2012 දෙසැම්බර් 25: දෙවසරක ප්‍රගතිය.


මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.

මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.

ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්තේ 2009 අප්‍රේල් 13 වනදාය. ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වූයේ වඩාත්ම රසායන විද්‍යාවට බර ලිපි වූ අතර, ඉඳහිට දේශපාලනික යමක් ද ලියැවුණි. අළුත් යමක් පාඨකයාට සැපයීමටත්, රසායන විද්‍යාවෙන් තරමක් ඈත් වූ ලිපි පාඨකයාට යොමු කිරීමටත්, වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ වූ දිනකට එක ලිපියක් ලිවිය හැකිද යන අභියෝගය භාර ගැනීමටත් අදාලව මගේ දෙවන බ්ලොග් අඩවිය වූ ඇල්කෙමියාගේ දිනපොත 2010 දෙසැම්බර් 25 වන දින ඇරඹීමි.

භාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කිරීමට, මොන කටයුත්ත තිබුණත් දවසට ලිපියක් බැගින් ලිවීමට දිවා රෑ නොබලා කාළයක් කටයුතු කළෙමි. ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන රෑ පුරා අකුරු කර පළ කළ ඒ බොහොමයක් ලිපි එදිනෙදා දින සටහන වලට වඩා වෙනසක් නොගත්තත්, ඉන් යමක් ඔබ වෙත ගෙන ඒමට මම උත්සාහ කළෙමි. කෙමෙන් කෙමෙන් ඒ අභියෝගය ඉටු කිරීමට නොහැකි වෙද්දී, අවම වශයෙන් දින දෙකකට වරක්වත් ලිපියක් පළ කිරීමට උත්සාහ ගත්තෙමි. සමහර මාස වල අධික වැඩ කටයුතු නිසාත්, ගමනේම යෙදීම නිසාත්, මේ අභියෝගය ඉටු කිරීමට නොහැකි වුවත්, ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව හොඳ නිසාම, ඇල්කෙමියාගේ දිනපොත තෝරාගත් මාතෘකා ඔස්සේ ලිපි පළ කරන්නට විය. බොහෝ ඒවා නීරස වුවත්, ලිංගිකත්‍වය සහ දේශපාලනය සබැඳි ලිපි වලට ලැබුණ ප්‍රතිචාර අතිමහත්ය. නමුත් මා දේශපාලන ලිපි රචකයෙකු නොවේ.

මගේ පෑණේ මුවාත ඇත්තේ විද්‍යාවට බර ලිපි ලියන්නටයි. එමෙන්ම ඔබට මගේ ලිපි කියැවීමෙන් යමක් ඉගෙන ගැනීමට හැකි නම් ඒ මගේ අභිප්‍රාය ඉටු වීමකි. කුඩා කළ සිටම විද්‍යා ප්‍රබන්ධ කියැවීමෙහි රුචිකත්‍වයක් තිබූ නිසාමත්, පසු කළෙක සිදු කිරීමට අදහස් කරගෙන සිටින කාර්යයකට මුට්ටිය දා බැලීමක් ලෙසත් “පිටස්තරයා” නම් විද්‍යා ප්‍රබන්ධය ද අකුරු කරන්නට විය. එහි පසුබිම් පර්යේෂණ සඳහා බොහෝ කාළයක් වැය වුවද, එයින් මාද ඉගෙන ගන්නා දේ බොහෝය. ඒ නිසාම ඉතා සතුටින් එය ලියමි. පසුගිය දින කීපය තුළ වූ කාර්ය බහුලත්‍වය නිසාම කොටස් 14 කින් නතර වී තිබුණද, ඉදිරියේදී නැවතත් එය දිගටම ලියාගෙන යාමට අදහස් කරමි. ඒ සඳහා මටත් වඩා දැන් උනන්දු වන්නේ මගේ ලොකුම රසිකාවිය වන ඇල්කෙමිච්චියයි.

ඔබ මෙහි පැමිණීමට සමානවම මට වටින්නේ ඔබ මේ සියල්ල ගැන සිතන ආකාරයයි. එය ඔබ සිතුවිලි තුල සිරවී තිබුණාට මට පරචිත්ත විජානන ඥාණය නොමැති නිසා දැන ගැනීමට හැකියාවක් නැත. මේ නිසාම මා Blogger.com අඩවියේ ද ඇල්කෙමියාගේ දිනපොත යාවත්කාලීන කරන්නේ සමහර බ්ලොගර් පාඨකයින්ට වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීමේ අපහසුව වලකාලනු පිණිසය. නමුත්, මගේ ලිපි ඔබට රුචි නොමැති නිසාදෝ ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබීමක් නැත. මා පෙර කලෙක කිවුවාක් මෙන් මා ලිපි ලියන්නේ සමාජයට යමක් ලබා දීමටය. මගේ කතාන්දර ශෛලිය රසවත් නැත. ඒ නිසාම මා කතාන්තර ලිවීම හෝ වෙනයම් දෑ ලිවීම පිළිබඳ අවධානයක් යොමු කර නැත. එසේ කිරීමට පෙළඹෙන්නේ ද නැත. ඒ සඳහා බොහෝ දක්‍ෂ බ්ලොග් කරුවන් සිටිති.

මගේ උත්සාහය විද්‍යාව  – විශේෂයෙන් රසායන විද්‍යාව ජනතාව අතරට ගෙන යාමටය. ඉදිරියේදී මේ බ්ලොග් අඩවිය තවත් පිම්මක් පණිනු ඇත. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සැකසෙමින් පවතින අතර ලබන වසර අවසන් වනවිට එහි එකලාසයක් දැකිය හැකි යැයි සිතමි. මගේ බලාපොරොත්තු සඵල වුව හොත් එය සැමට දැනුම බෙදන මධ්‍යස්ථානයක් වනවා ඇත. නමුත් ඒ සඳහා වූ බාධක බොහෝය. ඒ ගැන පසුව කතා කරමු. අවුරුදු 13 ක් ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මා පසුගිය අවුරුදු 12ම ගත කළේ වැඩිදුර අධ්‍යාපනයත් රසායන විද්‍යා පර්යේෂණ විධික්‍රමත් අධ්‍යයනය කිරීමටය. දැන් මගේ අධ්‍යාපනය සම්පූර්ණ වී ඇත. දැන් ඇත්තේ මා ලබා ගත් දැනුම බෙදා හදා ගැනීමයි. ඒ සඳහා මා උපන් මා ණයගැති රට තරම් උචිත ස්ථානයක් තවත් සොයා ගත හැක. කළකිරීම් ඇති විය හැකි වුවත්, ඉදිරි වසර තුළ මගේ ආගමනය සිදු වේ යැයි බලාපොරොත්තු වෙමි. පසුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය.

යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී. මට අමරණීයවීමේ අවශ්‍යතාවයක් නැති වුවත්, තවත් ජීවිතයක් ආලෝකමත් කිරීමේ සංතෝෂය මා සතු කරගත හැක. මේ තාක් කල් මා ආලෝකමත් කළ ජීවිත බොහොමයක් මටත් වඩා හොඳ ජීවිත ගතකරනු දැකීමම මා ප්‍රමෝදයට පත් කරවයි. මට අවශ්‍ය වන්නේ මගේ සේවය තවදුරටත් ඔවුනට ලබා දීමයි. ජයග්‍රහණයක් පතා නොවන මුත්, මගේ බ්ලොග් අඩවිය ද බස් රේඩියෝ බ්ලොග් තරඟාවලියට ඉදිරිපත් කළෙමි. එහි වූ විනිසුරු මඬුල්ල මගේ බ්ලොග් අඩවිය හොඳම රැඩිකල් බ්ලොග් අඩවිය සහ හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවිය යන අංශ දෙකටම මා තෝරාගෙන තිබූ අතර හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනා ගන්නා ලදී… ඒ මගේ බ්ලොග් අඩවිය දිනා ගත් එකම සම්මානයයි. නමුත් එය මට බොහෝ වටී.. ඒ නිසාම තව තවත් පර්යේෂණාත්මක ලිපි ලිවීමේ ආශාව මට ඇති විය. මා මගේ මාර්ගය හඳුනා ගත්තේ එම සම්මානය තුළිනි.

මේ තාක් කල් මා එකතු කරගත් දෙයක් වේද, ඒ ඔබගේ හෘදයාංගම බවයි. ඔබේ දැනුම් පරාසය පුළුල් කරන අතරම මා ලොව වටා ගොස් එකතු කරගත් දැනුම ඔබ වෙත බෙදා හැරීමද මගේ අභිප්‍රායයි. මා මෙලොවට කළ යුතු සේවය කුමක්දැයි හඳුනා ගත්තේ ඇල්කෙමියාගේ දිනපොත සහ රසායනාගාරය තුළිනි.  මෙතෙක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත කියැවූ ලක්‍ෂයකට අධික පාඨක පිරිසට මගේ ප්‍රණාමය පුද කරමි. ඇල්කෙමියාගේ ලිපි කෙසේ සකස් විය යුතු දැයි මා දැන ගන්නේ ඔබේ ප්‍රතිචාර අනුවය. මෙතෙක් කල් මගේ ලිපිවල ගුණාගුණ වචනයකින් හෝ සටහන් කළ සියළුම දෙනාට මගේ විශේෂ ස්තූතිය හිමි වන අතර, තිරයෙන් පිටුපස සිට මගේ ලිපි සියල්ලේ ගුණදොස් නිර්දය ලෙස විවේචනය කරන ඇල්කෙමිච්චියට කිව නොහැකි තරම් ස්තුතියක් හිමි විය යුතුය (නැත්තං ඉඳලා හමාරය).

ඉදින්, තවදුරටත් කාළය මට ඉඩ ලබා දෙන ආකාරයට විවිධාකාර ලිපි හරහා මෙන්ම පිටස්තරයා විද්‍යා ප්‍රබන්ධයේ තවත් කොටස් හරහා ඔබ හමු වීමට අදහස් කරමි.

ස්තූතියි.

ඇල්කෙමියා.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 24, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 30.

  1. /* යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී. */

    අපේ ආතා කියා අපේ අම්මා නිතරම පුනරුච්ඡාරනයක කරන දෙයක් තමයි,

    “දුන් දේ සුවඳයි, කෑ දේ ගඳයි!”

    කියන වැකිය.

    මගේ සුබ පැතුම්.

    කැමතියි

  2. උණුසුම් සුබපැතුම් පිරිනමන අතර ඔබගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

    කැමතියි

  3. සුභ පැතුම්!!!ශ්‍රිලංකාවේ ඉගෙන ගන්නා දුවා දරුවන් ගැන සිතන ඔබ ගැන ඉතාම ආඩම්බරයි.මගේ උත්තමාචාරය පුදන අතරම,තව තවත් සියලු දෙනා දැනුවත් කිරීමට ශක්තිය ප්‍රර්ථනා කරමි!!!!

    කැමතියි

  4. සිතුවිල්ල බොහොම උදාරයි , එත් පෞද්ගලික ඒ ගැන තව වරක් හිතල බලන්න වෙයි

    කැමතියි

    • පෞද්ගලිකව නම් එකතු කරගෙන තියෙන්නෙ දැනුම විතරයි…ඒ ඇරෙන්න යමක් නෑ…
      කොහොම වුනත් තවත් පෞද්ගලික කාරණා බොහොමයක් තියෙන නිසා එන්නයි කල්පනාව…
      බලමුකො…. ඇවිත් මොනවා හරි කරලා ජීවත් වෙන්න බැරියෑ.. ලංකාවෙ නෙ…

      කැමතියි

      • මොනව හරි කරල ජීවත් වෙන්න පුලුවන් , ජීවත් වෙන්න කැමති විදිහ අනුව තමයි ඉතින් . ඔන්න උපදේශක කමක් වගේ ගත හැකි නම් ඉතින් ජීවත් වෙන්න මේ තරම් හොඳ රටක් දිව්‍ය ලෝකෙත් නෑ . සින්දු කියා දෙන්න කට්ටිය එහෙම නම් ඉන්නවා රසායන විද්‍යාඥයෙක් තමයි අඩු ! ::D

        කැමතියි

  5. අනිත් දේවල් පැත්තකින් තිබුනදෙන්.. මෙන්න මේ ටික

    // අවුරුදු 13 ක් ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මා පසුගිය අවුරුදු 12ම ගත කළේ වැඩිදුර අධ්‍යාපනයත් රසායන විද්‍යා පර්යේෂණ විධික්‍රමත් අධ්‍යයනය කිරීමටය. දැන් මගේ අධ්‍යාපනය සම්පූර්ණ වී ඇත. දැන් ඇත්තේ මා ලබා ගත් දැනුම බෙදා හදා ගැනීමයි. ඒ සඳහා මා උපන් මා ණයගැති රට තරම් උචිත ස්ථානයක් තවත් සොයා ගත හැක. කළකිරීම් ඇති විය හැකි වුවත්, ඉදිරි වසර තුළ මගේ ආගමනය සිදු වේ යැයි බලාපොරොත්තු වෙමි. පසුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය.//

    තමා හිතට වැදුන ලොකුම දේ… කල හැකි කල යුතු දේ කරන්න… ඒ හොඳටම ඇති මනුස්සයෙක් හැටියට උපන්න ටිකට…

    පුළුවන් වෙලාවට කියවන..හිතුන වෙලාවට කොමෙන්ට් කරන එකෙක්… 😀

    කැමතියි

  6. මම උඹට බොහෝ ආදරය කරන රසිකයෙක්.. මේ දේ කියන්නේ ඔබට ඇති ආදරය නිසායි.. පැමිණීමට පෙර දෙවරක් සිතන්න.. ඔබ වැනි කෙනෙකුට නැවත් විදේශ ගත වීම සුළු දෙයක් වූවද, ආර්ථික මට්ටමින් ඔබේ දිණුම් කණුව වෙත ලඟාවී ඇතිනම් පමණක් නැවත පැමිනෙන්න. කෙසේ වූවද ඔබ වන් පුතුන් ලක් මවට ආඩම්බරයකි. මගේ සුභ පැතුම්…

    කැමතියි

    • ස්තුතියි මාතලන්….
      ඇත්තෙන්ම ආර්ථික දියුණුව පසුපස ගිහින් හෙම්බත් වෙලා ඉන්නෙ… ලැබූ දියුණුවක් නැති නිසා… බොහොමයක් හම්බ කළ දේ ගත වුනේ අධ්‍යාපනය ලබන්නයි ගෙවල් කුලී ගෙවන්නයි…
      හම්බ කළ දෙයකට තියෙන්නෙ ඉගෙන ගත්ත දෙයයි පොඩි එකායි විතරයි…
      නමුත් මම හිතන් ඉන්නෙ ලංකාවෙ යමක් කරන්න පුළුවන් වෙයි කියලා… ඒක හීනයක් වෙන්නත් පුළුවන්… නමුත් මැරෙන මොහොතෙ ලංකාවෙ ඉන්න එකත් සැනසීමක්…
      කළ යුතු බොහොමයක් යුතුකම් පැහැර හැරුණා මේ ලෝකෙ වටේ යෑමෙන්… ඒ නිසා තවත් පසුතැවිලි වෙන්න පෙර එන්න කල්පනා කළා….
      බලමු… ඒ යුතුකම් ඉටු කරලා ආයෙම ආර්ථික දියුණුව පසුපස යන්න පුළුවන්.. (එතකොට අස්සයා ගිහින් තියෙය් ද දන්නෙ නෑ)

      කැමතියි

  7. //සුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය. //

    අපි එ් ගැන හීන දැක්කට කමක් නෑ නේද?

    කැමතියි

  8. තව කාලයක් ලියන්න. සුභ පැතුම්! 🙂

    කැමතියි

  9. ලංකාවයි ඇමරිකාවයි සසඳන්නෙ නැතුව ලද දෙයි සතුටුවෙන්න පුළුවන්නං, ඉන්න හිටින්න තැනක් වගේ මූලික අවශ්‍යතා සපුරාගෙන තියෙනවනං මිනිහෙකුට තමන්ගෙ රටේ වැටිල ඉඳන් දැණුම බෙදා දෙන රැකියාවක නිරතවෙන්න පුළුවන් වෙන ඒක ලොකු සැනසීමක් වගේම මහා සේවයක්.

    හදවතින්මසුභ පතනව..!

    කැමතියි

  10. සුබ පැතුම් ඇල්කෙමියා මල්ලි! තම සිත සතුටින් පුරවා ගනිමින් යා හැකි අනගි වූ මාර්ගයක මල්ලි ගමන පටන් ගෙන තියෙන්නෙ. පුංචි අවවාදයක් දෙන්නම්. විද්‍යාව ගැන ලියද්දි විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරට යන්න එපා. ප්‍රබන්ධය විද්‍යාත්මක වූවාට මනහ්කල්පිත වලින් සහ න්‍යයායෙන් පුරවන්න අමතක කරන්නත් එපා.

    කැමතියි

    • මම හිතන්නෙ මගේ විද්‍යාත්මක ක්‍රමවේදය ලේ වලට බැහැලා තියෙන්නෙ.. දේශපාලනය ගැන කතා කරද්දි නම් තරමක් හැඟීම්බර වෙනවා තමයි.. නමුත් විද්‍යාත්මකව කතා කරද්දි නම් බොහෝ දුරට තර්කානුකූලව සිටිනවා කියලා හිතෙනවා…
      විද්‍යා ප්‍රබන්ධය ටික ටික ලියැවෙනවා… මනහ්කල්පිත වගේම න්‍යායන් සියල්ලත් මේකෙ ගැබ් වෙනවා… මේ ලිපි සියල්ලේ අවසන ලොකු පුණ්‍යකර්මයක් සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා…

      බලමුකො ඉදිරියේදි…

      කැමතියි

  11. //මගේ කතාන්දර ශෛලිය රසවත් නැත. ඒ නිසාම මා කතාන්තර ලිවීම හෝ වෙනයම් දෑ ලිවීම පිළිබඳ අවධානයක් යොමු කර නැත. එසේ කිරීමට පෙළඹෙන්නේ ද නැත. ඒ සඳහා බොහෝ දක්‍ෂ බ්ලොග් කරුවන් සිටිති.//
    මේ හීනමානය අයින් කරගන්න.. ඔයාගෙ පිටස්තරයා කතන්දරේ විශිෂ්ඨයි.. මං ආසාවෙන් ඒක කියවනවා..
    ආපු ගමනට සුභ පැතුම්..
    ඉදිරි ගමනත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

    කැමතියි

  12. පිංබර මව් බිමේ සුලඟත් සුවයදේ කියන එක මාත් අදහනවා. මොනා උනත් තමන්ගේ මිනිස්සු තමගේ ගම තමන්ගේ රටේ ඉන්නවා වගේ ලෝකේ කොහේවත් නෑ. සුභ පැතුම් දෙවසරක ගමනට!

    කැමතියි

  13. කිව්වත් වගේ අල්කෙමිස්ට් Wp බ්ලොග් නිරයසෙන්ම මගේ නෙතින්
    ඉවත් වෙනවා , ඒ භාවිතයට අපහසුව.ඔබ ඒ වෙනුවට බ්ලොගර්
    සංස්කරණයද ලබා දීම ගැන ස්තූති වන්ත වෙනවා..( නමුත් ලින්ක් එක
    hotlink කරන්න ) ඔබ කිසි සේත්ම අධ්‍යර්ය වන්න එපා .කව්රු ආවත්
    නාවත් දිගටම ලිපි එක් කරන්න . ඔබ අපගේ ජීවිත තව වසර 30 වැනි
    කාලයකට වඩා පවතින්නේ නැත , නමුත් ඔබ අපගේ ලිපි අන්තර්ජාලය
    තුල ( තාර්කිකව අන්තර්ජාලය තිබෙන තුරු ) අඩුම තරමේ වසර 80, 90 හෝ පවතිනු ඇත .
    ඒ කාලය පුරාවට මේ ලිපි කිසිවෙකුගේ හෝ ප්‍රයෝජනයට පත් වනු ඇත.
    එනිසා කිසි සේත් අධ්‍යර්ය නොවන්න මිතුර. හම්බෙන හැම තත්පරයම මුදල් ,
    තම කුහක සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමට වෙහෙසෙන ලොවක ; තම කාලයෙන්
    අන්‍යන් හට මෙහෙයක් කිරීමට වෙහෙසෙන ඔබට හිස නමා ආචාර කරමි..

    ( මේ දෙය මා කීමට බොහෝ වෙලාවක සිට සිටිමුත් ඉඩක් නොලදීමි ,
    ප්‍රමාදය ගැන සමාව අයදීමි)

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: