උල්කාෂ්මයක් සරළව හඳුනාගන්නේ කෙසේද ?


පසුගිය මාස කිහිපය පුරාවටම ලංකාවේ විවිධ පලාත්වලින් උල්කාෂ්ම පතනය වීම් වාර්තා වුනා… මේ හැම වාර්තාවක් ගැනම පුවත්පත් සහ වෙබ් අඩවි පුරා විවිධාකාර ලිපි ලියැවී තිබුණත්, සාමාන්‍ය කෙනෙකුට විද්‍යාගාර පර්යේෂණයකින් තොරව උල්කාෂ්මයක් හඳුනා ගන්නේ කෙසේද යන දැනුම ලබා දීමට කිසිවකු උනන්දු වී තිබුණ බවක් වාර්තා වී නැහැ.. එසේ වාර්තාවක් තිබුණා නම් එය ඉතා අගය කළ යුතු ක්‍රියාවක් – සමහරවිට මට එය මඟහැරුණා විය හැකියි…

උල්කාෂ්මයක්

උල්කාෂ්මව බොහෝ දුරට පොළවේ ඇති සාමාන්‍ය ගල් වලට පෙනුමින් හැඩයෙන් සමාන වෙන නිසා සමහරුන් උල්කාෂ්ම වුවත් සාමාන්‍ය ගල් කැටයක් ලෙස සළකා කසළගොඩට දමන අවස්ථා වාර්තා වී තිබෙනවා. මේ උල්කාෂ්ම පෙනුම – හැඩය – අතින් පෘථිවියේ ඇති ගල්කැට වලට කිසියම් සාමානකමක් දැක්වූවත්, ඒවායේ ගුණ අතින් නම් කිසිසේත්ම සමාන වන්නේ නැහැ. මේ නිසා සරළ පරීක්‍ෂණ කිහිපයක් මගින් පෘථීවියේ ගල්කැට සහ උල්කාෂ්ම වෙන්කර හඳුනාගන්න පුළුවනි. උල්කාෂ්ම යනු අභ්‍යවකාශයේ සැරිසරන ඇස්ටරොයිඩ සහ වෙනත් වස්තූන්ගෙන් කැඩී එන කුඩා කොටස්. මේවා සිය ගමනේදී පෘථිවි ගුරුත්‍ව ක්‍ෂෙත්‍රයට හසුවීම නිසා පෘථිවියට ඇද වැටෙනවා. බොහොමයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට සිදුවන ඝර්ෂණය හේතුවෙන් රත් වී පසුව ඔක්සිජන් හා ක්‍රියා කර ගිණිබෝල ලෙස පොළවට පතිත වනවා. මේවා ඉතාම අධික වේගයකින් පොළවට පතිත වන නිසා සමහර උල්කාෂ්ම පිපිරුම් ශබ්ධයක් (Sonic Boom ) පවා පිටකරනවා. සමහරු මෙය අකුණු සැරයක් බවට වරදවා වටහා ගන්නවා. සමහරක් වායුගෝලයේදීම දැවී අළු වනවා සමහරක් පොළවට පතිතවෙනවා. මේවා ලංකාවේ පමණක් නොවෙයි, සෑම විටම ලෝකය පුරාවටම පොළවට පතිත වෙනවා.

උල්කාෂ්ම වර්ගීකරණය (Meteorite Classification)

උල්කාෂ්ම ප්‍රධාන වර්ග තුනකි. පාෂාණමය (Stony) පාෂාණමය-යකඩ සහිත (Stony-Irons ) සහ යකඩමය (Irons) මේ අනුව උල්කාෂ්මවල යකඩ අඩංගු වන බව ඔබට පෙනෙනවා ඇති. මේ නිසාම 99% ක් පමණම උල්කාෂ්ම ප්‍රබල චුම්භකයන්ට ඇදී යාමේ හැකියාවක් පවතිනවා. නමුත් හීමටයිට් සහ මැග්නටයිට් නම් යකඩ බහුල පෘථිවි පාෂාණත් මේ ලක්‍ෂණයම පෙන්නුම් කරනවා… පහත දැක්වෙන්නේ පියවරෙන් පියවර උල්කාෂ්මයක් හඳුනා ගන්නා පිළිවෙලයි.

පෙනුම

අළුත පතිත වූ උල්කාෂ්මයක් සාමාන්‍යයෙන් දැවී අළු වුන ස්වභාවයක් සහිත මතුපිටක් උරුම කර ගන්නවා. මෙය සිදුවන්නේ ගිණිගැනීම නිසායි. මෙයට Fusion Crust කියා කියනු ලබනවා. මෙය කළු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා විවිධ වර්ණයන් ගන්නවා. නමුත් පරණ වූ උල්කාෂ්මවල මේ ගතිය දකින්නට ලැබෙන්නේ නැහැ.

Fusion Crust

Fusion Crust

එය සාමාන්‍ය ගලක් බවට බොහෝ විට වරදවා හඳුනා ගන්න පුළුවනි. එය වෙන්කර හඳුනාගත හැකි එක් ක්‍රමයක් නම් එම පාෂාණය තරමක් දිළිසෙනසුළු පොලිෂ් වූ ගතියක් පෙන්වීමයි. එසේම ඒ උල්කාෂ්ම විවිධ හැඩයන් ගන්නවා. සමහර ඒවා ඇඟිලි වලින් එබූ මඩ ගුලියක් පිළිස්සූ කළෙක මෙන් කුඩා වලවල් පෙන්නුම් කරනවා  (Regmaglypts).

Regmaglypts

Regmaglypts

මේ අතරම කාබනික උල්කාෂ්ම (Carbonaceous Meteorites) නම් විරළ ( පතනය වන මුළු උල්කාෂ්ම වලින් 4.6% ක් පමණ) උල්කාෂ්ම ද මෙවැනි ස්වභාවයක් ගන්නවා.. සමහර ඒවා තරමක් රළු වනවා. ලංකාවට මෑතදී පතනය වූ උල්කාෂ්ම කාබනික උල්කාෂ්ම බවට මහාචාර්ය චන්‍ද්‍රා ජයරත්න මහතා පවසා තිබුණා. මේ උල්කාෂ්ම වල ජලය 3% – 22% අතර ප්‍රමාණයක් තිබෙනවා, අනෙක්වා කාබනික සංයෝග, සිලිකේට, ලෝහ ඔක්සයිඩ, සල්ෆයිඩ වැනි විවිධ සංයෝග අඩංගු වෙනවා. මෙම උල්කාෂ්මවල කාබනික සංයෝග අඩංගුවීමෙන් පැවසෙන්නේ ඒවා දැඩි උෂ්ණත්‍වයකට හසු වී නොමැති බවයි. මේවා සූර්ය නෙබියුලාවේ සංයුතියට සමාන බව පැවසෙනවා. මේවා වැඩිපුර රත්වීමකට ලක් නොවීම නිසා ජීවය පැවතිය හැකි බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවත්, මෙයට පෙර පතනය වූ කිසිම උල්කාෂ්මයක ජීවය ඇති බවට හඳුනා නොගැනීම නිසා මේ මතය බැහැර කිරීමට තවත් කෙනෙකුට හැකියි. මේ නිසා කාබනික උල්කාෂ්ම රාශියක් ජීවය ඇති-නැති බවට පරීක්‍ෂා කර හඳුනාගත යුතුයි.

forestburg2-point-6-closeup-2

කාබනික උල්කාෂ්ම

කාබනික උල්කාශ්ම

මේ තිබෙන්නේ එවැනි කාබනික උල්කාෂ්මයක් සහ එහි හරස්කඩක්.

 භෞතික ගුණ (Physical Properties)

උල්කාෂ්මවල සුවිශේෂ භෞතික ගුණ කිහිපයක් තිබෙනවා. පළමුවැන්න තමයි එහි ඇති අධික යකඩ ප්‍රතිශතය නිසා ප්‍රබල චුම්භක වලට ඇති ආකර්ෂණය. සාමාන්‍යයෙන් කුඩා චුම්භකයකට ද ප්‍රතිචාර දක්වන මේවා හරියටම හඳුනා ගැනීමට තරමක් ප්‍රබල චුම්භකයක් භාවිතා කළ හැකියි. ශීතකරණයක සවි කරන කුඩා සිහිවටනවල ඇති (Refrigerator Magnets) චුම්භක සමහර අවස්ථාවලදී භාවිතයට ගැනුනත්, මීට වඩා ප්‍රබල චුම්භක අප සතුව තිබෙන බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. ඔබ සතුව අකර්මන්‍ය වූ පරිඝණක දෘඪාංග තැටියක් (hard disk) ඇතිනම් එය තුළ ඇති ඉතා ප්‍රබල චුම්භක සොයාගත හැකියි. මෙවැනි චුම්භකයක් ඉතා පහසුවෙන් උල්කාෂ්මයකට ඇලී පවතිනු ඇති. එය පළමු සාක්‍ෂියයි.

උල්කාෂ්මවලට චුම්භක ඇදී යයි.

උල්කාෂ්මවලට චුම්භක ඇදී යයි.

නමුත් යකඩ අඩංගු පාෂාණ වන හීමටයිට් සහ මැග්නටයිට් ද මෙසේ චුම්භක වලට ආකර්ෂණය වන නිසා ඒවා උල්කාෂ්ම ලෙස වරදවා වටහා ගත හැකියි. මේ නිසා ඒවා හීමටයිට් සහ මැග්නටයිට් බවට සහතික කර ගත හැකි පරීක්‍ෂණයක් ද ඔබටම කළ හැකියි.

hematitestreak_lg

හීමටයිට් රතු පැහැයෙන් සෙරමික් ටයිල් එක වර්ණ ගන්වයි

magnetitestreak_lg

මැග්නටයිට් කළු පැහැයෙන් සෙරමික් ටයිල් එක වර්ණ ගන්වයි

මේ පරීක්‍ෂණය සිදු කිරීමට ඔබට සෙරමික් ටයිල් එකක් හෝ බිඳුනු සෙරමික් පිඟානක් අවශ්‍ය වෙනවා. ඔබ උල්කාෂ්මයක් යැයි සැක කරන චුම්භක ගුණ ඇති පාෂාණය සෙරමික් ටයිල් එකේ ඇතිල්ලූ පසු රතු හෝ කළු පැහැයක් ඇඳෙනවා නම් එය උල්කාෂ්මයක් නොවේ.

එසේම මේ උල්කාෂ්ම පිටතින් බලා කළ හැකි පරීක්‍ෂණ අවසානයේ ඔබට මෙහි ඇතුලත පරීක්‍ෂා කිරීම ඇරඹිය හැකියි. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ පීරක් පමණයි. මේ උල්කාෂ්ම සමහරවිට වටිනා උල්කාෂ්ම විය හැකි නිසා ඒවා පළුදු කිරීමෙන් වටිනාකම අඩු වන නිසාත්, අවශ්‍ය පරීක්‍ෂණ වලට බාධා පැමිණෙන නිසාත්, හානිය අවම කරගැනීමට සුදුසුයි. මේ නිසා උල්කාෂ්මයේ එක් පසෙකින් කොටසක් තෝරාගෙන පීරෙන් හෙමින් එහි ඇතුළත නිරාවරණය වන සේ පීරිගාන්න.. ඉන්පසු ඔබට එහි ඇතුලත හරස්කඩක් ලැබෙනු ඇති.

Esquel

පාෂාණමය – යකඩ උල්කාෂ්මවල හරස්කඩක්

සාමාන්‍ය කාබනික උල්කාෂ්මයක ලෝහමය සංයෝග ඒකාකාරව පැතිර පවතී

MontDieu

යකඩමය උල්කාෂ්මයක් දැඩි ඝණත්‍වයක් සහිතව ඇසිරී පවතී

ඒ හරස්කඩ මගින් උල්කාෂ්මයක් පැහැදිලිව හඳුනා ගත හැකියි. 

සාමාන්‍ය පෘථිවි පාෂාණ වලට වඩා උල්කාෂ්ම වෙනස් වන තවත් ප්‍රධාන භෞතික ලක්‍ෂණයක් වන්නේ ඒවායේ ඝණත්‍වයයි. සාමාන්‍ය පාෂාණයකට වඩා උල්කාෂ්ම ඝණත්‍වයෙන් වැඩියි. පහත දැක්වෙන්නේ සාමාන්‍ය පෘථිවි පාෂාණ සහ උල්කාෂ්ම අතර වූ ඝණත්‍ව සංසන්දනයයි.

Rock Type Density in grams / milliliter (mL) Density in ounces / cup
Granite 2.8 23
Sandstone 2.6 21
Basalt or lava rock 3.1 26
Hematite 5.1 42
Stony meteorite 3.5 29
Iron meteorite 8.0 66

මේ භෞතිකව උල්කාෂ්මයක් හඳුනා ගන්නා ක්‍රම කිහිපයක්. රසායනිකව සහ උසස් භෞත රසායනික උපකරණ භාවිතයෙන් උල්කාෂ්මයක් හරියටම හඳුනාගැනීම පහසුවෙන් කළ හැකියි.

උල්කාෂ්ම හඳුනා ගැනීම රසායනිකව කිරීම සාමාන්‍ය පුද්ගලයින්ට විද්‍යාගාර පහසුකම් නොමැතිව නොහැකියි. මේ උල්කාෂ්ම බොහොමයක නිකල් අඩංගුයි ඒ වගේම සාමාන්‍ය පෘථිවි පාෂාණවල නිකල් ලෝහය අඩංගු නැහැ. මේ නිකල් ලෝහය සඳහා සුවිශේෂී පරීක්‍ෂණයක් කිරීම මගින් කිසියම් පාෂාණයක් හරියටම උල්කාෂ්මයක් ද නැද්ද යන්න සොයාගත හැකියි. නිකල් ආම්ලික මාධ්‍යයකදී  ඩයිමෙතිල් ග්ලයොක්සීම් (DMG) සමඟ සංකීර්ණ අණුවක් තනනවා. මෙය රෝස පැහැතියි. 

මේ සඳහා උල්කාෂ්මයෙන් ලබාගත් කුඩු ස්වල්පයක් ගෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ එම කුඩු කිසියම් ප්‍රමාණයකට දිය කර එම ද්‍රාවණය ඩයිමෙතිල් ග්ලයොක්සීම් (DMG) මගින් පරීක්‍ෂා කළ විට රෝස පැහැයක් ලබා දේ නම් එම පාෂාණය 99% ක්ම උල්කාෂ්මයක් බවට සහතික කරගත හැකිය. 

මෙයට අමතරව Scanning Electron Microscope යන උපකරණයේ ලෝහමය සමස්ථානික රටාව ආශ්‍රයෙන් කිසියම් පාෂාණයක උප්පත්තිය නිසැකවම හඳුනාගත හැකියි. නමුත් මේ ක්‍රමය ලංකාවේ ඇතිනම් එය ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණික ආයතනය විය හැකියි. (SLINTEC).

ඉතින් ඉහත දක්වා ඇත්තේ ලංකාව තුළදී කිසියම් පාෂාණයක් උල්කාෂ්මයක්ද නැද්ද හඳුනාගැනීමට යොදා ගත හැකි සරළ පරීක්‍ෂණ කිහිපයක්. මේ සරළ පරීක්‍ෂණ කිහිපය භාවිතයෙන් ඔබ උල්කාෂ්මයක් යැයි සැක කරන ඕනෑම පාෂාණයක් හඳුනා ගැනීමට හැකියි. මේ උල්කාෂ්ම සමහරවිට අධික වටිනාකමින් යුත් දේ විය හැකියි. ඒ නිසා ඔබ උල්කාෂ්මයක් සතු කරගත් පසු එය කුණු කූඩයකට නොදමා පරිස්සමෙන් තබා ගතහොත් අනාගතයේදී ඔබේ නමත් සමහරවිට විද්‍යාත්මක සොයා ගැනීමකට සම්බන්ධ විය හැකියි.

ඉතින්, ඔබ මිදුලට වැටෙන උල්කාෂ්මයක් හෝ පාරේ ඇවිදිනවිට පයේ හැපෙන ගල් කැබැල්ලක් උල්කාෂ්මයක්දැයි පරීක්‍ෂා කිරීමට ඔබටත් හැකියාවක් මේ මගින් ලැබේ යැයි මා සිතනවා.

ලිපිය දිගු වැඩි වන නිසා මෙයට වඩා විස්තර එකතු කරන්නෙ නැහැ..

මෙන්න මේ වෙබ් අඩවියේ ඇති ක්‍රම වලින් උල්කාෂ්මයක් හඳුනාගත හැකියි. එතැනට මෙතැනින් යන්න. තවත් එකක් මෙතැන

How to identify a meteorite යනුවෙන් Google (හෝ Weemal) කළ විට ඔබට මේ ගැන වැඩිදුර විස්තර දැනගත හැකියි…

මෙය ඔබ බෙදාහදා ගන්නේ නම් ඇල්කෙමියාගේ දිනපොතින් උපුටා ගත් බවට නොකියන්න අකාරුණික වන්න එපා… මෙය වෙබ් අඩවි විස්සක් පමණ කියවා නිදිවරා ලියූ ලිපියක් නිසා එහි අගය මට හොඳටම දැනෙනවා.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 9, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. මේවා අල්ලන්න සූරන්න යෑම හොඳ දෙයක්ද? උල්කාෂ්ම වල විවිධ විකිරණ ශීලී දේවල් වෛරස් වගේ දේවල් අඩංගුවෙලා නෑකියලා කියන්න බෑ නේද?

    කැමතියි

    • ඔබ මතු කළේ හොඳ ප්‍රශ්නයක්…
      උල්කාෂ්ම වල වෛරස් නැහැ.. වෛරස් තිබුණා නම් ඒ සියල්ල උල්කාෂ්මය පොලවට පතිත වීමේදී විනාශ වෙනවා අධික රස්නය නිසා. විකිරණශීලීභාවය පිළිබඳ තරමක සැක සංකා තිබුණත්, උල්කාෂ්මවල විකිරණශීලී භාවය සාමාන්‍ය පෘථිවි පාෂාණයක විකිරණශීලීභාවය ඉක්මවා යන්නේ නැහැ. උල්කාෂ්ම තැනී ඇත්තේ වැඩිපුරම යකඩ සහ නිකල් යන ලෝහ දෙකෙන්… නමුත් අල්ලනවා නම් අත්මේස් පැළඳ ඇල්ලීමට හැකියි…

      කැමතියි

  2. විකිරණශීලී ලෝහ වර්ග තියෙන්න බැරිද?

    කැමතියි

    • උල්කාෂ්ම ගැන වාර්තා කළාට වැඩක් නෑ රාමා.. මිනිස්සු හරිහැටි දැනුවත් කරන්නෙ නැතුව…
      ජලයෙ දියවෙන උල්කාෂ්ම ගැන මම නම් ඇහුවමයි… උල්කාෂ්මවල ජලයේ දියවෙන අයන වර්ග තිබුණත්, සම්පූර්ණයෙන්ම උල්කාෂ්මයක් ජලයේ දියවෙන්න අමාරුයි.. මොකද උල්කාෂ්මයක් වැටෙද්දී සිදුවන රත්වීම සහ ගිණිගැනීම නිසා මේ පාෂාණ දැඩි වෙනවා. ගඩොල් කැටයක් තනිකර මැටි වලින් තැනුවත්, එය ගිණි තැබූ පසු ජලයේ දිය වෙන්නෙ නැහැ.. මේ සංසිද්ධිය ම තමයි එතැනත් සිදු වෙන්නෙ…
      මේක මහ පිස්සු ලෝකයක්…. අභූත දේවල් සිද්ධ වෙන්නෙ..

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: