2012 ඔක්තෝබර් 26 : මේ මමයි…. මගේ ජීවිතයයි…. මගේ ඉට්ටැයිල් එකයි….


කාලෙකට පස්සෙ මම මගේ ජීවිතයෙ කොටසක් ගැන දිනපොතේ ලියනවා….. දිනපොතක් වුනාම ඉඳලා හිටලාවත් තමන් ගැනත් ලියන්න එපා යෑ…. නැද්ද මං අහන්නෙ ? සමහර විට ඔබට මතක ඇති මම පසුගිය වතාවෙ ලංකාවට ගිය වෙලාවෙ අතින් සල්ලි දීලා හරක් බලපු කතාවක් කිවුවා.. ඒ කියන්නෙ මගේ උවමනාවටම මමම වියදම් කරගෙන ගිහින් කරපු සමාජ සත්කාරයක්…

මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා….

ඉතිං ඔය සත්කාරයෙ ප්‍රතිඵල ආවෙ අදයි… එක අතකට මට බොහොම සතුටු දවසක්… වැපිරූ බීජ වල අස්වැන්න මේ වගේ ලැබෙන කොට ඕනම ගොවියෙකුට තවත් වගා කරන්න හිතෙන එක අහන්න දෙයක් නොවෙයි.

මම ලංකාවට නිවාඩුවට ගිය හැම වතාවකම රසායන විද්‍යා ආයතනයේ සිසුන් වෙනුවෙන් පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යාපනය ගැනත් දේශන පවත්වලා තිබෙනවා. ඒ නිසාම පශ්චාත් උපාධිය හදාරන්න යොමු වෙච්ච අයත් ඒ අතර ඉන්නවා. පෞද්ගලිකව මම උදවු කරපු කිහිප දෙනෙක්ම සාර්ථකව ආචාර්ය උපාධි අරගෙන මටත් වඩා හොඳ තැන්වල ඉන්නවා. ඒ අතරින් එක් තැනැත්තියක් නිවුයෝක් නුවර විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්ය වරියක්, තවත් තැනැත්තියක් පර්යේෂණ ආයතනයක විද්‍යාඥ වරියක්, තවත් කෙනෙක් ටෙක්සාස් වල තෙල් සමාගමක රසායනඥයෙක්. තවත් කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ ආචාර් උපාධිය නිම කරනවා. තවත් කෙනෙක් කැනඩාවෙ ආචාර්ය උපාධිය නිම කරනවා. මේ මම ඍජුව දායක වෙච්ච ජීවිත. ඔබ දන්නා ජනප්‍රිය බ්ලොග් තරුවකටත් මම උදවු කරන්න උත්සාහ කළා… නමුත් ඔහු මම උදවු කළ තැනටත් වඩා හොඳ තැනකට ගියා… ඒ ගැන මම බොහොම සතුටුයි. මම යුනිලීවර් ආයතනයෙන් පිටවෙනකොට එතැන දොර ඇරලා දීපු දෙදෙනෙකු දැන් ඒ ආයතනයේ බොහොම ඉහළ තැන්වල.. මේ හැම දෙනාම ඉන්න තැන් මට වඩා ඉහළයි.. පහන් කන්ද පාමුල අඳුරු වුනාට පහන් කන්දට ප්‍රශ්නයක් නෑ..  ඔවුන් ඉහළට ගිහින් හොඳින් වැජඹෙනවා නම් ඒ ඇති. ඔවුනුත් අනුන්ට උදව් කරලා තවත් ජීවිත එළිය කරනවා නම් ඊටත් වඩා හොඳයි… ඒ මම හිතන හැටි.

ඉතින් මම මේ වතාවෙ ලංකාවට ගියේ දිගු නිවාඩුවකට. ඒ නිසාම රසායන විද්‍යා ආයතනයේ සිසුන්ට එක දවසකට වඩා වැය කරන්න මට හැකියාව තිබුණා. ඔවුන් වෙනුවෙන් මම මේ වතාවෙ සංවිධානය කළේ Presentation Methods කියන වැඩමුළුව. දිනකට පැය දෙක ගණනෙ දින පහක් එක දිගට තිබුණ මේ වැඩමුළුව සමහර දවස්වල පැය තුනක් හතරක් දක්වා විහිදුනා. අවසානයේ සිසුන් 8 දෙනෙකුගේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීම් එළියට ගන්නට මට හැකි වුනා පමණක් නොවෙයි ඔවුන් ඒ සඳහා පුහුණු කරවන්නටත් හැකියාව ලැබුණා. ඔවුන් සියළුම දෙනා ඒ තමන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර තිබුණේ අද.. ඉතින් ඒ අවස්ථාවෙ ගනිපු පින්තූරත් එක්ක ඔවුන් මාවත් අමතක කරලා නැහැ. එදා වැඩමුළුව අවසානයේ මාත් සමඟ ගනිපු පින්තූරයම අද මා නොමැතිව – නමුත් මගේ ඉඩ මාවෙනුවෙන්ම තබා ඔවුන් නැවත අරගෙන තිබුණා…

මේ තියෙන්නේ ඒ පින්තූර දෙක…

පෙර සහ පසු

ඉතින් මට සන්තෝෂ ඒ ගැන පමණක්ම නොවෙයි. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් මට යමක් කරන්නට පුළුවන් වීම ගැන.. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කිසියම් දායකත්‍වයක් වෙන්නට පුළුවන් වීම ගැන. මගේ දැක්ම  මේ බ්ලොග් අඩවියේ ඉහළින්ම තිබෙනවා. මම හිතන අන්දමට දැනුම කිසිදාක බෙදා නොගත්තොත් ඒ දැනුමෙන් ඇති පලක් නැහැ. තමාත් සමඟම ඒ දැනුමත් මියෑදෙනවා. තමන් මියෙන්නට පෙර ඒ දැනුම ඊලඟ පරම්පරාව වෙත යැවීමක් කළේ නැතිනම් තමන් ඒ ජීවත් වූ කාළයෙන් වැඩක් වෙන්නෙ නැහැ. ඒ නිසාම තමයි කිසිදු ගුරු මුෂ්ඨියක් නොතබාගෙන මගේ දැනුම බෙදා හරින්න මම උත්සාහ කරන්නෙ…

මේ තියෙන්නෙ ඔවුන්ගෙන් කෙනෙක් මට එවූ ඊයක්

“Dear sir,
Finally its over………..in fact in a very good way. The research sessions went really well. we all did our best to make you proud. talking about myself, the lecturers at the audience said ”well done” including Prof. G.(Edited for privacy) and my supervisor was really happy as well, she said that we’ll be publishing my research soon. the panel asked some questions about commercializing my product and I managed to answer them well (I guess)……….Thanks a load sir, none of this would have been achieved without your guidance……!
with best regards,
H (Edited for privacy)”

ඒත් අපේ සමහර ඇත්තන් නම් හිතන්නෙ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත් නිසා අනුන්ටත් ඒ අපහසුවම රැගෙන ඉගෙන ගත යුතුයි කියලා. හිතන්න, ඔවුන් ඔබ ඉගෙන ගත් දේම සෑහෙන කාළයක් බොහොම අමාරුවෙන් ඉගෙන ගනිද්දී ඔබ ඒ සියල්ල දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට අළුත් දෙයක් ඉගෙන ගන්න තවත් කාළයක් වැය කරන්න වෙනවා. ඔබ ඔවුනට ඒ දේවල් කියා දුන්නා නම්, ඔවුන් බොහොම කෙටි කාළයකින් තවත් දේ ඉගෙන ගන්නවා නේද ? සමහරවිට ඒ ඉගෙන ගත් දේ ඉතා වැදගත් දෙයක් වන්නටත් පිළිවනි.

ඉතින් මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මගේ දැනුම බෙදා ගන්න උත්සාහ කරන්නෙ ඒකයි. මම ඔබව දැනුවත් කරන්න ලිපි ලියද්දි මම කොච්චර දැනුවත් වෙනවාද කියලා මටම පුදුමයි. සමහර ලිපි වෙනුවෙන් පසුබිමට තවත් ලිපි දහයක් පහලොවක් පමණ කියවන්නට මට අවස්ථාව ලැබෙනවා. ඒ හැම දෙයින්ම වෙන්නෙ මම තවත් දැනුවත් වීම. මම  බ්ලොග් ලියන්නන්ට  ගෞරව කරන්නෙ ඔවුන් තමන් සතු දැනුම තම සීමා මායිම් වලින් ඔබ්බට විහිදුවන්න කරන වෑයම වෙනුවෙන්. කතන්දරයක් හෝ වේවා, අත්දැකීමක් හෝ වේවා ඒ සියල්ලෙන් දැනුවත් වෙන්නෙ ඒ ලිපි බලන පාඨකයා. ඒ නිසාම මම බිලොග් ලියන ඔබ වෙනුවෙන් හිස නමා ආචාර කරනවා.

දැනුම බෙදන්න බෙදන්න ඔබ මිනිසුන් එකතු කරගන්නවා 

දැනුම බෙදන්න බෙදන්න ඔබ තරහකාරයින් අඩු කරගන්නවා. 

දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබට ආදරය කරන අය වැඩි කරගන්නවා.

දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබේ ජීවිතය අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.

ඒ නිසාම, කවදාක හෝ ඔබ මිය ගියාම ඔබත් එක්ක යන්න එන්නෙ ඔබ එකතු කරන සල්ලි නොවෙයි.. ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරපු මිනිසුන් හෙළන සුසුම්, ඔවුන්ගේ මතකයන්….

ඔබ අනුන්ට සේවයක් කරන්නට ඔබ දේශපාලනඥයෙක් හෝ සමාජ සේවකයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ඉඩ තිබෙන කාළයෙන් පොඩිත්තක් අනුන් වෙනුවෙන් වැය කරන්න… කොහොමත් දේශපාලනඥයො ඉන්නෙ අනුන්ට සේවය කරන්න නෙවෙයිනෙ. බලන්න ඔබ අවට බොහෝ දෙනෙකු ඇති ඔබේ සේවය අවශ්‍ය, සමහරු උදවු ඉල්ලන්න බයයි. තවත් සමහරු ලැජ්ජයි.  මේ වගේ සංස්කෘතික බැමි වලින් හැමදාම අපි බැඳිලා ඉන්නෙ… ඔබයි සේවයක් ලබා දෙන්න ඕන… සමහරවිට ඔබ හිතනවා ඇති ” ඇයි මම පැනලා දෙන්නෙ ?” කියලා… අපි ආත්මාර්ථකාමී වෙන්න වෙන්න සමාජයත් අපට ආත්මාර්ථකාමී වෙනවා.. ඔබ යමෙකුට උදවු කළොත්, එය පෙරළා ඔබට නොලැබෙන්න පුළුවනි, නමුත් අර උදවු ලබපු පුද්ගලයා වෙනත් කෙනෙකුට කරන උදවුවක් මාර්ගයෙන් ඔබට යමක් ලැබෙන්නට පුළුවනි.

එක්තරා පුද්ගලයෙකු දිනක් පාළු පාරක වාහනයෙන් යද්දි අතරමඟ වාහනයක් නවතාගෙන එය පරීක්‍ෂා කරමින් හිටපු පුද්ගලයෙක් දැක ඒ අසලින් නැවැත්වූවා. වාහනයෙන් බැස ගිය ඔහු දුටුවෙ ඒ වාහනය ක්‍රියා විරහිත වී ඇති බවයි. ඒ පුද්ගලයා ශල්‍ය වෛද්‍යවරයෙක් බවත් ඔහුට ඉක්මනින් රෝහළට යා යුතු බවත් අර පුද්ගලයාට දැන්වූවා. ඒ පුද්ගලයාත් නගරයට යන නිසාම ඒ වෛද්‍යවරයා රෝහල අසලින් දමාගෙන යාමට ඔහු එකඟ වුනා. රෝහල අසලින් වෛද්‍යවරයා ඇරලූ ඔහු නගරයට යනවිට ලැබුණ දුරකථන ඇමතුම ඒ තරම් සුබදායී එකක් නොවෙයි. ඒ ඔහුගේ පුතා රිය අනතුරකට ලක් වී රෝහල්ගත කර ඇතිබව.. වහාම ඔහු රෝහලට යනවිට ඔහුගේ පුතා ශල්‍යාගාරයට රැගෙන ගොස් තිබුණා. අවසානයේ ශල්‍යාගාරයේ දොර හැරගෙන ආවෙ අර මුලින් ඔහු උදවු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා. ඔහු බොහොම අමාරුවෙන් අර පුද්ගලයාගේ පුතා බේරගෙන තිබුණා. අර මුලින් උදවු කළ පුද්ගලයා කිසි විටෙක හිතන්න නැතුව ඇති තමන් කළ සුළු උපකාරයට මේ ආකාරයෙන් ප්‍රතිඋපකාර ලැබෙයි කියලා… නමුත් ඒ දේවල් එහෙම වෙන්න පුළුවනි.

මේ කතාව ගෙතූ එකක් වෙන්න පුළුවන්.. නමුත්, මේ වගේ සත්‍ය සිදුවීම් අනන්තව ලෝකයේ සිදු වෙනවා.

ඉතින් ඔබම හිතන්න… ඔබ සල්ලි අරන් පරළොව යනවාද, නැතිනම් ඔබට ආදරය කරපු මිනිසුන්ගේ සුසුම් අරන් – මතකයන් අරන් පරළොව යනවාද කියා, …

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේකම Blogger.com එකෙත් තියෙනවා.

Advertisements

Posted on ඔක්තෝබර් 26, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 19.

  1. ඉතාම විශිෂ්ටයි!ඔබ සිතන විදියට හුගක් අය සිතනවානම් කොපමණ දෙනකුට ප්‍රයෝජනවත් වෙයිද?නමුත් එහෙම හිතන අය කීයෙන් කීදෙනාද ඉන්නේ?මෙහෙමෙ ලියන එක ඉතාමත් හොදයි,”සල්ලි අරන් පරලොව”යන්න හිතාගෙන වැඩ කරන අයගේ ඇස් ඇරෙන්නත් එක්ක.

  2. දයාබර ඇල්,
    මිතුරෙක් වශයෙන් මට කියන්න තියන්නේ මෙච්චරයි. ඔබ නියම “මනුස්සයෙක්”.

    • බොහොම ස්තූතියි මහවෙදනාණෙනි.
      ඔබ : වෙනත් කෙනෙකුට නොදෙවනියි… ඔබ කරන්නෙ අවුරුදු දහස් ගණනක් පුරා පැතිරුණ විද්‍යාවක් සරළව මිනිසුන්ට කියා දීම.. ඔබේ කටයුත්ත උතුම්.. එයින් මිනිසුන් බොහෝ දෙනෙකු සුවපත් වෙනවා.
      මම කාළයක් දුක් වුනා මට වෛද්‍යවරයෙක් වන්නට නොහැකි වීම ගැන… ඒ මට සල්ලි හොයන්න නොවෙයි.. මිනිසුන්ව සුවපත් කරන්න බැරි වීම ගැන… නමුත් අපේ වෛද්‍යවරු කීයෙන් කී දෙනාද මිනිසුන් සුවපත් කිරීම පෙරට දමා කටයුතු කරන්නෙ..
      මම හොඳ මනුස්සයන්ට බොහොම හොඳ මනුස්සයෙක්, නමුත් අනිත් පැත්ත පෙරළුණොත් ඒ කෙනා දකින නපුරුම හීනය වෙන්නත් පුළුවන්. (ඒක මගේ දුර්වලතාවයක් – මඟහරවා ගන්න අමාරුයි.)

  3. ඇල්කෙමියා වගේ හිතන කෙනෙක්ගෙ හිතවතෙක් වීමට ඉඩ ලැබීම ඇත්තෙන්ම මම ඉතාම ගෞරවයක් කොට සලකනවා.
    සුභ අනාගතයක් ඇල්!
    (ඇල්, මම කලින් කමෙන්ට් දැම්මෙ ඔයාගෙ බ්ලොගර් සයිට් එකට. ඒ පැත්තෙ යන්නෙ නැද්ද?)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • බ්ලොගර් සයිට් එකට යනවා.
      ප්‍රශ්න ගොඩයි. මම පෝස්ට් එකක් දාන්නෙ රෑ නිදා ගන්න ලං වෙලා. ප්‍රතිචාර වැටුනත් මට ඒවට පිළිතුරු දෙන්න වෙන්නෙ නැවතත් ඊලඟ දවසෙ ගෙදර ආවම… ඒකයි හරියටම දවසක් වගේ කාළයක් යන්නෙ ප්‍රතිචාර වලට උත්තර දෙන්න…
      මම Blogger වලට තවම අළුත්… මම ඔබ කිවුවා වගේ ලින්ක් දෙකක් දාන්නම් දෙපැත්තට මාරු වෙන්න…
      බොහොම ස්තූතියි දැනුවත් කළාට… කොහොමත් අපි කරන්නෙ එකිනෙකාගෙන් ඉගෙන ගන්න එක නෙ…

  4. නියම වැඩක්,සුභ පැතුම්!1
    ඔය පහල ලින්ක් එකේ තියෙන්නේ මම කරන වැඩක්
    http://alhelp.blogspot.com/2012/09/blog-post_25.html

    • අගෙයි… හොඳ වැඩක්… දිගටම කරගෙන යන්න
      මමත් කාළයක් විද්‍යාව ඩොට කොම් එකට ලිවුවා…
      නමුත් ඒක ඉබේම නැතිව ගියා…
      මගෙත් අදහසක් තිබුණා උසස් පෙළ රසායන විද්‍යාවට උදවුවක් වෙන්න පාඩම් මාලාවක් ලියන්න..
      නමුත් කාලය හරස් වෙනවා හැම දේටම… මේ දවස් වල බ්ලොග් එක වැඩිපුර ලියැවෙන්නෙ තනියම ඉන්න නිසා.. ඇල්කෙමිච්චියි පැටියයි ආපු ගමන් මේ ලියවෙන සංඛ්‍යාතය බාගෙකට බහිනවා…

  5. ඇල්, ඔබ වනාහී ආදර්ශයට ගත යුතු මිනිසෙකි…ඔබ අගය කල යුතු ප්‍රශස්තම ආකාරය නම් ඔබ ආදර්ශයට ගැනීමයි. 🙂

  6. අවාසනාවන්ත අයුරින් මෙම අවස්ථාවට සහභාගී වන්නට අවකාශ නොලැබුණි! 😦

    නමුත් ඔබතුමාගෙන් ඉගෙනගත් දෑ සම්බන්ධයෙන් තුති පුදමි! 🙂 🙂

  7. යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී…
    මේ ටිකම ඇති අපිට හැදෙනවා නම්…

  8. මටත් ජීවිතේ sucks වෙලා තියෙද්දී ඔබ දුන් උපදෙස් ඉතාම වටිනවා.තවම ප්‍රතිපල ලැබීමට කල් තිබෙන නිසා ලැබුන ගමන් දන්වන්නම්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: