අභ්‍යවකාශය ජයගන්නට පෙර………………..


145956main_NTR_borowskiiසිහින දැකීම සහ කැපවීම සාර්ථක මඟකට ඇති කෙටිම මඟක් යැයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරෙක ප්‍රකාශ කර තිබුණි. මිනිසා සිහින දැකිය යුතුය. මිනිසා ඉදිරි අනාගතය පිළිබඳ සැළසුම් සකස් කළ යුතුය. පෞද්ගලිකවත්, සමාජයීයවත්, ප්‍රගමනය උදෙසා මිනිසා තනි තනිවත් සාමූහිකවත් සිහින දැකිය යුතුය. අවුරුදු 30 ක් පුරා ජාති ආගම් පන්ති භේද නොතකා අප දුටු සිහිනය වූයේ රුදුරු ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවක් දැකීමය. හැට දහසකට අධික සාමාන්‍ය ජනතාව මෙන්ම අධික  ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පසු උදා වූ වසන්තය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හෝ වෙනත් ජාති භේදයකින් තොරව අපි වැළඳ ගත්තෙමු.

ඒ වසන්තය නිමා වෙමින් පවතී… යුද්ධය අවසන් වූයේ සැමට සැනසුම් සුසුම් හෙලන්නට, බලාපොරොත්තු දල්වා ගන්නට, රටට යහපතක් උදා වේ යැයි තමන් මෙතෙක් කල් රටේ නාමයෙන් තද කරගෙන සිටි පටි බුරුල් කරන්නට කාළය පැමිණ ඇති බව පසක් කරමිනි. කෙසේ නමුත් සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ සහනය ඔවුනට ලැබුණේ නැත. නිතිපතා සාමාන්‍ය බඩු භාණ්ඩවල මිල ඉහළ යයි. කාර්යක්‍ෂමව පාලනය කළ හැකි රජයේ ආයතන පවා දිනෙන් දින අකාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය අඩු වීම, අලාභයන් ලැබීම පිළිබඳ අසන්නට ලැබේ. බොහෝ ආයතනවල ඉහළ තනතුරු හොබවන්නේ සුදුස්සන් නොව දේශපාලන හොංචයියන් ය. කළ යුත්ත පසෙක තබා සිය දේශපාලනඥයා පිණවීම, තමන්ටත් කොටසක් කඩා ගැනීම, අක්‍රමිකතා, ලිංගික අල්ලස් ලබා ගැනීම වැනි දහසකුත් නොකළයුතු දෑ සිදු වන බව නිති පතා අසන්නට ලැබේ. මේ බොහෝ ආයතන මේ රජයේම ආරම්භක කාළයේ හොඳින් පාලනය වූ හෝ ලාභ ලැබූ ආයතන වේ. මේ සත්‍ය තත්ත්‍වයයි.

ආණ්ඩුවේ බොහෝ කටයුතු බොරු සෝබනයටත්, ආටෝපයටත් මුල් තැන දී සිදු කරන බව පෙනෙන්නට තිබේ. බිලියන ගණනක් පාඩු ලැබුවත්, මිහින් එයාර් සමාගම ආණ්ඩුවේ මුදල්වලින් ණය ලබාගෙන පවත්වාගෙන යෑම එයට හොඳම උදාහරණයයි. පාඩු ලබන්නේ යැයි රජයට පවරා ගත් පැලවත්ත සීනි සමාගමට බලපාන නීති රෙගුලාසි එයට බලපාන්නේ නැත. මේ කාබාසිනියා වන්නේ රටේ ජනතාව දාඩිය මහන්සියෙන් උපයන මුදලෙන් අය කරගන්නා බදු මුදල් ය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකරන මුල් දිනවල විදුලිබල ඇමතිතුමා පාරම් බෑවේ විදුලි ඒකකයක මිල අඩුකර ජනතාවට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවය. නමුත් සිදු වන්නේ කුමක්ද ? වැඩි මිලක් ගෙවා බාල තත්ත්‍වයේ ගල් අඟුරු ආනයනය කිරීම , පසුගිය වසරේ කිහිප වතාවක් තාප බලාගාරය අළුත්වැඩියාවන් සඳහා වසා දමා තිබුණි.   විදුලි බිලෙහි වැඩි වීමක් මිස අඩු වීමක් නොමැත. ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යයි. එසේ වුවත් කොළඹ රාත්‍රී රේස් සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර වලින් ලැබෙන ආදායම බද්දෙන් නිදහස්ය… මේවා කාගේ උවමනාවට වෙනස් කරන නීති ද ?

අපට දූෂණය වැලැක්වීමට බොහෝ කල් ගත වනු ඇත. නමුත් නාස්තිය නැවැත්විය හැකිය… අරපරෙස්සම මෙන්ම නිසි කළමණාකරණය, නිසි සැලසුම් මගින් බොහෝ දේ එකවර හරියට කරගත හැක. උසස් පෙළ  Z  අගයේ ඇති වූ පටලැවිල්ල මුලින්ම හරිගස්සා ගත හැකිව තිබුණත් අදාල පාර්ශව සිය වැරැද්ද පිළිනොගැනීම නිසා එය බොහෝ දුර දිග ගොස්, අවසානයේ අගතියට පත් වූයේ උසස් පෙළට අවුරුදු ගණනක් මහන්සි වූ සිසු සිසුවියන් ය. හෙජින් අවුලට මැදිවුන අප ඉන් පරාද වූ පසු නැවත නඩු පවරන්නට ගොස් පැරදී නැවතත් වන්දි ගෙවන්නට විය. තත්ත්‍වයෙන් බාල ඉන්ධන ආනයනය කර තවත් වතාවක රටම අර්බුධයක හෙළුනේ වැඩි ඈතක නොවේ. වරායේ සිට තෙල් ගෙන යන නළයක සුවිශාල සිදුරකින් බොරතෙල් අපතේ යන බව වාර්තා වුයේ මෑතකදීය. මේ වැලැක්විය හැකි නාස්තිකාර ක්‍රියා වේ. මේ අපා ආරංචි වන ස්වල්පයක් පමණි: නොදන්නා දේ කොතෙකුත් ඇත්ද ?

දැන් අප අභ්‍යවකාශ යුගයකට යන බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2015 වසර වන විට ලංකාවේ අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යනු ඇත. යන්නේ කවුදැයි සැම දෙනාම හොඳින් දනී.. ඒ පිළිබඳ තරඟ කිරීම අනවශ්‍යය. නමුත් යන්නේ ඇයිදැයි කිසිවෙකු නොදනී… අප අභ්‍යවකාශයේ සොයන්නේ කුමක්ද ? අප අභ්‍යවකාශයට ගොස් ගෙන එන්නේ මොනවාද ? අපට අභ්‍යවකාශය ජය ගැනීමට තවමත් අවශ්‍යතාවයක් නොමැත. මක් නිසාද යත්, අප තවමත් අභ්‍යවකාශ යුගයෙන් බොහෝ ඈත සිටින රටකි. අසල්වැසි ඉන්දියාව වත් තනිව අජටාකාශගාමියෙකු අභ්‍යවකාශයට යැවුවේ නැත. නාසා ආයතනයේ පුහුණුව ලැබූ ඉන්දීය අභ්‍යවකාශගාමීන් සිටිති. එසේම එවැනි භාරදූර කටයුත්තකට මනා පුහුණුවක් අවශ්‍යය. ගුරුත්‍වජ ත්‍වරණයට ඔරොත්තු දීමට පුහුණු වීම, යානයේ ක්‍රියාකාරීත්‍වය පිළිබඳ පුහුණුව ආදී දහසකුත් එකක් දේ පුහුණු විය යුතුය. මේ සඳහා නාසා ආයතනය නියමුවන් පුහුණු කරන්නේ වසර හත අටක කාලයක් ගතකරමින් ය. අභ්‍යවකාශයට ගොස් ඉගෙන ගැනීමට දෙයක් අපට තවමත් නොමැත. පණිවුඩ චන්‍ද්‍රිකාවක් හෝ වෙනත් වටිනා යමක් යැවුවේ නම් ඉන් ආදායමක් හෝ ප්‍රයෝජනයක් හෝ ලැබිය හැක. නමුත් කෙනෙකු අභ්‍යවකාශයට ගොස් ඒමෙන් කිසිවකු ලබන පළ ප්‍රයෝජනයක් නැත. වාර්තාවක් තැබීමට පමණක් අභ්‍යවකාශයට ගොස් පළක් නැත.

අප නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කරගෙන සිටි රටකි. අපේ අපනයන භෝග වූයේ තේ, රබර්, පොල්, ආදියයි. කුළුබඩු ද තරමක හොඳ ආදායම් මාර්ගයක් වී ඇත. නමුත් දැන් අපේ නිෂ්පාදන පහළ යමින් සිටී. අපේ අදායම් මාර්ග දැඩි තරඟයකට මුහුණ පා ඇත. කම්කරු ශ්‍රමය තිබුණත්, එහි මිල චීනය, ඉන්දියාව හා සම කළ නොහැක. එසේම  වෘත්තීය සමිති කිහිපයකටම ගොදුරක් වූ අපේ කම්කරු ප්‍රජාව යුතුකම් ඉටු කිරීමට වඩා අයිතිවාසිකම් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අප තවමත් විකුණන්නේ ලාභ ශ්‍රමයයි. පුහුණු කම්කරුවන්, පුහුණු ශ්‍රමිකයන් විකිණීම පසෙක ලාභ අමුද්‍රව්‍යයක් වන ගෘහ සේවිකාවන් පිටරට පැටවීම සිදු කරනු ලබයි. මේ අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකින් එකකි. අනෙක සංචාරක ව්‍යාපාරයයි. රට වටා හෝටල හැදුවාට එය සාර්ථක නොවේ නිසි ක්‍රමවේදයකින් අප රටට පිටරටින් සංචාරකයින් ඇද ගනීම සිදු කළ යුතුය. 95000 වන සංචාරකයා පැමිණි බව සැබැවි. නමුත් අප උත්සාහ ගත්තේ නම් 150,000 ක ඉලක්කය වුවද සපුරාගත හැකිව තිබිණ. ඉන්දියානුවන් සහ චීනුන් පැමිණීම අපට ලාභදායක නොවන්නේ උන් ලාබෙට කන්නට ගෙදරින් රොටි ගේන ජාතියක් වීම නිසාය. එසේනම් අප යුරෝපීය සහ ඇමරිකානු සංචාරකයින් ආකර්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැනටමත් ග්‍රීසිය, මධ්‍යධරණී දූපත්, බහමාස් දූපත් සිය රටවල සංචාරක ව්‍යාපාරයන් යුරෝපයේ ප්‍රචලිත කිරීමට ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පළකරති. නමුත් අප රටේ ස්වභාව සෞන්දර්යය සහ ආගන්තුක සත්කාර ගැන අවධානය යොමු කිරීමත්, සංචාරක වෛද්‍ය ප්‍රතිකාර (Medical Tourism) ප්‍රචලිත කිරීමෙන් අපට බොහෝ ඇමරිකානු සංචාරකයින් ගෙන්වාගත හැකිය.

මේ ක්‍රම දෙක හැරෙන්නට අපේ පැරණි අපනයන භෝග වූ තේ, රබර්, පොල්, වලට ලැබී ඇත්තේ නරක කළ දසාවකි. පොල් කේරලයෙන් ආනයනය කරන තත්ත්‍වයට අප පත්ව ඇත. තේ වලට කසල තේ එකතු කර ලාභ ලැබීමට ක්‍රියා කිරීමෙන් ලොව පුරා ප්‍රචලිත ශ්‍රී ලංකා තේ (Ceylon Tea) නාමය අපවිත්‍ර කරගෙන ඇත. දැනටමත් කෙන්යාව සහ චීනය ලෝක තේ වෙළඳපොල ආක්‍රමණය කරගෙන යමින් පවතී. මෙයට අමතරව ඉන්දියානු ඇසෑම් තේ සහ චීන තේ අගය එකතු කළ තේ විශේෂ ලෙස වෙළඳ පොළට එකතු කිරීමෙන් එම අංශයද තම අණසකට නතු කරගෙන ඇත. අපේ කුළුබඩු අපද්‍රව්‍ය එකතු කිරීම මගින් බාල කර ඇත. මිරිස් කුඩු සහ කහ කුඩු වලට වර්ණක එකතු කෙරේ. මේ නියැදීන් නිසි පර්යේෂණාගාරයක විශ්ලේෂණය කළ විට නිතැතින්ම බාල බව හඳුනාගැනේ… එවිට නිසි ලෙස අපනයනය කරන ආයතනයටත් අපනයන බාධක පැණවීම මගින් රටට අයවිය යුතු ආදායම පවා අහිමි වේ.

නමුත්, අපට කළ හැකි දෑ බොහෝය. මේ සියල්ලට නිසි කළමණාකරණයත්, තම නිලයට වග කියන නිලධාරීන් පත් කිරීමත්, ඔවුන් නිතිපතා ඇගයීම සහ අධීක්‍ෂණය (Evaluation and monitoring ) මගින් පාලනය කළ හැක. නමුත් සිදු නොවන්නේ ද මෙයමයි. කිසිවෙකු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා පෙනෙන්නේ නැත. සියල්ලන් ජාමෙ බේරාගෙන ක්‍රියාකරන ආකාරයක් පෙනෙන්නට ඇත…

ශ්‍රී ලංකාව යනු රටක් සහ වපසරිය අනුව සලකන කල අප්‍රමාණ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇති, එමෙන්ම ඉතා වටිනා මානව සම්පතක් ඇති රටකි. නිසි ලෙස පාලනය සහ කළමණාකරණය කරන්නේ නම් ආසියාවේ ආශ්චර්යය වීම අපට නොහැක්කක් නොවේ. නමුත් ආණ්ඩුවේ අනවශ්‍ය නාස්තිය කිසිවෙකුට පාලනය කළ හැක්කක් ලෙස නොපෙනේ. එය පාලනය කළ හැක්කේ ද බලය ඇති අයටමය. කිසිවෙකු ඒ සඳහා අවධානයක් යොමු කරනු නොපෙනේ…. දිනෙන් දින අප යන්නේ අගාධයටය….

අප අභ්‍යවකාශය ජය ගැනීමට ප්‍රථම කළ යුතු දෑ බොහෝය. එක් අයෙකු අභ්‍යවකාශය ජය ගත්තාට රටකට ඇති පලක් නැත. අපෙ සතු වටිනා දරු සම්පතම ඒ ජයග්‍රහණය කරා කැඳවාගෙන යා යුතුය. ඒ සඳහා අප පාසැල් පද්ධතිය, අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුය. මේ නාස්ති කරන මුදල්වලින් යම් ප්‍රමාණයක් ඒ සඳහා යෙදෙවූවේ නම් ප්‍රතිඵල දැනටම ලබාගෙන අවසන්ය. විශ්ව විද්‍යාලයට නොතේරෙන  තරුණ පරපුර නිසි ලෙස අධ්‍යාපනය අවසන උසස් තාක්‍ෂණික හෝ වෙනයම් පාඨමාලා හැදෑරීමට අවකාශ ලබා දීම මගින් දැනුමින් සන්නද්ධ කළ යුතුය. අනෙක් රටවල් පිම්මේ යනවිටඅප බඩගාගෙන යන්නේ නම් ඒ දියුණුව ප්‍රමාණවත් නොවේ. එසේම විදේශීය ණය වලින් ලබන සංවර්ධනයේ පොලිය ගෙවන්නේ අනාගත පරපුර බව කිසිවෙකු නොසිතයි… රටක සැලසුම් සැකසිය යුත්තේ අවුරුදු 10 ක අනාගතය පිළිබඳ සළකා බලමිනි. එසේම රටක ප්‍රධාන අංශ කෙරෙහි අනාගතයට සරිලන ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. දියුණු රටවල් ඒ තත්ත්‍වයට පත් වූයේ තම පක්‍ෂය හෝ තම පුද්ගලික න්‍යායපත්‍ර අනුව ක්‍රියා කිරීමෙන් නොව රටකට සරිලන න්‍යායපත්‍රයකට අනුව ක්‍රියා කිරීමෙනි.

රටක බාගයක් බඩගින්නේ සිටිත්දී අගනුවර සැණකෙළි පැවැත්වීමෙන් ලබන සංවර්ධනය කිම ?

ඔවුහු කවදා මේ සත්‍යය වටහා ගනීවිද ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 23, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. රටක පොදු අවශ්‍යතාවට වඩා සමහරුන්ගේ පුද්ගලික ආශාවන්ට වැඩි ප්‍රමුඛතාවයක්, බලයක් ලැබෙන්නේ කවුරුන් නිසාද ? ඒ අයට ඒක තේරෙන්නෙත් නැහැ. නොතේරෙන්නෙත් නැහැ. අයිෂ්චර්යා මෙව්වා එකේ හැටි වෙන්ට ඇති.

    කැමතියි

  2. මේවගේ මිනිස්සු රට දාලා යන එක අපරාධයක්. අපේ ලොක්කට කේලම් කියන උන් මෙන්න මේවත් ගිහින් පෙන්නනවනම්.. සුපිරිම ලිපයක් මචෝ… කියන්නට කිසිත් නැත….

    කැමතියි

  3. කාටද බන් මෙව්ව කියන්නෙ? විනයක් නැති ජාතියක් හදන පවට කර නොගහන්න අපේ සහ දන්න උන්ගෙ දරුවොවත් හරියට හදා ගමෞ. වෙන මොනා කරන්නද?

    කැමතියි

  4. ඇල්කෙමියා මල්ලිගේ මේ සටහනේ මම දකින ලොකුම දුර්වලතාවය නම් දියුණු රටවල් ඒ තත්වයට පත්වූයේ න්‍යාය පත්‍රයකට අනුව සැලසුම් හැදීම නිසා යැයි ලියා තිබීම.

    ඇමෙරිකන් රජයේ භාණ්ඩාගරයට වඩා මුදල් තියෙන (cash reserves) තියෙන ඇපල් කොම්පැණිය ඇමෙරිකන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයක් අනුව සැලසුම් කරන ලද්දක් නොවේ. ඇමෙරිකාව ලෝකයේ වැඩියෙන් ම GDP සොයන්නේ ඇමෙරිකන් ආණ්ඩුව විසින් වසර 10 ක ඉදිරි අනාගතයක් ගැන හදපු සැලසුම් නිසා නෙමෙයි. පුද්ගලික අංශය සෑහෙන්න වෙහෙසක් ගනිමින් ආණ්ඩුව විසින් නිති ගෙනන බාධක මැදින් ලෝක වෙළඳපොලට අඩු මිලට අනගි භාණ්ඩයක් ඉදිරිපත් කරන්නට ගන්නා වෑයම නිසයි.

    කැමතියි

    • අරුණි අක්ක මම කියපු දේ තේරුම්ගෙන නැති හැඩයි..
      මම කිවුවෙ නැහැ පෞද්ගලික සමාගම් ගැන… මම කතා කළේ රජයෙන් වෙන්න තියෙන දේ ගැන. ඕනම එටක් ශක්තිමත් වෙන්නෙ ඒ ඒ ආණ්ඩුවේ ක්‍රියා කලාපය මත. කිසිම රටක් පෞද්ගලික අංශයේ ක්‍රියා කලාපයන් මත පමණක් දියුණු වෙලා නැහැ.
      සිද්ධ වෙන්නේ ඒ ඒ ආණ්ඩුව පත්වුනාම ඒඒ ඇමතිවරයාගේ රුචි අරුචිකම් අනුව ප්‍රතිපත්ති වෙනස් වීම… මෙන්න මේකයි නතර කරන්න ඕන.. අපට අවශ්‍ය නොසැලෙන ජාතික ප්‍රතිපත්ති සමුදායක්.
      හරි හෝ වැරදි ඇරිකානු සමාජය පාලනය වන්නේ ව්‍යවස්ථාවට අනුකූලව… කවුරු කොච්චර කෑ ගැහුවත් ඇමරිකානු ව්‍යවස්ථාවෙ දෙවන සංශෝධනය (second Amendment) වෙනස් කරන්න බැහැ….
      නමුත්, ලංකාවෙ නීති වෙනස් වෙනවා දිනපතා… කෙනෙකුට බලපාන නීතියක් තවත් කෙනෙකුට බලපාන්නෙ නැහැ.. මෙන්න මේ තත්ත්‍වය ගැනයි මම කතා කළේ.

      කැමතියි

      • ඇල්කෙමියා මල්ලිත් මම කියපු දේ තේරුම්ගෙන නැති හැඩයි 🙂

        ඒත් ඉතින් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් මත මිසක් කිසිම රටක් පෞද්ගලික අංශයේ ක්‍රියා කලාපයන් මත පමණක් නිසාම දියුණු වෙලා නැහැයි කියද්දී එතැනින් එහාට අපිට සංවාදයක් ද බැහැ.

        කැමතියි

  5. Alchemiyata math ekangai. kenekuta balapana neethi anikata naha me thathwaya waha wenas nowunoth rata agadeta yana eka sakkarayatawath nawath wanna baha.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: