Daily Archives: ඔක්තෝබර් 18, 2012

2012 ඔක්තෝබර් 18: වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම…….. මේවා ගෙවන්න වෙන්නෙ පොළියත් එක්කයි….


අප නිතරම උත්සාහ කරන්නේ පහසු ලාභදායී සහ වාසියක් ගෙනදෙන යමක් ඉටු කිරීමටය. වරෙක බිල් ගේට්ස් පැවසූවේ “මා කිසියම් අපහසු කාර්යයක් භාර දෙන්නේ කම්මැලිම පුද්ගලයා වෙතයි – ඒ ඔහු කෙසේ හෝ එය පසුවෙන් ඉටු කිරීමට මාර්ගයක් සොයා ගන්නා නිසාය” යනුවෙනි. කිසියම් දෙයක් සැළසුම් කිරීමේදී අප වර්තමානය පමණක් සළකා බැලුව හොත් අනාගතයේදී සිදු කළ යුතු වන සංශෝධන – එකතු කිරීම් වලට ඉඩ නොතිබෙනු ඇත. කොළඹ ගාල්ල මුහුදුබඩ මාර්ගය මෙතෙක් කළක් පුළුල් කළ නොහැකිව තිබුණේ එය සැලසුම් කිරීමේදී පාර පළල් කිරීමකට ඉඩ නොතබා ඉදි කිරීම නිසාය. එසේම මාර්ගයක් සැකසීමේදී එයට යටින් ඇදෙන ජලනල- දුරකථන රැහැන් ආදියට එක්කෝ ඉඩ තබා හෝ පසෙකින් ඒ රැහැන් ඇදීම නොකිරීම නිසා බොහෝ විට වරෙක දුරකථන සමාගම් වලින්ද තවත් වරෙක ජලසම්පාදන මණ්ඩලයෙන්ද පාර හාරනු අප බොහෝ දුරට දැකිය හැක. ඒ හරිහැටි සම්බන්ධීකරණයක් නොමැති නිසාවෙනි.

අපට මෑත අතීතයේදී වූ විදුලි බලශක්ති අර්බුධය හමුවේ ආණ්ඩුවේ පිහිටට පැමිණියේ චීනයයි. චීනයෙන් අඩු මිලට ලැබුණ ගල් අඟුරු බලාගාරය නිසා අනාගතයේ ඉතා අඩු මුදලට බලශක්තිය රටටම දිය හැකි බවට උදම් ඇනුවේ වර්තමාන විදුලිබල ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රණවකයි. ඒ අනුව අපේ පාරිභෝගිකයෝ ද අඩු මිලට විදුලිබලය ලැබෙන තෙක් දත-කට නියවා බලන් හිටි අයුරු අපට මතකය. ඒ සියල්ල දැන් දහවල් සිහින කරමින් තාප බලාගාරය බොහෝ විට අක්‍රීයව හෝ නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබුණි. කළෙකින් එසේ වූ බව අසන්නට නොලැබීමත් එක්තරා අන්දමක සහනයකි. බොහෝ විට චීනුන් ආධාර දෙන්නේ තමන්ට වාසියක් සැලසෙන ආකාරයටමය. ගිං ගඟ යෝජනා ක්‍රමයට ලැබුණ චීන ආධාර වලින් බොහොමයක් වැය වූයේ චීන ජාතිකයින්ගේ වේතනයන් සහ පහසුකම් සඳහා වේ. ඒ අනුව ආධාර වලින් වැඩි කොටසක් නැවතත් චීනය බලා ගිය විට අපට අවාසියක් සිදු විය හැක. (මේ පිළිබඳ ගිවිසුම පිළිබඳ තොරතුරු මා නොදන්නා නිසා අවාසියක් ඇත්තටම සිදු වී දැයි නොදනිමි). කෙළවරපිටියේ තාප බලාගාරයද එවැනි ආධාරයකි. තාප බලාගාරය ආධාර වශයෙන් ලැබුණද එයට අවශ්‍ය අමුද්‍රව්‍යය වන ගල් අඟුරු ආනයනය කළ යුතු වන්නේ චීනයෙනි. ඒ අනුව චීනයට අළුත් පාරිභෝගිකයෙකු ඇතිවේ. අපි චීනයට මුදල් ගෙවා ගල් අඟුරු ගනිමු. ප්‍රශ්නය එය නොවේ.

ප්‍රශ්නය වන්නේ මෙගා වොට් 300 ක් නිශ්පාදනය සඳහා වසරකට ගල් අඟුරු ටොන් 70,000 ක් දහනය  කිරීමයි. ගල් අඟුරු කියන්නෙ තනිකර කාබන්.. ඉතිං කාබන් ටොන් 70,000 ක් දහනය වෙනකොට එයින් වසරකට CO2 ටොන් කීයක් නිශ්පාදනය වෙනවද ? ගණන හදන්නෙ මෙහෙමයි..

ගල් අඟුරු ටොන් එකකින් CO2 ටොන් 2.86 ක් පිටවෙනවා. ඒක 70,000 න් වැඩි කළාම එන ගාන ටොන් 200,200 ක්.. ඒ කියන්නෙ ලංකාව බලශක්ති ජනනය සඳහා දහනය කරන ගල් අඟුරු ප්‍රමාණයෙන් පමණක් වායු ගෝලයට මුදා හරින CO2 ප්‍රමාණය ටොන් 200,200 ක්.. ලංකාවෙ ජනගහනය සමඟ සසඳත්දී මෙය එක පුද්ගලයෙකුට CO2 කිලෝ 9.53 ක් වුනත් සාපේක්‍ෂව සළකා බලන විට එකතුව ලොකු අගයක්. එපමණක් නොවෙයි, මේ නිසා පරිසරයට එකතු වන තාපයත් අධිකයි. ඉතින් අපි හැම දෙනාම අවුරුද්දකට CO2 කිලෝ 10 ක් පරිසරයට මුදා හරිනවා. මේ අන් ක්‍රම වලින් විදුලිය නිපදවීම, ප්‍රවාහණය, ශ්වසනය, දහනය ආදී දේ වලින් පරිසරයට එකතු වන CO2 ප්‍රමාණය ගණනය නොකර සිදු කළ ගණන් බැලීමක්.

ඉතින් මේ එකතු කරන CO2 ප්‍රමාණය නිසා සිදු වන හානි ගැන මම දිගින් දිගටම කියා තිබෙනවා… මේ අපි අපේ දරුවන්ගේ අනාගතයට කරන විනාශයක්.. අපට සුදුසු බලශක්ති ප්‍රභව මොනවා ද ? ලංකාව සමකය ආසන්නයේ තිබෙන රටක්. මේ නිසා ලංකාවට අවම වශයෙන් පැය 10 ක් වත් සූර්යාලෝකය පතිත වන අතර කාර්යක්‍ෂම ලෙස සැකසූ සූර්ය කෝෂයකින් සාමාන්‍යයෙන් පැය හයක් පමණ වත් සූර්ය බල ශක්තිය විදුලිය බවට හරවා ගන්නට හැකියි. එසේම රට වටා ඇති සාගරයේ සහ සුළං වල බල මහිමයෙන් සුළං ආධාරයෙන් ක්‍රියා කරන ටර්බයින සැකසීමෙන් විදුලිය නිපදවා ගැනීම කළ හැකියි. මෙසේ සැලසුම් කළ බලශක්ති ව්‍යාපෘති කිහිපයක් නුදුරු අනාගතයේදී ජනතා අයිතියට පැවරෙනවා. ඒ උතුරේ දූපත් ආශ්‍රිතව. එය ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

අපට කළ හැක්කේ මෙසේ සූර්ය ශක්තියත්, සුළං බලයත් උපයෝගී කරගෙන දීර්ඝ කාලීන ආයෝජන ලෙස නිවැසියන්ටම බලශක්තිය නිපදවා ප්‍රධාන ප්‍රවාහයට එකතු කරන අන්දමේ ක්‍රියාවලියක් සැකසීමයි. (Smart metering) එයින් විදුලි බිල අඩු වනවා පමණක් නොවෙයි, ලංකාවේ බලශක්ති ප්‍රවාහයට පුනර්ජනනීය බලශක්තිය එකතු වීමක් සිදු වෙනවා. මේ මොනවා කළත් විදුලි බල මණ්ඩලයේ සිදු වන මූල්‍ය නාස්තිය අවම නොකළහොත් මේ කිසි දෙයකින් වාසියක් ලැබෙන්නෙ නැහැ. කොහොම වුනත් වර්තමාන විදුලි බල හා බලශක්ති ඇමති තුමා විදුලි ඉංජිනේරු වරයෙක් වීම නිසාමත් ඔහු අන් අයට වඩා තරමක් වෙනස් ලෙස නව ප්‍රවණතා ගැන හිතන අයෙක් බව පෙනී යන නිසාත්, තරමක බලාපොරොත්තු තැබිය හැකියි..

නමුත් අපි අනාගතය ගැන සිතා පුනර්ජනනීය බලශක්තිය ගැන මීට වඩා දැඩි ලෙස ක්‍රියා කළ යුතුයි…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඇල්කෙමියාගේ රසායනාගාරය දැන් Blogger.com එකෙත් තියෙනවා.

Advertisements
%d bloggers like this: