2013 ජනවාරි 08 : දේදුනුපාට වැස්ස සහ පිටසක්වල ජීවය….. කෙටි සටහනක්….


පසුගිය මාසයේම බොහෝ දෙනෙකුට විස්තර කළ නොහැකි අන්දමේ විවිධාකාර අභව්‍ය සිදුවීම් රැසක් ලංකාවේ සිදුවිය. විවිධාකාර එළි දිස්වීම, උල්කාපාත වර්ෂාව, ඉන්පසු සිදු වූ සුනඛ මරණ, සහ විවිධ වර්ණයන්ගෙන් යුත් වැසි වැටීම් රාශියක් පසුගිය මාසය පුරාමත්, වර්තමානයේත් වාර්තා විය. මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ විසින් කළ විස්තරය හැරෙන්නට කිසිදු විවරණශීලී විද්‍යාත්මක විවරණයක් මේ තාක් දක්නට නොලැබුණි… විදුසර පත්‍රයේ පළවී තිබූ මේ සාකච්ඡාවත් නොවැම්බර් 28 වන දින පළකළ තිබූ ඒ මහතාගේම ලිපියකුත් හැරෙන්නට මීට වඩා පුළුල් විද්‍යාත්මක විවිරණයක් තිබිය යුතු බව මගේ හැඟීමයි.

රතු වැස්සේ ඉතිහාසය වසර 2001 ජුලි 25 දී වන දින සිට සැප්තැම්බර් 23 දින දක්වා කාළය තුළ කේරලයට තැනින් තැන ඇද හැළුන රතු පැහැති වර්ෂාවේ  සමහර අවස්ථාවලදී රෝස, කහ, කොළ සහ කළු පැහැයන් පවා තිබුණා. මේ වර්ණ ගැන්වුන වර්ෂාවන් පිළිබඳ අතීතය වසර 1896 දක්වා විහිදුනා.. මෑතකදී කේරලයෙන් වාර්තා වූ ආසන්නතම සිදුවීම වූයේ 2012 ජුනි මාසයේදීයි. මේ සංසිද්ධීන් සියල්ල දැන් ලංකාවේත් වාර්තා වෙනවා. මෙහිදී දැකිය හැකි සුවිශේෂීම ලක්‍ෂණය වන්නේ මේ වර්ණ ගැන්වුන වර්ෂාව සිදුවන්නේ බොහෝවිට උල්කාපාත වැටීමක් හා සම්බන්ධවයි.

එනම් අපට උපකල්පනය කළ හැක්කේ මේ වර්ෂාවද උල්කාපාත වැටීමට සම්බන්ධතාවයක් ඇතිවිය හැකි බවයි. මෙය මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහයන් පවා තහවුරු කර තිබෙනවා. ඒ මහතාට අනුව එම වර්ණ වැසි ජලය සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට සහ කර්මාන්ත තාක්‍ෂණ ආයතනය යන ලංකාවේ ඇති ප්‍රධානතම පර්යේෂණ ආයතන දෙක වෙත භාර දී තිබෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සිදු වන්නේ මූලිකවම මේ වැස්සේ කිසියම් ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක් අඩංගු දැයි පරීක්‍ෂා කර බැලීම. කර්මාන්ත තාක්‍ෂණ ආයතනයෙන් සිදු වන්නේ මේ වැස්සේ අඩංගු රසායනික සංඝඨක පරීක්‍ෂා කර බැලීම.. මේ වාර්තා සියල්ල එක් කිරීමෙන් පැහැදිලිව නිගමනයකට පැමිණීමට හැකි වේ යැයි අපේක්‍ෂා කරනවා. මේ අතරම ඒ මහතා ද මේ සාම්පල එක්සත් රාජධානියට රැගෙන ගොස් ඇති නිසා වඩාත් විශ්ලේෂණාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකියි.

නමුත්, මේ රතු වැස්ස කේරලයෙන් වාර්තා වූ රතු වැස්සට වඩා වෙනස් එකක් යැයි කියැවෙනවා. එනම් මේ වැස්සේ සංඝඨක වල ආසනික් සහ සිල්වර් යන ලෝහ වර්ග දෙක වැඩිපුර ඇති බව පැවසෙනවා. වැස්සට එසේ ලෝහමය සංඝඨක ඇතුලත් වන්නේ ඒ වැස්සේ අඩංගු ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක් නිසා යැයි මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ පවසනවා. 2010 වසරේදී ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් අපූරු සොයාගැනීමක් සිදු කළා.. එනම් ඩී එන් ඒ අණුවල අඩංගු පොස්ෆේට් ඛණ්ඩය වෙනුවට ආසනේට් ඛණ්ඩයක් අඩංගු ක්‍ෂුද්‍ර ජීවීන් විශේෂයක් සොයා ගැනීම මගින්. නමුත් එය සිදුවිය හැක්කක් නොවන බව පසුව කළ සොයාගැනීම් වලින් තහවුරු වූවා..

මේ අනුව මේ වැසි ජලයේ ආසනික් සහ සිල්වර් අඩංගුම ද යන්න තහවුරු කර ගැනීමේ පර්යේෂණ අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි. එයට හේතු කාරණා බොහොමයි. පළමුවැන්න නම් කේරලයෙන් වාර්තා වූ මෙවැනිම වැසිවල ආසනික් අඩංගු නොවීමයි. එසේ නොවීමට හේතුව කේරලයෙන් වාර්තා වූ රතු වැස්ස අඩංගු උල්කාශ්ම වල ඒ බැක්ටීරියාව අඩංගු නොවන නිසා බව කෙනෙකුට තර්ක කිරීමට හැකිය. එය එසේ යැයි සිතා සැකයේ වාසියට තීන්දුව දුන්නත්, දැන් පතනය වන රතු වැස්ස හා සමගාමීව පොළවට වැටෙන උල්කාශ්මවල ද මේ බැක්ටීරියාවන් හෝ මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. එසේ නම් ඒ උල්කාශ්ම අදාල ලෝහ වලට පරීක්‍ෂා කිරීම මඟින් අදාල සැකය තහවුරු කර ගත හැකිය.  නමුත් මේ සඳහා කිසිම අධිකාරියක් ක්‍රියා කරන බවක් නොපෙනේ. උල්කාශ්ම අතින් අල්ලන්නට එපා යැයි ජනතාවට  උපදෙස් දුන්නද, මේ උල්කාශ්ම එකතු කර උල්කාෂ්ම සංචිතයක් තනා වර්තමානයට හෝ අනාගතයට ප්‍රයෝජනවත් ආකාරයේ ව්‍යාපෘතියක් කිසිවෙකු හෝ ආරම්භ කර ඇතැයි මේ දක්වා දැනගන්නට  ලැබී නොමැත. අභ්‍යවකාශයට යන්නට පෙර කළ හැකි එක් දෙයක් වන්නේ අභ්‍යවකාශයෙන් නොමිලේම පැමිණෙන දේ විශ්ලේෂණය කිරීමයි. එසේම මේ උල්කාශ්ම බොහොමයක් අභ්‍යවකාශයේ සිටම පැමිණෙන බැවින් විවිධාකාර විකිරණශීලී  මූලද්‍රව්‍ය පවා අඩංගු විය හැකිය. මේවා අතින් ඇල්ලීම මෙන්ම ලඟ තබා ගැනීම ද අනතුරුදායක විය හැකිය. මේ නිසා එම උල්කාශ්ම කැබලි එකතු කිරීමට හෝ පර්යේෂණය කිරීමට භූ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති කණ්ඩායමක් පත් කල හැකි බවත් මෙය ලංකාවට අළුත්ම අත්දැකීමක් වන නිසා මේ පිළිබඳ හැදෑරීමට උනන්දුවක් ඇති උගත් තරුණ කොටස් සොයා ගැනීම අපහසුවක් නොවන බව මගේ  හැඟීමයි. මේ සම්බන්ධව කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පමණි. ඔවුනට මේ සියළු උල්කාශ්ම කැබලි එකතු කර පර්යේෂණ කළ හැකි නම්.. එයින් මනා අවබෝධයක් ලබාගනු හැකිවනු නියතයි. මක් නිසාද යත්, ඒ ඒ උල්කාෂ්මවල අඩංගු ලෝහ වල සංයුතිය සහ ප්‍රතිශතය මගින් ඒවායේ සබඳතාවය අවබෝධකරගනු හැක.

මුලින්ම තහවුරු කළ යුත්තේ මේ වැස්සෙහි අඩංගු වර්ණ අඩංගු ද්‍රව්‍යය පෘථිවියේ ජනනය වූවක්ද, එසේත් නැතිනම් පිටසක්වලින් ජනනය වූවක්ද යන්නයි. පිටසක්වල ජනනය වූවක් නම්, බොහෝ දුරට පෘථිවි වායු ගෝලයට පැමිණෙන විටම ඒවා විනාශ වී යා හැකිය. මක් නිසාද යත් ඒ බොහෝ ජීවයන් ඔක්සිජන් රහිත පරිසරයක වැඩී ඇති බැවිනි. ඒවා ඔක්සිජන් සහිත පරිසරකයට නිරාවරණය වූ වහාම විනාශ වී යයි. මේ නිසා ඒ වැස්සේ ජීවයක පැවැත්මක් ඇත්ද යන්න සැක සහිතය.

වෙනත් රටවල උල්කාශ්ම එකතු කර ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාගාර වලට විකිණීමෙන් මිනිසුන් බොහෝ මුදල් උපයා ගනිති. මේ උල්කාශ්මවල දුර්ලභ ලෝහ වර්ග අන්තර්ගත වන නිසා ඒවායේ වටිනාකම වැඩිය. විශේෂයෙන් නිකල්, ක්‍රෝමියම් මෙන්ම රන් රිදී වැනි වටිනා ලෝහ ද මේ උල්කාශ්මවල අඩංගු වේ…  මේ නිසා මේ උල්කාශ්ම ලඟදීම රජය සතු වස්තූන් වන්නට ද හැකියාවක් ඇත.

දැන්ම එකතු කර ලඟ තබා ගතහොත් අනාගතයේ මේවා ප්‍රයෝජනවත් වන්නට ද පුළුවන….

Advertisements

Posted on ජනවාරි 8, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 14.

  1. අභ්‍යවකාශයට යන්නට පෙර කළ හැකි එක් දෙයක් වන්නේ අභ්‍යවකාශයෙන් නොමිලේම පැමිණෙන දේ විශ්ලේෂණය කිරීමයි…සහතික ඇත්ත

  2. ඇත්තටම මේ වගේ සිද්ධියකදී හරියාකාරව සාම්පල එකතු කර ගන්නේ කොහොමද, අප ද්‍රව්‍ය මිශ්‍ර නොවන ආකාරයට ? 😛 (තවම මෙහෙට පාට වැසි ලැබුනේ නැහැ).

    උල්කාෂ්ම වල වටිනාකම දැන ගත්තොත් අර සමාගමෙන් පටන් ගනියි ඒවා එකතු කරන්න.

    • @ රාමා ; ඒ සමාගම පොඩි කැබලිවලට කැමති නැහැ.පොඩි පුතුව උඩට යවන්න හදන්නෙ වැටෙන්න තියෙන උල්කා කුට්ටි පිටින් ගලවා ගෙන එන්නද කියල??:)

      • මීට ටික කාලෙකට ඉස්සර දියමන්ති තියෙන ග්‍රහලෝකයක් හොයා ගත්තා කියලා පත්තරේක තිබුණා.
        ඒක අරන් ආවොත් කොහොමද නිකං…. ගොඩම තමයි…

    • ඒකට නම් පිරිසිදු භාජනයක් අඩි තුනක විතර උසින් කණුවක රඳවලා තියන්න ඕන.. බිමක තිබ්බොත් බිමට වැටෙන වැහි බිඳු වලින් විසිවෙන බිඳිති සහ දූවිලි අංශු අර භාජනයට වැටෙන්න ඉඩ තිබෙනවා.
      උල්කාශ්ම නම් හඳුනා ගන්න ලේසියි.. පිච්චුන ස්වභාවයක් තියෙනවා. අනිත් ගල් වලට වඩා වෙනස්… අතින් අල්ලන්න යන්න එපා… සංචිතයක් හදනවා නම්, සොයා ගත් තැන්වල GPS Coordinates එක්ක පිළිවෙලකට හදන්න…ඇත්තෙන්ම හරිම වටින දෙයක් මේවා… පොඩි කෑල්ලක් වුනත් ඩොලර් 100 ක් 200 ක් පමණ වටිනවා… Meteorite Men කිය Show එක හොයාගෙන බලන්න Youtube එකේ ඇති..

  3. ෂික් අපිට තාම නැහැනේ වැටුනේ ඔය කියන වැස්ස…

  4. මලකෙලියයි!සුදු සරොම්/කමිස ඇදගත්ත මුදලාලිල ලාන්සර් වලින් ගම්වලට පෝලිමේ යයිද දන්නෙ “ඔබ ඇහින්ද උල්කා කැබිලිවලට ඉහල මිලක්”ගෙවල ගන්න.රේඩියෝ/TV ඇඩ් යයි “ඔබ ලග තිබෙන උල්කා කැබැල්ලට පට්ට මිලක් ගෙවන නට්ට ෆොඋෆර් හාජජියාර් වෙත රැගෙන එන්න කියල”:)

  5. // මේ නිසා මේ උල්කාශ්ම ලඟදීම රජය සතු වස්තූන් වන්නට ද හැකියාවක් ඇත.//

    මේක නම් වෙන්න සෑහෙන්න පොසිබිලිටි එකක් තියනවා…

  6. මාත් නිකං ඉන්න එකේ අහස බලාගෙන ඉන්න ඕනි..වැටුනොත් කාරිය හොද කැටයක් එහෙම..එපා කියන්නයැ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: