2012 ඔක්තෝබර් 13 : ඔබ මේ විනාශ කරන්නේ ඔබේ පුතාගේ – දුවගේ ජීවිතයයි….


රටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුය. බොහෝ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාවෙනි. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු වේ. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙනි. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරති. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබේ. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරයි. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා (ඓශ්චර්යය කරා නොව) ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයකි.

මේ ලිපිය ලියන්නට හේතුසාධක වූයේ The Island පුවත්පතේ වූ Child health crisis looms 37 % schoolgirls, 17% schoolboys obese නම් වූ ලිපිය ඇස ගැටීම හේතුවෙනි.

තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යයි. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටය. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතී. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග නොලැබේ.. ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණි. වෙනත් යමක් ලැබේ නම් එය අගනේය.. සමහර මවුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය පතා ගියත්, 90% කට වඩා මවුවරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරති.

ළමා ස්ථුලතාවය – වැළැක්විය හැකි ව්‍යසනයකි.

දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයකි. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරති. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට නොවෙති. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස් වේ. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයකි. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයකි. ඔවුන්ගේ කාලසටහන කාරය බහුලය. බොහෝවිට මවත් පියාත් රැකියා කරන උදවිය වේ. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයකි. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙති. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර බොහෝ දුරට ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. ඔවුනට ඇති ආදරය නිසාම, දරුවන් වඩා කැමති McDonalds, KFC, Pizza Hut වැනි ක්‍ෂණික ආහාර සපයන ආපනශාලා වලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරති. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරති.

මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකය. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වී සහ ප්‍රමාද වීය. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුය. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වේ. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්මය. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යති. ක්‍රිකට් ද ක්‍රීඩා කෙරෙන නමුත් එය කොපමණක් දෙනා කරනවාදැයි නොදනිමි. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝදුරට අපගමනය වී ඇත.

පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක නියැළුණෙමු. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම කළෙමු. ඇති තරම් දිවුවෙමු. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනෙමු. 2001 දී ලංකාවෙන් පිටවන තුරු බොහෝ දුරට සතියකට වතාවක් ක්‍රිකට් ක්‍රීඩාවත්, දවසක් ඇර දවසක් වොලිබෝල් ක්‍රීඩාවත් කිරීමට පුරුදු වී සිටියෙමි. ඒ අසළ වූ තරුණයන්- යෞවනයන් දහයක් දොළහක කණ්ඩායමක් සමඟිනි. පසුගිය මාස දෙකේ ලංකාවේ ගත කළ කිසිම දිනක මට ක්‍රීඩාවකට සහභාගී වීමේ අවස්ථාව නොලැබුණි. කිසිවෙකු දැන් ක්‍රීඩා නොකරයි. වොලිබෝල් පිට්ටනිය තිබූ තැන කැළයෙන් වැසී ඇත. සියළුම දෙනා හැල්මේ දුවති – ව්‍යායාමයට නොව ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.

මෙය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපායි. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසිනි. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිති. සමහරුන්ට දියවැඩියාවය. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙති. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙති. ඒ මා ගියවර ලංකාවට ගියවිට අත්විඳි සත්‍යයයි.

කුඩා දරුවන්ට සිය ජීවිතය දරුවන් හැටියට ගත කරන්නට………

මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගැන්මටය. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැක. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසිනි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් නොලැබේ. සමාජයීස මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන ඇත. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වේ. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වේ. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපායි. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වේ. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යයි. මෙය බලපාන්නේ ඊලඟ පරපුරටය..

මෙය චක්‍රයකි. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙනි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැක. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වේ. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යයි. සමබරව සිතයි. වැරදි තීරණ නොගනී…

අප කොපමණ ලිපි ලිවුවත් කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැත.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩිය. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙති. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගනිති. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගනිති. ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසකි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන යති – පසුව පසුතැවිලි වෙති.

අවශ්‍යතාවය ඇතිනම් වෙනස් විය හැකිය.සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකිය. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකිය. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගනිති. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකිය. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇත. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැක. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවයි. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේ. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකිය….

ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුය… අපට හැක්කේ එය කියාදීම පමණි.

ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ ඔබ වෙනස් වීමෙන් පමණි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අර මුහුණු පොතේ තියෙන  විකාර වගේ “මේකට කැමති නම් Like කරන්න – මේකට කැමති නම් Share කරන්න” කියලා මම කියන්නෙ නෑ…. මම කියන්නෙ මේක බෙදා ගත්තොත් කිහිප දෙනෙක් දැනුවත් වෙයි කියලා විතරයි…. Like කෙනෙක් Share කරගන්න.

ප.ලි. හෙට වැටෙන ලිපිය නම් බොහෝ දෙනාට වැදගත් වෙන කතා කරන්න අකැමැති මාතෘකාවක් ගැන…  දැනටම ලියලා නම් ඉවරයි… හෙට බලමු.

මේ ලිපියම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොත යටතේම තිබෙනවා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 13, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 28.

  1. ඉතාම ශ්‍රේෂ්ට ලිපියක් -ස්තුතියි
    මෙයටම අදාල අදහසක් ඉදිරිපත් කිරීමට සිතේ.එනම් අපේ ලුණු පාවිච්චිය.මෙයත් ඔබ කි ලෙස පරම්පරාවෙන් පරම්පරාවට යන චක්‍රයකි.මව වැඩිපුර (කටට රසට)ලුණු කන්නේනම් ඒ උත්තේජය දරුවාට යන්නේය.මෙය සිදුවන්නේ ඉතා සංකීර්ණ විද්‍යුත්-රසායනික ප්‍රතික්‍රියවකින් ඒ තොරතුරු DNA/RNA ඔස්සේ කලලයේ ජන වලට විහිදිමෙනි.
    මෙසේ අධික ලුණු පාවිච්චියෙන් මුළු ශරීරයේම හටගන්නා රෝග අපට තේරුම් ගන්නට අපහසු වන්නේ මෙසේ කටට රහට කෑම සාමාන්‍ය දෙයක් ලෙස අප ඉතා කුඩා වියේ සිට පුරුදු කර ඇති බැවිනි.දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 3කි.අපේරටේ මේ තත්වය අසිමිත් ලෙස ඉක්මවා ග්‍රෑම් 10-12 අතර පවතී.ඊටත් අමතරව කුනුකරෝල කටට රසට කන්නේනම් ග්‍රෑම් 20 ලේසියෙන්ම ඉක්මවන්නේය.
    නමුත් තරු පෙන්නේ අවරුදු ගානක් ගියාට පසු වකුගඩු අසාදනය,හර්ද පේශි දුර්වල වී හදවත විශාලවීම,ලේ නහර වල පටක පීඩනය වෙනස්වීම් ආදී මෙකි නොකී දහසකුත් එකක් රෝග හැදුන විටය.නමුත් විසිළුවක් වන්නේ මේවට වෙදකම් කිරීමට ඉන්න දොස්තරලා ඒ ලෙඩ වලට බේත් පෙත්තක් දී ලෙඩ ගෙදර යවන අන්දම දකින විටය.ගෙදර යන විටත් අතිශයින්ම ලුණු ඇති කැමක් කඩෙන් අරන් යති අපේ හැම බම්බුවේම ලුනුය.රෝස්පාන් එකෙත් ලුනුය.බත් උයන කොටත් ලුණු දමන්නෝය.හැම ව්‍යන්ජනේටමත් ලුණු දාති.වෙන එකක් තිය කුනුකරෝල වියන කොටත් ලුණු දාති.
    ශල්‍ය වෛද්‍ය සහ පෝෂණ වෛද්‍ය අත්දැකීමෙන් මට කිව හැක්කේ අපේ මරුවා සිනි.තෙල් (සත්ව මේධ ) වලට අමතරව ලුණු බවයි.
    මෙය අපට වෙනස් කර ගත හැකි තත්වයකි .කලහැක්කේ විප්ලවකාරී දැඩි අධිෂ්ටාන පුර්වක මනසකිනි.

    කැමතියි

  2. ලිපිය වාගේම පලවෙනි කොමෙන්ටුවත් මරු

    කැමතියි

  3. නාගරික ඉස්කෝල ලඟට වෙලා බලා හිටියොත් මේ ජාතියේ ළමයි ගොඩක් දකින්න පුළුවන්. මයියන්ගනේ, අම්පාරේ, පොළොන්නරුවේ, පදවියේ, කිලිනොච්චියේ නම් මෙහෙම ළමයි බොහොම අඩුයි. හැබැයි කෘත්‍රිම ආහාර හදන මාරයින්, ඉක්මනින් ඒ පැති ආක්‍රමණය කරයි. කුකුළු ගොවිපොළ වල නොයෙකුත් කෘත්‍රිම රසායනික වර්ග ආහාරයට මිශ්‍ර කර හදන කුකුලන්ගේ මස් කන ගැහැණු දරුවන්, අඩු වයසෙන් වැඩිවිය පත්වන අතර ඉන්පසු Polisystic Overy Syndrome = PCOS නමැති, සුව කිරීමට ඉතා අපහසු, හෝමෝන විකෘතිතාවයට පත්වීමෙන් පෙනුමෙන්ද විකෘති වෙනවා.

    කැමතියි

    • ඉතිං අපේ උන්දැලා මේ පිළිබඳ දැනුවත් වෙන්නෙ නෑනෙ… කිවුවත් වැඩක් නෑ… මේ ලිපිය බලලා තියෙන්නෙ සීයකටත් අඩු සංඛ්‍යාවක්… කුණුහරුපයක් දැම්මොත් නං බලයි සූ ගාලා….
      මට කමක් නෑ කී දෙනෙක් බැලුවත්… නමුත් මේකයි ඇත්ත තත්ත්‍වය….

      කැමතියි

      • මම හිතනවා ඔබ මට වඩා බොහොම කලකට පෙර සිට බ්ලොග් ලියන කෙනෙක් කියලා. මම බ්ලොග් ලිවීම් ආරම්භ කලේ 2011 දෙසැම්බර් මාසේ. මාස තුනක් හතරක් ගියාම මට පැහැදිළිව පෙනුනා, කුණුහරප සහ කුණු රස වැගිරවීමට හැකිනම්, බොහොම ඉකමනින් ජනප්‍රිය වියහැකි බව. නමුත් ආත්ම ගෞරවය පාවාදී ලබන පහත ජනප්‍රියත්වය, මහ පාර මැද තම නිරුවත පෙන්වා ජනප්‍රිය වීමට සමාන නිසාත්, දැනට ලාබ/බාල කුණුහරප ලියන අයට හීනෙන්වත් හිතන්න බැරි කුණුහරප අපි දන්නා නිසාත්, ඔවුන්ට අනුකම්පා කර නිහඬව ඉන්නවා. ඔවුන්ගේ දරුවන් අනාගතේදී ලියන බ්ලොග් කියවුදාට ඔවුන්ට තේරෙයි තමන්ගේ කර්මය පලදෙන හැටි.

        අසමි දකිමි සොයමි ලියන විචාරක

        කැමතියි

      • කියලා වැඩක් නෑ ඒ ගැන… පසුගිය කාලෙ හතු පිපෙන්නා වගේ ඒ ගණයේ බ්ලොග් කිහිපයක් පළවුනා.. මටම පුදුමයි මාසයක් වගේ කාළයක් ඇතුලත පාඨකයො සියගණනක්… හිට්සි ලක්‍ෂයක් ඉක්මවා ගිහින් තිබුණා… නමුත් දැන් ඒ බ්ලොග් පේන්නවත් නෑ..
        ඉක්මන් ජනප්‍රියත්වය හරියට සෝඩා බෝතලය කැඩුවා වගේනෙවැ කොහොමත්…

        කැමතියි

  4. හොඳ ලිපියකි. අද අපේ රටේද ව්‍යසනයක් බවට පත් වෙමින් තිබේ. මෙබඳු ලිපි කීප සියයක් හෝ උපරිම වශයෙන් කීප දහසක් බලන බ්ලොගයකට සීමා නොකර ප්‍රසිද්ධ කරන්නේ නම් වටියි.

    කැමතියි

    • මේ ලිපිය මම පුවත්පතකට යවන්නයි ඉන්නෙ….
      ඇත්ත… ඔබ කියන කතාව ඇත්ත… ඒත් සාමාන්‍ය කතන්දර – වල්පල් ලියන බ්ලොග් වලට එන සෙනග කන්දරාව මගේ බ්ලොග් එකට එන්නෙ නැහැ…. ඒක මම දන්නෙ නැහැ.. සමහර විට බොහෝ දෙනාට රසයක් නැතුව ඇති…. මම කියන දේ තේරුම් ගන්න බැරුව ඇති…
      ඒත් බලන අයට මම ලියනවා… ඒකයි මම කිවුවෙ අන්තිමට කැමති නම් බෙදා ගන්න කියලා..
      මම කරන්න පුළුවන් උපරිමය කරනවා…. අනිත් අයටත් කරන්න පුළුවනි….
      මට බ්ලොග් ලෝකෙ පෞද්ගලික යාළුවො නැහැ… පිරිවරක් නැහැ… ඇත්තෙන්ම හදා ගන්න වෙලාවකුත් නැහැ…

      කැමතියි

  5. බොහොමත්ම ස්තුතියි මේ වගේ වැදගත් ලිපියකට වෙලාව වැයකරපු එක ගැන. මේවා ගැන අපිට සෑහෙන්න ගැඹුරට community medicine කියන සබ්ජෙක්ට් එකේදි කියලා දෙනවා.. වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට initial step එක ගන්න තියෙන අමාරුව සහ ඕන නැති කම.

    කැමතියි

    • මුල තමයි අමාරු… පුරුදු වුනාම කොයි දේත් සාමාන්‍යයි… ඒත් මිනිස්සු ඒ දේට හුරු වෙන්නෙ නැතිනම් ?
      මේවා පාසැල්වලින් ඉඳලා පටන් ගන්න ඕන දේවල්…
      මෑතකදි ඇල්කෙමිච්චි පුතාව රැගෙන ඩී.එස්. පූල් එකට ගිය වෙලේ මේ දේ අත්විඳලා තිබෙනවා. පූල් එකට එන පොඩි එවුන් Michelin පැටියා වගේ ලු.. ඇඟ පුරාම ටයර් ලු.. පූල් එකේ පීනලා එතැනින් යන්නේ ලඟම තියෙන Fast Food Shop එකටලු… එතැනින් හොඳට කාලා ගෙදර යනවලු…
      කාගෙද වැරැද්ද ?

      කැමතියි

  6. බොහොම වැදගත් සටහනක් ඇල්කෙමි මල්ලී. අපේ ගෙදරත් මේ පැත්තට බර දරුවෙක් ඉන්නවා. ඔහු අප කෙලෙස කීවත් නාහන නිසා දැන් කියන එක අතහැර තියෙනවා. ආරයට අපේ පවුලේ දියවැඩියාව හා ප්‍රෙශර් තියෙනවා. මේ නිසා සැලකිය යුතුයි කීවත් නොඅසයි. වයස 27ක් බැවින් අපිට බලපෑම් කරන්නත් බැරිය. ඔන්න මම ඇත්තම කීවා. මේක ශෙයා කලා බලාවිද? දන්නෑ.

    කැමතියි

    • කියන එක අතාරින්න එපා… ඔබමයි පස්සෙ පසුතැවිලි වන්නෙ… ටික ටික පුරුදු කරවන්න… ඔබ කෑම දෙනවිට ඔහුට පෝෂ්‍යදායි දේවල් දෙන්න… පවුලෙ අයට දියවැඩියාව නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න… අපේ මහවෙදනා දාපු වට්ටෝරුව අනුගමනය කරන්න… වරදින්නෙ නැහැ…
      කොහොම වුනත් උත්සාහය අත්හරින්න එපා…

      කැමතියි

  7. බොහොම වැදගත් කරුණු රැගත් ලිපියක් , ඒ වගේම අපේ දෙමව්පියන් වඩාත් අවධානය යොමු කළ යුතු කරුණක් ….

    මමත් මේ ගැන මීට අවුරුද්දකට විතර ඉස්සර ලිපියක් ලීවා ..http://www.nursinglk.com/2011/06/11th-discussion-childhood-obesity.html

    ඔබ කියනවා වගේ මෙවන් ලිපි වලට පැමිණීම් ටිකක් අඩුයි ..හුඟ දෙනෙක් මේව ගැන හිතන්නේ “වැරදුනාට පස්සේ“ ..ඒත් එතකොට ප්‍රමාදයි ..ඒ අපේ මිනිසුන්ගේ අවාසනාව …

    ස්තුතියි ඔබට

    කැමතියි

    • ඇත්තෙන්ම මම සොඳුරු සැව අසපුව ඉඳලා හිටලා කියෙවුවත් මේ ලිපිය ඇස ගැටුනෙ නැහැ… ඔබ මා සඳහන් නොකළ සමහර වැදගත් දේ සඳහන් කරලා තියෙනවා…
      ඇත්තෙන්ම මේක මහා කණගාටුදායක තත්ත්‍වයක්, නමුත් කිසිම කෙනෙක් මේ ගැන අවධානය යොමු නොකිරීම නම් මහාම අපරාධයක්… ඇත්තෙන්ම මේකමයි මම ලංකාවට නැවත එන්න උත්සාහ කරන්නෙ… අපට මේ ගැන ලොකු දෙයක් කරන්නට පුළුවනි…
      මට හැකියාවක් ලැබුණ ගමන්ම ලංකාවට ඇවිත් යමක් කරන්නයි හිතාන ඉන්නෙ.. බලමු තව අවුරුද්දකින් දෙකකින්…
      දිගටම ලියන්න… ඔබ කරන්නෙ මහඟු සේවයක්…. එක් සිතක් හෝ හරිපැත්තට නම්මගන්න පුළුවන් වුනොත් අපට ජීවිත ගණනාවක් බේර ගන්න පුළුවන් වේවි.

      කැමතියි

  8. MSG ගැනත් පුලුවන්නං ලියන්න

    කැමතියි

  9. ඔබට කොමන්ට් කරන කට්ටියට වඩා ඔබේ සහ ඔබ වැනි සමාජයට වැඩදායක ලිපි ලියන අයගේ ඒවා කියවන්නේ හොරමැර කරලා ලොකු තැන්වල ඉන්න එඋවන්ගේ යට තට්ටු.එඋව්වන්ට කොමන්ට් කරන්න වෙලාවක් නැහැ.එම නිසා ඔබගේ වටිනා ලිපි හැකි හැම විටම පලකරන්න.කොමන්ට් 1 උනාට කියවන එඋව්වේ 100යි කියල හිතාගන්න.

    කැමතියි

  10. ඉතාම වටිනා ලිපියක්. දැන් පොඩි ළමයි අතරෙ මේ තත්වය වැඩියි. මම හිතන්නේ මේකට සමහර වැඩිහිටියන් ගේ ක්‍රියාකලාපත් බලපානවා. ළමයා කෙට්ටුයි නම් කොහොමහරි මහත් කරගන්නයි බලන්නේ. ළමයා කෙට්ටු වුණත් නිරෝගියි නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක තේරුම් ගන්නේ නෑ. ළමයා මහත් කරන්නයි හදන්නේ.

    කැමතියි

    • ඕක සමාජයීය ප්‍රශ්නයක්… කෙට්ටු දරුවෙක් දකින කෙනෙක් කියන්නෙ “අනේ මේ දරුවා ඇදිලා ගිහිල්ලා… කන්න දෙන්නෙ නැද්ද ?” කියලා… මොකද දරුවා සනීපෙට ඉන්නවා කියන්නෙ මහතට ඉන්න ඕන කියන මතය සමාජයේ මුල් බැසගෙන තිබෙනවා…
      ඒකයි… ඉතින් බොහොම ටික දෙනයි කියන්නෙ දරුවා නිරෝගී නම් කෙට්ටුවට හිටියට කමක් නෑ කියලා..
      මම නම් කියන්නෙ ඇඳුම් වලටත් සල්ලි ඉතිරියි නෙ කියලා…
      මගේ පැටියත් මම වගේම කෙට්ටුවෙක්.. ඒ ගැන මට දුකක් නෑ… ඌ නිරෝගී නම්..

      කැමතියි

  11. adamai me paththe awe..aththatama enna hethuwa daruwan gana liyapu me post eka.
    awama dakka Aji-no-moto gana liyapu ekath.eka nam wadagath una godak.mage patiyath sathiyata eka wathawak Magi noodles kanawa,lesiwata hadala dunnata eka lipen thiyena warayak pasa mage bada dawilla hadenawa ane mewa kala me lamayata mokak wath unoth kiyala.Dr.kenekugen ahuwath kiyawanne wal pal.
    danuwath weemata awasthawak laba deema wenuwen bohoma sthuthiy obata.

    කැමතියි

  12. පුළුවන් නම් ෆේස්බුක් එන්න ඇල්කෙමිස්ට් මහත්මයා .. බ්ලොග් එක ෆේස්බුක් පේජ් එකක් එක්ක කනෙක්ට් කරලා කරගෙන යද්දී ගොඩක් සාර්ථකයි .ඇත දැකීමෙන් කියන්නේ .මොකද මේ කලේ තියන මිනිස්සු වැඩිපුරම ගැවසෙන සමාජ ජලය ෆේස්බුක් නේ .අපි හොද දේවල් මිනිස්සුන්ට දෙන්න ඕන .එට් එක ටිකක් අමරුයි.. අපිත් හොද දේ මිනිස්සුන්ට දෙක එක 2010 ඒදන් කරගෙන එනවා .. මේ තියෙන්නේ ඒක .www.gannadeshiyade.com

    Liked by 1 person

  1. පින්ග්කිරීම: 2012 ඔක්තෝබර් 14: පිරිමින්ගේ අවයවයේ දිග ලිංගික සුවයට බලපාන අයුරු…… ලිංගික අධ්‍යාපනික පර්යේෂණයක්

  2. පින්ග්කිරීම: 2012 ඔක්තෝබර් 16 : අජි-නෝ-මොටෝ…. අපි-ට-මොටෝ ? අජි-නෝ-මොටෝ නිසා ඇට දිරනවද ? « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Di

  3. පින්ග්කිරීම: සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… ! | ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: