Daily Archives: ඔක්තෝබර් 27, 2012

2012 ඔක්තෝබර් 27 : ජීවිතය හරිම කටුකයි…… මේක ඇත්තමද ?


අවුරුදු 20ක්ම රසායන විද්‍යාව එක්ක හැප්පිච්ච මට ලෝකය පුරාම විවිධාකාර පුද්ගලයින් ඇසුරු කිරීමේ භාග්‍යය උදා වුන එක ඇත්තෙන්ම ලොකු අත්දැකීමක්. එක කාළයක් මම ලංකාවෙ සේවය කරන අතරෙ එතැනට ගෙන ආපු හිරකාරයන් සමඟ කතා කරන්නත් “භාග්‍යය” ලැබුවා. එහෙම කිවුවෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත තුළට එබිලා බලන්න පුළුවන් තරමේ සංවාදයන් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. තවත් වෙලාවක සමාගම් අධ්‍යක්‍ෂක ලා, සමාගම් අයිතිකරුවන් වැනි ඉතාම ඉහළ තනතුරු දරන සමාජයේ සාර්ථක පුද්ගලයින් සමඟ ඇසුරු කරන්නත් ලැබුණා. එසේම අවුරුදු පහේ කුඩා දරුවන් මෙන්ම රසායන විද්‍යාවේ පරතෙරට ගිය මහාචාර්යවරුන්ගේ සමාගමය ලබන්නත් මට භාග්‍යය ලැබුණා. ඒ වගේම මේ අන්ත දෙක අතරේ ජීවත් වෙන බොහෝ දෙනා ඇසුරු කිරීමේ වාසනාව ලැබුණා. ඒ හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස්. ඒ නිසාම මගේ ජීවිතය අත්දැකීම් අතින් මට හරිම වැදගත්. නමුත් පරිපූර්ණ නැහැ… තවත් බොහෝ දේ ඉගෙනගන්න තිබෙනවා. මේ අතරෙ මට හමු වූ  ආචාර්ය උපාධිය හදාරන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගණන (දේශීය සහ විදේශීය ) අති විශාලයි. ඊට අමතරව නිතර නිතර මුහුණු පොතේ චැට් කරන, ඊ මේල් වලින් සම්බන්ධතා පවත්වාගෙන යන සිසු සිසුවියන් ගණනත් බොහොමයි. මේ සියළුම දෙනා වයස 20-30 අතර පරතරයෙ තරුණ තරුණියො… ඉඳලා හිටලා මම වගේ නාකි හම්පඩ වෙච්ච අයත් කතා කරනවා.

මේ කතා කරන සමහර කෙනෙක්ගෙ ජීවිතය බොහෝ වෙලාවට කටුක අත්දැකීම් වලින් පිරිච්ච ජීවිත, සමහරු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. තවත් සමහරු තමන්ගෙ ජීවිතය ගෙන යා යුත්තෙ මොන දිශාවටද කියලා තීරණය කරගන්න බැරුව ඉන්න අය. බොහෝ විට මගෙන් උපදේශ බලාපොරොත්තුවෙන් මා වෙත පැමිණෙන්නෙ අවුරුදු 21-29 අතරෙ සිටින තරුණියන්… ඇයිද කියන්න මම දන්නෙ නෑ.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ කියන්නෙත් නෑ.. නමුත්, මේ සියළුම දෙනාගෙ සමානතාවය තමයි ඔවුන් නිතරම කියන්නෙ Life Really Sucks,.. !

ඉතින් මේක ඇත්තද ? ජීවිතය ගැන බොහෝ දාර්ශනිකයෝ බොහෝ ආගම් ශාස්තෘවරු, විවිධාකාර දේ පවසලා තිබෙනවා. අපිට අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ වගේ කියමන් කෝටි ගණනක් හොයා ගන්න පුළුවන්.  ජීවිතය කියන්නෙ යුද්ධයකින් පටන් අරන් යුද්ධයකින් අවසන් වෙන දෙයක්… දරුවෙක් පිළිසිඳ ගන්නම දෙමාපියන් ලොකු යුද්ධයක් කරන්න ඕන.. සෑහෙන දාඩිය මහන්සියක් දාගෙන ලොකු  කැලරි ප්‍රමාණයක් දවන්න ඕන කාර්යයක්. සමහරුන්ට දරුවන් අවශ්‍ය වුනත් ඒක ඒ ආකාරයට සිදු වෙන්නෙ නැහැ. ඒ නිසාම සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා – වෛද්‍යවරු හමු වෙලා ලොකු සටනක් දීලා තමයි දරුවෙක් පිලිසිඳුවා ගන්න තත්ත්‍වයට පැමිණෙන්නෙ. (තවත් සමහරුන්ට නං පැදුර පෑගුණත් ඇති) ඒ යුද්ධෙන් පස්සෙ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම තමයි ලෝකයේ ලොකුම තරඟය. ඔබ තරඟ කරලා තිබෙන්නෙ ඔබේ සහෝදර සහෝදරියන් කෝටි ගණනක් සමඟයි. එහෙම යුද්ධයකින් පස්සෙ තමයි ඔබ – ඔබ බවට පත් වෙන්නෙ. ඒ වගේම මාස නවයක් අඳුරු කුටීරයක් තුළ ඔබ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාළයේ ඔබේ දෙමාපියෝ වෙනම යුද්ධයක් කරනවා ඔබව පෝෂණය කරවන්න – ජීවත් කරවන්න.. ඔබ ලෝකයට බිහි වෙන්නෙ යුද්ධයක් කරලා. ඔබේ මුහුණ චප්ප කරගෙන, ඔළුව බිත්තරයක් වගේ.. කැතම කැතයි. ඇඟ රැලි වැටිලා.. ඒ යුද්ධෙන් පස්සෙ ඔබේ ජීවිතය ගත කරන හැම තත්පරයකම ඔබටත් ඔබ අවට සිටින අයටත් ලොකු යුද්ධයක්. ඔබ මේ තරම් දුර ජීවත් වුන එකත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ යුද්ධ සියල්ල අවසන ඔබ මේ ලෝකයෙන් සමුගෙන යාමත් යුද්ධයක්. සමහරවිට ඔබ යුද්ධයක් මධ්‍යයේම මියෙන්න පුළුවනි. නැතිනම් බොහොම සාමකාමීව මිය යාවි. ඒ කුමක් වුනත් ඔබේ සමුගැන්ම අනිත් අයට යුද්ධයක්. ඉතිං කවුද කියන්නෙ ජීවිතයම යුද්ධයක් නොවේය කියලා. ?

මේ යුද්ධයේ විවිධාකාර අවස්ථාවල විවිධාකාර අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහර දේවල් බොහොම වින්දනීයයි, ආදරණීයයි. නමුත් හැම දේම එහෙම නෑ.. සමහර දේවල් කටුකයි.. අන්තයටම කටුකයි.. අන්න ඒ වෙලාවට මිනිසුන් වශයෙන් අපේ වින්දනීය අත්දැකීම් සියල්ල යටපත් කරගෙන අපේ දුක්ඛදායක අත්දැකීම් එලීයට එනවා. එතකොට අපිට හිතෙනවා ජීවිතය හරිම කටුකයි කියලා. නමුත් ඔබ අර වින්දනීය අත්දැකීම් මොහොතකින් අමතක කරනවා. ඒ අපේ හැටි. මමත් එහෙමයි. කාට වුනත් කරපු හොඳ දේවල් – සිදු වුන හොඳ දේවල් මතක නෑ… නිතරම මතක් වෙන්නෙ වැරැද්දක්, සිදු නොවු දෙයක්… ඒක මිනිස් ස්වභාවය.

කෙනෙක්ගෙ ජීවිතය හැම තිස්සෙම කටුක වෙන්න පුළුවන්ද ? එහෙම වෙන්නෙ ඇයි (I don’t know why !) ?  ඒ පුද්ගලයා නිසි ලෙස හිතන්නෙ – ජීවිතය සැලසුම් කරන්නෙ නැති නිසාද ? එහෙමත් නැතිනම් තමන්ගෙ හැකියාවට වඩා අනවශ්‍ය බලාපොරොත්තු තබාගෙන (දොඩංගොඩ බදාගෙන) හැම දේම කරන්න යන නිසාද ? නැතිනම් වැරදි අවස්ථාවේ වැරදි තැන ඉන්න නිසාද ? මේ සියල්ලෙම එකතුවක්ද ?

සමහරු ජීවිතය හොඳින් සැලසුම් කරනවා.. තවත් සමහරු ආවේගශීලීව තීරණ ගන්නවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් උසස් පෙළ අසමත් නම් තවත් බලන්න දෙයක් නෑ මම රැකියාවක් කරනවා කියලා කුමක් හෝ රැකියාවකට යනවා. නමුත් ඔහුට තවත් වතාවන් දෙකක් ඉතිරිව තිබෙනවා තමන්ගෙ දෛවය උරගා බලන්න… සමහර විට ඔහු දෙවන වතාවෙ හොඳින් සමත් වෙන්නට ඉඩ තිබෙන්න පුළුවනි. ඒත් ඒ වැඩ කරන හැටියට… මගේ ජීවිතය බොහෝ අවස්ථාවලදි මම ගනිපු තීරණ නිසාම වෙනස් පැති වලට ගොස් තිබෙනවා. ඒ බොහොමයක් හොඳ පැති. මෝඩ වැඩ නං අනන්තවත් කරලා තිබෙනවා.. ඒ ගැන කතා නොකරන තරමට හොඳයි… හැබැයි ඔබට වැරදුනාම සහ ඔබ අවුල් වී ඇති වෙලාවක ඔබට උපදෙස් දෙන්න -ඔබට කතා කරන්න කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබේ දෙමාපියො ඔබට යන්න පුළුවන් පළමු සහාය කණ්ඩායමයි (Support group) ඔවුන් සතු අත්දැකීම්, ජීවිතය පිළිබඳ දැනුම අති විශාලයි.. තවමත් මට ප්‍රශ්නයක් ආවම මම ඉස්සෙල්ලම කතා කරන්නෙ තාත්තට – ඊලඟට කමල් බාප්පට.. ඔවුන්ගෙන් මට හරියන විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

මටත් සමහර දවසට වැඩ ඉවර වෙලා රෑ සීතලේ කිලෝ මීටර දෙකක් පයින් කන්දක් බඩ ගානකොට හිතෙනවා Life Sucks කියලා… නමුත් ඊලඟ මොහොතෙ  හිතෙන්නෙ, මට රැකියාවක් තියෙනවා, බාව බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත දෙකක් තියෙනවා. දෙමාපියො, නෑදෑයො, මිත්‍රයො රාශියක් ඉන්නවා. මීටත් වඩා තවත් කුමක්ද ? මෙච්චරවත් නැති මිනිස්සු, මීට වඩා ප්‍රශ්න තියෙන කීදෙනෙක් ඇත්ද ? කියලා.. ඉතින් අපට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඇද්ද ?

ඉතිං ඔබ කොහොමද යමක් සැලසුම් කරන්නෙ ? ඔබ පළමු සැලසුම වැරදුනොත්, දෙවන සැලසුමක්, තෙවන සැලසුමක් (Plan B,C,D)  ඔබට තිබෙනවද ? ඔබට වැරදුනොත් ඔබට උපදෙස් ගන්න කවුරුවත් ඉන්නවද ? නැතිනම් ඔබ ඔබේ ප්‍රශ්න තියාගෙන විඳවනවද ?

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කතාවම Blogger.com එකෙත් තියෙනවා. ඉංගිරිසියෙන් කියවන්න කැමති අයට Alchemist’s Laboratory

%d bloggers like this: