2012 ඔක්තෝබර් 16 : අජි-නෝ-මොටෝ…. අපි-ට-මොටෝ ? අජි-නෝ-මොටෝ නිසා ඇට දිරනවද ?


මගේ පාඨකයෙක් වන “කවුළුව” ඉල්ලීමක් කරලා තිබුණා MSG, නැතිනම් Mono Sodium Glutamate පිළිබඳ පාඨකයා දැනුවත් කළොත් අගෙයි කියලා.. මම ඒ ඉල්ලීමට ගරු කරලා මේ ලිපිය ඉදිරිපත් කරනවා. ඒ වගේම තවත් අදහස් යොමු වුනා මගේ ලිපි තරමක් දිගු වැඩියි කියලා.. මීට පසුව මම හැකි තරම් සංක්‍ෂිප්ත කරලා ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්.. වැඩිපුර විස්තර කළාම ඔභට තේරුම් ගන්න පහසු වන නිසායි මම ටිකක් දිගු ලිපි ලියන්නෙ….

ඒ වගේම තවත් දෙයක් කියන්න අවශ්‍යමයි… පසුගියදා ලියපු පිරිමින්ගේ ලිංගික අවයවයෙ දිග ලිංගික සුවයට බලපාන අයුරු පාඨකයෝ 527 දෙනෙක් බලලා තියෙද්දි… ළමා ස්ථුලතාවය ගැන ලිපිය බලලා තියෙන්නෙ 220යි.. නරකම නෑ,..

අජි-නෝ-මොටෝ වල ඇත්තේ MSG යි

Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමරිකානු  ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්‍ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නෙ. නමුත් මෙය අනෙක් ආහාර සමඟ හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto, Ac’cent, සහ Vestin යන වෙළඳ නාම වලින් ලොව පුරා බෙදාහැරෙනවා.

මෙය ඇත්තෙන්ම ශතවර්ශයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ කිකුනේ ඉකෙඩා (Kikune Ikeda) විසින් මුහුදු පැලෑටියකින් නිස්සාරණය කරගෙන වෙන් කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම “Umami” උමාමි  ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස-ලුණු රස-ඇඹුල් රස-සහ තිත්ත රස වන රස වලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්‍ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනීකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමඟ සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්‍ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රාව්‍යතාවයක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් MSG ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළඳපළට ඉදිරිපත් කළා.

ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමඟ එකතුකළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ.. නියම ප්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරක වල ඇති රසයන් උළුප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමඟ හොඳින් මුසු වෙනවා. ඒ කියන්නෙ ඒ ආහාර වල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් භාවිතා කළහොත් පමණයි.. වැඩිපුර භාවිතා කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නෙ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්‍ෂණය නම් නියුක්ලියෝටයිඩ සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාර වලට අවශ්‍ය ලුණු වැනි දේ වල ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට MSG දමා ආහාරය රසවත් කිරීම නිසා ලුණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිතා කරන ලුණු ප්‍රමාණය 30% ක් අඩු කරගන්නට MSG භාවිතා කිරීමෙන් හැකි වෙනවා ලු. ලුණු වල ඇති 39% ක් වන සෝඩියම් ප්‍රතිශතය වෙනුවට MSG  වල ඇත්තේ 12% ක සෝඩියම් ප්‍රතිශතයක්.

අජි-නෝ-මොටෝ අනතුරුදායකද ?

MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාළයක් රසකාරකයක් ලෙස භාවිතා වෙමින් පවතිනවා. මේ කාළය තුළ මෙහි ආරක්‍ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුවා ආහාර පිළිබඳ ආරක්‍ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නෙ.  “MSG symptom complex” කියන රෝග තත්ත්‍වය නැතිනම්  “Chinese Restaurant Syndrome” කියන රෝග තත්ත්‍වය මුලින්ම වාර්තා වුනේ Robert Ho Man Kwok  විසින් ඇමරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පස් ඇති වූ රෝගී තත්ත්‍වයක් නිසා. ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවයක් හෝ ප්‍රතික්‍රියාවක් නිසා මේ තත්ත්‍වය ඇතිවිය හැකි වූ බවයි. වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සම්බන්ධය කිසිම දාක අධ්‍යයනය නොවුනත්,  එදා සිට  MSG මේ රෝග තත්ත්‍වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුනා.  MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 g/kg ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට- මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්)  මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණ වලට පසුව  රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හොත් යෙදෙන MSG ප්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විශ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නෙ. 

MSG නිසා ඇතිවන රෝගී තත්ත්‍වයන් පිළිබඳ පැහැදිළිතාවයක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්‍වයන්හි එකඟතාවයක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තා වලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්‍වයක් වත් වාර්තා වී නැහැ.  එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරනලද පර්යේෂණ වලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්‍වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට් වල ඇති දායකත්‍වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් දැක්වී නැහැ.

කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට MSG නිසා සුළු අපහසුතා ඇතිවෙන්න පුළුවන්. නමුත් ඔය කියන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්‍වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. මම වුනත් ආහාර රසකාරකයක් ලෙස MSG අඩංගු දෑ දමන්නෙ නැහැ. ඇඟට ග්ලූටමේට් අවශ්‍ය ප්‍රමාණයට නිපදවෙනවා… පිටින් ගන්න අවශ්‍ය නම් විටමින් හෝ වෙනත් ආකාරයකට ගත හැකියි.. අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ…

නමුත් බොහෝ චීන අවන්හල් සහ අනෙකුත් ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිතා වන බව අමතක කරන්න එපා… ඒ කෑම නිවසේ හදන කෑම වලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි…

ඔබ තීරණය කරන්න..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඇල්කෙමියාගේ රසායනාගාරය Blogger.com එකෙත් තියෙනවා.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 16, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 24.

  1. ඇට දිරවන කතාව ජපන් වයසක සහ මැදිවයසේ අයමත් කියනවා.කොකාකෝල වලටත් කියන්නේ ඒ ටිකමයි.ජපන් අය තදට හැපෙන කෑම කන්න ප්‍රිය කරන්නේ නැහැ.සමහර අය හරක්මස් පිසීමට පෙර කොකකෝලවල පැය කීපයක් තබල සාදා ගන්නවා කෑමට.එවිට මෙලෙක් බවක් තිබෙනවා කියල.මමනම් ඇත්ත,නැත්ත දන්නේ නැහැ ඒවා කන්නේ නැති නිසා.

    කැමතියි

    • කොකා කෝලා වල ඇත්තෙන්ම පොස්ෆොරික් අම්ලය තියෙනවා.. ඒ නිසා කොකාකෝලා ශරීරයට අහිතකරයි. නමුත් අත්තෙන්ම අහිතකර වෙන්නේ කොකා කෝලා මිලි ලීටර 100 කෑන් එකක සීනි ග්‍රෑම් 27ත් 35ත් අතර ප්‍රමාණයක් තිබීමයි. ඒ කියන්නෙ දිනකට අවශ්‍ය සීනි ප්‍රමාණය වගේ කිහිප ගුණයක්…
      කොකා කෝලා විතරක් නොවෙයි ඕනම බීම වර්ගයක මේ ප්‍රශ්නය තිබෙනවා. ඒකයි මම කියන්නෙ ගෙදර හදාගෙන බොන්න කියලා.

      කැමතියි

  2. බොහොම වැදගත් මාතෘකාවක් ..මොකද මේ ගැන හුඟක් අය අතරේ සැකසංකා තිබුණා . ස්තුතියි ඔබට මෙවන් හරවත් දේ සිංහල බ්ලොග් අවකාශය වෙත එක් කරනවාට …

    කැමතියි

  3. ඒ කියන්නෙ තාම හරියටම වැරදි කියන්ට තරම් හොයාගෙන නැහැ නමුත් හොයාගන්ට ඉඩ තියෙනවා කියන එක නේද?

    කැමතියි

    • ඇත්ත… මේක හරියට අර ෆුගු මත්ස්‍යයා කනවා වගේ… කෑවොත් මැරෙන්නෙ නැහැ.. නමුත් මැරෙන්න ඉඩ තිබෙනවා…
      MSG භාවිතා කරන්න පටන් අරන් ශතවර්ශයකට අධිකයි… නමුත් විශාල අර්බුධයක් ඇතැයි සොයාගෙන නැහැ.. කටකතා සහ Anti MSG ප්‍රචාර තිබෙනවා. ඒවා ඉතිං හැම තැනම හැම දේකම තියෙනවා නේ. ඒකයි මම කිවුවෙ.. මම කියන්නෙ නැහැ කන්න කියලා… මොනවටද අමතර දේවල් ඇඟට දා ගන්නෙ….

      කැමතියි

  4. අදත් චයිනීස්ම කනවා.. දැන් ඉතින අවුලක් නෑනේ. පුදුම රහක්නේ තියෙන්නේ කෑම වලට එක් කලාම.. අඩුගානේ කාළ මරණයක් වෙනෙවනේ..

    කැමතියි

  5. මමත් නිතර මේ පැත්තේ එනවා. එත් කමෙන්ට් කරන්නේ ඉඳහිට. මේ ලිපිය නම් වැදගත්. මොකක්ද මේ ඌරු මස් එක්ක මේකේ තියන සම්බන්ධෙ? ඒ කතාව බොරුවක් නේද? මොකද මම ඉන්න අරාබියේ මේ අජිනෝ මොටෝ විකුනන්න එහෙනම් කොහොමත් දෙන්නේ නෑ.

    “ඒ වගේම තවත් දෙයක් කියන්න අවශ්‍යමයි… පසුගියදා ලියපු පිරිමින්ගේ ලිංගික අවයවයෙ දිග ලිංගික සුවයට බලපාන අයුරු පාඨකයෝ 527 දෙනෙක් බලලා තියෙද්දි… ළමා ස්ථුලතාවය ගැන ලිපිය බලලා තියෙන්නෙ 220යි.. නරකම නෑ,..”

    මෙන්න මේ ටිකට නම් මම අකමැතියි. ඔබ වගේ බ්ලොග් කරුවෙක් මේවගේ දෙයක් ගැන කීම ඇත්තෙන්ම මටනම් නොගැලපෙන දෙයක් ලෙසයි පෙනෙන්නේ.

    කැමතියි

    • මම එතැනදි අදහස් කළේ අර රවි කියපු කතාව… ලිංගිකත්‍වය අනෙක් දේට වඩා ඉස්මතු වෙනවා හැම තැනදිම… හොඳයි ඔබම කියන්න කාන්තා යට ඇඳුම් වෙළඳ දැන්වීමක යට ඇඳුම ප්‍රචාරය කරන්න අවශ්‍ය නම් ඇයි යට ඇඳුමක පින්තූරයක් පමණක් හෝ එතරම් ලස්සන නැති ගැහැණියකගෙ පින්තූරයක් නොදමන්නෙ ? එතැන තියෙන්නෙ පියකරු ගැහැණියකගෙ ලිංගිකත්‍වය උළුප්පලා ගැහැණු රවටන්න… ඒ වගේ තමයි.. ටයර් දැන්වීම් වල ගෑණු බාගෙට ඇඳගෙන ඉන්නෙ ඇයි.. ?
      ඌරු මස් එක්ක අජිනො මොටෝ සම්බන්ධයක් ගැන කතාවක් මම නම් දන්නෙ නැහැ… හොයලා බලන්න වටිනවා.

      කැමතියි

  6. / ඒ වගේම තවත් දෙයක් කියන්න අවශ්‍යමයි… පසුගියදා ලියපු පිරිමින්ගේ ලිංගික අවයවයෙ දිග ලිංගික සුවයට බලපාන අයුරු පාඨකයෝ 527 දෙනෙක් බලලා තියෙද්දි… ළමා ස්ථුලතාවය ගැන ලිපිය බලලා තියෙන්නෙ 220යි.. නරකම නෑ,.. /

    ඔන්න ඔතනින් අපිට එතෑකි ඇල් මෙහෙම නිගමනයකට….සිංහල වියුණු පාඨකයින් අතර පිරිමි ලිංගික අවයවයේ දිග පිළිබඳ ගැටළුවක් ඇත්තන් සහ දරුවන් ස්ථුල තාවයෙන් පෙලෙන දෙමව්පියන් අතර අනුපාතය 527 : 220 වේ.

    අජි නො මොටෝ ගැන සවිස්තර පැහැදිලි කිරීමට ස්තූතියි ඇල්…ඔය ඇට දිරන කතාව කොහෙං ආවද මන්ද….කොහොම හරි මම දන්න උදවියගෙන් 90% ඕක විශ්වාස කරනව….මගෙ බහුතරයක් යාලුවො රෙස්ටොරන්ට් එහෙකින් ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ලස් ඕඩර් කරද්දි විශේෂයෙන්ම මියනව අජි නො මොටෝ නම් දාන්න එපාය කියල…..

    කැමතියි

  7. මේ මතය සෑහෙන්න සමාජ ගත වෙලා.. කොච්චර නූගත් මනුස්සයා උනත් කියනවා ඕවා දැම්මම ඇට දිරනවා කියලා. බොහෝම අගේ ඇති ලිපියක්.මූනු පොතේද බෙදා ගනිමි! 🙂

    කැමතියි

  8. හපොයි ඇල්කෙමියෝ මේක කියෙව්වාම මම හොඳටම අප්සෙට් වුනානේ. මම අහලා තියෙන්නෙ anti-MSG ප්‍රොපගැන්ඩා එක විතරයි. මේකට විදුසර වගේ පත්තර සෑහෙන්න බලපෑවා. හරි. තැන් ඉතින් ඒ ඔක්කොම වෙනස් කරන්න එපායැ.

    මම ලමයින්වත් කිව්වෙ MSG වල නරකමයි. ගෙදර හරියට ගේන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි අර නූඩ්ල්ස් වල එන සුප් පැකට් එකත් එහෙමම විසි කරනවා ට්‍රෑෂ්කෑන් එකට.

    දැන් ඔක්කොම ෆෝර්මැට් කරන්න එපායැ. ඇල්කෙමියත් කරන වැඩ!

    මේකෙ අකුරු පොඩ්ඩක් ලොකු කලොත් මොකද?

    Tried to comment on your blogger blog, but blogger’s gone bananas these days.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    කැමතියි

  9. ඒකත් එහෙමද??? 🙂

    අදතමා ඔන්න ඇත්ත දැනගත්තේ… වටිනවා වටිනවා

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    කැමතියි

  10. ස්තුතියි අගනා ලිපියක්!මෙහි වට්නම කැල්ල නම් ඔබ ලියු පරිදි -ඔබම තීරණය කරන්න කියන කෑල්ලයි.
    මා දන්නා පරිදි MSG වලින් වන විනාශය තේරුම් ගැනීමට නම් මේ විෂය ගැන තව ගැඹුරින් අධ්‍යනය කල යුතු වුවක්.ලාභ ලැබීමේ අදහසින් පර්යේෂණ වල ප්‍රතිපල වෙනස් කිරීම,දේශපාලන බලවේග නිසා සත්‍ය යටපත් කිරීම ,ලෝක සවුක්ය සංවිදානය කොටි ගණන් හම්බකරන ව්‍යාපාරිකයින්ගේ ඔඩොක්කුවට වැටීම ,වෛද්‍ය විශේෂද්නයන් ගේ කුට බලපෑම් සහ මේ කිසිත් නොදන්නා නුගතුන්ගේ ඔලමොට්ටල කම යනාදී දහසකුත් එකක් කරුණු ඉතාම සුපරික්ෂාකාරිව බැලීමෙන් පසුව ස්වාදීන පර්යේෂකයන් සොයා ගත් තොරතුරු අනුව මද්‍යස්තව බැලීමේදී පෙනීයන්නේ MSG නිසා දිරායන්නේ ඇටකටු විතරක් නොව මුළු ශරීරයේ ඇති සැම ඉන්ද්‍රියයක්ම බවයි.
    නමුත් ඔබ කියන ලෙස මටත් මගේ දරුවටත් ලැබෙන ආහාරය තීරණය කිරීම එකිනෙකාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියකි.එහෙත් ප්‍රජතන්ත්රියේ අර්ථකථනය කටට රස නිසා මගේ දරුවටත් එකම දෙනවා යයි කීම එකිනෙකාගේ දැනුම් මට්ටමට ප්‍රජාතන්ත්‍රය අවබෝධ කරගැනීමක් මිස වෙන යමක් නැත.
    ප.ලි -ඔබෙන් එන ඊය එනකම් තාම බලා ඉමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: