2013 ජනවාරි 17 : මැවුම්වාදය තහවුරු කිරීම උදෙසා සර්වබලධාරී දෙවියන් සහ අල්ලා දෙවියන් සටනක….
ලෝකය ඉදිරියට ගමන් කරමින් පවතී. දැනුම නිතිපතා ඝාතීයව (Exponentially) වර්ධනය වේ. නව සොයාගැනීම් නිතිපතා සිදුවන අතර පැරණි සොයාගැනීම් අළුත් වේ. මානවයා මෙන්ම සත්ත්‍වයාද කෙමෙන් කෙමෙන් පරිණාමය වේ. අනාගතයේ තවත් අවුරුදු 1000 කට එහායින් මිනිස් වර්ගයා කොටස් දෙකකට බෙදෙනු ඇතැයි තර්කයක් ඇත. ඒ බුද්ධිමත්, සාර්ථක, ධනවත්, උත්සාහවන්ත පිරිසක් සහ මුග්ධ, අසාර්ථක, දුප්පත් කම්මැලි පිරිසක් වශයෙනි. විද්‍යාව කෙතරම් දියුණු වුවත් පැරණි හම්පඩ මතවල එල්බගත් නියැන්ඩතාල්වරු තවමත් අප අතර සිටිති. ලෝකය පැතලි යැයි සිතා සිටින පිරිසක් තවමත් ඇති අතර ආයුධ බෙදා හැරීම තුලින් සාමය උදාකරගත හැකි බව සිතන පිරිසක් ද අප අතරම සිටිති. බොහෝ දෙනෙකු විද්‍යාත්මක දියුණුව, පරිණාමය විශ්වාස කරන අතර තවත් සමහරු මැවුම්වාදය විශ්වාස කරති. විහිළුවට ලක්වන වන්නේ මේ මැවුම් වාදය විශ්වාස කරන පිරිස විද්‍යාත්මක දියුණුවෙන් ලැබූ දේ පරිහරණය කරමින්ම ඒ ඒ දේවල් දෙවියන් විසින් මවන ලද්දක් බවටම තහවුරු කිරීමට උත්සාහ දැරීමයි. එය හරියට නලින් සිල්වා මහතාගේ පුත්‍රයා මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරද්දී ඒ මහතා බටහිරයිනට බැණ වැදීම හා සමානය..
පරිණාම වාදය හා මැවුම්වාදය අතර ඝට්ඨනය කිසිදා නිම නොවන දැඩි පරතරයක් ඇති ඉවුරු දෙකක් සහිත ගංගාවකි. පරිණාමවාදය අදහන්නන් එකම මතයක පිහිටා කටයුතු කළත්, මේ මැවුම් වාදය අදහන කාණ්ඩය ප්‍රධාන ආගම් දෙකක් අතර බෙදී යයි. එනම් ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් ආගම අතරයි. ක්‍රිස්තියානි ආගමට අනුව විශ්වය ඇතුළු සියල්ල මවන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අතර මුස්ලිම් ආගමට අනුව ඉහත කී දෑ මවන ලද්දේ අල්ලා දෙවියන් විසිනි. එනම් මේ විශ්වයට ප්‍රධාන දෙවියන් දෙදෙනෙකි. ඔබේ දෙවියන් මගේද දෙවියන් යැයි සමහරු පැවසුවත්, තමන්ගේ දෙවියන් වඩා බලසම්පන්න බවත්, වඩා නිවැරදි බවත් පරිපූර්ණව විශ්වය මැවූ බවත් එකිනෙකා ප්‍රකාශ කරති. ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් ආගම අතර ඇති බල අරගලය දෙස බලන කල මේ දෙවියන් දෙදෙනා ද කොහේ හෝ සිට නිරන්තරයෙන් සටන් කරමින් සිටින්නේදැයි සැකයක් ද මතුවේ.. දෙවියන් ලෝකය මැවුවා ද ? මේ ලෝකයේ සියල්ල සිදුවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ හෝ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවද ? එසේත් නැතිනම් කිසියම් හේතුවක් නිසා ඇතිවන ඵලයක් නිසාවෙන්ද ?
විද්‍යාව ආගමින් විස්තර කිරීමත් ආගම විද්‍යාවෙන් විස්තර කිරීමත් කළ නොහැක්කකි. මක්නිසාද යත් විද්‍යාවත් ආගමත් එකිනෙකට සමාන්තරව පවතින බැවිනි. බොහෝ දෙනා මෙය පටලවාගෙන ඇතත්, ආගමෙන් මිනිසා තුළ ඇති කෙරෙන්නේ ශික්‍ෂණයකි. මිනිසා නිරයට බයය. බුදු දහමේ ක්‍රිස්තු දහමේ හෝ මුස්ලිම් දහමේ හෝ වෙනත් ආගමක වේවා, මිනිසා පවින් ඈත් කර තැබීමට ශික්‍ෂාපද ඇතුලත් කර ඇති අතර ඒ නිසාම ශික්‍ෂාපද කැඩීම පවට හේතු වන බව දක්වා ඇත. ඒ විනය ඇති කිරීමේ අභිලාශය පෙරදැරි කරගෙන විය හැකිය. අතීතයේ නීති පද්ධතිය වූයේ ආගමයි. ඈත අතීතයේ මිනිසාට අද තරම් දියුණු උපකරණ නොතිබුණත්, ඔවුහු සෑහෙන පමණක දැනුමකට හිමිකම් කියූහ. නයිල් ශිෂ්ඨාචාරය සමයේ තැනුන පිරමිඩ තැනුවේ කෙසේද යන අභිරහස තවමත් විසඳා ගැනීමට නොහැකි වුවත්, පරමාණුවක් දැකිය හැකි අන්දමේ අන්වීක්‍ෂ තැනීමට ද මිනිසා දියුණු වී ඇත. අඟහරු ග්‍රහයා මත වූ යානයක් පෘථිවියේ සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කරවිය හැකි තරමට අජඨාකාශ විද්‍යාව දියුණු වී ඇත. ආලෝක වර්ෂ දස දහස් ගණනක් ඈත මන්දාකිණි නිරීක්‍ෂණය කළ හැකි දුරේක්‍ෂ තැනීමට මිනිසා දියුණු වී ඇත. නමුත් විද්‍යාත්මක චින්තනය පහළ වීමට ප්‍රථම අතීත මිනිසා තමන්ට තේරුම්ගත නොහැකි සියල්ල දේවත්‍වයෙන් සැලකීය. අකුණක් පුපුරා ගසක් ගිණි ගැනීම ගිණි දෙවියන්ගේ වික්‍රමයක් ලෙසින් ද, නැගෙනහිරින් උදෑසන අහසට නගින සූර්යයා ඉර දෙවියන් ලෙසද ආදී වශයෙන් තමන්ට වටහාගත නොහැකි සියල්ල දෙවියන් මත පැටවීම ඉතාම පහසු කාර්යය බවටත්, එය ජාවාරමක් කර ගත් පූජකයින් විසින් එය තම පැවැත්ම සරි කරලන සාධකයක් කරගැනීමටත් යාමෙන් දේව මූලික ආගම් පැතිරුණි. ඒ නිසාම දෙවියන් සියල්ල නිර්ණය කරන බවට තීරණය විය. මේ නිසාම දේව අණසකට යටත්ව සියල්ල කිරීමට නූගත් මිනිසා පෙළඹවීමට අතීත පූජකයින් සමත් විය.
මේ චක්‍රයෙන් බැහැර වූ චින්තකයින්, ලෝකය ගෝලාකාර බවටත්, පෘථිවිය වටා හිරු ගමන් කරනවා නොව හිරු වටා සෞරග්‍රහ මණ්ඩලය ගමන් කරන බවද, පැහැදිලිව ප්‍රකාශ කළේ පෙර පැවති දෙවියන් ප්‍රශ්න නොකිරීමේ පූජක ආධිපත්‍යයට පහර එල්ල කරමිනි. මේ නිසාම සමහරකට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. (දැනුදු සියල්ල දේව කැමැත්ත මත එසේ සිදු වේ…) කෙසේ වෙතත් මනස මෙහෙයවා සිතිය හැකි පුද්ගලයෝ මේ සියල්ලට හේතු සොයන්නට විය: එතැනින් විද්‍යාව බිහි විය. විද්‍යාව බිහි වූයේ අද ඊයේ නොවේ. ඉන්දු නිම්න ශිෂ්ඨාචාර අවධියටත් එහා සිට මිනිසා විද්‍යාත්මක චින්තනය කෙරෙහි නැඹුරු වන්නට විය. බිම දිගේ බඩු භාණ්ඩ ඇදගෙන ගිය මිනිසා රෝදය නිර්මාණය කළේ දේව අණකින් නොවේ. දෙවියන් රෝදය නිර්මාණය කළා නම් මුල්ම අවස්ථාවේ රෝදයක් නිර්මාණය නොකළේ ඇයි ? දෙවියන් සියල්ල නිර්මාණය කළේ නම්, දෙවියන් සියල්ල පාලනය කරනවා නම් මිනිසාට සිතීමට මොළයක් අවශ්‍ය නැත. සියල්ල නිසි ලෙස සිදු විය යුතුය.. නමුත් සිදුවන සියල්ලට හේතුවක් ඇත, ඒ හේතුව නිසා ඵලයක් බිහි වේ. දෙවියන් විසින් මිනිසා නිර්මාණය කළා නම් මිනිසා වසර මිලියන දෙකකට පමණ පෙර ප්‍රාථමික මිනිසකු ලෙස මවන්නේ ඇයි ? සියළු සම්පත් සහිතව වර්තමාන මිනිසා ලෙස මැවිය නොහැකි වීද ? එසේම ඒ මවන ලද මිනිසුන් කෙමෙන් වඳවී ගියේ ඇයිද ? ඒ මිනිසුන් මේ ලෝකයට අකැපද ?
පරිසරය දේව නිර්මාණයක් නොව පරිණාමයෙහි ඵලයක් බව දේව වාදීන් පිළිනොගනී. චාල්ස් ඩාවින් ගැලපගොස් දූපත්වලදී සොයා ගත් දෑ දේව වාදීන්ට අකැපය. ලැමාක් විසින් සොයා ගත් වහර අවහර නියමය මෙන්ම ස්වභාවික වරණය ආදී නියමයන් දේවවාදී නිර්මාණ සංකල්පය කුණු කූඩයට යොමු කරයි. දෙවියන් සියල්ල නිර්මාණය කළා නම් ජාන විකෘති සහ අසම්මතයන් නිර්මාණය වූයේ ඇයිද ? උදාහරණයක් වශයෙන් මිනිසුන්ගෙන් සියයට 95 ක් දකුණත හුරු අය වන අතර ඉතිරි සියයට 5 වමත හුරු වූවෝ වෙති. එසේ නිර්මාණය කළේ ඇයි ? දෙවියන් සියල්ල නිර්මාණය කළා නම් විද්‍යාව නිර්මාණය කළේ ඇයි ? මිනිසා දේව කැමැත්තට ඉපදී මිය යයි නම්, වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් නිසා මානව ආයු කාළය වැඩි කර ගැනීමට අවස්ථාව උදා කළේ ඇයි ? දේව වාදීන්ගේ මැවීම් සංකල්පයට ප්‍රධානතම අභියෝගය වන මහා පිපුරුම්වාදයේ පදනම වූයේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා වාදයයි. දෙවියන් ඇල්බර්ට් අයින්ස්ටයින් නිර්මාණය කළේ ඇයි ? එසේම දෙවියන් විශ්වය නිර්මාණය කළා නම්…… ඊට පෙර දෙවියන් සිටියේ කොහිද ?
පරිණාමය දේවවාදීනට මරු පහරක් එල්ල කළත්, ඔවුහු අවාසනාවකට තම මැවුම්වාදයේම එල්බ සිටිති. ඔවුනට අනුව ලොව වෙසෙන සියළුම සත්ත්‍වයෝ මැවුම්වාදයේ ප්‍රතිඵල වේ. ඒ අනුව දෙවියන් විසින් සතුන් ස්ත්‍රී ලිංගිකවත් පුරුෂ ලිංගිකවත් නිර්මාණය කර ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ ද්වි ලිංගික සත්ත්‍වයන් නිර්මාණය කළේ ඇයිද යන්නයි. මේ ප්‍රශ්නයට දේව වාදයෙන් පිළිතුරක් ලබා දිය හැකිද ?
මේ ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් වහන්සේත්, මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුත් අතර ඝට්ඨනය ආරම්භ වන අවස්ථාවයි. මැවුම් වාදයට අනුව මේ දෙවියන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෝකය නිර්මාණය කළ යුතුය… ඉන් පසුව අනෙක් දෙවියා නිර්මාණය විය යුතුය.. මේ දෙවියන් දෙදෙනාගෙන් පළමුව පහළ වූ දෙවියා කවුද ? දෙවියන් සියල්ල නිර්මාණය කළා නම්, සර්වබලධාරී දෙවියන් විසින් හිට්ලර්, සදාම් හුසේන්, ඔසාමා බින් ලඩින්, පොල්පොට්, සහ ප්‍රභාකරන් වැනි පුද්ගලයින් නිර්මාණය කර ඔවුන්ගේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට ප්‍රථම මරා දමන්නේ ඇයි ? මේ පුද්ගලයින් නිර්මාණය කළ දෙවියා කවුරුන්ද ? මේ නිර්මාණවල භාරකාරත්‍වය අයිති මොන දෙවියන්ටද ?
ජෝන් ඩෝල්ටන් සහ ලැවොයිසියර් පරමාණුක වාදය ඉදිරිපත් කිරීමට සියවස් ගණනාවකට පෙර පරමාණුව පිළිබඳ මුල්ම සඳහන ඉදිරිපත් වූයේ පාලි ග්‍රන්ථ වලිනි. පාලි සාහිත්‍යයට අනුව අභිධර්මයේ සඳහන්වන පරිදි කුඩාම අංශුව ලෙස සැලකෙන්නේ පස්වන ශතවර්ශයේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත පුස්තකයක (එහි නම විභංග අත්තකථා විය හැක) පරමාණුව යන්නෙන්ම සඳහන් වන අංශුවේ ප්‍රමාණය දක්වා ඇත්තේ ඇඟිල්ලක මහතින් 1/581,147,136 ක් ලෙසිනි. ඇඟිල්ලක මහත පුද්ගලයා අනුව වෙනස් වුවත්, සාමාන්‍ය ප්‍රමාණය සෙන්ටි මීටර දෙකක් ලෙස ගතහොත් එය මීටර 3.44 x 10-9 ක් ලෙස ගණනය කළ හැක. එනම් ඇංස්ට්‍රම් එකකින් 1/3 ක් පමණ වේ (ඇංස්ට්‍රම් එකක් යනු 10-10 බලය වේ). ආවර්තිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 112 හේ අරය ඇංස්ට්‍රම් දශම හතක සිට ඇංස්ට්‍රම් තුනක් පමණ දක්වා වෙනස් වේ. (0 .7 Å to 2.9 Å) ඒ අනුව ගත් කළ පස්වන ශතවර්ශයේ ගණනය කිරීම් ආසන්න වශයෙන් එකම පරිමාණයට හෝ අයත්වන බව පෙනේ. මේ බුදු දහමේ සහ පැරණි වේද ග්‍රන්ථවල දැක්වෙන විද්‍යාවයි. එපමණක් නොව ඉපැරණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dual world) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව සඳහන් වේ. මේ පැරණි වේද ග්‍රන්ථවල දැක්වෙන ද්විත්ව වාදය (Duality), ඒකීය වාදය (Singularity) යනාදිය මෙන්ම ඉපැරණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේදී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) නම් වූ මූලධර්මය උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත් වල අඩංගුව තිබී ඇත. ද්විත්‍ව වාදයට අනුව මේ ලෝකයේ පැවැත්මට එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයන් දෙකක සමතුලිතතාවය අත්‍යවශ්‍ය වේ. හොඳ- නරක, ගැහැණු – පිරිමි, ධන- ඍණ, වම- දකුණ, යනාදී වශයෙන් විවිධාකාර බල තුලනයන් අපට හඳුනාගත හැකිය.
තාප රසායන විද්‍යාවට අනුව විශ්වයේ අහඹුතාවය නිතිපතා වැඩි වේ. මහා පිපුරුමට පෙර තිබූ ඒකත්‍වය (singularity) මහා පිපුරුමෙන් මිලි තත්පර ගණනාවක් තුළ ද්විත්‍වයක් වී ඉන් පසු අහඹුතාවය වැඩි වීමට පටන් ගැණුනි. එනම් එන්ට්‍රොපිය වැඩි වේ. මේ වැඩි වීම බුදු දහමට අනුව පැහැදිලි කෙරෙන්නේ අනිත්‍යය මඟිනි. මලක් පිපෙන්නේ සිය වර්ගයා ඊලඟ පරම්පරාවට ගෙන යාම සඳහා ඵලයක් හට ගැනීමටය. ඒ ඵලය මෝරා, ඉදී, බිමට වැටී (හෝ සතෙකුගේ හෝ සුළඟේ මාර්ගයෙන්) වෙනත් තැනකට ගෙනයනු ලබන්නේ ඒ ගස අසළම වැටුනහොත් එම ඵලයෙන් ඉපදෙන පැලයට පැවැත්මක් නොමැති බැවිනි. එක ඵලයකින් ගස් කිහිපයක් ඇතිවේ (එන්ට්‍රොපිය – අහඹුතාවය වැඩි වේ) ඉන් ලැබෙන පැල වෙනත් තැනක ඊලඟ පරම්පරාව ප්‍රවර්ධනයට කටයුතු සළසයි. එය හේතු – ඵල වාදය මෙන්ම අනිත්‍යය (හෙවත් වෙනස්වීම තහවුරු කරන අවස්ථාවකි) අනිත්‍යය නම් නිත්‍ය නොමැති බවයි- වෙනස්වනසුළු බවයි. එක තත්පරයකදී ලොව සියල්ල වෙනස් වේ. එය නැවත ලබා ගත නොහැක. සියල්ල වෙනස් වී ඇත. එය අනිත්‍යයයි. අනිත්‍යය නොවන්නට ලොවෙහි පැවැත්මක් නොමැත. ළදරුවා වැඩෙන්නේ – තරුණයා මුහුකුරා යන්නේ – මහල්ලා මිය යන්නේ අනිත්‍යය නිසාවෙනි. එසේ නොවන්නට ලොව නීරස තැනකි. මලක් නොපිපේ, සුළඟක් හැමීමක් නොමැත. ලොවම – විශ්වයම නිසලව තිබේ – එය නිත්‍ය බවයි.
ස්විස් ජාතික මනෝවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය චාර්ලිස් ගුස්ටව් යං (Charles Gustave Jung) විසින් ලියන ලද ලිපියක ට අනුව සංසන්දනාත්මක ආගමික සංකල්ප හැදෑරූ ඔහුට වඩාත්ම පරිපූර්ණ ආගම ලෙස දැනී ඇත්තේ බුදු දහමයි. බුදුන් වහන්සේගේ දර්ශනය අනුව පරිණාමය යනුවෙන් හඳුන්වන කර්මය කිසිවෙකු විසින් මවන ලද්දක් හෝ ඇදහීමකට වඩා ඉහළින් වැජඹෙයි. සෑම ආගමකම යටිසිතේ වූ බලය නියෝජනය කරනු ලබන්නේ කිසියම් දෙවියකු හෝ යක්‍ෂයෙකු ලෙසිනි. එසේ දෙවියන් මවන ලද ලෝකයේ මැවුම්කරුවා දෙවියන් වහන්සේ නම්…. දෙවියන් වහන්සේ තමන්ට වඩා වෙනස් යතාර්ථවාදී – හේතු ඵලවාදය දේශනා කරන බුදුන් වහන්සේ මැවුවේ කිමද ? …
අවසාන ප්‍රශ්නය වන්නේ දෙවියනි ඔබ කොහිද ? කියා පමණි… දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ…
මේ දෙවිවරු අතර යුද්ධය ගැන Islam Review නම් වෙබ් අඩවියේ මෙසේ දැක්වේ….
Posted on ජනවාරි 16, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged දේව වාදය, පරිණාමය, මැවීම. Bookmark the permalink. ප්‍රතිචාර 15.
යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම් තුනෙහිම පැවසෙන්නේ එකම දෙවියෙක් ගැනයි. අරාබි බසින්, God යන්න අල්ලාහ් වේ. එය නොදැනද ඔබ මේ ලිපිය ලිව්වේ?
කැමතියිකැමතියි
එකම දෙවියන් වූවත් නැතත් සර්ව බලාධාරි සංකල්පයේ අසාර්ථක භාවයේ වෙනසක් වෙන්නේ නෑ
කැමතියිකැමතියි
can u explain about this God pls? I meant “one god for three riligion” concept .
කැමතියිකැමතියි
මැද පෙරදිග ආගම් ඇතිවිම ගැන ඉතිහාසය හැදෑරුවොත් විතරයි මේ ප්‍රශ්නයට පිළිතුරු හමු වෙන්නෙ. බහු දේව වාදයක් ඒක දේව වාදයකට පරිණාමය වීම [මෙයිට සමාන ප්‍රපංචයක් හින්දු පුරාණ ග්‍රන්ථ වලින් නිරීක්ෂණය කරන්න පුලුවන්]. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් තුනම මැටියෙන් තැනූ ආදි පුරුසයෙක් ගැන කියන නිසා මම නම් මෙව්වාට කියන්නෙ මැටි ආගම් කියලයි.
මීට වෙනස් ප්‍රවාහයක් වුන සුෆි වරුන්ට ඉස්ලාමය සලකන අයුරින් ඔවුන්ගේ සමානාත්මතාවය, සහෘදභාවය [මෙහෙ මුස්ලිම් කෙනෙක් ගෙන අහන්න බලන්න සුෆි ගැන ‘දන්නෙ නෑ ‘ කියනවා.] ඉස්ලාම් නිකායන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න, එයලා කීතු කීතු වෙලා ඉන්නේ නායකයා නබි ද, අලි ද වෙන අයද කියලා. ඒ මත තම ජන වර්ගයම ඝාතනය කරන තරම් මේ බෙදීම් උග්‍රයි. ඉස්ලාම් මූලධර්මවදය ගිය දශක 3 ඇතුළත ඔලුව උස්සන්නෙ මේ දේශපාලනික අඩුව පියවන්නයි ඕකටම පොලිටිකල් ඉස්ලාම් කියනවා
-ඌරු මාලු ඌරගෙම පිට තබා කපන එක තමා හොඳ.
කැමතියිකැමතියි
මතකයි ඒ දවස් වල රේඩියෝ එකේ යනවා.. “දෙවියනි ඔබ කොහිද.. සඳුදා සිට මරදානේ….” කියලා.
කැමතියිකැමතියි
// දෙවියන් විසින් මිනිසා නිර්මාණය කළා නම් මිනිසා වසර මිලියන දෙකකට පමණ පෙර ප්‍රාථමික මිනිසකු ලෙස මවන්නේ ඇයි ?//
ඉතාම වැදගත් ප්‍රශ්නයක් , බෞද්ධ සහ හින්දු දහම් වල දාර්ශනික කරුණු යටපත් වෙලා ගිහින් එලියට ඇවිත් තියෙන්නේ විකාර . හින්දුන්ගේ විකාර වලට විකල්පයක් මතු කරපු ගෞතම බුදුන්ගේ දර්ශනයත් හින්දු ප්‍රතිපදාවන් එක්ක පටලවාගෙන ඉන්නේ .
කැමතියිකැමතියි
ඉස්ලාම්,ක්‍රිස්තියානි,යුදෙව් හා කතෝලික යනාදී ආගම් වල පටන් ගැන්ම එකයි එකම දෙවියන් වහන්සේ විවිධ අයුරින් නම් කරනවා වගේම ඇදහීම වෙනස්, චීන බුදුදම නේපාලයේ බුදු දහම මහායාන ථේරවාද බුදු දහම වෙනස් වගේ සර්ව බලධාරී දෙවියන් විවිධ විදියට හදුන්වනව. ඔබේ නොදැනුවත්කම ගැන කනගාටුයි. පරණ ගිවිසිම මීට වසර බොහෝ ගණනකට පෙර ලියූවක් ඒ වගේම විවිධ අයුරින් පරිවර්ථනයට ලක් වූ ග්‍රන්ථයක්. මවනව කියන්නෙ මැජික් කාරයෙක් වගේ මෙන්න ලෝකෙ මෙන්න ජලය කියල මැව්ව කියල තේරුම් ගන්නෙ ඒ ධර්මය ගැන අවබෝධයක් නැතිකම නිසයි. දවසකට පැය 24ක් කියන අර්ථයෙන් ලියවුනා කියන දේ හිතන් දවස් හතෙන් මැව්වෙ කොහොමද අහනව.නමුත් මේ දවස් හත කල්ප හතක් විය හැකියි. ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන හැටියට ලියපු, මිනිසාට දෙවියන් ගැන භය බක්තිය ඇතිකරල වැරදිවලට බය ඇතිකරවීමේ ප්‍රමාර්ථයෙන් ඒ වගේම කටින් කට පරම්පරා සිය දහස් ගනනක් ආපසු ලියවුනු පරණ ගිවිසුම අතහැර නව ගිවිසුම කියවන්න.විද්‍යාව ඔපමණ වටහාගත් දහමකින් ඇයි කියන්නෙ උපන් ගමන් ඇවිද්ද බව. ඒ තමා සාහිත්‍යය. දේව ආගම් පරිණාම වාදයට විරුද්ධ නෑ. දෙවියන් මව්වෙ එක් සෛලයක් වියහැකියි එවිට එයින් පරිණාමයවූ ජීවීන් සියල්ල දෙවියන්ගේ මැවීමක් නෙමේද. අපිට නොපෙනන කිසිම විද්‍යාවකට හසු නොවූ බොහෝදේ ඇති බැවින් ඔබට කිසිවක් ඔප්පු කල නොහැකියි. ඔබ වැනි අය කොහිද කියා අසන අසන පාරට පෙනී හිටින්නට ගියොත් දෙවියන්ටත් වෙන වැඩක් නොමැති වෙනු ඇති. ඔබ ගේ කරුණු සියල්ලට එකින් එක පිළිතුරු සැපයිය හැක ඒත් තේරුමක් නැත. මේ ඔබේ මතයයි.මට ඒ වෙනස් කල නොහේ.අවසානයේ වැදගත් වන්නේ හොඳ මනුෂ්‍යයකු වීම මිස ආගමකට ඇනකොටා ගැනීම නොවන නිසා මම මෙපමනක් ලියා තබමි.
කැමතියිකැමතියි
බෞද්ධ නිකායයන් ඇතිවීම න්‍යායිකව හා ප්‍රායෙගිකව සිදුවිය හැකි එකක් මක් නිසාද මිනිස් සිත නියාම ධර්ම හා කර්මයේ ප්‍රතිඵලයක් නිසා. දෙය්යන්ගේ අච්චුවේ මෙහෙම වෙනස් වෙනස් [ජීව විද්‍යාත්මකව- නිග්‍රොයිඩ, කොකසොයිඩ හා මොනොගොලොයිඩ] එව්වා හැදෙන්නෙ කොහොමද? බෞද්ධ ධර්මයට අනුව දෙවියන් අදහන මිනිස්සු ඉඳීම විය හැකි වුනත්, දේව වාද අනුව දෙයියන් මවපු මිනිස්සු වෙන වෙන විස්වාස නහුතයක විතර එල්ලිලා ඉන්න එක පැහැදිලි කරන්න බෑ නේද? ඉන්ෆිඩෙල් අයත් දෙයියන්ගෙ ම ප්‍රොඩක්ට් එකක් නිසා ඒ අයව මරන එක හරි අදේවයි නේද? කණ, කොර, ඩව්න් සින්ඩ්‍රොම් වගේ උපන් ගෙයි ආබාධ දෙය්යන්ගෙ කැමැත්ත නම් කෝ යකෝ දෙයියන්ගේ සමානාතමතාව? – අච්චුව අප්සෙට් යනවා කියන්නෙ සර්වබලධාරී බවක් නෑ නේද?
කැමතියිකැමතියි
අගනා ලිපියක්.හේතුවක් නැතිව ඵලයක් ඇති නොවේ. ඵලයක් ඇතිවීමට අවශ්‍ය හේතුව නැතිවුවිට ඵලය විනාශ වේ.
කැමතියිකැමතියි
බල්ලකු විසින් මිනිසකුව සපාකන ලදී යන්නේ කිසිම ප්‍රවුර්තිමය වටිනා කමක් නොමැති බවත් එහෙත් මිනිසකු විසින් බල්ලකුව සපා කනු ලැබුවහොත් එම සිද්ධිය ප්‍රවුර්ති මවන්නක් බවට පත් වන බවටත් ප්‍රසිද්ධ කියමනකි .එම නිසා ඇල්කෙමියා නැමැති භක්තිමත් බෞද්ධ විද්‍යාඥයා , හෝ චන්ද්‍රා වික්‍රමසිංහ නමැති ක්‍රිස්තු ලබ්ධික [කියා මා සිතන ] විද්‍යාඥයා [හෝ ගණිතඥයා] හෝ නමට මොහොමඩ් යන කෑල්ලක් ඇති වෙනත් ඉස්ලාම් ලබ්ධික විද්‍යාඥයකු හෝ තම තමන් අදහන ආගම් වල ඇති කරුණු කාරණා පරම සත්‍යන් බවත් අනෙකුත් ආගම් වල ඇත්තේ පුහු මිත්‍යාවන් බවත් අප වැනි විද්‍යාව ගැන දැනුමක් නැති පුද්ගලයන්ට කියාදීමට තමන්ගේ කීර්ති නාමයන් හා විද්‍යාව යොදාගෙන කරන්නා වූ පහදා දීම් වල මට පුද්ගලිකව වටිනා කමක් නැත .මෙහි මවිතය දනවන කරුණ වනුයේ මේ කීර්තිමත් විද්‍යාඥයින් සියලුදෙනාම පැරණි හණමිටි පසෙක ලා විද්‍යාත්මක ක්‍රමයට සිතන විද්වතුන් වුවද තම තමන් අදහන ආගම සම්බන්ද කරුණු කාරනා වලදී එකිනෙකාට විරුද්ධ මත දැරීමයි . මා දන්නා ආකාරයට චන්ද්‍රා වික්‍රමසිංහ පුනුරුප්පත්තිය විශ්වාස නොකලද මැවුම් වාදයට ඍජුව හෝ වක්‍රව පක්ෂ වන්නෙකි .මා දන්නා ආකාරයට ඔහු පරිනාම වාදය විශ්වාස නොකරයි .විද්‍යාව ගැන ලොකු දැනුමක් නැතිමුත් පුංචි පන්තිවලදී අපිට ඉගැන්වූ ආකාරයටනම් සාර්ථක විද්යාත්මක නිගමනයකට ඒමටනම් ඒ කරුණ අරභයා තමාගේ තිබූ මූලික පක්ෂග්‍රාහී බැඳීම් සියල්ලෙන් මිදීය යුතු වෙයි .තමන් අදහන ආගමින් කියා දී තිබුණු දේවලට පක්ෂග්‍රාහී නොවී ඊට මරු පහරක් එල්ල කල පරිනාම වාදය ලොවට ඉදිරිපත් කල චාල්ස් ඩාවින් මෙන්ම ලෝක ගෝලය ගැන හා සෞරග්‍රහ මණ්ඩලය ගැන ආගමින් දෙසා තිබූ දෑ පසෙක ලා නිදහසේ සිතා සත්‍යය ලොවට කියා දී ඒ නිසාම තම ජීවිතයෙන් වන්දි ගෙවූ සොක්‍රටීස් වැනි අසම සම දාර්ශනිකයන්ට මම හදවත පත්ලෙන් ගෞරව කරනුයේත් ඔවුන් සැම විටම මගේ ලෝකයේ පුවත් මැවූවන් බවට පත් වූයේත් එම නිසාමය – – – – – – !!!!
කැමතියිකැමතියි
මෙවන් පෙරේරා සහ්ර්‍දයාණනි, ඔබගේ ” චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්” සහ ඒ මත පිහිට කරන, ලියන ප්‍රකාශ අපව අහ්ලාදයට පත් කරවයි!..අවාසනාවට..! සාපේක්ෂව වැඩි වශයෙන් අප ජීවත් වන කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයෙත් ආගම මිනිසාගේ සහජ නිර්මාණශීලී චින්තනය මොට කරමින් මානව සම්බන්දතා වටා පවුරු බදිමින්, උපතේ සිට මරනය දක්වා කුදු මහත් සෑම කටයුත්තකටදීම පෙරමුණේ රාල වී සිටී.
කැමතියිකැමතියි
මේක තේරුම් කරල දෙන්න බැරි ප්‍රධාන හේතුව තමයි ඔය මැවුම් කාර දෙවි වරු හිතන්න නිදහස දීල නොතිබීම සර්… බෞද්ධ අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. උදාහරණයක් විදියට අපිට ආගමේ එන ඕනම ප්‍රශ්නයක් උනත් විසඳගන්න නිදහස තියෙනව හිතීම මගින්… බුදු දහමේ මූලික හරයන්ට අනුකූල නම් ඒක පිළිගන්න බුරජාණන් වහන්සේ අපිට නිදහස දීල තියෙනවා..
ඒත් අනිත් දේවවාදී ආගම් වල ඒ නිදහස නැහැ.. පරිණාම වාදයත් එකපාරටම පිළිගන්න බැහැ.. මොකද ඒකත් මිශනාරී ආගමික පරිසරයක බිහිවුණු නිසා.. ඊට වඩා පිළිගත හැකි ක්‍රමයක් තියෙනවා බුදු දහම තුළ..
ඒත් ඒ මත වලට ඉඩක් නැත්තේ ඇයි?
මම දකින හේතු මේවා..
01.බටහිරයන්ගේ පෙරදිග අපිත් එක්ක ඇති වෛරය
02.වචන මාලාව.. හොඳම උදාහරණය ඔයාගෙ ලිපියෙන්ම පෙන්නන්නම්..
//ණුව යන්නෙන්ම සඳහන් වන අංශුවේ ප්‍රමාණය දක්වා ඇත්තේ ඇඟිල්ලක මහතින් 1/581,147,136 ක් ලෙසිනි//
මේ වගේ එකක් පිළිගන්න සුද්දො කැමති නෑ.. උන්ට ඕන මේක ඇන්ග්ස්ට්‍රම් දශම හතක්ම කියල කියන්න.. මේ වගේ කී දාහක් තැන් බුද්ධ ධර්මය ඇතුළේ තියෙනවද?
03.සුද්දගෙ විද්‍යාව ඇහැට පෙනෙන දේ කොටින්ම කියුවොත් මොනම ක්‍රමේකින් හරි ඉන්ද්‍රීය ගෝචරදේ මත විතරක්ම පදනම් වෙලා තියෙන නිසා.. ඉතින් උන්ට ප්‍රඥාව තේරෙන්නෑ..
ඔය වගේ කාරණා ගොඩක් නිසා තමයි පෙරදිග අපේ ගොඩක් දේවල් හැංගිලා තියෙන්නෙ.. හැබැයි සුද්දට වඩා එදත්,අදත්,හෙටත් අපි ඉදිරියෙන්.. මොකද උන්ට නැති වටිනා මග පෙන්වීමක් අපිට තියෙන නිසා..
කැමතියිකැමතියි
@ ඇල්කෙමියා: කාල් [චාර්ලිස් නොවේ] ගුස්ටාව් යුංග් ට පෙර හිටි ආතර් ශොපෙන්හවර් හා ෆ්‍රෙඩ්‍රික් නිට්ශෙ දෙන්නා ගැන කියවන්න. මෙයින් ශොපන් හවර් තමයි තණ්හාවට [මේක පරමාර්ථයක්] සමාන අධිෂ්ඨානය නම් සංකල්පය ගෙනාවෙ. ඔහු පංචේන්ද්‍රියයන් ගේ සංජානන වල ඇති මායම් ගැන කිව්වා[බුදු දහම ඇසුරින්]. නිට්ෂේ තමයි කිව්වෙ [සරාතුස්ත්‍රා මෙසේ කීය] දෙවියන් මියගිහින්, අපි ඔහු මරාදැම්මා යනුවෙන්. අනික තමයි පරමාණුවක දිග පළල අභිධර්මය ඉස්සරහ පිට පට්ට ජෝක් එකක් මොකද අභිධර්මය කොන්ටම් වලටත් ඩීප් නිසා. බුදුදහම ගැන අලුක්කාල් ටෝක්ස් දෙන්න කලින් රේරුකාණේ හමුදුරුවන්ගේ ‘අභිධර්මයේ මූලික කරුණු’ පොත වත් කියවලා ඉන්න.
කැමතියිකැමතියි
හොයාගෙන කියවන්න ඕන… මේ දවස්වල ටිකක් කියවෙනවා අඩුයි… ඔබ කියපු දේවල් හරි… අභිධර්මය කියන දේ තේරුම් ගන්න ඒ ගැන මට නම් සෑහෙන හදාරන්න වේවි…
බොහොම ස්තූතියි මඟ පෙන්වීමට….
කැමතියිකැමතියි
කියවල තේරුම් ගත හැකි අයට ඉතාමත් වටිනා ලිපියක්.මිත්‍ය මත දරන අයට කියවල තේරුම් යන්නෙම නැත්නම් පව කියල තමයි කියන්න තියෙන්නෙ.
කැමතියිකැමතියි