2012 ඔක්තෝබර් 12 : පමා වී හෝ පියවර ගැනීම කෙතරම් යහපතක් ද ? ඊයම් විෂ වීම පිළිබඳ දැනුවත් කිරීම…


ලංකාවේ සාමාන්‍ය ජනතාවට රසායන විද්‍යාව හෝ රසායන ද්‍රව්‍ය පිළිබඳ ඇති දැනීම ඉතාමත්ම අල්පය.. මේ නිසා බොහෝ දෙනා විවිධ ආකාරයෙන් මේ ජනතාව සිය ජාවාරම් වලට හසු කර ගනිති. සමහර වෙලාවට දැනුමැත්තෝම විවිධාකාර දේ කියමින් සිය මතය පතුරවා හැරීමට කිසියම් රසායන ද්‍රව්‍යයක නමක් කියා සිය කටයුත්ත කර ගනිති. ආසනික් ප්‍රශ්නය සහ මැලික් අම්ලය පිළිබඳ ප්‍රශ්නය මේවාට හොඳම උදාහරණ වේ. කිසිවෙක් මේ පිළිබඳ නියමාකාරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු නොකරති. ඊයම් විශ වීම ද මේ හා සමානම භයානත තත්ත්‍වයක් වුවත්, තීන්ත සමාගම් සහ වෙනත් ආයතන විසින්ම සිය වගකීම පැහැර හරිමින් ජනතාව අමාරුවේ දමමින් සිටිති.

කෙසේ වුවත්, 2012 නොබෙල් සාම ත්‍යාගය දිනූ යුරෝපා සංගමයේ (European Union) ලාංකික ඒකකය විසින් ඊයම් විශවීම සම්බන්ධව   ජනතාව දැනුවත් කිරීමේ කර්තව්‍යයට අතගසා ඇත. කෙතරම් සාර්ථක වේදැයි නොදැනුනනත්, උත්සාහයද අගනේය.. ඊට සමගාමීව මා 2010 වසරේ ඇල්කෙමියාගේ රසායනාගාරය අඩවියේ පළ කළ මේ ලිපිය පළ කරන්නේ ඒ වන විට බොහෝ දෙනා මගේ බ්ලොග් අඩවිය එතරම් නොදැන සිටි නිසාත්, මෙවැනි වැදගත් ලිපියක් නැවතත් පළ කිරීම ජාතික වශයෙන් වැදගත් යැයි මට හිතෙන නිසාත්ය…

ඊයම් විෂ වීම යනු ශරීරයේ ඊයම් ‍නොහොත් Lead නම් මූලද්‍රව්‍යයේ සාන්‍ද්‍රණය අධික වීමෙන් සෑදෙන රෝගී තත්ත්‍වයකි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Plumbism, saturnium, Devon Colic, Colica Pictonium, හෝ Painter’s Colic (පින්තාරුකරුවාගේ බඩ රුදාව) නමින් හඳුන්වයි. ඊයම් ඉතා බර ලෝහයකි. ශරීරයේ ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් බොහෝ ඉන්‍ද්‍රියයන්ට සහ ඒවායේ ක්‍රියාකාරිත්‍වයට හානි පැමිණිය හැකියි. මෙසේ හානි පැමිණිය හැක්කේ හෘදය, අස්ථී, ආහාර මාර්ගය, වකුගඩු, ස්නායු පද්ධතිය, සහ ප්‍රජනන පද්ධති ආදියටය. එහෙත් මෙය ප්‍රධාන වශයෙන්ම ස්නායු පද්ධතියට බලපාන අතර විශේෂයෙන්ම අවුරුදු 6 ට වඩා අඩු කුඩා දරුවන්ට විෂ සහිතය. එයින්  ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය, අධ්‍යාපනික වර්ධනය සහ චර්යාත්මක වෙනස්වීම ආදියට කෙළින්ම අහිතකර ලෙස බලපායි. ඊයම් වැනි බර ලෝහ ශරීරයේ විවිධ අවයව තුල කලක් තිස්සේ එකතු වනු ලැබේ. එය වසර ගණනාවක් තුළ ඔබට නොදැනීම සිදුවිය හැක්කක්. මෙය විශේෂයෙන්ම පැරණි ගොඩනැඟිලිවල ආලේපිත තීන්ත, ජලය, පස, ආහාර, වාතය, සහ පාරිභෝගික නිෂ්පාදන හරහා කාලයක් තිස්සේ ශරීරයට එක්විය හැකිය. යම් යම් ද්‍රව්‍ය ශරීරයට අහිතකර වීමේ අවම අගයයන් ප්‍රකාශයට පත් කර තිබුනද, ඊයම් සඳහා මෙසේ අවම අගයයක් පළ වී නැත, ඉතා කුඩා ප්‍රමාණයක් වුවත් අහිතකර බවයි ඉන් හැ‍ඟේ.

ශරීර පටකවල සහ රුධිරයේ ඊයම් ප්‍රමාණය මැනීමෙන් ඊයම් විෂවීම මැනිය හැකිය. ඊයම් විෂවීම දෙආකාරයකින් සිදු විය හැකිය. ඒ සුළු ප්‍රමාණවලින් දීර්ඝ කාලීන නිරාවරණය (Chronic Exposure) හෝ ඊයම් විශාල ප්‍රමාණයකට ක්‍ෂණික නිරාවරණය සිදු වීම  (Acute Exposure) ලෙස. එසේ වුවත් මුලින් සඳහන් කළ දීර්ඝ කාලීන නිරාවරණය සුලභය. උදාහරණයක් වශයෙන් ඊයම් අඩංගු තීන්ත වර්ගයක් ආලේප කළ නිවැසියන් දීර්ඝ කාළයක් තිස්සේ මෙසේ ඊයම් වලට නිරාවරණය වනු ලැබේ. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළ ඊයම් තැන්පත් වීම සිදු වේ. කාලයක් ගත වූ පසු මෙම ලෝහ ඉතා සුළු ප්‍රමාණවලින් අප ශරීර වලින් ඉවත් විය හැකි වුවද, නිතර නිතර නිරාවරණය වූ විට රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ස්ථිර වූ ඉහල ම්ටමක පවතී. එසේ තැන්පත් වූ ලෝහ සාන්‍ද්‍රණය වැඩි වූ පසු රෝග ලක්‍ෂණ පහල වේ.

ඊයම් විෂවීම ප්‍රධාන වශයෙන් නිර්ණය කළ හැක්කේ රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය මැන බැලීමෙනි. එය මනිනු ලබන්නේ රුධිරය ඩෙසි ලීටරයකට ඊයම් මයික්‍රොග්‍රෑම් (μg/dL)කොපමණ තිබෙනවාද කියා ගණනය කිරීමෙනි. අමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත වලට අනුව රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම අන්තරායකාරී තත්ත්‍වයක් වේ.  අමෙරිකානු ළමා රෝග අධ්‍යයන ආයතනය සඳහන් කරන අන්දමට රුධිරයේ ඊයම් 10 μg/dL ට වඩා තිබීම ඊයම් විෂවීම (Lead Poisoning) ලෙස නම් කරයි. අමෙරිකාවේ පමණක් දල වශයෙන් අවුරුදු 1-5 අතර දරුවන් 250,000 – 310,000 කගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 10 μg/dL ට වඩා ඇති බව අමෙරිකානු රෝග නිවාරණ කේන්‍ද්‍රය සඳහන් කරයි.

‍ඊයම් භාවිතය සහ විෂවීම පිළිබඳ පසුබිම

ඊයම් විෂවීම ඉතාමත් ඈත අතීතයේ පවා පාරිසරික අන්තරායක් ලෙසින් හඳුන්වා දී ඇත. ලෝකයේ මුලින්ම සොයාගත් ලෝහ වර්ග අතුරින් එකක් වන්නේ ඊයම් ය. ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ ආසියාවෙන් සොයාගන්නා ලද ලෝහයක් ලෙස පොතපතේ සඳහන් වේ. එසේම රෝම අධිරාජ්‍යයේ ඉතා සුලභ ලෙස ඊයම් භාවිතා වී ඇති බවත් රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමට පවා ඊයම් විෂවීම බලපා ඇති බවත් යම් යම් වාර්තාවල සඳහන් වී ඇත. ‍එසේ මුත් එම කරුණ හරියටම සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක හමුවී නැත.

ඊයම් විෂවීම පිළිබඳ ජුලියස් සීසර් අධිරාජ්‍යයාගේ ඉංජිනේරුවා පවා සටහන් තබා ඇති බව වාර්තා වේ. ඊයම් ජලනල වලින් සපයන ජලයට වඩා මැටියෙන් තැනූ ජලනල වලින් සපයන ජලය ගුණදායක බව ඔහු සඳහන් කර තිබේ. ඊයම් වලින් සෑදෙන්නේ යැයි අනුමාන කරන Gout නම් ‍රෝගය රෝමයේ බහුලව ව්‍යාප්තව තිබීම මේ වාර්තා තවදුරටත් සනාථ කරන සාධක වේ.

17 වන සියවසේ එබර්හාර්ඩ් ගොකෙල් (Eberhard Gockel) නම් ජර්මන් වෛද්‍යවරයා විසින් ඊයම් මිශ්‍රිත වයින් පානයෙන් අසාමාන්‍ය බඩ රිදීමක් සෑදෙන බව සොයාගන්නා ලදී. වයින් පානය කළ පූජකයන්ට වඩා පානය නොකළ පූජකයන් මනා සෞඛ්‍ය තත්ත්‍වයෙන් පසුවන බවත් වයින් පදම් කිරීම සඳහා ඊයම් සංයෝගයක් වන ලෙඩ් ඇසිටේට් පාවිච්චි කරන බව ඔහු සොයාගැනීමෙන් අනතුරුව එහි ආදිපාදවරයා විසින් වයින් පදම් කිරීම සඳහා එම සංයෝග භාවිතය තහනම් කළ බවත් වාර්තාවල සඳහන්. එහෙත් 18 සහ 19 වන ශතවර්ෂ වලදී වයින් රසකාරකයක් ලෙස නීතිවිරෝධීව ඊයම් එකතු කිරීම සිදුවී තිබේ. ඉතා දැඩි වයින් පානය කරන්නෙක් වූ සංගීතඥ බීතෝවන්, රුධිර ඊයම් සාන්‍ද්‍රණය වැඩි වීමෙන් පීඩා විඳි බව සඳහන්. පසු කළෙක ඔහුගේ හිසකෙස් යොදාගෙන කළ පරීක්‍ෂණයකින් මේ බව තවත් සනාථ වී ඇත.

කාර්මික විප්ලවයට පසු වැඩබිම් ආශ්‍රිත ඊයම් විෂවීම ඉතා සුලභ කාරණයක් බවට පත් වී ඇත. 19 වන සියවසේ ගෘහ අලංකරණය සඳහා තීන්ත භාවිතය කිරීමට පටන් ගැනීමත් සමඟ කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීම වැඩි වශයෙන් දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් වූයේ 1897 දී ඔස්ට්‍රියාවෙන් වාර්තා වුනු කුඩා දරුවන් ඊයම් විෂවීමට බඳුන්වීමයි. ඒ නිසාම 1909 දී ප්‍රංශය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව ඊයම් යෙදූ සුදු තීන්ත නිෂ්පාදනය තහනම් කරනු ලැබීය. 20 වන සියවසේ වූ කාර්මීකරණයත් සමඟ සිදුවූ අධික ලෝහ භාවිතය නිසා ඊයම් වලට නිරාවරණය වීම ඒ හා සමඟ වැඩි විය. 1920 දශකයේදී ඇරඹි ඉන්ධන වලට ඊයම් මුසුකිරීමත් සමඟ වැඩි වශයෙන් වාතයට සහ ජලයට ඊයම් මුසු වීමට පටන් ගැණුනි. කෙසේ නමුත් මේ පිළිබඳ දැනුවත් වීම සහ ඒ සම්බන්ධයෙන්  මනා ලෙස ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගැනීම නිසා ඊයම් විෂවීම අවම තත්ත්‍වයේ පවත්වා ගැනීමට දියුණු රටවල් ක්‍රියාකර තිබේ. එසේ වී මුත් තුන්වන ලෝකයේ රටවල් තවමත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවක් පෙන්නුම් කර නොමැත.

ඊයම්ශරීරගත වියහැකි ආකාර

ඔබ නොදන්නා මුත් ඊයම් පරිසර දූෂකයකි. පරිසරයට ඊයම් එකතුවන්නේ කාර්මික නිෂ්පාදන වලින් (බැටරි නිෂ්පාදනය), රථවාහන ඉන්ධන, ඊයම් කම්බි/වයර්, ආලේපන තීන්ත ආදියෙනි. එනිසාම ඊයම් අඩංගු සංයෝග පරිසරයේ සෑමතැනකම වාගේ දැකිය හැක. පරිසරයට ඊයම් එකතුවන මාර්ග අවම කරගැනීමෙන් ‍මෙම අනතුර පහසුවෙන් වලක්වා ගත හැක.

එය ශරීරගත වියහැකි ආකාර කිහිපයකි.

1. ඊයම් වලට නිරාවරණය වන ආකාරයේ රැකියාවක නියුක්ත වීම

වැඩිහිටියන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන ක්‍රමය වන්නේ ඒ ආශ්‍රිත රැකියාවක නියුක්ත වීමෙනි. මෙම රැකියා වනුයේ බොහෝ විට මෙම දෑ තනන කර්මාන්තශාලා වල රැකියාවල නියුක්තවන්නන් වේ. විකිරණ වලින් ආරක්‍ෂාවීමේ ඊයම් ලෝහ ආවරණ, ජීව උණ්ඩ, සමහර ශල්‍ය උපකරණ, විවිධ විදුලි උපකරණ, විදුලි පරිපථ, ජෙට් ඇන්ජින්, සෙරැමික් ඔපදමන ග්ලේස් යනාදිය නිපදවන පිරිස, රථවාහන හසුරවන නිලධාරීන් මෙම අන්තරායට කෙළින්ම මුහුණදෙන අය වේ. තවද, ඊයම් පතල් කම්කරුවන්, ඊයම් ලෝකුරුවන්, ජලනල සවිකරන්නන්, වීදුරු නිපදවන්නන්, ගොඩනැඟිලි තනන්නන්, බැටරි ආශ්‍රිත රැකියා කරන අය, සහ ප්ලාසිටික් භාණ්ඩ නිපදවන්නන් ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති රැකියා කරන පිරිසට අයත් වේ. මීට අමතරව, පෑස්සුම්කරුවන්, රබර් භාණ්ඩ, තීන්ත වර්ග නිෂ්පාදකයන්, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, ආදී වෘත්තීන් වල නියැලෙන්නන් ද මෙම අන්තරායකාරී පිරිසට අයත්ය. එසේම එම වැඩිහිටි පිරිස නිවෙස්වලට පැමිණෙන විට ඇඳුම්වල ද මෙම ඊයම් අඩංගු සංයෝග, දුහුවිලි ආදිය තැවරීම නිසා දරුවන් ද ඊයම් වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩි වේ.

2. තීන්ත

ගෘහාලේපිත තීන්ත වර්ග සහ ක්‍රීඩාභාණ්ඩ වර්ණ ගන්වන තීන්ත කුඩා දරුවන් ඊයම් වලට නිරාවරණය වන ප්‍රධාන හේතු සාධකය වේ. තද පැහැති සහ දීප්තිමත් තීන්ත වර්ගවල මෙම ඊයම් සාන්‍ද්‍රණය වැඩිපුර පැවතිය හැකිය. ආලේපනයෙන් පසු කල්ගතවන විට මෙම තීන්ත ඉතා භයානක ලෙස ඊයම් පරිසරයට මුදාහැරිය හැකි වේ.  මෙසේ කල්ගතවන තීන්ත දිගුකාලීන ලෙස සුළු වශයෙන් හෝ විශාල ප්‍රමාණයක් එක්වර ඊයම් පරිසරයට හෝ දුහුවිලි ලෙස පසට මුදා හැරීම සිදු වේ. බොහෝ කුඩා දරුවන් නොයෙක් නොයෙක් දෑ මුවට දමා ගනිති. මෙසේ දමා ගන්නා දේ අතර ඇති බිත්තියකින් ගැලවුන කුඩා තීන්ත පතුරක සමහර විට මිලිග්‍රෑම් සියයක් පමණ ඊයම් පැවතිය හැකිය. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රමයෙන් කුඩා දරුවන්ට ඊයම් ශරීරගත වීම දුහුවිල්ලෙන් ශරීරගතවීමට වඩා වැඩිය.

3. පසෙන්

රථවාහන ඉන්ධන වලින් සහ තීන්ත වලින් නිකුත්වන ඊයම් අංශූන් පසේ තැන්පත් වී වසර ගණනක් පැවතිය හැකිය. මෙසේ ඊයම් වලින් දූෂිත පස් මහාමාර්ග අවට සහ ජනාකීර්ණ පෙදෙස්වල ඊයම් තර්ජනය ඇති කරන ප්‍රධාන හේතුකාරකයක් වේ.

4. ජලයෙන්

ඊයම් ජලනල, පිත්තල ජලනල, ඊයම් වලින් පෑස්සූ තඹ ජලනල සහ උපාංග මෙසේ ඊයම් ජලයට මුසු කරන ප්‍රධාන මාර්ග වේ. එසේම පසේ ඇති ඊයම් ජලයට මුසු වීමෙන් පානීය ජලය දූෂණය වීම ද සිදුවේ. ජලය පිරිපහදුවට යොදන ක්ලෝරීන් අඩංගු සංයෝග ලෝහ ජලනල විඛාදනය කරන බැවින් ඊයම් පානීය ජලයට මුසු වීම වර්ධනය කරයි. එහෙත් වර්තමානයේ පීවීසී ජලනල භාවිතා කරන හෙයින් මෙම අන්තරාව අවම කරගැනීමට සමත් වී ඇත.

5. ඊයම් අඩංගුනිෂ්පාදන භාවිතයෙන්.

විවිධ රූපලාවන ආලේපන, ඩයි වර්ග, විවිධ පෙරදිග බෙහෙත් වර්ග ඊයම් සාන්‍ද්‍රණය ඉහල පාරිභෝගික නිෂ්පාදන වේ. මීට අමතරව ඊයම් වලින් දූෂිත වූ ආහාර පරිභෝජනය ඊයම් විෂවීම සිදු කළ හැකි එක් ප්‍රධාන හේතුවකි. ආහාර දාමයේ ඉහල පුරුක්වල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් මෙසේ ඊයම්, ආසනික්, රසදිය වැනි බරලෝහ ශරීරයේ එකතු වීමට ඇති අවස්ථා වැඩි වේ. විශේෂයෙන්ම ගර්භණී මව්වරු මාංශභක්‍ෂක මාළුන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු වන්නේ මෙම හේතුව නිසාය. මා කළින් සඳහන් කළ ආකාරයට, ඉතා විශාල බර ලෝහ ප්‍රමාණයක් ආහාර දාමයේ ඉහල පුරුක්වල එකතු වේ. අපේ ශරීර වල පවා ඒවා එකතු වනවා මිස බැහැර කෙරෙන්නේ නැත. තවමත් සමහර රටවල ටින් කෑම නිෂ්පාදනය කිරීමේ දී ටින් පෑස්සීමට ඊයම් අඩංගු පෑස්සුම් ද්‍රව්‍ය යොදා ගනී. මෙසේ ටින් කෑම වලටත් ඊයම් එකතු විය හැක. එමෙන්ම ඊයම් උණ්ඩ යොදා දඩයම් කළ සතුන්ගේ ශරීර තුළ ඊයම් අංශු තැන්පත් වී තිබිය හැක.

රෝග ලක්‍ෂණ

මූලික අවස්ථාවේ ඊයම් විෂවීම රුධිර පරීක්‍ෂාවකින් තොරව නිර්ණය කිරීම අපහසු වේ. සාමාන්‍යයෙන් නිරෝගී ලෙස ජීවත්වන පුද්ගලයන්ගේ ශරීර තුළ පවා ඉතා ඉහල සාන්‍ද්‍රණ වලින් ඊයම් පැවතිය හැකිය. රෝග ලක්‍ෂණ පහල වන්නේ ඉතා අන්තරායකාරී ලෙස ඊයම් සාන්‍ද්‍රණය ඉහල ගිය පසුය. මෙය ශරීරයේ සෑම කොටසකටම පාහේ බල පෑ හැකි නමුදු, ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනුයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන රතු රුධිරාණු වල අඩංගු හිමෝග්ලෝබීන් නම් ප්‍රෝටීනයයි. ඉන් පසුව එය ස්නායු පද්ධතිය ආක්‍රමණය කරයි.

‍ඊයම් විෂවීම මඟින් කුඩා දරුවන් තුල පහත සඳහන් ‍රෝග ලක්‍ෂණ පහලවිය හැකිය. කුඩා දරුවන්ට රුධිරයේ ඊයම් ප්‍රමාණය 10 μg/dL ට වඩා අඩු අගයක තිබුණද රෝග ලක්‍ෂණ පහල විය හැක.

  • කේන්ති යාම අධික වීම
  • කෑම අරුචිය
  • බර අඩුවීම
  • තෙහෙට්ටුව
  • බඩේ රුදාව
  • වමනය
  • මලබද්ධය
  • අසාමාන්‍ය සුදුමැලිවීම හෝ රක්තහීනතාවය
  • හිසරදය

තවද පහත සඳහන් රෝග ලක්‍ෂණ ද ඇතැම්විට පහලවිය හැකිය.

  • වකුගඩු අකර්මණ්‍යතාව
  • ශ්‍රවණ දුර්වලතාවන්
  • චර්යාත්මක වෙනස්වීම්
  • ඉගෙනීමේ දී අළුත් දෑ ග්‍රහණය කරගැනීමේ දුබලතා
  • නිදිමත ගතිය/ කම්මැලි බව
  • වර්ධනය අඩුවීම

ගර්භණී මවක් අධික ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය වුවහොත් කුසතුළ සිටින කළලයේ වර්ධනය අඩුවීම, ගබ්සාවීම්, හෝ කල් අසම්පූර්ණ දරු උපත් (Premature child births) ඇතිවිය හැක. උපදින දරුවාද අඩු වර්ධනයක් පෙන්වීම හෝ ඉගෙනීමට දුර්වල විය හැක.

වැඩිහිටියන් ඊයම් නිරාවරණයට තරමක ප්‍රතිරෝධයක් පෙන්වුවද අධිකව නිරාවරණය වූ අවස්ථාවක පහත දැක්වෙන රෝග ලක්‍ෂණ මතු විය හැක. මෙම රෝග ලක්‍ෂණ පහල වීම රුධිරයේ ඊයම් 40 μg/dL ට වඩා  වැඩියෙන් ඇති විට සිදු වියහැකි වුවත් රුධිරයේ ඊයම් 50-60 μg/dL ට වඩා ඇති විට ප්‍රබලව පෙන්නුම් කරයි.

  • ඇඟ රිදුම, හිරිවැටීම
  • මාංශපේෂි දුබලතා
  • හිසරදය
  • බඩ රුදාව
  • අමතකවීම
  • මානසික ආතතිය හා ඉක්මනින් කේන්ති යාම
  • ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම සහ/හෝ විකෘති ශුක්‍රාණු නිපදවීම
  • ගබ්සාවීම් හෝ කල් අසම්පූර්ණ දරු උපත්
  • තෙහෙට්ටුව

ඊයම් විෂවීම වැලැක්වීම

බොහෝ අවස්ථාවල ඊයම් විෂවීම වැලැක්වීම සිදුකළ හැකිය.  එය සිදු කළ යුත්තේ ඊයම්වලට නිරාවරණය වීම වැලැක්වීමෙනි. මෙන්ම ඒ ක්‍රියාකාරකම් බොහෝදුරට නිරාවරණයට භාජනය වන කණ්ඩායම හෝ පුද්ගලයා අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් නිවසක ඊයම් නිරාවරණය වැලැක්වීම කළ හැක්කේ ඊයම් බඳුන්, උපකරණ භාවිතා නොකිරීමෙන්, නිවස හොඳින් පිරිසිදුව තබා ගැණීමෙන් සහ ඊයම් මිශ්‍ර තීන්ත වර්ග භාවිතය වැලැක්වීමෙන්; තවද නිවසේ ජලනල පද්ධතිය ලෝහ නල භාවිතයෙන් ඉවත් කිරීම වැනි ක්‍රියාවලින් ජලය මඟින් සිදුවන ඊයම් නිරාවරණය වලක්වාගත හැක. රථ වාහන පාලනය කරන නිලධාරීන් ඊයම් වලට නිරාවරණය වැලැක්විය හැක්කේ දුම ආඝ්‍රාණය කිරීම වැලැක්වීමට ආරක්‍ෂාකාරී මුව ආවරණ පැළඳීම වැනි දේ මඟිනි.

ඊයම් නිරාවරණය වීමක් සිදුව ඇති යැයි හැ‍ඟේනම් එය පරික්‍ෂා කරවා ගැනීම සිදු කළ යුතුය.  මේ සඳහා සරළ රුධිර පරීක්‍ෂාවක් කළ හැකිය. එසේම නිවස තුළ ඊයම් නිරාවරණය වීමේ අනතුරක් ඇත්ද යන්න පරීක්‍ෂාව සඳහා කුඩා පරික්‍ෂණ කට්ටල වෙළඳපොලෙන් පවා මිලදී ගත හැකිය. (ශ්‍රී ලංකාවේ මෙම උපකරණ කට්ටල විකිණීමට ඇත්දැයි මම නොදනිමි)

ඊයම් වලට නිරාවරණය වැලැක්වීම ජාතික මට්ටමෙන් සහ නාගරික මට්ටමින් සිදුකිරීම රජයේ වගකීමකි. විශේෂයෙන් තීන්ත වර්ගවලට ප්‍රමිතීන් පැනවීම සහ ක්‍රියාකිරීම, ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රමාණය පාලනය වැනි ජාතික මට්ටමේ කර්තව්‍යයන් රජයට හැර අන් කිසි ආයතනයක් යටතට අයත් නොවන විෂය කාරණා වේ. එසේම නාගරික මට්ටමින් පරිසරයේ ඊයම් ප්‍රමාණය පිළිගත් කාල පරාසයන් තුළ මැන බැලීම සහ ඒවාට නිසි පිළියම් යෙදීම අදාල නාගරික අධිකාරිය යටතට අයත් වේ.

ඊයම් විෂවීමට ප්‍රතිකාර

සාමාන්‍ය ප්‍රතිකාර වනුයේ ඊයම් විෂවීමට බඳුන් වූ පුද්ගලයා නැවත නැවතත් නිරාවරණය වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සහ රුධිරයෙන් ඊයම් ඉවත් කිරීමයි. මේ සඳහා කීලේෂන් තෙරපි (නඛර චිකිත්සාව / Chelation therapy) නම් වූ ප්‍රතිකාරය කරනු ලබයි. එහිදී සිදු කරන්නේ ඊයම් සමඟ ප්‍රබල ස්ථායී සංයෝගයක් තනන ශරීරයට හිතකර රසායන ද්‍රව්‍යයක් වන EDTA (එතිලීන් ඩයි ඇමීන් ටෙට්‍රාඇසිටික් ඇසිඩ්) නම් රසායනිකයේ සෝඩියම්-කැල්සියම් සංයෝගයක් (CaNa2EDTA) ‍රෝගියාට එන්නතක් මඟින් ලබා දීමයි. EDTA ශරීරයේ ඇති ඊයම් පරමාණු සමඟ ශරීරයට අහිතකර නොවන ස්ථායී සංයෝගයක් තනන අතර මෙම සංයෝගය මුත්‍රා සමඟ ශරීරයෙන් පහව යයි.

මෙසේ එන්නත් කරන තවත් සංයෝගයක් වන්නේ “ඩයිමර් කැප්‍රෝල්” නම් සල්ෆර් අඩංගු සංයෝගයකි. මෙයද ඊයම් පරමාණු සමඟ ප්‍රබලව බද්ධ වී ශරීරයෙන් පහව යයි. මීට අමතරව “සක්සිමර්” සහ “ඩී-පෙනිසිලැමීන්” මුඛ මාර්ගයෙන් ලබා දෙන තවත් සංයෝග දෙකකි. කෙසේ වෙතත් මෙම කීලේෂන් ප්‍රතිකාරය ලබාදෙන්නේ විශේෂයෙන්ම හදිසියේ දැඩි ලෙස ඊයම් වලට නිරාවරණය වූ (Acute Lead Exposure) පුද්ගලයන්ටය. එසේම ඔවුන්ගේ රුධිර ඊයම් සාන්‍ද්‍රණය 25 μg/dL ට වඩා  වැඩියෙන් තිබිය යුතු වේ.

දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ලබා දෙන්නේ නැත. මක් නිසාද යත් ප්‍රතිකාරය නිමවූ පසු නැවත රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල යාමක් සිදුවන නිසාය.

එය සිදු වන්නේ අස්ථි තුළ තැන්පත් වී ඇති ඊයම් නැවත රුධිරයට පැමිණීමෙනි. මේ නිසා දිගු කලක් සුළු සාන්‍ද්‍රණ වලින් ඊයම් වලට නිරාවරණය වූ  (Chronic Exposure) පුද්ගලයන්ට කීලේෂන් ප්‍රතිකාරය ඉතා දිගු කලක් කළ යුතුය. නමුත් කීලේෂන් ප්‍රතිකාරය නිසා ශරීරයට අවශ්‍ය අනෙක් ලෝහ වර්ගවල ද අඩු වීමක් විය හැකිය. මීට අමතරව දිගුකාලීන කීලේෂන් ප්‍රතිකාර නිසා ආහාර මාර්ගය හරහා ශරීරයට ඊයම් අවශෝෂණය වීම වැඩි විය හැකිය. මේ කරුණු නිසා දිගුකාලීනව කීලේෂන් ප්‍රතිකාරය භාවිතා කරන්නේ නැත.

වගුව : රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය ඉහල තත්ත්‍වයක ඇති දරුවන් කළමණාකරණය පිළිබඳ අමෙරිකානු ‍රෝග නිවාරණ කේන්‍ද්‍රය ඉදිරිපත් කර ඇති වැඩ පිළිවෙල

රුධිරයේ ඊයම් සාන්‍ද්‍රණය (μg/dL) ප්‍රතිකාරය
10 – 14 දැනුවත් කිරීම, නැවතත් පරීක්‍ෂාකිරීම
15 – 19 නැවතත් පරීක්‍ෂාකිරීම, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
20 – 44 වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
45 – 69 වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය, කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම
>69 වහා රෝහල්ගත කිරීම, ක්‍ෂණික කීලේෂන් ප්‍රතිකාරය, ඊයම් ප්‍රභවය සොයා එය ඉවත් කිරීම

ශ්‍රී ලංකාවේ තත්ත්‍වය

පසුගිය දා ද නේෂන් පුවත්පතේ පළ වූ වාර්තාවක කියා තිබුණේ පාරිසරික නීති කේන්‍ද්‍රයේ (Center for Environmental Justice) ප්‍රධානී හේමන්ත විතානගේ මහතා කළ ප්‍රකාශයකට අනුව ලංකාවේ භාවිතාවන බොහොමයක් තීන්ත වර්ගවල ඊයම් සාන්‍ද්‍රණය පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නීතියක් පනවා නොමැති බවයි. ඒ මහතාට අනුව හිටපු පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පවා දන්වා යැවූ මුත් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැත.

එයටත් වඩා භයානක කරුණ වන්නේ මේ පිළිබඳ කිසිදු නීතියක් සම්මතයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමය. තීන්ත සමාගම් වල මව් සමාගම් අදාල රටෙහි ප්‍රමිති තත්ත්‍වයනට අනුව තීන්ත නිපදවන නමුත් මෙරට නිපදවන  තීන්තවල එම ප්‍රමිතීන් නොමැති බව විතානගේ මහතා පවසා ඇත. මේ බව සනාථ වී ඇත්තේ අප රටේ නිපදවන තීන්තවල ඊයම් සාන්‍ද්‍රණය පිටරටකදී මැන බැලීමෙන් පසුවය.

මේ පිළිබඳව ජාතික ප්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය ඒ.ආර්.එල්. විජේසේකර මහතාගෙන් නේෂන් පුවත්පතේ වාර්තාකරු විමසූවිට ඔහු උපහාසාත්මකව පවසා තිබුණේ “ඔබ කුමක් කරන්නද ?” කියායි. එවිට වාර්තාකරු “මට කරන්නට කිසිවක් නැත” යි පැවසූ විට විජේසේකර මහතා පවසා ඇත්තේ එය මෝඩ ප්‍රශ්නයක් බවයි. එවන් උසස් නිලධාරියෙකු මෙවන් බැරෑරුම් කරුණක් එසේ සැහැල්ලුවෙන් ඉවතලන විට අපේ රටේ ප්‍රමිතීන්ට යන කල දසාව ඔබටම සිතාගත හැක.

අප රටේ බොහොමයක් කරුණු කාරණා සිද්ධවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තැබීමේ සම්ප්‍රදාය අනුවය. පසුගියදා කොළඹ ප්‍රදේශය ජලයෙන් යට වූ විට සියළු අනවසර ගොඩකිරීම් ඉවත් කරන්නට ජනපති නියෝගයක් ලැබෙන තෙක් අපේ නිලධාරීන් වසර දහයක් පමණ සිටියේ තද නින්දේය. ඔවුහු දේශපාලන වාසි හෝ රැකියාවේ සුරක්‍ෂිතභාවය තකා වැල යන අතට මැස්ස ගසාගෙන ඇස් කණ් පියා සිටිති. මා සිතන අන්දමට අප ‍රටේ ඉන්ධන වලට තවමත් ඊයම් යම් ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. මේ නිසා අප කෙතරම් ආරක්‍ෂා වුවත්, මඟ තොට යන එන විට ඊයම් මුසු දුමාරයට නිරාවරණය වීම වලකන්න අපහසුය. ඒ සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතුය. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක එවැනි දෑ සිදුකිරීම තරමක් අපහසුය. රථවාහන හසුරවන නිලධාරීන්, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ජීවත් වන හෝ රැකියා කරන උදවිය මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ගර්භණී මව්වරුන් රුධිරගත ඊයම් සාන්‍ද්‍රණය සඳහා පරීක්‍ෂා කළ යුතුය. එපමණක් නොව සේවක ආරක්‍ෂණ පනතද ඊයම් ආශ්‍රිත රැකියා කරන සේවකයන් ඊයම් වලට නිරාවරණය උපරිම සීමාවකට යටත්කර සංශෝධනය කළ යුතු ‍වේ. අප රටේ බොහොමයක් තීන්ත සමාගම් සිය සේවකයන් ඊයම් විෂවීම සඳහා රුධිර පරීක්‍ෂා කරනවා දැයි සැක සහිතය. ‍මම අවසන් වරට ශ්‍රී ලංකාවේ සිටි 1999 වසරේ එක්තරා ප්‍රසිද්ධ තීන්ත නිෂ්පාදන සමාගමක කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස කෙටි කලක්  සේවය කළෙමි. ඒ කාළය තුළ මා දන්නා අන්දමට ඊයම් නිරාවරණය පිළිබඳ කිසිදු සේවකයෙකු හෝ කිසිදු විධායක නිලධාරියෙකු මොනයම් හෝ සඳහනක් කළ බව මට මතක නොමැත.

අප රටේ දරුවන් මෙසේ ඉහල ඊයම් සාන්‍ද්‍රණයකට නිරාවරණය හැකි වී මුත් රෝග ලක්‍ෂණ පහල නොවන්නේ ඇතැම් විට අප නිවාසවල පවතින මනා වාතාශ්‍රය නිසා බව විය හැක. දියුණු රටවල බොහෝ නිවාස වල වාතාශ්‍රය පාලනය කරනු ලබන්නේ වායු සමන යන්ත්‍ර ආදිය මගිනි. එමෙන්ම බොහෝ නිවෙස්වල ජනෙල් දොරවල් වසා තිබේ. ඒ නිසා සෑම විටම නිවස සංවෘත පද්ධතියක් සේ ක්‍රියා කරයි. නමුත් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ මනා වාතාශ්‍රයක් ඇති බැවින් මෙසේ පරිසරයට එකතු වන ඊයම් ප්‍රමාණය නිවෙස් තුළ රැඳීම අවම විය හැක. මේ නිසාම අප දරුවන් ඊයම් වලට නිරාවරණය වීම අඩුවිය හැක. එසේ වූ පමණින් මේ පිළිබඳ ක්‍රියා කිරීම නවතා දැමීම කළ නොහැක.

දැන් කළයුතුව ඇත්තේ ජාතික ප්‍රමිති කාර්යංශය, විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ඊයම්, රසදිය වැනි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්පාදනය කර (දැනට එසේ කර නොමැති නම්) එය නිසි පරිදි ක්‍රියාවට නැංවීමය. ගෘහ ආලේපන තීන්ත වර්ගයන්හී ඊයම් මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් මෙය කදිමට ඇරඹිය හැක. එසේම රථවාහන ඉන්ධන වර්ගවල ඊයම් ප්‍රතිශතය අවම කිරීමට (දැනටමත් එසේ කර නැත්නම්) වහා පියවර ගත යුතුය. එසේ නොවුවහොත් ආසියාවේ ආශ්චර්යය කිරීමට බලා සිටින ශ්‍රී ලංකාව ආසියාවේ රෝහල බවට පත්වීම නොවැලැක්විය හැක. මේ අප නොසලකා හරින්නේ අපේ අනාගතයයි.

මේ ලිපියේ අඩංගු වෛද්‍ය විද්‍යාත්මක වදන් පරිවර්තනය කිරීමට සහය වූ  වෛද්‍ය ජනක අමරවීර සහ වෛද්‍ය චන්න යහතුගොඩ මහත්වරුන්ට මගේ ස්තුතිය…

මේ පිළිවඳව තවත් කියවන්න

ඊයම් විෂවීම

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 12, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 15.

  1. ඔබ මේ ලිපියෙන් මට බොහොම ලොකු උදව්වක් කලේ. මගේ ඊලඟ ලිපිය මම ලියන්නේ ලෝක ජනගහනය ගැන. ඒ ලිපියට මේ ලිපිය බොහොම වටිනවා. ඔබගේ කරුණු දැක්වීම කවදත් වගේ බොහොම ව්‍යක්තයි.

    කැමතියි

  2. ඉතාම උසස් ලිපියක්.මගේ ස්තුතිය.ජර්මනියේ වෛද්‍යවරයෙක් ලෙස කලක් තිස්සේ සේවය කරන ම මේ සම්බන්දයෙන් දිගු කලක් සෙවූ තොරතුරු වල යම්යම් අඩුපාඩු වලට පිළිතුරු ඔබේ ලිපියෙන් ලැබිණ.

    කැමතියි

    • බොහොම ස්තූතියි.. මම ඉන්නෙත් ජර්මනියෙම තමයි… හයිඩ්ල්බර්ග් වල… මට නම් මේ මාසෙන්ම ඇතිවෙලා තියෙන්නෙ….
      ඇලුමිනියම් ගැන නම් මම ලියලා නැහැ… නමුත් කතා කරන්න වටින මාතෘකාවක්… ඔබ කියපු නිසාම ඒ ගැන මම තරමක් හොයා බලන්නම්….
      අන්තර්ජාලයෙන් විස්තර සොයා ගන්න පුළුවන් ලෙහෙසියෙන්ම… බලන්න

      කැමතියි

      • ඒ මොකෝ යන්න හදන්නේ?මම ඉන්නේ HD වල සිට කිමි 300 විතර එහා .ඕන උදව්වක් දෙන්නම්.

        කැමතියි

      • යන්න හදනවා නෙවෙයි.. තවමත් මෙහේ ක්‍රමයට හුරු වෙන්න අමාරුයි.. ඒ මදිවට පැටියයි ඇල්කෙමිච්චියිත් තවමත් ලංකාවෙ… වීසා සකස් කරන ඒලියන් ඔෆිස් එක බොහොම හෙමින් කටයුතු කරන්නෙ…
        කොහොම වුනත් මට අවුරුදු දෙකක් ඉන්න වෙනවා මෙහේ… යන්න අදහසක් නෑ… තව ටික කාළයක් ඉන්නකොට හරි යාවි…
        බලමුකො…
        ඔබේ ඊමේල් ලිපිනය මගේ ලඟ තිබෙනවා.. මම පසුව ඊයක් එවන්නම්…
        ස්තුතියි.

        කැමතියි

  3. මිටත් වඩා ලංකාවේ ගෙවල් වල සුලබව ආහාර වියන්න ගන්න අලුමිනියුම් හට්ටි වලින් ඇතිවන රෝගාබාද ගැන මම මේ දිනවල තොරතුරු සොයමින් සිටිමි.මේ පිළිබඳව ඔබේ සොයාගැනීම් ඇත්නම් කරුණාකර පලකරන්න

    කැමතියි

  4. මේක කතාවට යාන්තමෙන් අදාල වෙන දෙයක්. කුමක් කරන්න දෝ කිය කියා හිතන වෙලාවක තමයි ඇල් මල්ලිගෙ සටහන පළවුනේ. සැප්තැම්බර් 6 වැනිදා මම ලංකාවේ ළඟ දී විවාහ වුනු මගේ යාළුවෙකුගේ දුවෙකුට තෑග්ගක් තැපැල් කළා. තෑග්ග ආහාර අනුභවයට පාවිච්චියට නොගන්නක්. ඒත් රෑට ගලවන කරාබු කුට්ටමක් හෝ මාලයක් ලස්සනට තියන හැන්දක්. නිර්මාණයේ කලාත්මක බව නිසා එහි වටිනාකම වැඩියි. ඒකෙ යම් ඊයම් ප්‍රමාණයක් අඩංගුයි. දැන් මේක ගැන අපි දෙන්නා දන්නවා. ඒත් ලංකාවේ එයාට තෑග්ග ලැබුනේ නැහැ. කවුරු හරි හොරෙන් අරගන ඇතැයි කියා තමයි අපි දෙන්නාම හිතන්නේ. ගැටළුව මේකයි: අපි දෙන්නා දන්නවා එය ආහාර අනුභවයට පාවිච්චි කළ නොයුතු හැන්දක් බව. හොරා ගත්තු එක්කෙනා එය කෑම බෙදන්නට හෝ දරුවෙකුට බෙහෙත් පොවන්නට ගත්තොත්???? 😦

    හොරෙක් හොරකම් කර තමන්ට අනතුරක් කර ගනීවියි කියා ඊ ළඟ සැරේ එවැන්නක් තැපැල් කරද්දී “අනතුරුදායකයි: පාවිච්චියට නොගන්න” කියා කොළයක් දමා යැවිය යුතුදැයි හිතෙනවා!!!!!!!

    කැමතියි

    • මේකට තමයි කියන්නෙ කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියලා..
      හොරෙන් ගනිපු එක අන්තිම කැතයි. නමුත් දඬුවමකුත් ලැබෙයි.. ඒත් අරුණි අක්කා කිවුවා වගේ පොඩි දරුවෙකුට ඒ දඬුවම ලැබුණොත් හරිම අපරාදයක්.
      නමුත් අනතුරුදායකයි: පාවිච්චියට නොගන්න කියලා කොළයක් දැම්මොත් සමහර විට කඩලා බලලා ඒක කිසියම් ඉහළ ස්ථානයකට රපෝර්තු කරාවි. එහෙම වුනොත් අරුණි අක්කට හෝ ලබන පුද්ගලයාට උසාවි ගානෙ යන්න වේවි. හැබැයි පාර්සලේ කැඩුවෙ ඇයි කියන එකට උත්තරයක් ලැබෙන එකක් නෑ.. හරියටම අර තමන් විහින් ගුටි කාගෙන රස්සාව නැති කරගත්ත මේජර් ට වුන දේ වගේ….
      මොකද මේ දේවල් සිද්ධ වෙන්නෙ ලංකාවෙ නිසා….

      කැමතියි

    • හොරාට නං මොනව උනත් කමක් නෑ කියමු. ඒත් අහිංසකයෙකුට කරදරයක් වෙන්න පුළුවන්‍. මොනව හරි එවද්දි හොරා ගත්තත් ප්‍රශ්නයක් නොවන දේවල් විතරක් එවන්න. 🙂

      කැමතියි

  5. @රාජ්,
    හොරුන් නිසා අහිංසකයන්ට සිද්ධ වෙන හානිය ගැන අපි සැලකුවාට, අහිංසක අපේ තෑගි ගැන හොරුන් සැලකිය යුතුයි කියන්නෙ නැත්තෙ ඇයි ද?!!!

    දැන් තවත් කාරණාවක් තියෙනවා, තමන්ගේ ආණ්ඩුවේ රස්සාවල් ආරක්ෂා කරගන්න ඕනෑ යැයි වර්ජන වල යෙදෙන හැම දේටම පාරට බැහැලා පෙලපාලි යන අයට තමන්ගේ රස්සාව හරියට කරන්න ඕනෑ යැයි කියලා පෙලපාලි යන අය නැත්තෙ ඇයි? මම නම් දැන් ලංකා තැපැල් වර්ජනයක් පටන් ගෙන. මීට පස්සෙ ලංකාවට බඩු එවන්නෙ UPS සහ Fedex වගේ පුද්ගලික සේවාවන් වලින්. ඉතින් මහජන සේවය කියා හොරකම් කරන අය නිසා ධනපතියන්ම තව ධනවත් වේවා!!!!

    කැමතියි

    • මම ඕකට කියන්නෙ තමන්ගෙ අයිතිවාසිකම් දිනා ගන්න නම් තමන් හරියට තමන්ගෙ යුතුකම් ඉටු කරලා තියෙන්න ඕන කියලා.. මේ ධර්මතාවය මම නම් සළකනවා විතරක් නොවෙයි ක්‍රියාවටත් නඟනවා…
      හැබැයි ඉතිං ලංකාවෙ වෘත්තීය සමිතියි හැමෝමයි හිතන්නෙ තමන්ගෙ අයිතිවාසිකම් ගැන විතරයි… යුතුකම් කියන දේ දන්නෙවත් නෑ…
      ඉතිං මොකේදැයි දන් වලඳන්නෙ කියලා ඇහුවලු…

      කැමතියි

  6. Sinhalen meweni thoraturu rasawath menma kiyawannata asa hitena vidiyata ape sahodara jantawata menma anekuth lankawe research karana aunta kiyawanna salaswanawata pin.

    krd

    කැමතියි

    • බොහොම ස්තූතියි සර්,
      මම මේක ඇත්තෙන්ම වගකීමක් විදියට සළකලා තමයි කරන්නෙ.. ලංකාවෙ බොහෝ දෙනෙකුට මේ දේවල් කියවන්නවත් ලැබෙනවා අඩුයි… විද්‍යාත්මක පැත්තෙන් ජනමාධ්‍ය තවමත් ඉන්නෙ බොහොම පිටුපසින්…
      බලමු, ඉදිරියේදී මේක තවත් ඉදිරියට ගෙන යන්න අදහසක් තිබෙනවා…

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න