2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?………………..


හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න…… එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න…. ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය… දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ?

කොහොම වුනත් දිවයින ඉරිදා පුවත්පතේ වූ මෙන්න මේ පුවත දැකීමෙන් මට මේ ලිපිය ලියන්න සිතුනා. ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. මේ ලිපිය ඉදිරියේ පළ වන ලිපි පෙළක ආරම්භය පමණයි… මේ ලිපි පෙළ පළවනතුරු මම බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා… මොකද කියනවා නම් මේ වගේ රැඩිකල් අදහසක හොඳ – නරක බලන්න වෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා අවසාන වුනාට පස්සෙයි… සමහරවිට හොඳ වෙන්න පුළුවන්… ඒත්……..

බුලිත ප්‍රදීප් කුමාර විසින් ලියූ මේ වටිනා ලිපියෙන් කියැවෙන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කිරීමට මම කැමතියි.

“එබඳු විශේෂඥ දැනුමක්‌ ඇති පෝෂණ වේදියෙක්‌ පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක්‌ මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය. 

බිත්තරවල කොලස්‌ටරෝල් නෑ… බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රෝටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි… ඔහු කීවේය.

බිත්තරවල කොලෙස්ටරෝල් නැද්ද ? 

8ef4a9165db4ab55305e8978e599578fසාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 186 ක් පමණ ඇති බවයි බටහිර ජීව රසායන විද්‍යාව අනුව  සොයාගෙන තිබෙන්නෙ… ඒ කහමදයෙයි… සුදු මදයේ කොලෙස්ටරෝල් නැහැ.. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300 ක් අඩංගු ආහාර අනුභවයට ගත හැකියි… නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්… ඒ එසේ වුවත් අනෙක් පැත්තෙන් බිත්තරවල මේ කියන කිසිම අගුණයක් නැති බවත් පැවසෙනවා. මේ ලිපිය බලන්න. එසේම ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නෙත් බිත්තරව නිසි පරිදි ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවක්.. පෙරදිග විද්‍යාව මෙයට වඩා වෙනස්… ආහාර සමබලව ලබා ගැනීමෙන් සහ කොලෙස්ටරෝල් නසන ආහාර සමඟ කොලෙස්ටරෝල් ඇති ආහාර සමබර කිරීමෙන් බිත්තර වුවත් ආහාරයට ගත හැකියි. එසේම මේ කුමන ආහාරය ගත්තත් නිසි ව්‍යායාමයක හෝ ඇඟ වෙහෙසා කෙරෙන කටයුත්තක නිරත නොවන්නේ නම් අද කාළයේ දින චර්යාව අනුව රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි..

කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි….

කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක්‌ නැහැ. මොන හාලත් අගුණයි.

මේ වාක්‍ය දෙකෙහි සම්බන්ධතාවය කුමක්ද ? පිටි වශයෙන් ගත් කළ හාල්පිටි කුරක්කන්පිටි ගුණ බවත්, කුරුට්ට නැතිනම් හාල්  අගුණ බවත් හෙතෙම පවසනවා.. මෑතක් වනතුරුම කුරක්කන්පිටිවල ඇති ගුණ පිළිබඳ බහුලව කතා කෙරුණා. දියවැඩියා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ටත් ආහාර සැකසීමේදී කුරක්කන් පිටි භාවිතා කරන ලෙස අනන්තවත් වෛද්‍ය උපදෙස් වලින් අසන්නට දකින්නට කියවන්නට ලැබුණා. හාල්වල කුරුට්ටේ අධික විටමින් ප්‍රමාණයක්, තන්තු ප්‍රමාණයක්, සහ පෝෂණගුණයක් අඩංගු බව සැම දෙනාම දන්නා කරුණක්. ඒ නිසාම තමයි කැකුළුහාල් ආහාරයට ගැනීම ප්‍රචලිත කරන්නෙ…  නමුත් හාල් අගුණ වෙලා පිටි ගුණවත් වෙන්නෙ කොහොමද කියා මම දැනගන්නත් කැමතියි.

කුකුළු මස්‌ ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්‌.

කුකුළුමස් නිසි පරිදි සැකසෙනවා නම් කිසිදු අගුණක් නැතුව ඇති. නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. මේ නිසාම ඔවුන් ඉතා ඉක්මනින් වැඩෙනවා. කුකුළුමස් සැකසීමේදී අධික උෂ්ණත්‍වයකදී මේ හෝමෝන සහ බෙහෙත් වර්ග විනාශ වී යා හැකි බවට මතයක් ඇතත්, එය කෙතරම් සත්‍යද කියන්න සොයා බැලිය යුතු වෙනවා. නමුත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන කරුණක් නම් දැනට වසර විස්සකට පෙර ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමේ සාමාන්‍ය වයස වූ අවුරුදු 13-15 ත් අතර කාළය අවුරුදු 11-12 අතර කාළය දක්වා පහළ ගොස් ඇති බවයි. (මේ සඳහා පැහැදිලි දත්ත මා සතුව නැතත්, ලංකාවේ වෙසෙන මගේම ඥාතීන් සහ මිතුරු මිතුරියන්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ වයස ප්‍රමාණය ගණන් බැලූ බව සලකන්න)

කොහොම වෙතත් අධික කුකුළුමස් අනුභවය ශරීරයටත් පසුම්බියටත් අහිතකර බව නොකියාම බැහැ…

මේ ආහාර පිළිබඳ මගේ දැනීමෙන් ලියැවුන ලිපියක්… නමුත් මට වඩා මේ ගැන දන්න බොහෝ දෙනා මේ ලිපි කියවන බව මා දන්නවා.. මේ කරුණු සඳහා  පක්‍ෂව හෝ විපක්‍ෂව ඕනෑම කරුණක් ප්‍රතිචාර වශයෙන් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා. එය ලිපියට අදාල නම් නොපමාව එය පළ කෙරෙනවා ඇති.

“බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක්‌ 30 ක්‌ අතර පමණක්‌ බව කීවේය.”

කෙසේ වුවත් දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ මේ සුප්‍රසිද්ධ පෝෂණවේදියාගේ රැඩිකල් ප්‍රකාශ මොනවාද යන්න මා නම් හොඳින් ඇසගසාගෙන සිටිනවා. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න පමණයි. ඒ ලිපි සියල්ල පළ වූ පසු මේ ලිපියේ පසු විපරම ඔබට දැනගන්නට ලැබේවි… අපි බලමු ඒ විද්වතාගේ මතය කුමක්ද කියලා…

ඒත් ? ඊට පෙර… ඔබේ මතය කුමක්ද ?

Advertisements

Posted on ජනවාරි 27, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. //නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්… // මේක බටහිර විද්‍යාවේ මතයකට වඩා විසල් බිත්තර ව්‍යාපාර වලට අකමැති අයගෙ දේශපාලන සල්ලි වලට කහින මතයක්. ඇමෙරිකාවේ බිත්තර කර්මාන්තය ඒ මතය දුරු කරන්න සෑහෙන්න වෙහෙසෙනවා. වැඩි විස්තර සඳහා කියවන්න: http://www.incredibleegg.org

    //නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. // මෙය විසල් කුකුල් මස් ව්‍යාපාර වලට අකමැති අයගේ දේශපාලන සල්ලි වලට කහින මතයක්. වැඩි විස්තර සඳහා කියවන්න: http://www.youtube.com/watch?v=Qe5CTjtAW70

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන්නට කහින අය තමයි අනික් මිථ්‍යාවේ ද පුරෝගාමින්. ඒත් සත්‍යය විද්‍යාත්මකව පෙන්නපු එක්කෙනා ගැන වැඩිය කිසිවෙක් දන්නේ නැහැ!!! මම ලියපු “ළමයි හදන්නේ කොහොම ද?” පොතේ පිටු 30-31 මම දරුවන් ඉක්මණින් වැඩිවිය පැමිණීම ගැන ලියා තියෙනවා. වැඩිවිය පැමිණීම ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ මවගෙන් සහ ආච්චිගෙන් ලැබෙන ජානු මත. පෝෂ්‍යදායී ආහාර ද ඊට යම් දුරකට හේතුවෙනවා. සාගතයක් ඇති කාලයක ඔවුන් දරුවන් බිහිකරන්න හැකි වැඩිවිය පැමිණීම පමා කරන එක ලෝක ස්වභාවයක්. 1830 සිට 1962 දක්වා දරුවන්ගේ වැඩිවිය පැමිණීම වේගවත් වෙලා තියෙන්නේ වයස 17 සිට 12.8 දක්වා පමණයි. දශකයට මාස හතරකින්. ඒත් 1962 සිට 2013 දක්වා අනතුරුව වැඩිවීමක් දකින්නට නැහැ. J. M. Tanner හැදූ Tanner Scale ගැන කියවන්න: http://193.146.160.29/gtb/sod/usu/$UBUG/repositorio/10310474_Tanner.pdf
    මෑතක නිකුත් වූ තවත් පොතක්: The Curse: Confronting the Last Unmentionable Taboo: Menstruation (1999) By Karen Houppert

    //දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ// මේ වාක්‍යය පොඩ්ඩක් විතර දෝෂ සහගත ලෙසින් ලියා තියෙන්නේ. පහත ලිපිය කියැව්වොත් වැටහේවි ඇයි කියලා. දුම්පානය පෙනහළු පිළිකා වලට විතරක් නෙමෙයි තවත් ශරීරයේ අවයව වලට ද අයහපත් ලෙසින් බලපානවා: https://docs.google.com/viewer?a=v&q=cache:rp-qZfcpLxkJ:legacy.library.ucsf.edu/documentStore/a/m/f/amf91e00/Samf91e00.pdf+doctors+who+say+cigarettes+don't+cause+cancer&hl=en&gl=us&pid=bl&srcid=ADGEEShgSsc99mvYekec3PapvqK3zAHmuAunCky6VgzlkEkTBKek5dIJmi_CSfOh6fkqNP_TZ1U3BqcPVPHmm2k1fy9Z7pQ6_fai-SMisZbKIw9YOYhaJl1ZKZvfm-BK-g8m-FJoOqzW&sig=AHIEtbREGiyD7TBNNPmyuh4p_2ATQpvFXQ

    • හැම මතයකම තුන්පැත්තක් තියෙනවා. ඔබේ මතය – මගේ මතය සහ නිවැරදි මතය. මේ නිවැරදි මතය කියන දේ තීරණය වෙන්නෙ බොහෝ විට අපි ඉන්න තැන අනුව.
      හැම කරුණකටම පක්‍ෂවත්, විපක්‍ෂවත් කරුණු දක්වන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. මේක ඇත්තෙන්ම ලොකු ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් කාළයක් තිබුණා පොල්තෙල්වල කොලෙස්ටරෝල් තිබෙනවා කියලා කන්න එපා කියපු. ඉන්පසුව කාළයක් ආවා පොල්තෙල් ගුණයි කියපු…
      මේ සියල්ල තීරණය වෙන්නේ වෙළඳපොළ ප්‍රචාරණයෙදි අදාල පාර්ශවය කොයි තරම් ඉදිරියෙන් ඉන්නවද කියන කාරණය මත.
      දුම්පානය පෙනහළුවලට පමණක් නොවෙයි වෙනත් දේ වලටත් බලපානවා. නමුත් මා මෙතැනදී ගත්තෙ එක් උදාහරණයක් පමණයි.
      කරුණු පැහැදිළි කිරීම් වලට තුති.

      • නිවැරදි මතය නිවැරදියි, ඉන්න තැන අනුව වෙනස් වෙන්නෙ නැහැ. ඉන්න තැන අනුව එය නිවැරදියි කියල පිළිගන්න එක හෝ නොපිළිගන්න එක වෙනස් වුනාට.

        හැම කාරණයකටම පක්ෂ, විපක්ෂ කරුණු දැක්වූවාට යමක සත්‍යතාවය ද වෙනස් වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ සත්‍යතාවය ගැන අපි කොතරම් කාරණා දන්නවා ද යන්න මත. උදාහරණයක් වශයෙන් දුම්පානය පෙනහළු පිළිකා වලට හේතුවක් නොවන්නේ යැයි බටහිර වෛද්‍යවරුන් 1950 ගණන් වල දී කිව්වා යැයි ලියද්දී ඔවුන් ලියූ ඉහත ප්‍රතිචාරයට අමුණා ඇති සබැඳියක් අනුව පෙනෙන්නේ අධ්‍යයන අවසන් නැති බැවින් ශරීරයේ බොහෝ අංගයන්ට අහිතකර බවක් ද ඇති නිසා ඒ ගැන විශේෂ පර්යේෂණ අවසන් වෙනතෙක් ඉන්න යැයි ඔවුන් ඉල්ලු සැටියි. තම පැත්තට ලකුණු දාගන්න සංදර්භයෙන් කොටසක් විතරක් අරගෙන පෙන්වන අය ඉන්න බව අමතක නොකරන්න. දුම්කොළත් අගුණයි බුලත්කොළ වගේම. නව රසායන ප්‍රතික්‍රියා වලින් සොයාගත් බෙහෙත් නවොත්පාදනය කරන්නට පෙර දුම්කොළ තුවාල සුව කරන පිටතින් දාන බෙහෙතක් ලෙසින් පාවිච්චි වුනා. අයෙකුට ඇති සමේ අසාත්මිකතාවයක් නිසා වෙන කෙනෙකුට විසක් නොවන්නක් එයාට විසක් වෙන්න පුළුවන්. ඉතින් අයෙක්ගේ තුවාල සුව වූ පමණින් හැමෝටම එය එසේම සිද්ධ වෙනවායි කියන්න ද බැහැ. ඊට වඩා අතුරු ඵල විපාක වලින් අඩු වූ ප්‍රතිකාරයක් සොයාගත් සැනින් එය භාවිතය යනු මිනිස් සංහතියේ දියුණුවයි. එයින් කියන්නේ කළින් දැන සිටි තතු වල හෝ විද්‍යාවේ වැරැද්දක් නෙමෙයි, ඒවායේ තිබි අසම්පූර්ණත්වය. නව තතු පහදා ගැනීම මඟින් නිවැරදි කුමක් දැයි සොයාගැනීම තමයි විද්‍යාවේ ආශ්චර්යය. ඒකෙන් කියන්නෙ අද සත්‍යයක් හෙට අසත්‍යයක් වෙනවා කියලත් නෙමෙයි. ඒකීය මිනිසා යනු සංකීරණ සත්වයෙක්. ඌට සුවිශේෂී නිර්දේශ හදන එක ලේසි නැහැ!!

        මේ සියල්ල තීරණය වෙන්නේ ප්‍රචාරණයේ දී වෙළඳපොල තරඟය ජයගන්න අදාල පාර්ශවය කොතරම් කරුණු ඉදිරිපත් කරනවා ද කියන කාරණය මත නෙවෙයි. සියල්ල තීරණය වෙන්නේ ඒකීය පාරිභෝගිකයා ගන්නා තීරණය කුමක් ද යන්න මත. බහුතර සමාජය දකින්නේ ප්‍රචාරණය නිසා බලපෑමට ලක්වෙන පාරිභෝගිකයා යමක් මිල දී ගන්නට පෙළඹෙන බවක්. ඒත් අයෙක් බිත්තර කන්න, කුකුල් මස් කන්න, සහ සිගරට් බොන්න කැමැත්ත දක්වන්නේ ප්‍රචාරණයෙන් පෙළඹී හෝ නොදන්නාකම නිසා නෙවෙයි. පොඩ්ඩක් හිතන්න, ඔබාමා සිගරට් බොන්නේ අවදානම නොදැන ද?!!!!

        //යමක් හිතලා බලලා තේරුම් අරන් ක්‍රියාත්මක කරන එක පුද්ගලිකව පාඨකයාට භාරයි.// මේක තමයි වඩාත්ම වැදගත් ඇල්කෙමියා මල්ලි. අද බහුතරයක් හැම දෙයක්ම තව කවුරුන් විසින් ඒකීය පුද්ගලික ජීවිතයට සරිලන සේ සකස් කරලා පිරිනමන තෙක් බලා සිටින්න හුරු වෙලා, තනිවම හිතලා බලන හුරුව නැතිව ගිහින්. ඉතින් ඉහත ඔයාගේ පාඨය අපි හැමෝම දැන සිටිය යුත්තක්, කළ යුත්තක් යන්න නැවත නැවතත් කියන්න වෙලා!!!!!

  2. ඕනෑම දෙයක් අධිකව පාවිච්චිය කිසිවෙකුට හිතකර නැහැ නේද?

  3. එම ලිපිය මමත් කියවල පුදුම හිතුන.දිනකට බිත්තර 4ක් 5ක් කෑවොත් මොකද වෙන්නේ? ඔහුට ලියන්න තිබුන වයස් සීමාවන් සහ ලෙඩ රෝග තිබෙන අය දිනකට ගතයුතු ආකාරය පැහැදිලි කරලා. මමනම් සමහර දිනවල උදේ ආහාරයට දරුවො දෙන්නට පාන්/සලාදයක් සමග තැම්බූ බිත්තරවල කහමදය ඉවතකරලා තමයි දෙන්නෙ.සමහර වෙලාවට ඉවත් කරපු කහමදයක් පුතානම් ගිලිනව.මේ කෑමත් හොදද කියල බලන්න.
    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

  4. ඇල්ගේ MSG ලිපියත් මේ වර්ගයේම නේද? දැන් අපි වාගෙ අවශේෂ උදවිය මේ ගැන යමක් කියන්න පෙර ඇල්කෙමිස්ට් කෙනෙක් වල අපේ ඇල්ගේ මතය මොකක්ද මේ එක් එක් මාතෘකාව ගැන?

    • මේකයි හෙන්රි… මම කරන්නෙ කරුණු දක්වන එක… යමක් හිතලා බලලා තේරුම් අරන් ක්‍රියාත්මක කරන එක පුද්ගලිකව පාඨකයාට භාරයි.
      MSG ගැන මගේ පුද්ගලික අදහස – ආහාර රස කරන්න කියලා අමුතුවෙන් දේවල් දාන්න ඕන නෑ… අපේ තියෙ කුළුබඩු නිසි ප්‍රමාණයට කවලම් කරලා ගත්තාම අවශ්‍ය රසය ඕනවටත් වඩා වැඩියෙන් එනවා. ඒ වගේම රසායනඥයෙක් වශයෙන් මම අනුමත කරන්නෙ නැහැ වෙනත් රසායන ද්‍රව්‍ය අනවශ්‍ය විදියට ඇඟට දා ගන්නවට… මේ මගේ මතය.

      මේ ලිපිය ගැන – මමත් බිත්තර කනවා. නමුත් ගානකට, සතියකට බිත්තරයක් දෙකක් කැවෙනවා. ඒ මගේ Metabolism එක අනුව, මට වඩා අඩු Metabolism එකක් තියෙන කෙනෙක් මම කන ගානට බිත්තර කෑවොත් ලෙඩ වෙනවා. මේ නිසා ලිපියක කියන්න බැහැ බිත්තර කෑම ගුණයි/අගුණයි කියන එක. (දැන් කියන්න එපා මම ප්‍රධාන ලිපියෙන් අපගමනය වෙනවා කියලා) නමුත් බිත්තරවල තිබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය ගණන් බලලා තියෙද්දි කෙනෙකුට කියන්න බැහැ බිත්තරවල කොලෙස්ටරෝල් නැහැ කියලා. ඒක පාඨකයා නොමඟ යැවීමක්.
      ඒ වගේම දැන් දැන් හැම ආහාර ද්‍රව්‍යයටම කල්තබාගන්න මැලතියන්, ෆෝමලීන් වගේ ද්‍රව්‍ය කඩකාරයා විසින් එක් කරද්දි අපි බොහෝ සැලකිළිමත් වෙන්න ඕන අපි කන කෑම ගැන…
      ජර්මනියෙ බොහෝ මිනිස්සු ගන්නෙ ස්වභාවිකව ගොවිපළවල ජීවත්වෙන කුකුල්ලුන්ගෙ මස්… එය අනෙක් මස් වලට වඩා තරමක් මිලයි. නමුත් වැඩි මිලක් දීලා මිනිස්සු ඒ මස් ගන්නෙ තමන්ගෙ සෞඛ්‍යය ගැන සිතලා. ඒ වගේම මෙහේ මිනිස්සුන්ට ලෙඩ අඩුයි. එයට වෙන හේතුත් බලපානවා.

      පිළිතුරෙන් සෑහීමකට පත් වෙන්න බැරිනම් අපි දිගටම තර්ක කරමු… ප්‍රශ්නයක් නෑ..

  5. ඕනම කෑමක් කෑවට අවුලක් නෑ මහන්සි වෙලා තමන්ගේ වැඩ තමන්ම කර ගන්නව නම් අනුන්ට කියන්නෙ නැතුව. අපේ මිනිස්සුන්ට තියෙන හීනමානය නිසා ගේ දොර අතුගාන්නෙ නෑ, වත්තෙ පිටියෙ වැඩක් කරන්නෙ නෑ, උයන්නෙ පිහන්නෙ නෑ.. ඉතින් ලෙඩ තමයි. මහන්සි වෙලා වැඩ කරනවා නම් එක ලෙඩක් වත් නෑ. සෝබනේට උයන් වතුවල ඇවිදින්න ඕන නෑ. මේ ඔක්කෝම බොරු සෝබන.

    • ඉස්සර කාලෙ මිනිස්සු බොහෝ දේවල් කෑවා බිව්වා… නමුත් හොඳට මහන්සි වෙලා වැඩ කළා… බොහොමයක් කෑවෙ බිව්වෙ වත්තෙ පිටියෙ වවා ගත් එළවලු පළතුරු… වස විස අඩු කෑම…
      මෙන්න මේ ජීවන රටාවෙන් පිට පැන්නාම කාට කාටත් ලෙඩ වැඩි වෙනවා… දැන් මහ ලොකුවට ග්‍රීන් ලිවිං කියලා කිවුවට අවුරුදු 20-30 කට ඉස්සර ලංකාවෙ තිබුණෙ ග්‍රීන් ලිවිං කියන එක හැමෝටම අමතක වෙලා…

  6. සර්ප විශ ගිල්ලට මැරෙන්නේ නැහැ. සමහරවිට කුකුළන්ගේ ඇඟේ තියෙන හෝමෝනත් අහාරයට ගත්තට රුධිරයට එකතුවෙන්නේ නැතුව ඇති.

  7. සමහර දේවල් වල නව සොයාගැනීම් අපි හිතාහිටියාට වඩා ප්‍රතිවිරුද්ධයි කියලා මාත් කියවලා තියෙනවා. නමුත් නව පර්යේෂණ දත්ත දන්නෙ නෑ. ඒ නිසා නිගමනයකට එන්න අමාරුයි. අරුණිගෙ සටහන් වැදගත්. කොහොම උනත් අපි පරණ යුගයට ආපසු හැරනවා නම් හැම දෙයකටම විසඳුම ඇතිබව සහතිකයි. අපි ඉස්සර වැඩකල විදිහට දැන් නැමිලා පොල් ගාන්න වාඩිවෙන්නවත් බැරි එක ගැන මටම ලැජ්ජයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: