2013 පෙබරවාරි 06 : ඩෙංගු මර්ධන BTI බැක්ටීරියාව ගැන ඔබේ දැනුම කොපමණද ?


වසරේ කලින් කලට – විශේෂයෙන්ම වැසි කාලයකට පසු හිස ඔසවන වඩාත්ම දරුණුතම ප්‍රශ්නය නම් ඩෙංගු මදුරුවන් බෝ වීමේ ප්‍රශ්නයයි. ආණ්ඩුව කට කැඩෙන කල් කිවුවත්, අපේ මහජනතාව තමා අවට පරිසරය පිරිසිදු කර ගන්නේ එක්කෝ ආණ්ඩුවෙන් දඩ ගසන බවට නීතියක් පැණවූවොත් හෝ අහල පහල එකෙකු දෙන්නෙකු ඩෙංගු වලින් මිය පරලොව ගියහොත් පමණකි. ඒ අපේ කට්ටියගේ හැටිය.

අපේ කට්ටියගේ හැටි දන්නා ආණ්ඩුව ද, කලින් කලට ඩෙංගු ප්‍රශ්නය මතක් වී යමක් කළ යුතු බව සිතා එක් එක් විද්වතාගේ යෝජනා අනුව එක් කලෙක බිමින් පැමිණ BTI බැක්ටීරියාව ඉසින අතර තවත් වරෙක උඩින් පැමිණ ඉසීමට කල්පනා කරයි. BTI බැක්ටීරියාව නමින් හැඳින්වුවත් මේ කුමක්දැයි නොදන්නා පිරිස දන්න පිරිසට වඩා බොහෝ සෙයින් අධිකය. මේ නොදන්නා අය දැනුවත් කිරීමටත් දන්නා අයට තමන් දන්නා තරම කුමක්දැයි අවබෝධ කිරීමටත් සැකසෙන ලිපියකි. මෙහි අතහැරුණ යමක් ඇතොත් එයට එක් කිරීමට ඔබට අයිතියක් ඇත. අවසානයේ සිදුවිය යුත්තේ අප සියල්ලන්ගේම දැනුම එක තැනකට පැමිණ ජනතාව දැනුවත් වීම සහ අදාල ව්‍යසනයෙන් බේරීමයි. මා හිතන්නේ එහෙමය.

BTI බැක්ටීරියාව යනු කුමක්ද ?

BTI යනුවෙන් කෙටි වහරෙන් හඳුන්වා දෙන්නේ Bacillus thuringiensis israelensis නම් වූ,  විවිධාකාර මදුරු විශේෂයන්හි කීටයින්ගේ ආහාර මාර්ගයේ ස්වභාවිකව වැඩෙන බැක්ටීරියා විශේෂයකි. මෙම බැක්ටීරියාව ලොවට හඳුන්වාදීම පිළිබඳව  ඉතා සිත්ගන්නාසුළු වාර්තාවක් ඇත. 1975-76 වසරවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම මත මදුරු විශේෂයන්හි කීටයන් තුළ වර්ධනය වන ක්‍ෂුද්‍රජීවීන් පිළිබඳ ව්‍යාපෘතියක් සංවිධානය විය. මෙම පර්යේෂණයේදී මදුරු කීටයනට අධික විෂ සහිත පැක්ටීරියා විශේෂයක් හඳුනා ගැණුනි. මෙය පසුව israelensis නම් බැක්ටීරියා විශේෂයක් බවට හඳුනා ගැණුනි. ඒ නිසා මෙම බැක්ටීරියාව Bacillus thuringiensis israelensis ලෙසින් නම් කෙරිණ.  මෙම බැක්ටීරියාව එකතු කරගන් ලැබූවේ ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයේ මදුරුවන්ගේ සිරුරු තුළිනි. මෙම බැක්ටීරියාව විශේෂයෙන්ම පියාපත් දෙකක් පමණක් ඇති කෘමි විශේෂ (Diptera) සඳහා විෂ සහිතවන බව සොයා ගැණුන නිසා නිලමැස්සන් සහ මදුරුවන් වඳ කිරීම සඳහා මෙය යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයක් ගන්නා ලදී. මෙය වෙළඳපලට එක් කිරීමට ඉන්පසුව හැකි විය.  මේ බැක්ටීරියා භාවිතයේ සුවිශේෂී වාසිය වන්නේ වෙනත් සත්ත්‍ව විශේෂ වලට එතරම් බලපෑමක් සිදු නොවීමයි.

BTI බැක්ටීරියාව මදුරු කීටයන් තුළ ක්‍රියාකාරී වන්නේ කෙසේද ?

Bti බැක්ටීරියා වර්ග තුළ pBtoxis නම් වූ ප්ලාස්මිඩ වර්ගය ඇත. මේ ප්ලාස්මිඩ විසින් විවිධාකාර විෂ වර්ග තනනු ලැබේ. මේවා  Cry සහ Cyt toxins ලෙස හැඳින්වේ.මේවායේ වර්ග රාශියකි. Cry4, Cry10, Cry11, Cyt1 සහ Cyt2 යනුවෙන් ඒවා නම් කෙරේ. මේ විෂ වර්ග ස්ඵටික ලෙස බැග්ටීරියා තුළ සැකසී එකතු වේ. මෙම ස්ඵටික  මදුරු කීටයාගේ ආහාර මාර්ගයේ සෛල තුළට ඇතුළු වූ විට සෛල බිත්ති තුළ සිදුරු හට ගනී… එමගින් කීටයා විනාශ වේ. 

බැක්ටීරියාව මදුරු කීටයා තුළ ක්‍රියාත්මක වන ආකාරය

බැක්ටීරියාව මදුරු කීටයා තුළ ක්‍රියාත්මක වන ආකාරය

ඩෙංගු මර්ධනයට Bti බැක්ටීරියාව යොදා ගන්නා ක්‍රම කිහිපයකි.

  • බැක්ටීරියා අඩංගු ද්‍රාවණ ඉසීම
  • බැක්ටීරියා අඩංගු කුඩු ජලයට එකතු කිරීම
  • බැක්ටීරියා අඩංගු කුඩා පෙති එකතු කිරීම
  • බැක්ටීරියා ද්‍රාවණය අහසින් ඉසීම

ආදී වේ

බටහිර රටවල නම් මේ බැක්ටීරියාව වෙළඳසැල්වලින් මිලදීගත හැකි අතර එතරම් මිල අධික දෙයක් ද නොවේ. නමුත් අපේ රටේ බලධාරීන් මෙය ඉතා විශාල කර්තව්‍යයක් සේ සළකා විවිධාකාර වූ නිදහසට කාරණා දක්වා සිටිති. නමුත් කෙසේ හෝ අවසානයේ අප රටටද Bti බැක්ටීරියාව ලැබුණි. පමාවි හෝ ලැබීම සුභදායකය.

පහත දැක්වෙන්නේ මෙම බැක්ටීරියාව මිලදීගතහැකි ආකාර වේ.

ද්‍රාවණයක් ලෙස

පෙති ලෙස

මෙම පෙත්තක් ජලයට එක් කළ විට දිනක් ඇතුලත මදුරු කීටයින් මිය යන අතර මසක් පුරා ක්‍රියාකාරීව පවතී

බැක්ටීරියා අඩංගු කුඩු හෝ කැබලි ලෙස

බැක්ටීරියා අඩංගු කුඩු හෝ කැබලි ලෙස

මේවා ද පෙති සේම ජලයට එකතු කළ හැකිය.

ජලයට එකතු කළ පෙති

ජලයට එකතු කළ පෙති

පහත දැක්වෙන්නේ එවැනිම තවත් නිශ්පාදන සමූහයකි.

bitsanddunks2

මේ බැක්ටීරියාව සහ එහි ක්‍රියාකාරීත්‍වය පිළිබඳව වාර්තා රාශියක් එළි දැක්වී ඇත… මේවා සියල්ල මෙවැනි කුඩා ලිපියකට එක් කිරීම එතරම් පහසු කාරියයක් නොවේ.

හරිහැටි අවශ්‍යතාවයක් ඇතිනම් අපේ රජයට  මේවා  මිලදී ගැනීමට එතරම් වෙහෙසක් දැරීමට සිදු නොවේ. එසේම සමහර සමාගම් ටොන් ගණන් විකිණීමට පවා සූදානම් ය. එසේම අධික වියදමක් වැයවන  අහසින් ඉසීම වැනි නිශ්ඵල අකාර්යක්‍ෂම ක්‍රම අතහැර මේවා පහසුවෙන් ජනතාව අතර බෙදා දී පිරිවැය අවම කරගත හැකිය.  නමුත් අවාසනාවට අපේ අය බලන්නේ මිල අධිකම ක්‍රමය මුලින් ක්‍රියාවට නැංවීමයි.  කොළඹ වැනි සුළං අධික ජනාකීර්ණ පෙදෙසක Bti බැක්ටීරියාව අහසින් ඉසීම අධික අකාර්යක්‍ෂම සහ මිල අධික අනතුරුදායක කටයුත්තකි. ඩෙංගු මර්ධනයට Bti බැක්ටීරියාව පැතිරවීමේ වඩා පහසු ක්‍රම අනන්තවත් ඇත.

ඒ කෙසේ වුවත් මහජනතාව වශයෙන් ඔබටද මේ කාර්යයට දායක විය හැකිය. තම ගෙවත්ත සතියකට හෝ සති දෙකකට වතාවක් පරීක්‍ෂා කර පිරිසිදු ජලය රැඳෙන තැන් වසා දැමීම සහ නිවස ඇතුලත පිරිසිදු ජලය රැඳෙන තැන්වලට සබන්වතුර වැනි මදුරු නාශක ද්‍රව්‍ය යෙදීම සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමෙන් සමාජයට ඔබෙන් සිදු විය යුතු සේවය ඉට කළ හැක. ඩෙංගු රෝගය දැන් දැන් සුව කළ හැකි තත්ත්‍වයට පත් වුවත්, රෝගී නොවී සිටීම නිසා ඇතිවන ලාභය ඔබ සියල්ලන්ම දන්නා බව සිතමි…

ආරෝග්‍යා පරමා ලාභා !

ඔබට ආයු බෝ වේවා……..

Advertisements

Posted on පෙබරවාරි 5, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. ඇල් මේ බැක්ටීරියාවෙන් මිනිස් අපිට වෙන සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම මොකුත් තියෙනවද?

  2. මෙන්න මෙහෙම කතාවක් අහල තියනව සර්! මේ බැක්ටීරියාව හදන ප්‍රෝටීනය වතුර වලවල් වගේ දේවල් වල ගිලෙනවලු! නමුත් කීටය ඉන්නෙ වතුරෙ උඩ ලු. එ් නිසා බැක්ටීරියාව පිටිං වතුරට දැම්මම ප්‍රයෝජනය අඩුයිලු!

    අදාල ජානය අැල්ගී වල genome එකට දාල එ් අැල්ගී ජලාශ වල වැවීම සාර්ථකයි ලු!

    කොහෙං හරි කියවපු එකක්! සර් මේ ගැන මොකද හිතන්නෙ?

    • මම හිතන්නෙ නම් නැහැ… මොකද බැක්ටීරියා කියන්නෙ එහෙම ගිලෙන දෙයක් නෙවෙයි.. බලන්න ඔය පින්තූරවල තියෙන පෙති ජලයෙ පාවෙන්න හදලා තියෙන්නෙ… කාර්යක්‍ෂම වෙන්න නම් ඒවා ජලයේ මතුපිට තිබෙන්න අවශ්‍යයි… නමුත් බැක්ටීරියා ජලයෙ ගිලෙන කතාව නම් විහිළුවක් වෙන්න පුළුවනි… තාර්කිකව හිතුවොත්…

  3. නොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්තා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: