෙනවා… තමන්ගෙ දෙමාපියො ගැන තරහ ගන්න එපා… ඔවුන් පිළිකුල් කරන්න එපා.. රෝගී වුනාම බෙහෙත් අරන් දෙන්න සේවකයො යවන්නෙ නැතිව තමන් ම ගිහින් බෙහෙත් අරන් දෙන්න… එතකොටයි ඔවුනට සතුටු… තමන්ගෙ ලේවලින් හදපු දරුවා ඒ බීපු කිරි වලට, හළපු දහඩිය වලට ණය නැති බව ඔවුන් පසක් කර ගනීවි… දුර ඈතක ඉන්නවා නම් තමන්ගෙ අම්මට තාත්තට සතියකට එක වතාවක් හෝ දුරකථනයෙන් කතා කරලා විස්තර අහන්න… ඔබේ කටහඬ ඇසීමත් ඔවුනට සුවයක් ගෙන දේවි….. පුළුවන් හැම වෙලාවෙම දෙමාපියො බලන්න යන්න.. ඔවුන් වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ.. ඉන්න කාලෙ සතුටින් තියන්න.. ඔවුන් බලන්න යන සති අන්තය හෝ පැය කිහිපය අපතේ යන්නෙ නැහැ… ඔවුන් ඔබ වෙනුවෙන් ජීවිත කාළයම කැප කළ එකේ ඔබට ඔවුන් වෙනුවෙන් සති අන්තයක් කැප කරන්න බැරි නම් ඔබේ දරු කම වැඩක් නැහැ….. ඔබට ඔවුන්ගේ වටිනාකම දැනෙන්නෙ ඔවුන් නැති වුනාම… නමුත් ඔබ ඒ වනවිට පරක්කු වැඩි වෙන්න පුළුවන්… ඒ නිසා… නිතරම තමන්ගෙ දෙමාපියන්.. නෑදෑයන් වැඩිහිටියන් කෙරෙහි අවධානය යොමු කරන්න… ඔවුන්ගේ ඕනෑ එපාකම් හොයලා බලන්න.. ඒ වෙලාව වත්, සල්ලිවත් අපතෙ යන්නෙ නැහැ… එබට කවදා හරි සැනසෙන්නට පුළුවන්.. මට කළ හැකි උපරිම යුතුකම් කොටස මම කළා කියලා..

පිට රටවල ඉන්න අපට ඒ වාසනාව නැහැ… ලංකාවට පැමිණෙන හැම වාරයකම හැකි සෑම වෙලාවම ඔවුන් සමඟ ගත කරන්න අපි යොදා ගන්නෙ ඒකයි… ඔවුන් දමා අපි නැවත එනවිට අපිට දරා ගන්න බැරි ඒකයි… ලංකාවෙ ඉන්න ඔබට එහෙම නැහැ… ඔබට වෙලාව හදා ගන්න පුළුවනි… දරුවන්ට පෙන්වන්න ඔබ ඔබේ දෙමාපියන්ට සළකන ආකාරය.. කවදා හරි ඔවුන් ඒ දෙස බලාගෙන සිට ඔබටත් ඒ ආකාරයෙන්ම සළකාවි… ඔවුන්ට නරක ආදර්ශයක් දුන්නොත් එහි පළ විපාක විඳින්න ලැබෙන්නෙත් ඔබටමයි…

ළමුන් මල් පොහොට්ටු වගේ… ඔවුන් ආරක්‍ෂා කරන්න… පිපෙන්න ඉඩ හරින්න…

වැඩිහිටියන් පිපුණු මල් වගේ…. ඔවුන් අනාගතයට ප්‍රාර්ථනා එකතු කරලා පරවෙලා යනවා… පරවී යන්න ඉස්සර ඔබේ යුතුකම් ඉටු කරන්න….

ඔක්තෝබර් පළවෙනිදා මට කියන්න තියෙන්නෙ එච්චරයි….. හිතලා බලන්න ඔබ මොන වගේ කෙනෙක් ද කියා…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Blogger.com සයිට් වල ඉන්න සාමාජිකයින්ට WordPress.com හි පළ වන දිනපොතේ ප්‍රතිචාර පළ කිරීමේ අපහසුවක් තිබෙන නිසා දැන් ඒ දෙකේම එකම ලිපිය පළ වෙනවා.. මෙන්න මෙතැනින් Blogger.com එකේ ලිපියට යන්න

Advertisements

Posted on සැප්තැම්බර් 30, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 4.

  1. ඔබේ පෝස්ට් එකට සමාන එකක් තමයි මගේ කලින් ළිපිය, මේකත් බොහොම වටින ළිපියක්. නමුත් තම ළමා කාළය ඔවුනට අහිමි කරන දරුන ළොකු වූ පසු දෙමව්පියන්ට ආදරය කරන්නේ නෑ. ඔවුන් ඔවුනට වෛර කරනවා. අද සමාජයේ සිඳුවන්නේ මෙයයි. අද ගොඩක් දෙමව්පියන් කියන දෙයක් තමයි අපි මැරීගෙන හදපු ළමයි අද අපට සලකන්නේ නෑ කියන එක. නමුත් ඔවුන් දන්නේ නෑ ඔවුන් ඒ කළේ දරුණු ළමා අපචාරයක් බව. අපේ රටෙත් මේ චක්‍රය දිගටම යාවී. ඉතින් මට කියන්න තියෙන්නේ. ළමයින්ට ඔවුනගේ ළමා අයිතිවාසිකම් ලබා දෙන්න. ඔවුන් ඔබ වැඩිවියට පත්වූ විට ඔබේ අයිතිවාසිකම් ලබා දේවී.

  2. ළමුන්ට ලමා කාලයක් තිබේද………… අනේ මන්ද!

  3. අද බොහෝ දරුවන්ට ලමා කාලයක් නෑ. ඒ අය පොත පත අස්සෙම කල් ගෙවනවා. අපේ කාලෙ ඒ වගේ නෙවෙයි , අපි බොහොම සුන්දරව ලමා කාලෙ ගතකල අය. මේ කාලෙ යන්ත්‍ර වගේ හැදෙන ලමයින්ගෙ සංවේදී හැඟීම් නෑ. ඒ අය බලන්නෙ හිත් පිත් නැති විදිහට. අපි කාලයක් දෙමාපියන් ලඟ නැතිව හිටිය හින්දද මන්දා අපේ ඒ අයට තියෙන ආදරේ උපරිමයි. ලංකාවෙ ඉන්න අය ලඟ ඒ ගති හරිම අඩුයි කියල මටත් දැනිල තියෙනවා. ඒ අයට උපරිම ආදරේ දෙන්න. ඒ අය කොපමණ කැපකිරීම් කරල ඇත්ද ඔබ වෙනුවෙන්. දරුවෙක්ට ඉහලට උගන්වලාම මදි, ඒ අයට ධර්මය දෙන්න. ඔබ අදහන ආගම ඒ අයව යහපත් දරුවන් කරාවි. මනුස්සකමක් නැති හදවත් ලෝකෙ වනසවනවා මිස සනසන්නේ නම් නෑ. හොඳ වටිනා ලිපියක් ඇල්කෙමි මල්ලී. ඔබේ මේ සත්කාරය ලොව බබලවන්න උදව් වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: