Monthly Archives: දෙසැම්බර් 2012
2012 දෙසැම්බර් 31 : නව වසර සුභ වීමට නම්……………

සුභ නව වසරක් වේවා !
වසරක් ගත කරලා අපි නව වසරක් කියන තවත් දවසකට පා තබනවා. කවුරුන් හෝ පටන්ගත් ක්‍රමයකට අනුව ජනවාරි 01 දින නව අවුරුද්දක මුල් දිනය කියලා සටහන් තබාගෙන අපි නව අවුරුදු උදාව සනිටුහන් කරනවා. එක්තරා ආකාරයකට එය හොඳ දෙයක්. හිතළුවක් වූ දවසක් හෝ නිමිත්තක් කරගෙන අපි නැවුම් බලාපොරොත්තු වලින් හිත් පුරවගෙන ඒ බලාපොරොත්තු සඵල කර ගන්න අවුරුද්දක් පුරා වෙර දරනවා. බලාපොරොත්තුවක් නැති මිනිහා නුවරක් නැති පවුරක් වැනිය කියා මගේ පාසැල් මිතුරෙකු වන සුමේධ මගේ පරණ සමරු පොතක ලියලා තිබුණා. අපි හැමෝම ජීවත් වෙන්නෙ බලාපොරොත්තු මත. හෙට උදේට අපි නැගිටිනවද දන්නෙ නැතිව නින්දට ගියත්, අපේ හිත් බලාපොරොත්තු වලින් පිරිලා. ඒ නිසාම අපි ඉදිරිය සැලසුම් කරනවා. ඉදිරිය වෙනුවෙන් දිරියෙන් වැඩ කරනවා..
ජනවාරි මාසය අවුරුද්දේ මුල්ම මාසය කියලා නම් කරලා තියෙන්නේ එය ජානුස් දෙවියා මූලික කරගෙන නම් කිරීමත් සමඟ. ජානුස් කියන්නෙ මුහුණු දෙකේ දෙවියෙක්. එක් මුහුණක් ඉදිරිය බලාගෙන ඉඳිද්දි, අනිත් මුහුණ පිටුපස බලාගෙන සිටිනවා. මෙය ජනවාරි මාසයට ගැලපෙන්නෙ නව වසර දිහාත් පැරණි වසර දිහාත් බලාගෙන සිටින ආකාරයක් දිස් වන නිසා. නමුත් ලෝකයේ කිසිම තැනක ජනවාරි 01 වනදා නව වසරක් කියා හැඳින්වීමට කිසිදු සාක්‍ෂියක් නැහැ. සළකන්නට තිබෙන ආසන්නම හේතුව මකර නිවර්තනයට හිරු මුදුන් වෙන දෙසැම්බර් 21 වන දිනය (Winter Solstice) පමණයි. උත්තරාර්ධගෝලයට වසරේ කෙටිම දිනය වන දෙසැම්බර් 21 වනදාට පසු දහවල් කාළය වැඩි වීම ආරම්භ වන්නේ ජනවාරි පළවෙනිදාට ආසන්න දිනක වීම ඊට හේතුවයි. කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගෙවන උත්තරාර්ධගෝලයේ සමහර වැසියන්ට දීර්ඝ දහවල් කාලය උදාවීමට පටන්ගැනීම යනු සිය වගාවන් ඇරඹීමට සුදුසු කාළය එළැඹීමයි. ඒ නිසා ජනවාරි පළමුවැනිදා නව ඇරඹුමක් ලෙස සැලකෙනවා.
නව අවුරුදු උදාවක් සැමරීම පිළිබඳ මුල්ම සටහන් සොයාගෙන ඇත්තේ මෙසපොතේනියානුවන් විසින් ක්‍රිස්තු වර්ෂ 2000 කට පෙර සිදුකළ උත්සවයක් පිළිබඳ සටහන් වලින්. සමහරු මාර්තු 20 වන දිනත්, ඊජිප්තියානුවන් ෆිනොසීනියානුවන් සහ පර්සියානුවන් සැප්තැම්බර් 21 වන දිනත් අවුරුදු උදාව සැමරූ අතර ආදි ග්‍රීකයෝ දෙසැම්බර් 21 වන දින නව අවුරුදු උදාව ලෙස සැමරුවා. නමුත් මේ සියළුම දෙනා නොදත් දෙයක් නම් පෘථිවිය සූර්යයාට ආසන්නම වන දිනය ජනවාරි පළමුවනදාට ආසන්න දිනයක් වීමයි. මේ නිසා ජනවාරි පළමුවනදා නව අවුරුදු උදාව ලෙස සළකන්නට ඇතැයි මත පළ වනවා. සිංහල අවුරුදු උදාව සිදු වන්නේ නම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟයි. මේ නිසා නව චක්‍රයක් ඇරඹීම සහ අස්වනු ගෙට ගැනීම සනිටුහන් කරගෙන සිංහලයා මෙන්ම දකුණු ඉන්දියානු ජනකොටස් ද අළුත් අවුරුද්ද සැමරීම බක් මහේ කරනු ලබනවා.
මේ කොහොම අවුරුද්ද සැමරුවත් නව අවුරුද්ද සුභ වෙන්නෙ ඔබේ සිතුම් පැතුම්, ක්‍රියා කලාපයන් අනුව. තමන් තමන්ට අවංකව අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙනවා නම්, බොහෝ දුරට නව අවුරුද්ද සුභ වේවි. අපි හැමෝම යෙදෙන්නෙ තරඟයක. අටක ජනාධිපතිතුමාගේ සිට බස් එකේ සිඟමන් යදින යාචකයා දක්වා පරාසයේ සිටින සියළුම දෙනා කරන්නෙ ජීවත් වෙන්න සටනක්. ඒ නිසාම අපි හැමෝම යම්තාක් දුරකට ආත්මාර්ථකාමීයි. මේ ආත්මාර්ථකාමීත්‍වය පුද්ගලයාගේ මානසිකත්‍වය අනුව වෙනස් වෙනවා. සමහරු අතිශය ආත්මාර්ථකාමී වන අතර තවත් සමහරු පොඩ්ඩක් ආත්මාර්ථකාමියි… 100% ක් පරාර්ථකාමී පුද්ගලයෙක් හොයා ගන්න බොහොම අමාරුයි… ඒ මමත්‍වය කියන දේ නැති කරන්න බැරි නිසා. ඉතින් මේ සටනෙදි අපිට නොයෙක් විදියේ දේවල් සිදු කරන්න, විවිධාකාර තීරණ ගන්න වෙනවා. අන්න ඒ අවස්ථාවෙ අනිත් අයට අවම හානියක් වෙන තීරණ ගත්තා නම්, ඔබ සමාජයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා..
ඉතින්, ඔබගේ සිතේ නව අවුරුද්දේ බොහෝ බලාපොරොත්තු එකතු වෙලා ඇති. සමහරුන්ට ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල්, තවත් සමහරුන්ට අළුත්ම බලාපොරොත්තු… මේ වගේ බලාපොරොත්තුවලින් හිත පුරවාගෙනයි ඔබ ජනවාරි පළමුවෙනිදා කියන තවත් එක් දවසකට පා නගන්නෙ…. මටත් බලාපොරොත්තු බොහොමයි… ඒවා ලබන අවුරුද්දෙ නැතත් කවදා හරි ඉටු වෙයි කියලා හිතනවා…
අපි පෞද්ගලිකවත්, සමාජයීයවත් විවිධ බලාපොරොත්තු තිබෙනවා. ඔබ හෙටින් ඇරඹෙන නව අවුරුද්දේ ඔබේ අවට සිටින අයට නිසි ගෞරවය ලබා දෙමින් බලාපොරොත්තු ඉටු කරගන්න
ඉතින් හෙටින් ලබන නව අවුරුද්ද ඔබේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන, නීරෝගී බව සපිරි, සෞභාග්‍යමත්, සාමකාමී වසරක් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා…
ඔබට බුද්ධියේ සරණයි !
ඇල්කෙමියා සහ පවුලේ සැම.
2012 දෙසැම්බර් 30: ලංකාවට ප්‍රබල භූමිකම්පාවක්….. එකසිය ගානක් මරුට… මිලියන විසි එකක් අවතැන්….
ලංකාවේ කලින් කලට විවිධාකාර විද්වත්හු පහළ වෙති… අවාසනාවකට බොහෝ තැන්වලින් ප්‍රසිද්ධිය ලැබෙන්නේ ද මෙවැනි විද්වතුන්ටය… එක කාළයක් අපේ රටේ හිටි ජ්‍යොතිශ්‍ය විද්වත්හු ලෝක විනාසය පිළිබඳ විවිධ මත පහළ කළහ… ඒ අනුව සම-හරක් අය, ලෝක විනාසය නොවන බවත් විශාල මනුෂ්‍ය ජීවිත හානි සිදුවන බවත් සඳහන් කරමින් සිය ආධිපත්‍යය තහවුරු කළහ… ඒ සියළුම දෙනාගේ මත තහවුරු කරමින් ලෝක විනාශය සිදු වී දැන් දින අටක් ගත වී ඇත.
ඉන්පසු තවත් විද්වතෙකු පහළ කළ මතයක් වන්නේ එතුමා කොහේදෝ පස් වගයක් පරීක්‍ෂා කර ලංකාවට 28 වනදා භූමි කම්පාවක් පැමිණෙන බවයි.. තවත් කට්ටියක් අද කූඹිකම්පාවක් වෙනවයි කියලා කිවුවා… අද 30 යි… එතුමට දවස වැරදුනාද නැතිනම් පස් ගොඩේ බල්ලෙක් ජරා කරලා තිබුණද මට නොතේරේ… එසේ නොමැති නම් ඒ අනාවැකියද හරි යා යුතුය……
ලංකාවේ විද්වත්හු සහ ජ්‍යෝතිශ්‍ය වේදීහු සිය මඩිය තර කර ගන්නට විවිධාකාර අනාවැකි පහළ කරති. ජාතියේ මහා දෛවඥයා කිව්වේ ලෝක කුසලානය අනිවාර්යයෙන් දිනන බවය. ලොක්කා ගිහින් වාඩි වුන ගමන්ම වැල නොගියා නම් අපිද ලෝක කුසලානයට හිමිකම් කියනවා සිකුරුය.. (ඒ කිවුවේ මගේ අනාවැකිය අනුවය… ඒක එහෙමම සිද්ධ විය… දැන් මටත් අනාවැකි කිවහැකිය…)
අපේ රටේ විද්‍යාවට තැනක් නැති බව මා මීට පෙරද ප්‍රකාශ කර ඇත.. දැන් තැනක් ඇත්තේ දේවාල වලටත්, හොර ජ්‍යොතිශ්‍ය කාරයින්ටත් පමණි. අප කුඩා කාළයේ විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් අපූරුවට ප්‍රචලිත කළ යුග පුරුෂයින් දෙදෙනෙකු විය.. ඒ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා සහ ආචාර්ය උපාලි එම් සේනානායක මැතිතුමා යන දෙපළය.
අද ඒ දෙපළම අප අතර නොමැත. අද තරමකට හෝ විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ නාලක ගුණවර්ධන පමණි. නාලක සහ චානුක අප කුඩාකළ රස කරමින් කියැවූ, බොහෝ දැනුම ලද, විදුසර පත්‍රයේ ආරම්භක ලේඛකයින් දෙදෙනාය… එකළ අපද විදුසරට ලියන්නට උත්සාහ ගත් නමුත්, ඒ කාළයේ අපේ ලිවීමේ හැකියාව එතරම් උසස් නොවූ නිසා සහ තොරතුරු සොයා ගැනීමේ අපහසුව නිසා නිසි ලෙස ලිපියක් ගළපන්නට නොහැකිවීම යන කරුණු නිසාත්, නාලක සහ චානුක විදුසරෙහි ලිපිවල ගුණාත්මක භාවය ඉහළින්ම තබා ගෙන තිබූ නිසාත් අපට තැනක් නැති විය.. විද්‍යා ප්‍රබන්ධ දෙක තුනක් විදුසරට යොමු කළද, ඒවායේ ද ගුණාත්මක භාවයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. උසස් පෙළ කළාටත් පසු විදුසර මගේ ප්‍රියතම පුවත්පතක් වූයේ එහි වූ විද්‍යා දැනුම නිසාවෙනි. නමුත් දැන් දැන් නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්නා විදුසර ද අවිදුසරක් බවට පත් වී ඇත. රටේ මිනිසුන්ට නිසි මඟ පෙන්විය හැකි පුවත්පතක වර්තමාන කළදසාව පිළිබඳ ඇත්තෙන්ම දුකය… ඔවුනට දැනුදු නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගැනීම පැත්තකට දමා නිසි ලෙස සත්‍යය සොයා රටේ දුවා දරුවන්ට බෙදා දිය හැකි නම් නැවත රසිකයින් අතරට පැමිණිය හැකි බව මතක් කර දීමට කැමැත්තෙමි.
ලෝක විනාශය මූලික කරගෙන ලංකාවේ මාධ්‍යවල හැසිරවීම පිළිබඳ ඉතා අගනා ලිපියක් නාලක ගුණවර්ධන විසින් සිය බ්ලොග් අඩවියේ පල කර ඇත… සාමාන්‍යයෙන් නාලක සිය බ්ලොග් අඩවියේ ලිපි පළ කරන්නේ ඉංග්‍රීසියෙන් නමුත්, මේ ලිපිය මනා ලෙස සිංහලෙන් ගලපා ලියා ඇත. තවමත් නාලකගේ සිංහල රචනය ප්‍රශස්ත මට්ටමේ පවතින බවට එය හොඳ ඉඟියකි. නාලක ද සිංහලෙන් සිය බ්ලොග් අඩවිය ඉඳහිට හෝ යාවත්කාලීන කරන්නේ නම් එය ද අපේ රසිකයනට කරන සේවයකි. චානුක ද සිය “සිහි සටහන්” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන නමුත් පෙර මෙන් විද්‍යාත්මක සංවාදවල නියැලෙනවා අඩුය.
අපි, සෑම විටම දුවන්නේ ලාභ දේ සොයාගෙනය, ලාභ දේ බොහොමයක් බාලය. කියවා තේරුම් ගැනීමට සහ සිතීමට අවශ්‍ය ලිපි කියැවෙනවා බොහෝ අඩුය.. ඒ වෙනුවට කියැවෙන්නේ සරළ සුගම ශෛලියකින් ලියැවුන, හිතට වදින සුන්දර හෝ අසුන්දර එදිනෙදා ජීවිතයට සමීප පුවත් හෝ කතාන්දරය. මා ලියූ සමහරක් ලිපි පුවත්පත් වලට යැවුවද, ඒවායින් අවම වශයෙන් ලැබුන බවට පිළිතුරක් හෝ නොලැබුනේ, මගේ ලිපි “විකිණෙන ගණයට” අයත් නැති නිසාවෙන් විය හැකිය. ඒ ගැන මට කණගාටුවක් නැත්තේ මගේ ලිපි කියවන රසික කැලක් මා සතුව ඇති බැවිනි.. ඔවුනට මා නිබඳ ස්තුතිවන්ත වෙමි….
ලංකාවේ විද්‍යා අධ්‍යාපනය අනතුරේ බව මොරටුව විශ්ව විද්‍යාලයේ සහ SLINTEC ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා විසින් දැනට කලකට පෙර පුවත්පතකට යොමු කළ ලිපියකින් සඳහන් කර තිබුණි. එය දැන් දැන් හොඳටම දකින්නට ඇත. බොහෝ රූපවාහිනී නාලිකාවල කෙටි දැන්වීම් තීරු වල වැඩිපුරම දක්නට ලැබෙන්නේ යාග හෝම, වශී ගුරුකම්, අණවින-කොඩිවිණ සිදු කරන චීවරධාරීන්ගේ සහ කට්ටඬියන්ගේ දැන්වීම් වේ. ආණ්ඩුවේ ලොකු ලොකු ඇත්තන් රෙදි නැතුව දේවාල ගානේ යනු පත්තරවල ද ලොකු ලොකු පින්තූර පළ වේ. වෙනකක් තබා ජනාධිපති තුමා ද වශී සුරයක් අතේ රැගෙන යන පින්තූර බොහෝ පුවත්පත්වල පළ වී තිබේ….
මේ අපේ විද්‍යා අධ්‍යාපනයේ තත්ත්‍වයයි. කිසිවෙකු විද්‍යාත්මක යැයි හැඟෙන යමක් පැවසූ සැණින් එය හරිද වැරදිද යන්න නොසළකා බොහෝ මාධ්‍යවල උළුප්පා දක්වනු ලැබේ. වතුරෙන් දුවන මෝටර් රථය පුස්සක් බව දැනගත්තේ බොහෝ කලක් ගත වූ පසුවය… මේ අපේ මාධ්‍යවල දැනුමේ නිම් වළලු පුළුල් කිරීමේ ක්‍රියාදාමයයි. නයි නළඟනට ලැබෙන ප්‍රසිද්ධිය විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයකට නොලැබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මා පෙර කීවාක් මෙන් මිනිසුන් විද්‍යාවට සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරි හැටි අවබෝධ කරගන්නේ නැත… ආසනික් ප්‍රශ්නය ඔඩු දුවන්නේත් අදාල පාර්ශව එය වවාගෙන කන්නේත් මිනිසුන් විද්‍යාවෙන් ඈත් වී ඇති නිසාය… කළින් කළට මතුවෙන විද්වත්හු මිනිසුන් මුලා කරමින් සිය ජීවිකාව පවත්වාගෙන යති. විජ්ජාවෙන් ජනතාව මුලා කරන වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා මේ ගණයට අයත් නොවේ.
නමුත්,……. ඒ මහතා අයත් ගණයටම අයත් තවත් කාණ්ඩයක් සෑම විටම සාමාන්‍ය ජනතාව මුලා කරමින් සැප විඳිති… එවන් අයෙක් රටට ඇතිවන ඊලඟ අනතුර පිළිබඳ කදිම අනාවැකියක් කියා ඇත. එය මෙතැනින් බලන්න….. මටද හැඟෙන පරිදි ඒ අනාවැකියෙන් කොටසක් හෝ සැබෑ විය හැකිය. නමුත් ඒ අනාවැකියෙන් කියැවෙන්නේ ස්වභාවික ව්‍යසනයක් ගැන නොවේ.. අපම විහින් දමාගත් ව්‍යසනයක් ගැනය….
බටහිර මාධ්‍යයන් විසින් ජනතාවට විද්‍යාත්මක දැනුම කොපමණ ලබා දුන්නද, සාමාන්‍ය මිනිසුන් ඒ පිළිබඳ එතරම් දැනුවත් වීමට කටයුතු නොකරති. ඒ මිනිසුන්ගේ හැටි ය. නමුත් අවම වශයෙන් අන්තර්ජාලයෙන් හෝ තරමක දැනුමක් ලබාගෙන මේ මොනවාදැයි කියා යම්තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔවුහු කටයුතු කරති. අපේ වැඩිහිටි පරපුර අන්තර්ජාලයෙන් බොහෝ ඈතක සිටින අතර තරුණ පරපුර SEX යනු මොනවාදැයි සොයමින් අන්තර්ජාලයේ අතරමංව සැරි සරති. මට ලැබෙන සමහර ඊමේල් අනුව, ලංකාවේ සමහර තරුණ තරුණියන් Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර තොරතුරු සොයා ගැනීමේ කටයුත්ත වත් හරි හැටි කරගන්නට හෝ, කර ගත්තද ඒ තොරතුරු පිළිබඳ නිසි අවබෝධයක් නැති පිරිසක් යැයි මට සිතෙන අවස්ථා ඇත. මෙයට ප්‍රධාන හේතුව අන්තර්ජාලයේ තොරතුරු සෙවීමේ කම්මැලිකම ද, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් යමක් කියවා අවබෝධ කර ගැනීමට ඇති කම්මැලිකම දැයි මම නොදනිමි…. මූණු පොතේ නිතර සැරිසැරුවද, එයින් ලැබෙන දැනුමක් නැත… අන්තර්ජාලය යනු මහා දැනුම් සම්භාරයක එකමුතුවකි… එයින් හරි දේ තෝරාගතහොත් ලැබිය හැකි දැනුම හා දියුණුව අපමණය…. තමන් දියෙන් කිරි වෙන් කර ගන්නවාද , කිරි කළයේ ඇති ගොම බිංදුව තෝරාගෙන අනුභව කරනවාද යන්න ඔබ තෝරා ගත යුතුය…
ලංකාවේ මාධ්‍ය වලින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. මා පසුගිය කාළයේ ලංකාවේ සිටියදී ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකුගේ පුතෙකු ගෙන් ඇසූ “ලංකාවේ උසස් ගණයේ ටෙලිනාට්‍ය බිහි නොවන්නේ මන්ද ?” යන පැණයට ඔහු දුන් එකම පිළිතුර වන්නේ ටෙලිනාට්‍යයක බජට් එකට සරිලන සේ පසුතලය සැකසීමේදී ගමේ ගොඩේ එදිනෙදා සිදුවන සිදුවීම් අළලා තැනෙන බාල ගණයේ ටෙලිනාට්‍ය මිසක්, වෙනත් නාට්‍යයක් නිෂ්පාදනය කළ නොහැකි බවයි. එනම් වෙනම පසුතල නිර්මාණය කර, අළුත් ආකාරයක කතාවක් නිෂ්පාදනය අතිශය අවදානම් කටයුත්තක් බවයි… මේ නිසා බොහෝ ටෙලිනාට්‍ය උසස් ලෙස නිර්මාණය කිරීමේ නොහැකියාවක් මෙන්ම, එපිසෝඩ් එකක් වැඩිම උනොත් ලක්‍ෂයක බජට් එකකට යටකර නිෂ්පාදනය කිරීමට සිදු වීම නිසා ගෙයක් අරන් කැමරා දෙකක් දාගෙන එපිසෝඩ් එකක් හදන තත්ත්‍වයකට අපේ ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පහතට වැටී ඇතිබව කණගාටුවෙන් වුවද පැවසීමට සිදු වී ඇති බව හෙතෙම පැවසීය… මේ අපේ ටෙලිනාට්‍යවල තත්ත්‍වයයි.
බටහිර රටවල නම් ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව නාට්‍යය නරඹන සංඛ්‍යාව දිගටම පහළ බසී නම්, නාට්‍ය මාලාව මැදදී වුවත් ගලවා ඉවත් කිරීම සිදු වේ. නමුත් අපට සිදු වන්නේ මොන දහජරාවක් වුවත්, නාට්‍ය මාලාව අවසන් වනතුරු නැරඹීමට වීමයි: එය ඉතා කණගාටුදායක තත්ත්‍වයකි. එයින් වඩාත්ම අප්‍රසන්න සිදුවීම වන්නේ වෙළඳ දැන්වීම් නරඹන අතරතුර ටෙලි නාට්‍යයේ විනාඩි පහක් පමණ නැරඹීමට සිදු වීමයි. එයින් වෙළඳ දැන්වීමක්වත් හරිහැටි බලාගැනීමට නොහැකි වේ.
එදා අප දුටු වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගිරය, කඩුල්ල, යශෝරාවය, අඹයහළුවෝ වැනි ටෙලිනාට්‍ය අපට කවදා යළි නැරඹීමට හැකි වේද ? එදා මාධ්‍යයන්ගෙන්අප දුටු පරිණතබව, දැනුම, අපේ ඉදිරි පරපුරට කවදා දැකිය හැකි වේද ?
2012 දෙසැම්බර් 28 : මගේ නත්තල් තෑග්ග……..
අප බෞද්ධ වුවත්, කුඩා කළ නත්තල් සීයා තෑගි අරන් එනතුරු මඟ බලා සිටියෙමු… 24 වනදා රාත්‍රියේ නිදා ගන්නා අපේ කොට්ටය අසල කිසියම් හෝ සෙල්ලම් බඩුවක් තැබීමට දෙමාපියන් උත්සාහ කළේ ඒ නිසාමය.. අගහිඟ කාලයේ අවම වශයෙන් ටොපියක් හෝ තබා අප සැනසූයේ අප නත්තල් සීයාගෙන් කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිනබව අපේ දෙමාපියන් හොඳින්ම දැන සිටි නිසාය… ක්‍රම ක්‍රමයෙන් කල් ගතවෙද්දී නත්තල් සීයා යනු හිතළුවක් බවත්, එය කුඩා දරුවන් තරමකට හෝ විනයානුකූල කිරීමේ එක් මනෝ විද්‍යාත්මක පියවරක් බවත් අපට වැටහෙන්නට විය. එසේ වුවත් ඒ පුරුදු අඛණ්ඩව පවත්වාගනිමින් කිසියම් දෙයක් හුවමාරු කර ගැනීම බොහෝ දෙනා සිදු කරන කටයුත්තකි. එය සමහරවිට ආගමික නොවුවත්, සාම්ප්‍රදායිකව සිද්ධ වන දෙයකි. ගම්වල නම් මේ කිසිවක් සිදු නොවන අතර එදා වේල ගැට ගසා ගැනීමේ යුද්ධය නිසා නත්තල් සීයා ඒ ගම් පෙදෙස්වලට නොඑන බව පෙනේ.
ඒ නත්තල් කාලය දැන් ඉකුත්ව බොහෝ කල් ය.. දැන් නත්තල වාණිජකරණය වී ඇත.. නත්තලේ සැබෑ අරුත වූ බෙදා හදාගෙන සියල්ලන් සමඟ සමඟියෙන් සාමයෙන් ජීවත් වීම වෙනුවට සියල්ලා බදාගෙන අනෙකා මරාගෙන තමන් ජීවත් වීම දක්වා වෙනස් වී ඇත. තමන් වැපිරූ බීජවල පල ලබන්නේ ද තමුන්මය…
පසුගිය කාළයේ ලංකාවේ සිටි කාලයේ මම ද පාත්තියක් දැමූවෙමි… මල්පාත්තියක්ම නොවූ ඒ පාත්තියේ විවිධාකාර මල් මෙන්ම සුවිශාල රුක් සේ වැඩේ යැයි උපකල්පනය කළ හැකි විවිධාකාර ගස් වැඩෙමින් තිබුණි. ලද ඇසිල්ලේ මම ඒ ගස්වලටත් මල්පැලවලටත් පෝර දමා ඉදිරියේ වර්ධනය වියහැකි ආකාරයත් ඒ පිළිබඳ මඟපෙන්වීමකුත් සිදු කරන වැඩමුළුවක් සංවිධානය කළෙමි. මගේ ජීවිතයේ දැක්ම පවා වෙනස් වූයේ එතැන් සිටය.. මෙතෙක් කල් අන්තර්ජාලයට සීමා වූ මගේ කාර්යභාරය සත්‍ය වශයෙන්ම හිතළුවක් නොවන බව ඒත්තු ගැන්වූයේ ඔවුන්ය.. මීට පෙරද මා මේ සම්බන්ධව ලියා ඇතිමුත්, ඒ ඔවුන්ගේ අවසාන ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථමයෙනි.. මේ ඔවුන් සමහරකගෙන් මට ලැබුණ පණිවුඩයි… මං උන්ට මට සෑර් කියා නොකියන්නැයි කොතෙක් කීවද උන් මට කියන්නේම සෑර් කියාය.. (හිතං ඉන්නේ මම හරි නාකියි කියාය)
Hello sir,
Hope you are doing good..
Our final results were out and I got an A- for the research. And we both got 1st classes.. Thank you very much for your guidance, valuable advises and wishes..
මේ එයාගෙම සහෝදරියගෙ පණිවුඩය..
Hello sir,
Finally we got the results for our four years of hard work. I’m happy to tell you that I got a first class and I was qualified for that from the results of the research methods which was an A. So the credit must go to you as I believe that your effort on making us good presenters brought all of us into this level so here is a big thank you for what you have done to make us the best among others.
මේ තවත් සිසුවියක්,
Dear Sir,
I want to give big thank for you sir.. Because I got a A+ for research performance and I`m the one who got best results for research. So you played a major role in that. Even though I have completed my research successfully it would not be the best one without your part sir.
So thank you very much for helping me to do the best. There is no words to thank you sir.
Again thank you Sir!!!
සිසුවියන් පමණක් නොවෙයි ඒ වැඩමුළුවෙ සිටියෙ..
Dear sir,
Wish u merry Christmas. I’m really happy to say that I’ve got a second upper class and also I’ve got an ”A” for my research project. So I need to thank u sir. Because of You, we were able to get such good results for our research projects. And we faced our oral test well, because of the knowledge and the experience that we have gathered from you. Thank you again sir.
තවත් සිසුවියක් මෙහෙමත් ලියලා තිබුණා.
Dear Sir,
Finally……. after a lot of delays and postpones we got our results today. I’m so glad that i got an ”A” for my research which feels so amazing after all the hard work.for other subjects I did, i got A A- B+ B. Will get a 2nd upper for sure but I’m short of few ”A”s for a 1st class. Wanted to thank you again & let you know how we did sir you did a great support for all of us………..Still I didn’t come to know about all your 10 kids results. N….. got a ”B” while C……… got a ”B+” for the research…..others will let you know about their results as well. I sent my research for the National Journal of Science Foundation for publication,hopefully they’ll accept my manuscript. The role u played made a huge impact in our researches as well as the way we think…!
Thanks a lot & we really are happy 2 make u proud!
Wish you all the very best sir. Take care and may God Bless you…..
මේ මම පෝර දාපු පාත්තියෙ පළදාව… මම කළේ ඔවුන්ගෙ සැඟවුන දක්‍ෂතා එලියට ගැනීමත්, තමන්ගෙ පර්යේෂණ සභාවක් ඉදිරියේ ඉදිරිපත් කරන ආකාරයත් කියා දීම පමණයි… මම ඊට වඩා ලොකු දෙයක් කළේ නැහැ… මේ පැල මහා වෘක්‍ෂ වෙලා කවදා හරි ලෝකය එළිය කරාවි… මීට පෙර මම වතුර දමාපු සමහර පැල දැනටමත් මට වඩා ලොකු ගස් වෙලා ලෝකය පෝෂණය කරනවා… ඒ ගැන මට තියෙන්නෙ සතුටක් – ආඩම්බරයක්…
ඉදිරියෙදි තවත් පැලවලට සාත්තු කරන්න මේක මට හොඳ ඇරඹුමක්… ඉතින් මේ පැල ටික තමයි මගේ ජීවිතයේ එක හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇති කළේ…. මට වැරදුනොත් ඉතිං මේ අය තමයි වගකියන්න ඕන… හරිද ! ඒ අතරෙ බොහොම කුඩා පැළයක් වගේ (ලොකුවට) අපේ බ්ලොග් අවකාශයේ ඉන්න තනි අලියාත් පැත්තකින් හිටියා.. එයාට මේක තවත් අත්දැකීමක් වුනත්, ඉදිරියට හොඳ දැක්මක් එයින් ලැබුණා කියලා හිතනවා..
මේ වගේ අත්දැකීම් හැමෝටම ලැබෙන්නෙ නැහැ.. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවකින් අනුන්ට යහපතක් කරන්න සිතනවා නම්, අවම වශයෙන් තමන් යමක් ලෝකයට/අනුන් වෙනුවෙන් කළා කියන සුවදායී හැඟීම හිතට දැනෙනවා.. ඉතිං මේ නත්තල් තෑග්ග මට ලැබුණ අනෙක් තෑගි වලට වඩා වෙනස් වුනත් මට බොහොම සන්තෝෂයක් ගෙන දුන්න තෑග්ගක්….
මේ ඉන්නේ ඒ කට්ටිය.
2012 දෙසැම්බර් 27: කණ්ගැට්ටන්ට සහ බාබර්ලාට ගිය රට…………..
කෞතුකාගාරයේ හොරකම තනිවම කර ඇත්තේ කණ්ගැට්ටා බව හෙට අනිද්දා පැමිණෙන භූමිකම්පාව මෙන් සහතික බව සිංදු කියන රාලහාමි මහත්මයා මාධ්‍යයට පවසා ඇත. ඒ අනුව ව්‍යංගාර්ථයෙන් කියන්නේ කෞතුකාගාරයේ ආරක්‍ෂාව නූගත් කුඩුකාරයෙකුට පවා බිඳිය හැකි තරමේ සරළ දෙයක් බවය. කෞතුකාගාරයක් යනු රටක ජාතියක අනන්‍යතාවය හොවා දක්වන කැඩපතකි. වසර 500 ක තරම් කෙටි ඉතිහාසයක් ඇති ඇමරිකාව සිය අනන්‍යතාවය පෙන්වීමට නොකරන දෙයක් නොමැත. අධික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය පිණිස තබා ඇති කෞතුකාගාර සෑම නගරයකම පාහේ දක්නට ඇත. වෙනකක් තබා, ලුයිසියානා ප්‍රාන්තයේ පවර්ටි පොයින්ට් නම් ස්ථානයේ ඇති පස්කඳු කිහිපයක් ඔවුන් මහා උජාරුවෙන් පෙන්වන්නේ එය අවුරුදු 400 කට පෙර ජනාවාසව තිබූ බිමක් ලෙසිනි… එය පවා ඔවුනට උද්දාමයට කරුණකි.. අප වැනි වසර 2000 කට අධික උරුමයක් ඔවුනට තිබුණා නම් මොනවා නොකරයිද ? දරුවන් – වැඩිහිටියන් ඒ සියල්ල නරඹා සිය බුද්ධිය – දැනුම පුළුල් කර ගනිති. සිය රට සහ රටේ නිර්මාණ පිළිබඳ අපමණක් උද්දාමයට පත් වෙති. ඒ කෞතුකාගාරවල ශ්‍රී ලාංකික නියෝජනය වන ජාතික කෞතුකාගාරය අපට කටුගෙයකි…
වසර 2000 කට අධික ඉතිහාසයක් ඇති අප සතුව මිල කළ නොහැකි පුරා වස්තු සහ කෞතුක වස්තු සම්භාරයක් තිබිය යුතු නමුත්, යන්තම් මේ අපේ කෞතුකාගාරය යැයි පැවසීමට තරම් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩනැඟිල්ල තුළ පුරවාගෙන ප්‍රදර්ශනය කරමින් සිටිමු. බොහෝ අවස්ථාවල මේ ගොඩනැඟිල්ලේ විවිධාකාර ප්‍රශ්න මාධ්‍ය මගින් ද අනාවරණය කර තිබුණි. සාමාන්‍යයෙන් කෞතුකාගාරයක් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ තිබිය යුතුය, ඒ එතුළ වූ කෞතුක භාණ්ඩ කිසි විටෙක හිලවු කළ නොහැකි (Irreplaceable) වන නිසාය. බොහෝ කෞතුකාගාරවල කෞතුක භාණ්ඩ මිල කළ හැකි වුවත් නැති වුවත් වීදුරු පෙට්ටිවල බහා ප්‍රදර්ශනය කරන අතර ඒ සියල්ලටම විද්‍යුත් සංවේදක සවිකර සොරකම් කළ නොහැකි ලෙස සකසා ඇත. ඒ නිසාම කිසිවෙකු අත තැබුවත් කෞතුකාගාරයේ ආරක්‍ෂක අංශවලට එය දැකගත හැකි ලෙස සකසා ඇත. වරක් ඇමරිකානු ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළ හෝප් දියමන්තිය නැරඹීමට ගිය අවස්ථාවේ එතැන තිබූ ආරක්‍ෂාව සහ ක්‍රමවේදයන් අප මහත් සේ අගය කළෙමු. එවන් ආරක්‍ෂාවක් ලංකාවේ ඇතොත් ඒ ජනාධිපති මන්දිරයේ පමණක්ම විය හැකිය.
කෙසේ වුවත් මේ සියළු සිදුරු – අතපසුවීම් වලින් රිංගා නූගත් කුඩු කාරයෙක් වූ කණ්ගැට්ටා විසින් ඉතා වටිනා කෞතුක භාණ්ඩ ගණනාවක් සොරකම් කරගෙන ගොස් තිබුණි. එය අනාවරණය කර ගැනීමට අපේ පොලීසියට සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට මාස ගණනාවක් ගත විය. ඒ එක කතාවකි……..
රටක අවංක කම, සහ ක්‍රියාවලියක පරිපූර්ණභාවය (Integrity) තිබිය යුතු වටිනාම ස්ථානයක් වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. (අනෙක් ස්ථානය වන පාර්ලිමේන්තුව ගැන කතා කළ යුතු නැත.. එය අවංකකම සහ පරිපූර්ණභාවය මනා ලෙස ආරක්‍ෂා කරන ස්ථානයක් වන බව අප සියළුම දෙනා දන්නා නිසාය) මක්නිසාද යත්, රටේ වැදගත් වූ විභාග සියල්ල සැකසෙන්නේ- පැවැත්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම නිසාය. ලංකාවේ විභාග බොහෝ කලක් යනතුරු ඉතා දැඩි ක්‍රමවේදයකට යටත්ව පැවතුනි. නමුත් දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව බොහෝ විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම පිට වී අවශ්‍ය පුද්ගලයින්ට හෝ අනවශ්‍ය පුද්ගලයින්ට ඒ සියල්ල ලැබේ.. ප්‍රශ්න පත්‍රයක් රුපියල් ලක්‍ෂයකට වේයන්ගොඩ නයිවල බාබර් කෙනෙකු විසින් විකුණන්නේ මේ පසුබිමේ සිටය….
සියල්ල සිදු වූ පසුව විභාග දෙපාර්තමේන්තුවට නව ආරක්‍ෂක ක්‍රමවේදයන් ඇති කරන බව පවසා ඇත. Z අගයේ අර්බුධය, පහ වසර ශිෂ්‍යත්‍ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම මෙන්ම දැන් දැන් අසන්නට ලැබෙන සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම ද විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න ඇති කරවයි.. ඉස්තාලය වැසිය යුත්තේ අශ්වයා පැන ගියාට පසුව නොවන බව කවුරුත් දන්නා කරුණකි. විභාග දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල සිටින්නේ බුද්ධිය ඇතැයි සිතිය හැකි අන්දමේ පුද්ගලයෝය… මේ අයට මුද්‍රණාලයේ කාර්මික නිලධාරියෙකු සතු වංචා කිරීමේ දැනුම නැතැයි සිතීම උගහටය… මේ අනුව පෙනී යන්නේ මුද්‍රණාල කාර්මිකයා ද අර ඉහළ නිලධාරීන්ගේ කණින් රිංගා ඇති බවය.. මේ සියල්ල අනුව සමහර ප්‍රභූ දරුවන් 99 % ක ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් විභාගයන් සමත් වී තබන ලෝක වාර්තාවල වලංගු භාවය පිළිබඳවද පැහැදිලිවම සැක සංකා මතු කරවයි… එසේම අදාල නිලධාරීන් ලජ්ජා විය යුතුය (අවාසනාවකට ලංකාවේ බොහෝ දෙනෙකු ගේ ලැජ්ජා නහරය කපා ඇත) තමන්ගේ යටතේ මෙසේ අකටයුතු සිදු වෙද්දී තමන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස කෙසේ කොන්ද කෙළින් කරගෙන කාර්යාලයෙන් පිටතට යා හැකිද ?
අපේ රටේ බොහොමයක් වැදගත් ස්ථානවලට පත්ව ඇත්තේ සුදුස්සන් නොව දේශපාලන හෙංචයියන් වීම අපේ අවාසනාවට හේතු වී තිබේ. සාමාන්‍ය රැකියාවකට පවා සුදුසුකම් බලපවත්වන මුත්, උසස් රැකියා සියල්ල දේශපාලන සුදුසුකම් මත තීරණය වීම නිසා රටටම බලපාන තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලින් පැමිණෙන තීරණ සියල්ල නැවතත් සංශෝධනය කිරීමට සිදු වී ඇත. කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ කිසිදු හැඟීමක් නැත.. මේ නිසාම නාස්තිය සහ දූෂණය අධිකය… අන් රටවල උපදේශකයින් කිසියම් අධ්‍යාපන මට්ටමක් සපිරූ, ඒ ඒ ක්‍ෂෙත්‍රයන්හි ඇසූ පිරූතැන් ඇති උදවිය වුවත්, අපේ රටේ උපදේශකයින් (නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමතිතුමා සහ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මැතිණිය වැන්නවුන්) විසින් ලබා දෙන උපදෙස් මොනවාද ? මේ උපදෙස් රටේ ප්‍රගමනයට වැදගත් වෙන්නේ කෙසේද ?
රටේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටී තිබියදී, බාල බෙහෙත් වර්ග ලබාදීම නිසා දරුවන් මිය යද්දී, දස දහසක් පිළිකා රෝගීන් නිසි ඖෂධ නොමැතිව මිය යද්දී අපට කිසිදු වැදගත්කමක් නැති හියුගෝ චාවේස්ට අපේ වෛද්‍යවරු යැවීමට වඩා අපට කළ හැකි දේ බොහොමය… ඒ වෛද්‍යවරු ජාතික පිළිකා රෝහලට සතියකට වතාවක් යවා නොමිලේ ප්‍රතිකාර කළහොත් රටටත්, එයට අදාල සැමටත් ලැබිය හැකි ප්‍රතිලාභ බොහෝය…
කණ්ගැට්ටන් සහ බාබර්වරු රජකරන මේ යුගයේ තවත් අරුම පුදුම දෑ අසන්නට නොලැබුණහොත් අප පුදුම විය යුතුය.. මේ ආසියාවේ ආශ්චර්යයයි… මේවා කියන්නේ අපහසුවට පත් කරන්නට නොව හැදෙන්නටය……
සුභ අනාගතයක්. !
2012 දෙසැම්බර් 25: දෙවසරක ප්‍රගතිය.
ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්තේ 2009 අප්‍රේල් 13 වනදාය. ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වූයේ වඩාත්ම රසායන විද්‍යාවට බර ලිපි වූ අතර, ඉඳහිට දේශපාලනික යමක් ද ලියැවුණි. අළුත් යමක් පාඨකයාට සැපයීමටත්, රසායන විද්‍යාවෙන් තරමක් ඈත් වූ ලිපි පාඨකයාට යොමු කිරීමටත්, වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ වූ දිනකට එක ලිපියක් ලිවිය හැකිද යන අභියෝගය භාර ගැනීමටත් අදාලව මගේ දෙවන බ්ලොග් අඩවිය වූ ඇල්කෙමියාගේ දිනපොත 2010 දෙසැම්බර් 25 වන දින ඇරඹීමි.
භාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කිරීමට, මොන කටයුත්ත තිබුණත් දවසට ලිපියක් බැගින් ලිවීමට දිවා රෑ නොබලා කාළයක් කටයුතු කළෙමි. ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන රෑ පුරා අකුරු කර පළ කළ ඒ බොහොමයක් ලිපි එදිනෙදා දින සටහන වලට වඩා වෙනසක් නොගත්තත්, ඉන් යමක් ඔබ වෙත ගෙන ඒමට මම උත්සාහ කළෙමි. කෙමෙන් කෙමෙන් ඒ අභියෝගය ඉටු කිරීමට නොහැකි වෙද්දී, අවම වශයෙන් දින දෙකකට වරක්වත් ලිපියක් පළ කිරීමට උත්සාහ ගත්තෙමි. සමහර මාස වල අධික වැඩ කටයුතු නිසාත්, ගමනේම යෙදීම නිසාත්, මේ අභියෝගය ඉටු කිරීමට නොහැකි වුවත්, ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව හොඳ නිසාම, ඇල්කෙමියාගේ දිනපොත තෝරාගත් මාතෘකා ඔස්සේ ලිපි පළ කරන්නට විය. බොහෝ ඒවා නීරස වුවත්, ලිංගිකත්‍වය සහ දේශපාලනය සබැඳි ලිපි වලට ලැබුණ ප්‍රතිචාර අතිමහත්ය. නමුත් මා දේශපාලන ලිපි රචකයෙකු නොවේ.
මගේ පෑණේ මුවාත ඇත්තේ විද්‍යාවට බර ලිපි ලියන්නටයි. එමෙන්ම ඔබට මගේ ලිපි කියැවීමෙන් යමක් ඉගෙන ගැනීමට හැකි නම් ඒ මගේ අභිප්‍රාය ඉටු වීමකි. කුඩා කළ සිටම විද්‍යා ප්‍රබන්ධ කියැවීමෙහි රුචිකත්‍වයක් තිබූ නිසාමත්, පසු කළෙක සිදු කිරීමට අදහස් කරගෙන සිටින කාර්යයකට මුට්ටිය දා බැලීමක් ලෙසත් “පිටස්තරයා” නම් විද්‍යා ප්‍රබන්ධය ද අකුරු කරන්නට විය. එහි පසුබිම් පර්යේෂණ සඳහා බොහෝ කාළයක් වැය වුවද, එයින් මාද ඉගෙන ගන්නා දේ බොහෝය. ඒ නිසාම ඉතා සතුටින් එය ලියමි. පසුගිය දින කීපය තුළ වූ කාර්ය බහුලත්‍වය නිසාම කොටස් 14 කින් නතර වී තිබුණද, ඉදිරියේදී නැවතත් එය දිගටම ලියාගෙන යාමට අදහස් කරමි. ඒ සඳහා මටත් වඩා දැන් උනන්දු වන්නේ මගේ ලොකුම රසිකාවිය වන ඇල්කෙමිච්චියයි.
ඔබ මෙහි පැමිණීමට සමානවම මට වටින්නේ ඔබ මේ සියල්ල ගැන සිතන ආකාරයයි. එය ඔබ සිතුවිලි තුල සිරවී තිබුණාට මට පරචිත්ත විජානන ඥාණය නොමැති නිසා දැන ගැනීමට හැකියාවක් නැත. මේ නිසාම මා Blogger.com අඩවියේ ද ඇල්කෙමියාගේ දිනපොත යාවත්කාලීන කරන්නේ සමහර බ්ලොගර් පාඨකයින්ට වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීමේ අපහසුව වලකාලනු පිණිසය. නමුත්, මගේ ලිපි ඔබට රුචි නොමැති නිසාදෝ ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබීමක් නැත. මා පෙර කලෙක කිවුවාක් මෙන් මා ලිපි ලියන්නේ සමාජයට යමක් ලබා දීමටය. මගේ කතාන්දර ශෛලිය රසවත් නැත. ඒ නිසාම මා කතාන්තර ලිවීම හෝ වෙනයම් දෑ ලිවීම පිළිබඳ අවධානයක් යොමු කර නැත. එසේ කිරීමට පෙළඹෙන්නේ ද නැත. ඒ සඳහා බොහෝ දක්‍ෂ බ්ලොග් කරුවන් සිටිති.
මගේ උත්සාහය විද්‍යාව – විශේෂයෙන් රසායන විද්‍යාව ජනතාව අතරට ගෙන යාමටය. ඉදිරියේදී මේ බ්ලොග් අඩවිය තවත් පිම්මක් පණිනු ඇත. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සැකසෙමින් පවතින අතර ලබන වසර අවසන් වනවිට එහි එකලාසයක් දැකිය හැකි යැයි සිතමි. මගේ බලාපොරොත්තු සඵල වුව හොත් එය සැමට දැනුම බෙදන මධ්‍යස්ථානයක් වනවා ඇත. නමුත් ඒ සඳහා වූ බාධක බොහෝය. ඒ ගැන පසුව කතා කරමු. අවුරුදු 13 ක් ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මා පසුගිය අවුරුදු 12ම ගත කළේ වැඩිදුර අධ්‍යාපනයත් රසායන විද්‍යා පර්යේෂණ විධික්‍රමත් අධ්‍යයනය කිරීමටය. දැන් මගේ අධ්‍යාපනය සම්පූර්ණ වී ඇත. දැන් ඇත්තේ මා ලබා ගත් දැනුම බෙදා හදා ගැනීමයි. ඒ සඳහා මා උපන් මා ණයගැති රට තරම් උචිත ස්ථානයක් තවත් සොයා ගත හැක. කළකිරීම් ඇති විය හැකි වුවත්, ඉදිරි වසර තුළ මගේ ආගමනය සිදු වේ යැයි බලාපොරොත්තු වෙමි. පසුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය.
යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී. මට අමරණීයවීමේ අවශ්‍යතාවයක් නැති වුවත්, තවත් ජීවිතයක් ආලෝකමත් කිරීමේ සංතෝෂය මා සතු කරගත හැක. මේ තාක් කල් මා ආලෝකමත් කළ ජීවිත බොහොමයක් මටත් වඩා හොඳ ජීවිත ගතකරනු දැකීමම මා ප්‍රමෝදයට පත් කරවයි. මට අවශ්‍ය වන්නේ මගේ සේවය තවදුරටත් ඔවුනට ලබා දීමයි. ජයග්‍රහණයක් පතා නොවන මුත්, මගේ බ්ලොග් අඩවිය ද බස් රේඩියෝ බ්ලොග් තරඟාවලියට ඉදිරිපත් කළෙමි. එහි වූ විනිසුරු මඬුල්ල මගේ බ්ලොග් අඩවිය හොඳම රැඩිකල් බ්ලොග් අඩවිය සහ හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවිය යන අංශ දෙකටම මා තෝරාගෙන තිබූ අතර හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනා ගන්නා ලදී… ඒ මගේ බ්ලොග් අඩවිය දිනා ගත් එකම සම්මානයයි. නමුත් එය මට බොහෝ වටී.. ඒ නිසාම තව තවත් පර්යේෂණාත්මක ලිපි ලිවීමේ ආශාව මට ඇති විය. මා මගේ මාර්ගය හඳුනා ගත්තේ එම සම්මානය තුළිනි.
මේ තාක් කල් මා එකතු කරගත් දෙයක් වේද, ඒ ඔබගේ හෘදයාංගම බවයි. ඔබේ දැනුම් පරාසය පුළුල් කරන අතරම මා ලොව වටා ගොස් එකතු කරගත් දැනුම ඔබ වෙත බෙදා හැරීමද මගේ අභිප්‍රායයි. මා මෙලොවට කළ යුතු සේවය කුමක්දැයි හඳුනා ගත්තේ ඇල්කෙමියාගේ දිනපොත සහ රසායනාගාරය තුළිනි. මෙතෙක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත කියැවූ ලක්‍ෂයකට අධික පාඨක පිරිසට මගේ ප්‍රණාමය පුද කරමි. ඇල්කෙමියාගේ ලිපි කෙසේ සකස් විය යුතු දැයි මා දැන ගන්නේ ඔබේ ප්‍රතිචාර අනුවය. මෙතෙක් කල් මගේ ලිපිවල ගුණාගුණ වචනයකින් හෝ සටහන් කළ සියළුම දෙනාට මගේ විශේෂ ස්තූතිය හිමි වන අතර, තිරයෙන් පිටුපස සිට මගේ ලිපි සියල්ලේ ගුණදොස් නිර්දය ලෙස විවේචනය කරන ඇල්කෙමිච්චියට කිව නොහැකි තරම් ස්තුතියක් හිමි විය යුතුය (නැත්තං ඉඳලා හමාරය).
ඉදින්, තවදුරටත් කාළය මට ඉඩ ලබා දෙන ආකාරයට විවිධාකාර ලිපි හරහා මෙන්ම පිටස්තරයා විද්‍යා ප්‍රබන්ධයේ තවත් කොටස් හරහා ඔබ හමු වීමට අදහස් කරමි.
ස්තූතියි.
ඇල්කෙමියා.
අභ්‍යවකාශය ජයගන්නට පෙර………………..
සිහින දැකීම සහ කැපවීම සාර්ථක මඟකට ඇති කෙටිම මඟක් යැයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කර තිබුණි. මිනිසා සිහින දැකිය යුතුය. මිනිසා ඉදිරි අනාගතය පිළිබඳ සැළසුම් සකස් කළ යුතුය. පෞද්ගලිකවත්, සමාජයීයවත්, ප්‍රගමනය උදෙසා මිනිසා තනි තනිවත් සාමූහිකවත් සිහින දැකිය යුතුය. අවුරුදු 30 ක් පුරා ජාති ආගම් පන්ති භේද නොතකා අප දුටු සිහිනය වූයේ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවක් දැකීමය. හැට දහසකට අධික සාමාන්‍ය ජනතාව මෙන්ම අධික ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පසු උදා වූ වසන්තය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හෝ වෙනත් ජාති භේදයකින් තොරව අපි වැළඳ ගත්තෙමු.
ඒ වසන්තය නිමා වෙමින් පවතී… යුද්ධය අවසන් වූයේ සැමට සැනසුම් සුසුම් හෙලන්නට, බලාපොරොත්තු දල්වා ගන්නට, රටට යහපතක් උදා වේ යැයි තමන් මෙතෙක් කල් රටේ නාමයෙන් තද කරගෙන සිටි පටි බුරුල් කරන්නට කාළය පැමිණ ඇති බව පසක් කරමිනි. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ සහනය ඔවුනට ලැබුණේ නැත. නිතිපතා සාමාන්‍ය බඩු භාණ්ඩවල මිල ඉහළ යයි. කාර්යක්‍ෂමව පාලනය කළ හැකි රජයේ ආයතන පවා දිනෙන් දින අකාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය අඩු වීම, අලාභයන් ලැබීම පිළිබඳ අසන්නට ලැබේ. බොහෝ ආයතනවල ඉහළ තනතුරු හොබවන්නේ සුදුස්සන් නොව දේශපාලන හොංචයියන් ය. කළ යුත්ත පසෙක තබා සිය දේශපාලනඥයා පිණවීම, තමන්ටත් කොටසක් කඩා ගැනීම, අක්‍රමිකතා, ලිංගික අල්ලස් ලබා ගැනීම වැනි දහසකුත් නොකළයුතු දෑ සිදු වන බව නිති පතා අසන්නට ලැබේ. මේ බොහෝ ආයතන මේ රජයේම ආරම්භක කාළයේ හොඳින් පාලනය වූ හෝ ලාභ ලැබූ ආයතන වේ. මේ සත්‍ය තත්ත්‍වයයි.
ආණ්ඩුවේ බොහෝ කටයුතු බොරු සෝබනයටත්, ආටෝපයටත් මුල් තැන දී සිදු කරන බව පෙනෙන්නට තිබේ. බිලියන ගණනක් පාඩු ලැබුවත්, මිහින් එයාර් සමාගම ආණ්ඩුවේ මුදල්වලින් ණය ලබාගෙන පවත්වාගෙන යෑම එයට හොඳම උදාහරණයයි. පාඩු ලබන්නේ යැයි රජයට පවරා ගත් පැලවත්ත සීනි සමාගමට බලපාන නීති රෙගුලාසි එයට බලපාන්නේ නැත. මේ කාබාසිනියා වන්නේ රටේ ජනතාව දාඩිය මහන්සියෙන් උපයන මුදලෙන් අය කරගන්නා බදු මුදල් ය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකරන මුල් දිනවල විදුලිබල ඇමතිතුමා පාරම් බෑවේ විදුලි ඒකකයක මිල අඩුකර ජනතාවට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවය. නමුත් සිදු වන්නේ කුමක්ද ? වැඩි මිලක් ගෙවා බාල තත්ත්‍වයේ ගල් අඟුරු ආනයනය කිරීම , පසුගිය වසරේ කිහිප වතාවක් තාප බලාගාරය අළුත්වැඩියාවන් සඳහා වසා දමා තිබුණි. විදුලි බිලෙහි වැඩි වීමක් මිස අඩු වීමක් නොමැත. ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යයි. එසේ වුවත් කොළඹ රාත්‍රී රේස් සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර වලින් ලැබෙන ආදායම බද්දෙන් නිදහස්ය… මේවා කාගේ උවමනාවට වෙනස් කරන නීති ද ?
අපට දූෂණය වැලැක්වීමට බොහෝ කල් ගත වනු ඇත. නමුත් නාස්තිය නැවැත්විය හැකිය… අරපරෙස්සම මෙන්ම නිසි කළමණාකරණය, නිසි සැලසුම් මගින් බොහෝ දේ එකවර හරියට කරගත හැක. උසස් පෙළ Z අගයේ ඇති වූ පටලැවිල්ල මුලින්ම හරිගස්සා ගත හැකිව තිබුණත් අදාල පාර්ශව සිය වැරැද්ද පිළිනොගැනීම නිසා එය බොහෝ දුර දිග ගොස්, අවසානයේ අගතියට පත් වූයේ උසස් පෙළට අවුරුදු ගණනක් මහන්සි වූ සිසු සිසුවියන් ය. හෙජින් අවුලට මැදිවුන අප ඉන් පරාද වූ පසු නැවත නඩු පවරන්නට ගොස් පැරදී නැවතත් වන්දි ගෙවන්නට විය. තත්ත්‍වයෙන් බාල ඉන්ධන ආනයනය කර තවත් වතාවක රටම අර්බුධයක හෙළුනේ වැඩි ඈතක නොවේ. වරායේ සිට තෙල් ගෙන යන නළයක සුවිශාල සිදුරකින් බොරතෙල් අපතේ යන බව වාර්තා වුයේ මෑතකදීය. මේ වැලැක්විය හැකි නාස්තිකාර ක්‍රියා වේ. මේ අපා ආරංචි වන ස්වල්පයක් පමණි: නොදන්නා දේ කොතෙකුත් ඇත්ද ?
දැන් අප අභ්‍යවකාශ යුගයකට යන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2015 වසර වන විට ලංකාවේ අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යනු ඇත. යන්නේ කවුදැයි සැම දෙනාම හොඳින් දනී.. ඒ පිළිබඳ තරඟ කිරීම අනවශ්‍යය. නමුත් යන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී… අප අභ්‍යවකාශයේ සොයන්නේ කුමක්ද ? අප අභ්‍යවකාශයට ගොස් ගෙන එන්නේ මොනවාද ? අපට අභ්‍යවකාශය ජය ගැනීමට තවමත් අවශ්‍යතාවයක් නොමැත. මක් නිසාද යත්, අප තවමත් අභ්‍යවකාශ යුගයෙන් බොහෝ ඈත සිටින රටකි. අසල්වැසි ඉන්දියාව වත් තනිව අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යැවුවේ නැත. නාසා ආයතනයේ පුහුණුව ලැබූ ඉන්දීය අභ්‍යවකාශගාමීන් සිටිති. එසේම එවැනි භාරදූර කටයුත්තකට මනා පුහුණුවක් අවශ්‍යය. ගුරුත්‍වජ ත්‍වරණයට ඔරොත්තු දීමට පුහුණු වීම, යානයේ ක්‍රියාකාරීත්‍වය පිළිබඳ පුහුණුව ආදී දහසකුත් එකක් දේ පුහුණු විය යුතුය. මේ සඳහා නාසා ආයතනය නියමුවන් පුහුණු කරන්නේ වසර හත අටක කාලයක් ගතකරමින් ය. අභ්‍යවකාශයට ගොස් ඉගෙන ගැනීමට දෙයක් අපට තවමත් නොමැත. පණිවුඩ චන්‍ද්‍රිකාවක් හෝ වෙනත් වටිනා යමක් යැවුවේ නම් ඉන් ආදායමක් හෝ ප්‍රයෝජනයක් හෝ ලැබිය හැක. නමුත් කෙනෙකු අභ්‍යවකාශයට ගොස් ඒමෙන් කිසිවකු ලබන පළ ප්‍රයෝජනයක් නැත. වාර්තාවක් තැබීමට පමණක් අභ්‍යවකාශයට ගොස් පළක් නැත.
අප නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කරගෙන සිටි රටකි. අපේ අපනයන භෝග වූයේ තේ, රබර්, පොල්, ආදියයි. කුළුබඩු ද තරමක හොඳ ආදායම් මාර්ගයක් වී ඇත. නමුත් දැන් අපේ නිෂ්පාදන පහළ යමින් සිටී. අපේ අදායම් මාර්ග දැඩි තරඟයකට මුහුණ පා ඇත. කම්කරු ශ්‍රමය තිබුණත්, එහි මිල චීනය, ඉන්දියාව හා සම කළ නොහැක. එසේම වෘත්තීය සමිති කිහිපයකටම ගොදුරක් වූ අපේ කම්කරු ප්‍රජාව යුතුකම් ඉටු කිරීමට වඩා අයිතිවාසිකම් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අප තවමත් විකුණන්නේ ලාභ ශ්‍රමයයි. පුහුණු කම්කරුවන්, පුහුණු ශ්‍රමිකයන් විකිණීම පසෙක ලාභ අමුද්‍රව්‍යයක් වන ගෘහ සේවිකාවන් පිටරට පැටවීම සිදු කරනු ලබයි. මේ අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකින් එකකි. අනෙක සංචාරක ව්‍යාපාරයයි. රට වටා හෝටල හැදුවාට එය සාර්ථක නොවේ නිසි ක්‍රමවේදයකින් අප රටට පිටරටින් සංචාරකයින් ඇද ගනීම සිදු කළ යුතුය. 95000 වන සංචාරකයා පැමිණි බව සැබැවි. නමුත් අප උත්සාහ ගත්තේ නම් 150,000 ක ඉලක්කය වුවද සපුරාගත හැකිව තිබිණ. ඉන්දියානුවන් සහ චීනුන් පැමිණීම අපට ලාභදායක නොවන්නේ උන් ලාබෙට කන්නට ගෙදරින් රොටි ගේන ජාතියක් වීම නිසාය. එසේනම් අප යුරෝපීය සහ ඇමරිකානු සංචාරකයින් ආකර්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැනටමත් ග්‍රීසිය, මධ්‍යධරණී දූපත්, බහමාස් දූපත් සිය රටවල සංචාරක ව්‍යාපාරයන් යුරෝපයේ ප්‍රචලිත කිරීමට ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පළකරති. නමුත් අප රටේ ස්වභාව සෞන්දර්යය සහ ආගන්තුක සත්කාර ගැන අවධානය යොමු කිරීමත්, සංචාරක වෛද්‍ය ප්‍රතිකාර (Medical Tourism) ප්‍රචලිත කිරීමෙන් අපට බොහෝ ඇමරිකානු සංචාරකයින් ගෙන්වාගත හැකිය.
මේ ක්‍රම දෙක හැරෙන්නට අපේ පැරණි අපනයන භෝග වූ තේ, රබර්, පොල්, වලට ලැබී ඇත්තේ නරක කළ දසාවකි. පොල් කේරලයෙන් ආනයනය කරන තත්ත්‍වයට අප පත්ව ඇත. තේ වලට කසල තේ එකතු කර ලාභ ලැබීමට ක්‍රියා කිරීමෙන් ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකා තේ (Ceylon Tea) නාමය අපවිත්‍ර කරගෙන ඇත. දැනටමත් කෙන්යාව සහ චීනය ලෝක තේ වෙළඳපොල ආක්‍රමණය කරගෙන යමින් පවතී. මෙයට අමතරව ඉන්දියානු ඇසෑම් තේ සහ චීන තේ අගය එකතු කළ තේ විශේෂ ලෙස වෙළඳ පොළට එකතු කිරීමෙන් එම අංශයද තම අණසකට නතු කරගෙන ඇත. අපේ කුළුබඩු අපද්‍රව්‍ය එකතු කිරීම මගින් බාල කර ඇත. මිරිස් කුඩු සහ කහ කුඩු වලට වර්ණක එකතු කෙරේ. මේ නියැදීන් නිසි පර්යේෂණාගාරයක විශ්ලේෂණය කළ විට නිතැතින්ම බාල බව හඳුනාගැනේ… එවිට නිසි ලෙස අපනයනය කරන ආයතනයටත් අපනයන බාධක පැණවීම මගින් රටට අයවිය යුතු ආදායම පවා අහිමි වේ.
නමුත්, අපට කළ හැකි දෑ බොහෝය. මේ සියල්ලට නිසි කළමණාකරණයත්, තම නිලයට වග කියන නිලධාරීන් පත් කිරීමත්, ඔවුන් නිතිපතා ඇගයීම සහ අධීක්‍ෂණය (Evaluation and monitoring ) මගින් පාලනය කළ හැක. නමුත් සිදු නොවන්නේ ද මෙයමයි. කිසිවෙකු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා පෙනෙන්නේ නැත. සියල්ලන් ජාමෙ බේරාගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට ඇත…
ශ්‍රී ලංකාව යනු රටක් සහ වපසරිය අනුව සලකන කල අප්‍රමාණ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇති, එමෙන්ම ඉතා වටිනා මානව සම්පතක් ඇති රටකි. නිසි ලෙස පාලනය සහ කළමණාකරණය කරන්නේ නම් ආසියාවේ ආශ්චර්යය වීම අපට නොහැක්කක් නොවේ. නමුත් ආණ්ඩුවේ අනවශ්‍ය නාස්තිය කිසිවෙකුට පාලනය කළ හැක්කක් ලෙස නොපෙනේ. එය පාලනය කළ හැක්කේ ද බලය ඇති අයටමය. කිසිවෙකු ඒ සඳහා අවධානයක් යොමු කරනු නොපෙනේ…. දිනෙන් දින අප යන්නේ අගාධයටය….
අප අභ්‍යවකාශය ජය ගැනීමට ප්‍රථම කළ යුතු දෑ බොහෝය. එක් අයෙකු අභ්‍යවකාශය ජය ගත්තාට රටකට ඇති පලක් නැත. අපෙ සතු වටිනා දරු සම්පතම ඒ ජයග්‍රහණය කරා කැඳවාගෙන යා යුතුය. ඒ සඳහා අප පාසැල් පද්ධතිය, අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුය. මේ නාස්ති කරන මුදල්වලින් යම් ප්‍රමාණයක් ඒ සඳහා යෙදෙවූවේ නම් ප්‍රතිඵල දැනටම ලබාගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයට නොතේරෙන තරුණ පරපුර නිසි ලෙස අධ්‍යාපනය අවසන උසස් තාක්‍ෂණික හෝ වෙනයම් පාඨමාලා හැදෑරීමට අවකාශ ලබා දීම මගින් දැනුමින් සන්නද්ධ කළ යුතුය. අනෙක් රටවල් පිම්මේ යනවිටඅප බඩගාගෙන යන්නේ නම් ඒ දියුණුව ප්‍රමාණවත් නොවේ. එසේම විදේශීය ණය වලින් ලබන සංවර්ධනයේ පොලිය ගෙවන්නේ අනාගත පරපුර බව කිසිවෙකු නොසිතයි… රටක සැලසුම් සැකසිය යුත්තේ අවුරුදු 10 ක අනාගතය පිළිබඳ සළකා බලමිනි. එසේම රටක ප්‍රධාන අංශ කෙරෙහි අනාගතයට සරිලන ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. දියුණු රටවල් ඒ තත්ත්‍වයට පත් වූයේ තම පක්‍ෂය හෝ තම පුද්ගලික න්‍යායපත්‍ර අනුව ක්‍රියා කිරීමෙන් නොව රටකට සරිලන න්‍යායපත්‍රයකට අනුව ක්‍රියා කිරීමෙනි.
රටක බාගයක් බඩගින්නේ සිටිත්දී අගනුවර සැණකෙළි පැවැත්වීමෙන් ලබන සංවර්ධනය කිම ?
ඔවුහු කවදා මේ සත්‍යය වටහා ගනීවිද ?
පශ්චාත් ලෝක විනාශ ලග්න පලාපල….2013 මට නං කුජීතයි… ඔබට කොහොමද ?
ලෝක විනාසය අවසන්ය, මගේ වටේම ඉන්නා ග්‍රහයන් එක එක පැත්තට මාරු වී ඇත… දැන් මගේ පලාපල බලා ගැනීමට හොඳම කාළයයි. කණ්ගැට්ටා ද හොරකම් කළේ රාහු කාළය පන්නලා බැවින් මේ කතා බොරු වීමට බැරිය… මේ අන්තර් ජංජාලයෙන් හොයා ගත් මගේ ලග්න පලාපල ය… මම මේස ලග්නයේ වුනත් කරන්නේ වෘෂභ වැඩ නිසා ඇත්තටම මොන ලග්නයේදැයි කියා හිතා ගැනීමට නොහැක… ඉතිං මේ ලිපියේ රතු පාටින් තියෙන්නේ මගේ ලග්න පලාපල විග්‍රහයයි.. කළු පාටින් තියෙන්නේ ඔරිමජිනල් විස්තරයයි…..
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත. කෙළියා නේද ලොක්කා…පටන් ගත්ත ගමන්ම….. දැන් ඉතිං මොනවා කරන්න ද ? වෙච්ච දේවල හැටියට මේ වසරෙ ඉතිං වැටෙන්න තියෙන්නෙ පැදුරෙන් බිමට තමයි…
ධනය
මිල මුදල් ලාභ ලැබේ. නියමයි. ආදායම වැඩිවේ. මිල මුදල් ලැබුනාම ආදායම වැඩි වෙනවා නේන්නම්…. පඩි වැඩි වේ. ලංකාවෙ නෙවෙයි නෙ ඉන්නෙ… රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ. ඔන්න ඔන්න… මගේ රාහු හතේ නෙ… සෙනසුරාත් හතේ… හයියෝ…. අර මුලින් ලැබෙනවයි කියපු සල්ලි….. අයියෝ සල්ලි….
අධික වියදම් ඇති වේ. ආදායම වැඩි වෙනකොට වියදම වැඩි වෙනවා… එතකොට අර මුලින් ලැබෙනවයි කියපු සල්ලි ? රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි. බිරිඳට ධනය ලැබෙනවා තමයි… මගේ සම්පුර්ණ පඩියම දෙන්නෙ එයාට තමයි… සැප… පෞද්ගලික දේවල් ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න බෑ අප්පා… කෙටියෙන්ම කිවුවොත් සැප කණේ තමයි…
රැකීරක්‍ෂා
රැකීරක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. බම්බුවක් කතා කරනවා.. මීට වඩා උඩ යන්න බෑ මෙතන… වෙළ හෙළදාම් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. කරන එකම බිස්නස් එක මේක තමයි… භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. ඔන්න කට්ටිය මට වැඩ බාර දෙන්ඩෝ…. අලූතින් රැකී රක්‍ෂා ලැබේ. උසස් වීමක් ලැබුණ ගමන්ම අළුතෙන් රස්සාවකට යන එක ඒ තරම් හොඳ නෑ නේද ? ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්‍ෂා නැති වීමටද ඉඩ ඇත. හුටා….. සනියා හතේ…. දැං ඉතිං රාගම ඉස්ටේසමේ ලේන්සුවක් එලාගෙන ඉන්න තමයි වෙන්නෙ…
තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ. තනතුරු දරන්නෙ නැත්තෙ කවුද අප්පා… ඔහොම වුනොත් ඉතිං ඔක්කොටම මාරු වෙන්න වෙනවනෙ….
ගෘහජිවිතය
ගරු නම්බු ලැබේ. ඔව් ඔවු… ඇල්කෙමිච්චි ටිකක් ගරු සරු ඇතුව කතා කරනවා නං තමයි… සැපවත් කාලයකි. ආයෙත් අහලා…. රසවත් කෑම බීම සංග‍්‍රහ ආදිය ලැබෙන්නට පුලූවන. මෙච්චර කලා නොකා නෙ හිටියෙ… වාසනාව මතුවන කාලයකි. වාසනාව දොර ඇරලා බලනවා…. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඔන්න … කට්ටිය මට මතක ඇතුව ඉන්විටේෂන් එවාන්ඩ හොඳේ…. ඥාති මිත‍්‍රයෝ තමා සොයාගෙන එයි. උන් ඔහොමමයි… සල්ලි ලැබෙනවා කිවුවාම බලන්න එනවා… ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ආ එහෙම නං කමක් නෑ… ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සුද්ද වෙලා එන්න වෙයිද දන්නෙ නෑ… සතුරන් ගෙන් ජය ලැබේ. අඩෝ…. කෝ සතුරෝ ? පවුලේ පිරිස වැඩි වේ. හුටා…. මදැයි.. ආදායම… සමහර විට දරු උපතක් හෝ ඇති වේ. හුටාම තමයි… යන තැනක කොන්ඩම් දහයක් විතර අරන් යන්න වෙයි.. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. කම් සැපට ඉතිං වයසක් කොහෙන්ද ? නැට්ට කෙළින් වෙනව නං ඉතිං සැප තමයි.. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි. උගන්වන අදහසකුත් තිබුණා තමයි… ටියුෂන් පන්තියක් දාගන්න ඕන… කම් සැපත් වැඩි වෙනවා කියලා තියෙනව නෙ…
සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්‍ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. ඔව් ඉතිං… ටියුෂන් පන්තියෙ හැමදාම ලමයි එන්නෙ නෑනෙ… මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ඒකට ඉතිං කුඩා ජනයා එක්ක කටයුතු කරනවා ….. ප‍්‍රසිද්ධ සතුරන් ඇති වේ. කමක් නෑ… සතුරන්ගෙන් ජය ලබනවා කියලා ඉස්සෙල්ලා කිවුවනෙ…. කෝ සතුරෝ… ආ ? රාජ දඩුවම් පවා ලැබිය හැකිය. බ්ලොග් එක වහලා දාන්න වෙයි… ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. අපරාදෙ වවපු ගංජා ටික…. පවුලේ කරදර මතු වේ. කම් සැප වැඩි වෙනවා කිවුවම මම දැන ගත්තා ඔය ටික වෙයි කියලා… දේශපාලන කටයුතු වල නිරත වන අයට ප‍්‍රයෝජන ලැබිය හැකි කාලයකි. සුභ අනාගතයක්…. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප‍්‍රමාද වීම් ඇති වේ. ඇයි යකෝ රස්සාවට යන්නෙ නැද්ද මම ? තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. දරු උපතක් ගැන කිවුවාම මම හිතුවා…. කම් සැපත් ලැබෙනවලු නෙ… ටියුෂන් පන්තිය නොදා ඉන්නවා…. බොරු චෝදනා වලට හසු වේ. නෑ අනේ… මම එහෙම දෙයක් කළේ නැහැ… ඔය ගෑණුන්ගෙ බොරු…. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. ඇත්තනෙ.. මෙහෙම බොරු චෝදනා කොහොමද ඉවසන් ඉන්නෙ ? තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. අයියෝ… දුක සැප නිති පෙරළේ… රිය සක ලෙස මේ පොළවේ…. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. ඔන්න කිවුවා.. ඩිවෝස් නං වෙන්න බෑ…. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. කැළඹෙන්නෙ නැද්ද අප්පා මේ වෙන වැඩ වලට..නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ. අහිංසක මටමයි වෙන්නෙ…
අධ්‍යාපනය
අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. අන්න.. අළුත් කට්ටිය ආස්සරේ කරන්න ගියාම දැනුම වැඩි වෙනවා.. ඥාණය වැඩි දියුණු වේ. ඉගෙන ගන්නකොට ඥාණය වැඩි වෙන්න එපායෑ… විභාග වලින් ජය ලැබේ. ඥාණය වැඩි වෙන කොට විභාග වලින් ජය ලැබෙනවනෙ අප්පා… වර්ෂය මුල කාලයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක. ඉතිං දැං ඉන්නෙත් විදේශ රටකනෙ… තව කොහේ යන්න ද?
සෞඛ්‍යය
තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. දැං කිවුවෙ සැප වැඩි වෙනවා කියලා… එක දෙයක් කියන්න අප්පා.. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, හ්ම්…. වාත ආබාධ, පඩ නං යනවා වැඩියි තමයි.. හිරිවාත, හිරිවාතෙ ඉතිං ඇරගන්න බැරියෑ මසාජ් එකකට ගියාම…. අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ඉඩ තිබේ කියන්නෙ.. නොකා ඉන්නද කියන්නෙ ? ශරීර ශක්තිය හීන වේ. වැඩ වැඩි වුනාම එහෙම වෙනවා තමයි.. මෝජෝ එක බහිනවා… විශේෂයෙන් මුත‍්‍රා දෝශ, අර ලිංග දෝශ වලට අදාල එකක් වෙන්න ඇති… ධාතු දුර්වලත්වය, ඉතිං හත් ඉලවුවෙ දැං කිවුවා නේද දරු සම්පත් ලැබෙනවා කියලා.. ඊට පස්සෙද ධාතු දුර්වල වෙන්නෙ ? ඕක ඉස්සර වෙලා වෙන්න තිබුණෙ නැද්ද ? වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ආ… වකුගඩු ආබාධ නිසා වෙන්න ඇති මුත්‍ර දෝශ ඇති වෙන්නෙ…. ඇතැම් විට ශල්‍යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත. වකුගඩුවක් ඕනෑ කර තිබේ…. පින්වතෙක් සිටී නම් දන්වන්න………
ඔන්න ඔහොමයි මගේ ලග්න පලාපල…. බලාගෙන ගියාම මේ අවුරුද්දෙ සෙත්ත පෝච්චි වෙයි වගේ…. ඉතිං මේක මට විතරක් නෙවෙයිනෙ… ලෝකෙ පුරාම ඉන්න මේස ලග්න කාරයොන්ට සිද්ද වෙන අකරතැබ්බයක් නෙ… හොඳවැඩේ ඕකුන්ට… මට විතරක් කෙළවිලා හරියන්නෙ නෑනෙ…
ඉතිං ඔබටත් මේ ලග්න පලාපල බලාගන්න ඕන නම් යන්න මේ ලිපිනයට… ගිහිල්ලා විග්‍රහයක් කර ගන්න… අත්දුටුවයි සත්තයි… කෙළවුනාම දේවශාන්ති කරන්න අප ළඟට එන්න….
අළුත් ලෝකයක හමුවෙමු…. එය පැතුමක් පමණක්ම වේද ?
අනාවැකි බොහෝය, සම-හරක් හෙට ලෝක විනාශය වන බව පවසති. තවත් සමහරක් එසේ නොවන බව පවසති. අවාසනාවකට මේ පාර්ශව දෙකෙන් එකක් අනිවාර්යයෙන් පරදිනු ඇත. 22 වනදා උදෑසන අවදිවන සියළුම දෙනා නැවතත් පෙර පරිදිම සිය කාර්යයන් කරගෙන යනු ඇත. 22 වනදා වෙනස් දිනයකි. බොහෝ දෙනෙකු රැකියා සඳහා නොයනු ඇත. දරුවන් පාසැල් නොයනු ඇත. ඒ 22 වනදා සෙනසුරාදා දිනයක් නිසාය. නමුත්… ලෝකය 21 වනදා නිම වන විට විනාශ වුවත් නැතත්, අප ආ ගමන් මඟ දෙස නැවත හැරී බැලීමට කාළය එළඹ ඇත. එයට මීට වඩා උචිත දිනයක් තවත් දිනක නොඑළඹෙනු ඇත.
අප යන්නේ කොහිද ? අප යනුවෙන් මෙතැනදී අදහස් කරන්නේ ශ්‍රී ලාංකික අපය. ශ්‍රී ලාංකික අප සම-හරක් අය විසින් කොටස් කීපයකට විවිධාකාරව වර්ග කරගෙන ඇත. සිංහල – ද්‍රවිඩ – මුස්ලිම් – සහ වෙනත් . බෞද්ධ – හින්දු – මුස්ලිම් – කතෝලික ආගම් – වෙනත්. අධික පොහොසත් – උසස් මධ්‍යම පාන්තික – මධ්‍යම පාන්තික – දුප්පත්. බලවත් – තරමක් බලවත් – දුබල…. මේ සියළුම වර්ගීකරණයන් අප කරගෙන ඇත්තේ Homo sapiens sapiens නම් A, B, AB, සහ O රුධිර ඝණ සිරුරේ සංසරණය වන, එකම DNA සංයුතිය ඇති එකම සත්ත්‍ව විශේෂයට වීම විද්‍යානුකූලව බලන කල ඉතාම දුබල වර්ග කිරීමකි.
අද අප බොහෝ කාණ්ඩ වලට බෙදී උනුන්ට නිග්‍රහ කර ගනිමින්, තමා වඩාත් උසස් යැයි කියමින්, මුහුණු පොතේ පින්තූර බෙදා ගනිමින්, බ්ලොග් අවකාශයේ තම මතය පතුරවමින්, තමා නියෝජනය කරන පාර්ශවයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිති. මෙයින් ඔබ්බට යන තවත් සමහරු අන්‍ය ආගම් වලට අයත් පන්සල් පල්ලි කෝවිල් වලට සහ ආගමික සංකේත වලට නිග්‍රහ කරමින් තමන්ගේ බලය පෙන්වති. මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ මේ පුද්ගලයින් කිසි කෙනෙකු ඒ ඒ ආගම්වල කියැවෙන මූලික හරය තේරුම්ගෙන ක්‍රියා නොකරන බවයි. සෑම ආගමක්ම මූලික වශයෙන් එක හා සමාන යැයි මා වෙනත් ආගමක් ප්‍රචාරය කරන පුද්ගලයෙකුගේ වෙබ් අඩවියක් දැමූ ප්‍රතිචාරයට ඔහු අපූරු ලිපියක් ලියා තිබුණි. එහි සාරාංශය අනුව මතුපිටින් බැලූ කල සියළුම ආගම් එක සේ පෙනුනත්, ගැඹුරින් හදාරන විට ඒවායේ වෙනස්කම් ඇති බව ප්‍රකාෂ කර තිබුණා. නමුත් මට පෙනෙන්නේ එහි අනෙක් පැත්තයි. බොහෝ ආගම් පිටතින් වෙනස් වුවත්, ගැඹුරින් සිතා බැලීමේදී ඒ සියල්ලෙහි හරය සමාන බවයි. ඉතිහාසඥයින් සහ සාහිත්‍යධරයන් විසින් විවිධ ආලවට්ටම් දමා ආගම් විග්‍රහ කර තිබුණත්, මගේ මතයේ හැටියට නම් සියළුම ආගම් වලින් කෙරෙන්නෙ පුද්ගලයා සමාජයට හැඩ ගැස්වීමක්, විනයානුකූල කිරීමක්, සංයමයක් ඇති කිරීමකි. අවාසනාවකට මෙන් සමාජයේ වෙසෙන 98 % ක් දෙනා කිසිම ආගමක් ගැඹුරින් හදාරන්න පෙළඹෙන්නේ නැත. මේ නිසා ඔවුනට අවශ්‍ය මතුපිටින් පෙනෙන සත්‍යය පමණි. මේ නිසා අප බොහෝ දෙනෙකු ලොකු ආගම් භේදයක් මවාගෙන තම මතය ශපථ කරන්නට උත්සාහ කරමින් සිටිති. නමුත් මේ සියල්ල අවසානයේ අප මෙලොව හැර දමා යන විට කිසිවක් ගෙනයන්නෙ නොමැති බව කිසිවෙකුටත් අවබෝධ නොවේ. නමුත් කෙසේ හෝ මේ හැම ආගමකම පෙර නොවූ විරු ක්‍රියාශීලී භාවයක් දක්නට ඇත. දැනටම පෙනී යන අන්දමට බෞද්ධ – මුස්ලිම් ආතතියක් ඇතිවී තිබේ. මෙය ඉතා භයානක තත්ත්‍වයකි. අවුරුදු 30 කට අධික යුද්ධයකින් බැට කෑ ශ්‍රී ලංකාවට නැවතත් අරගලයක් අවශ්‍ය නැත. මිනිසුන් ජීවත් වන්න කරගෙන යන අරගලය හොඳටම ප්‍රමාණවත්ය.
දැන් ඇඟට දැනෙන සරළ සිංහලෙන් ලියන්නම්…..
පශ්චාත් යුධ වාතාවරණය නිසාම අපරාධ වැඩ වීමක් පෙන්නුම් කරනවා. නීතිය තමන්ට හැකි පරිදි වෙනස් කිරීමට හැකියාව ඇති නිසාම දැන් දැන් මිනිසුන් අපරාධ කිරීමට ඇති බිය අඩු වෙමින් පවතිනවා. රුපියල් 500 කට මිනී මරා ගන්නෙත්, සාක්කි දීම වැලික්වීමට සාක්කිකරුවන් මරා දමන්නෙත්, ගම බලය පෙන්වීමට දෙනෝ දාහක් මැද්දෙ කපා කොටා මරා දමන්නෙත්, තමන්ගෙ අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන යාම පිණිස තම විවාහක බිරිඳ සහ තම ලෙයින් හැදුනු දරුවා මරා දමන්න මිනිසුන් පෙළඹෙන්නෙත් මෙන්න මේ අධ්‍යාත්මික පිරිහීමත්, නීතිය පිළිබඳ මිනිසුන්ගේ ඇති අවිශ්වාසයත් යන දෙකම නිසා. මිනිසුන් නීතියට බිය නැති වුවාම ම්ලේච්ඡයන් වෙනවා කියන දේ දැන් දැන් ඇස්පනාපිටම පෙනෙන්නට පටන් අරන් තිබෙනවා.
මේ සියළුම දෙනා ආගම් භේදයකින් තොරව ජීවන අරගලයට යුධ කරමින් සිටිනවා. එසේම මේ හැම දෙනාම අමතක කරන පැත්තක් වන්නේ අපට සහ අනාගත පරපුරට ජීවත් වීමට ඇති පරිසරය විනාශ කිරීම. එය නම් ජාති භේදයක්, පන්ති භේදයක් නොමැතිව ජයටම කෙරීගෙන යනවා. දියුණු රටවල් මෙයට දක්වන දායකත්‍වය වැඩියි වගේම ඔවුන් ඒ සිදුවීම් වැලැක්වීම සඳහා දක්වන උනන්දුවත් වැඩියි. මේ නිසාම ජනතාව දැනුවත්වීම ඒ රටවල වැඩි වෙනවා. නමුත් ලංකාවෙ සිදු වෙන්නෙ එහි අනිත් පැත්ත. වසර කිහිපයකට පෙර ලංකාව කාබන් මුදා හැරීම අතින් පහළ මට්ටමකට ගෙන ආ යුතුයි කියු ඇමතිතුමාම අධික ලෙස කාබන් ඩයොක්සයිඩ් පිට කරන ගල් අඟුරු බලාගාර තැනීමට ක්‍රියාකරගෙන යනවා. ලොව දියුණු රටවල් හරිතාගාර ආචරණය නිසා අළුතින් නිරාවරණය වූ ධ්‍රැව පෙදෙස්වල ඉන්ධන සෙවීමට ක්‍රියාකරමින් පවතිනවා. මේ අපට බණ දෙසන අයගෙ ක්‍රියා කලාපයන්. සියළුම දෙනා ඇදෙන්නෙ ලාභදායී දේ සඳහා. පරිසරය විනාශ වුවත් තමන් ලාභ ඉපැයීම, අනුන් මරා හෝ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම ආදී සියළුම ලක්‍ෂණ පෙන්වන්නේ මිනිසා නැවතත් වනචාරී යුගය කරා ඇදී යාම.
අපි මේ තතත්‍වයෙන් මිදෙන්නෙ කෙසේද ? මෙයට විසඳුමක් තිබේද ? ලෝක විනාශයක් සිදු විය යුත්තේ මේ අවිචාරවත් මිනිසා නැවත සමාජගත කිරීමටද ? මිනිසා සමාජගත කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ආගම මගින් අවබෝධය ලබා දී මිනිසා සත්පුරුෂයෙක් බවට පත් කිරීම. අනෙක වන්නේ දැඩි නීති රීති අනුගමනය කිරීමත්, නීතිය නිසි ලෙස සැමට එකසේ ක්‍රියාත්මක කර සමාජය දැඩි පාලනයකට නතු කර සමාජගත කිරීමත් යන ක්‍රමයයි. නමුත් අවාසනාවකට මේ ක්‍රම දෙකම ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ආගමිකව මිනිසා යහමග යැවිය යුතු උදවිය වෙනත් කාර්යයන්හි නිරත වෙලා. ඔවුන් මෛත්‍රිය පැතිරීම වෙනුවට වෛරය, බෙදීම පතුරවනවා. එකම ආගමක වුවත් විවිධාකාර කල්ලිවාදයන් ඇති වෙලා. බුද්ධාගමේ විවිධ දර්ශනයන්, කතෝලික ආගමේ තවත් නිකායවල්, මුස්ලිම් ආගමේ කල්ලි අතර යුද්ධ, මේ නිසා මිනිසාට ආගමකින් බලාපොරොත්තු වන සහනය සහ මඟපෙන්වීම ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ කිරි වෙහෙරේ මල් විකුණන ගැහැණු ළමයින්ගේ “අනේ අපෙනුත් මල් ගන්න” හා සමාන මාකටින් එකක්. නීතිය පැත්තෙන් ගත් කළ බලවත් ධනවත් අයට එක නීතියකුත්, දුබලයාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ බව අපි මෑතකදී සිදු වූ සිදුවීම් වලින් පැහැදිලිවම දුටුවා. මේ නිසාම සාමාන්‍ය මිනිසාට නීතිය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසාම ඔවුන් නීතිය අතට ගන්නවා. අවාසනාවකට මේ නීතිය අතට ගත් අය ආරක්‍ෂා කරන්නත් බලවතුන් සැදී පැහැදී සිටිනවා.
මෙයයි තිත්ත ඇත්ත… මිනිසුන්ට සිතන්න යොමු කරන්නෙ නැහැ. ජනමාධ්‍ය පවා මිත්‍යා විශ්වාස පතුරවනවා හැරෙන්න බුද්ධිමය සංවාදයක් ගොඩ නඟන්නෙ නැහැ… ඔවුන් ඒ සඳහා ආයෝජනයක් කරන්නෙත් නැහැ. ඒ ඔවුනට එය ලාභදායී නොවන නිසා. බොහෝ ජනමාධ්‍ය මුල්තැන දෙන්නෙ මිත්‍යා විශ්වාස වලට. මා පෙර සඳහන් කළාක් මෙන් ජනමාධ්‍ය කරන්නේ වාර්තාකරණය පමණයි: විග්‍රහය අමතක කරලා.
මෙන්න මේ නිසා ලෝක විනාශය සිදු විය යුතුයි කියා මා සිතනවා. ලෝක විනාශය සිදු වන්නෙ නැහැ… නමුත් මිනිසා විනාශ විය යුතුයි. මේ වසරේ සිදු නොවුනත් මිනිසා සිදු කරගෙන යන මේ පාරිසරික විනාශය නිසා ළඟදීම ලොකු විනාශයක් සිදු වේවි. ලෝකය විනාශ වී සියළු දේ නැවත ඇරඹීමට මිනිසාට සිදු විය යුතුයි. මිනිසා නැවත සිය ආත්මාර්ථකාමී ලෝකයෙන් මිදී මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යන මතයේ සිට ක්‍රියා කළ යුතුයි. මේ සියල්ල අවසන අපට ඉතිරි වන්නේ කුමක්ද යන්න සැමටම සිතා බැලිය යුතු කාළයක් පැමිණ තිබෙනවා. නැවත මිනිස් සිත් සතන් තුළ මානව දයාව ගොඩ නැඟීමට ලෝකය විනාශ විය යුතුයි…
ඔබ හිතන්න. ඔබ අද දවසේ අනුන් වෙනුවෙන් යමක් කළාද කියා. ඔබ තම් වෙනුවෙන් දහසක් දේ කර ගන්න ඇති. නමුත් අනුන් වෙනුවෙන් අඩුම ගණනේ දොරක් වත් ඇරලා දුන්නාද ? හිඟන්නන්ට නම් සල්ලි දීම අපරාධයක්… මොකද කියනවා නම් උන් අපට වඩා පොහොසත්තු… විස්තරේ මෙතැනින් බලන්න. ලෝකයේ අමරණීය මිනිසුන් කිසිකෙනෙකු තමා වෙනුවෙන් යමක් කරගෙන අමරණීය වුනේ නැහැ. සී ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා තවමත් සිහි කරන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස, ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන කතා කරනවිට සිහි වන්නේ එතුමා ඇතිකළ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය. ගාමිණී දිසානායක මහතා තිස් වසරකින් නිමකළ යුතු මහවැලි ව්‍යාපාරය වසර හයකින් නිම කිරීම නිසා ඉතිහාසගත වනවා. ආර් ප්‍රේමදාස මහතා (මොනවා කළත්) තවමත් මිනිසුන් සිහි කරන්නෙ දුප්පත් මිනිසුන්ට නිවාස තනා දුන් කෙනෙකු විදියට. මහින්ද රාජපක්‍ෂ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතුන් ඉතිහාසගත වන්නෙ තිස්වසරක යුද්ධය නිම කිරීම නිසා. මේ ලංකාවෙන් ගත හැකි සරළ උදාහරණ කිහිපයක් පමණයි. ලොව වටා මෙවැනි උදාහරණ අනන්තවත්.
තමා සතු අමතර යමක් වේනම්, ඒ දේ අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදවීමට පසුබට වෙන්න එපා. එසේම තමා අත්විඳින්නට අකැමැති දෙයක් අනුන් වෙත සිදු කරන්න යන්නටත් එපා. එයයි සරළම නීතිය.
යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී..
What we have done for ourselves alone dies with us; what we have done for others and the world remains and is immortal.
ඒ මා අදහන පරම සත්‍යය….
හෙට මේ ලෝකය විනාශ වුවත් නැතත්, අපට අළුත් ඇරඹීමක් කළ හැකියි…
ඒ අළුත් ලෝකයේදි අළුත් සිතුම් පැතුම් හද පුරවගෙන අපි හමු වෙමු ! ඊට පස්සෙ අපි ලෝකය යහපත් තැනක් කරන්න වෙහෙසවෙමු… උත්සාහ කළොත් බැරි නෑ… හෙට ඉඳලා වෙනස් වෙමු. !
පිටසක්වල ජීවින් ඉන්නවද ? නැත්නම් අපට පිස්සුද ?
ජීවීන් වසන එකම ලොව පෘථිවිය විය නොහැක. බොහෝ ලෝකයන්හි ජීවය තිබිය හැකි අතරම, ඒ ජීවීන් සමහරවිට අපට වඩා දියුණු හෝ එසේත් නැතිනම් අපට වඩා ප්‍රාථමික විය හැකිය. කෙසේ වුවත් අප වසන සෞරග්‍රහ මණ්ඩලයේ නම් ජීවී ග්‍රහලෝකයකට ඇත්තේ පෘථිවිය පමණක්ම බව අපට බොහෝ දුරට ප්‍රත්‍යක්‍ෂ වී හමාරය. නමුත් අප වැරදි විය හැකිය.
2012 දෙසැම්බර් 21 වන දින සිදුවනවා යැයි කියන ලෝක විනාශය හා සමගාමීව විවිධාකාර සිදුවීම්වල සංඛ්‍යාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා යැයි කියන විවිධාකාර ආලෝකයන්, විවිධ පෙදෙස්වලට වසින රතු පැහැති වර්ෂාව මේ හා සමගාමී වෙතැයි බොහෝ දෙනෙකු පවසති. වෙනකක් තබා ලංකාවෙන් බිහි වූ විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහයන් පවා මේ රතු වැස්ස පිටසක්වල ජීවීන්ගෙන් සමන්විත විය හැකි බව පවසා තිබෙනු පුවත්පතක දක්නට ලැබුණි.
සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිත්ද ? එසේ නම් මේ තාක් කල් ඔවුන් අපව සම්බන්ධ කර ගත්තේ හෝ අපට ආක්‍රමණයක් සිදු නොකළේ මන්ද ? මේ දකින එළි, මේ වසින වැසි පිටසක්වලට සම්බන්ධ විය හැකිද යන කරුණු විග්‍රහ කරනු වස් මේ ලිපිය ලිවීමට අදහස් කරමි. මේ ලිපිය සංවාදයට විවෘත මෙන්ම, මෙහි අඩංගු දෑ පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි.
විශ්වය අනන්ත සංඛ්‍යාවක් තාරකා, ග්‍රහලෝක සහ වෙනත් සංඝඨක වලින් සමන්විත ඉමක් කොණක් නොපෙනෙන අනන්ත වූ අවකාශයකි. මේ විවෘත අවකාශයේ හඳුනාගත් සහ නොගත් මන්දාකිණි ගිණිය නොහැකි සංඛ්‍යාවක්ද, ඒවායේ අනන්තවූ තාරකා වටා සැදුම්ලත් ග්‍රහමණ්ඩලද පවතී. මේ ග්‍රහ මණ්ඩලයන්හි පෘථිවිය හා සමාන තත්ත්‍වයන් ඇති ග්‍රහලෝක පැවතීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති. මෙවැනි ග්‍රහමණ්ඩල ඇත්තේ එකක් දෙකක් පමණක් නොවේ. මේ නිසාම අනන්ත විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථීවිය පමණක් යැයි උපකල්පනය කිරීම කළ නොහැක්කකි.
මේ පිටසක්වල ජීවීන්ගේ සිරුරු කෙසේ සැකසී ඇතිද යන්නවත්, කුමක් මත යැපෙනවාද, කුමන වායුවක් ආඝ්‍රාණය කරනවාද, කුමන භාෂාවක් කතා කරනවාද යන්න උපකල්පනය උගහටය. පෘථිවියේ පමණක් ජීවත් වන විවිධාකාර ජාතීන්ගේ විවිධත්‍වය සළකා බලන කල ඔවුහු විවිධාකාර වර්ණ, ශරීර ප්‍රමාණ, භාෂා භාවිතය, ආහාර ක්‍රම ආදී සුවිශාල විවිධත්‍වයකින් යුතු පිරිසකි. පිටසක්වලයින්ගෙන් ද අපට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි විවිධත්‍වයකි. උදාහරණයක් ලෙස අනාගතයේ පෘථිවි වාසීන් පිටසක්වල ජීවය සොයා යවන යානයක යවන පෘථිවි වාසීන්ගේ නියැදියක සංයුතිය විය හැක්කේ කුමක්ද ? බොහෝ විට එම යානය පිටසක්වලට යවන රටෙන් තෝරාගත් පිරිසක්ද ? එසේත් නැතිනම් ලෝකයේ ජනගහන අනුපාතයට අනුව සැකසුන සංයුතියක්ද ?
මේ න්‍යායම අප පිටසක්වල ජීවීන් ඇතුලත් යානයකට යෙදූ විට අපට කුමන වර්ගයේ ජීවී කොට්ඨාසයක් දක්නට ලැබේද ? එසේම ඔවුන්ට පෘථීවි පරිසරය තුළ පැවැත්මක් තිබිය හැකිද ? උදාහරණයක් ලෙස අප ආශ්වාස කරන 78% ක නයිට්‍රජන් වායුව සහ 20.8 % ඔක්සිජන් අඩංගු වාතය ඔවුනට විශ සහිත වන්නට පුළුවන. ඔවුහු වෙනත් වායුවක් ආශ්වාස කරන පිරිසක් වන්නටද පුළුවන. අපේ ජීවය ගොඩනැඟෙන්නේ නයිටජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් වුවත් ඔවුන් වෙනත් මූලද්‍රව්‍ය සංඝඨක කරගෙන තැනුන සංයෝගවලින් සමන්විත ජීවීන් කොට්ඨාසයක් විය හැකි සම්භාවිතාවය ඉතා ඉහළය. මිනිසාට වෙනත් ග්‍රහලෝකයක පැවැත්මක් නැති සේම ඔවුනටද පෘථිවියේ පැවැත්මක් නොතිබිය හැකිය. මේ නිසා පෘථිවිය මත පිටසක්වල ජීවීන් ක්‍රියාකාරීව (ජීවී තත්ත්‍වයෙන්) දැකීම ඉතා විරල කරුණක් විය හැකිය.
මේ හා සමානවම නැගෙන ප්‍රශ්නය නම්, ඔවුන් පියවි ඇසට දැකිය හැකිද යන්නයි. අප දෘෂ්ඨි පරාසය පවතින්නේ නැනෝමීටර 350 සිට 750 ක් දක්වා සුළු පරාසයක පමණි. පිටසක්වල ජීවීන් අපේ දෘෂ්ඨි පරාසයටම අයත් වේදැයි යන්න අපට කිව නොහැක. සමහරවිට ඔවුහු පාරජම්බුල කිරණ හෝ අධෝරක්ත කිරණ දෘෂ්ඨි සංවේදනය පිණිස භාවිතා කරන කාණ්ඩයක් වන්නට පුළුවන. මේ නිසාම අපට පිටසක්වල ජීවින් සිටියත් දැකගන්නට ලැබේද යන පැනයට පිළිතුරු සැපයීමට ද සිදු වේ. එමෙන්ම ඔවුන්ගේ ශ්‍රවණ පරාසය කුමක් විය හැකිද ? මනුෂ්‍ය ශ්‍රවණ පරාසය හර්ට්ස් 20 සිට 20000 දක්වා වුවත් වෙනත් සතුන්ගේ පවා මෙයට වඩා වෙනස් පරාස පවතී. එසේම පිටසක්වල ජීවීන්ගේ ශ්‍රවණ පරාසය අපට සමගාමී විය හැකිද ? පිටසක්වලට කන් යොමා සිටින දියුණු රටවල් සිය ඉලෙක්ට්‍රොණික ශ්‍රවණ උපකරණ සෑම සංඛ්‍යාතයකටම පාහේ සුසර කර තිබුණත්, තවමත් සතුටුදායක පිළිතුරක් නොලැබුණේ ඇයිද ? මේ ප්‍රශ්න අපට සරළව පිළිතුරු දිය හැකි ප්‍රශ්න නොවේ.
පිටසක්වල යානා සැබෑද ?
සමහරවිට පිටසක්වල ජීවීන් සතුව අපට වඩා දියුණු තාක්‍ෂණයක් තිබිය හැකිය. කාර්මික විප්ලවයෙන් සියවස් දෙකක කාළයක් තුළදී මිනිසාට මේ තරම් දියුණුවක් ලබා ගැනීමට හැකි වුණි නම්, ශබ්ධයේ වේගය අභිබවා යන ගුවන්යානා තැනීමට හැකිනම්, රේඩාර් පද්ධතිවලට හසු නොවන ගුවන් යානා නිපදවීමට හැකිනම්, පිටසක්වල ජීවීන්ට දියුණු තාක්‍ෂණයක් පැවතීම පිළිබඳ සැකයක් නොමැත. එසේ නම් ඔවුන් තම තාක්‍ෂණය භාවිතාකර අධික වේගයෙන් ගමන්කරන යානා මෙන්ම ක්‍ෂණික ත්‍වරණයක් ලබා ගත හැකි යානා ද නිපදවීමේ තාක්‍ෂණය ද ඔවුනට තිබිය හැක. පෘථිවි වාසීන් සිය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක ගවේෂණය කරනවා සේම ඔවුනට ද වෙනත් ග්‍රහලෝක ගවේෂණය පිණිස සිය යානා එවීමේ හැකියාවක් ඇතිබව අපට සිතිය හැකිය.
නමුත්, පෘථිවි වාසීන් දකින විවිධාකාර ආලෝකයන් සියල්ල පිටසක්වල යානා දැයි සැක කළ හැකිද ? මේ පැණයට පැහැදිළි පිළිතුරු දෙකක් ඇත. එනම් ඔව් සහ නැත යන්නයි..
කිසිවෙකු ඩ්‍රෝන යානා දැක තිබේද ? ඇමරිකානු ගුවන් හමුදාව සතු ඩ්‍රෝන යානා යනු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ හැකි නියමුවන් රහිත ගුවන් යානා විශේෂයකි. මේ ගුවන් යානා විවිධාකාර අරමුණු පිණිස යොදාගනු ලැබේ. උදාහරණයක් ලෙස පකිස්ථානයේ තෝරාගත් ඉලක්ක වලට පහර දෙනු ලබන්නේ ඇමරිකානු ඩ්‍රෝන යානා වලිනි. තවත් සමහර යානා ඔත්තු බැලීම පිණිස යොදා ගනී… තවත් සමහර යානා තම ඉලක්කවල චලනයන් නිරීක්‍ෂණය පිණිස යොදා ගනී.. මේ යානා බොහොමයක් පියාසර කරන්නේ ඉහළ ගුවන් තලයක වුවත්, අවශ්‍ය විටෙක පහළට ගැනීමේ හැකියාව නැත්තේද නොවේ. ඩ්‍රෝන යානා සතු වන්නේ ඇමරිකානු ගුවන් හමුදාව පමණක් නොවේ. අසල්වාසී ඉන්දියාව සහ චීනයද ඩ්‍රෝන යානා රටවල් දෙකකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නියමුවන් රහිත ගුවන් යානා සතු ගුවන් හමුදාවකි. අප සාමාන්‍යයෙන් නොසිතනවා වුවත්, මේ ඩ්‍රෝන යානා හෝ නියමුවන් රහිත ගුවන් යානා යුධ කටයුතු සඳහාම පමණක් යොදා ගැනීමක් සිදු නොවන බව දැනගත යුතුය.
යම් හෙයකින් පිටසක්වල ජීවීන් පෘථිවිය ගවේෂණයට පැමිණියා යැයි සිතමු. ඔවුන් පැමිණියේ නම් ඔවුන් ගවේෂණය කරනු ඇත්තේ කුමන ආකාරයේ රටවල්ද ? උදාහරණයක් ලෙස ගත් කළ රාත්‍රී අහස අභ්‍යවකාශයේ සිට නිරීක්‍ෂණය කිරීමේදී ඔවුනට දැකිය හැක්කේ මෙවැනි ආලෝක සිතියමකි.
මෙවැනි සිතියමක් දකින ඔබ, නිරීක්‍ෂණය සඳහා යොදා ගනු ලබන ස්ථානය වන්නේ කුමක් විය හැකිද ? වඩාත් ආලෝකමත් අමෙරිකාව, ජපානය, යුරෝපය වැනි ප්‍රදේශ ද ? එසේත් නැතිනම් අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වැනි මිනිස් වාසයෙන් තොර යැයි සිතිය හැකි ප්‍රදේශ ද? එසේත් නැතිනම් ඉන්දියාව – ශ්‍රී ලංකාව වැනි මධ්‍යස්ථ ආලෝකයක් ඇති පෙදෙසක්ද ?
තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය චන්‍ද්‍රා ජයරත්න මහතා පවසන්නේ මෙයට පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තිබිය නොහැකි බවයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සංසිද්ධිය මෑතදී ක්‍රියාශීලී වුන ලියොනිඩ් උල්කාපාත වර්ෂාව සම්බන්ධ සංසිද්ධියක් විය හැකි බවයි. එසේ වුවත් කිසි විටෙක උල්කාපාත නැවත අහස කරා ඇදෙන්නේ හෝ එකතැන පැය ගණනක් දර්ශනය වන්නේ හෝ නොමැත. එසේ නම් මේ එළි මොනවාද ?
පිටසක්වල ජීවීන් සිටිත් නම්, සිය නිරීක්‍ෂණ කටයුතු සඳහා ලංකාවම යොදා ගන්නේ ඇයි ?
පිටසක්වල ජීවීන්ට ලංකාව කෙරෙහි අවධානයක් ඇතිවීමේ කිසිදු සාධකයක් නොමැත. ශ්‍රී ලංකාව සංවර්ධනය අතින් හෝ වෙනයම් දර්ශකයක් අතින් කැපී පෙනෙන ස්ථානයක පවතින රටක් නොවේ. අවම වශයෙන් දුප්පත්කම අතින්වත් අපි කිසිදු අන්තයක නොසිටින රටකි. ආසියාවේ ආශ්චර්යය වන්නට අපේ නායකයින් පෙරුම් පිරුවත් අවම වශයෙන් ඔවුන්වත් ඒ ඉලක්කය කරා රට නිසි ලෙස මෙහෙයවන කාණ්ඩයක් නොවේ. මේ නිසා පිටසක්වල ජීවීන්ට අපේ රට තුළ ගතයුත්තක් නැත. එසේ නම් ඔවුන් අප රටේ සැරිසරමින් සිය කාලය, ඉන්ධන (ඇතිනම්) හෝ ශ්‍රමය කා දමන්නේ නැත.
එසේනම්, දිනපතා අප දකින මේ වෛවර්ණ ආලෝකයන් මොනවාද ? ඒවා වෙනත් රටකින් ඔත්තු බලන්නට එවූ ඩ්‍රෝන යානාද ? විය නොහැකිය, දැන් අප රටේ යුද්ධයක් නැත, සාමයක් ඇතත් එය කිසිදු රටකට වැදගත් සාමයක් ද නොවේ. ග්‍රාමීය පෙදෙස්වල දර්ශනය වන මේ එළි, බොහෝ දෙනෙකු දුටු, ජංගම දුරකථන මගින් පටිගතකළ දර්ශන සහිත වස්තූන් වේ.. එසේ වුවත්, කිසිවෙකු මේ ආලෝකයන් මොනවාදැයි හරිහැටි හඳුනාගෙන නැත. ආලෝකය විවිධාකාර සංසිද්ධීන් ඇතිකරයි. ක්‍ෂිතිජයෙන් පුරසඳ නැඟ එනවිට එය විශාලව පෙනුනද, නිසි ගණනය කිරීමක් කළ විට එය ඉහළ අහසේ බැබලෙන සඳ හා සමාන විශ්කම්භයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි. පසුගිය වසරක සෝමාවතියේ බුදුරැස් නැරඹීමට ගොස් කිහිප දෙනෙකු පෑගී නිවන් ගියේ විචාර බුද්ධියකින් තොරව ආගමික ප්‍රබෝධය පසුපස දුවන පිරිසගේ ප්‍රමාණය හොඳින් පෙන්වා දෙමිනි. අප බොහෝ දෙනා සිතා සිටින්නේ පිටසක්වල යානා බටහිර ක්‍රියාදාම චිත්‍රපටවල මෙන් සුවිසල් විය යුතු බවය. එය එසේ විය යුතුයැයි කියා නීතියක් නැත. ඒවා ඉතා කුඩා වස්තූන් විය හැකිය. ගුවන් හමුදාවෙන් කියැවෙන්නේ සිය රේඩාර් පථයනට ඒ යානා හසු නොවූ බවය. කොටින්ගේ කුරුම්බැට්ටි යානා ද ඒ රේඩාර් වලට හසු වූයේ නැත: කුඩා පිටසක්වල යානා ගැන කවර කතාද ?
මෙය අපේ රටේ අවශ්‍යතාවයකට පිටරටකින් සැපයූ සහනයක්ද ? දැන් අප රටේ පවතින්නේ දැඩි ව්‍යාකූල තත්ත්‍වයකි. පසෙකින් අගවිනිසුරුවරියට විරුද්ධ දෝෂාභියෝගය පිළිබඳ වියවුලයි. තවත් පසෙකින් ජීවන අරගලය පිළිබඳ සටනයි. මේ සියල්ල අමතක වීමට අවශ්‍ය වන්නේ විස්තර කළ නොහැකි යමක් ජනතාව වෙත සැපයීම පමණි. පැට්‍රල් මිල රුපියල් දහයකින් වැඩි වූ පසු පිටසක්වල යානා නොපෙනී ගියේ ඔවුනට ඉන්ධන මිල දරාගත නොහැකි වීම නිසා විය හැකිව. මිනිසා තේරුම්ගත නොහැකි සංසිද්ධීන් වලට වැඳුම් පිදුම් කළේ ශිෂ්ඨාචාරය බිහි වූ දා පටන් ය. හිරු දේව වන්දනාව, අග්නි වන්දනාව, දේව වන්දනාව ආදී විවිධාකාර වැඳුම් පිදුම් මිනිස් සිත් සතන් තුළ පැලපදියම් වූයේ ඔවුනට ඒවා තේරුම්ගත නොහැකි වූ නිසාය. අවාසනාවකට ලාංකීය ජනතාව තවමත් රූපවාහිනී නාලිකා වල කියැවෙන සියල්ල සත්‍ය යැයි සිතා සිටින පිරසකි. ලාංකීය ජනතාව පමණක් නොව 2012 දෙසැම්බර් 21 වන දින ලෝක විනාශය සිදු වනවා යැයි විශ්වාස කරන බොහෝ පිරිසක් බටහිර රටවල ද සිටිති.
උදාහරණයක් ලෙස යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන සමහර චීවරධාරීන් වශී ගුරුකම් වලින් දෙදෙනකු එක් කරන බව ප්‍රචාරය කරන්නේත්, ඒ චීවර ධාරියාම අනවශ්‍ය සම්බන්ධකම් නැවැත්වීමට ගුරුකම් කරන බව ප්‍රචාරය කරන්නේත් එකම නාලිකාවේය. යම් හෙයකින් කිසියම් දෙදෙනකු වශී ගුරුකමකින් එකතු කිරීමට උත්සාහ දරද්දී, එම පාර්ශවයේම ඥාතීන් එම සම්බන්ධය නැවැත්වීමට ගුරුකමක් කළොත් ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ කාගේ ඉල්ලීමට දැයි සිතීමට අපේ ජනතාව බුද්ධිමත් නැත. ඔවුහු නොදකින ගුරුකමක පිහිට පතමින් මුදල් නාස්ති කරති. අපේ රටේ සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු පවා නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව උගෙන ගත් බව අප සැම දන්නා කරුණකි.
රටක ජනතාව අයාලේ යන තරමට, විචාරශීලී නොවන තරමට පාලකයනට පහසුය. ලංකාවේ පමණක් නොව සෑම රටකම දේශපාලනඥයින්ගේ එකම ප්‍රාර්ථනාව විචාරශීලී නොවන කියන දේ අහගෙන, තමන් කරන දේ ඉවසා සිටින ජනතාවකි. අපේ රටේ ජනතාව සිය දේශපාලනඥයින්ගේ ඒකායන ප්‍රාර්ථනාව පමණටත් වඩා ඉටු කරති, එමෙන්ම සියළුම ජනමාධ්‍ය සිය වගකීම ඒ හා සමානවම ඉටු කරති. ඔවුනට අවශ්‍ය ජනතාවගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීම නොව, ලාභ දේ විකුණාගෙන කෑමයි. මේ නිසා බොහෝ පුවත්පත් බුද්ධිමය සංවාදවලට ඉඩක් ලබා නොදේ- ඒවායේ ලියැවෙන්නේත්, ප්‍රමුඛත්‍වය ලැබෙන්නේත් එදිනෙදා කියැවෙන සරළ කතාන්දර සඳහා පමණි. වර්තමාන ජනමාධ්‍ය කරනුයේ වාර්තාකරණය පමණි. විග්‍රහයක් කිසිසේත්ම සිදු නොවේ. ජනතාව ඉල්ලන දේ ලබා දීම ඔවුන්ගේ න්‍යායපත්‍රයයි. වෙනකක් තබා මුලදී විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකුන විදුසර පුවත්පතත් දැන් දැන් නාථ දේව න්‍යාය පසුපස යාමෙන්ම ඒ බව මොනවට පැහැදිලි වේ. සමස්ථයක් වශයෙන් රටේ ජනතාව විද්‍යාවට බියක් දක්වයි. කිසිවෙකු විද්‍යාත්මක යමක් පැවසූ පමණින් විචාර බුද්ධියකින් තොරව පිළිගන්නේ ඒ නිසාය. එසේම ජනතාවට විද්‍යාව සමීප කිරීම අපහසු කරුණක් වී ඇත. ජනමාධ්‍ය විචාර බුද්ධියට තට්ටු නොකරන තාක් කල් එය සිදු නොවනු ඇත.
කුඩා කළ අප අහසට සරුංගලයක් යවා එහි නූල දිගේ බකට් පත්තු කර අහසට යැවුවා අපට මතකය.. ඉන් අපි නොමඳ සතුටක් ලැබුවෙමු. සමහරු ඒවාටත් පිටසක්වල යානා යැයි රැවටුන බව අපට මතකය.. එකළ ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කිරීමට තරම් බංකොලොත් වී නොතිබුණි.
තර්කාණුකූලව ගත් කල පිටසක්වල ග්‍රහලෝකවල ජීවීන් සිටිය යුතුය. ඔවුහු අප මෙන්ම අනෙක් ලෝක පිළිබඳ විමර්ෂණයේ යෙදෙනු ඇත. නමුත් ඔවුහු සති දෙකක සවාරියකට ආලෝක වර්ෂ දහස් ගණනක් ගතකර මෙහි නොඑනු ඇත. ජනතාව මෙයට වඩා අවධියෙන්, තර්කාණුකූලව මේ සංසිද්ධි දෙස බැලිය යුතුය. ජනමාධ්‍ය විද්‍යානුකූලව මේ සංසිද්ධි විග්‍රහ කළ යුතුය.
අප – මේ දෙස මෙයට වඩා විචාරශීලීව බැලිය යුතුය. නැතිනම් අපට පිස්සු බව බොහෝ දෙනා කියනු ඇත.
2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා….
නිධාන කතාව:
අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ…
පොඩිනම… මෙහාට ආවනං…. ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා….
එනවෝ……. කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා…
පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ… එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ…
කනවාට කියන්නෙ වළඳනවා කියලා… එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා…කියනවට කියන්නෙ වදාරනවා කියලා… ඒ නිසා ඒ වගෙ යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන… හොඳද ?
එහෙමයි ලොකු හාමුදුරුවනේ……
මෙහෙම ටික දවසක් ගතවෙද්දි, පොඩිනම කුඹුරක් මැද්දෙන් යද්දි බල්ලෙක් එළවගෙන ඇවිත් පොඩිනම හපා කන්න… ඉතිං පොඩි නමත් බුදු මෑණියනේ කියාගෙන කුඹුරේ වැටි වැටි පන්සලට දුවගෙන ඇවිත්… ඉහිං කණින් දාඩිය දාගෙන සිවුර පුරා මඩ ගාගෙන දුවගෙන ආපු පොඩිනමගෙන් ලොකු හාමුදුරුවො ඇහුවෙ මොකද්ද මේ සංගදිය කියලා..
ලොකු හාමුදුරුවනේ මම කුඹුරේ නියර දිගේ පන්සලට වැඩගෙන එනකොට බල්ලෙක් ආවනෙ මාව වළඳන්න…. මම වැඩ්ඩා වැඩිල්ලක්… වැඩ්ඩ පාරට සිවුර වෙලේ වැටුනා….
හාමුදුරුවොන්ට සිනා පහළ වුනත් පොඩි නමට කිසිවක් කියලා නැත්තෙ හැම යාමක්ම ඒමක්ම වැඩිල්ලක් නොවන නිසා වෙන්න ඇති…
ඒ වගේම මේ ලොකු හාමුදුරුවො දවසක් ස්නානය කරමින් සිටින වෙලාවක පන්සලට දායක මහතෙක් ඇවිත් පොඩිනමගෙන් විමසුවලු ලොකු හාමුදුරුවො කොහිදැයි කියා…
ලොකු හාමුදුරුවො දියවැඩියා කිවුවලු… ඉතිං දායක මහත්තයා කිවුවලු… අනේ පොඩි හාමුදුරුවනේ මම හිතුවෙ ලොකු හාමුදුරුවො උඩවැඩියා කියල….
ඉතිං මේ සරළ කතාව කාටවත් හිත් රිදවීමක් නොවෙයි කියලා මම හිතනවා… කොහොමත් ආගම වපුරගෙන වවාගෙන කන අයට නම් සමහරවිට මේක ලොකු කතාවක් වෙයි…
නමුත් මේ කතාව මට මතක් වුනේ ලංකාවෙ දායකයින්ට හාමුදුරුවන්ට දානය දෙන එකට ආචාරධර්ම පද්ධතියක් පණවන්න යන එක ගැන කියැවිච්ච මෙන්න මේ පුවත දැකලා...
අපි කවුරුත් බොහොම කැමතියි දන් දෙන්න… දන් දීම කොයි තරම් හොඳ දෙයක්ද ? නමුත් මේ දන් දීම ගැන අපි බලන්නෙ මොන විදියටද ? තමන් කැමති ඉස්තරම්ම කෑම ජාති උපරිමෙන්ම හදලා කටට රහට හාමුදුරුවන් වහන්සේලාට පිදීම තමයි අපි හැමෝම බලන්නෙ… ඉස්සර නම් දාන වලට කුකුළු මසුත් අනිවාර්යයෙන්ම තිබුණත්, දැන් දැන් මස් මාළු දාන වේල් වලින් ඈත් වෙලා තිබෙනවා. අපේ ශ්‍රද්ධාව වැඩිකම නිසා බොහෝ විට අමාරුවෙ වැටෙන්නේ පන්සල්වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා. මොකද කියනවා නම් අපි පූජ කරන දානය බොහෝ විට අමාරුවෙන් හෝ වළඳන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දානයෙන් ලැබෙන අධි කැලරි පෝෂණය දිරවගන්න බැරි වීම නිසා. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පිණ්ඩපාතයේ වැඩීමට නියම කළේ නිකම්ම නොවෙයි. ඇවිදීමෙන් ශරීරයට සිදුවන සෙත, පිණ්ඩපාතය මගින් ලැබෙන ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුතුව වැළඳීම, ආදී බොහෝ දේ නිසයි (මේ පිළිබඳ දන්නා කියන කෙනෙකු දැනුවත් කරනවා නම් අගෙයි). කොහොම වුනත් දැන් කාළයේ පිණ්ඩපාතයේ යාමක් කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සක්මන් කිරීමක් හෝ සිදු වනවා දැයි දන්නෙ නැහැ… මේ නිසාම බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධාකාර රෝගවලින් පීඩා විඳිනවා.
අධික තෙල්, ලුණු, සහ මේදය ඇති ආහාර වැළඳීම මගින් කොලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝගත්, සීනි අධික ආහාර වැළඳීම නිසා දියවැඩියාව වැළඳීමත් මෙයින් ප්‍රධානයි. මේ නිසාම දැන් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ දාන වේලක් පිරිනමන මෙන් සිය දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසාම අපේ උපාසකම්මලා මහා පරිමාණ දාන වේල් සපයනවා. මෙය දෙපැත්ත කැපෙන පිහියක්, තම දායක දායිකාවන් නිසාම ඒ ඒ දානය යන්තමින් හෝ වැළඳීමට ඒ ස්වාමීන් වහන්සේලාට සිදු වෙනවා. දායක දායිකාවන් මේ ගැන එතරම් තැකීමක් කරන්නෙත් නැහැ.. නමුත් මේකට තිත තැබීමට කාළය පැමිණිලා.
ස්වාමීන්වහන්සේලා එතරම් ව්‍යායාමයක් නොලබන පිරිසක්. මේ නිසාම අධික කැලරි සහිත ආහාර මෙන්ම අධික සීනි හෝ ලුණු සහිත ආහාර වැළඳීම එතරම් ගුණදායක නැහැ.. මේ නිසා එවැනි දානයන් පිරිණැමීමෙන් වලකින ලෙස සිය දායක දායිකාවන් දැනුවත් කිරීම කළ යුතු මෙන්ම, තම පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වී උන් වහන්සේලාට පෝෂ්‍යදායක සරළ දානය වේලක් පිරිනැමීමත් දායක දායිකාවන්ගෙ වගකීමක්…
ඉතින්.. මේක අදාල වෙන්නෙ ස්වාමීන් වහන්සේලාට විතරද ? නැහැ… අපේ බොහොමයක් දෙනා හරිහැටි ව්‍යායාමයක් ලබන පිරිසක් නෙවෙයි.. ස්වාමීන්වහන්සේලාට අදාල මේ කාරණේ ගැන තමන් වහන්සේලාත් සළකා බැලුවොත් ගිහි උන්දලාටත් වටිනවා…
බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා වදාරලා තියෙන්නෙත් ඒකයි…
පෞද්ගලික රෝහල්වලත් “ආරෝග්‍යා පරමා ලාභා” කියලා ගහලා තියෙන්නෙ… මිනිස්සු ලෙඩ නොවී ඉන්න බව දන්න නිසා… ඒකත් තමන්ට පරම ලාභයක්….
ඉතිං අපි හැමොම ආහාර පාලනය කරන්න කාළය හරි… හරිමත් නෙවෙයි… දැනුත් පරක්කුයි…. අපි බොහොමයක් කන්නෙ ජරාව.. පසුගිය දවස්වල ලංකාවෙ ටික කළක් හිටපු නිසා මම දුටු දෙයක් තමයි, බොහෝ දෙනෙක් කන්නෙ ජරාව… මස් මාළු ගැන කතා කරලා වැඩක් නෑ… කුළුබඩු වලටත් වර්ණක දානවා. පරිප්පු වලට, කැකුළු බත් වලට රතුපාට දානවා. හැම දේටම බාල දේ කවලම් කරනවා. මේ සියල්ල විෂ… ලංකාවෙ වස විස නැති පෝෂ්‍යදායක ආහාර වේලක් කන්න නම්, ගමේ ගෙදරක තමන් විසින්ම වවා ගත් එළවලු වලින් සකසා ගත් ආහාර වේලක් ගත යුතුයි. ඒවයෙත් තිබෙන්නෙ රසායනික පොහොර… කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?
දන්න කෙනෙක් ඉන්නව නං කියන්න…