2012 දෙසැම්බර් 27: කණ්ගැට්ටන්ට සහ බාබර්ලාට ගිය රට…………..


කෞතුකාගාරයේ හොරකම තනිවම කර ඇත්තේ කණ්ගැට්ටා බව හෙට අනිද්දා පැමිණෙන භූමිකම්පාව මෙන් සහතික බව සිංදු කියන රාලහාමි මහත්මයා මාධ්‍යයට පවසා ඇත. ඒ අනුව ව්‍යංගාර්ථයෙන් කියන්නේ කෞතුකාගාරයේ ආරක්‍ෂාව නූගත් කුඩුකාරයෙකුට පවා බිඳිය හැකි තරමේ සරළ දෙයක් බවය. කෞතුකාගාරයක් යනු රටක ජාතියක අනන්‍යතාවය හොවා දක්වන කැඩපතකි. වසර 500 ක තරම් කෙටි ඉතිහාසයක් ඇති ඇමරිකාව සිය අනන්‍යතාවය පෙන්වීමට නොකරන දෙයක් නොමැත. අධික වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය පිණිස තබා ඇති කෞතුකාගාර සෑම නගරයකම පාහේ දක්නට ඇත. වෙනකක් තබා, ලුයිසියානා ප්‍රාන්තයේ පවර්ටි පොයින්ට් නම් ස්ථානයේ ඇති පස්කඳු කිහිපයක් ඔවුන් මහා උජාරුවෙන් පෙන්වන්නේ එය අවුරුදු 400 කට පෙර ජනාවාසව තිබූ බිමක් ලෙසිනි… එය පවා ඔවුනට උද්දාමයට කරුණකි.. අප වැනි වසර 2000 කට අධික උරුමයක් ඔවුනට තිබුණා නම් මොනවා නොකරයිද ? දරුවන් – වැඩිහිටියන් ඒ සියල්ල නරඹා සිය බුද්ධිය  – දැනුම පුළුල් කර ගනිති. සිය රට සහ රටේ නිර්මාණ පිළිබඳ අපමණක් උද්දාමයට පත් වෙති. ඒ කෞතුකාගාරවල ශ්‍රී ලාංකික නියෝජනය වන ජාතික කෞතුකාගාරය අපට කටුගෙයකි…

වසර 2000 කට අධික ඉතිහාසයක් ඇති අප සතුව මිල කළ නොහැකි පුරා වස්තු සහ කෞතුක වස්තු සම්භාරයක් තිබිය යුතු නමුත්, යන්තම් මේ අපේ කෞතුකාගාරය යැයි පැවසීමට තරම් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩනැඟිල්ල තුළ පුරවාගෙන ප්‍රදර්ශනය කරමින් සිටිමු. බොහෝ අවස්ථාවල මේ ගොඩනැඟිල්ලේ විවිධාකාර ප්‍රශ්න මාධ්‍ය මගින් ද අනාවරණය කර තිබුණි. සාමාන්‍යයෙන් කෞතුකාගාරයක් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ තිබිය යුතුය, ඒ එතුළ වූ කෞතුක භාණ්ඩ කිසි විටෙක හිලවු කළ නොහැකි (Irreplaceable) වන නිසාය. බොහෝ කෞතුකාගාරවල කෞතුක භාණ්ඩ මිල කළ හැකි වුවත් නැති වුවත් වීදුරු පෙට්ටිවල බහා ප්‍රදර්ශනය කරන අතර ඒ සියල්ලටම විද්‍යුත් සංවේදක සවිකර සොරකම් කළ නොහැකි ලෙස සකසා ඇත. ඒ නිසාම කිසිවෙකු අත තැබුවත් කෞතුකාගාරයේ ආරක්‍ෂක අංශවලට එය දැකගත හැකි ලෙස සකසා ඇත. වරක් ඇමරිකානු ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළ හෝප් දියමන්තිය නැරඹීමට ගිය අවස්ථාවේ එතැන තිබූ ආරක්‍ෂාව සහ ක්‍රමවේදයන් අප මහත් සේ අගය කළෙමු. එවන් ආරක්‍ෂාවක් ලංකාවේ ඇතොත් ඒ ජනාධිපති මන්දිරයේ පමණක්ම විය හැකිය.

හෝප් දියමන්තිය

හෝප් දියමන්තිය

කෙසේ වුවත් මේ සියළු සිදුරු – අතපසුවීම් වලින් රිංගා නූගත් කුඩු කාරයෙක් වූ කණ්ගැට්ටා විසින් ඉතා වටිනා කෞතුක භාණ්ඩ ගණනාවක් සොරකම් කරගෙන ගොස් තිබුණි. එය අනාවරණය කර ගැනීමට අපේ පොලීසියට සහ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට මාස ගණනාවක් ගත විය. ඒ එක කතාවකි……..

රටක අවංක කම, සහ ක්‍රියාවලියක පරිපූර්ණභාවය (Integrity) තිබිය යුතු වටිනාම ස්ථානයක් වන්නේ විභාග දෙපාර්තමේන්තුවයි. (අනෙක් ස්ථානය වන පාර්ලිමේන්තුව ගැන කතා කළ යුතු නැත.. එය අවංකකම සහ පරිපූර්ණභාවය මනා ලෙස ආරක්‍ෂා කරන ස්ථානයක් වන බව අප සියළුම දෙනා දන්නා නිසාය) මක්නිසාද යත්, රටේ වැදගත් වූ විභාග සියල්ල සැකසෙන්නේ- පැවැත්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම නිසාය. ලංකාවේ විභාග බොහෝ කලක් යනතුරු ඉතා දැඩි ක්‍රමවේදයකට යටත්ව පැවතුනි. නමුත් දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව බොහෝ විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම පිට වී අවශ්‍ය පුද්ගලයින්ට හෝ අනවශ්‍ය පුද්ගලයින්ට ඒ සියල්ල ලැබේ.. ප්‍රශ්න පත්‍රයක් රුපියල් ලක්‍ෂයකට වේයන්ගොඩ නයිවල බාබර් කෙනෙකු විසින් විකුණන්නේ මේ පසුබිමේ සිටය….

සියල්ල සිදු වූ පසුව විභාග දෙපාර්තමේන්තුවට නව ආරක්‍ෂක ක්‍රමවේදයන් ඇති කරන බව පවසා ඇත. Z අගයේ අර්බුධය, පහ වසර ශිෂ්‍යත්‍ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම මෙන්ම දැන් දැන් අසන්නට ලැබෙන සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම ද විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න ඇති කරවයි.. ඉස්තාලය වැසිය යුත්තේ අශ්වයා පැන ගියාට පසුව නොවන බව කවුරුත් දන්නා කරුණකි. විභාග දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල සිටින්නේ බුද්ධිය ඇතැයි සිතිය හැකි අන්දමේ පුද්ගලයෝය… මේ අයට මුද්‍රණාලයේ කාර්මික නිලධාරියෙකු සතු වංචා කිරීමේ දැනුම නැතැයි සිතීම උගහටය… මේ අනුව පෙනී යන්නේ මුද්‍රණාල කාර්මිකයා ද අර ඉහළ නිලධාරීන්ගේ කණින් රිංගා ඇති බවය.. මේ සියල්ල අනුව සමහර ප්‍රභූ දරුවන් 99 % ක ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් විභාගයන් සමත් වී තබන ලෝක වාර්තාවල වලංගු භාවය පිළිබඳවද පැහැදිලිවම සැක සංකා මතු කරවයි… එසේම අදාල නිලධාරීන් ලජ්ජා විය යුතුය (අවාසනාවකට ලංකාවේ බොහෝ දෙනෙකු ගේ ලැජ්ජා නහරය කපා ඇත) තමන්ගේ යටතේ මෙසේ අකටයුතු සිදු වෙද්දී තමන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස කෙසේ කොන්ද කෙළින් කරගෙන කාර්යාලයෙන් පිටතට යා හැකිද ?

Z නැවතත් ගිණි ගනී ද?

Z නැවතත් ගිණි ගනී ද?

අපේ රටේ බොහොමයක් වැදගත් ස්ථානවලට පත්ව ඇත්තේ සුදුස්සන් නොව දේශපාලන හෙංචයියන් වීම අපේ අවාසනාවට හේතු වී තිබේ. සාමාන්‍ය රැකියාවකට පවා සුදුසුකම් බලපවත්වන මුත්, උසස් රැකියා සියල්ල දේශපාලන සුදුසුකම් මත තීරණය වීම නිසා රටටම බලපාන තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලින් පැමිණෙන තීරණ සියල්ල නැවතත් සංශෝධනය කිරීමට සිදු වී ඇත. කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ කිසිදු හැඟීමක් නැත.. මේ නිසාම නාස්තිය සහ දූෂණය අධිකය… අන් රටවල උපදේශකයින් කිසියම් අධ්‍යාපන මට්ටමක් සපිරූ, ඒ ඒ ක්‍ෂෙත්‍රයන්හි ඇසූ පිරූතැන් ඇති උදවිය වුවත්, අපේ රටේ උපදේශකයින්  (නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමතිතුමා සහ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මැතිණිය වැන්නවුන්) විසින් ලබා දෙන උපදෙස් මොනවාද ? මේ උපදෙස් රටේ ප්‍රගමනයට වැදගත් වෙන්නේ කෙසේද ?

රටේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටී තිබියදී, බාල බෙහෙත් වර්ග ලබාදීම නිසා දරුවන් මිය යද්දී,  දස දහසක් පිළිකා රෝගීන් නිසි ඖෂධ නොමැතිව මිය යද්දී අපට කිසිදු වැදගත්කමක් නැති හියුගෝ චාවේස්ට අපේ වෛද්‍යවරු යැවීමට වඩා අපට කළ හැකි දේ බොහොමය… ඒ වෛද්‍යවරු ජාතික පිළිකා රෝහලට සතියකට වතාවක් යවා නොමිලේ ප්‍රතිකාර කළහොත් රටටත්, එයට අදාල සැමටත් ලැබිය හැකි ප්‍රතිලාභ බොහෝය…

කණ්ගැට්ටන් සහ බාබර්වරු රජකරන මේ යුගයේ තවත් අරුම පුදුම දෑ අසන්නට නොලැබුණහොත් අප පුදුම විය යුතුය.. මේ ආසියාවේ ආශ්චර්යයයි… මේවා කියන්නේ අපහසුවට පත් කරන්නට නොව හැදෙන්නටය……

සුභ අනාගතයක්. !

Advertisements

Posted on දෙසැම්බර් 27, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. කෞතුකාගාරෙ වත් ආරක්ශා කරගන්න බැරුව න්‍යශ්ඨික බලාගාරයක් ආරක්ශා කරගන්න පුලුවන් වෙය්ද? 😉 😀

  2. අපේ රටේ උදම් අනන්න තරම් ඉතිහාසයක් තිබිලා නෑ.. ඒ කෙසේ වෙතත්.. කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දු වලට අපි හිනා උන එක කොච්චර කැතද…? මේ සිඳුවන දේවල් අනුව.. ඒ තීන්දුව සාමාන්‍ය දෙයක්.. පුතා තනියෙන් ලියලා විභාග පාස් වෙනවා.. ඇමතිගේ යාලුවන්ගේ පුත්තු ඔක්කෝම විභාග පාස් වෙනවා.. මහ ලොකුවට අධිකරණය ගැන කෑ ගහන උන්. මේවාට නෝ කතා..

  3. පුතාට උත්තර සමග ප්‍රශ්නපත්‍රයට උත්තර ලියන්න පුලුවන්නම්,රටේ හුදී ජනතාවගේ දරුවන්ටත් මක්කැයි කියල තමයි “පරමාදර්ශී”පියකු විදියට එහෙම කරවල තියෙන්නෙ.ලොකු සිදුවීමක් වෙන්න කලින් කලාකටයුතු උපදේශකයයො කතා පිටපත ලියල ඉවරයි.ලොක්කට තියෙන්නෙ කරෙක්ෂන්ස් බලල පොලිස් මාධ්‍ය ගිරවට යවන එක විතරයි.සාස්තර කාරයෝ,කැසිනෝකාරයෝ බැංකුවලට දාගෙන …………………………………..ඔන්න ඔහෙ ඕන නැහැ.මලපැනල ඉන්න වෙලේ මොනවා ලියවෙයිද දන්නෙ නැහැ.

  4. අර පොලිස් උන්නැහේගේ මාධ්‍ය සාකච්ඡාව අපි කුඩා දරුවන් කාලේ එක වරක් විතර දැක ඇති ‘බ්‍රම්පෝට්’ නාඩගම වගේය. මිනිහා අධිරාජයකු මෙන් තමන්ගේ මහත්තත්ත කම ප්‍රදර්ශනය කරමින්, මාධ්‍යවේදීන්ට වක්‍රව තර්ජනය කරන්නේ ප්‍රශ්න නොඅසා මම කියනදේ අහගෙන බලාගෙන ඉඳලා පලයවූ කියන එකය. කොහෙද යන කුඩ්ඩෙක්, අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි කෞතුකාගාරය, පාර අයිනේ තිබෙන පෙට්ටි කඩයක් සේ සළකා ක්‍රියා කළා යන්න අපි විශ්වාසකලයුතුය. මුන්නැහැ වෙලාවකට හබරල කෑ මීහරකෙකු මෙන් විරිත්තමින් තප්පුලන්නේ මමයි රජා පාට් දමමින්ය. වැස්සකටවත් සිනමා ශාලාවකට ගොඩ වැදී කෞතුකාගාර හොරකම් කොතරම් සැළසුම් සහගතව කරන්නේද යන්න පෙන්වන කතා තේමාවක් ඇති චිත්‍රපටියක් ජීවිතේටවත් බලා නැති බව (පිනට ටිකට් නොලැබෙන නිසා) පෙනෙනවාය. උන්නැහේ හෝදන කුනුරෙදිවල එක පැල්ලමක් ඉවත් වනවිට තව පල්ලම් දහයක් මතුවන බව නොපෙනීම පුදුමයක් නොවේ. හෙට අනිද්දා වනවිට නෑ යකෝ මේ හොරකම කරේ මම. එහෙම කරේ මෙතන ආරක්ෂාවක් නැහැ කියලා පෙන්නන්න යයි කිව්වොත් පුදුම වීමට දෙයක් නැත. හැබැයි උන්නැහැ රෙද්ද උස්සා මුහුන වහගත්තාට උන්නැහේගේ අවශ්‍යම දේවල් එළියේ බව උන්නැහේට මතක් කර දිය යුතුය.

  5. දැං උඹ මේවා ලිව්වම, අවශ්‍ය උං කියෝලා හැදෙයි…
    බලාගෙන හිටපං…

  6. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මැතිණිය පේරාදෙණියේ උපාධිධරිනියකි.. හිටපු රජයේ සේවිකාවකි (විවාහයට පෙර) ඇගේ දැන් තත්වය නම් නොදනිමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: