Daily Archives: පෙබරවාරි 23, 2013

බාලචන්‍ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත………..


ඇල්කෙමියා පොරවාගෙන සිටි සියළු සළු පිළි උනා දමා නිරුවත් වී තිබේ.. නැත නැත, ඇල්කෙමියාගේ එකම එක ප්‍රතිචාරයකින් ඔහු මෙතෙක් කල් මානුෂිකත්‍වයේ සළුවෙන් වසාගෙන සිටි මෘගභාවයේ යථාර්තය එළියට පැමිණ තිබේ.. ඇල්කෙමියා අප හිතාගෙන සිටි සංවේදී මානුෂික පුද්ගලයා නොවේ… ඇල්කෙමියාගේ නියම ස්වරූපය එළියට පැමිණ තිබේ…. හුරේ… ඇල්කෙමියා නිරුවත් වී ඇත……. මෙය බ්ලොග් අවකාශයේ ජනප්‍රිය ලොකු පොරවල් දෙතුන් දෙනෙකුට සුවිශාල මාතෘකාවක් වී ඇතිවාක් පමණක් නොව ඒ නිසා සිය හිට් සංඛ්‍යාවද වැඩි කරගැනීමේ මඟක් ද පාදා ගෙන ඇත… සංතෝෂය… අප්‍රමාණ සංතෝෂය..

පින්තූරය ගත්තෙ කතන්දරකාරයාගේ මානුෂීය වෙබ් අඩවියෙන්

පින්තූරය ගත්තෙ කතන්දරකාරයාගේ මානුෂීය වෙබ් අඩවියෙන්

සිදු වූයේ කුමක්ද ? බොහෝ දෙනා නොදන්නවා විය හැකිය… අවම වශයෙන් මා කළ ප්‍රතිචාරය නිසා මට පහර ගසන බව වැටහෙන්නට මටද දින කිහිපයක් ගත වූ කල්හි, අන් අය ගැන කවර කතාද ? මාද එය දැනගත්තේ කතන්දරකාරයා දැමූ මේ ලිපියෙහි වූ කමෙන්ටුවක් ඇස ගැටුන කල ය… පහර ගැසුවත්  කෙළින්ම නම කියා පහර ගසන්නට තරම් අපේ බ්ලොග් කරුවන්  බියගුළුය… මා  මේ වනතෙක් කිසිම බ්ලොගයක් හෝ බ්ලොග් කරුවෙකු මේ බ්ලොග් අඩවිය තුළින් විවේචනය කර හෝ ප්‍රචලිත කර නැත. එය මගේ ප්‍රතිපත්තියක් නොවීය.. මේ ලිපිය මා ලිවීමට අදහස් නොකළ ලිපියක් වුවත්, ගසන්නට ගසන්නට ඔළුව නවාගෙන සිටීම කවරදාකවත් මගේ පුරුද්දක් නොවූ නිසා ඔබ කැමති ආකාරයකට තේරුම් ගැනීමට මා කැමති දේ මෙසේ ලියා තබමි.

ලාංකීය බ්ලොග් අවකාශය ප්‍රතිපත්ති, සාරධර්ම, සහ අපක්‍ෂපාතී විනිශ්චයන්ගෙන් තොර කලාපයකි. ලංකාවේ සමාජයේම තවත් එක් පැතිකඩක් වන බ්ලොග් අවකාශය බොහෝ විට පෞද්ගලික හිතවත්කම් මත ජනප්‍රියතාවය මනිනු ලබන සිදුවීමක් පමණි. ලියැවෙන බ්ලොග් වල ගුණාත්මක වටිනාකමකට අවම ලංසුවක් දෙන ලාංකීය බ්ලොග් අවකාශය බොහෝ විට සරළ වින්දනය ලබා දෙන බ්ලොග් අඩවි ජනප්‍රිය වන ස්ථානයකි. ලාංකීය බ්ලොග් අවකාශයේ ප්‍රධාන අංශ කිහිපයකි.

  1. සිය ජීවිත කතන්දර සහ සමීපතයින්ගේ කතන්දර ඉදිරිපත් කෙරෙන බ්ලොග් අඩවි.
  2. පාසැල් ජීවිතය නැවත නැවත ආවර්ජනය කෙරෙන අඩවි.
  3. කවි – කතා ලියැවෙන නිර්මාණාත්මක අඩවි.
  4. දේශපාලනය – සමාජයීය තොරතුරු ලියැවෙන බ්ලොග් අඩවි.
  5. තාක්‍ෂණික තොරතුරු ගෙන එන බ්ලොග්
  6. පර්යේෂණාත්මකව සහ විචාරාත්මකව ලියැවෙන බ්ලොග්.
  7. කුණුහරුප බ්ලොග්…

මේ මොන බ්ලොග් අඩවියේ බ්ලොග් එකක් පළ වුවත්, එයට ලැබෙන හිට් සහ කමෙන්ට් සංඛ්‍යාවෙන් 95% ක් තීරණය වන්නෙ ලිපියේ ගුණාත්මකභාවය නිසා නොවෙයි. ලේඛකයාගේ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත, බොහෝ දෙනා සයිබර් අවකාශයේ තවත් එක චරිතයක් පමණක් වුවත්, බ්ලොග් සහ ෆේස්බුක්, මාර්ගයෙන් දැන හඳුනාගෙන, මිතුරුදම් ඇති කරගෙන තම තමන් “කල්ලියකට” එකතු වෙනවා. අන්න ඒ කල්ලියේ ප්‍රමාණාත්මක භාවය අනුව කමෙන්ට් සහ හිට් ලැබෙනවා. මෙය මේ පසුගිය වසර තුනක කාළයකදී බ්ලොග් අවකාශයේ දුටු සත්‍යයක්. මේ නිසාම නවක බ්ලොග් කරුවන්ට සිය බ්ලොගය ප්‍රචලිත කරගැනීමට “මේ පැත්තෙනුත් ඇවිත් යන්න” කියන සිඟමන් යැදීමට සිදුවී තිබෙනවා. අවාසනාවන්තයි – නමුත් ඇත්ත මෙයයි.

බ්ලොග් අවකාශයේ ලියැවෙන බ්ලොග් වර්ගීකරණය කරන්නෙත් අපමයි. දේශපාලන ලිපියක් ලියැවුන සැණින් සමහර බ්ලොග් දේශපාලන ගොන්නට වැටෙන්නෙත්, සංවේදී ලිපියක් ලියැවුන බ්ලොග් එකක් මානුෂීය – සංවේදී ගණයට වැටෙන්නෙත් ඒ නිසයි. මේ අන්තර්ජාලයේ පුද්ගල අනන්‍යතාවය කියන දේ විහිළුවක් වුනත්, ලියැවෙන බ්ලොග් අනුසාරයෙන් බ්ලොග් ලියන්නා පිළිබඳ චිත්තරූප මවාගෙන ඒ පුද්ගලයා මෙන්න මේ වගේ චරිතයක්ය කියා හංවඩු ගහන්නෙත්  අපිමයි. මේ නිසාම බ්ලොග් ලිපිවල අන්තර්ගතයට වඩා ඒ බ්ලොගයේ ලේඛකයාවෙත ආකර්ෂණය වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම ලාංකීය බ්ලොග් තලය තුළ. මේ නිසා පසුව බ්ලොග් අඩවියේ පෞරුෂත්‍වය ලේඛකයාගේ පෞරුෂත්‍වය බවට පත් වෙනවා. මේ නිසාමයි සමහර බ්ලොග් කරුවන් සාමාන්‍ය ජීවිතයේදී දුටුවිට මේ ඔහුමද/ඇයමද ? කියා විශ්වාස කරන්න අපහසු වෙන්නෙ… වැරදි වුනත් මේ වර්ග කිරීම කරගෙන ඉන්නෙ අපිමයි. නමුත් මේ චරිත සියල්ලම අපි බ්ලොග් හරහා දකින චරිතද ?

මේ බ්ලොග් වර්ග ඇල්කෙමියාගේ දිනපොත අයත් වන්නේ පර්යේෂණාත්මකව සහ විචාරාත්මක බ්ලොග් කාණ්ඩයට බව මගේ හැඟීමයි. මුලින් මුලින් දිනපොතෙහි එදිනෙදා රසායනාගාරයේහෝ ජීවිතයේ  සිදුවන දෑ ලියැවුනත්, එය මටම නීරස වූ නිසා කෙමෙන් කෙමෙන් පර්යේෂණාත්මක පැත්තට බර වුනා. ඒ මගේ ජීවිතයම පර්යේෂණ හා බැඳුන නිසා. දැන් බොහෝවිට ඇල්කෙමියාගේ දිනපොතෙහි ලියැවෙන්නෙ ඔබට කිසියම් දැනුමක් ලබාදීම අරමුණු කරගත් ලිපි. මේ ලිපි සමහර වෙලාවට කර්කෂයි. තවත් සමහර වෙලාවට සංවේදීයි. තවත් සමහර වෙලාවට මේ ලෝකෙ රහක් නෑ… නමුත්, ඒ මොනවා වුනත් ඇල්කෙමියාගේ දිනපොත බැලූ ඔබ එය කියවනවා. සමහර වෙලාවට නම් ඔබ කෙළින්ම කියනවා මෙය වැදගැම්මකට නැති ලිපියක් බව. නමුත් ඒ එහෙමත්ම කෙනෙක්.

මා ලිපි ලියන්නෙ ඔබ සතුටු කරන්න නොවෙයි. මා එකතු කර ගත් හො අන්තර්ජාලයෙන් උකහා ගත් දැනුම ඔබට ලබා දීමට, ඉඳහිට දේශපාලනික ලිපියක් හෝ වෙනයමක් ලියැවෙන්නෙ ඒකාකාරීබව මඟහරවා ගන්න. මම ලිපි ලියන්නෙ හිට් ගන්නවත් කොමෙන්ට් ගන්නවත් නෙවෙයි.. එහෙම ලියනවා නම් ලියන්න ඕනතරම් ලිපි තිබෙනවා. ඒත් මම ඒවා ලියන්නෙ නෑ.. මටත් ලස්සන පොඩි කාළයක් තිබුණා – දඟකාර පාසැල් සමයක් තිබුණා.. මම ඒවා ලියන්නෙ නෑ… මට ඊට වඩා වැදගත් දේ තිබෙනවා ලියන්න..  මට බ්ලොග්වලට ගිහින් කමෙන්ට් දාන්න තරම් වෙලාවක් නෑ.. අළුත් බ්ලොග් හොයාගෙන ගිහින් කියවන්න වෙලාවක් නෑ. මම ඒ නිසාම කියවන්නෙ අතට හසුවන ෆේස් බුක් එකේ ඇති- බ්ලොග් කිහිපයක් විතරයි. ඒ නිසාම මට බ්ලොගය හරහා මිතුරන් ඇතිකරගන්නවත්, ෆේස් බුක් එක හරහා මිතුරන් ඇතිකරගන්නවත් අවශ්‍යතාවයක් නෑ.. ඒ ඇති කරගත්තත් මිතුරුකම් පවත්වන්න වෙලාවක් නෑ…. මම සැබෑ ජීවිතයෙ හමු වෙලා තියෙන්නෙ  බ්ලොග් කරුවන් දෙදෙනෙකු විතරයි. ඒ අරුණි අක්කා සහ මහවෙදනා. වැප් නිශාන්ත එක්ක දෙවතාවක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා. ඒ මගේ බ්ලොග් ලෝකයේ සයිබර් නොවන සම්බන්ධතාවයන්. ඒ විතරක් නොවෙයි මගේ බ්ලොග් එක ලියන්නවත් වෙලාවක් නෑ… ඒ නිසාම බ්ලොග් අඩවිය යාවත්කාලීන වෙන්නෙ ඉඳහිට. ගිය සතියෙ මගේ බ්ලොග් අඩවිය දිනපතා යාවත්කාලීන වුනේ මට තරමක් විවේකීව තිබුණ නිසා මෙන්ම Blog Awards Carnival නම් තරඟාවලියකට ඇතුලත්ව තිබූ නිසා. අදින් පසුව සතියක්ම රසායන විද්‍යා සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වෙන්නට ඇති නිසා යාවත්කාලීන වන එකක් නැහැ. ඉතින් මේ සීමිත කාළයේ ඇල්කෙමියාගේ දිනපොත වටා බ්ලොග් කියවන්නන් 50 ක් පමණ එකතු වුනා. ලිපියක් දැමූ දවසක 200-300 අතර කියවූවත් එය බ්ලොග් ලෝකයේ මහ ලොකු දෙයක් නෙවෙයි. මට ඒක ප්‍රශ්නයකුත් නොවෙයි.

දැන් අපි ප්‍රධාන ප්‍රශ්නයට බහිමු…

යුධ සමයේත් ප්‍රධාන මාතෘකාවක් ව තිබූ ප්‍රභාකරන්ගේ බාලම පුතු බාලචන්‍ද්‍රන්ගේ මරණය නැවත වතාවක් කරළියට පැමිණ තිබෙනවා. මෙය පැමිණ තිබෙන්නේ ජිනීවා හි මානව හිමිකම් සැසිවාරයට සමගාමී වීම අපූරු සිද්ධියක්. මෙතෙක් කල් සැඟව තිබූ ඡායාරූප කිහිපයක් හදිසියේම කරලියට පැමිණ තිබෙනවා පමණක් නොවෙයි ඔහු මරාදැමීම පිළිබඳවත් ඇසින් දුටුවාසේ කතා ලියැවෙනවා. මේ පිළිබඳ මාරයාගේ හෝරාව බ්ලොග් අඩවියේ ඔක්කෝම හරි….. අපි වැරදියි යන මාතෘකාව යටතේ ඔහුගේ අදහස් ලියැවී තිබුණා. බ්ලොග් අඩවියක් තුළ ලියැවිය හැකි/යුතු දෑ පිළිබඳ කාටවත් අභියෝග කළ නොහැකියි. ඒ තමන්ගේ අඩවියෙහි අයිතිය තමන්ට ඇති නිසා. මේ ලිපියෙහි අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය මත දෙකක පිහිටනවා. ඒ කියන්නෙ දෙකට බෙදිලා. සුළු පිරිසක් එය සාධාරණීකරණය කරන අතර විශාල පිරිසක් එම මරණය හෙළාදැක තිබෙනවා. මරණය සිදු වූයේ කෙසේදැයි මේ බ්ලොග් අවකාශයේ කිසිම කෙනෙකු 100% ක් නිවැරදිව නොදැන සිටියත්, තමා සියල්ල දත් බව සිතමින් එහි සම්පූර්ණ වරද ත්‍රිවිධ හමුදාව වෙත පවරන්නෙ බොහොම පහසුවෙන්.

මෙහිදී මා පළ කළ අදහස වූයේ

කියන්න වදන් නෑ… සහතික ඇත්ත….
වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා….
මම දන්නෙ එච්චරයි.”

එයින් මම අදහස් කළේ තීරණ ගත් කවුරුන් හෝ ඒ අවස්ථාවේ ගත යුතු සුදුසුම තීරණය අරගෙන ඇති බවයි. එයට පිළිතුරු සපයන මාතලන් : කනගාටුයි අල්කෙමියා. ඔබ ලාංකික දරුවන්ට ආදරය කරන්නේ හදවතින්ද.. නැතිනම් ජන්ප්‍රියතාවය සඳහාද…? මේ ප්‍රශ්ණය නැගුවා කියා ඔබ මා හා අමනාප නොවනු ඇතයි සිතමි.

මට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ මම ඊට පිළිතුරු දැක්වූයේ

කණගාටු වෙන්න එපා මාතලන්…
මටත් මේ පින්තූරය දැක්කම දුක හිතුනා.. මම මිනිහෙක් තියා සතෙක්වත් මරණවට කැමති මිනිහෙක් නෙවෙයි…
නමුත්, මෙහෙම කියන අපි කී දෙනෙක් දුමින්ද මැරෙයි කියලා බලං හිටියද ? ප්‍රේමදාස මැරුණාම රතිඥ්ඥ පත්තු කළාද ? ප්‍රභාකරන් මලා කිවුවම කිරිබත් ඉව්වද ?
මේ රටවල කරන්නෙ සතෙක් මැරෙන්න යනව නං ඌට ඉන්ජෙක්ෂන් එකක් දීලා ඌට තවත් දුක් විඳින එකෙන් මුදවනවා.
හොඳයි මාතලන්ම හිතලා බලන්න, මාරයා කියපු දේවල වැරැද්දක් තියෙනවද කියලා…
ඔසාමාගෙ මිනිය පුච්චන්නෙ නැතුව මුහුදෙ ගිල්ලුවෙ ඒකා වීරයෙක් කරයි කියන සැකයට. මෙතනත් ඊට වඩා වෙනසක් දකින්නෙ නෑ… ආයුධ පෙන්නන්න ගිහින් මාංචු පිටින් මැරෙන පාතාලයොත් ඉන්නවා… සමහර දේවල් තියෙනවට වඩා නැති තරමට හොඳයි…
මම හිතන්නෙත් ඒ විදියට… මානුෂිකත්‍වය එක දෙයක්, ප්‍රායෝගිකත්‍වය තව දෙයක්… ලටපවා ගන්න එපා….

ඊට කිහිප දෙනෙකු ප්‍රතිචාර දක්වලා තිබුණා. නැවත මාතලන් කිවුවෙ “දුමින්ද එවෙලෙම වෙඩි හුවමාරුවෙන් මැරුණා නම් සතුටු වනවා මිසක්. ඔහුව මැරුවොත් මම සතුටු වෙන්නේ නෑ. ප්‍රේමදාස මැරුණාම මට ඇති වුනේ දුකක්. අද ඒක එදා කිරිබත් කාපු කාටත් දැනෙනවා ඇති. ඔහි සිටියානම් මේ රට ආර්ථික අතින් ඉහලටම ගමන් කරණවා. ප්‍රභා මැරුණම සතුටු උනාට. ඒ සතුටු වුනේ ප්‍රභාකරන මරා දැමීම ගැන නොවේ. තස්තවාදය අවසානය සනිටුහන් කල නිසා. මා ප්‍රභා මරා දැමු ආකාරයත් කිසි සේත් අනුමත කරන්නේ නෑ. මතක තබා ගන්න එළාරගේ සොහොනටත් ගරු කළ මිනිසුන් අපි. මට ඒ ඡායාරූප දෙස බලා සතුටු වන්නට නම් කිසිසේත්ම බෑ. ඇතිවන්නේ කනගාටුවක් හා කළකිරීමක් පමණයි. එසේ නොවන්නේ නම් ප්‍රභා අහා අප අතර ඇති වෙනස කුමක්ද…?

මෙතැනදී මම සතුටු වන බවක් කිසිම තැනක පවසා සිටියෙ නැහැ. ඒ වගේම මම මාතලන්ට ගරු කරනවා කෙළින්ම සාධාරණව මනුස්සයෙක් වගේ ප්‍රශ්නය කතා කිරීම ගැන. වහෙන් ඔරෝ එන්නෙ නැතුව කෙළින්ම ගේමට බැස්ස එක ගැන. එහෙම එන්න මිත්‍රයා. කිසිම තරහක් නෑ..

මම කිවුවෙ එතැන තිබූ ප්‍රායෝගිකත්‍වය. මම පෙරදිත් කිවූ පරිදි මම පර්යේෂණයන්ට සහ දත්ත – විශ්ලේෂණාත්මක තීරණ මත තීරණ ගන්න පුද්ගලයෙක්. මේ දැමු ප්‍රතිචාරය මම හැඟීම් බරව ලියූවක් නොවෙයි. මම ඒ ලියූ ප්‍රතිචාරය පිළිබඳ 100% ක වගකීම භාර ගන්නවා.  ඒ අතර නැඟුන ප්‍රධාන පැණයක් තමයි විජේවීරගෙ පවුල ආරක්‍ෂා කළ ආණ්ඩුව – කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන් ආණ්ඩුව – කේ පීට අභය දානය දුන් ආණ්ඩුව බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ ඇයිද කියන ප්‍රශ්නය.

  1.  බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ ආණ්ඩුවද කොටිද යන දේ සහතිකව දන්නෙ කවුද ? මාතලන් දන්නවද ? කතන්දරකාරයා දන්නවද ? රයිගම් මණ්ඩිය ලියන පුද්ගලයා දන්නවද ?  කාටද කියන්න පුළුවන් 100% ක් සහතික ඇතුව බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ කවුද කියලා ? (මම කාටවත් කඩේ යනවා නෙවෙයි… මම ලියන්නෙ සාධාරණ සැකය මත) තවත් සැකයක් නම්, යුධ හමුදාවන්ගෙන් රැකවරණය ලැබූ බාලචන්‍ද්‍රන් මියගියේ අවසාන යුද්ධයේදී  කොටින්ගෙ වෙඩි පහරක් නිසා නොවන්න බැරිද ?
  2. විජේවීරගෙ පවුල මරා දැම්මෙ නැත්තෙ ඇයි ? හේතුවක් නොතිබුණ නිසා… විජේවීරගෙ පවුල ආණ්ඩුවට තර්ජනයක් නොවෙයි. පැවැත්මට තර්ජනයක් නොවෙයි. ඔවුන් ඇමට දාගෙන නැවතත් අරගලයක් පටන් ගන්න ජේ වී පී එකටවත් වෙනත් සිංහල සංවිධානයකටවත් කොන්දක් නැති බව ආණ්ඩුව දැනගෙන හිටි නිසා. හැරත් විජේවීර යටත් වුනේ යුධමය වාතාවරණයක් මත නොවන නිසා. විජේවීර යටත් වුනේ යුධබිමක නම්, විජේවීරගෙ පවුලටත් අයත් වෙන්නෙ ඔය ඉරණමම තමයි. හොඳයි නෑ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?
  3. කරුණා අම්මාන් පිල්ලෙයාන් ආණ්ඩුවේ උසස් තනතුරු දරන්නෙ ඇයි ? කරුණා සහ පිල්ලෙයාන් කියන්නෙ ආණ්ඩුවට සම්පත් (assets) ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු මත ආණ්ඩුව සිය යුධ යාන්ත්‍රණය මෙහෙයවූවා. ජයග්‍රහණ අත්පත් කරගත්තා. කේ පී කියන්නෙ කොටි සංවිධානයේ ආර්ථික කේන්‍ද්‍රයේ මහ මොළය, දේශපාලනික උපක්‍රමශීලීත්‍වය අතින් ඉහළම හිණිපෙත්තෙ හිටපු ආණ්ඩුවට ඒ වගේ සම්පතක් කොතැනකවත් නැහැ.. බාලචන්‍ද්‍රන් සම්පතක්ද ? නැහැ. වගකීමක් (liability)
  4. බාලචන්‍ද්‍රන් ජීවතුන් අතර තබා ගත්තා නම් – ඔහු ජීවත් කිරීමේ වගකීම කිසිවෙකු හෝ දැරිය යුතු වෙනවා. කේ පී – කරුණා වගේ නොවෙයි ඔහු – කුඩා දරුවෙක්. පාසැල් යවන්න වෙනවා, මවුපිය සෙනෙහස ලබා දෙන්නට වෙනවා. ඔහු උසස් ගණයේ ඉලක්කයක්  (High profile target) ජනාධිපති තුමාගෙ දරුවන් මෙන්ම ආරක්‍ෂාවක් රැකබලාගැනීමක් කරන්නට වෙනවා. විශාල වගකීමක්, වැරදෙන්නට ඉඩ ඇති තැන් බොහෝයි.
  5. බාලචන්‍ද්‍රන් කියන්නෙ ප්‍රභාකරන් පරපුරේ අන්තිම පුරුක – ඊලාම් අරගලයේ මීලඟ බලාපොරොත්තුව – ප්‍රභාකරන්ගෙ ලේ බිංදුවක් ගෑවුන කිසිම කෙනෙකු නැතිව (සහෝදර සහෝදරියන් සිටියත්- ඔවුන් ක්‍රියාකාරී නැහැ) ඊලාම් අරගලය ඩයස්පෝරාව විසින් මෙතෙක් දුර අරගෙන යන අවස්ථාවේ, බාලචන්‍ද්‍රන්ගේ පැවැත්ම සියල්ල අවුල් කරන බව තීරණ ගන්නවුන් දැනගෙන සිටියා වන්නට පුළුවන්. පිටතින් බලන අපට ඒ බව තේරෙනවා නම් – ඇතුලත සිටින, දේශපාලනයෙන් තෙම්පරාදු වුන අයගේ තීරණ මීට වඩා බොහෝ ලෙසින් තීරණාත්මක වන්නට පුළුවන්. මේ නිසාම එක වෙඩි උණ්ඩයකින් ප්‍රශ්න බොහොමයකට විසඳුමක් ලබා දුන්නා වෙන්නට පුළුවන්.
  6. බාලචන්‍ද්‍රන්ගෙ අයියා – චාල්ස් ඇන්තනිත් බාලචන්‍ද්‍රන් වගේම හුරුබුහුටි කොල්ලකුව හිටියා කාටත් මතක ඇති. නමුත් අයියා කොටි සංවිධානයේ දෙවැනියා වී අවසන් සටනේදී මිය ගිය බව කාටත් අමතක වන්නටත් ඇති. නමුත් – අයියා ගිය මඟම මල්ලී යා දැයි කාට හෝ සංවේදී මනුස්සයෙකුට හැඟීමක් ඇතිවන්නට පුළුවන්. හිට්ලර් ගැනත් කවුදෝ ෆේස් බුක් එකේ ඔය වගේ කතාවක් ලියා තිබුණා. තමන්ගෙ පවුලම  සතුරන් අතින් තමන්ගෙම දෑස් ඉදිරිපිට මැරෙද්දී, ඒ හැඟීම් කාටද ජීවිතේ තියෙන තාක් කල් ඉවත් කරගන්න පුළුවන් ? මේ මානුෂිකත්‍වය ගැන කතා කරන මහත්වරුන්ට පලිගැනීම කියන චේතනාව හදවතේ කොතැනකවත් නැද්ද ? ඔබ බාලචන්‍ද්‍රන්ගෙ මනසට ඇතුළු වී බලන්න.
  7. බාලචන්‍ද්‍රන් ජීවත්ව සිටියා නම්, ඔහුට අයිතිවාසිකම් කියන්න ඉදිරිපත් වන්නෙ ප්‍රභාකරන්ගෙ සහෝදර සහෝදරියන් පමණක් නොවෙයි. ජයලලිතා – රුද්‍රකුමාරන් පමණක් නොවෙයි ඇඩෙලා බාලසිංහම් වුනත් අයිතිය කියාගෙන එන්න පුළුවන්. නවි පිල්ලෙත් ඇවිත් දරුකමට හදාගන්න ඉල්ලන්න බැරි නෑ… මෙය ආණ්ඩුවට ප්‍රශ්නයක්. පිළියම – මරා දැමීම වෙන්න පුළුවන්.

මේ ඔබ නොසිතන – මා දකින පිළිතුරු කිහිපයක්. මා අමානුෂික වන්නට පුළුවන්, නමුත් බාලචන්‍ද්‍රන් අපේ අතින් මරණයට පත් වූවා නම් මේ පිළිබඳ තීරණය ගත් කිසිවෙකු ඒ අවස්ථාවේ ගනු ලැබූ වඩාත්ම ප්‍රායෝගිකම තීරණය හැටියට මා එය දකිනවා. කොටි සංවිධානය විසින් ඔහුව මරණයට පත් කර ඡායාරූප ගනු ලැබුවා නම්, ඔවුන් ද ඒ අවස්ථාවේ කල හැකිව තිබූ අනාගත ආයෝජනයක් කර තිබෙනවා.

මානව සංහතිය මෙලොව රජකළ කාළයේ කිසිම අවස්ථාවක පන්සිල් පද පහ රැකගෙන දිනපු යුද්ධයක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඔය මානුෂිකත්‍වය ගැන කතා කරන මහත්වරු මට කියන්න. ලොව සිදුවන සෑම යුද්ධයකම මානව හිමිකම් කඩ වෙනවා. නමුත් යුද්ධ වලට සහභාගි වන හැම පාර්ශවයම ශිෂ්ණය දෙපරංදය අස්සෙ ගහගෙන වෘෂණ කෝෂ වලින් රමණය කරන්න යන නිසා (අදාල වචන තමන් දන්න කුණුහරුප වලින් ආදේශ කරගන්න) තමන් පිරිසිදු බව ලොවට හඬගා පවසනවා. ලංකාවට මානව හිමිකම් චෝදනා නගන ඇමරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර වලින් සහ කෙළින්ම වෙඩි තබා කරන ඝාතන වලින් සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කරන්න නවි පිල්ලෙට කොන්දක් නෑ.. බන්කි මූන්ට කොන්දක් නෑ.. නමුත් පුංචි රටක් වන ලංකාවට තලන්න පෙලන්න හැමෝම සූදානම්, ඒකට සාක්‍ෂි දෙන්න ඕනතරම් කට්ටිය. හරියටම ලංකාවෙ නඩු අහනවා වගේ.

දිග වැඩියි.. ඒත් ලියනවා. බලන එවුන් බලයිනෙ….

දැන් ප්‍රශ්න ගොඩක් පැණ නගිනවා….

  1. ඇල්කෙමියා මේ ප්‍රහාර නිසා බ්ලොග් ලිවිල්ල නතර කරයිද ? – නැහැ මහත්වරුනේ…. බල්ලෙක් දෙන්නෙක් බිරුවට කන්දක් පහත් වෙන්නෙ නෑ… ඇල්කෙමියා කවදත් කියන්න ඕන දේ කිවුවා. යුද්ධය දිනූ මහින්ද – ෆොන්සේකා – ගෝඨා- බැසිල් සහ ලලිත් වීරතුංග මහත්වරුන් අගය කළා වගේම විවේචනය කරන්න අවශ්‍ය වුන අවස්ථාවලදී විවේචනය කරන්නත් ඇල්කෙමියට කොන්දක් තිබුණා. කොළඹ ලස්සන කරන ගෝඨාභයගෙ චින්තනය අගය කරන ඇල්කෙමියා ඔහුටම රටේ වන අපරාධ මර්ධනය කරගන්න බැරි එක ගැන තිබෙන්නෙ දුකක් – කළකිරීමක්. ඒ ගැන කතා කරන්න ඇල්කෙමියට බැඳීම් නැහැ. උඹලා මට ගැහුවයි කියලා මගේ බ්ලොග් ලිවිල්ල නතර වෙන්නෙ නැහැ.
  2. සංවේදී කට්ටිය ඇල්කෙමියගෙ දිනපොත කියවන එකක් නැද්ද ? මට පුකයෑ (කතන්දර කාරයා පුක යන වචනය කුණුහබ්බයක් නොවන බව පේටන්ට් බලපත්‍රයක් මගින් තහවුරු කරගෙන ඇති නිසා මා එය භාවිතා කරමි.) මම ලියන්නේ මගේ ආසාවට. මට මීට අවුරුදු 3 කට ඉස්සර නොහිටි පාඨකයො සංඛ්‍යාවක් මේ බ්ලොගය හරහා ලැබුණ බව ඇත්ත. ඒත් මම ඒ එකෙක්ගෙන්වත් හම්බකරන් කන්නෙ නැති බවත් ඇත්ත. ඉතිං මට උන් ආවත් නාවත් ප්‍රශ්නයක් නෑ… එන එවුන් බලාවි – නොඑන එවුන් නොබලාවි.
  3. ඇල්කෙමියා කොන් වේවිද ? ඇල්කෙමියා කොන් වෙන්න මිතුරු සමාගමක හිටියෙ නෑ… හිටියත් බොහොම සීමිත පිරිසක් තමයි හඳුනගෙන හිටියෙ… ඇල්කෙමියා මාරයාගෙ හෝරාවෙ ලියපු එක ප්‍රතිචාරයකට ඇල්කෙමියා කොන් කරන මිතුරු පිරිසක් ඉන්නවා නම්, උන් ඉන්නවට වඩා නැති එක ගැන ඇල්කෙමියාට සතුටුයි.
  4. මාරයා ලියූ ලිපියකට ඇල්කෙමියට ගහන්නෙ ඇයි ? ඵල ඇති රුකටයි ගල් වදින්නෙ… මාරයට ගැහුවට වැඩක් නෑ… ගතියක් නෑ…. මාරයා ඕකට උත්තර බඳින්න එන්නෙත් නෑ…. ඊට හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙන එක…. නමුත්, ඇල්කෙමියා කියන්නෙ මානව හිතවාදියෙක් කියලා හැමෝටම ඒත්තු ගන්වගෙන හිටපු කෙනෙක්… ගැහුවාම Impact එක වැඩියි… ලැබෙන හිට් ප්‍රමාණය වැඩියි. දැනෙන සතුට වැඩියි. අපි ඇල්කෙමියටත් ගහපු පොරවල් කියලා අභිමානයක් එනවා. මාරයා කියන්නෙ නිකංම නිකං සිකුරිටි කාරයෙක්, ඇල්කෙමියා කියන්නෙ මහලොකුවට පීඑච් ඩී එකක් තියෙනවා කියලා කියාගනිපු පොරක්. වෙනස ඒකයි.

මේ මම පුද්ගලිකව කිසියම් බ්ලොග් කරුවක් හෝ පිරිසක් විවේචනය කර – අභියෝග කර ලියන එකම සටහන. මට සීමා බැඳීම් නැහැ. බුවාගෙ සටහනට ප්‍රතිචාර ලියන මම ම අන්වර් මනතුංගගෙ බ්ලොග් අඩවියටත් ප්‍රතිචාර දමනවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. නුඹලා කැමති නම් මගේ ලිපි බලපල්ලා… අකැමැති නම් නෑවිත් හිටපල්ලා… මට ලියන්න අවශ්‍ය දේවල් මම ලියනවා. මම පරමාදර්ශී පුද්ගලයෙක් කියා කොතැනකවත් ලියා නැහැ. මම කැමති සුසමාදර්ශීය වෙනසක් (Paradigm shift) කරන්න මිසක් කවදාවත් පරමාදර්ශීය සමාජයක් බිහි කරන්න නෙවෙයි. බුදුන් වහන්සෙට පරමාදර්ශීය සමාජයක් බිහි කරන්න බැරි වුන එකේ ඇල්කෙමියා වගේ පඟර නැටටෙක් මොනවා කරන්නද ? එල්ලුම් ගසට නියම වෙච්ච පුද්ගලයින් මරා දැමීම ගැන මගේ එකඟත්‍වය තිබෙනවා වගේම ආයුධ පෙන්නන්න ගිහින් මාංචු පිටින් මිය යන “පාතාලේ අපරාධ කරුවන්” (අහිංසකයින් නොවේ) ගැන මගේ අනුකම්පාවක් නැහැ. ඒ – ලංකාවෙ පුනරුත්ථාපනය කියන දේ විහිළුවක් නිසා. පොඩි හොරකමකට හිර ගෙදරට යන මිනිහා ඉන් එළියට එන්නෙ ඊට වඩා පරිපූර්ණ අපරාධකාරයෙක් වෙලා, හිරගෙදරට යන පාතාලයා නැවත එන්නෙ පාතාල නායකයෙක් වෙලා. ඊට වඩා ලේසියි එක වෙඩි උණ්ඩයකින් ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගන්න එක… මානව හිමිකම් ? සති දෙකකින් කාටත් අමතකයි. 

මම ෆේස් බුක් මානුෂිකත්‍වය පසුපස යන්නෙ නැහැ. මලාලා හෝ ඉන්දියාවෙ දූෂණය වී මිය ගිය තරුණිය ගැන අන්තර්ජාලයේ දුක් වෙන්න මට වෙලාවක් නැහැ. ඒක පළක් නැති දෙයක්. අපි දුක් වුනා කියලා ඕවා ෆේස් බුක් එකේ බෙදා ගත්තා කියලා ඒවා නතර වෙන්නෙ නෑ… ෆේස් බුක් එකේ හඬක් නගන්න පුළුවන් නෙ ? මෑණියන්ගෙ වස්ත්‍රය තමයි…..

කොටින්ම කා ගැනවත් මම දුක් වෙන්නෙ නැහැ. දුක් වීමෙන් පලක් නැහැ. දුක් වීමෙන් දුකට හේතුව නැති වෙන්නෙ නැහැ. නමුත් මම පන්සල් යනවා. ඒ මාත් සමඟ පන්සල් යන අය සතුටු කරවන්න. මම බුදුන් වඳිනවා. යමක් ඉල්ලන්නෙ නැහැ… දානය දෙනවා… හැකිතරම් පන්සිල් රකිනවා..  මම බෞද්ධයෙක් – මම බුදු දහම හදාරනවා. මම සෝවාන් වෙලා නැහැ. පෘතහ්ජනයෙක්.  බාලචන්‍ද්‍රන්ගෙ මරණය බුදු දහමට පටහැණියි:සතුරාටත් මෛත්‍රී කළ යුතුයි. නමුත් එය ප්‍රායෝගිකද ? එතැනදී බුදු දහමත් ප්‍රායෝගිකත්‍වයත් අතර දෝලනය වීමක් සිදු වෙනවා. හැඟීම් වලට ඉදිරියෙන් විශලේෂණාත්මක තීරණ ඉදිරියට එනවා. එච්චරයි.

මහත්වරුනේ, මගේ ලිපි බලලා මාව සංවේදී මානුෂික ගොඩට දැම්මෙත් උඹලාමයි.. මාව පොරක් කළෙත් උඹලාමයි… දැන් මට ගහන්නෙත් උඹලාමයි.. ඒ ගැන මට කරන්න දෙයක් නැහැ.. රයිගම් මණ්ඩියේ ලියැවුන “පරමාදර්ශී ජීවන විලාසිතා සොයන වඳ පීදුන කෙහෙල් ගස්! Genuine fake watches for sale!” ලිපියේ අන්තිමට ලියලා තියෙන්නෙ “(බාලචන්ද්‍ර පිලිබඳ ලියවුන දේවල් වලින් මා බැලුවේ කතන්දර හා උදිතගේ සටහන් පමණයි).” කණගාටුයි… මහත්මයා කියන්න… ඔබතුමාත් අර නවලෝකෙ ස්කෑනර් එක පුපුරලා ළමයෙක් මැරිච්ච වෙලාවෙ රෝහල නවලෝකය කියාගන්න බැරුව තටමපු ලංකාවෙ විද්‍යුත් මාධ්‍ය වගේ… කොන්දක් නෑ මේක ඇල්කෙමියා කියපු දෙයක් කියලා කියන්න… රසික සූරියාරච්චි මහත්මයටත් කොන්දක් නෑ කෙළින්ම ඇල්කෙමියට ගහන්න.. නමුත්, එහෙම කළා කියලා මේ දෙදෙනාම මගේ පරම සතුරන් ගණයට දාන්නෙත් නැහැ. මොකද මෙතැන සිදු වුනේ මේ අයගෙ මානුෂිකත්‍වය හදිසියේම අවස්ථානුකූලව එළියට පැමිණීමක්. මට හංගන්න දෙයක් නෑ.. මම මගේ සැබෑ හැඟීම් සඟවගෙන මාරයාගේ ලිපියට බැණලා ප්‍රතිචාරයක් දැම්මා නම්  මේ අයට මම තවමත් පොරක්… නමුත් දැන් මම මෘගයෙක්…. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි.

පූජාසනයේ ඔබ හිඳවා – ඔබට පුදන මේ ලෝකයමයි

ඔබට එරෙහි වී නැගිටින්නේ…

මේක මටත්, මහින්දටත්, ගෝඨාභයටක්, සරත් ෆොන්සේකටත්, ප්‍රේමදාසටත්, ඔබාමාටත්, මානුෂිකත්‍වයේ සළු පිළිවලින් නිරුවත වසාගෙන ඉන්න අයටත් පොදු ධර්මතාවයක්…

සේවා ස්ථානයෙදි පෞද්ගලිකව වෙබ් අඩවි වලට නොයන නිසාත්, මේ සතියෙම පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වන නිසාත් මේ ලිපියට වැටෙන ප්‍රතිචාරවලට එසැණින් පිළිතුරු ලබා දීමේ හැකියාවක් මට නැහැ. ඔබට කැමති දෙයක් තියෙනවා නම් කියන්න…. පිළිතුරු සැපයිය යුතු යැයි හැඟෙන ප්‍රතිචාරවලට පිළිතුරු සපයන්නම්.

%d bloggers like this: