Monthly Archives: ජනවාරි 2013

2013 ජනවාරි 29 : අත්වැරදීමෙන් බෙල්ල කැපීම….


ගෙදරදී වැටී අතක් කැඩුන අචලා ප්‍රියදර්ශනී නම් නීති ශිෂ්‍යාවගේ අත “වැරදීමකින්” වෛද්‍යවරයෙකු විසින් කපා දමා තිබේ. ඒ වෛද්‍යවරයාගේ නිදහසට කරුණ වී ඇත්තේ ලෙඩුන් 10 ක් බලන කෙනෙකු ලෙඩුන් 100 ක් බලද්දී එවැනි අත්වැරදීම් සිදු වන බවය. ලිපිය මෙතැනින් බලන්න. එසේම එවැනි අත්වැරදීම් ලොව ඕනෑම තැනක සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත… වෛද්‍යවරයෙක් යන උතුම් වෘත්තියට ද නිගාවක් දෙන මෙවැනි අවලම් ප්‍රකාශ කරන නොමිනිසුන් යවන්නේ මොන අපායටද ?

තම අත්වැරදීම (හෝ තම සගයෙකුගේ අත්වැරදීමක්) නිහතමානීව පිළි නොගෙන මෙවැනි උඩඟු කතා දෙසා බාන මන්ද බුද්ධිකයින් ලංකාවේ ඕනෑ තරම් අප දැක ඇත. දියවන්නාව පැත්තේ ඒවාට ඕනෑතරම් උදාහරණ ඇත. මගේ මිතුරන් සෑහෙන ප්‍රමාණයක් වෛද්‍යවරුන් වෙති. සමහරක් ඉතාමත් කරුණාවන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරු වෙති. ලංකාවේ වෛද්‍යවෘත්තිය ඇත්තෙන්ම වගකීම් රහිත වෘත්තියක් වී ඇත. රෝගියෙකු මියගිය හොත් එහි වරද රෝගියාටම පැටවේ. කැපිය යුතු අත වෙනුවට අනෙක් අත කපා ඉවත් කළ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත. ලබා දිය යුතු බෙහෙත වෙනුවට වෙනත් බෙහෙත් ලබා දීමෙන් රෝගීන් මිය ගිය අවස්ථා අනන්තවත් ඇත. රෝගියාගේ ආසාදන තත්ත්‍වයන් සැළකිල්ලට නොගැනීම නිසා එන්නත් ලබා දුන් පසු මියගිය දරුවන්ගේ කතා එමට ඇත… මේ අපේ වෛද්‍ය වෘත්තියේ වගකීම් රහිත ස්වභාවයයි.

අන් රටවල නම් වෛද්‍යවරුන්ගෙන් තම රෝගය පිළිබඳවත් තමාට ලබා දෙන බෙහෙත් වර්ග පිළිබඳවත් සවිස්තරාත්මක වාර්තා ලබා ගැනීමේ අයිතිය රෝගීන් සතුව ඇත. ලංකාවේ එසේ නොමැත. මගේ මවගේ දියවැඩියා රෝග තත්ත්‍වයට සිදු කෙරෙන පර්යේෂණවල වාර්තා සටහන් කරන්නේ කොපි පොතකය. ඇගේ පර්යේෂණ වාර්තා කියවා බැලීම සඳහා සහ මා දන්නා හඳුනන වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විට මට ලැබුණේ කොපි පොතේ ස්කෑන් ඡායාරූප කිහිපයකි. මටම ලැජ්ජය.. වාසනාවකට ඒ වෛද්‍යවරයා ද ලාංකිකයෙකි. අප මොහොතකට නවතිමු… මේ පර්යේෂණ වාර්තා මුද්‍රිත කඩදාසියේ සිට කොපි පොතට පිටපත් කිරීමේදී පිටපත් කරන්නා අතින් කිසියම් වැරැද්දක් සිදු වුවහොත් සිදු වන්නේ කුමක්ද ? මගේ මවගේ ඖෂධ හෝ මාත්‍රා ප්‍රමාණය හෝ වෙනත් රෝගී තත්ත්‍වයක නිසි තොරතුරු වෛද්‍යවරයාට නොලැබීමයි. ඉන් පසු සිදු වන්නේ ඇගේ රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීමයි. දැනටමත් බොහෝ සෙයින් රෝගී වී සිටින ඇයගේ රෝග තත්ත්‍වය උත්සන්න වීමට එක් හේතුවක් වී ඇත්තේ මේ නොසැලකිළිමත් ක්‍රියාකලාපයදැයි මට දැන් සැකයක් පවතී.

මේ එක් කතාවකි. දෙවැන්න..

පසුගිය කාලයක ලංකාවට ගොස් සිටි සමයේ ඇල්කෙමි පැටියාට කැස්සක් හැදී ලංකාවේ පෞද්ගලික රෝහලක සායනයකින් ළමා රෝග වෛද්‍යවරියක් චැනල් කර ඇයට දරුවා පෙන්වූයෙමි. විනාඩි පහක පමණ කාළයකට පසු ඇගෙන් අපට ලැබුණේ ඖෂධ කිහිපයක නම් සටහන් කළ කොළයකි. ඖෂධ ලඟම ඇති ෆාමසියකින් ලබා ගත් අප, නිවසට පැමිණ මේ ඖෂධ මොනවාදැයි විපරම් කර බැලූවේ පැටියා සමහර ඖෂධ වර්ගවලට ඇති ආසාත්මිකතාවය  ගැන දන්නා නිසාමය. වාසනාවකට අප ඒ ඖෂධ පිළිබඳ විපරම් කර බැලූ නිසා සිදු විය හැකිව තිබූ ලොකු අනතුරක් වැලකී ගියේය.. ඒ එකක් ආසාත්මිකතාවය ඇති කරන ඖෂධයක් වන අතර අනෙක වැඩිහිටියන්ට කැස්සට ලබාදෙන ඖෂධයකි. ඊටත් වඩා පුදුම සහගත තත්ත්‍වය වූයේ අවුරුදු 4 ක දරුවාට ලබා දී ඇත්තේ වැඩිහිටියනට ලබා  දෙන මාත්‍රාවම වීමය… කෙසේ වුවත් අප ඒ වෛද්‍යවරියගෙන් ලබා ගත් ඖෂධ ලබා නොදී තවත් දන්නා හඳුනන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ලබාගෙන පැටියා යථා තත්ත්‍වයට ගෙන ආවෙමු.

මේ කතා එසේ වූවත්, මා දන්නා සමහර වෛද්‍යවරුන් ගමේ මිනිසුන්ගෙන් සතයකුදු අය නොකර බෙහෙත් ලබා දෙන බව මා දිනිමි. ස්වල්පයක් දෙනා මෙසේ අවිචාරශීලීව හැසිරුණද, බොහොමයක් දෙනා තවමත් මිනිස් ගති අත් නොහැර සිටින බව ද පෙන්වා දිය යුතුමය. ඔවුහු පිදිය යුතු පිරිසකි….

හොස්ස ළඟින් මැස්සෙක් ගියත් වර්ජනය කරන වෛද්‍යවරුන් සහ විවිධ වෛද්‍ය වෘත්තීය සමිති මේ වැනි අත්වැරදීම් ගැන දක්වන්නේ කුමන ආකල්පයක් දැයි දැනගැනීමට අප පුල පුලා බලා සිටිමු.. අවාසනාවකට රෝගීන්ට වර්ජනය කල නොහැක…

නමුත්… අර අත්වැරදීම් ගැන කතා කරන වෛද්‍යවරයා කොණ්ඩය කැපීමට බාබර් සාප්පුවට නොයා යුතුය… මක් නිසාද යත් බාබර්ට අත්වැරදීමක් සිදු වී බෙල්ල කැපී මිය ගිය යා හැකි බැවිනි..

2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?………………..


හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න…… එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න…. ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය… දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ?

කොහොම වුනත් දිවයින ඉරිදා පුවත්පතේ වූ මෙන්න මේ පුවත දැකීමෙන් මට මේ ලිපිය ලියන්න සිතුනා. ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. මේ ලිපිය ඉදිරියේ පළ වන ලිපි පෙළක ආරම්භය පමණයි… මේ ලිපි පෙළ පළවනතුරු මම බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා… මොකද කියනවා නම් මේ වගේ රැඩිකල් අදහසක හොඳ – නරක බලන්න වෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා අවසාන වුනාට පස්සෙයි… සමහරවිට හොඳ වෙන්න පුළුවන්… ඒත්……..

බුලිත ප්‍රදීප් කුමාර විසින් ලියූ මේ වටිනා ලිපියෙන් කියැවෙන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කිරීමට මම කැමතියි.

“එබඳු විශේෂඥ දැනුමක්‌ ඇති පෝෂණ වේදියෙක්‌ පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක්‌ මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය. 

බිත්තරවල කොලස්‌ටරෝල් නෑ… බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රෝටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි… ඔහු කීවේය.

බිත්තරවල කොලෙස්ටරෝල් නැද්ද ? 

8ef4a9165db4ab55305e8978e599578fසාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 186 ක් පමණ ඇති බවයි බටහිර ජීව රසායන විද්‍යාව අනුව  සොයාගෙන තිබෙන්නෙ… ඒ කහමදයෙයි… සුදු මදයේ කොලෙස්ටරෝල් නැහැ.. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300 ක් අඩංගු ආහාර අනුභවයට ගත හැකියි… නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්… ඒ එසේ වුවත් අනෙක් පැත්තෙන් බිත්තරවල මේ කියන කිසිම අගුණයක් නැති බවත් පැවසෙනවා. මේ ලිපිය බලන්න. එසේම ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නෙත් බිත්තරව නිසි පරිදි ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවක්.. පෙරදිග විද්‍යාව මෙයට වඩා වෙනස්… ආහාර සමබලව ලබා ගැනීමෙන් සහ කොලෙස්ටරෝල් නසන ආහාර සමඟ කොලෙස්ටරෝල් ඇති ආහාර සමබර කිරීමෙන් බිත්තර වුවත් ආහාරයට ගත හැකියි. එසේම මේ කුමන ආහාරය ගත්තත් නිසි ව්‍යායාමයක හෝ ඇඟ වෙහෙසා කෙරෙන කටයුත්තක නිරත නොවන්නේ නම් අද කාළයේ දින චර්යාව අනුව රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි..

කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි….

කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක්‌ නැහැ. මොන හාලත් අගුණයි.

මේ වාක්‍ය දෙකෙහි සම්බන්ධතාවය කුමක්ද ? පිටි වශයෙන් ගත් කළ හාල්පිටි කුරක්කන්පිටි ගුණ බවත්, කුරුට්ට නැතිනම් හාල්  අගුණ බවත් හෙතෙම පවසනවා.. මෑතක් වනතුරුම කුරක්කන්පිටිවල ඇති ගුණ පිළිබඳ බහුලව කතා කෙරුණා. දියවැඩියා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ටත් ආහාර සැකසීමේදී කුරක්කන් පිටි භාවිතා කරන ලෙස අනන්තවත් වෛද්‍ය උපදෙස් වලින් අසන්නට දකින්නට කියවන්නට ලැබුණා. හාල්වල කුරුට්ටේ අධික විටමින් ප්‍රමාණයක්, තන්තු ප්‍රමාණයක්, සහ පෝෂණගුණයක් අඩංගු බව සැම දෙනාම දන්නා කරුණක්. ඒ නිසාම තමයි කැකුළුහාල් ආහාරයට ගැනීම ප්‍රචලිත කරන්නෙ…  නමුත් හාල් අගුණ වෙලා පිටි ගුණවත් වෙන්නෙ කොහොමද කියා මම දැනගන්නත් කැමතියි.

කුකුළු මස්‌ ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්‌.

කුකුළුමස් නිසි පරිදි සැකසෙනවා නම් කිසිදු අගුණක් නැතුව ඇති. නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. මේ නිසාම ඔවුන් ඉතා ඉක්මනින් වැඩෙනවා. කුකුළුමස් සැකසීමේදී අධික උෂ්ණත්‍වයකදී මේ හෝමෝන සහ බෙහෙත් වර්ග විනාශ වී යා හැකි බවට මතයක් ඇතත්, එය කෙතරම් සත්‍යද කියන්න සොයා බැලිය යුතු වෙනවා. නමුත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන කරුණක් නම් දැනට වසර විස්සකට පෙර ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමේ සාමාන්‍ය වයස වූ අවුරුදු 13-15 ත් අතර කාළය අවුරුදු 11-12 අතර කාළය දක්වා පහළ ගොස් ඇති බවයි. (මේ සඳහා පැහැදිලි දත්ත මා සතුව නැතත්, ලංකාවේ වෙසෙන මගේම ඥාතීන් සහ මිතුරු මිතුරියන්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ වයස ප්‍රමාණය ගණන් බැලූ බව සලකන්න)

කොහොම වෙතත් අධික කුකුළුමස් අනුභවය ශරීරයටත් පසුම්බියටත් අහිතකර බව නොකියාම බැහැ…

මේ ආහාර පිළිබඳ මගේ දැනීමෙන් ලියැවුන ලිපියක්… නමුත් මට වඩා මේ ගැන දන්න බොහෝ දෙනා මේ ලිපි කියවන බව මා දන්නවා.. මේ කරුණු සඳහා  පක්‍ෂව හෝ විපක්‍ෂව ඕනෑම කරුණක් ප්‍රතිචාර වශයෙන් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා. එය ලිපියට අදාල නම් නොපමාව එය පළ කෙරෙනවා ඇති.

“බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක්‌ 30 ක්‌ අතර පමණක්‌ බව කීවේය.”

කෙසේ වුවත් දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ මේ සුප්‍රසිද්ධ පෝෂණවේදියාගේ රැඩිකල් ප්‍රකාශ මොනවාද යන්න මා නම් හොඳින් ඇසගසාගෙන සිටිනවා. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න පමණයි. ඒ ලිපි සියල්ල පළ වූ පසු මේ ලිපියේ පසු විපරම ඔබට දැනගන්නට ලැබේවි… අපි බලමු ඒ විද්වතාගේ මතය කුමක්ද කියලා…

ඒත් ? ඊට පෙර… ඔබේ මතය කුමක්ද ?

2013 ජනවාරි 23: හතලිස් වසරක අතීතාවර්ජනය.


ජීවිතයකට අවුරුදු 40 ක් කියන්නෙ කොච්චර අත්දැකීම් සම්භාරයක් ලැබෙන කාලයක්ද ?

40years1973 ජනවාරි 23 වෙනිදා මම ඉපදුන වෙලේ අම්මට සිහිය තිබිලා නැහැ… මම ඉස්පිරිතාලෙ පැත්තකට දාලා දොස්තරල අම්මව බේර ගන්න කටයුතු කරලා.. ඒ කාලෙ තිබිච්ච ලොකුම ඉස්පිරිතාලයක් වෙච්ච කළුතර නාගොඩ ඉස්පිරිතාලෙට අම්මව යවද්දි මාව ගෙදර ගෙනැත් තියෙන්නෙ නෝන මම්මා. ඒ කියන්නෙ මගේ පුංචි අම්මා. ඒ මගේ දෙවැනි අම්මා.. අවසානයේ අම්මව ගොඩ ගන්න ඕන කරන ලේ වර්ගය නෑ කියලා කළුබෝවිල රෝහලේ පැත්තකට දාලා තියෙද්දි, ගමේ ටික දෙනෙක් ගිහින් ලේ දීලා කොහොම හරි සතියකට පස්සෙ අම්මව ගොඩ අරගෙන.. ගෙදර ගෙනාපු මාව කවුරුවත් බලාගෙන නැත්තෙ “ඕකට වඩා අපේ කෙල්ල අපට වටිනවා” කියලා හැමෝම අම්ම ගැන වද වෙචිචි නිසා ලු… මට පාන්තිරෙන් එළකිරි පොවලා හදාගෙන තියෙන්නෙ නෝන මම්මා.. කොහොම හරි අම්මට සනීප වෙලා සති දෙකකින් විතර ගෙදර එක්කන් ආවට පස්සෙ තමයි මම කළුද සුදුද කියලා අම්මා දැකලා තියෙන්නෙ..

ඊට පස්සෙ නම් මාමලා හය දෙනෙකුත් පුංචි අම්මලා තුන් දෙනෙකුත් ලොකු අම්මගෙත් මගේ අම්මයි තාත්තගෙත් ඒ වගේම ආච්චිගෙත් සීයගෙත් ආදරය සෙනෙහස මැද්දෙ මම ලොකු මහත් වුනා.. අර ඉස්සර මාව පැත්තකට දාපු මාමලා පුංචි අම්මලා, අපේ අම්මටයි තාත්තටයි බැණ බැණ මට අතක් පයක් උස්සන්න නොදී හදාගෙන තියෙනවා.. අවුරුදු හතරෙදිම ඉස්කෝලෙ ගියේ තාත්තගෙ අතේ එල්ලිලා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ උදේ පාන්දර ආච්චි හදන ආප්පයක් කාලා ගෙදර වැස්සිගෙන් දොවන කිරි කෝප්පයක් බීලා ඉස්කෝලෙ යන්න වාසනාව තිබුණා.. හවසට සීයත් එක්ක හරක් අරන් එන්නත් එළවලු පාත්තිවල වැඩ කරන්නත් වාසනාව සහ නිදහස මට තිබුණා..  එක දවසක් මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු වසු පැටියෙක් මට ෆ්ලයිං කික් එකක් දීපු දවසෙ ගෙදර එකම කළබලයයි. ඇහැට පොඩ්ඩක් උඩින් වැදිච්ච කික් එකට මගේ ඇහැ ගැලවෙන්න ඇති කියලයි හැමෝම හිතලා තියෙන්නෙ… වාසනාවට ඇහැට අඟලක් විතර උඩින් තමයි කික් එක වැදිලා තියෙන්නෙ. තවමත් කැළල තියෙනවා. තව දවසක් පාරෙ ටයර් පද්දන්න ගිහින් කාර් එකක හැපෙන්න ගිය දවසෙ ඉඳලා ටයර් පැද්දීමත් තහනං වුනා… ටිකක් කර දඬු උස් මහත් වෙනකොට රැලේ බයිසිකලේ කිහිල්ලෙ ගහගෙන ෆ්‍රේම් එක අස්සෙන් කකුල දාලා පැදලා, යන්තම් බයිසිකල් පදින්නත් ඉගෙන ගත්තා… වැටිලා තුවාල වෙච්ච කැළැල් නම් අපමණයි.  මෝටර් බයිසිකල් නම් පෙන්නන්න බැහැ.. දවසක් මෝටර් සයිකලේ පියාඹාගෙන යද්දි වෑන් එකක හැප්පෙන්න ගිහින් බේරුණේ අනූ නවයෙන්.. හැබැයි දැන් ඒ ගැන හිතලා බලද්දි, එදා හැප්පුනා නං දැන් දෙන්න වෙන්නෙ විසි අවුරුදු දානෙ තමයි.. පොඩි වාසනාවක් තිබිලා තියෙනවා ජීවත් වෙන්න. (මේ කතාව කවුරුත් දන්නෙ නෑ.. දැන් නං ගෙදරින් ගුටි)

 ශිෂ්‍යත්වය පාස් වෙලා ගෙදර ආපු දවසෙ අම්මගෙ හිතේ තිබුණ සතුට මට තවමත් මතකයි… කොච්චර ලොකු වුනත් අම්මා මාව වඩාගෙන මූණ ඉම්ඹෙ අම්මා අවුරුදු තුනක් දිවා රෑ නොබලා මට උගන්වන්න වෙච්ච මහන්සියෙ ප්‍රතිඵල නිසි පරිදි ආපු නිසා… පහේ පන්තියෙන් පස්සෙ මහින්දෙට යන්න වුනාම තමයි ලොකුම කරදරේ තිබුණෙ. මහින්දෙට ගියාට හිත තිබුණෙම ගෙදර… මහින්දෙ ගාවම තිබුණ සුබසිංහ නිවසෙ මාව නැවැත්තුවේ දැන හැඳුනුම් කමකුත් තිබුණ නිසා. ඒ ගෙදර අම්මා මට තෙවැනි අම්මා වුනා.. මාව ගාල්ලෙ ඉගෙනුමට දාන්නත් සංඝාරාමෙට දාන්නත් මුල් වුනේ ඇය.. ඇය නිසා තමයි මම හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුවෙ.. තවමත් ලංකාවට ගියොත් ඇත්නම් මම ඇය බලන්න යන්නෙ මට ඇය අම්මා කෙනෙක් වුන නිසාම නොවෙයි.. මගේ ජීවිතයෙ සාර්ථකත්‍වයට ඇයගෙන් වෙච්ච දායකත්‍වය අමතක කරන්න බැරි නිසා.  ඒ වගේම එහේ හිටපු අක්කලා අයියලාට මම පොඩි මල්ලි වුනා.. අයියලා මාව නරකට යා නොදී හොඳට ඇහැ ගහගෙන හිටියා.. එපමණක් නොවෙයි, මොකක් හරි අළුගුත්තේරු වැඩක් කරලා ආරංචි වුනොත් ඉතිං ගුටිත් ලැබුණා.. ඒ වගේම වටේ පිටේ හැමෝම මාවත් ඒ අයත් දන්න නිසා මගේ වැඩ ගැන නිතරම ඒ අයට ආරංචි වුනා.. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි වැඩ කළේ….එහෙම වුනත්, හැම සති අන්තෙම ගෙදර එන්නමයි හිත තිබුණෙ… ටික කලක් යනකොට ඉස්කෝලෙ වැඩ නිසා ගෙදර එන එක අඩු වුනා.. ඒත් මාසෙකට දවස් දෙකක් වත් එනවා මයි… ටික ටික ලොකු වෙද්දී අම්මලගෙ හිතේ තිබුණ ලොකුම බය සාමාන්‍ය පෙළ සමත් කරගැනීම.. සාමාන්‍ය පෙළ කාළයෙම තමයි 88-89 කලබල පටන් ගත්තෙ.. ඒ කාලෙ ටයර් සෑයක පිච්චුන කකුලක් දැක්කත් අම්මලා තාත්තලා බය වෙලා තිබුණ කාළයක් වුනා…

සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට විද්‍යා විෂයයන් කරන්න ඕන කියලා ජීව විද්‍යාව විෂය ධාරාව තෝර ගත්තෙ මමමයි… අම්මලා නම් කිවුවෙ කලා අංශයට යන්න කියලා… ලියන්න ටිකක් පුළුවන් කියලා දන්න නිසා වෙන්න ඇති… නමුත් මම විද්‍යාව තෝර ගත්තා.. තවත් හේතුවක් තිබුණ නිසාම… ඒ අවුරුදු දෙකේ වෙච්ච දේවල් ටිකක් කෙටි කරන්න වෙන්නෙ බොහෝ දෙනෙකුගෙ යහපතට… වැදගත්ම කාරණය වුනේ මාව මහින්දයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයට තේරීම… එයින් ලැබුණ අත්දැකීම් ප්‍රමාණය නම් කියලා නිම කරන්න බැහැ.. ඒ නිසාම තමයි මේ තරම් ඔලුව කෙළින් තියාගෙන කටයුතු කරන්න හයිය ලැබුණේ. ඉස්කෝලෙ වැඩ නිසාම උසස් පෙළ හරියට කර ගන්න බැරි වුනා… මම කොළඹට එද්දි, ඇය කරාපිටියෙ වෛද්‍ය විද්‍යාලයට ගියා.

ඒ ගමනෙදි තමයි මට මගේ ජීවිතයෙ වඩාත්ම වැදගත් පුද්ගලයා හඳුනගන්න ලැබුණෙ. ඒ වටුතන්ත්‍රීගේ දහම් පියුම් දෙව්රුවන් ද අල්විස් ගුරු පියාණෝ. එහෙම නැත්නම් හැමෝම දන්න දෙව්රුවන් සර්… ඒ උත්තමයා මගේ ජීවිතයෙ නිසි මාර්ගය පෙන්වුවා.. ඒ මඟපෙන්වීම නිසාම තමයි මම රසායන විද්‍යා ආයතනයට පියමැන්නෙ.. රසායන විද්‍යා ආයතනයෙදි මගේ ජීවිතයේ අනිත් කොටස හමු වුනා.. එදා ඉඳලා අපි දෙදෙනා අනාගතය වෙනුවෙන් වැඩ කළා. මම පළමු විභාගයේ  පළමුවැනියා වෙද්දි ඇය දෙවැනියා වුනා.. නමුත් ඇය මාව පරද්දලා අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා විතරක් නොවෙයි රන් පදක්කමත් දිනා ගත්තා… මට දුකක් නෑ…. මට රන් පදක්කම් දෙකක්ම ලැබුණ නිසා…

අවුරුදු දෙකක් යුනිලීවර් ආයතනයෙ සේවය කළ මම ලංකාවට සමු දීලා ලුයිසියානාවට ආවෙ වැඩිදුර ඉගෙන ගන්න.. ඒ විශ්ව විද්‍යාලයෙදි ශාස්ත්‍රපති උපාධිය නිම කළ අපි දෙදෙනා ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනේ ආචාර්ය උපාධිය හදාරන්න… ඒ අතරෙයි අපේ ලොකුම වස්තුව අපට ලැබුණෙ…. ඒ වස්තුවත් රැක බලා ගන්න අතරේ අපි දෙදෙනාම කොච්චර දුක් කම්කටොළු මධ්‍යයේ වුවත් ආචාර්ය උපාධිය නිම කළා..  අවුරුදු 6 ක් කටු කාලා… ඉන් අනතුරුව අවුරුදු දෙකක් ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේම බලශක්ති පර්යේෂණ අංශයේ කාබන් ඩයොක්සයිඩ් පර්යේෂණ පිළිබඳ කණ්ඩායමට නායකත්‍වය දෙන්නත් මට හැකි වුනා… ඒ ව්‍යාපෘතිය අවසාන වේගෙන යනකොටයි BASF ආයතනයේ උත්ප්‍රේරක පර්යේෂණ රසායනාගාරයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කිරීමේ කෙටි කාලීන කොන්ත්‍රාත්තුව මට ලැබෙන්නෙ…

ජර්මනියට පැමිණීමම එක්තරා යුද්ධයක් වුනා.. ඒ සියල්ලම ජය අරන් අපි ජර්මනියට ආවා… පර්යේෂණය අවුරුද්දක් වුනත්, එයත් ඉක්මනින් අවසාන වේගෙන යනවා… ඉන් පසු මගේ බලාපොරොත්තුව මොකද්ද ? ළඟදිම දැනගන්නට ලැබේවි….

මේ මගේ මුළු ජීවිත කතාවම පරිඡේද කිහිපයකින් ලියැවුන හැටි… මේ සියල්ලම නෙවෙයි..  මේ අවුරුදු 40 තුළ සමාජයේ පහළම ස්ථරය යැයි සැලකෙන අයගෙ සිට නොබෙල් ත්‍යාගලාභීන් සහ සමාගම් ප්‍රධානීන්  අතර වූ විවිධාකාර තලයන්හි චරිත අතර ගැවසෙන්නට හැකියාව ලැබුණා. ඒ අත්දැකීම් සියල්ලමත් මට බොහොම වටිනවා.. එපමණක්ම නොවෙයි.. විවිධාකාර පුද්ගලයින් මිතුරු මිතුරියන් ලෙස ඇසුරු කරන්නට ලැබුණා… ඒ අතරින් සමහරු අපෙන් ඈත් වෙලා.. සමහරු බොහොම සමීප වෙලා… ඒ ජීවිතයෙ හැටි…

ඉතිං මේ තාක් දුර මගේ ජීවිතය කරදරයක් නැතිව ගෙන එන්න මූලික වුන සහ තවමත් මගේ මඟ පෙන්නන්වන් වන මගේ අම්මටත්, තාත්තටත් මගේ ජීවිතයෙන්ම ණය ගැතියි… ඒ වගේම අම්මවයි තාත්තවයි බලාගෙන ඉන්න මගේ මල්ලිටත් මම වගේම ගතිගුණ ඇති යකෙකුටවත් බය නැති නංගිටත් ඒ ණයගැති භාවය එහෙමමයි. මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවුනෙ ඒ අයගෙන් ඈත්ව.. ඒ අය ලඟට යන්න කාළය හරි කියලයි හිතෙන්නෙ… මට දෙවැනි මවුපිය යුවලක් වුන  නෝන මම්මා සහ කමල් බාප්පා නොහිටින්න මම මේ තැන අද නැහැ… (කාගෙවත් නම් කියන්නෙ නැත්තෙ  ඒ අයගේ පෞද්ගලිකත්‍වය ගැන සිතලා ) ඒ බව අද මම කියන්නෙ බොහොම සතුටින් ඒ වගේම ගෞරව පූර්වකව. ඒ වගේම මගේ මාමලා – නැන්දලා පුංචි අම්මලා- බාප්පලා වගේම මගේ ඥාති සහෝදර සහෝදරියෝ මට බොහොම වටිනවා. විශේෂවෙන්ම මට  විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න යොමු කළ  සුදු අක්කත්, මගේ හොඳම මිතුරිය වුන මැණිකෙත්, මගේම නංගි කෙනෙක් වගේ මට සැලකූ සුදු නංගිත් මගේ ජීවිතයට විශේෂයි.   මගේ ජීවිතයට අදටත් අවවාද අනුශාසනා දෙන දෙව්රුවන් සර්ට මම සදා ණය ගැතියි… සර් එදා මාව පිටත් කළ මාර්ගයෙ මම තවමත් නොනැවතී ගමන් කරනවා. ඒ වගේම රසායන විද්‍යා ආයතනයේ ඇදුරු මඬුල්ලත් මට අමතක කරන්න බැහැ. ඇල්කෙමිච්චිගේ මා පිය යුවලත් මල්ලිත් නංගිත් ඇතුළු ඒ අයගේ පවුල් මාව තමන්ගේම පුතෙක් සහෝදරයෙක් වගේ ආදරයෙන් සැළකීම මා ලැබූ භාග්‍යයක්.

මගේ ජීවිතයෙ පෞද්ගලිකත්‍වය සම්පූර්ණයෙන්ම නිරාවරණය වුනේ ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත ඇරඹුවාට පසුව. ඒ ගැන මට කණගාටුවක් නැත්තෙ  ඊට වඩා  ඒ මඟින් බොහෝ දේවල් ලබා ගත්ත නිසා. මම හොඳ බ්ලොග් මිතුරන් රාශියක් ඇති කර ගත්තා.. මුහුණට මුහුණ හමු වෙලා කතා කරලා තියෙන්නෙ දෙදෙනෙකු පමණක් වුනත්, ඉදිරියේදී ඊට වඩා ගොඩක් අන්තර්ක්‍රියා ඇති වෙන බව විශ්වාසයි. ඒ වගේම ඔබෙන් ලැබෙන දිරි ගැන්වීම්, ප්‍රතිචාර සහ විවේචන සියල්ල මගේ ලිපි සහ  ඉදිරි ගමන හැඩ ගස්වා ගන්නට ලොකු පිටුවහලක්.. ඒ ගැන ඔබට බොහොම ස්තූතියි…. මගේ සේවය මීටත් වඩා විශාල වශයෙන් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන බව පමණක් දැනට කිව යුතුයි… ඒ ගැන කිසිදු සැකයක් නැහැ… ඉදිරියේදී ඒ සැලසුම් එළි දක්වන්නම්.

ඉතින් මේ අවුරුදු හතලිහේ මම ලබපු ලොකුම දේවල් කිහිපයයි තියෙන්නෙ.. ඒ අතරින් මූලිකම වෙන්නෙ මගේ අම්මයි තාත්තයි මගේ ගැන තිබිච්ච බලාපොරොත්තු බොහොමයක් ඒ අයුරින්ම ඉටු කරලා දීලා ඒ දෙන්නගේ ලේ කඳුළු දාඩිය වලට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න පුළුවන් වීම….මට ඒ නිසා මම ගැන ආඩම්බරයි. ඒ අතරෙම බොහොම වෙහෙස මහන්සි වෙලා ලබා ගත්ත අධ්‍යාපනය සහ අත්දැකීම් නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම ජීවිතයට වටිනා කියන පුද්ගලයින් රාශියක් දැන හඳුනාගන්නටත් දිගටම සම්බන්ධකම් පවත්වන්නටත් ලැබුණා.. මගේ ජීවිතයෙ දුක සැප හැම දේම බෙදා ගන්න මගේ හොඳම මිතුරිය නිබඳවම මගේ ලඟ ඉන්න එක තරම් හයියක් මගේ ජීවිතේටම නැහැ..  ඉඳලා හිටලා මට කෑ ගැහුවත්, ගෙදර පිටසක්වලක් වගේ වෙලා පියාඹන පීරිසියක් දෙකක් ගෙදර පාවුනත්, ඒ සියල්ල මගේම යහපතට කියලා මට හිතෙනවා.. (එහෙම නැති වුනත් නෑ කියන්නයෑ ?)  ඒ වගේම  ඇය මට ලබා දුන්න මගේ ජීවිතයෙ වටිනාම වස්තුවත් මගේ ලඟ… ද්‍රව්‍යමය සහ මූල්‍යමය වස්තු වලට වඩා මට මේ සියල්ල හොඳටම ඇති.

ඉතිං…. තවත් වෙන මොනවද මට ඕන ?

2013 ජනවාරි 17 : මැවුම්වාදය තහවුරු කිරීම උදෙසා සර්වබලධාරී දෙවියන් සහ අල්ලා දෙවියන් සටනක….


ලෝකය ඉදිරියට ගමන් කරමින් පවතී. දැනුම නිතිපතා ඝාතීයව (Exponentially) වර්ධනය වේ. නව සොයාගැනීම් නිතිපතා සිදුවන අතර පැරණි සොයාගැනීම් අළුත් වේ. මානවයා මෙන්ම සත්ත්‍වයාද කෙමෙන් කෙමෙන් පරිණාමය වේ. අනාගතයේ තවත් අවුරුදු 1000 කට එහායින් මිනිස් වර්ගයා කොටස් දෙකකට බෙදෙනු ඇතැයි තර්කයක් ඇත.  ඒ බුද්ධිමත්, සාර්ථක, ධනවත්, උත්සාහවන්ත පිරිසක් සහ මුග්ධ, අසාර්ථක, දුප්පත් කම්මැලි පිරිසක් වශයෙනි. විද්‍යාව කෙතරම් දියුණු වුවත් පැරණි හම්පඩ මතවල එල්බගත් නියැන්ඩතාල්වරු තවමත් අප අතර සිටිති. ලෝකය පැතලි යැයි සිතා සිටින පිරිසක් තවමත් ඇති අතර ආයුධ බෙදා හැරීම තුලින් සාමය උදාකරගත හැකි බව සිතන පිරිසක් ද අප අතරම සිටිති. බොහෝ දෙනෙකු විද්‍යාත්මක දියුණුව, පරිණාමය විශ්වාස කරන අතර තවත් සමහරු මැවුම්වාදය විශ්වාස කරති. විහිළුවට ලක්වන  වන්නේ මේ මැවුම් වාදය විශ්වාස කරන පිරිස විද්‍යාත්මක දියුණුවෙන් ලැබූ දේ පරිහරණය කරමින්ම ඒ ඒ දේවල් දෙවියන් විසින් මවන ලද්දක් බවටම තහවුරු කිරීමට උත්සාහ දැරීමයි. එය හරියට නලින් සිල්වා මහතාගේ පුත්‍රයා මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරද්දී ඒ මහතා බටහිරයිනට බැණ වැදීම හා සමානය..

පරිණාම වාදය හා මැවුම්වාදය අතර ඝට්ඨනය කිසිදා නිම නොවන දැඩි පරතරයක් ඇති ඉවුරු දෙකක් සහිත ගංගාවකි. පරිණාමවාදය අදහන්නන් එකම මතයක පිහිටා කටයුතු කළත්, මේ මැවුම් වාදය අදහන කාණ්ඩය ප්‍රධාන ආගම් දෙකක් අතර බෙදී යයි. එනම් ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් ආගම අතරයි. ක්‍රිස්තියානි ආගමට අනුව විශ්වය ඇතුළු සියල්ල මවන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අතර මුස්ලිම් ආගමට අනුව ඉහත කී දෑ මවන ලද්දේ අල්ලා දෙවියන් විසිනි. එනම් මේ විශ්වයට ප්‍රධාන දෙවියන් දෙදෙනෙකි. ඔබේ දෙවියන් මගේද දෙවියන් යැයි සමහරු පැවසුවත්, තමන්ගේ දෙවියන් වඩා බලසම්පන්න බවත්, වඩා නිවැරදි බවත් පරිපූර්ණව විශ්වය මැවූ බවත් එකිනෙකා ප්‍රකාශ කරති. ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් ආගම අතර ඇති බල අරගලය දෙස බලන කල මේ දෙවියන් දෙදෙනා ද කොහේ හෝ සිට නිරන්තරයෙන් සටන් කරමින් සිටින්නේදැයි සැකයක් ද මතුවේ.. දෙවියන් ලෝකය මැවුවා ද ? මේ ලෝකයේ සියල්ල සිදුවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ හෝ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවද ? එසේත් නැතිනම් කිසියම් හේතුවක් නිසා ඇතිවන ඵලයක් නිසාවෙන්ද ?

විද්‍යාව ආගමින් විස්තර කිරීමත් ආගම විද්‍යාවෙන් විස්තර කිරීමත් කළ නොහැක්කකි. මක්නිසාද යත් විද්‍යාවත් ආගමත් එකිනෙකට සමාන්තරව පවතින බැවිනි. බොහෝ දෙනා මෙය පටලවාගෙන ඇතත්, ආගමෙන් මිනිසා තුළ ඇති කෙරෙන්නේ ශික්‍ෂණයකි. මිනිසා නිරයට බයය. බුදු දහමේ ක්‍රිස්තු දහමේ හෝ මුස්ලිම් දහමේ හෝ වෙනත් ආගමක වේවා, මිනිසා පවින් ඈත් කර තැබීමට ශික්‍ෂාපද ඇතුලත් කර ඇති අතර ඒ නිසාම ශික්‍ෂාපද කැඩීම පවට හේතු වන බව දක්වා ඇත. ඒ විනය ඇති කිරීමේ අභිලාශය පෙරදැරි කරගෙන විය හැකිය. අතීතයේ නීති පද්ධතිය වූයේ ආගමයි. ඈත අතීතයේ මිනිසාට අද තරම් දියුණු උපකරණ නොතිබුණත්, ඔවුහු සෑහෙන පමණක දැනුමකට හිමිකම් කියූහ. නයිල් ශිෂ්ඨාචාරය සමයේ තැනුන පිරමිඩ තැනුවේ කෙසේද යන අභිරහස තවමත් විසඳා ගැනීමට නොහැකි වුවත්, පරමාණුවක් දැකිය හැකි අන්දමේ අන්වීක්‍ෂ තැනීමට ද මිනිසා දියුණු වී ඇත. අඟහරු ග්‍රහයා මත වූ යානයක් පෘථිවියේ සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කරවිය හැකි තරමට අජඨාකාශ විද්‍යාව දියුණු වී ඇත. ආලෝක වර්ෂ දස දහස් ගණනක් ඈත මන්දාකිණි නිරීක්‍ෂණය කළ හැකි දුරේක්‍ෂ තැනීමට මිනිසා දියුණු වී ඇත. නමුත්  විද්‍යාත්මක චින්තනය පහළ වීමට ප්‍රථම අතීත මිනිසා තමන්ට තේරුම්ගත නොහැකි සියල්ල දේවත්‍වයෙන් සැලකීය. අකුණක් පුපුරා ගසක් ගිණි ගැනීම ගිණි දෙවියන්ගේ වික්‍රමයක් ලෙසින් ද, නැගෙනහිරින් උදෑසන අහසට නගින සූර්යයා ඉර දෙවියන් ලෙසද ආදී වශයෙන් තමන්ට වටහාගත නොහැකි සියල්ල දෙවියන් මත පැටවීම ඉතාම පහසු කාර්යය බවටත්, එය ජාවාරමක් කර ගත් පූජකයින් විසින් එය තම පැවැත්ම සරි කරලන සාධකයක් කරගැනීමටත් යාමෙන් දේව  මූලික ආගම් පැතිරුණි. ඒ නිසාම දෙවියන් සියල්ල නිර්ණය කරන බවට තීරණය විය. මේ නිසාම දේව අණසකට යටත්ව සියල්ල කිරීමට නූගත් මිනිසා පෙළඹවීමට අතීත පූජකයින් සමත් විය.

මේ චක්‍රයෙන් බැහැර වූ චින්තකයින්, ලෝකය ගෝලාකාර බවටත්, පෘථිවිය වටා හිරු ගමන් කරනවා නොව හිරු වටා සෞරග්‍රහ මණ්ඩලය ගමන් කරන බවද, පැහැදිලිව ප්‍රකාශ කළේ පෙර පැවති දෙවියන් ප්‍රශ්න නොකිරීමේ පූජක ආධිපත්‍යයට පහර එල්ල කරමිනි. මේ නිසාම සමහරකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. (දැනුදු සියල්ල දේව කැමැත්ත මත එසේ සිදු වේ…)  කෙසේ වෙතත් මනස මෙහෙයවා සිතිය හැකි පුද්ගලයෝ මේ සියල්ලට හේතු සොයන්නට විය: එතැනින් විද්‍යාව බිහි විය. විද්‍යාව බිහි වූයේ අද ඊයේ නොවේ. ඉන්දු නිම්න ශිෂ්ඨාචාර අවධියටත් එහා සිට මිනිසා විද්‍යාත්මක චින්තනය කෙරෙහි නැඹුරු වන්නට විය. බිම දිගේ බඩු භාණ්ඩ ඇදගෙන ගිය මිනිසා රෝදය නිර්මාණය කළේ දේව අණකින් නොවේ. දෙවියන් රෝදය නිර්මාණය කළා නම් මුල්ම අවස්ථාවේ රෝදයක් නිර්මාණය නොකළේ ඇයි ? දෙවියන් සියල්ල නිර්මාණය කළේ නම්, දෙවියන් සියල්ල පාලනය කරනවා නම් මිනිසාට සිතීමට මොළයක් අවශ්‍ය නැත. සියල්ල නිසි ලෙස සිදු විය යුතුය.. නමුත් සිදුවන සියල්ලට හේතුවක් ඇත, ඒ හේතුව නිසා ඵලයක් බිහි වේ. දෙවියන් විසින් මිනිසා නිර්මාණය කළා නම් මිනිසා වසර මිලියන දෙකකට පමණ පෙර ප්‍රාථමික මිනිසකු ලෙස මවන්නේ ඇයි ? සියළු සම්පත් සහිතව වර්තමාන මිනිසා ලෙස මැවිය නොහැකි වීද ? එසේම ඒ මවන ලද මිනිසුන් කෙමෙන් වඳවී ගියේ ඇයිද ? ඒ මිනිසුන් මේ ලෝකයට අකැපද ?

පරිසරය දේව නිර්මාණයක් නොව පරිණාමයෙහි ඵලයක් බව දේව වාදීන් පිළිනොගනී. චාල්ස් ඩාවින් ගැලපගොස් දූපත්වලදී සොයා ගත් දෑ දේව වාදීන්ට අකැපය. ලැමාක් විසින් සොයා ගත් වහර අවහර නියමය මෙන්ම  ස්වභාවික වරණය ආදී  නියමයන් දේවවාදී නිර්මාණ සංකල්පය කුණු කූඩයට යොමු කරයි.  දෙවියන් සියල්ල නිර්මාණය කළා නම් ජාන විකෘති සහ අසම්මතයන් නිර්මාණය වූයේ ඇයිද ? උදාහරණයක් වශයෙන් මිනිසුන්ගෙන් සියයට 95 ක් දකුණත හුරු අය වන අතර ඉතිරි සියයට 5 වමත හුරු වූවෝ වෙති. එසේ නිර්මාණය කළේ ඇයි ? දෙවියන් සියල්ල නිර්මාණය කළා නම් විද්‍යාව නිර්මාණය කළේ ඇයි ? මිනිසා දේව කැමැත්තට ඉපදී මිය යයි නම්, වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් නිසා මානව ආයු කාළය වැඩි කර ගැනීමට අවස්ථාව උදා කළේ ඇයි ? දේව වාදීන්ගේ මැවීම් සංකල්පයට ප්‍රධානතම අභියෝගය වන මහා පිපුරුම්වාදයේ පදනම වූයේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා වාදයයි. දෙවියන් ඇල්බර්ට් අයින්ස්ටයින් නිර්මාණය කළේ ඇයි ? එසේම දෙවියන් විශ්වය නිර්මාණය කළා නම්…… ඊට පෙර දෙවියන් සිටියේ කොහිද ?

පරිණාමය දේවවාදීනට මරු පහරක් එල්ල කළත්, ඔවුහු අවාසනාවකට තම මැවුම්වාදයේම එල්බ සිටිති. ඔවුනට අනුව ලොව වෙසෙන සියළුම සත්ත්‍වයෝ මැවුම්වාදයේ ප්‍රතිඵල වේ. ඒ අනුව දෙවියන් විසින් සතුන් ස්ත්‍රී ලිංගිකවත් පුරුෂ ලිංගිකවත් නිර්මාණය කර ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ ද්වි ලිංගික සත්ත්‍වයන් නිර්මාණය කළේ ඇයිද යන්නයි. මේ ප්‍රශ්නයට දේව වාදයෙන් පිළිතුරක් ලබා දිය හැකිද ?

මේ ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් වහන්සේත්, මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුත් අතර ඝට්ඨනය ආරම්භ වන අවස්ථාවයි. මැවුම් වාදයට අනුව මේ දෙවියන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෝකය නිර්මාණය කළ යුතුය… ඉන් පසුව අනෙක් දෙවියා නිර්මාණය විය යුතුය.. මේ දෙවියන් දෙදෙනාගෙන් පළමුව පහළ වූ දෙවියා කවුද ? දෙවියන් සියල්ල නිර්මාණය කළා නම්, සර්වබලධාරී දෙවියන් විසින් හිට්ලර්, සදාම් හුසේන්, ඔසාමා බින් ලඩින්, පොල්පොට්, සහ ප්‍රභාකරන් වැනි පුද්ගලයින් නිර්මාණය කර ඔවුන්ගේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට ප්‍රථම මරා දමන්නේ ඇයි ? මේ පුද්ගලයින් නිර්මාණය කළ දෙවියා කවුරුන්ද ? මේ නිර්මාණවල භාරකාරත්‍වය අයිති මොන දෙවියන්ටද ?

ජෝන් ඩෝල්ටන් සහ ලැවොයිසියර් පරමාණුක වාදය ඉදිරිපත් කිරීමට සියවස් ගණනාවකට පෙර පරමාණුව පිළිබඳ මුල්ම සඳහන ඉදිරිපත් වූයේ පාලි ග්‍රන්ථ වලිනි. පාලි සාහිත්‍යයට අනුව අභිධර්මයේ සඳහන්වන පරිදි කුඩාම අංශුව ලෙස සැලකෙන්නේ පස්වන ශතවර්ශයේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත පුස්තකයක (එහි නම විභංග අත්තකථා විය හැක) පරමාණුව යන්නෙන්ම සඳහන් වන අංශුවේ ප්‍රමාණය දක්වා ඇත්තේ ඇඟිල්ලක මහතින්  1/581,147,136 ක් ලෙසිනි. ඇඟිල්ලක මහත පුද්ගලයා අනුව වෙනස් වුවත්, සාමාන්‍ය ප්‍රමාණය සෙන්ටි මීටර දෙකක් ලෙස ගතහොත්  එය මීටර 3.44 x 10-9 ක් ලෙස ගණනය කළ හැක. එනම් ඇංස්ට්‍රම් එකකින් 1/3 ක් පමණ වේ (ඇංස්ට්‍රම් එකක් යනු 10-10 බලය වේ). ආවර්තිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 112 හේ අරය ඇංස්ට්‍රම් දශම හතක සිට ඇංස්ට්‍රම් තුනක් පමණ දක්වා වෙනස් වේ. (0 .7 Å to 2.9 Å) ඒ අනුව ගත් කළ පස්වන ශතවර්ශයේ ගණනය කිරීම් ආසන්න වශයෙන් එකම පරිමාණයට හෝ අයත්වන බව පෙනේ. මේ බුදු දහමේ සහ පැරණි වේද ග්‍රන්ථවල දැක්වෙන විද්‍යාවයි. එපමණක් නොව ඉපැරණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dual world) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව සඳහන් වේ. මේ පැරණි වේද ග්‍රන්ථවල දැක්වෙන ද්විත්ව වාදය (Duality), ඒකීය වාදය (Singularity) යනාදිය මෙන්ම ඉපැරණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේදී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) නම් වූ මූලධර්මය උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත් වල අඩංගුව තිබී ඇත. ද්විත්‍ව වාදයට අනුව මේ ලෝකයේ පැවැත්මට එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයන් දෙකක සමතුලිතතාවය අත්‍යවශ්‍ය වේ. හොඳ- නරක, ගැහැණු – පිරිමි, ධන- ඍණ, වම- දකුණ, යනාදී වශයෙන් විවිධාකාර බල තුලනයන් අපට හඳුනාගත හැකිය.

තාප රසායන විද්‍යාවට අනුව විශ්වයේ අහඹුතාවය නිතිපතා වැඩි වේ. මහා පිපුරුමට පෙර තිබූ ඒකත්‍වය (singularity) මහා පිපුරුමෙන් මිලි තත්පර ගණනාවක් තුළ  ද්විත්‍වයක් වී ඉන් පසු අහඹුතාවය වැඩි වීමට පටන් ගැණුනි. එනම් එන්ට්‍රොපිය වැඩි වේ. මේ වැඩි වීම  බුදු දහමට අනුව පැහැදිලි කෙරෙන්නේ අනිත්‍යය මඟිනි. මලක් පිපෙන්නේ සිය වර්ගයා ඊලඟ පරම්පරාවට ගෙන යාම සඳහා ඵලයක් හට ගැනීමටය. ඒ ඵලය මෝරා, ඉදී, බිමට වැටී (හෝ සතෙකුගේ හෝ සුළඟේ මාර්ගයෙන්) වෙනත් තැනකට ගෙනයනු ලබන්නේ ඒ ගස අසළම වැටුනහොත් එම ඵලයෙන් ඉපදෙන පැලයට පැවැත්මක් නොමැති බැවිනි. එක ඵලයකින් ගස් කිහිපයක් ඇතිවේ (එන්ට්‍රොපිය – අහඹුතාවය වැඩි වේ) ඉන් ලැබෙන පැල වෙනත් තැනක ඊලඟ පරම්පරාව ප්‍රවර්ධනයට කටයුතු සළසයි. එය හේතු – ඵල වාදය මෙන්ම අනිත්‍යය (හෙවත් වෙනස්වීම තහවුරු කරන අවස්ථාවකි) අනිත්‍යය නම් නිත්‍ය නොමැති බවයි- වෙනස්වනසුළු බවයි.  එක තත්පරයකදී ලොව සියල්ල වෙනස් වේ. එය නැවත ලබා ගත නොහැක. සියල්ල වෙනස් වී ඇත. එය අනිත්‍යයයි. අනිත්‍යය නොවන්නට ලොවෙහි පැවැත්මක් නොමැත. ළදරුවා වැඩෙන්නේ – තරුණයා මුහුකුරා යන්නේ – මහල්ලා මිය යන්නේ අනිත්‍යය නිසාවෙනි. එසේ නොවන්නට ලොව නීරස තැනකි. මලක් නොපිපේ, සුළඟක් හැමීමක් නොමැත. ලොවම – විශ්වයම නිසලව තිබේ – එය නිත්‍ය බවයි.

ස්විස් ජාතික මනෝවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය චාර්ලිස් ගුස්ටව් යං (Charles Gustave Jung) විසින් ලියන ලද ලිපියක ට අනුව සංසන්දනාත්මක ආගමික සංකල්ප හැදෑරූ ඔහුට වඩාත්ම පරිපූර්ණ ආගම ලෙස දැනී ඇත්තේ බුදු දහමයි. බුදුන් වහන්සේගේ දර්ශනය අනුව පරිණාමය යනුවෙන් හඳුන්වන කර්මය කිසිවෙකු විසින් මවන ලද්දක් හෝ ඇදහීමකට වඩා ඉහළින් වැජඹෙයි. සෑම ආගමකම යටිසිතේ වූ  බලය නියෝජනය කරනු ලබන්නේ කිසියම් දෙවියකු හෝ යක්‍ෂයෙකු ලෙසිනි. එසේ දෙවියන් මවන ලද ලෝකයේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ නම්…. දෙවියන් වහන්සේ තමන්ට වඩා වෙනස් යතාර්ථවාදී – හේතු ඵලවාදය දේශනා කරන බුදුන් වහන්සේ මැවුවේ කිමද ? …

අවසාන ප්‍රශ්නය වන්නේ දෙවියනි ඔබ කොහිද ? කියා පමණි… දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ…

 මේ දෙවිවරු අතර යුද්ධය ගැන Islam Review නම් වෙබ් අඩවියේ මෙසේ දැක්වේ…. 

2013 ජනවාරි 10 : රිෂානාගේ මරණය සහ ෂරියා නීතිය : බුදුන් වහන්සේ, ක්‍රිස්තූන් සහ අල්ලා දෙවියෝ…………


රිෂානා මියගොසිනි. ඇයව අඩු වයසින් අරාබියේ රැකියාවට යැවීමට සිදු වූ ඇගේ දෙමාපියන්වත්, ඈට හොර උප්පැන්න සහතික, හොර පාස්පෝට් තනා ඇයව අරාබියට යැවූ ඒජන්තවරයාවත්, ඇයවත් නොසිතූ අන්දමට ඇය මෙළොව හැර ගියේ ඈ නොකළ වරදකටය. වරද කොතැනදැයි සෙවීම අදාල අංශ වලට භාර කරමු… අද මා කතා කරන්නේ නොකළ වරදකට හෝ සිදු වූ අතපසුවීමකට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද යන කාරණය පිළිබඳවයි. මේ ලිපිය අනිවාර්යයෙන්ම ආගමික සහ ජාතිවාදී මුහුණුවරක් ගන්නා බව පැවසිය යුතුමය… මක් නිසාද යත් ඇය මරා දැමුණේ මුස්ලිම් ආගමානුකූල ෂරියා නීතිය යටතේ වීම නිසාය. මේ ලිපියෙන් කිසිවෙකුට නොරිදේ යැයි ද සිතිය නොහැක. මක් නිසාද යත්, කියවන ඔබ අයත් වන විවිධ බුද්ධිමට්ටම් අනුව ඔවුන් මෙය තමන්ට කැමති ආකාරයකට අර්ථකතනය කළ හැකි නිසා වෙනි. මධ්‍යස්ථ මතයක හිඳ, අන්තයකට නොගොස් බුද්ධිය මත පිහිටා තර්ක කළ හැකි අයට පමණක් මේ ලිපියේ සංවාදයන් විවෘත බව කරුණාවෙන් සැළකිය යුතුය. මේ ලිපියට විවිධ වෙබ් අඩවි වලින් උපුටා ගන්නා කරුණු අඩංගු කර ඇත. මා ෂරියා නීතිය හදාරා නැති නිසා ඒ පිළිබඳ ලියැවුන තැන් වලින් උපුටා ගනිමි.

Sharia Law

“Sharia, in its strictest definition, is a divine law, as expressed in the Qur’an and Muhammad’s example(often called the sunnah). As such, it is related to but different from fiqh, which is emphasized as the human interpretation of the law. Many scholars have pointed out that the sharia is not formally a code, nor a well-defined set of rules. The sharia is characterized as a discussion on the duties of Muslims based on both the opinion of the Muslim community and extensive literature. Hunt Janin and Andre Kahlmeyer thus conclude that the sharia is “long, diverse, and complicated.”

උපුටා ගැනීම  http://en.wikipedia.org/wiki/Sharia

ෂරියා නීතියේ මිනීමැරුමකට දඬුවම් ලබා දීම

උපුටා ගැනීම.

“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)

 ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.

එහිම…

“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු (ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)

 ඉහත අල්-කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

 1.       මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.    

 2.       දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ. එවැනි ඉඩකඩකට ඉස්ලාමීය නීතියේ කිසිදු ඉඩක් නොමැත.

 3.       වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

උපුටා ගැනීම අවසන්

අන්වර් මනතුංග වෙබ් අඩවිය. “ජීවිත රක්‍ෂණය සහ ෂරියා නීතිය”

ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්

ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්

මේ අනුව මට වැටහෙන අන්දමට ඉස්ලාමයේ මරණ දඬුවම් දීමට හැක්කේ චේතනීය මිනී මැරුමකට පමණි.  අචේතනිකව හෝ අත්වැරැද්දකින් සිදුවන මරණයක් වෙනුවෙන් දඬුවම් දීමට ෂරියා නීතිය අනුව හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය. මේ දඬුවම් දීම නිසා සමාජය නිවැරදි මඟට පැමිණෙන බව නීතියේ අපේක්‍ෂාවයි.  මේ අනුව රිෂානාට දුන් දඬුවම ෂරියා නීතියට අදාලද යන්න තීරණය කිරීමට දැන උගත් පාඨකයාට භාර කරමි.

මා දන්නා ප්‍රධාන ආගම්වලට අනුව මිනී මැරීම සාධාරණය කර ඇති එකම ආගම මුස්ලිම් ආගම පමණි. බුද්ධාගමේ සියළු සත්ත්‍වයින්ට මෙත පතුරන්නැයි පැවසෙද්දී, කිතුනු ආගමේ පවසන්නේ තමන් තමන්ට ආදරය කරනවා සේම අසල්වාසීන්ට ද ප්‍රේමවන්ත වන ලෙසයි. තමා වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ ජීවිතයට බැවින් ඒ හා සමානවම අනුන්ට ද මෙත පතුරන ලෙස කිතුණු දහමේ ද කියැවේ. මේ කිසිම ආගමක මැරීම අනුමත නොකරයි. මේ ආගම් දෙකෙහිම පැවසෙන්නේ සතුරාට වුවද මෛත්‍රිය කරන ලෙසයි. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සෑම ආගමකම පුනපුනා කියා දෙයි. තමන් වහන්සේට කුරුසියේ ඇණ ගැසූ පුද්ගලයනට පවා අනුකම්පා කරන්නැයි ක්‍රිස්තුස් වහන්සේ පවා පවසා ඇත.

You shall not murder යනුවෙන් දසපණතේ හැඳින්වෙන්නේ ද ඒ හේතුවම නිසාය…

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ලෙසින් පළමු සිල්පදය යෙදෙන්නේ කෙනෙකුගේ (හෝ සතෙකුගේ) ජීවිතය අන් සියල්ලටම වඩා වැදගත් වන නිසාය. මේ අයුරින් මේ ප්‍රධාන ආගම් දෙකෙහිම අන්‍යයන්ට මෛත්‍රිය කිරීම පිළිබඳ පැහැදිළිවම දක්වා ඇති අතර ප්‍රාණඝාතය පවක් බව පැහැදිලිවම දක්වා ඇත.

බොදුනුවන් ද මස් මාංශ අනුභව කළත්, නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මස් මාංශ ශරීරයට අවශ්‍ය නොවන බව දැන් දැන් පිළිගැනෙමින් පවතී.  මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මස් මාංශ ජීර්ණය සඳහා සැකසී නොමැත. කිසිදු මනුෂ්‍ය ජීරණ පද්ධතියක් මාංශ භක්‍ෂණය සඳහා අනුවර්තනය වී නොමැත. සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සහ සමහරවිටක කම්මැලිකම නිසාම ඉපැරණි මිනිසා සතුන් මරා මස් අනුභව කරන්නට ඇති වුවත්, නූතන මිනිසාට මාංශ භක්‍ෂණයේ කිසිදු විද්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැත. එසේම ශරීරයට අත්‍යවශ්‍ය සංඝඨක සියල්ල නිර්මාංශ ආහාර වේල්වලින් ලබාගත හැකි බව දැන් දැන් ඔප්පු වීගෙන යමින් පවතී. මාංශ භක්‍ෂණය අධික වූ බටහිර රටවල් පවා දැන් දැන් නිර්මාංශ අනුභවයට නැඹුරු වෙමින් පවතී.

නමුත් මුස්ලිම් ආගමේ සත්ත්‍ව ඝාතනය අනුමත කරන්නේ කුමක් නිසාදැයි අල්ලා දෙවියන් පැවසූ නිසා හැරෙන්නට සහේතුකව පැහැදිළි කිරීමට හැකිද ?

බොහෝ දෙනා තමන් විශ්වාස කරන දෙවියන් අදහති. එය තම තමන්ගේ අයිතියකි. බෞද්ධාගමිකයින් ද බුද්ධාගමට අමතරව විෂ්ණු, කතරගම, සරස්වතී, ගණ දෙවියන් වැනි විවිධාකාර දෙවියන් සරණ පතති. තවත් සමහරු සායිබාබා සරණ පැතුවද ඔවුහු අසරණ කර සායි බාබා මෙලොව හැර ගියේය. කතෝලික බැතිමතුන් දෙවියන් වහන්සේ අදහන අතර මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් අදහති.  බුදු දහමේ හේතු ඵලවාදය පදනම්කරගෙන විස්තර කෙරෙන දෑ වෙනත් ආගම්වල දෙවියන් පැවසූ නිසාම බැතිමතුන් අනුගමනය කරති.

ස්ත්‍රී දූෂකයනට සහ චේතනාවක් සහිතව – සැලසුම් සහගතව සිදු කරන මිනීමැරුම් සඳහා මරණ දණ්ඩනය පැණවීම පිළිබඳ බෞද්ධාගමිකයෙකු වුවත් මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එසේ විරුද්ධ නොවන්නේ මිනිසත්බව ලබා උපදින මිනිසෙකු වශයෙන් වෙනත් කෙනෙකු හිතාමතාම අතවරයට පත් කිරීම සහ මරා දැමීම යන කාරණා දෙක මනුෂ්‍යත්වය ඉදිරියේ  සමාව දිය හැකි කරුණු නොවන නිසාවෙනි. මේ මගේ පෞද්ගලික මතයයි.

රිෂානා අතින් සිදු වූ වැරැද්දෙන් ඇය සේවය කළ නිවසේ විසූ සිවු මස් දරුවා මරණයට පත් වී ඇත. රිෂානා මරා දැමීමෙන් ඒ දරුවාගේ ජීවිතය නැවත ලැබෙන්නේ නැත. එසේම ඇය මරා දැමීමෙන් ඒ දරුවාගේ දෙමාපියනට සැනසීමක් ලැබේදැයි ද සැක සහිතය. මක් නිසාද යත් තමාගේ දරුවකුගේ අඩුව වෙනත් කෙනෙකු මරා දැමීමෙන් (පලිගැනීමෙන්) පිරිමැසෙන්නේ නොමැති නිසාය.. කෙසේ වුවත් ඇය මිය ගොසිනි. ඇගේ මරණය වෙනුවෙන් ජාති භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි සැවොම ශෝක වෙමු. නමුත්, රිෂානාගෙන් සිදු වූ වැරැද්දට ඇයවත් මරණ දණ්ඩනයට ලක් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකි දැයි මා ඍජුවම ඔබගෙන් විමසීමට කැමැත්තෙමි.

2013 ජනවාරි 08 : දේදුනුපාට වැස්ස සහ පිටසක්වල ජීවය….. කෙටි සටහනක්….


පසුගිය මාසයේම බොහෝ දෙනෙකුට විස්තර කළ නොහැකි අන්දමේ විවිධාකාර අභව්‍ය සිදුවීම් රැසක් ලංකාවේ සිදුවිය. විවිධාකාර එළි දිස්වීම, උල්කාපාත වර්ෂාව, ඉන්පසු සිදු වූ සුනඛ මරණ, සහ විවිධ වර්ණයන්ගෙන් යුත් වැසි වැටීම් රාශියක් පසුගිය මාසය පුරාමත්, වර්තමානයේත් වාර්තා විය. මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ විසින් කළ විස්තරය හැරෙන්නට කිසිදු විවරණශීලී විද්‍යාත්මක විවරණයක් මේ තාක් දක්නට නොලැබුණි… විදුසර පත්‍රයේ පළවී තිබූ මේ සාකච්ඡාවත් නොවැම්බර් 28 වන දින පළකළ තිබූ ඒ මහතාගේම ලිපියකුත් හැරෙන්නට මීට වඩා පුළුල් විද්‍යාත්මක විවිරණයක් තිබිය යුතු බව මගේ හැඟීමයි.

රතු වැස්සේ ඉතිහාසය වසර 2001 ජුලි 25 දී වන දින සිට සැප්තැම්බර් 23 දින දක්වා කාළය තුළ කේරලයට තැනින් තැන ඇද හැළුන රතු පැහැති වර්ෂාවේ  සමහර අවස්ථාවලදී රෝස, කහ, කොළ සහ කළු පැහැයන් පවා තිබුණා. මේ වර්ණ ගැන්වුන වර්ෂාවන් පිළිබඳ අතීතය වසර 1896 දක්වා විහිදුනා.. මෑතකදී කේරලයෙන් වාර්තා වූ ආසන්නතම සිදුවීම වූයේ 2012 ජුනි මාසයේදීයි. මේ සංසිද්ධීන් සියල්ල දැන් ලංකාවේත් වාර්තා වෙනවා. මෙහිදී දැකිය හැකි සුවිශේෂීම ලක්‍ෂණය වන්නේ මේ වර්ණ ගැන්වුන වර්ෂාව සිදුවන්නේ බොහෝවිට උල්කාපාත වැටීමක් හා සම්බන්ධවයි.

එනම් අපට උපකල්පනය කළ හැක්කේ මේ වර්ෂාවද උල්කාපාත වැටීමට සම්බන්ධතාවයක් ඇතිවිය හැකි බවයි. මෙය මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහයන් පවා තහවුරු කර තිබෙනවා. ඒ මහතාට අනුව එම වර්ණ වැසි ජලය සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට සහ කර්මාන්ත තාක්‍ෂණ ආයතනය යන ලංකාවේ ඇති ප්‍රධානතම පර්යේෂණ ආයතන දෙක වෙත භාර දී තිබෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සිදු වන්නේ මූලිකවම මේ වැස්සේ කිසියම් ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක් අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීම. කර්මාන්ත තාක්‍ෂණ ආයතනයෙන් සිදු වන්නේ මේ වැස්සේ අඩංගු රසායනික සංඝඨක පරීක්‍ෂා කර බැලීම.. මේ වාර්තා සියල්ල එක් කිරීමෙන් පැහැදිලිව නිගමනයකට පැමිණීමට හැකි වේ යැයි අපේක්‍ෂා කරනවා. මේ අතරම ඒ මහතා ද මේ සාම්පල එක්සත් රාජධානියට රැගෙන ගොස් ඇති නිසා වඩාත් විශ්ලේෂණාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකියි.

නමුත්, මේ රතු වැස්ස කේරලයෙන් වාර්තා වූ රතු වැස්සට වඩා වෙනස් එකක් යැයි කියැවෙනවා. එනම් මේ වැස්සේ සංඝඨක වල ආසනික් සහ සිල්වර් යන ලෝහ වර්ග දෙක වැඩිපුර ඇති බව පැවසෙනවා. වැස්සට එසේ ලෝහමය සංඝඨක ඇතුලත් වන්නේ ඒ වැස්සේ අඩංගු ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක් නිසා යැයි මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ පවසනවා. 2010 වසරේදී ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් අපූරු සොයාගැනීමක් සිදු කළා.. එනම් ඩී එන් ඒ අණුවල අඩංගු පොස්ෆේට් ඛණ්ඩය වෙනුවට ආසනේට් ඛණ්ඩයක් අඩංගු ක්‍ෂුද්‍ර ජීවීන් විශේෂයක් සොයා ගැනීම මගින්. නමුත් එය සිදුවිය හැක්කක් නොවන බව පසුව කළ සොයාගැනීම් වලින් තහවුරු වූවා..

මේ අනුව මේ වැසි ජලයේ ආසනික් සහ සිල්වර් අඩංගුම ද යන්න තහවුරු කර ගැනීමේ පර්යේෂණ අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි. එයට හේතු කාරණා බොහොමයි. පළමුවැන්න නම් කේරලයෙන් වාර්තා වූ මෙවැනිම වැසිවල ආසනික් අඩංගු නොවීමයි. එසේ නොවීමට හේතුව කේරලයෙන් වාර්තා වූ රතු වැස්ස අඩංගු උල්කාශ්ම වල ඒ බැක්ටීරියාව අඩංගු නොවන නිසා බව කෙනෙකුට තර්ක කිරීමට හැකිය. එය එසේ යැයි සිතා සැකයේ වාසියට තීන්දුව දුන්නත්, දැන් පතනය වන රතු වැස්ස හා සමගාමීව පොළවට වැටෙන උල්කාශ්මවල ද මේ බැක්ටීරියාවන් හෝ මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. එසේ නම් ඒ උල්කාශ්ම අදාල ලෝහ වලට පරීක්‍ෂා කිරීම මඟින් අදාල සැකය තහවුරු කර ගත හැකිය.  නමුත් මේ සඳහා කිසිම අධිකාරියක් ක්‍රියා කරන බවක් නොපෙනේ. උල්කාශ්ම අතින් අල්ලන්නට එපා යැයි ජනතාවට  උපදෙස් දුන්නද, මේ උල්කාශ්ම එකතු කර උල්කාෂ්ම සංචිතයක් තනා වර්තමානයට හෝ අනාගතයට ප්‍රයෝජනවත් ආකාරයේ ව්‍යාපෘතියක් කිසිවෙකු හෝ ආරම්භ කර ඇතැයි මේ දක්වා දැනගන්නට  ලැබී නොමැත. අභ්‍යවකාශයට යන්නට පෙර කළ හැකි එක් දෙයක් වන්නේ අභ්‍යවකාශයෙන් නොමිලේම පැමිණෙන දේ විශ්ලේෂණය කිරීමයි. එසේම මේ උල්කාශ්ම බොහොමයක් අභ්‍යවකාශයේ සිටම පැමිණෙන බැවින් විවිධාකාර විකිරණශීලී  මූලද්‍රව්‍ය පවා අඩංගු විය හැකිය. මේවා අතින් ඇල්ලීම මෙන්ම ලඟ තබා ගැනීම ද අනතුරුදායක විය හැකිය. මේ නිසා එම උල්කාශ්ම කැබලි එකතු කිරීමට හෝ පර්යේෂණය කිරීමට භූ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති කණ්ඩායමක් පත් කල හැකි බවත් මෙය ලංකාවට අළුත්ම අත්දැකීමක් වන නිසා මේ පිළිබඳ හැදෑරීමට උනන්දුවක් ඇති උගත් තරුණ කොටස් සොයා ගැනීම අපහසුවක් නොවන බව මගේ  හැඟීමයි. මේ සම්බන්ධව කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පමණි. ඔවුනට මේ සියළු උල්කාශ්ම කැබලි එකතු කර පර්යේෂණ කළ හැකි නම්.. එයින් මනා අවබෝධයක් ලබාගනු හැකිවනු නියතයි. මක් නිසාද යත්, ඒ ඒ උල්කාෂ්මවල අඩංගු ලෝහ වල සංයුතිය සහ ප්‍රතිශතය මගින් ඒවායේ සබඳතාවය අවබෝධකරගනු හැක.

මුලින්ම තහවුරු කළ යුත්තේ මේ වැස්සෙහි අඩංගු වර්ණ අඩංගු ද්‍රව්‍යය පෘථිවියේ ජනනය වූවක්ද, එසේත් නැතිනම් පිටසක්වලින් ජනනය වූවක්ද යන්නයි. පිටසක්වල ජනනය වූවක් නම්, බොහෝ දුරට පෘථිවි වායු ගෝලයට පැමිණෙන විටම ඒවා විනාශ වී යා හැකිය. මක් නිසාද යත් ඒ බොහෝ ජීවයන් ඔක්සිජන් රහිත පරිසරයක වැඩී ඇති බැවිනි. ඒවා ඔක්සිජන් සහිත පරිසරකයට නිරාවරණය වූ වහාම විනාශ වී යයි. මේ නිසා ඒ වැස්සේ ජීවයක පැවැත්මක් ඇත්ද යන්න සැක සහිතය.

වෙනත් රටවල උල්කාශ්ම එකතු කර ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාගාර වලට විකිණීමෙන් මිනිසුන් බොහෝ මුදල් උපයා ගනිති. මේ උල්කාශ්මවල දුර්ලභ ලෝහ වර්ග අන්තර්ගත වන නිසා ඒවායේ වටිනාකම වැඩිය. විශේෂයෙන් නිකල්, ක්‍රෝමියම් මෙන්ම රන් රිදී වැනි වටිනා ලෝහ ද මේ උල්කාශ්මවල අඩංගු වේ…  මේ නිසා මේ උල්කාශ්ම ලඟදීම රජය සතු වස්තූන් වන්නට ද හැකියාවක් ඇත.

දැන්ම එකතු කර ලඟ තබා ගතහොත් අනාගතයේ මේවා ප්‍රයෝජනවත් වන්නට ද පුළුවන….

%d bloggers like this: