ප්ලාස්ටික් බෝතලේ සැඟව එන බිස්ෆිනෝල් ඒ, Bisphenol A (BPA) ඇත්තටම මාරාන්තිකද ?
වාසනාවකට (හෝ අවාසනාවකට) සාමාන්‍ය ලාංකිකයා රසායන ද්‍රව්‍ය පිළිබඳ දක්වන අවධානය ඉතාම අල්පය. මූලික වශයෙන්ම සාමාන්‍ය ජනතාවට රසායන විද්‍යාව පිළිබඳ ඇති දැනුම අවම නිසා සහ මාධ්‍ය මඟින් වුවද රසායනික ද්‍රව්‍ය පිළිබඳව නිවැරදි ආකල්පයක් ජනතාව වෙත නිසි සංනිවේදනයක් නොවන නිසාම සාමාන්‍ය ජනතාවගේ අවබෝධය අවම මට්ටමක පවතී. මේ නිසාම කිසියම් පුද්ගලයෙකු රසායන ද්‍රව්‍යයක් පිළිබඳ යමක් කී පමණින් ජනතාව කළබල වීම හෝ වැරදි ආකල්ප ඇති කරගැනීම සිදු වේ. පසුගිය කාළයේ ආසනික් අඩංගු සහල් පිළිබඳ කළබලය, සහ නෝලිමිට් ආයතනයෙන් ලබාදෙනු ලබන ටොෆි වර්ගය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා හොඳම උදාහරණ වේ. දැන් දැන් විවිධ පලාත්වලට ඇද වැටෙන උල්කාපාත සහ විවිධ වර්ණ වැසි පිළිබඳ ඇති අනවබෝධය ද ලාංකිකයා විද්‍යාත්මකව කෙතරම් පසුපස සිටිනවාද යන්න පිළිබඳ මනා සාක්‍ෂි වේ.
බිස්ෆිනෝල් ඒ යනු කුමක්දැයි ලාංකික ගෘහණියකගෙන් විමසුවහොත් ඔවුහු ඒ පැනයම පෙරළා අපෙන් අසනු ඇත. බටහිර රටවල ගෘහණියෝ මේ පිළිබඳව තරමක හෝ අවබෝධයක් ලබා ඇත්තේ බටහිර මාධ්‍ය සහ අන්තර්ජාලයට පින්සිදු වන්නටය… එසේවතුදු, ඔවුන් ද විවිධ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර අනුව සිය අදහස සකසා ගනිති. ඕනෑම කාරණයකට සිවු දිශාවකින් අවතීර්ණ විය හැකිය.
- ඒ කාරණයට එකඟ වීම
- ඒ කාරණයට විරුද්ධ වීම
- මධ්‍යස්ථව සිටීම හෝ
- කිසිදු අදහසක් නොමැති වීම
එසේ ගත් කළ බිස්ෆිනෝල් ඒ (මින් පසු BPA ලෙස හඳුන්වමු) ගත් කළ සමහරක් මව්වරු මාරාන්තික රසායන ද්‍රව්‍යයක් යැයි හඳුන්වා දෙන අතර රසායනද්‍රව්‍ය නිශ්පාදන සමාගමකින් අසන ලද කල්හි, එය එසේ නොවේ යැයි සඳහන් කිරීමට පුළුවන. BPA වලට විරුද්ධව ක්‍රියා කරන කල්ලියක මතය වන්නේ එය ඉතා අහිතකර වන බවයි. විද්‍යාඥයින්ගෙන් විමසුවහොත් ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ඒ පිළිබඳ පැහැදිලිව යමක් පැවසිය නොහැකි බවයි. මේ BPA පිළිබඳ ඇත්ත තත්ත්‍වයයි.
BPA සෞඛ්‍යයට අහිතකර නම් එය ලෝකයේ මෙතරම් භාවිතා වන්නේ ඇයි?. BPA මෙතරම් වැදගත් වන්නේ එය ඉතාමත් පහසුවෙන් නිපදවාගත හැකි මෙන්ම භාවිතයට ගත හැකි රසායන ද්‍රව්‍යයක් වන නිසායි. BPA නිපදවාගන්නේ ඉතාම ලාභදායී අමුද්‍රව්‍ය දෙකක් වන ඇසිටෝන් සහ ෆීනෝල් යන සංයෝග දෙක එකට දෙක අනුපාතයෙන් ආම්ලික මාධ්‍යයකදී ප්‍රතික්‍රියා කරවීම මඟිනි.
මෙසේ ලබා ගන්නා BPA අවර්ණ, අවශ්‍ය පමණට තදගතියක් ලැබෙන, බහුකාබනේට සංයෝගයක් වන අතර එය එපොක්සි රෙසින තැනීමට වැදගත් වේ. මේ වනවිට BPA ලෝකයේ බහුලවම භාවිතාවන සංයෝග කිහිපයෙන් එකක් වන අතර එම කර්මාන්තය ඩොලර් බිලියන ගණනක ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත් වී හමාරය. මේ BPA වතුර බෝතල්, සංයුක්ත තැටි, ජංගම දුරකථන, වාහන කොටස්, වෛද්‍ය උපකරණ, ආදී මෙකී නොකී සියල්ල තැනෙන මූලික ඒකකය බවට පත් වී හමාරය. යුරෝපයේ පමණක් වසර 2007 දී BPA කර්මාන්තය යුරෝ බිලියන 37 ක් වටිනා සහ රැකියා 550,000 ක් ලබා දී ඇති ව්‍යාපාරයක් ව ඇත.
BPA වල ඇති වාසිය එය පාරදෘශ්‍ය වීම පමණක් නොවේ. එය අනෙක් ප්ලාස්ටික් ද්‍රව්‍ය වලට වඩා කල්පැවැත්ම, නොබිඳෙනසුළු වීම, සැහැල්ලු බව, තාපස්ථායීතාවය වැනි ගුණාංග නිසා අනෙක් ප්ලාස්ටික් බහු අවයවික වලට වඩා ඉදිරියෙන් සිටී. එසේම ආහාර කෑන්, බෝතල් සහ ජලනල ආදියෙහි ඇතුලත ස්ථරය ලෙස BPA විසුරවීම (Spraying) කිරීමට භාවිතා වේ. අනෙක් බහු අවයවික (Polymers) මෙන් නොව BPA වල ඇති මේ සුපිරි ගුණාංග නිසා සිය තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව ඔබට හැඟෙනු ඇත… නමුත් BPA හි ඇති එක අවාසියක් මේ සුපිරිබවට හරහට සිටී. එනම් බහුඅවයවික ඒකක (Monomer) වලින් බහුඅවයවික තැනීමේදී ඉතා සුළු BPA ප්‍රමාණයක් මේ මහා අණු අතර පැතිර පවතී. මේ නිදහස් BPA අණු පසුකාලීනව කෙමෙන් කෙමෙන් ඒ තුළින් රිංගා ගොස් නිදහස් වේ. විශේෂයෙන්ම අදාල භාණ්ඩය හෝ උපකරණය රත් වීමේදී මේ නිදහස් වීම වැඩි වේ. මේ BPA අන්තරාසර්ග පද්ධතියේ විසංකූලතා ඇති කරයි. මෙය BPA හි සුපිරිභාවයට එල්ල කරන මරු පහරකි.
සුපිරි පුද්ගලයින් පිටුපස කුමන්ත්‍රණ, මඩප්‍රචාර වැනි දෑ හඹා එනවාක් මෙන්ම BPA වටාද අපවාද, අවලාද කුමන්ත්‍රණ ඇති පදම් සැරි සරයි. පෙර පැවසුවාක් මෙන්ම පක්‍ෂව මෙන්ම විපක්‍ෂව කරුණු දැක්වීම් නිරන්තරයෙන් සිදු වේ. පසුගිය වසර කිහිපය තුළ මේ මත දෙකම වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකා සෑහෙන සංඛ්‍යාවක් එළිදැක්වි තිබුණි. BPA විපක්‍ෂ කණ්ඩායමේ ප්‍රධාන තර්කය වන්නේ බිස්ෆිනෝල් ඒ මගින් ඇති කරන තත්ත්‍වය ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ඇති කරන ආචරණයට සමාන බවයි. ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය ගැහැණු ලිංගික හෝමෝන අතර ප්‍රධාන වන හෝමෝනයකි. එය ගැහැණු සහ පිරිමි සිරුරු වලට දක්වන ආචරණය එකිනෙකට වෙනස් වේ. 2003 සහ 2004 අතර ඇමරිකානු රෝග නිවාරණ කේන්‍ද්‍රය මගින් පවත්වන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල අනුව අවුරුදු 6 ට වඩා වැඩි ඇමරිකානු ජනගහනයෙන් 93% කගේ සිරුරු තුළ නිරීක්‍ෂණය කළ හැකි මට්ටමක BPA තත්ත්‍වයන් ඇතිබව සොයා ගෙන තිබුණි. එසේ නම් ඇමරිකානු ජනතාව BPA සහිත භාණ්ඩ සහ උපකරණ භාවිතයේදී ඔවුන්ගේ සිරුරු තුළට BPA කාන්දු වී ඇති බව ඔප්පු වී ඇත.
එසේ නම් BPA තහනම් නොකරන්නේ ඇයි ? මේ සඳහා පක්‍ෂ කණ්ඩායම ද තම සටන අතහැර නොමැති බවක් පෙනෙයි…. ලොව පුරා ඇති පර්යේෂණ සංවිධාන තවමත් BPA දංගෙඩියට දක්කාගෙන යාමට ඉඩක් ලබා දී නොමැත. තවමත් BPA පිළිබඳ අනන්තවත් විවිධාකාර පර්යේෂණ සිදුකෙරෙමින් පවතින අතර දෙපාර්ශවයටම වාසි ලබාදෙන දත්ත මෙන්ම අවාසිදායක දත්ත ද විටින්විට පළවන නිසා තවමත් පැහැදිළි තීන්දුවක් දීමට කිසිවෙකු සමත් වී නොමැත. නමුත් සමහර රටවල් මේ සඳහා දැඩි නීති රීති පණවා ඇත. උදාහරණයක් ලෙස යුරෝපයේ සම්මත BPA අගයයන් අනුව පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් 1 කට BPA මිලි ග්‍රෑම් 0.05ක් දක්වා උපරිමයකට ශරීරගත විය හැක. මේ අගය ගණනය කරන ලද්දේ 2006 දී යුරෝපීය ආහාර ආරක්‍ෂණ අධිකාරියේ ගණනය කිරීම් අනුවයි. මේ අනුව පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දිනපතා වුවත් 0.05 mg/kg ප්‍රමාණයක් ශරීරගත වූවාට කම් නැත. මේ අගයයන් 2006 සිට 2012 දක්වාම වෙනස් නොවූවත් කුඩා දරුවන්ගේ කිරි බෝතල්වල BPA අගයයන් සංශෝධනයකට ලක් වී තිබෙනවා. මේ සඳහා මුලින්ම ක්‍රියා කරනු ලැබුවේ කැනඩාවයි. ඒ 2008 දී. දරුවන්ගේ කිරිබෝතල් නිතර නිතර තැම්බීමකට ලක් කරන නිසා BPA නිදහස්වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා දරුවන්ට සිදුවිය හැකි අතුරු ආබාධ වැඩිවීම නිසා මේ තීරණය ගෙන තිබෙනවා.
කුඩා දරුවන්ගේ බෝතල්, කෝප්ප ආදිය හැරෙන්නට අන් සෑම දේකම BPA භාවිතය පෙර පරිදිම සිදු වෙනවා. ප්‍රංශ රජය මගින් පැවැත්වුන පර්යේෂණයකට අනුව සතුන්ගේ ශරීර තුළ BPA විෂ වීම් වාර්තා වී ඇති නිසා මිනිසුන් කෙරෙහි එය බලපැවැත්විය හැකි බවත්, තවත් පමා නොවිය යුතු බවත් ඔවුන් පවසා තිබෙනවා. බලාපොරොත්තු වූ පරිදිම මේ ප්‍රකාශය ප්ලාස්ටික් සහ පොලිමර් වර්ග නිශ්පාදකයින් ගේ නොමනාපයට හේතු වී තිබෙනවා.
ඔවුන් අවධානය ගෙන එන පාඨය (Catch Phrase) වන අඩු මාත්‍රාවකදී සිදුවන ආචරණය (Low dose effect) ගැන හේතු දක්වන විද්‍යාඥයින් පවසන්නේ සාමාන්‍යයෙන් හෝමෝන මගින් අන්තරාසර්ග පද්ධතියට බලපෑම් ඇති කරන්නේ අඩු මාත්‍රාවකදී නිසා BPA පර්යේෂණ ද සිදු කළ යුත්තේ එවැනි සාන්‍ද්‍රණයක දී බවයි. නමුත් දැනට කෙරෙන පර්යේෂණ සිදු වන්නේ දිනකට මිලිග්‍රෑම් කිහිපයක් බැගින් ශරීරගත කර, ඉන් සිදුවන බලපෑම් පරීක්‍ෂා කිරීම නිසා එය මේ මොඩලයට පෑහෙන්නේ නැතිබවයි. දැනට BPA නියාමනය කරන අධිකාරීන් අඩු මාත්‍රා ආචරණය ගැන තැකීමක් නැති නිසා නිසි ඇගයීමක් සිදු නොවන බවයි. කර්මාන්තකරුවන් පවසන්නේ තවමත් BPA නිසා සිදුවන ආචරණයන් හරිහැටි හඳුනාගෙන නැති නිසා එය තහනම් කිරීමේ තේරුමක් නොමැති බවයි.
සාමාන්‍යයෙන් මසකට ලොව පුරා BPA පිළිබඳ පර්යේෂණ පත්‍රිකා 30 ක් පමණ එළි දැක්වුවත්, BPA ලොව පුරා නියාමනය පිළිබඳ විවිධ අධිකාරිත්‍වයන් පවසන්නේ ඒ පිළිබඳ තවමත් නිසි නිගමනයකට පැමිණීමට තරම් දත්ත නොමැති බවයි. ශ්‍රී ලංකාවේ තත්ත්‍වය ගතහොත් අපේ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ මහත්වරු BPA යනු කුමක්දැයිවත් නොදන්නවා විය හැකිය. මක් නිසාද යත් ඔවුනට දැනට ලංකාවේ පවතින පාරිභෝගික ප්‍රශ්නවත් විසඳීමට වෙලාවක් නැති නිසාවෙනි. පළතුරුවලට මැලතියන් හෝ වෙනයම් ද්‍රව්‍ය ඉසීම, කුළුබඩු කුඩු වලට එකතු කරන විවිධ අපද්‍රව්‍ය, පරිප්පු – රතු හාල් වලට එකතු කරන රතු පැහැති ඩයි වර්ග ආදී මෙකී නොකී වෙළඳ උපක්‍රම හමුවේ අසරණ වන පාරිභෝගිකයා දැනුවත් කිරීමට කිසිදු සංවිධානයක් හෝ මාධ්‍යයක් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි. පුවත්පත්වලට මේ ලිපි ලිවුවද ඒවා පළ නොවන්නේ වෙළඳමහතුන් තරහ කර ගැනීමට පුවත්පත් කතුවරුන් අකමැති නිසා විය හැකිය…
මට එවන් බැඳීම් නොමැත. මම ඔබට මා දන්නා දේ සහ අන්තර්ජාලයේ ලියැවුන දේ සරළ සිංහලෙන් ලබා දෙමි. මා දන්නා රසායන විද්‍යාවට අනුව ස්වභාවික දේ සහ අත්‍යවශ්‍ය ඖෂධ හැරෙන්නට මොනයම් රසායන ද්‍රව්‍යය ශරීරයට ඇතුළු වුවත් එය ශරීරයට අහිතකරය.. BPA වේවා එසේත් නැතිනම් MSG වේවා මේ සියල්ල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය වේ… මේවායින් ශරීරයට සිදුවන ආචරණ මොනවාද යන්න පර්යේෂණ වල කෙළ පැමිණි අයටද නිසි ලෙස නිගමනයකට පැමිණීමට නොහැක…. කෙසේ වුවත් ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය අඩු කිරීම පරිසරයටද හිතකාමීය..
ඒ නිසා ඒ රසායන ද්‍රව්‍ය ඔබේ ශරීරය තුළට කෙසේ පිළිගන්නේද යන්න තීරණය ඔබට භාරය….
Posted on පෙබරවාරි 4, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged වස විස, සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය, Bisphenol A, BPA. Bookmark the permalink. ප්‍රතිචාර 14.
බලං යනකොට කන බොන තරමක් වහනේ
කැමතියිකැමතියි
වටිනා ලිපියක්…දැනුවත් කලාට බොහොම ස්තූතියි…
🙂
කැමතියිකැමතියි
http://www.forbes.com/sites/jonentine/2012/10/31/bisphenol-a-bpa-found-not-harmful-yet-again-so-why-did-so-many-reporters-and-ngos-botch-coverage-yet-again/
කැමතියිකැමතියි
Thanks
කැමතියිකැමතියි
BPA ගැන ඇහැව්වේනම් අද. ස්තුතියි මේ දේවල් ගැන දැනුවත් කිරීම සම්බන්ධව.
මගේ රසායන විද්‍යා දැනුම බින්දුවට බොහොම ආසන්නයි. එත් වතාවක් දන්නා තරමින් ප්ලාස්ටික් අවදානම ගැන ලිව්වා. එතනදී ප්ලාස්ටික් වර්ගීකරණය ගැන ලියන්න ඔබතුමා යෝජනා කලත් මගේ අතින් ඒක තවම වුනේ නැහැ,,
කැමතියිකැමතියි
very important and many thanks.
කැමතියිකැමතියි
nice post man… good work
කැමතියිකැමතියි
මගේත් රසායන විද්‍යා දැනුමක් නැහැ. ඒත් හොද මාතෘකාවක්. ඇත්තටම මට මතක් වෙනවා කාලකෙට ඉස්සර ආපු මෙලමයින් ප්‍රශ්නය. ඒක ඉවර වුනේ චීනයේ කිරිපිටි නිෂ්පාදන ආයතනයේ කළමණාකාරියක් ඇතුලු කිහිප දෙනෙකුට එල්ලුම් ගහ නියම කරමින්. ඊටත් ඉස්සර ලංකවේ ddt ප්‍රශ්නය.
ඇත්තටම මොනයම් ද්‍රව්‍යයක්/ බෙහෙතක් , ගත්තත් 1000ක් ගත්තොත් අවම 1කුට allergy තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැකියි කියා සිතෙනවා. මේකට හේතුවක් වෙන්නේ අපේ රට එම නිපදවන රටින් වෙනස් වෙන දේශගුණික හා පාරිසරික සාධක වෙන්නත් පුලුවන්?
හොදම දේ මොනම දෙයක් වුනත් අපේ රටේ තත්වයන් හදුනාගෙන අපේ රටට ගැලපෙන බවට දීර්ඝ පරීක්ෂණ මගින් සහතික කිරීම. අවාසනාවට මේ තරඟකාරී විවෘත ආර්ථිකය හදුන්වාදුන් දා සිට රේස් එකේ දුවනවා ඇරෙන්න එක සමාන බෙහෙතම විවිධ නම් වලින් විවිධ ප්‍රමිතීන්ට ගෙන්වනවා ඇරෙන්න, නිසි ප්‍රමිතියක් නොමැති බව අපේම අවාසනාව වෙනවා.
ඒමේ කොහොම වෙතත් ජීවිතය පහසු කරනවන්න කියලා හදුන්වලා දෙන ඒ මේ ද්‍රව්‍ය අපේ ජීවිතේත් ආයුෂ කෙටි කරනවා කියලා කියන්න පුලුවන්.
කැමතියිකැමතියි
ප්‍රශ්නය තියෙන්නෙ අපේ කිසිම ප්‍රමිතියක් නැතිකම…. එක්කෝ ලංකාවට ගේන දේවල් හරියට පර්යේෂණ කරලා මිනිසුන්ට සුදුසුද කියලා බලන්න ඕන.. ඉන්පසුව මුදා හරින්න ඕන.. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නෙ නෑ.. මුදලාලිලා අදාල බලධාරීන්ට ගානක් මිට මෙලෙව්වාම ඕනම දෙයක් පාස් කරලා දෙනවා…
මේ තත්ත්‍වය නැති කරන කල් අපේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්‍වය වෙනස් කරන්න බෑ..
මේකට ඉතිං Idea revolution එකක්ම ඕන… ඒත්… කොහෙන්ද පටන් ගන්නෙ ?
කැමතියිකැමතියි
ඇල්, මේ බ්ලොගර් අහවල් එක අතෑරලා දාලද තියෙන්නෙ? ඒක අපේ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙත් නෑ වගේ.
අපි ප්ලාස්ටික් කොච්චර අතෑරලා දාන්න හැදුවත්, වතුර එන්නෙ PVC පයිප්පෙ දිගේ, ඇවිත් PVC ටැංකියේ ගබඩා වෙලා තිබිලා තමයි වීදුරුවට එන්නෙ. ඒ ඔක්කොමත් සමහරවිට වැඩි හොඳ තර්මෝ ප්ලාස්ටික් හීටර් ජග් එකේ රත් කරලා ඊටත් වැඩි හොඳට ප්ලාස්ටික් ෆිල්ටර් එකෙන් ෆිල්ටර් කරලා තමයි මචං බොන්නෙ.
ඔය food grade plastic ගැන ඇල් මොකද කියන්නෙ?
කැමතියිකැමතියි
අතෑරලා නොවෙයි.. Blogger එකේ වැඩ ගැන හොයන්න වෙලාවක් නෑ… මම කරන්නෙ wordpress article එක අමු අමුවෙම කොපි කරලා දානවා.. පස්සෙ වෙලාවක් ආවම පොඩ්ඩක් හදා ගන්නවා….
කේතලයක් ගන්න… මම නම් Stainless steel කේතලයක් අරගෙන BPA free Brita filter එකකින් පෙරලා තමයි බොන්නෙ.. ජර්මනියෙ වතුර කොච්චර hard ද කියනවා නම් කේතලයෙ පතුලෙ ඝණ කැල්සියම් කාබනේට් තට්ටු බැඳෙනවා… ඒ මදිවට මෙහේ වතුරවලට කොණ්ඩෙත් යනවා… මල මගුලක්.. දැන් තට්ටෙ පෑදීගෙන එන්නෙ… ඉක්මනටම මෙහෙන් යන්න ඕන…
Food grade plastics කියන්නෙ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ අසුරන ප්ලාස්ටික් වලට වඩා ඉහළ තත්ත්‍වයක නිමැවුමක් තිබෙන ප්ලාස්ටික් වලට… මේවා සමහරවිට Edible plastics වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. Food grade plastic වලට වඩා ඉහළ තත්ත්‍වයේ තියෙන්නෙ Pharmaceutical grade plastics,.. මේවා බටහිර රටවල අනිවාර්ය නීති රීති වුනාට අපේරටවල නං කිසිම ගානක් නැතුව ඕන ජරාවක ඔතලා ඕන ජරාවක් කන්න දෙනවා.. අවාසනාවට මේවා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ…. බලමු තව ටික දවසකින්… මොනවා හරි කරන්න….
කැමතියිකැමතියි
thank you for the well written article
කැමතියිකැමතියි
නියම ලිපියක්. මාත් BPA ගැන ඇහැව්වෙනං අදම තමයි.
කොහොම වෙතත් ප්ලාස්ටික් භාජනවලට උණුවෙන් යමක් දාන්න හොඳ නෑ කියලනං අහල තියෙනව.
කැමතියිකැමතියි
එහෙම කියන්නෙ මේ වගේ හේතු නිසා තමයි..
කැමතියිකැමතියි