2012 දෙසැම්බර් 30: ලංකාවට ප්‍රබල භූමිකම්පාවක්….. එකසිය ගානක් මරුට… මිලියන විසි එකක් අවතැන්….


ලංකාවේ කලින් කලට විවිධාකාර විද්වත්හු පහළ වෙති… අවාසනාවකට බොහෝ තැන්වලින් ප්‍රසිද්ධිය ලැබෙන්නේ ද මෙවැනි විද්වතුන්ටය… එක කාළයක් අපේ රටේ හිටි ජ්‍යොතිශ්‍ය විද්වත්හු ලෝක විනාසය පිළිබඳ විවිධ මත පහළ කළහ… ඒ අනුව සම-හරක් අය, ලෝක විනාසය නොවන බවත් විශාල මනුෂ්‍ය ජීවිත හානි සිදුවන බවත් සඳහන් කරමින් සිය ආධිපත්‍යය තහවුරු කළහ… ඒ සියළුම දෙනාගේ මත තහවුරු කරමින් ලෝක විනාශය සිදු වී දැන් දින අටක් ගත වී ඇත.

ඉන්පසු තවත් විද්වතෙකු පහළ කළ මතයක් වන්නේ එතුමා කොහේදෝ පස් වගයක් පරීක්‍ෂා කර ලංකාවට 28 වනදා භූමි කම්පාවක් පැමිණෙන බවයි.. තවත් කට්ටියක් අද කූඹිකම්පාවක් වෙනවයි කියලා කිවුවා… අද 30 යි… එතුමට දවස වැරදුනාද නැතිනම් පස් ගොඩේ බල්ලෙක් ජරා කරලා තිබුණද මට නොතේරේ… එසේ නොමැති නම් ඒ අනාවැකියද හරි යා යුතුය……

ලංකාවේ විද්වත්හු සහ ජ්‍යෝතිශ්‍ය වේදීහු සිය මඩිය තර කර ගන්නට විවිධාකාර අනාවැකි පහළ කරති. ජාතියේ මහා දෛවඥයා කිව්වේ ලෝක කුසලානය අනිවාර්යයෙන් දිනන බවය. ලොක්කා ගිහින් වාඩි වුන ගමන්ම වැල නොගියා නම් අපිද ලෝක කුසලානයට හිමිකම් කියනවා සිකුරුය.. (ඒ කිවුවේ මගේ අනාවැකිය අනුවය… ඒක එහෙමම සිද්ධ විය… දැන් මටත් අනාවැකි කිවහැකිය…)

මෙන්න තැන... වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..

මෙන්න තැන… වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..

අපේ රටේ විද්‍යාවට තැනක් නැති බව මා මීට පෙරද ප්‍රකාශ කර ඇත.. දැන් තැනක් ඇත්තේ දේවාල වලටත්, හොර ජ්‍යොතිශ්‍ය කාරයින්ටත් පමණි. අප කුඩා කාළයේ විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් අපූරුවට ප්‍රචලිත කළ යුග පුරුෂයින්  දෙදෙනෙකු විය.. ඒ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා සහ ආචාර්ය උපාලි එම් සේනානායක මැතිතුමා යන දෙපළය.

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ

UM Senanayake

ආචාර්ය උපාලි එම් සේනානායක

අද ඒ දෙපළම අප අතර නොමැත. අද තරමකට හෝ විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ නාලක ගුණවර්ධන පමණි. නාලක සහ චානුක අප කුඩාකළ රස කරමින් කියැවූ, බොහෝ දැනුම ලද, විදුසර පත්‍රයේ ආරම්භක ලේඛකයින් දෙදෙනාය…  එකළ අපද විදුසරට ලියන්නට උත්සාහ ගත් නමුත්, ඒ කාළයේ අපේ ලිවීමේ හැකියාව එතරම් උසස් නොවූ නිසා සහ තොරතුරු සොයා ගැනීමේ අපහසුව නිසා නිසි ලෙස ලිපියක් ගළපන්නට නොහැකිවීම යන කරුණු නිසාත්, නාලක සහ චානුක විදුසරෙහි ලිපිවල ගුණාත්මක භාවය ඉහළින්ම තබා ගෙන තිබූ නිසාත් අපට තැනක් නැති විය.. විද්‍යා ප්‍රබන්ධ දෙක තුනක් විදුසරට යොමු කළද, ඒවායේ ද ගුණාත්මක භාවයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. උසස් පෙළ කළාටත් පසු විදුසර මගේ ප්‍රියතම පුවත්පතක් වූයේ එහි වූ විද්‍යා දැනුම නිසාවෙනි. නමුත් දැන් දැන් නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්නා විදුසර ද අවිදුසරක් බවට පත් වී ඇත.  රටේ මිනිසුන්ට නිසි මඟ පෙන්විය හැකි පුවත්පතක වර්තමාන කළදසාව පිළිබඳ ඇත්තෙන්ම දුකය… ඔවුනට දැනුදු නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගැනීම පැත්තකට දමා නිසි ලෙස සත්‍යය සොයා රටේ දුවා දරුවන්ට බෙදා දිය හැකි නම් නැවත රසිකයින් අතරට පැමිණිය හැකි බව මතක් කර දීමට කැමැත්තෙමි.

ලෝක විනාශය මූලික කරගෙන ලංකාවේ මාධ්‍යවල හැසිරවීම පිළිබඳ ඉතා අගනා ලිපියක් නාලක ගුණවර්ධන විසින් සිය බ්ලොග් අඩවියේ පල කර ඇත… සාමාන්‍යයෙන් නාලක සිය බ්ලොග් අඩවියේ ලිපි පළ කරන්නේ ඉංග්‍රීසියෙන් නමුත්, මේ ලිපිය මනා ලෙස සිංහලෙන් ගලපා ලියා ඇත. තවමත් නාලකගේ සිංහල රචනය ප්‍රශස්ත මට්ටමේ පවතින බවට එය හොඳ ඉඟියකි. නාලක ද සිංහලෙන් සිය බ්ලොග් අඩවිය ඉඳහිට හෝ යාවත්කාලීන කරන්නේ නම් එය ද අපේ රසිකයනට කරන සේවයකි. චානුක ද සිය “සිහි සටහන්”  බ්ලොග් අඩවිය පවත්වාගෙන යන නමුත් පෙර මෙන් විද්‍යාත්මක සංවාදවල නියැලෙනවා අඩුය.

අපි, සෑම විටම දුවන්නේ ලාභ දේ සොයාගෙනය, ලාභ දේ බොහොමයක් බාලය. කියවා තේරුම් ගැනීමට සහ සිතීමට අවශ්‍ය ලිපි කියැවෙනවා බොහෝ අඩුය.. ඒ වෙනුවට කියැවෙන්නේ සරළ සුගම ශෛලියකින් ලියැවුන, හිතට වදින සුන්දර හෝ අසුන්දර එදිනෙදා ජීවිතයට සමීප පුවත් හෝ කතාන්දරය. මා ලියූ සමහරක් ලිපි පුවත්පත් වලට යැවුවද, ඒවායින් අවම වශයෙන් ලැබුන බවට පිළිතුරක් හෝ නොලැබුනේ, මගේ ලිපි “විකිණෙන ගණයට” අයත් නැති නිසාවෙන් විය හැකිය. ඒ ගැන මට කණගාටුවක් නැත්තේ මගේ ලිපි කියවන රසික කැලක් මා සතුව ඇති බැවිනි.. ඔවුනට මා නිබඳ ස්තුතිවන්ත වෙමි….

ලංකාවේ විද්‍යා අධ්‍යාපනය අනතුරේ බව මොරටුව විශ්ව විද්‍යාලයේ සහ SLINTEC  ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා විසින් දැනට කලකට පෙර පුවත්පතකට යොමු කළ ලිපියකින් සඳහන් කර තිබුණි. එය දැන් දැන් හොඳටම දකින්නට ඇත. බොහෝ රූපවාහිනී නාලිකාවල කෙටි දැන්වීම් තීරු වල වැඩිපුරම දක්නට ලැබෙන්නේ යාග හෝම, වශී ගුරුකම්, අණවින-කොඩිවිණ සිදු කරන චීවරධාරීන්ගේ සහ කට්ටඬියන්ගේ දැන්වීම් වේ. ආණ්ඩුවේ ලොකු ලොකු ඇත්තන් රෙදි නැතුව දේවාල ගානේ යනු පත්තරවල ද ලොකු ලොකු පින්තූර පළ වේ. වෙනකක් තබා ජනාධිපති තුමා ද වශී සුරයක් අතේ රැගෙන යන පින්තූර බොහෝ පුවත්පත්වල පළ වී තිබේ….

ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා... (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)

ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා… (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)

මේ අපේ විද්‍යා අධ්‍යාපනයේ තත්ත්‍වයයි. කිසිවෙකු විද්‍යාත්මක යැයි හැඟෙන යමක් පැවසූ සැණින් එය හරිද වැරදිද යන්න නොසළකා බොහෝ මාධ්‍යවල උළුප්පා දක්වනු ලැබේ. වතුරෙන් දුවන මෝටර් රථය පුස්සක් බව දැනගත්තේ බොහෝ කලක් ගත වූ පසුවය… මේ අපේ මාධ්‍යවල දැනුමේ නිම් වළලු පුළුල් කිරීමේ ක්‍රියාදාමයයි. නයි නළඟනට ලැබෙන ප්‍රසිද්ධිය විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයකට නොලැබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මා පෙර කීවාක් මෙන් මිනිසුන් විද්‍යාවට සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරි හැටි අවබෝධ කරගන්නේ නැත… ආසනික් ප්‍රශ්නය ඔඩු දුවන්නේත් අදාල පාර්ශව එය වවාගෙන කන්නේත් මිනිසුන් විද්‍යාවෙන් ඈත් වී ඇති නිසාය… කළින් කළට මතුවෙන විද්වත්හු මිනිසුන් මුලා කරමින් සිය ජීවිකාව පවත්වාගෙන යති. විජ්ජාවෙන් ජනතාව මුලා කරන වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා මේ ගණයට අයත් නොවේ.

නමුත්,……. ඒ මහතා අයත් ගණයටම අයත් තවත් කාණ්ඩයක් සෑම විටම සාමාන්‍ය ජනතාව මුලා කරමින් සැප විඳිති… එවන් අයෙක් රටට ඇතිවන ඊලඟ අනතුර පිළිබඳ කදිම අනාවැකියක් කියා ඇත. එය මෙතැනින් බලන්න….. මටද හැඟෙන පරිදි ඒ අනාවැකියෙන් කොටසක් හෝ සැබෑ විය හැකිය. නමුත් ඒ අනාවැකියෙන් කියැවෙන්නේ ස්වභාවික ව්‍යසනයක් ගැන නොවේ.. අපම විහින් දමාගත් ව්‍යසනයක් ගැනය….

බටහිර මාධ්‍යයන් විසින් ජනතාවට විද්‍යාත්මක දැනුම කොපමණ ලබා දුන්නද, සාමාන්‍ය මිනිසුන් ඒ පිළිබඳ එතරම් දැනුවත් වීමට කටයුතු නොකරති. ඒ මිනිසුන්ගේ හැටි ය. නමුත් අවම වශයෙන් අන්තර්ජාලයෙන් හෝ තරමක දැනුමක් ලබාගෙන මේ මොනවාදැයි කියා යම්තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔවුහු කටයුතු කරති. අපේ වැඩිහිටි පරපුර අන්තර්ජාලයෙන් බොහෝ ඈතක සිටින අතර තරුණ පරපුර SEX යනු මොනවාදැයි සොයමින් අන්තර්ජාලයේ අතරමංව සැරි සරති. මට ලැබෙන සමහර ඊමේල් අනුව, ලංකාවේ සමහර තරුණ තරුණියන් Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර තොරතුරු සොයා ගැනීමේ කටයුත්ත වත් හරි හැටි කරගන්නට හෝ, කර ගත්තද ඒ තොරතුරු පිළිබඳ නිසි අවබෝධයක් නැති පිරිසක් යැයි මට සිතෙන අවස්ථා ඇත. මෙයට ප්‍රධාන හේතුව අන්තර්ජාලයේ තොරතුරු සෙවීමේ කම්මැලිකම ද, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් යමක් කියවා අවබෝධ කර ගැනීමට ඇති කම්මැලිකම දැයි මම නොදනිමි…. මූණු පොතේ නිතර සැරිසැරුවද, එයින් ලැබෙන දැනුමක් නැත… අන්තර්ජාලය යනු මහා දැනුම් සම්භාරයක එකමුතුවකි… එයින් හරි දේ තෝරාගතහොත් ලැබිය හැකි දැනුම හා දියුණුව අපමණය…. තමන් දියෙන් කිරි වෙන් කර ගන්නවාද , කිරි කළයේ ඇති ගොම බිංදුව තෝරාගෙන අනුභව කරනවාද යන්න ඔබ තෝරා ගත යුතුය…

ලංකාවේ මාධ්‍ය වලින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. මා පසුගිය කාළයේ ලංකාවේ සිටියදී ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකුගේ පුතෙකු ගෙන් ඇසූ “ලංකාවේ උසස් ගණයේ ටෙලිනාට්‍ය බිහි නොවන්නේ මන්ද ?” යන පැණයට ඔහු දුන් එකම පිළිතුර වන්නේ ටෙලිනාට්‍යයක බජට් එකට සරිලන සේ පසුතලය සැකසීමේදී ගමේ ගොඩේ එදිනෙදා සිදුවන සිදුවීම් අළලා තැනෙන බාල ගණයේ ටෙලිනාට්‍ය මිසක්, වෙනත් නාට්‍යයක් නිෂ්පාදනය කළ නොහැකි බවයි. එනම් වෙනම පසුතල නිර්මාණය කර, අළුත් ආකාරයක කතාවක් නිෂ්පාදනය අතිශය අවදානම් කටයුත්තක් බවයි… මේ නිසා බොහෝ ටෙලිනාට්‍ය උසස් ලෙස නිර්මාණය කිරීමේ නොහැකියාවක් මෙන්ම, එපිසෝඩ් එකක් වැඩිම උනොත් ලක්‍ෂයක බජට් එකකට යටකර නිෂ්පාදනය කිරීමට සිදු වීම නිසා ගෙයක් අරන් කැමරා දෙකක් දාගෙන එපිසෝඩ් එකක් හදන තත්ත්‍වයකට අපේ ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පහතට වැටී ඇතිබව කණගාටුවෙන් වුවද පැවසීමට සිදු වී ඇති බව හෙතෙම පැවසීය… මේ අපේ ටෙලිනාට්‍යවල තත්ත්‍වයයි.

බටහිර රටවල නම් ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව  නාට්‍යය නරඹන සංඛ්‍යාව දිගටම පහළ බසී නම්, නාට්‍ය මාලාව මැදදී වුවත් ගලවා ඉවත් කිරීම සිදු වේ. නමුත් අපට සිදු වන්නේ මොන දහජරාවක් වුවත්, නාට්‍ය මාලාව අවසන් වනතුරු නැරඹීමට වීමයි: එය ඉතා කණගාටුදායක තත්ත්‍වයකි. එයින් වඩාත්ම අප්‍රසන්න සිදුවීම වන්නේ වෙළඳ දැන්වීම් නරඹන අතරතුර ටෙලි නාට්‍යයේ විනාඩි පහක් පමණ නැරඹීමට සිදු වීමයි. එයින් වෙළඳ දැන්වීමක්වත් හරිහැටි බලාගැනීමට නොහැකි වේ.

එදා අප දුටු වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගිරය, කඩුල්ල, යශෝරාවය, අඹයහළුවෝ වැනි ටෙලිනාට්‍ය අපට කවදා යළි නැරඹීමට හැකි වේද ? එදා මාධ්‍යයන්ගෙන්අප දුටු පරිණතබව, දැනුම, අපේ ඉදිරි පරපුරට කවදා දැකිය හැකි වේද ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 29, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 14.

  1. නලින් ලොක්ක දැන් අනාවැකිත් කියන්න පටන් අරගෙන.දින කීපයකට කලින් කියල තිබුන ලගදීම ක්‍රිකට් වසන්තයක් එනවා කියල.අද ලංකාවෙ සම-හරක් ජෝතිෂයකාරයෝ ප්‍රසිද්දියේ මංකොල්ල කන එව්වො වෙලා.ලොක්කට ඒවලින් පිහිට තියෙනවනම්,එයාව එතනට ගෙනාපු අපිට “දෙයියො”පිහිට නොවී තියේවියයි කියල හිතනවා ඇති ජනතාව.ඔබ ලංකාවට ගිය පසු නම් මෙවැනි ලිපි ලියන්න ලැබෙන එකක් නැහැ නෝනා මහත්මියගෙන්:).

    කැමතියි

    • මේකනෙ කෙන්ජි,
      ලංකාවට ඉන්න ලොකුම විද්වතා තමයි ඔය… එතුමා කියන ඕනම දෙයක් පිළිගන්න අපේ ලොක්කො පුරුදු වෙලා ඉන්නවා… ඒ විතරක් නෙවෙයි මාධ්‍යත් කිසිම අභියෝගයක් නොකරම නැට්ට පුකේ ගහගෙන පිළගන්නවා.. මොකද අභියෝගයක් කරන්න තරම් කෙනෙක් මාධ්‍යයෙ නැහැ.. අනිත් එක ඉන්න විද්වත්තු ඌරොත් එක්ක සටන් කරලා ගූ නාගන්න කැමතිත් නැහැ…
      දෙවියන් ගැන කතාව වෙනම දෙයක්, ඒක බොහොම ගැඹුරින් හදාරන්න ඕන – කතා කරන්න ඕන මාතෘකාවක්… ඒත් මේ දෙයියො ඉන්නව නං ඇයි මෙච්චර විපත් වෙද්දි බලාගෙන ඉන්නෙ ? ඇයි දෙයියන්ට මේකට විසඳුමක් දෙන්න බැරි ?
      ලංකාවට ආවට පස්සෙ වෙනත් මාර්ගයක් තෝර ගන්න වෙයි.. සමහර විට වෙනම වෙබ් අඩවියක් පටන් ගන්නත් අදහසක් තිබෙනවා… එතකොට දැනුවත් කරන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැහැ…

      කැමතියි

      • වැඩි දෙයක් ඕන නැහැ කතරගම් දෙවියන් වැඩ වසන කතරගම නගරයට ප්‍රදාන වශයෙන් යන්නේ ලංකාවෙ මහා/මැද/සුළු ව්‍යාපාරික/අදායම් ලබන අය දේව පිහිට ලබාගැනීමට.එව්වන්ට පිහිට වෙන කතරගම දෙයිය තමන්ගෙ කිට්ටුව ඉන්න මල්/පලතුරු/එළවලු ආදි නොයකුත් දෑ විකුනමින් එදාවේල සරිකරගන්නට පොරකන දිහා නොබලන එක තවම කව්රුත් හිතල නැහැ.

        කැමතියි

  2. ගැටලුවට හේතුව බහුතරයක් දෙනා මිත්‍යාව විද්‍යාව ලෙසද, විද්‍යාව මිත්යාව ලෙසද වටහාගෙන සිටීමයි. 😉

    කැමතියි

  3. මගේ ලඟම ඥාතියෙක් වන ආචාර්‍ය්‍ය උපාලි එම් සේනානායකයන් ගැන ඔබ සඳහන් කළ දෑ වලට පිං. මේ රටට මෙහෙම වෙලා තියන්නේ ඇයි කියන එකට තවත් උපමා කියන්න අවශ්‍ය නැහැනේ. කොදාගොඩයන්ගෙන් සහ තවත් එවැනි විද්වතුන්ගෙන් අපි වැඩ ගත්තාද? මැරවින්ලටම ගිය රටක් මේක. ගාල්ලේ හඳහන් සුමනයට තියන තැනවත් මේ මහා විද්වතුන්ට තිබ්බේ නැහැ කියන එක මම පුද්ගලිකවම දන්නවා.

    කැමතියි

    • ආචාර්ය උපාලි එම් සේනානායක මහත්මයා ලඟ මම කළක් වැඩ කළා… එතුමගෙ රසායන විද්‍යා දැනුමට වඩා තිබුණෙ රසායන විද්‍යාවේ අංශ සියල්ල පිළිබඳ දැනුමක්… අපි ඒ දැනුමෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්තෙ නෑ… විද්‍යා කලා නිධි සම්මානයක් දීලා CISIR එකේ මුල්ලකට කරලා තිබ්බා මිසක්… වැඩක් ගත්ත නං ගත්තෙ I.Chem. එක විතරයි…
      ඒ තිබුණ පර්යේෂණාත්මක දැනුම එතුමත් එක්කම නැතිවෙලා ගියා…. මම වාසනාවන්තයි ඒ වගේ කෙනෙකුගෙ ඇසුරට වැටිලා යමක් ඉගෙන ගන්න ලැබීම ගැන… මම ඒ වගේ අවස්ථාවන් ජීවිතේටම මතකයේ තියා ගන්නවා…
      එතුමා තමයි මට මුලින්ම කතා කරලා කිවුවෙ.. පියල්.. ඔයා තමයි Batch top කියලා.. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ…

      කැමතියි

  4. //ඒ ගැන මට කණගාටුවක් නැත්තේ මගේ ලිපි කියවන රසික කැලක් මා සතුව ඇති බැවිනි..
    Forever!

    කැමතියි

  5. කියල තියන කාරණා සියල්ලටම එකඟයි , ලොක්කා ගුලි මිරිකන කොට , විපක්ෂ ලොක්කා කක්කුස්සි පුටු අරන් කැබලිත්තේ දුවන කොට රටේ මිනිස්සු විතරක් මිත්‍යාවට අහුනොවී ඉඳියද ? ටෙලි නාට්‍ය චිත්‍රපටි වලට නම් ගහල තියන හෙනේ බජට් ප්‍රශ්නය(සමහර නිර්මාණ කරුවන්ගේ අමන කමට අමතරව ) . ලංකාවේ වෘත්තිමය භාවයක් නැතිවුනු ක්ශේත්‍රයක් බවට පත්වෙලා නොතිබුනා නම් “බුවාගේ” නවාතැන් පොල වෙන්නෙත් ඔය ක්ෂේත්‍රය , දුක තමා . ඒත් මොනවා කරන්නද

    කැමතියි

  6. Thank you for mentioning my Sinhala writing. Sorry, I can’t type in Sinhala – a bit late in the day to learn that skill now!

    The weekly column I write in Ravaya (called සිවුමංසල කොලූගැටයා) is archived online at my blog: http://nalakagunawardene.com/ravaya-column/

    Please visit, read, comment and join the discussion in Sinhala or English.

    කැමතියි

  7. About TV broadcasting in Sri Lanka, see: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු! http://wp.me/p3zUD-1T0

    කැමතියි

  8. ඇල්කෙමි සර්ට,

    මමත් IChemC එකේ ඉගෙන ගත්ත සර්ව දන්න කෙනෙක්. මම විදුසර පාඨකයෙක් වෙලාත් දැන් සෑහෙන කාලයක්. ඒ වගේම නාලක ගුණවර්ධන මහත්තයා ලියන ලිපිත් ආසාවෙන් කියවන කෙනෙක්.

    ‘විදුසර’ යන ගමන සහ විද්‍යා සන්නිවේදනය ගැන නාලක ගුණවර්ධන මහත්තයාම 2012 නොවැම්බර් 10 ‘රාවය’ට ලියාපු ලිපියක් තමයි මේ තියෙන්නේ. (මේ සංවාදයේ නාලක ගුණවර්ධන මහත්තයත් හිටපු එක හොඳට ගියා.) කියවලා බලන්න.
    http://nalakagunawardene.com/2012/11/10/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-91-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A/

    අනෙක් කාරණාව සර් මුලින්ම පටන් අරගෙන තියෙන්නෙත් ලෝක විනාස කතන්දරේකින් නොවැ. මෙන්න ඒ ගැන නාලක ගුණවර්ධන මහත්මයා විදුසරට යොමුකළ ලිපියක්. ඒකත් කියවලාම බලන්න. (මේක මුලින් ගිහින් තිබුණෙ රාවයේ)
    http://www.vidusara.com/2012/12/19/feature1.html

    ඔබතුමා කතා කරන විදිහට නම් පේන්නෙ සෑහෙන කාලෙකින් විදුසරක් කියවන්න ලැබිලා නැති බව තමයි. ඒ නිසා මෙන්න මේ ලිපිය කියවලා බලන්නකො. විදුසරේ 25 වැනි සංවත්සරයට “විදුසර” , නාලක ගුණවර්ධන මහත්තයත් එක්ක කරපු සම්මුඛ සාකච්චාවක් තමයි මේ.
    http://www.vidusara.com/2012/11/07/feature4.html

    පත්තරේ කියවලා බලලාම සමස්තයක් ලෙස අදහසක් දක්වන එකනෙ කෙරෙන්න ඕනෙ. ඔබතුමා වගේම මමත් ඉතා ඉහළින් අගය කරන නාලක ගුණවර්ධන මහත්තයාගේ 2012 නොවැම්බර් 10 ‘රාවය’ට ලියාපු ලිපිය තුළ “විදුසරේ විද්‍යා සන්නිවේදන අරමුණු” පිළිබඳ සාධාරණ විවරණයකුත් තියෙනවා කියලයි මට හිතෙන්නෙ. ඔය ඔක්කොම කියවලත් ඒත් සෑහීමකට පත් වෙන්න බැහැ වගේනම් අදාළ අයටම දැනුම් දෙන්න පුළුවන් නේද?. ළඟදි දවසක “විදුසර මූණු පොත් ගිණුමේ” තමයි මම මේක දැක්කෙ. ඒකත් ඔබතුමාට ප්‍රයෝජවත් වෙයි කියලා හිතුවා.

    // විදුසර පුවත්පෙතහි මූලික අරමුණු අවංකව ම අධ්‍යයනය කිරීමට කැමැති අයකුට එහි පිට කවරවල අඩංගු කරුණු මගින් පමණක් වුව යම් සාධාරණ අදහසක් ගත හැකි යැයි අප විශ්වාස කරනවා. (එක් කවරයක් පමණක් බැලීම ප්‍රමාණවත් නො වනු ඇත)
    විදුසර Facebookහි Photos –> Albums හරහා Cover Power පිංතූර එකතුවට පිවිස ඉකුත් මාස කිහිපය තුල පළ වූ එක් එක් පත්‍රයේ පිටකවරය වඩාත් පැහැදිලිව ඔබට බලාගත හැකියි. ඉන් සෑහීමකට පත් වන්නට අසීරු නම් කරුණාකර අඩු ම තරමින් ඉකුත් මාස 5-6 තුළ පළ වූ විදුසර මුද්‍රිත කලාප 5ක් වත් පුස්තකාලයකින් හෝ කියවා සාධාරණ විනිශ්චයකට එළෙඹන්නැයි අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ ගේ විනිශ්චය පහත සදහන් යොමුවට ගොස් අපට දැනගැනීමට සලස්වන්න පිළිවන්.
    කරුණාකර, විදුසර කියවීමට සැලැස්විය යුතු යැයි ඔබ සිතන අයට සහ විදුසර ගැන කවර හෝ ආකාරයකින් උනන්දුවක් දක්වන හා අදහස් පළ කරන ඔබ දන්නා හදුනන අයටත් මේ පණිවිඩය යවන්න.

    ස්තුතියි.
    විදුසර කණ්ඩායම// මේ තමයි අදාළ යොමුව.
    https://docs.google.com/spreadsheet/viewform?formkey=dHFPa3RVaHBEeEhJLXNXbHk5UGVMeXc6MQ#gid=0

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: