දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලින් ලැබෙන උදව්……


නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන අතර තවත් සමහරු සිය ආගමානුකූලව නිර්මාංශ වීම සිදු කරයි. තවත් සමහරු මේ අතර මෝස්තරයට ද නිර්මාංශ වීම සඳහා යොමු වී සිටනවා. මෙසේ නිර්මාංශ වීමේ සීමාව එකිනෙකාගේ සිතුම් පැතුම් වලට අනුව වෙනස් වෙනවා.

කෙසේ වුවත්, නිර්මාංශ වීමෙන් සිදුවන වාසි අනන්තවත්. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මෙන්ම තම තමන්ගේ චිත්ත ධෛර්යයේ ප්‍රමාණය අනුව මේ නිර්මාංශ වීම වෙනස් වෙනවා. මීට වසර දහයකට විස්සකට පමණ පෙර නම් නිර්මාංශ වීම පිළිබඳ මිනිසුන්ට තිබුණෙ වැරදි හැඟීම්… ශරීරය දුර්වල වෙන බව, ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන බව මේ මිත්‍යා මත වලින් ප්‍රධාන දෙකක්. නමුත් කෙමෙන් කෙමෙන් නිර්මාංශ ආහාර ප්‍රචලිත වෙද්දී මේ දුර්මත බැහැර වුනා.. ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් සහ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් නිර්මාංශ ආහාර වලට පුරුදු වෙන බව ප්‍රචලිත වෙද්දි බොහෝ දෙනා ඒ අනුව යමින් නිර්මාංශ වන්නත් පටන් ගත්තා. ඒ වගේම ඒ නිර්මාංශ වීමේ නියම තේරුම් දැනගත් අයත් ඒ හා සමානවම නිර්මාංශ වෙන්නට පටන් ගත්තා…

නිර්මාංශිකයින් වර්ග කිහිපයක් සිටිනවා.

සමහර නිර්මාංශිකයින් මස්, මාළු, කිරි  බිත්තර භාවිතයෙන් වැලකෙනවා  වගේම සතුන්ගේ සමින් සැදුන කිසිම භාණ්ඩයක් පාවිච්චි කරන්නෙත් නැහැ. මේ විවිධාකාර කාණ්ඩයන් නිර්මාංශ වීමේ ප්‍රමාණය අනුව කොටස් කිහිපයකට බෙදෙනවා.

  • Fruitarians:  මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා. එසේම සැකසූ ආහාර (processed foods) පවා භාවිතා කරන්නෙ නැහැ .
  • Vegans: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා.
  • Lacto-vegetarians: කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ
  • Lacto-ovo-vegetarians: මස් මාංශ වලින් වැලකුණත් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා. 
  • Semi-vegetarians: මාළු සහ කුකුළුමස් වැනි සුදු මස් භාවිතා කළත් රතු මස් භාවිතා කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ අය නිර්මාංශ පුද්ගලයින් ලෙස වර්ග කෙරෙන්නේ නැහැ.

නිර්මාංශ ආහාර වේලකට පුරුදු වීම ඉතාමත් හිතකර පුරුද්දක් වුවත්, එම නිර්මාංශ ආහාර වේල් සෑමවිටම සමබල ආහාර වේලක් වීම වඩාත් සුදුසුයි. උදාහරණයක් වශයෙන් ඔබට නිර්මාංශ ආහාර ලෙස නිතරම පාහේ අල පෙති බැද ආහාරයට ගත හැකියි – නමුත් ඉන් ඇතිවන හානිය අධිකයි. ඒ නිසා නිර්මාංශ වනවා නම් එය ඉතාමත් කල්පනාවෙන් කළ යුත්තක්.

සමබල නිර්මාංශ ආහාර වේලක ඇති දේ බොහෝයි…..

  • ධාන්‍ය වර්ග සහ පිෂ්ඨමය ආහාර: පරළු පාන් – ධාන්‍ය වර්ග ඇතුලත් කළ පාන්, රතු හාල්, සහ වෙනත් ධාන්‍ය වර්ග.
  • රනිල කුළයේ ශාක ද්‍රව්‍ය: සෝයා බෝංචි සහ වෙනත් බෝංචි වර්ග, පරිප්පු, මුං, කජු, තල ආදිය.
  • එළවලු සහ පළතුරු: විවිධාකාර එළවලු සහ පළතුරු වර්ග
  • කිරි හෝ සෝයා නිෂ්පාදන: කිරි පානය කරන නිර්මාංශිකයින්ට කිරි ද එසේ නොමැති අයට සෝයා නිෂ්පාදනද සුදුසුය.

සාමාන්‍ය නිර්මාංශ ආහාර වේලක් මෙසේ ගැනීමෙන් මාංශ සහිත ආහාර වේලක ගුණයම ලැබේ. එසේම මෙයින් වැඩිපුර තන්තුමය ආහාර ලැබෙන නිසා ඇතිවන වාසි බොහොමයකි. වග බලාගත යුත්තේ මේ සියළු ගුණාංග ඇති ආහාර වේලක් ගැනීමයි.

නිර්මාංශ පිරමීඩයනිර්මාංශ ආහාර පුරුද්දක් ඇතිකර ගැනීමේ විශාලතම වාසිය වන්නේ එයින් පිළිකා වැළඳීම වලක්වාලන නිසාය. 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව වැඩි වශයෙන් නිර්මාංශ පැත්තට බර වන ආහාර රටාවක් මගින් ශරීරයට ඇතුළු වන පිළිකා කාරක ප්‍රමාණය අඩු කරගතහැකි බව පැවසෙනවා. සමහර කෑම වර්ග පිසීමේදී පිළිකා කාරක බහුවලික ඇරෝමැටික හයිඩ්‍රොකාබන සහ විශමචක්‍රිය ඇමීන (heterocyclic amines) ශරීරයට ඇතුළු වනවා. එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම පිළිබඳ සිදු කරන ලද වසර 200 ක පමණ පැරණි පර්යේෂණවල ප්‍රතිඵලයන් දෙස බැලීමේදී වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගන්නා පුද්ගලයින්ට පිළිකා වැළඳීමේ අවදානම 50% කින් අඩු වී ඇති බවත්, තවත් 20-50% අතර කාණ්ඩයකට කුමන ආකාරයේවත් පිළිකාවක් වැළඳීමේ හැකියාව අඩු වී ඇති බවත් සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳ පසුගිය දශක දෙකෙහිදී සිදු කෙරුණ පර්යේෂණ ප්‍රමාණය අති විශාලයි. ඒ අනුව පිළිකා වලක්වන ශාක ආහාර වර්ග 40 ක් පමණ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. ගෝවා කුළයේ එළවලු වන බ්‍රොකොලි, කෝලිෆ්ලවර්, බ්‍රසල්ස්ප්‍රවුට්ස්, ගෝවා යන එළවලු; කැරට්, සෙලරි, පාස්ලි, කොත්තමල්ලි කොළ, උළුහාල් ආදී එළවලු සහ ඖෂධ පැලෑටි; වෙනත් එළවලු සහ පළතුරු වර්ග වන දොඩම්, තක්කාලි, පිපිඤ්ඥා, මිදි, බෙරි වර්ග ආදිය; බෝංචි, සෝයා බෝංචි; රතුහාල්, යවහාල් සහ බාර්ලි වර්ග; සහ විවිධාකාර කුළුබඩු වර්ග වන සුදුළූණු, රතුළූණු, ඉඟුරු, කහ, සහ රෝස්මෙරි, තයිම්, ආදී ඖෂධ පැලෑටි වර්ග මේ සුපිරි ආහාර ගණයන්ට අයත් වෙනවා.

මේ ආහාර වල පිළිකා වලක්වන රසායනික වන කැරොටිනොයිඩ, ෆ්ලේවනොයිඩ, අයිසොතයෝසයනේට, අයිසෝෆ්ලේවෝන, එලෙජික් අම්ලය, ග්ලූකරේට, කුකර්මින්, ලිමිනොයිඩ්, ලිග්නන්, ෆීනොලික අම්ල, තැලීඩ්, සැෆොනීන්, ෆයිටොස්ටෙරෝල්, සල්ෆයිඩ, ටර්පිනොයිඩ, ආදී විවිධාකාර සංයෝග රාශියක් අඩංගු වෙනවා. මේ නිසා මේ ආහාරවල අඩංගු මේ සංයෝග පිළිකා කාරක ද්‍රව්‍ය හා සටන් කර ඒවායින් ඇති කරන මුක්ත ඛණ්ඩ හා ක්‍රියා කර මුක්ත ඛණ්ඩ විනාශ කරනවා. මේ නිසා පිළිකා සෑදීමේ අවදානම අඩු වෙනවා. මේ ආහාර වල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) අඩංගු යැයි කියන්නේ මේ නිසායි.

හෘද රෝග – Heart Disease

නිතිපතා එළවලු පළතුරු ආහාරයට ගැනීම මඟින් හෘද රෝග වැළඳීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තිබෙනවා. ඉතාලි ජාතිකයින් 47,000 ක් යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ වැඩියෙන් එළවලු අනුභව කළ අයගේ හෘද රෝග වැළඳීමේ ප්‍රතිශතය සියයට 21 කින් අඩු වී ඇති බවත්, පපුවේ මහන්සිය – රිදීම වැනි රෝගයන් සියයට 11 දක්වා අඩු වී ඇති බවයි.   බ්‍රිතාන්‍යයේ පැවැත්වූ තවත් පර්යේෂණයකින් අනාවරණය වූයේ නැවුම් පළතුරු වැඩිපුර ආහාරයට ගන්නා අය හෘදරෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කින් සහ මස්තිශ්ක වාහිනී පිපිරීමෙන් මිය යන (ආඝාතය – stroke) ප්‍රවණතාවය සියයට 32 කින් ද අඩු වී ඇති බවයි.  එසේම අමු එළවලු වලින් සැදි සැලඩ් දිනපතා ආහාරයට ගන්නා අය ද හෘදරෝගවලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 36 කින් අඩු වන බව සොයාගෙන තිබෙනවා.

තවත් පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ දීර්ඝකාලීනව මස් මාංශ ආහාරයට ගන්නා අයට වඩා කිරි සහ බිත්තර සහිතව නිර්මාංශ ආහාර ගන්නා අය රුධිර වාහිනී ආශ්‍රිත හෘද රෝග වලින් මිය යාමේ ප්‍රවණතාවය සියයට 24 කිනුත්, පරිපූර්ණ නිර්මාංශ (vegan) ආහාරයට ගන්නා අය සියයට 57 කිනුත්  අඩු වන බවයි.. එනම් නිර්මාංශිකයින් හදිසි මරණවලට ගොදුරු වීමේ අවදානම අඩු බවයි. එසේ වන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නිර්මාංශ ආහාර මගින් දැඩි සේ පාලනය වීම නිසා එසේ අකල් මරණයනට ගොදුරු වීම අඩු වෙනවා.

ආඝාතය සහ දියවැඩියාව (Stroke and Diabetes)

දීර්ඝකාලීන පර්යේෂණ වලින් අනාවරණය වී ඇති කරුණු අනුව නිර්මාංශ ආහාර ගන්නා අයට සහ විශේෂයෙන්ම නොපිසූ නිර්මාංශ ආහාර (Raw Vegan Diet) ගන්නා අයට දියවැඩියාව සහ ආඝාතයන් වැළඳීමේ බ්‍රවණතාවය බොහෝ අඩු බව සොයාගෙන තිබෙනවා. මේ අනුව මාංශ සහිත ආහාර ගන්නා අය නිර්මාංශිකයින්ට වඩා 20 -30 % වැඩි ප්‍රමාණයකින් ආඝාතයන් නිසා මරණයට පත් වීමට හැකි අතර නිර්මාංශිකයින්ගේ රුධිර පීඩනය ද ක්‍රමවත්ව පවත්වාගෙන යාම පහසු බව සඳහන්.නිර්මාංශිකයින් අධික තරබාරුකමින් නොපෙළෙන අතර බොහෝ විට සතුටින් සිටින කාණ්ඩයක්.. ධාන්‍ය සහ ඇට වර්ග අධිකව ආහාරයට ගන්නා නිර්මාංශිකයින්ට දියවැඩියාව වැළඳීම අඩු බවත් සොයාගෙන තිබෙනවා. එසේම දියවැඩියාව සහ හෘද රෝග යන බෝ නොවන මාරාන්තික රෝග දෙකම ආහාර පාලනය මගින් වලක්වාගැනීම පහසු බව ආහාර විශේෂඥයින් පවසනවා.

ඉතින් මේ දක්වා ඇත්තේ නිර්මාංශ වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිපල කිහිපයක්. එසේම නිර්මාංශ වීමෙන් තවත් සතෙකුගේ ජීවිතයක් ද නොනසා ඉතිරි කරගන්නත්  පුළුවනි. නිර්මාංශිකයින් බොහොම සතුටින් ජීවත් වන සැහැල්ලු ජීවිත ගත කරන එසේම ආවේගයන් නොදරන පාලනය කරගත් මනසක් සහිත පුද්ගලයින්… මේ අය අතින් වැරදි සිදු වනවා බොහොම අඩුයි. මක් නිසාද යත්, නිර්මාංශ වීමට ඉතා ඉහළ මානසික පාලනයක් තිබිය යුතුයි. මේ නිර්මාංශ ආහාර පුරුදු ගැන ඔබට කියන මමත් ඉඳලා හිටලා හෝ කුකුළු මස් කැබැල්ලක රස බලනවා. මට වුවත් ඒ මානසික පාලනය ඇති කරගන්න තවමත් අමාරුයි…

ඉතින් ඒ විතරක් නොවෙයි. නිර්මාංශ වීම පොකට් එකටත් හොඳයි.. ඒ කෙසේ වුවත්, මේ නිර්මාංශ ආහාර වස විස නැති රසායනික පොහොර සහ රසායන ද්‍රව්‍ය නොයෙදූ නිර්මාංශ ආහාර වනවා නම් ඉතාම හොඳයි. කෙතරම් නිර්මාංශ වුවත්, ඒ එළවලු පළතුරුවල ඇත්තේ වසවිස නම්, ඒ නිර්මාංශ වීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ… ඒ නිසා තමන්ගේ වත්තේ වස විස නොයොදා වගා කරගතහැකි යමක් අමුවෙන් කන්න පුළුවන් නම් එයින් ඇතිවන වාසි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 8, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 17.

  1. ආඝාතයන් වැළඳීමේ බ්‍රවණතාවය / Lacto-vegetarians: මස් මාංශ සහ කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ………….??????????????????????

    කැමතියි

  2. ආයුබෝවන්!
    මට පොඩිකාලේ ඉඳලම කෙමිස්ට්‍රි ඉගනගන්න කොට තිබුන ප්‍රශ්න කිහිපයකට තවමත් උත්තර හොයාගත නොහැකිවෙලා තියනවා.
    ඔබතුමාට ඒ දේවල් ගැන ලියන්න පුළුවන්ද සරලව ඉතිහාසය සමඟ?
    මට තියන ප්‍රශ්න මේවායි,
    1.යම්කිසි සාම්පලයක රසායනික අන්තර්ගතය හොයන්නේ කොහොමද?
    2.අජීවී එකක ලේසි වුනත් ජීවී සෛල තුල සිදුවන දිගු රසායනික ප්‍රතික්‍රියා දාම නිරවද්‍යව නිගමනය කරන්නේ කොහොමද?
    3.ඉතා කුඩා අණු වල ව්‍යුහය සොයාගන්නේ කොහොමද?
    (මම අහල තියන්නේ x-ray crystallography ගැන විතරයි.)

    කැමතියි

    • මේ ගැන මගේ අදහසත් කීවට කමක් නෑනේ?
      එළවළු පලතුරු ආහාරයට ගැනීම කොහොමත් හොඳයි තමා,
      එත් ඒ සඳහා නිර්මාංශ වීම අත්‍යවශ්‍ය නෑ නේද?
      ඒ වගේම මස් මාංශ ආහාර වලින් විතරක් (සෝයා ආදිය හැර) සම්පුර්ණ ඇමයිනෝ අම්ල සහිත ආහාරයක්‌ ලැබෙන්නේ?
      ඒ වගේම අවශෝෂණයේදීත් මේවා අතර වෙනසක් තියනවනේ?
      උදාහරණයක් ලෙස මස් වල ඇති කාබනික යකඩ අවශෝෂණය පහසුයි නේද?
      ඒ වගේම වෙනත් පෝෂකත් සත්ව සම්භවයක් ඇති ආහාර වලින් පමණක් ගන්න පුළුවන් නේද?
      උදාහරණයක් ලෙස විටමින් බී කාණ්ඩය.
      “මේ නිර්මාංශ ආහාර වස විස නැති රසායනික පොහොර සහ රසායන ද්‍රව්‍ය නොයෙදූ නිර්මාංශ ආහාර වනවා නම් ඉතාම හොඳයි”
      මේ දේ නිසා ලංකාවේ ඉන්න අයට මේ ගන්න මිශ්‍ර ආහාර ක්‍රමය හොඳයි.
      අනික අපේ තියන බත් වෑංජන කිහිපයක් එක්ක ගන්න රටාව සුද්දන් වගේ එළවළු තම්බලා කන තත්වෙට ගේන්න අමාරුයි.
      අනික එක සාමාන්‍ය මිනිහෙක්ගේ පොකට් එකට පාඩුයි, වගේම ප්‍රායෝගිකව අපහසුයි.

      කැමතියි

      • මේ වෙබ් අඩවිය තියෙන්නෙ ඕන කෙනෙකුගෙ වටිනා අදහසක් කියන්න… ප්‍රශ්නයක් නෑ….
        නිර්මාංශ වීම අත්‍යවශ්‍ය නෑ…. නමුත් වෙන්න පුළුවන් නම් හොඳයි.
        මස් මාංශ රහිත ආහාර ගන්න අයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එකතු කර ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා… ඒක ඉස්සර තිබුන මිත්‍යා මතයක් විතරයි.
        අවශෝෂණයෙදී මස් දිරවීම අපහසුයි… අපේ ශරීර හැදිලා තියෙන්නෙ මාංශ භක්‍ෂණයට නොවන නිසා අවශ්‍ය එන්සයිම අපේ ශරීර තුළ නැහැ…
        ශරීරයට යකඩ අවශෝෂණය ක්‍රම දෙකකට සිදු වෙනවා. මස්වල තියෙන්නේ හීම් (Haem) යකඩ, එළවලුවල තියෙන්නේ හීම් නොවන (Non haem) යකඩ… ඇත්ත.. හීම් යකඩ ශරීරයට අවශෝෂණය පහසුයි කියනවා.. නමුත් යකඩ අවශ්‍ය නම් දැන් පෙති වශයෙන් ගන්න පුළුවන්.
        දැන් ශාක සම්භවයක් ඇති ආහාර වලින් පරිපූර්ණ ආහාර වේලක් සකසා ගන්න පුළුවනි.
        අවසානයේ ඔබ ලියා තිබෙන වාක්‍ය ඇත්තෙන්ම නිදහසට කාරණා…. ලංකාවේ ඕන තරම් නිර්මාංශිකයින් ඉන්නවා… ඒ අයගෙන් අහන්න.. පිරිසිදු ආහාර හොයා ගන්න බැරි නැහැ.. කොළඹම තිබෙනවා දැන් විවිධ වෙළඳසැල්… පොඩ්ඩක් හොයා බලන්න…

        කැමතියි

      • ඇත්ත ඇමයිනෝ අම්ල විටමින් විතරක් නෙවේ තන්තු පවා කඩෙන් ගන්න පුළුවන් තමා.
        එත් සොබාවික ආහාර වෙනුවට පෙත්තක් වශයෙන් විටමින් ගන්න එකට වඩා සොබාවික විදිහට ගන්න එක හොඳ නැද්ද?
        Fortified foods තියනබව වෙනම කතාවක්.
        ඒත් එහෙම බැලුවොත් ශාක වලින් ලැබෙන විටමින් වුනත් පෙති විදිහට ගන්න පුළුවන්.
        Haem ගැන කතාවත් එහෙම තමා.
        එන්සයිම නැති කතාව ගැන තව විස්තර ඕන.
        ඕනෑම ප්‍රෝටීන් ආහාරයක් දිරවීම අනික්වට පමාවෙන්න පුළුවන්.
        ඒත් අවශ්‍යය එන්සයිම තියනවනේ එකට.
        ඒත් ශාක ආහාර ගැන බැලුවොත් නම් ඕනෑම වෙන එන්සයිමයක් නෑ,
        ඒ තමා Cellulase, ඒක නැති නිසා ශාක ආහාර සම්පුර්ණයෙන්ම ජීර්ණය කරන්න බෑ,
        Cell wall එක කැඩිලා එලියට එන ඒවා තමා දිරවනවා ඇත්තේ.
        කොහොම වුනත් එක dietary fiber එකක් විදිහට වැඩ කරන එක වාසියක්.
        නිර්මාංශිකයන් ඉන්නවා, ඒත් මෙහෙ හැටියට වියදම වැඩියි කියලයි මං හිතන්නේ.
        කොහොම වුනත් මාංශ අනුභවය අඩු කිරීම මගින් සත්ව තෙල් අඩු කිරීම සෞඛ්‍යට හොඳයි තමා.
        ඒත් නිර්මාංශ නොවී එක කරන්න පුළුවන්නේ.
        ඒක නිසා මම නම් හිතන්නේ මිනිස්සු වෘත හදාගන්නේ නැතුව පුළුවන් විදිහට කාලා ඉන්නවා නම් හොඳයි.
        මගේ පළමු කමෙන්ටුවටත් පුළුවන් නම් උත්තර දෙන්න.

        කැමතියි

      • අපට මේක ගැන වාද විවාද ගොඩක් කරන්න පුළුවන්. අපි විතරක් නොවෙයි ලොව පුරා මාංශ ආහාර ගන්න කල්ලිය නිර්මාංශ කල්ලියත් එක්ක හැමදාම වාද කරගන්නවා.. එපමණක් නොවෙයි මේ දෙපැත්තටම අදාල විද්‍යාත්මක පර්යේෂණ නිබන්ධන පවා නිතිපතා එළි දැක්වෙනවා.
        අපේ ශරීර මස් මාංශ දිරවන්න උදව් කරන එන්සයිම ස්වභාවිකව පිහිටලා නැහැ. ඒවා පිහිටලා තිබෙන්නේ බිලාල කුළයේ මාංශභක්‍ෂක සතුන්ට… ඒ නිසා තමයි අපි මස් උයලා හෝ කන්නෙ… අපේ ආමාශයේ ආම්ලික තාවය අධික වුනාට මේ තත්ත්‍වය මස් දිරවන්න තරම් හිතකර නැහැ.
        ස්වභාවික ආහාර වෙනුවට පෙති ගන්නවා කියන දේ නොවෙයි මම කියන්නෙ.. මස් මාංශ ආහාරයට ගන්න අයත් ඕනතරම් විටමින් පෙති ගන්නවා… ඒක බිඳෙන තර්කයක්… මොකද අපේ ජීවන රටාවට අනුව 100%ක් සමබල ආහාර වේල් තුනක් ගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අන්න ඒ අවස්ථාවෙ අපගේ විටමින් ප්‍රමාණය සම්පූර්ණ කරගන්න අපි විටමින් පිටතින් ගන්නවා. ඒ වගේමයි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ..
        සෙලියුලේස් එන්සයිමයෙන් සිදුවෙන්නෙ සෙලියුලෝස් ජීර්ණය කිරීම නෙ.. අපට සෙලියුලෝස් වැඩිපුර අවශ්‍ය වෙන්නෙ නැහැ.. අපට අවශ්‍ය වෙනත් පෝෂ්‍ය පදාර්ථ… ඒ නිසයි සෛල බිත්තිය බිඳිලා ඒවාගේ ඇතුලත තිබෙන පෝෂ්‍ය පදාර්ථ පමණක් අපි ජීර්ණය කෙරෙන්නෙ.. අපේ එළවලු – පළතුරුවල ඇති තන්තු ප්‍රමාණය හරියට ගන්නවා නම් අපට Dietary fibers අවශ්‍ය නැහැ..
        මිනිස්සු වෘත හදා ගන්න අවශ්‍ය නැහැ.. හැම දේම සමබරව පවත්වාගෙන යනවා නම් ප්‍රශ්නයක් නැහැ… නමුත්, ලංකාව වගේ හැමදේම හොඳට වැවෙන රටක එළවලු වලට ප්‍රධාන තැනක් නොදීම සහ එලවලු සාමාන්‍ය මිනිසාට සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කිරීම ගැන නම් තියෙන්නේ ලොකු දුකක්…
        අනිත් කමෙන්ටුවට පිළිතුරු ලියමින් පවතිනවා…
        ඔබේ කුතුහලය ගැන මට සතුටුයි… මම ඒ දේ බොහොම අගය කරනවා…

        කැමතියි

    • 1. සාම්බලයක රසායනික අන්තර්ගතය සොයන්න ක්‍රම කිහිපයක් තිබෙනවා.
      1. සාම්පලය පිරිසිදු කාබනික එකක් (සගන්ධ තෙල් – Essensial oil වැනි දෙයක් ) නම්, Gas chromatography මගින් සංඝඨකවල ප්‍රතිශතය බලා ගන්න පුළුවනි.
      2. අකාබනික දෙයක් නම්, අනිවාර්යයෙන්ම එහි ඇති මූලද්‍රව්‍ය සොයා ගැනීම මගින් කරගන්න පුළුවනි. නමුත් මේ දෙකම එතරම් ලේසි පාසු දේවල් නොවෙයි.
      එසේම මිශ්‍රණයක් නම් එහි සංඝඨක වෙන් කරගෙන ඒ ඒ සංඝඨක වෙන වෙනම පරීක්‍ෂා කරන්න ඕන…
      ඒ වගේ ලොකු කාර්යයක් තිබෙනවා. සරළව මේ දේවල් කරන්න අමාරුයි.
      2. ජීවී සෛල තුළ සිදුවන රසායනික ක්‍රියා තවමත් 100% නිරවද්‍යව හඳුනාගෙන නැහැ. සරළව කියනවා නම් එය කරන්නේ සමස්ථානික ආධාරයෙන්. සමස්ථානික අඩංගු අමුද්‍රව්‍ය සෛල තුළට ඇතුළු කර ඒවායේ අවසාන ඵලයන් හඳුනා ගැනීම මගින් ඒ ඒ රසායන ද්‍රව්‍යයට සිදු වන්නේ කුමක්ද කියා සොයා ගන්නවා. ඉන් පසුව එක් එක් ප්‍රතික්‍රියා යාන්ත්‍රණයන් (Reaction mechanisms) අනුමාන කිරීම සහ ඒවායේ අනුමානයන්ට අනුව ඵල ලැබේදැයි බලා සිය අනුමාන කිරීම නිවැරදි ද වැරදිද යන්න අනුව එක් එක් යාන්ත්‍රණය විසඳා ගන්නවා.. ග්ලයිකොලිසිය – ක්‍රෙබ්ස් චක්‍රය වැනි දේ නිසි ආකාරව සොයා ගත්තේ මේ ආකාරයට. ඒ වගේම සෛලයක් තුළ ඇති මයිටකොන්ඩ්‍රියා, ගොල්ගි දේහ, අන්තර් ප්ලාස්මික නාලිකා වැනි කුඩා දේ තුළ පවා සංකීර්ණ ප්‍රතික්‍රියා සිදු වෙනවා. මේවා වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඉතා සංකීර්ණ පරීක්‍ෂණ කළ යුතුයි… සෛල ජෛව විද්‍යාව (Molecular biology) කියන අංශයෙන් කෙරෙන්නේ මෙන්න මේ දේ… ඒක ජෛවරසායන විද්‍යාවේ වෙනම කොටසක්..
      3. ඉතා කුඩා අණුවල ව්‍යුහය සොයා ගන්න ක්‍රම 12 ක් තිබෙනවා. X- ray Crystallography කියන්නේ ස්ඵටික බවට පත් කළ සංයෝගවල ව්‍යුහය සොයා ගැනීමේ එක ක්‍රමයක් පමණයි. නමුත් මේ ක්‍රමය මගින් සොයා ගත් අණුවල වුවත් පරමාණුවල සැකසීම සොයා ගැනීමට වෙනත් පරීක්‍ෂණ කිරීම අනිවාර්යයි. උදාහරණයක් වශයෙන් අණුවක එක ලඟ ඇති C සහ N පරමාණු දෙකක් X-ray වලට පෙනෙන්නේ එකම විදියට. මේ සඳහා IR, NMR, EPR, ආදී පරීක්‍ෂණ සිදු කර පරමාණුවල අනන්‍යතාවය 100%ක් හඳුනාගත යුතුයි. NMR වල 1H, 13C, 31P, 15N, 19F, වැනි සමස්ථානික අනුව පරීක්‍ෂණ ද, 13C සහ 1H හි, COSY, NOESY, APT, DEPT, HETCOR, HMQC, HMBC, වැනි සම්බන්ධතාවයන් මගින් සොයාගත හැකියි.
      එපමණක් නොවෙයි දැන් දැන් අති විශාල ප්‍රෝටීන වල පවා ව්‍යුහය NMR මගින් සොයා ගැනීමේ ක්‍රම තිබෙනවා. මේ ගැන වැඩි විස්තර අන්තර්ජාලයේ සොයා ගැනීමට පුළුවනි.
      මම ඔබව සෑහීමකට පත්වන තරමේ උත්තරයක් දෙන්න ඇතැයි සිතනවා…
      උදව්වක් අවශ්‍ය නම් කියන්න… හැකි විදියට උදව් කරන්නම් ඔබේ දැනුම පුළුල් කර ගන්න….

      කැමතියි

      • ඔව්, වාද විවාද කරලා නම් වැඩක් නෑ තමා,
        ඒත් ඔබ කියපු කතාව නිවැරදියි,
        අපේ රටේ එළවළු ආහාරයට ගන්න ඒක වැඩි කරොත් හොඳයි,
        ඒත් වෙලා තියන්නේ ඒවා කල්තියාගන්න ක්‍රමයක් නැති නිසා තියන කාලෙට ටොන් ගණන් විසිකරන එළවළු නැති කාලෙට ගිණි ගණන් වීම.
        ඒ නිසා ඒ කාලෙට එළවළු ධනපති කෑමක් වෙනවා.
        කොහොමත් නුවරඑළියේ හදන එළවළු වලට දාන කෘමිනාශක ගොඩේ හැටියට කෑවත් ඒවගෙන් බලපෑමක් ඇති. ඒත් මේ ගැන කවුරුත් පරීක්ෂණ කරලා තියනවද දන්නේ නෑ.
        මස් මාංශ වල කතාවත් මෙහෙමම තමා, මිල වැඩියි සාමාන්‍ය කෙනෙක්ට ගන්න බැරිතරම්.
        මාළු වල තියන omega-3 සහ omega-6 ලෙඩ රෝග ගොඩකට හොඳ වුනත් හැමෝටම මාළු ගන්න බෑ.
        මගෙත් අදහස අපේ රටේ තියන ආහාර අනුව මිනිස්සුන්ට පෙති වශයෙන් විටමින් ගන්න ඕනෑකමක් නෑ,
        මමත් විටමින් C අවශ්‍යතාව සපුරාගන්න යොදාගන්නේ නෙල්ලි හෝ කාමරංගා,
        ඒවගෙන් ප්‍රති ඔක්සිකාරක ලැබෙනවනේ.
        ඒත් සාමාන්‍ය මිනිස්සු මේ දේවල් දන්නවද දන්නේ නෑ.
        කැල්සියම් වගේ දේවල් කුඩා මාළුන්ගේ හොඳට තියනවනේ,
        ඒත් ටීවී ඇඩ් වල යන විදිහට මිනිස්සු හිතනවද දන්නේ නෑ අධි කැල්සියම් කිරි ඕනෑමයි කියල.
        මං නම් හිතන්නේ සමාගම් වල ට්‍රික් වලට මිනිස්සු පිරිසක් රැවටිලා ඇති.
        මිනිස්සුන්ගේ ආහාර රටාව සාමාජය මත ගොඩක් රඳා පවතිනවා,
        ඒ නිසා වෙන්න ඇති ඔය බෝ නොවෙන රෝග දියුණු රටවල දුප්පතුන්ටත් නොදියුණු රටවල පොසතුන්ටත් හැදෙනවා කියන්නේ.
        මේ සංවාදය මේ දේ මිනිසුන්ට කියලා දුන්නොත් හොඳයි කියන එක තේරුම් ගන්න ගොඩක් වැදගත් වුනා මට.
        ඔබට ගොඩක් ස්තුතියි.

        කැමතියි

      • (කලින් කමෙන්ට් එකටම මේ කොටසත් එකතු කරන්නම්, “අපේ ශරීර මස් මාංශ දිරවන්න උදව් කරන එන්සයිම ස්වභාවිකව පිහිටලා නැහැ. ඒවා පිහිටලා තිබෙන්නේ බිලාල කුළයේ මාංශභක්‍ෂක සතුන්ට… ඒ නිසා තමයි අපි මස් උයලා හෝ කන්නෙ… අපේ ආමාශයේ ආම්ලික තාවය අධික වුනාට මේ තත්ත්‍වය මස් දිරවන්න තරම් හිතකර නැහැ.” මේ කොටස ඔප්පු කරන පර්යේෂණ පත්‍රිකා කිහිපයක් කියනවාද?
        මොකද මේ දේ ඇත්ත නම් අපි (ලංකාවේ) මේ ගැන තවම දන්නේ නෑ,
        එය දැනගැනීම වැදගත් වේවි.

        මේ උත්තරයට ගොඩක්ම ස්තුතියි,
        මට මේක නිවීහැනහිල්ලේ කියවල අන්තර්ජාලයෙන් කරුණු හොයාගන්න පුළුවන් වේවි.
        ඒකට කලක් යාවි.
        මේ දේවල් වල ටෙක්නිකල් පැත්ත ගැන දැනගන්න සුදුසු වෙබ් සයිට් එකක් හෝ පොතක් හෝ විෂයක් තියනවද?
        මොකද මං හදිසියේ බලපු molecular biology පොත් වල වුනත් තිබ්බේ හොයාගත්ත දේවල් තමා වැඩියෙන්, ඒවගේ හොයාගත්ත විදිහ අඩුයි මං හිතන්නේ.
        මං හිතන්නේ ඔබගේ බ්ලොග් එකේ වුනත් රසවත් විදිහට මේ ඉතිහාසය ගැන ලියන්න පුළුවන් වේවි.
        මම මේ දේවල් ගැන අපේ ජීව රසායන විද්‍යා ආචාර්යතුමෙක්ගෙන් ඇසු විට කී දෙයත් මෙහි ලියන්නම්,
        ඔහු මේ ක්ෂේත්‍රය ගැන වැඩිය අධ්‍යනය කර නෑ,
        ඒත් ඔහු කීවා මේ පරීක්ෂණ වල මුල යීස්ට් වලින් සීනි මධ්‍යසාර කරන්ට පුළුවන් කියන තැනින් තමා සෛල තුල වෙනදේ ගැන මිනිස්සු උනන්දු වෙලා තියන්නේ.
        එතකොට මිනිස්සු යීස්ට් මරලා හෝ සෛල බිඳෙන දෙයක් කරලත් ඒ හැකියාව ඇති බව හොයාගත්තලු.
        ඔබට ගොඩක් ස්තුතියි නිහතමානීව තමන්ගේ ඉහල තත්වය ගැන නොසිතා මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නට.
        ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ ඉන්න තැන ගැන අපට සතුටුයි.
        තව තවත් ඉහලට යන්න, අර වෙද මහත්තයා (මහා වෙදනා) කොහේදෝ කමෙන්ට් කර තිබු ලෙස නොබෙල් පදක්කම දක්වාම යන්න ලැබේවායි සුභ පතනවා.

        කැමතියි

  3. නිර්මාංශ වීමේ දී ශරීරයට අත්‍යාවශ්‍ය වන ඇමයිලෝ අම්ල ලැබීමේ ගැටළුවක් නැද්ද ?

    අනික ශාකමය ආහාර (එළවළු පලතුරු ) උනත් කෘෂිරසායන වලින් අපවිත්‍ර වෙලා නිසා පිළිකා කාරක බහුලයි නේද ?

    කෘතිම ආහාර ශරීරයට මේ තරම් අහිතකර වෙලත් ඇයි ඒවා ගැන තද නීතිරීති නැත්තේ ?

    කැමතියි

    • නිර්මාංශ වීමේදී අත්‍යවශ්‍ය වන ඇමයිනෝ අම්ල ලබා ගැනීමේ වෙනත් ක්‍රම තිබෙනවා..
      මම ඒක තමයි කිව්වේ ශාක ආහාර ලබා ගැනීමේදී පිරිසිදු – තමන්ගෙම වත්තේ වගා කළ ආහාර ලබා ගන්නවා නම් විශේෂයෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය සහ කෘත්‍රිම පොහොර නොයෙදූ ආහාර ගන්න කියලා…
      ඒක ඉතින් නාථ දෙයියොන්ගෙන් තමයි අහන්න වෙන්නෙ… අපේ රටේ අහිතකර දේවල් ගොඩක් තියෙනවා නීති දාන්න… නමුත් කෝ නීති ?

      කැමතියි

  4. ඉතා සුපිරි ලිපියකි! ස්තූතියි! 🙂

    කැමතියි

  5. මගේ ප්‍රශ්නෙට උත්තරේ වෙනතැනක හම්බුනා,
    නිවීහැනහිල්ලේ බලන්නම් ඒ ලින්ක් ටික.

    කැමතියි

  6. හිතවත් ඇල්කෙමියා.

    මෙය කියවා මම ගොඩක් සතුටට පත් වුනා. ඔබ වැනි උගතුන් තුලින් මෙවැනි වටිනා ආකල්ප සමාජය තුලට ලබාදීම පිළිබඳ ඔබට මාගේ ගෞරව පූරක ස්තූතිය.

    මම සම්පූර්‍ණ නිර්මාංශ කෙනෙකි. (කිරි බිත්තර මස් මාළු නොකමි. සතුන්ගෙන් නිශ්පාදනය කරන දේ හැකිතාක් දුරට පාවිච්චි නොකරමි).

    මම මේම ලිපියට කැමතියි එකතු කරන්න කරුණු දෙකක්. මම දන්නා පරිදි ප්‍රසිද්ධ නිර්මාංශ ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටිනවා. ඉන් එක් කෙනෙක් නම් කාල් ලෙවිස්. කාල් ලෙවිස් තමයි ඔලිම්පික් ක්‍රීඩා උළලේ මළල ක්‍රීඩා වලින් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනූ ක්‍රීඩකයා. ඔහු 2528 සිට 2539 වෙනකල් රන් පදක්කම් නවයක් දිනාගෙන. ඔහු කියනවා ඔහුගේ කාර්‍ය්‍ය සාධනය වැඩිම වූයේ ඔහු නිර්මාංශ කාලයේදීයි කියා.

    අනිත් ක්‍රීඩකයා තමයි තිමොතෙ බ්‍රැඩ්ලි. ඔහු බොක්සිං ක්‍රීඩකයෙක්. ඔහු මැනී පැකියාඕ සමග දෙවරක් තරඟ කලා. ඉන් එකක් ඔහු විසින් ජයග්‍රහණය කලා.
    තිමොතෙ කියන්නේ ඔහුට පිස්සු හැදෙන ජවයක් ලැබෙන්නේ නිර්මාංශ ආහාර නිසා කියායි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න