2013 ජනවාරි 29 : අත්වැරදීමෙන් බෙල්ල කැපීම….


ගෙදරදී වැටී අතක් කැඩුන අචලා ප්‍රියදර්ශනී නම් නීති ශිෂ්‍යාවගේ අත “වැරදීමකින්” වෛද්‍යවරයෙකු විසින් කපා දමා තිබේ. ඒ වෛද්‍යවරයාගේ නිදහසට කරුණ වී ඇත්තේ ලෙඩුන් 10 ක් බලන කෙනෙකු ලෙඩුන් 100 ක් බලද්දී එවැනි අත්වැරදීම් සිදු වන බවය. ලිපිය මෙතැනින් බලන්න. එසේම එවැනි අත්වැරදීම් ලොව ඕනෑම තැනක සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත… වෛද්‍යවරයෙක් යන උතුම් වෘත්තියට ද නිගාවක් දෙන මෙවැනි අවලම් ප්‍රකාශ කරන නොමිනිසුන් යවන්නේ මොන අපායටද ?

තම අත්වැරදීම (හෝ තම සගයෙකුගේ අත්වැරදීමක්) නිහතමානීව පිළි නොගෙන මෙවැනි උඩඟු කතා දෙසා බාන මන්ද බුද්ධිකයින් ලංකාවේ ඕනෑ තරම් අප දැක ඇත. දියවන්නාව පැත්තේ ඒවාට ඕනෑතරම් උදාහරණ ඇත. මගේ මිතුරන් සෑහෙන ප්‍රමාණයක් වෛද්‍යවරුන් වෙති. සමහරක් ඉතාමත් කරුණාවන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරු වෙති. ලංකාවේ වෛද්‍යවෘත්තිය ඇත්තෙන්ම වගකීම් රහිත වෘත්තියක් වී ඇත. රෝගියෙකු මියගිය හොත් එහි වරද රෝගියාටම පැටවේ. කැපිය යුතු අත වෙනුවට අනෙක් අත කපා ඉවත් කළ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත. ලබා දිය යුතු බෙහෙත වෙනුවට වෙනත් බෙහෙත් ලබා දීමෙන් රෝගීන් මිය ගිය අවස්ථා අනන්තවත් ඇත. රෝගියාගේ ආසාදන තත්ත්‍වයන් සැළකිල්ලට නොගැනීම නිසා එන්නත් ලබා දුන් පසු මියගිය දරුවන්ගේ කතා එමට ඇත… මේ අපේ වෛද්‍ය වෘත්තියේ වගකීම් රහිත ස්වභාවයයි.

අන් රටවල නම් වෛද්‍යවරුන්ගෙන් තම රෝගය පිළිබඳවත් තමාට ලබා දෙන බෙහෙත් වර්ග පිළිබඳවත් සවිස්තරාත්මක වාර්තා ලබා ගැනීමේ අයිතිය රෝගීන් සතුව ඇත. ලංකාවේ එසේ නොමැත. මගේ මවගේ දියවැඩියා රෝග තත්ත්‍වයට සිදු කෙරෙන පර්යේෂණවල වාර්තා සටහන් කරන්නේ කොපි පොතකය. ඇගේ පර්යේෂණ වාර්තා කියවා බැලීම සඳහා සහ මා දන්නා හඳුනන වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විට මට ලැබුණේ කොපි පොතේ ස්කෑන් ඡායාරූප කිහිපයකි. මටම ලැජ්ජය.. වාසනාවකට ඒ වෛද්‍යවරයා ද ලාංකිකයෙකි. අප මොහොතකට නවතිමු… මේ පර්යේෂණ වාර්තා මුද්‍රිත කඩදාසියේ සිට කොපි පොතට පිටපත් කිරීමේදී පිටපත් කරන්නා අතින් කිසියම් වැරැද්දක් සිදු වුවහොත් සිදු වන්නේ කුමක්ද ? මගේ මවගේ ඖෂධ හෝ මාත්‍රා ප්‍රමාණය හෝ වෙනත් රෝගී තත්ත්‍වයක නිසි තොරතුරු වෛද්‍යවරයාට නොලැබීමයි. ඉන් පසු සිදු වන්නේ ඇගේ රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීමයි. දැනටමත් බොහෝ සෙයින් රෝගී වී සිටින ඇයගේ රෝග තත්ත්‍වය උත්සන්න වීමට එක් හේතුවක් වී ඇත්තේ මේ නොසැලකිළිමත් ක්‍රියාකලාපයදැයි මට දැන් සැකයක් පවතී.

මේ එක් කතාවකි. දෙවැන්න..

පසුගිය කාලයක ලංකාවට ගොස් සිටි සමයේ ඇල්කෙමි පැටියාට කැස්සක් හැදී ලංකාවේ පෞද්ගලික රෝහලක සායනයකින් ළමා රෝග වෛද්‍යවරියක් චැනල් කර ඇයට දරුවා පෙන්වූයෙමි. විනාඩි පහක පමණ කාළයකට පසු ඇගෙන් අපට ලැබුණේ ඖෂධ කිහිපයක නම් සටහන් කළ කොළයකි. ඖෂධ ලඟම ඇති ෆාමසියකින් ලබා ගත් අප, නිවසට පැමිණ මේ ඖෂධ මොනවාදැයි විපරම් කර බැලූවේ පැටියා සමහර ඖෂධ වර්ගවලට ඇති ආසාත්මිකතාවය  ගැන දන්නා නිසාමය. වාසනාවකට අප ඒ ඖෂධ පිළිබඳ විපරම් කර බැලූ නිසා සිදු විය හැකිව තිබූ ලොකු අනතුරක් වැලකී ගියේය.. ඒ එකක් ආසාත්මිකතාවය ඇති කරන ඖෂධයක් වන අතර අනෙක වැඩිහිටියන්ට කැස්සට ලබාදෙන ඖෂධයකි. ඊටත් වඩා පුදුම සහගත තත්ත්‍වය වූයේ අවුරුදු 4 ක දරුවාට ලබා දී ඇත්තේ වැඩිහිටියනට ලබා  දෙන මාත්‍රාවම වීමය… කෙසේ වුවත් අප ඒ වෛද්‍යවරියගෙන් ලබා ගත් ඖෂධ ලබා නොදී තවත් දන්නා හඳුනන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ලබාගෙන පැටියා යථා තත්ත්‍වයට ගෙන ආවෙමු.

මේ කතා එසේ වූවත්, මා දන්නා සමහර වෛද්‍යවරුන් ගමේ මිනිසුන්ගෙන් සතයකුදු අය නොකර බෙහෙත් ලබා දෙන බව මා දිනිමි. ස්වල්පයක් දෙනා මෙසේ අවිචාරශීලීව හැසිරුණද, බොහොමයක් දෙනා තවමත් මිනිස් ගති අත් නොහැර සිටින බව ද පෙන්වා දිය යුතුමය. ඔවුහු පිදිය යුතු පිරිසකි….

හොස්ස ළඟින් මැස්සෙක් ගියත් වර්ජනය කරන වෛද්‍යවරුන් සහ විවිධ වෛද්‍ය වෘත්තීය සමිති මේ වැනි අත්වැරදීම් ගැන දක්වන්නේ කුමන ආකල්පයක් දැයි දැනගැනීමට අප පුල පුලා බලා සිටිමු.. අවාසනාවකට රෝගීන්ට වර්ජනය කල නොහැක…

නමුත්… අර අත්වැරදීම් ගැන කතා කරන වෛද්‍යවරයා කොණ්ඩය කැපීමට බාබර් සාප්පුවට නොයා යුතුය… මක් නිසාද යත් බාබර්ට අත්වැරදීමක් සිදු වී බෙල්ල කැපී මිය ගිය යා හැකි බැවිනි..

Advertisements

Posted on ජනවාරි 28, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. අද ලංකාවෙ දේශපාලකයා කියන කැත කතා තත්වයටම ඒ වෛද්‍යවරයාගෙ කතාවත් වැටිල.ඒ කියන්නෙ දැන් අපිවගේ අය බෙල්ලෙ අමාරුවකට බෙහෙත් ගන්න යනවනම් දේපලක් තියෙනවනම් දරුවන්ට ලියල තමයි යන්න වෙන්නෙ.

  2. මේ රෝගියාට compartment syndrome යන තත්වය ඇතිවී තිබේ. එය තදින් දැමු ප්ලස්ටර් එක නිසා මෙන්ම අස්ථි බිඳීමේ සංකූලතාවයක් ලෙස වුවද ඇතිවිය හැකිය. ඇතැම් විට නිසි අවදානයෙන් සිටීමෙන් මෙම තත්වය හඳුනා ගත හැකි වුවද හැම විටම එය හඳුනා ගත නොහැකිය. කොතරම් පහසුකම් සහිත රෝහලක වුවද ඉතා දියුණු රටක වුවද කලාතුරකින් මේ හේතුව නිසා අතක් පයක් හෝ ජීවිතයම් අහිමි විය හැකි අතර එය මෙවැනි අවස්ථාවක ඇතිවිය හැකි හඳුනාගත් සංකූලතාවයකි. මෙහිදී වෛද්‍යවරු සිදු කර ඇති වරද නම් ඉතා කලාතුරකින් හෝ මෙම තත්වය ඇතිවිය හැකි බව රෝගියාට කල්තිය දන්වා consent එක ලබා නො ගැනීමයි. මෙහිදී ඇතැම්විට වෛද්‍යවරුන් අත වරදක් තිබිය හැකි වුවත් කිසිම විමසා බැලීමකින් තොරව වෛද්‍ය වරුන්ට බැන වැදීම අපේ ඇතැමුන් තුල ඇති හීනමානය නිසා සිදුවන්නක් බව මගේ හැඟීමයි. අනෙක් අතට මෙම වාට්ටුවේ වෛද්‍ය වරු මෙවැනි රෝගීන්ගේ අත් පය සහ ජීවිත කීයක් බේරාගෙන ඇත්දැයි නොසිතා එක වරදක් වූ සැනින් අත්‍ කපා දමන්නට කතාකරන්නේ අපේ අයගේ ගෝත්‍රික මානසිකත්වය නිසාය.

  3. අර හිතලම මිනි මරපු පොඩිදරුවන්උඩ දමා කඩුව ඇල්ලු කරුණ අම්මාන්, එතකොට පරාල ඇන ගහපු වුන් ඉන්නේ koheda? එතකොට බටලන්දේ මිනිමරපු අය සහ 89 ටයර් සේයවල් හදපු උන් පාර්ලිමේන්තුවේ.බස් driver ල මිනිමරු විදියට එලවල කවුරු හරි යට කලත් දඩයක් විතරයිනේ.
    මේ රටේ facilities ekka ටිකක් හරි සේවයක් කරන කරන්න උත්සහ කරන පිරිසක් doctors ල දොස්තරලා රෑ නිදිමරාගෙන වැඩකරලා බේරන ජීවිත ගැන no comments. ඒ දොස්ත්ර ල negligent නම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. but when we see how the justice is applied here, I think there is no necessity to worry about it.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: