2012 පෙබරවාරි 03: ඇත්තටම අපි නිදහස් ! අභිමානවත් 65 වන නිදහසට පෙරවදනක්……


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 65 වන නිදහස් දිනය අභිමානවත් අන්දමින් ත්‍රීකුණාමලයේදී සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපතිතුමා ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කරනු ඇත, බාලිකාවියන් ජයමංගල ගාථා ගායනා කර දේවෝ වස්සතු කාලේන ද කියනු ඇත… ලංකාවේ අප සැවොම සියළු කටයුතු පසෙක දමා රූපවාහිනී ඉදිරිපිට දෑස් අයාගෙන මේ ආශ්චර්යය නරඹනු ඇත… නමුත්, ඒ සියල්ල අවසානයේ එක් පැණයක් පමණක් අප සිත් තුළ ඉතිරි කර අප සැවොම යළි පියවි ලෝකයට දමාගසනු ලබනු ඇත…

නිදහස

නිදහස

ඇත්තටම අප නිදහස් ද ?

වසර 1505 න් පසු  ලක්දිව  යටත් විජිතයක්ව පැවතුනි. මුලින්ම පෘතුගීසීන් ද, දෙවනුව ලන්දේසීන් ද, අවසන ඉංග්‍රීසීන්ද අප රට යටත් විජිතයක් කරගෙන පාලනය කළහ. ඒ සමයේ ඔවුන් අපෙන් ලබාගත් අනන්තවත් වස්තූන් වෙනුවට අපට මාර්ග පද්ධතියක්, පොතක ලියැවුන නීතිරීති පද්ධතියක්, දුම්රිය මාර්ග සහ විධිමත් ප්‍රවාහන පද්ධතියක්, සැලසුම් සහගත රාජ්‍ය ආයතන පද්ධතියක්, ආදී දෑ නොලැබුණාය කිවහොත් එය මහා කුහක කමකි. එසේම ඔවුන් අප රටෙන් පිටව යද්දී ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව ක්‍රියා කරන කළු සුද්දන් සමූහයක්ද ඇතිකර ගිය බව බොහෝ දෙනාගේ අදහසයි… 1947 දී ඉන්දියාව නිදහස ලබද්දී,  ඉන්දියාවෙන් ඉවත් වූ සුද්දාට ලංකාව පාලනය කිරීමට අමතර උත්සාහයක් දැරිය යුතු විය. කලාපයේ ඉංග්‍රීසි ආධිපත්‍යය පතුරවා ගැනීම අත්‍යවශ්‍ය නොවුන නිසාත්, ඉන්දියාවෙන් තමන් අයින් වුන නිසාත්, කරදරයකින් තොරවම සුද්දා ලංකාවට ද නිදහස ලබා දුන්නේය. මේ නිසාම අපි කිසිදු අරගලයකින් තොරව නාම මාත්‍රික නිදහස ලබා ගතිමු. ඉන් අනතුරුවද 1972 වනතුරු අපට පූර්ණ නිදහසක් ලැබුණේ නැත… අවසන 1972 දී අප ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වීමු.. ඒ අපේ නිදහසේ අතීතයයි.

ඉන් වසර 41 ක් ගිය තැන අප කොතැනද ? 1977 දී අප රටට හඳුන්වා දුන් පූර්ණ විවෘත ආර්ථිකයේ බලමහිමයෙන් අපට අවශ්‍ය සහ අනවශ්‍ය සියල්ල ලැබී ඇත.. ආර්ථිකය විවෘත වීමත් සමඟම ලෝකය අපටත්, අප ලෝකයටත් විවෘත වීමු. එතෙක් කල් අර්ධ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් මත යැපුනු අප සියල්ලම පිටරටින් ආනයනය කරන්නට විය. හාල් ඇටයේ සිට රෝල්ස් රොයිස් රථය දක්වා වූ සියල්ල අපි පිටරටින් ආනයනය කරමු.. අප ආර්ථිකව පිටරටට ගැති වෙමු. චීනය, ඉන්දියාව, ඉරානය, සව්දි ආරාබියාව, වැනි ධනවත් බලවත් රටවලට අප ආර්ථිකව ණයගැති වෙමු… ඒ නිසාම අපි ආර්ථිකව දීන ජාතියකි. ඒ දීන බව නිසාම ඒඒ රටවල උවමනාවට අපේ ඇමති මණ්ඩලය වෙනස් කරන්නට තරම් අදීන ජාතියකි අප. දැන් ගණන් බලා ඇති අන්දමට සෑම ශ්‍රී ලාංකිකයෙකුම පිටරටවලට රුපියල් 300,000 ට අධික ප්‍රමාණයක් ණය ගැති ය. මේ ණය එන්න එන්න වැඩිවනවා මිසක් අඩු වීමක් නැත. ඒ අපේ රජය ණය ගනිමින් ආශ්චර්යය කරා ගමන් කරන නිසාවෙනි.

වෙනදා සහලින් පොලින් ස්වයංපෝෂිත වූ අප කේරලයෙන් පොල් ආනයනය කරන තත්ත්‍වයට පත් වී ඇත. මේ තාක් රට කළ ආණ්ඩු සිය මඩි තර කර ගැනීම පිණිසම කළ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා පොල් ත්‍රිකෝණයෙන් වැඩි කොටසක් නිවාස සඳහා වෙන් වී ඇත. යුද්ධයෙන් පසු ජාතික ප්‍රවාහයට එක් වූ  උතුරු නැගෙනහිර ගොවිපොළවලින් එන සහලින් රට ස්වයංපෝෂිත ව තිබිය යුතු නමුත්, නිසි කළමණාකරණය සහ දූරදර්ශී සැලසුම්කරණයේ අඩුවක් නිසා අපට තවමත් සහල් මිලෙහි කිසිදු සහනයක් දක්නට නැත… මේ උදාහරණ දෙක තුනක් පමණි. බොහෝ බඩු භාණ්ඩවල මිලෙන් පමණක් නොව අන්තර්ගතයෙන්ද අප නිදහස් නොමැත. පාරිභෝගිකයා ආහාරයට ගත යුතු දෑ නිර්ණය කරන්නේ වෙළඳ දැන්වීම් සමාගම් ය… ඒඅනුව අප සියළුම දෙනා අහවල් සොසේජස් වර්ගයත්, අහවල් බීම ජාතියත්, අහවල් සබන් ජාතියත් මිලදී ගනු ඇත. අපට තෝරාගැනීම් ඇත… නමුත්, ඒ සියල්ලේ තත්ත්‍වය එකමය… සියල්ලේම ඇත්තේ ජරාවය…

සෞඛ්‍යය අතින් අප ස්වාධින නැත. වෛද්‍යවරුන් අපට නියම කරන බෙහෙතේ ගුණාත්මක භාවය ඖෂධ වෙළඳ නියෝජිතයන් (Medical Representatives) වෛද්‍යවරයාට දෙනු ලබන සංතෝෂම අනුව තීරණය වේ. බෙහෙතේ පිරිසිදු භාවය බෙහෙත් ගෙන්වන පුද්ගලයන්ට අදාල සමාගමෙන් ලැබෙන කුට්ටිය මත තීරණය වේ. ඒ නිසාම අපට යල් පැනගිය බෙහෙත්, ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් මෙන්ම බෝනස් ලෙස වීදුරු කැබලි ඇති එන්නත් කුප්පි ද ලැබේ.. අනාගතයේ ඒ තුළ කැරපොත්තන් ද දැකිය හැකි වනු ඇත.

ආගමිකව සහ සංස්කෘතිකව අප සිටින්නේ නරා වලකය. වසර දහයකට පෙර නොතිබූ හලාල් සංස්කෘතියක් ආහාර පාන සඳහා පැමිණ ඇත. වෙනදා මිල දක්වන ලේබලය දෙස බලා බඩු ගත් පාරිභෝගිකයා අද බලන්නේ එය හලාල් ද නැත්ද යන්නයි. ආහාර නිපදවන සමාගම් 85% ක් දෙනාගේ තෝරාගැනීමේ නිදහස 15% කට අඩු පාරිභෝගික සංඛ්‍යාවක් නිසා අහිමි කර ඇත. සිය නිශ්පාදන හලාල් කළ යුතුම නම් කළ යුත්තේ හලාල් සහ හලාල් නොවන ලෙස අංශ දෙකකින් සිය නිශ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමයි. ආගමිකව අප බලෙන් ආගම් හැදෑරීමට පොළඹවා ඇත. පෙර පැවති ආගමික සහජීවනය වෙනුවට මුස්ලිමුන් බෞද්ධයන් කුපිත කිරීමත්, විවිධ බෞද්ධාගමික සංවිධාන මුස්ලිමුන්ට පහර දීම සහ ඔවුන්ගේ ව්‍යාපාරවලට එළිපිටම පහර දීම වැනි ගුජුප්සාජනක ක්‍රියා කෙරෙහි එළැඹී ඇත.. දෙපැත්තම නිවැරදි නැත.

දේශපාලනිකව කිසිවෙකු නිදහස් නොමැත. ඒ ගැන කතා කිරීමෙන් පළක් නැත. නීතිමය පැත්තෙන් අප කිසිවිටෙක නිදහස් නැත… මුදල් මත නිදහසත් සිරගෙයත් තීරණය වේ. ජනාධිපති තුමා නීතිය සැමට එක යැයි පාරම් බෑවත්, වරෙන්තුකරුවන් නිදැල්ලේ එතුමා සමඟම ඡායාරූප වලට පෙනී සිටීමෙන් එතුමාගේ නිදහසේ අර්ථකතනය ද ජනතාවට පෙනේ.. අපට අවශ්‍ය දේශපාලනඥයෙක් තෝරා ගැනීමේ නිදහස ද අපට අහිමි වී තිබේ. ඒ තමන් සතු මැර බලයේ ප්‍රමාණයෙන් ඡන්දයේ ඉරණම තීරණය කිරීමේ හැකියාව සැමට ඇති බැවිනි.

රූපවාහිනිය බැලීමේ නිදහස වෙලඳ දැන්වීම් වලින් උදුරාගෙන තිබේ. තිරයේ දැක්වෙන රූපරාමු අතරින් වෙලඳ දැන්වීම් බම්ප් වේ… ඒ දැක අපට පිස්සු බම්ප් වේ. වැඩසටහනක් විනාඩි පහක් එක දිගට නැරඹීමේ නිදහස වෙළඳ දැන්වීම් නිසා අහිමි වී තිබේ.  නිදහසේ බස් රථයක යාමේ නිදහස ඩ්‍රයිවර් මහතා සහ කොන්දා විසින් උදුරාගෙන තිබේ. කාන්තාවක් නම් ඇය බස් රථයේ යාමේ නිදහස අවට සිටින ජැක් කාරයන් සහ අඟපසඟ මිරිකන්නන් ගෙන් බේරාගතයුතුව තිබේ. නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමේ නිදහස කප්පං කරුවන් විසින් උදුරාගෙන තිබේ.. එසේත් නැතිනම් යමක් නිදහසේ කරවා ගැනීම අල්ලස් කරුවන් විසින් උදුරාගෙන තිබේ.

අපට කිසියම් නිදහසක් තිබිය යුතුය.. එය වල්බූරු නිදහසක් නොව, නිදහස්ව සිතීමේ, නිදහස්ව කතා කිරීමේ, නිදහස්ව ජීවත් වීමේ නිදහසකි… සමහර රටවල් හා සසඳන විට අපට ඇති නිදහස ගැන අප සතුටු විය යුතුය… නමුත්… වැඩි දියුණු කළ හැකි දේ බොහෝය… පරිපූර්ණ පද්ධතියක වුවද වැඩිදියුණු කළ හැකි තැන් එමට ඇත. There is always room for improvement..

අන්තර්ජාලයේ යමක් කියවීමට ඇති නිදහස බ්ලොග් කරුවන් විසින් උදුරාගෙන තිබේ… උන් නිදහස අර්ථකතනය කරන විදියට අපටත් සිතන්නට පුරුදු කර තිබේ… ඇල්කෙමියා ද එවැනි නිදහස උදුරාගත් එකෙකි.. ඌ පිටරට සිට හිතන්නේ අපට නිදහසක් නෑ කියාය.. නමුත් අපට අවශ්‍ය වෙලාවට අවශ්‍ය යමක් කිරීමේ නිදහස අපේ රටේ ඇත.අවශ්‍ය නම් පයින්ද, බසයෙන්ද, ත්‍රී වීලයෙන්ද, නැතහොත් කැබ් එකකින්ද ගමන් යාමේ නිදහස අපට ඇත. අපට අවශ්‍ය මැක්ඩොනල්ඩ්ස් ද කේ එෆ් සී  ද යන්න තීරණය කිරීමේ නිදහස අපට ඇත. සෞඛ්‍යය බල්ලාට ගියත් ඒවා කෑවෙ නැතිනම් ජීවත් වී කුමටද ? වෙනකක් තබා මිනිහෙක් මරා එහෙම කළ බවට මතකයක් නැති බව ප්‍රකාශ කිරීමෙන්ම දඬුවමින් නිදහස්වීමේ නිදහස අපට ඇත. අපට අවශ්‍ය ගීතයක් ඇසීමේ  අපට අවශ්‍ය පොතක් කියවීමේ නිදහස අපට ඇත.. ගීතයේ ආකෘතිය පොතේ අන්තර්ගතය අපට අවශ්‍ය නැත. කොතරම් වැරදි කළත්, අල්ලස් ගත්තත්, ආණ්ඩුවට පාඩු කළත් අපේ නිදහසේ අපට අවශ්‍ය විදියට සියල්ල කරගෙන යාමේ නිදහස අපට ඇත. සමහරවිට උසස්වීමක් ද ලැබෙනු ඇත.  අපට අවශ්‍ය එකා අවශ්‍ය තැනකට පත් කිරීමේ නිදහසත්  අනවශ්‍ය එකා එක රැයකින් ඉවත් කිරීමේ නිදහසත් අපට ඇත. අපට අවශ්‍ය විදියට පරිසරය විනාශ කරමින් තැන තැන කුණු දැමීම, ජල පද්ධතිය විනාශ කිරීම ආදී සියල්ල කිරීමේ නිදහස අපට ඇත. මිනිස්සුන්ට අවශ්‍ය මෙගා ටෙලියක්ද නැතිනම් චංගුමීද පංචමීද ඉන්දියානු මෙගාවක්ද යන්න ඕනෑම තැනකින් තෝරාගත හැක…  මේ ඇල්කෙමියාට පිස්සුය… ඌට Permanent Head Damage හැදිලාය..

ඇත්තටම අපි නිදහස්ය…..

ඇති හැකි සියල්ලන්ටම සුභ නිදහසක් වේවා !

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 3, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. PHD හදාගත්තාම ඔහොම පේනවා. ඕක අවුලක් ගන්න දෙයක් නෙවෙයි.

    කැමතියි

  2. හිනාවෙනවා ඇර මොනා කියන්නද? ඒ හිනාවෙන්නෙත් අපිටම තමා..

    කැමතියි

  3. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාඩගම සමහරවිට දැන් දහස් වෙනි වරටත් රඟ දක්වා හෝ ඊට කිට්ටු වාර ගණනක් රඟ දක්වා තිබෙනවා විය හැක කොතරම් වාර ගණනක් රඟ දැක්වුවද මේ කතාවේ හැම දාම කඩු පාර කන්නේ මනමේ කුමාරයාය .ආසාවකටවත් කිසි දිනක වැදී රජා කඩු පාර කන්නේ නැත .ඇල්කෙමියාගේ හා මගේ නිදහස් දින නාඩගමත් එසේමය .සෑම අවුරුද්දකම පෙබරවාරි හතර වෙනිදාට හෝ තුන් වෙනිදාට ලංකාවේ සැමරීමට තරම් නිදහසක් අපට නැතැයි ඍජුව හෝ වක්‍රව කියා ඇල්කෙමියා අනිවාර්යයෙන්ම තම දිනපොතේ හෝ මූණ පොතේ ලිපියක් ලියයි .අනිවාර්යයෙන්ම එය සැමරිය යුතු උත්සවයක්ය කියා මම පිළිතුරු ලිපියක් ලියමි .සුපුරුදු පරිදි ඇල්කෙමියාගේ එම වාර්ෂික ලිපිය අද පලකරනු ලැබ තිබේ . මමද සුපුරුදු පරිදි යලි යලිත් මඩේ ඔබන සුදු ඇඳුම සේදීමට හරි බරි ගැසිය යුතුය . .ඇල්කෙමියා පමණක් නොව බොහෝ දෙනා නිදහස් දිනට අපට සැමරීමට තරම් නිදහසක් ඇත්දැයි අසා හාල් ඇටය පොල්ගෙඩිය ලංකාවේ වවාගන්න නිදහසක් නැතිකමක් මෙන්ම ගුණාත්මක බෙහෙත් ද්‍රව්‍යය ලබාගැනීමට අපට තිබූ නිදහස නැතිවී යාම ගැනත් ,හලාල් නැති කෑම ටිකක් කන්න තිබූ නිදහස නැතිවීම ගැනත් රූපවාහිනිය එක හුස්මට බැලීමට තිබූ නිදහස වෙළඳ දැන්වීම් පලකිරීම මගින් නැතිකර ඇති අන්දම ගැනත් බස් රථවල රියැදුරන් කොන්දොස්තර වරුන් හා සල්ලාලයන් විසින් උදුරා ගෙන ඇති නිදහස ගැනත් දිග මැසිවිල්ලක් නගනු ඇත .සමහර විටෙක එයිනුත් ඔබ්බට ගිය සමහරෙක් තමන් නිදහසේ ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බිවු නිදහස නැතිවී යාම සම්බන්ධයෙන් හෝ තමන් එකල නිදහසේ වගා කරගත් කංසා හේන්වලට අද දින පොලිසියෙන් පැනීම සම්බන්දව හෝ මැසිවිලි, ලංකාවේ නිදහස් දිනය සැමරීමේ තේරුමක් නැත යන මාතෘකාව යටතේ නගත හැක . මේ ඕනෑම දෙයක් ගැන [සිගරට් /කන්සා හැර ] මැසිවිලි නැගීම සම්බන්ධයෙන් මගේ විරුද්ධත්වයක් නැත . මා විරුද්ධ වනුයේ එය අපේ නිදහස් දිනය සමග කලවම් කර ගැනීම සම්බන්ධව පමණි .මේ ඉහතින් කියා ඇති සියලුම දේ සඳහා පාවිච්චිකළ “නිදහස ” යන්නෙහි හා හෙට දින සමරණ “නිදහස” යන්නෙහි තේරුම් අතර අහසට පොලව මෙන් විශාල වෙනසක් ඇත .එය හරියට “හිරේ”ගන්න එවුන් හා “හිරේ ” වැටෙන එවුන්ට අදාළ “හිරේ “යන පදයේ වූ වෙනසමෙන්ය [විහිලුවට මොනවා කීවත් ]අප හෙට සමරන්නේ අවුරුදු හාරසිය ගණනාවක් තිස්සේ විදේශකයින් විසින් බලෙන් අල්ලාගෙන පාලනය කරනු ලැබූ අපේ රට පාලනය කිරීමේ බලය එම විදේශකයින් අතින් අප ලක්වැසියන් වෙත දිනා ගැනීමේ නිදහසයි .එසේ නොමැතිව රූපවාහිනී නාලිකා නැරඹීමේ නිදහස හෝ පොල් හාල් වැවීමේ නිදහස නොවේ . කෙසේ වුවද ඇල්කෙමියා නිවැරදිව කියා ඇති පරිදි 1972 දී අත්පත් කරගන්නා තුරු අප රටට පූර්ණ නිදහසක් නොතිබූ බව සත්‍යයකි .කෙසේවුවද එම පූර්ණ නිදහස ලබාගැනීමට අඩිතාලම දමා ගනු ලැබුවේ 1948 පෙබරවාරි හතර වෙනි නිදහස් දිනය දාය .බ්‍රිතාන්‍යයන් ගේ ජාතික ගීය ජාතික කොඩිය පසෙක ලා අපේම ජාතික ගීයක් ගැයීමට හා අපේම අභිමානවත් ජාතික කොඩියක් භාවිතා කිරීමට පුළුවන් කම ලැබුනේ එම දිනයේදීය .ඉතියෝපියාව සෝමාලියාව වැනි කිසිම ආර්ථික වටිනාකමක් නැති රටවල් පසෙකලා ලංකාව ඉන්දියාව වැනි සශ්‍රීක සම්පත් බහුල රටවල් බලහත්කාරයෙන් අල්ලාගෙන කොල්ලකමින් පාලනය කල විදේශිකයන් රටේ බලය ,ස්වදේශිකයන් අතට අසම්පූර්ණව හෝ අවුරුදු හාරසිය ගණනකට පසුව නැවත බාරදෙනු ලැබුවේ එදාය . එම විදේශික පාලනය දිගටම තිබුනානම් හොඳයි කියා සිතන ලාංකිකයන් අදටත් අප අතර වෙසේ . හිට්ලර් දෙවන ලෝක යුද්ධය දිනුවානම් හොඳය කියා සිතන මිනිසුන්ද අදටත් ලෝකයේ වෙසෙති . එසේ වුවද මගේ රටේ නිදහස් දිනය මටනම් වැදගත් ගෞරවනීය දිනයකි .මම කිසිවිටෙක එම දිනය මගේ අනිකුත් සිල්ලර නිදහසවල් සමග කලවම් කර නොගනිමි – — – – !!!! කෙසේ වුවද නිදහස ලැබීමෙන් පසු අද වනතුරු අප රට පාලනය කල දේශපාලන පක්ෂවල අදූරදර්ශී කම් ගැන මගේ කොහෙත්ම පැහැදීමක් නොමැත .එය අපේ දේශපාලඥයන්ගේ වරද මිස ලැබූ නිදහසේ වරදක් නොවේ – – – – – !!!! අපේ රටත් සමගම නිදහස ලැබූ සෙසු රටවල් දිනෙන් දින අභිමානවත්ව දියුණුවෙන් දියුණුවට පානගනුයේ ඒ නිසාය – – – – – !!!!

    කැමතියි

    • මෙවන් අයියගෙ අදහසට මමත් එකඟයි….
      ඒ නිදහස (Freedom) සහ මේ නිදහස (Independence) කියන දෙක පටලවාගන්න හොඳ නෑ තමයි…. ඒත් Freedom නැති රටක (මේ අපේ රට නෙවෙයි) Independence සමරන්නෙ කොහොමද ?
      අපි පමණක් නොවෙයි. බලවත් රටවල් පවා අනිත් රටවල් මත යැපෙනවා… මෙන්න මේ යැපීම අඩු කරගන්නයි අපි උත්සාහ දරන්න ඕන… අපේ රටේ නිපදවාගත හැකි දේවල් තියෙද්දි ඒවා ගැනීමට පිටරට මත යැපීම වගේ දේවල් ගැනයි මම කතා කරන්න උත්සාහ කළේ..

      කැමතියි

  4. මමත් මෙවන් අයියාගේ අදහසට එකඟ වෙනවා…

    කැමතියි

  5. >>අන්තර්ජාලයේ යමක් කියවීමට ඇති නිදහස බ්ලොග් කරුවන් විසින් උදුරාගෙන තිබේ… උන් නිදහස අර්ථකතනය කරන විදියට අපටත් සිතන්නට පුරුදු කර තිබේ…<<

    මේක තමයි මගේත් බොක්කට වැදුනෙ ඇල්. දැන් කියන්න යන හැමදේම වාරනය කරන්න වෙලා තියෙන්නෙ නයි නොවෙන්න, අන්තවාදී නොවෙන්න වගේ කැටිගරි ගොඩකින්. පස්සෙ කියන්න බැරි නිසා අතාරලා දාපුවා වැඩියි වාරණය කරලා හරි කියන්න පුලුවන් දේට වඩා.

    කැමතියි

    • දැන් ඉතිං 80% ක් ගොසිප්, 5% ක් මඩ, 5% ක් කතා, ඉතිරිය ටිකක් වැදගත් යමක්… මටත් කියවන්න කියලා තියෙන්නෙ බොහොම ටිකයි… මම ඉතිං ලෝකෙ වටේ හැම දේම කියවන නිසා මට නම් ඒ තරම් අඩුවක් දැනෙන්නෙ නැහැ…
      නමුත් ඇත්ත, ගොඩක් දෙනෙක් බලන්නෙ Hits,.. ඒ නිසාම Quality එක යට යනවා…

      කැමතියි

  6. අවුරුද්දකට සැරයක් තලු මරන නිදහසක් අපට තියෙන්නේ. ඒක නිකම්ම නිකම් වචනයක්. බඩු මිළ අහස උසට….තව අළුතින් ඇමති වරුත් පත් කරල..අපේ රට එකම විකාරයක් වෙලා. මෙහෙම ගිහින් නතර වෙන්නේ කොහේද ? හෙට අනිද්ද රුපියල් 100000 නෝට්ටු අච්චු ගහයි. අපිට ගොඩ ඒමක් නෑ. තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ආයෙම රට සුද්දට යනව නම් මම කැමති. ඒක තමා මම දකින එකම විකල්පය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: