Monthly Archives: මාර්තු 2013

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? අකාබනික රසායන විද්‍යාව – Inorganic Chemistry


රසායන විද්‍යාවේ තවත් ඉතාම වැදගත් අංගයක් වන්නේ අකාබනික රසායනයයි. රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කාබනික සංයෝග : කාබන් මූලද්‍රව්‍යය අඩංගු හයිඩ්‍රෝකාබන, ප්‍රෝටීන, යනාදිය සහ කාබන් නොවන සංයෝග අඩංගු අකාබනික සංයෝග වශයෙන්. මෙම අකාබනික සංයෝග යටතට වැටෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝහමය සංයෝග සහ ඒවායේ සංකීර්ණ අණුයි (Metals and Metal Complexes). මෙම සංකීර්ණ අණුක ව්‍යුහයන් ගේ සංකීර්ණ කොටස් සෑදී ඇත්තේත් කාබනික සංයෝග වලින්මයි. ඒත් ඒවා අකාබනික සංයෝග ගණයට වැටෙන්නේ රසායන විද්‍යාව තුළ ලෝහ වලට ලැබී ඇති අසීමිත පිළිගැණීම නිසායි. එසේම මෙම ක්‍ෂෙත්‍ර දෙකෙහි විශාල පරාසයක් පොදුව සැලකෙනවා, විශේෂයෙන්ම Organometallic Chemistry නම් උප ක්‍ෂෙත්‍රයේ සංයෝග තැනී ඇත්තේ ලෝහ පරමාණු කෙළින්ම කාබන් පරමාණුවලට බන්ධනය වීමෙන්.  උදාහරණයක් ලෙස ග්‍රීනාඩ් ප්‍රතිකාරක (Grignard Reagents) වන මෙතිල් මැග්නීසියම් හේලයිඩ්, මෙතිල් ලිතියම් වැනි සංයෝගවල කාබන්-ලෝහ බන්ධනයක් දක්නට ලැබෙනවා. මේ අකාබනික සංයෝග සහ අකාබනික රසායනය අප නොසිතන ආකාරයට අපේ සාමාන්‍ය ජීවිත වලට සම්බන්ධයි.

බොහොමයක් අකාබනික සංයෝග අයත් වන්නේ ලවණ වර්ග වලටයි. ඒවා ධනායන (Cation) සහ ඍණායන (Anion) වශ‍යෙන් පවතින අතර අයනික බන්ධන හරහා බැඳී සංයෝග තනනවා. ගෙදර දොරේ භාවිතා වන මේස ලුණු අප වැඩියෙන්ම භාවිතා කරන අකාබනික සංයෝගය වෙනවා. තුවාලවලට බඳින මැග්සල්ට් වල ඇත්තේ මැග්නීසියම් සල්ෆේට් (MgSO4) වගේම බඩ විරේක කරන්න වෙද මහත්තයා දෙන සවිඳ ලුණුවල අඩංගු වන්නෙත් මැග්නීසියම් සල්ෆේට් (MgSO4) ම තමයි. ජලය පවිත්‍ර කිරීමට යොදන ක්ලෝරීන් ද අයත් වන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය යටතටයි. ගෙදර යකඩ ගේට්ටුව, වාහනයේ කොටස් මලකඩ කන්නෙත් මේ අකාබනික රසායනයේ එන ඔක්සිකරණය නිසායි. ඒ වගේම ඒවා වලක්වගන්න තනන තීන්ත වර්ග සහ ගැල්වනයිස් කිරීම ද අයත් වන්නේ අකාබනික රසායනය  යටතටයි. මේ ක්‍ෂෙත්‍රය තවත් සංකීර්ණ වන්නේ මෙම ඔක්සිකාරක-ඔක්සිහාරක ගුණ මිනිසාට ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නා බැටරි ආදිය නිෂ්පාදන ක්‍රියාවලියේදීයි. දැන් දැන් ඉන්ධනවලින් දුවන වාහන වෙනුවට බැටරි වලින් දුවන විදුලි වාහන (Electric cars) සහ ඉන්ධන සහ විදුල්යෙන් ක්‍රියාකරන දෙමුහුන් කාර් (Hybrid cars) නිෂ්පාදනයේ මූලික අවධානය යොමුව ඇත්තේ ලාභදායී සහ විදුලිය හොඳින් ගබඩා කළ හැකි බැටරි වර්ග තැනීමේ ක්‍රියාවලියටයි. මේ අතර ලිතියම් අයන් බැටරි (Lithium ion batteries) පෙරමුණේ සිටිනවා. කවදා හෝ දවසක පුනර්ජනනය නොකර සැතපුම් දහසක් හෝ පන්සියයක් වාහනයක් ධාවනය කළ හැකි බැටරියක් සොයාගතහොත් එය අනාගත ලෝකයේ වැදගත් සන්ධිස්ථානයක් වනවාට කිසිම සැකයක් නැහැ.

ඒවගේමයි අකාබනික රසායනය කර්මාන්තවලදී නැතුවම බැහැ. ශ්‍රී ලංකාවේ අවාසනාවකට දෝ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය පවතින්නේ ඉතාම ළදරු අවධියක. බොහෝ සම්පත් තිබුණද ඒවා නිසි පරිදි ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. පුල්මුඩේ ඛණිජ නිධිය සහ එප්පාවල ඇපටයිට් නිධියෙන් ලැබෙන සම්පත් වලින් ලංකාවේ විදේශ ණය ගෙවා දමන්න තරම් අගය එක්කළ නිෂ්පාදන (Value Added Products) නිපදවීමේ හැකියාව ඇතත්, ඉල්මනයිට් පිටරට පැටවීමෙන් අප ලබා ගන්නේ සොච්චමක් පමණයි. එසේම එප්පාවල පොස්පේට් නිධියේ  පොහොරවල ඇති ෆ්ලෝරීන් ඉවත් කර නිසි ලෙස ගස්වලට උරාගත හැකි පොහොරක් තැනීමට පර්යේෂණ කෙරෙනවාද යන්න සැක සහිතයි. එසේම රජරට වැසියන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන පාණීය ජලයේ ෆ්ලෝරීන් අධික බව කෙළින්ම සම්බන්ධ වන එප්පාවල ඇපටයිටි නිධිය පිළිබඳ නිසි ලෙස ඇගයීමක් කෙරෙනවාද යන්නත් මා දන්දේ නැහැ. සිමෙන්ති නිෂ්පාදනය, යකඩ නිෂ්පාදනය ඇතුළු බොහෝ දේ නිපදවෙන්නේත් අකාබනික රසායනය උපයෝගී කරගෙනයි. කොටින්ම කියනවා නම් ලෝහ සහ ලෝහ භාණ්ඩ අපට ලැබී ඇත්තේ අකාබනික රසායනයේ උපකාරීත්‍වයෙන්.

අකාබනික රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට එක් වන තවත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. සබන් නොතිබුණ ආදිකාලයේ මිනිසුන් ගිණි ගොඩවලින් ගත් අළු භාවිතා කර ඇඳුම් සේදූ බව වාර්තා වෙලා තිබෙනවා. මෙසේ කර ඇත්තේ අළුවල ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) මඟින් ඇඳුම් වල ඇති තෙල් කුණු ඉවත් කරන නිසා. දැන් සබන් වල බොහෝ දුරට ඇත්තේ මේද අම්ලවල සෝඩියම් ලවණ වර්ගයි. රෙදි සෝදන කුඩු, ෂැම්පූ වර්ග, ආදියත් අපට ලැබෙන්නේ කාබනික රසායනයත් අකාබනික රසායනයත් එක්ව කරන අපූරු ක්‍රියා නිසා තමයි.

අකාබනික රසායනය බහුල ලෙස යෙදෙන ක්‍ෂෙත්‍රයක් වන්නේ ඉන්ධන නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිතව නිපදවෙන රසායන ද්‍රව්‍ය කර්මාන්තයයි. මෝටර් රථ ඉන්ධන සියල්ලක්ම පාහේ කාබනික සංයෝග වුවත් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උත්ප්‍රේරක (Catalysts) සියල්ලම අපට ලැබී ඇත්තේ අකාබනික රසායනායේ බල මහිමයෙන්. පොලිතීන් වර්ග නිපදවන ක්‍රියාවලිය මුළුමුනින්ම පාලනය කෙරෙන්නේ අකාබනික රසායනයෙන්. එපමණක් නොවෙයි බොහොමයක් පොලිමර් වර්ග සහ ප්ලාස්ටික් වර්ග තැනීමට අදාල උත්ප්‍රේරක සියල්ලම පාහේ අකාබනික රසායනික සංයෝගයි. මේ සඳහා බොහෝ දුරට යොදා ගැණෙන්නේ ප්ලැටිනම්, පැලේඩියම්, රුතීනියම්, රෝඩියම් වැනි අධික වටිනාකමක් ඇති ලෝහමය සංයෝගයි. එසේම ඔබ සමහරවිට දන්නවා ඇති ඇමෝනියා නිෂ්පාදනය සඳහා භාවිතා කරන හේබර් ක්‍රියාවලිය සඳහා භාවිතා වන්නේ යකඩ ලෝහය සහ ලෝහමය සංයෝග….

අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි, පරිසරයේ විවිධාකාර ක්‍රියාවලි සිදු කෙරෙන ‍ප්‍රෝටීන සහ එන්සයිම සමහරක එම අදාල ක්‍රියාවලීන් සිදුවන ස්ථානයන්හි (Active sites)  අඩංගු වන්නේත් ලෝහමය සංයෝගයි. මෙන්න මේ එන්සයිම වල එම ක්‍රියාවලිය පාලනය වන්නට ලෝහමය සංයෝග අත්‍යවශ්‍යයි. මේ ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනය සහ ඒ මඟින් කර්මාන්තවලට, සහ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලීන්ට එවැනි ප්‍රතික්‍රියා දායක කර ගැනීමට මේ හැදෑරීම් ඉතා වැදගත් වෙනවා. මෙවැනි හැදෑරීම් කරන්නෙත් අකාබනික රසායනඥයින්.

අකාබනික රසායනයේ පියා – ඇල්ෆ්‍රඩ් වර්නර්

අකාබනික රසායනයේ පියා වශයෙන් සැලකෙන්නේ ස්විස් විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් වර්නර්. ඔහු විසින් සංගත රසායනික සංයෝග (coordination complexes) සොයා ගැනීමත් සමඟ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නට හේතු වුනා. මේ නිසා අකාබනික සංයෝගවල ව්‍යුහයන් මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්‍වය ද සොයන්නට විද්‍යාඥයින් පෙළඹුනා.. එමෙන්ම ඒ මාර්ගයෙන් නොයෙක් නව නිපැයුම් සිදු වන්නට වුනා… දැන් දැන් විද්‍යාත්මක ශිල්පක්‍රම දියුණු වීමත් සමඟම අකාබනික රසායනයත් මිනිස් ජීවිතයට ප්‍රබල ලෙස දායක වන කාර්යයන් සිදු කරන්නට පටන් අරගෙන… මේ නිසාම අකාබනික රසායනයත් රසායන විද්‍යාවේ ඉතාම වැදගත් අංශයක් ලෙසින් වර්ධනය වෙනවා.

දැන් දැන් අකාබනික රසායනයෙන් කෙරෙන වැදගත්ම දෙයක් වන්නේ CO2 මඟින් වන පාරිසරික හානිය අවම කිරීමේ කටයුත්තට අදාල උත්ප්‍රේරක සොයා ගැනීම, විකල්ප බලශක්තීන් (හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ ගබඩා කිරීම, සූර්ය ශක්තිය වැඩිපුර ගබඩා කිරීමේ ක්‍රම සෙවීම) වැනි අනාගත ආයෝජනයි. අකාබනික රසායනය මෙසේ අඩු වැඩි වශයෙන් සාමාන්‍ය ජීවිතයටත් අපේ ජීවිත පවත්වා ගැනීමට අප නොදැනුවත්ව මත් වැදගත් වෙනවා. මේ අකාබනික රසායනයේ වැදගත්කමින් අංශුමාත්‍රයක් පමණයි. මා සේවය කළ BASF ආයතනයේ සිදුවන ක්‍රියාවලි බොහොමයක් අකාබනික රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සිදු කෙරෙන ක්‍රියාවලීන්. ඉතින් මේ මාර්ගයෙන් ඩොලර් බිලියන හැට හැත්තෑවක් වසරකදී උපයන්නට ඒ ආයතනය සමත් වීමෙන්ම එහි වටිනාකම කොපමණක්දැයි කියා ඔබටම හිතා ගන්න පුළුවන් නේද ?

  

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? ජීව රසායන විද්‍යාව – Biochemistry


ජීව රසායන විද්‍යාව යනු සජීවී දේවල (ක්‍ෂුද්‍ර ජීවීන්, සතුන්, ශාක) සිදුවන රසායනික ක්‍රියා පිළිබඳ හැදෑරීමයි. මෙය සජීවී දෑ තුළ අඩංගු ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට වැනි සරළ සංයෝග මෙන්ම ඩී එන් ඒ වැනි සංකීර්ණ අණුක ව්‍යුහයන් ද හැදෑරීම සඳහා වැදගත්. මා සිතන අන්දමට අනාගත ලෝකයට වැඩිපුරම සේවයක් කරන පර්යේෂණ සිදු වන්නේ මෙම ජීව රසායන විද්‍යාව හරහායි. මක් නිසාද යත් වෛද්‍ය විද්‍යාවට අදාල පර්යේෂණ බොහොමයක මූලය මෙය නිසා.  ජීව රසායන විද්‍යාවට බොහෝ මානයන් තිබෙනවා. සෛලමය සංඝඨක, ක්‍ෂුද්‍ර ජීවීන් සිට පිළිකා මර්ධන පර්යේෂණ, ඒඩ්ස් නිවාරණය, දක්වා විශාල පරාසයක ජීව රසායන විද්‍යා පර්යේෂණ පැතිර තිබෙනවා. විවිධ රෝග වලට ඖෂධ සොයාගැනීම, ජාන වෙනස් කිරීම මගින් විවිධ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්‍වයන් වෙනස් කිරීම ආදී ප්‍රයෝජනවත් දෑ මෙන්ම, සත්ත්‍ව සංහතියටම වින කරන ජීව රසායන අවි නිෂ්පාදනයත් කරන්නේ මෙම ජීව රසායන විද්‍යාවේ පරතෙරට ගිය පුද්ගලයින්.   

ඒඩ්ස් වෛරසයේ අනුරුවක්

ඒඩ්ස් වෛරසයේ අනුරුවක්

ජීව රසායන විද්‍යාවේ උපත ලෙස සලකනු ලබන්නේ 1823 දී Anselme Payen විසින් ඇමයිලේස් නම් වූ එන්සයිමයේ සොයාගැන්ම කියලයි සමහර තොරතුරු පවසන්නේ. නමුත් 1796 තරම් ඈත කාළයේ එඩ්වර්ඩ් ජෙනර් (Edward Jenner)  විසින් වසූරිය එන්නත සොයාගැනීමත් මේ  කටයුත්තේ කොටසක් කියලයි මට හිතෙන්නේ. කෙසේ වුවත් මෙය කවදා පටන්ගත්තේ දැයි කීමට පැහැදිලි නිර්ණායක අප සතුව නැහැ. කළ යුත්තේ මෙය යොදාගෙන සත්ත්‍ව සංහතියට ඵලදායී යමක් කිරීමයි. නමුත් මේ පර්යේෂණ බොහොමයක් සරළ තත්ත්‍ව යටතේ සිදු කළ නොහැකි වීම නිසා ඒ සඳහා පුහුණුව ලත් විද්‍යාඥයින්ගේ සේවය අවශ්‍යව තිබෙනවා.

සාමාන්‍ය ජීවිතයට ජීව රසායන විද්‍යාව බොහෝ දෙනෙක් යොදා ගන්නවා. පාන් පිපෙන්න, ආප්ප පිපෙන්න යීස්ට් දැමීම, මාළු ජාඩි දැමීම මෙන්ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීම, ජීව වායු නිෂ්පාදනය ආදී දෑ ද ක්‍ෂුද්‍ර ජීවීන් භාවිතාකර සිදු කරගන්නක්. තවද විවිධ ‍‍රෝග, ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව,  දෙයියන්ගේ ලෙඩ නමින් හඳුන්වන විවිධ වෙවරස් රෝග, ආදී සියළුම ලෙඩ රෝග සහ හෘද රෝග, දියවැඩියාව වැනි දරුණු තත්ත්‍වයේ රෝගාබාධ වලට පිළියම් සෙවීමත් මේ ඇසුරින් සිදු කෙරෙනවා. මේ ජීව රසායන විද්‍යාව අපගේ සාමාන්‍ය ජීවිතයට ප්‍රයෝජනවත් වන අන්ත දෙකක්.

ම්.. ම්... ම්...

ම්.. ම්… ම්…

ඒ වගේමයි, යුරෝපයේ ජැක් ඩැනියෙල් මහත්තයා මෙන්ම දංකොටුවේ ධර්මදාස මහත්තයාත් සිය ජීවිකාව ගෙනියන්න කරන මත්පැන් පෙරීම ආදිය කෙරෙන්නෙත් ක්‍ෂුද්‍රජීවීන් ආශ්‍රිත ජීව රසායන විද්‍යාව මූලික කරගෙනයි.  ඒ වගේම ඔබට මතක ඇති සාර්ස් (SARS) නම් වූ රෝගයේ කොරෝනා වෛරසයේ සොයාගැනීම… මිනිස් වර්ගයාට උපකාරීවන මෙවැනි දැවැන්ත සොයාගැනීම් ද ජීව රසායන විද්‍යාවේ බල මහිමයෙන් අපට ලැබී තිබෙනවා.

එසේම ශරීරයේ සිදුවන සෑම ක්‍රියාකාරකමක්ම නිවැරදිව වටහා ගැනීමට සමත් එන්සයිම රසායන විද්‍යාව, ප්‍රෝටීන විද්‍යාව මෙන්ම   අවයව – පටක සම්බන්ධව කටයුතු වලට අදාල ජීව විද්‍යාව සමඟ අත්වැල් බැඳගෙන යන ජීව රසායන විද්‍යාව යනු පුළුල් පරාසයක් පුරා විහිදුන විෂයයක්. කොටින්ම කියනවා නම් ජීව රසායන විද්‍යාව නොමැතිව ජීවයක් පවත්වාගෙන යාම ගැන සිතන්නවත් බැහැ. උදාහරණයක් ගත්තොත් සෑම ලෙඩකටම අවශ්‍ය බෙහෙත් වර්ග නිපදවෙන්නෙ නිකම්ම නොවෙයි. ජීව පරිවෘත්තීය ක්‍රියා, ප්‍රෝටීන  හා සම්බන්ධ ක්‍රියාකාරකම් සහ සරළ අණු මඟින් රෝග කාරක වලට පහර දෙන ආකාරය වැනි සියළුම අංශවල එකතුවකිනුයි මේ බෙහෙත් තැනෙන්නෙ. සමහර විට අවුරුදු දහයක් පහලොවක් ඩොලර් මිලියන සිය ගණනක් වැයකරලා කරන පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියටයි ඔබ අතට බෙහෙතක් ලැබෙන්නෙ. ඒ නිසාම තමයි මේ බෙහෙත් අධික මිල ගණන් වලට විකිණෙන්නෙ. ඒ ඖෂධ සමාගම් ඒ වෙනුවෙන් වැය කළ මුදල පියවා ගැනීම වෙනුවෙන්. අප කෙතරම් ඖෂධ මිල අධික යැයි කෑ මොර දුන්නත්, ඔවුස් සමහරවිට මිලියන ගණනක් වැය කරලා නිපදවන ඖෂධයක් විකුණනන්න ලැබෙන්නේ අවුරුද්දක් දෙකක් පමණයි. එසේත් නැතිනම් කිසිසේත්ම සාර්ථක වන්නෙත් නැහැ. මේ නිසා ඔවුන් අධික පාඩුවක් ලබන්නත් පුළුවනි. ඒ විතරක් නොවෙයි ඔය හිටපු ගමන් වැටෙන උල්කාපාතවල ඉන්නවයි කියන පිටසක්වල ජීවීන් ගැන බලන්නති මේ ජීව රසායන විද්‍යාව ලොකු උදව්වක් කරනවා.

ජීව රසායන විද්‍යාව ලෝකයේ සෑම සත්ත්ත්‍වයෙක්ගේම පැවැත්ම වෙනුවෙන් විශාල සේවයක් කරන විෂයය ක්‍ෂෙත්‍රයක්, ඉදිරියේදී මෙය තව තවත් පුළුල් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තවත් විස්කම් බලා ගන්න  පුළුවන් වේවි.

 මේ අයුරින් අපේ ජීවිත වලට අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව ජීව රසායන විද්‍යාවත් එකතු කරගන්නවා…

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ?


රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? කියා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැණ නැඟ ඇතිවාට කිසිම සැකයක් නැහැ. මේ ලිපිය පෙරදි මා විද්‍යාව.කොම් අඩවියට සැපයූ ලිපියක්. මේ ලිපිය පළ කිරීමට ආසන්නතම හේතුව මාරයාගේ හෝරාව ලියන මාරයා විසින් කරන ලද ඉල්ලීමක්. දෙයියො කියන දේ ඇහුවෙ නැතත් මාරයා කියපු දෙයක් නම් අහන්නෙ නැතිව ඉන්න බැහැ.. . ඒ නිසාම මේ ලිපිය නැවත පළ කරන්න හිතුවා…

රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.

රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.

රසායන විද්‍යාව යනු ලොව පවතින ද්‍රව්‍ය සහ ඒවා සබැඳි වෙනස්වීම් ලෙස සරළව දැක්විය හැකි වුවත්, කාළයාගේ ඇවෑමෙන් එයට එක්වන විවිධ සොයාගැනීම් සහ වෙනස් වීම් නිසා එම අර්ථකතනයෙන් බොහෝ ඈතට රසායන විද්‍යාව ගමන් කර ඇති බවක් පෙනේ. රසායන විද්‍යාවේ මූලිකම කාර්යය වන්නේ ද්‍රව්‍යයන්හි සංයුතිය, හැසිරීම, ස්වභාවය සහ ගුණාංග පිළිබඳව සහ ඒවා ප්‍රතික්‍රියාවලදී භාජනය වන වෙනස්කම් පිළිබඳව හැදෑරීමයි.  “Chemistry is the Central Science” යනුවෙන් ඉතා ප්‍රකට කියමනත් ඔබ අසා ඇති. එනම්, රසායන විද්‍යාව සියළු විද්‍යාවන්ගේ මූලික විද්‍යාව යන්නයි… ඔබ අවට බලන්න, ඒ අවට ඇති දෑ වලින් කීයක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත් ද? රසායනික ද්‍රව්‍ය වලින් නිම වූ කෘත්‍රිම දෑ වලින් සෑදී ඇත්ද ? කියා. සැබැවින්ම කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ දෑ වලින් අප ජීවිතය පිරී පවතී. ස්වභාවයේ පවතින බොහෝ දෑ ද රසායනික ද්‍රව්‍ය ගණයට අයත් වේ. ළදරුවෙකු ඉපැදුන අවස්ථාවේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක සිට කෙනෙකු මියගිය පසු එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් එන්නත දක්වා අප පරිහරණය කරන බොහෝ දෑ රසායන විද්‍යාවේ බලමහිමයෙන් අප ලෝකයට ලැබුණ දේ බව සිතන්නේ කීයෙන් කී දෙනාද ? බොහොමයක් දෙනා රසායන විද්‍යාව දෙන බලන්නේ විවිධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නක් ලෙස විනා මෙයින් ගත හැකි සහ ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න පිළිබඳව නොවේ. බොහෝ දෙනා නොසිතන, රසායන විද්‍යාවේ එදිනෙදා යෙදීම් පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ මූලික අරමුණයි.

රසායන විද්‍යව මූලිකව කොටස්  කිහිපයකට බෙදා වෙන්කළ හැකිය.

  1. විශ්ලේශණාත්මක රසායනය – Analytical Chemistry –  විවිධ උපකරණ සහ විවිධ රසායනික ක්‍රම භාවිතයෙන් කරන මිනුම්, සහ ඒ ආශ්‍රයෙන් කෙරෙන නිගමන.
  2. ජීව රසායන විද්‍යාව – Bio Chemistry –  ශරීරයේ විවිධ රසායන ක්‍රියා, එන්සයිම සහ ක්‍ෂුද්‍ර ජීවීන් ආශ්‍රිතව සිදු කෙරෙන රසායන ක්‍රියා පිළිබඳව සලකා බැලීම.
  3. අකාබනික රසායනය – Inorganic Chemistry –  ලෝහමය සංයෝග පිළිබඳ සලකා බැලීම.
  4. කාබනික රසායනය – Organic Chemistry – කාබන් මූලද්‍රව්‍යය සබැඳි සංයෝග පිළිබඳ සලකා බැලේ. මෙය ඉතා විශාල සංයෝග රාශියක් සහිත අංශයකි.
  5. භෞතික රසායනය – Physical Chemistry – රසායන ශක්තීන්, සහ රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව ගැඹුරින් හැදෑරෙන අංශය.
  6. ද්‍රව්‍යමය රසායනය – Materials Chemistry – ද්‍රව්‍ය පිළිබඳව හැදෑරීම කෙරෙන විශේෂයෙන්ම ඉගැන්වීම් සඳහා වැඩිපුර යෙදෙන අංශයකි. බොහෝ දුරට නැනෝ තාක්‍ෂණයද Nano Technology අයත් වන්නේ මේ අංශයටය.
  7. සිද්ධාන්තමය රසායනය –  Theoretical Chemistry –  මූලික සිද්ධාන්තමය පැහැදිලි කිරීම් මත සිදුකෙරෙන ගණනය කිරීම් ආශ්‍රිත රසායන විද්‍යාව.

මේවාට අමතරව වෙනත් බොහෝ උප විෂයයන් 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් රසායන විද්‍යාවට අයත් වන අතර ඒවා බොහොමයක් ඉහත වර්ග යටතට ද දැක්විය හැකිය. අපි මේ ප්‍රධාන කාණ්ඩ වෙන වෙනම සරළව සළකා බලමු.

විශ්ලේශණාත්මක රසායනය – Analytical Chemistry

බොහෝ දෙනෙක් නොදන්නවාට, මෙය සාමාන්‍ය ජීවිතයට ඉතා සමීප විෂයයකි. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතුවලට මෙය යොදා නොගත්තද, ඔබ වෙනුවෙන් විශ්ලේෂණයන් සිදු කරන බොහෝ ආයතන සහ පුද්ගලයන් ඔබේ ජීවිතය යහපත්ව සහ සරළව පවත්වාගෙන යාමට උපකාරී කිරීමට විශ්ලේෂණාත්මක රසායනය භාවිතා කරගනී. විශ්ලේෂණාත්මක රසායනයේ දී මූලිකව කෙරෙනුයේ ස්වභාවික සහ කෘත්‍රිම ද්‍රව්‍යවල සංඝඨක වෙන් කිරීම, හඳුනාගැනීම, ගණනය කිරීම ආදී දෑයි. මෙය ඒ ඒ ද්‍රව්‍යයේ ගුණාංග හඳුනා ගැණීම (Qualitative) හෝ ඒවායේ සංඛ්‍යාත්මක ගණනය කිරීම (Quantitative) ලෙස ප්‍රධානව කොටස් දෙකකට බෙදේ.  මේ ක්‍රම දෙක උසස් නොහොත් ස්වාධීනව කෙරෙන විශ්ලේෂණයන් (Classical) හෝ උපකරණ ආශ්‍රිතව කෙරෙන විශ්ලේෂණයන් (Instrumental) ලෙස මූලිකව වර්ග කළ හැක. මෙම විෂයය බොහෝවිට සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ යම් ද්‍රව්‍යයක් හෝ වස්තුවක ඇති සංඝඨක සොයාගැණීම, අපරාධයක් වූ විට ඒ හා සම්බන්ධ සාක්‍ෂි සම්පිණ්ඩනයට, රුධිර, ඩී එන් ඒ සාම්පල වැනි නොයෙකුත් පරීක්‍ෂා ආදී සේවා සම්බන්ධව වේ. සාමාන්‍ය රසායනඥයෙකුට වඩා විශ්ලේෂණාත්මක දැනුමක් මේ කාර්යයන්හි යෙදෙන පුද්ගලයෙකුට තිබිය යුතු වන අතර සියළුම ප්‍රතිඵල නියමිත පරිදි වලංගු කිරීම (Validate) කළ යුතුය. මේ සඳහා අවම වශයෙන් අදාල පරීක්‍ෂණය තෙවරක් වත් ඒකාකරව සිදුකර ලැබෙන ප්‍රතිඵල සංඛ්‍යාලේඛණාත්මකව  නිරවද්‍ය බවට (Statistical Accuracy) තහවුරු කළ යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ පානය කරන ජලය, ජල පිරිපහදුවේ සිට ඔබ නිවස වෙතට පැමිණෙන විට කිහිප වරක් විශ්ලේෂණාත්මක රසායනඥයින්ගේ පරීක්‍ෂාවලට භාජනය වී ඒ ඒ පරීක්‍ෂණ වලින් සමත්ව පානයට සුදුසු යැයි සහතික කල යුතුය. මෙහි බැරෑරුම් කම ඔබට වැටහෙන්නේ නොමැති වුවත්, පානීය ජලය ක්‍ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය, බැර ලෝහ ප්‍රතිශතය, ඔක්සිජන් ප්‍රමාණය ආදී නොයෙකුත් පරාමිතීන් සඳහා නිබඳ පරීක්‍ෂාවන්ට ලක් කර ජල නල වලට මුදා හැරේ. මෙය බැලූ බැල්මට සරළ සේ පෙණුනද, යම් හෙයකින් එක් පරාමිතියක් හෝ වෙනස් වුවහොත් සිදුවන විනාශය සුළුපටු දැයි ඔබටම සිතා බැලිය හැක. අද ලංකාවේ හතු පිපෙන්නාක් සේ බිහිවී ඇති විවිධ රසායනාගාර සේවා මධ්‍යස්ථාන වල මේ කර්තව්‍යයන් හරිහැටි සිදු වනවා දැයි සිතීම අපහසුය… බොහෝ රසායනාගාරවල පිළිගත් සුදුසුකම් සපිරූ විශ්ලේශක රසායනඥයන් දක්නට නොමැත. ඒ වෙනුවට ඇත්තේ තාක්‍ෂණික නිලධාරීන්ය. ඔවුන් කෑලි ගාණට විශ්ලේෂණයන් කරනවා විනා නියමිත පරිදි  සංඛ්‍යාලේඛණාත්මකව ප්‍රතිඵලවල නිරවද්‍ය බව තහවුරු කරනවාද යන්න පාරිභෝගිකයන් ලෙස අප සැවොම හොඳින් සලකා බැලිය යුතු කාරණයක් වේ. එසේ නැතහොත් වකුගඩු ආබාධයක පරීක්‍ෂණයක් සඳහා රසායනාගාරයකට මුත්‍ර සාම්පලයක් දෙන පුරුෂයෙක් මව් පදවිය ලබන බවට තහවුරු වී ප්‍රතිඵල සටහන ලැබෙන්නට හැකියාවක් අපේ ලංකාවේ ඇතිවිය හැකිවීම පුදුමයට කරුණක් නොවිය හැක. එසේ වුවද, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේශකයන්, කාර්මික තාක්‍ෂණ ආයතනයේ විශ්ලේශකයන්, ජාතික ප්‍රමිති කාර්යාංශයේ විශ්ලේශකයන් සහ අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාර කිහිපයක කටයුතු පිළිගත හැකි අයුරින් උසස් ලෙස සහ ස්වාධීනව පවත්වාගෙන යන අයුරු පැසසිය යුතු කරුණක් බව ද නොකියාම බැරිය.

විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව වැදගත් වන අංශ බොහොමයකි: අපරාධ පරීක්‍ෂණය, පාරිසරික විද්‍යාව, කර්මාන්ත රසායනය, වෛද්‍ය විද්‍යාව ආදී දේ වලට මෙය ඉතා වැදගත් වේ. උසස් විශ්ව විද්‍යාලවල වෙනම අංශයක් අපරාධ ජීව රසායන විද්‍යාව (Forensic Chemistry) සම්බන්ධව පැවතීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිළි වේ. ශ්‍රී ලංකාවේ මෙම  විශ්ලේෂණාත්මක රසායනය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන් වුවත් දියුණු රටවල රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාරවල, කර්මාන්තශාලාවල, සහ විවිධ රාජ්‍ය ආයතනවල අවම වශයෙන් සහතිකලත් විශ්ලේශකයන් එක් අයෙක් හෝ සිටී. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම දැන් දැන් වැඩි වශයෙන් මේ විශ්ලේෂණ සඳහා උපකරණ භාවිතය වැඩි වීමට පටන් අරගෙන තිබේ. එය නිරවද්‍ය ප්‍රතිඵල ක්‍ෂණිකව ලබාගැනීමෙන් අදාල කාර්යය ඉක්මනින් කර ගැනීමට සහ කාළය ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස රුධිරයේ සීනි සාන්‍ද්‍රණය පරීක්‍ෂා කිරීමට මීට දශක ගණනාවකට පෙර රුධිරය තරමක ප්‍රමාණයක් භාවිතාකර කළ පරීක්‍ෂණයට වඩා දැන් රුධිර බිඳුවක් විශ්ලේෂණ තීරුවක් මත තබා ඒ උපකරණයට ඇතුලත් කිරීමෙන් ක්‍ෂණිකව ප්‍රතිඵලය ලබා ගත හැක. එය වඩා නිරවද්‍ය වන අතර ස්වයංක්‍රීය ගණනය කිරීමක්, දත්ත ගබඩා කර ගෙන තබා සතිය හෝ මාසය අවසන සම්පූර්ණ වාර්තාවක් දෙන තරමට දියුණු කිරීමට නවීන තාක්‍ෂණය දියුණු වී තිබේ. මේ සියල්ල විශ්ලේෂණාත්මක විද්‍යාඥයින් දිවා රෑ නොබලා කරන පර්යේෂණ වල ප්‍රතිඵල වේ. මෙම විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව දැන් දැන් සීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බවට පත් වී තිබේ. වේගවත්ව දියුණු වන ලෝකයට කාළය යනු මුදල්ය… යම් විශ්ලේෂණයක් ක්‍ෂණිකව නිරවද්‍යව කරගැනීමට ක්‍රම සැකසීම විශ්ලේෂණාත්මක විද්‍යාඥයින්ගේ කාර්යභාරයයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන මුත් මිනිස් සිත මෙහෙයවා කරන්නට බැරි දෙයක් නොමැත… පෘථිවිය මත සිට අඟහරු ලෝකයේ පස්වල ඇති ජලය සාන්‍ද්‍රණය මනින්නට පවා මිනිසාට හැකියාව ලැබී ඇත්තේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ බලමහිමය නිසාවෙනි…. එය ඒ තරම් ප්‍රබලය….

නමුත් මීටත් වඩා වැදගත් කාර්යභාරයන් රැසක් විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ ආධාරයෙන් සිදු කරවා ගත හැකිය.

ඊට පස්සෙ මොනවා වේවිද ?


ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි සැලසුම් කරන හැම දේම ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නත් ජීවිතයෙ ඉඩක් නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලෙ මගේ ලොකුම සිහිනය වුනේ වෛද්‍යවරයෙක් වෙන්න… උසස් පෙළ කරන කාළෙ මගේ සිහිනය වුනෙත් ඒකමයි. නමුත් උසස් පෙළ අවසාන වෙනකොට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුනා… නමුත් ඒ සිහිනය පිටුපස තවත් සිහිනයක් තිබුණා. මුලදි රසායන විද්‍යාව ගැන ඒ තරම් උනන්දුවක් නොතිබුණ මට අවශ්‍ය වුනේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න… අපේ රටේ ගහකොළ ගැන දැනගන්න. ඒ නිසාමයි මම උද්භිද විද්‍යාව ගැන උනන්දුවක් මෙන්ම දක්‍ෂතාවක් දැක්වුයේ. මගේ බලාපොරොත්තුව වුනේ උද්භිද විද්‍යාව පැත්තෙන් පර්යේෂණ කරන්න… ඒ තමයි මගේ පර්යේෂකයෙක් වන සිහිනයේ ආරම්භය, නමුත් උද්භිද විද්‍යාවට වගේම රසායන විද්‍යාවටත් මගේ හැකියාවක් සහ අප්‍රමාණ කුතුහලයක් තියෙනවා කියලා දැනගත්තෙ දෙව්රුවන් සර්ගෙ රසායන විද්‍යා පන්තියට ඇතුලත් වුනාට පස්සෙ. මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රසායන විද්‍යාව විතරක් නොවෙයි, ජීවිතය ආයෙම පටන් ගත්තා. මගේ රසායන විද්‍යා දැනුම විතරක් නොවෙයි සැඟවී තිබුණ කවි ලිවීමේ හැකියාවත් නැවත ඔප මට්ටම් වෙලා ආවෙ දෙව්රුවන් සර්ගෙ උනන්දු කිරීම මත. ඒ මඟපෙන්වීම ඔස්සෙ ගිහින් මම නැවතුනේ සර්ගෙ හොඳම ගෝලයන්ගෙ ගොඩේ මූලික ස්ථානයක් ලැබීමත් සමඟ….. සර් නැවත මට ජීවිතය දුන්නෙ රසායන විද්‍යා ආයතනයෙ ඉගෙන ගන්න උනන්දු කිරීමත් සමඟ….

ඒ කාලෙ මගේ රසායන විද්‍යාව පිළිබඳ උනන්දුව තිබුණත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන් වේවිද කියන සිහිනය හැමදාම මගේ හිතේ තිබුණා…කළින් කළට මගේ සිහින වෙනස් වුනා. ඒ කාලෙ මගේ සිහිනයක් වුනේ දෙව්රුවන් සර් වගේ රසායන විද්‍යා ගුරුවරයෙක් වෙන්න. ටික කලකින් එය වෙනස් වුනේ යුනිලීවර් වගේ ලොකු ආයතනයක රසායනඥයෙක් වෙන්න පෙරුම් පිරීමත් සමඟ. මං වගේ හද්දා පිටිසරින් ආපු පුංචි මිනිහෙක් කොළඹ රසායන විද්‍යා ආයතනයේ ඉංගිරිසියෙන් ඉගෙනගෙන මාත් එක්ක හිටපු උන් ඔක්කොම පරද්දලා බැච් ටොප් වුන නිසාමද මන්දා මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු, මහාචාර්ය එස්. පී. දැරණියගල, මහාචාර්ය එච්.ඩී ගුණවර්ධන, මහාචාර්ය ඩබ්ලිව් එස් ප්‍රනාන්දු, වැනි මහාචාර්යවරුන්ගෙන් ලැබුණෙ අප්‍රමාණ දිරි ගැන්වීමක්. රසායන විද්‍යා ආයතනයෙ උපාධිය අවසානවෙලා ටික කලක් යද්දි එක සිහිනයක් වෙච්ච යුනිලීවර් ආයතනයෙ රසායනඥයෙක් වෙන සිහිනය සැබෑ වුනා. ඒ සියල්ලටම මට ලොකු හයියක් වුනේ රසායන විද්‍යා ආයතනයෙදිම මට හමු වෙච්චි ඇල්කෙමිච්චි.. ඇයගේ උනන්දුව මත විදේශ විශ්ව විද්‍යාල කිහිපයකටම අයැදුම් කළත් ලැබුනෙ යහපත් ප්‍රතිචාර නොවෙයි. අවසානයේ අපේ මිතුරියක් වන චාමිකා මාර්ගයෙන් අපට ලුයිසියානාවට යන්න වරම් ලැබුණා. ඇයට අපි ඒ ගැන සැමදාම ස්තුතිවන්ත වෙනවා. එතැනින් පස්සෙ අපි ගිය ගමන ගැන බොහෝ දෙනෙක් පෙර ලිපි වලින් දැන ගන්න ඇති. නැත්නම් පොඩ්ඩක් පස්සට ගිහින් කියවලා බලන්න.

ඒ සියල්ල අවසානයෙ අපි දෙදෙනාම උපයගත්ත එකම දේ ආචාර්ය උපාධි දෙකක් පමණයි. ඊට අමතරව අපට ලැබුණ ලොකුම සම්පත ඇල්කෙමි පැටියා අපට එකතු වීම… ඇල්කෙමි පැටියා නිසාම අපේ බොහෝ ඉලක්කයන් වෙනස් කරන්න අපට සිදු වුනත්, ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් නැහැ. නමුත් පසුගිය කාළයේ අපේ ජීවිත බොහෝ වෙනස් වුනේ ඇමරිකාව අතහැරලා ජර්මනියට පැමිණීමට තීරණය කිරීමත් සමඟ. ඇමරිකාවෙ රැකියාවක් තිබෙත්දිත් ජර්මනියට එන්න හේතු වුනේ එය ලෝකයේ අංක එකේ රසායන ද්‍රව්‍ය සමාගම වන BASF සමාගමේ රසායනාගාරයක රැකියාවක් වුන නිසා. වසර දෙකක රැකියාව අවසානයේ ස්ථිරවම මව් ආයතනයේ රැකියාවක් ලැබෙන බවට පොරොන්දු නොවුනත්, මේ ලැබෙන අත්දැකීම් මත වෙනත් සමාගමක ඉහළ මට්ටමේ රැකියාවක් ස්ථිර බව මා දැන සිටි නිසා සහ මට පෙර මේ ආයතනයේ එවැනි රැකියා කළ සියළුම දෙනා එවැනි ඉහළ තත්ත්‍වයන්හි සේවය කරන නිසා මට කිසිදු සැකයක් වුයේ නැහැ. එසේ වුවත් අපට සළකා බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබුණා. භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නිසා පැටියාගේ ඉගෙනීම පළමුකොටම සැලකීමට සිදු වුනා. නමුත් පළමු වන පන්තියේ උගෙනිමින් සිටි පැටියාට නව භාෂාවක් ඉගැන්වීමත්, ලැබෙන නව අත්දැකීම් මතින් ඉහළ රැකියාවකට යාමත්, ඇමරිකාවට වඩා යුරෝපයේ ජීවන තත්ත්‍වය උසස් යැයි ඒ පිළිබඳ අත්දැකීම් ඇති (යැයි සැලකුන) බොහෝ දෙනාගේ රෙකමදාරුව මත සහ මා ආචාර්ය උපාධිය හැදෑරූ මහාචාර්යවරයාගේ දුර දක්නා දැනුම මත යුරෝපයේ රැකියාවට කැමැත්ත පළ කිරීමට මා තීරණය කළා.

මාස කිහිපයක් ලංකාවේ ගත කරන්න සිදු වුනේ ජර්මන් තානාපති කාර්යාලයේ වීසා ලබා දීම මාස දෙකත් තුනත් අතර කාළයක් ගතවන නිසාම. ඒ වනවිටම මා ජර්මනිය පිළිබඳ බොහෝ කළකිරීමට පත් වී තිබුණත්, ඉදිරිය හොඳ වේ යැයි සිතමින් සියල්ලට මුහුණ දුන්නා. අවසානයේ මා පළමුවත්, ඇල්කෙමිච්චි සහ පැටියා  දැඩි පරිශ්‍රමයක් දරා ඊට මාස දෙකකට පසුවත් මා සමඟ එකතු වූවා. ඒ කල සිටම ජර්මනියේ ජීවිතය කෙමෙන් කෙමෙන් අප්‍රසන්න වන තත්ත්‍වයක් මට දැනුනා. සේවා ස්ථානය ඉතාම හොඳ වුවත්, බාහිර ජීවිතය ස්ථිර රැකියාවක් කරන මා වැනි කෙනෙකුට කටුක බව මට වැටහෙමින් තිබුණා. මේ නිසාම මා සිදු කරමින් සිටි පර්යේෂණයේ කොණක් දුටු වහාම මෙතැනින් ඉවත්ව යා යුතු බව මට දැනුනත්, ඇල්කෙමිච්චි සහ පැටියාගේ තීරණයක් ලැබෙන තුරු මා ඉවසා සිටියා. නමුත් මා මෙන්ම ඒ දෙදෙනාටද මෙහි ජීවිතය එතරම් සාර්ථක බවක් පෙනුනේ නැහැ. මේ අතර අම්මාගේ අසනීප තත්ත්‍වයත් තරමක වැඩි වීමක් දැනුන නිසාම පර්යේෂණයේ එක් කොණක් දුටු වහාම මා ඉවත් වන බව පාලනාධිකාරියට දැනුම් දුන්නා.

අප කිහිප දෙනෙකු එකතු වී කළ පර්යේෂණයේ ප්‍රතිඵල පේටන්ට් බලපත්‍රයකට එකතු කළ හැකි තරමට ලැබුන නිසාමත්, මා තනිව සිදු කළ වෙනත් පර්යේෂණයක ප්‍රතිඵල ද සාර්ථක වීම නිසා මගේ කාර්ය භාරය අවසාන කළ යුතු බවට මට දැනුනා. ඒ නිසාම මා නැවත ලංකාව බලා යාමට තීරණය කළේ මගේ දැනුමින් ලංකාවට යමක් කළ යුතු බව හා හැකි බව මට දැනුන නිසා. මේ නිසා මට නැවතත් මඟහැරුණු බොහෝ දේ ලබා ගැනීමටත්, වසරින් වසර පාසැලෙන් පාසැලට මාරු වී ගිය ඇල්කෙමි පැටියාට ස්ථිරව එක් පාසැලක අකුරු කිරීමට අවස්ථාව ලබා දීමත්, මගේ දෙමාපියන්ට සහ නෑදෑයන්ට සමීපව ජීවත් වීම තරම් තවත් දෙයක් මට නැති නිසාත්, කෙතරම් කර්කෂ අනාගතයක් ලැබුණත් මා නැවත ලංකාවට යා යුතුයැයි තීරණයට එළැඹුනා. ඒ අනුව අළුත් අවුරුද්දට ලංකාවට එන්න අපි තීරණය කළා.

දැනටමත් රසායන විද්‍යා ආයතනයේ ඉගැන්වීමට ආරාධනාවක් ලැබී ඇති මට ඒ සඳහා කොටු වීමට පමණක් බලාපොරොත්තුවක් නැහැ. ආර්ථිකව සළකා බැලුවහොත් පෞද්ගලික අංශයේ රැකියාවක් මගින් යහපත් ජීවන තත්ත්‍වයක් ගොඩ නඟා ගත හැකි වුවත්, එසේ කොටු වීම මගින් මගෙන් සිදු විය හැකි සේවය බොහෝ දුරට සීමා වන බව මට හිතෙනවා. මේ නිසාම මම මගේ සීමාවන් පුළුල්ව සහ නිදහස්ව තබා ගැනීමට තීරණය කළා. නමුත් මා දකින සිහින – ලංකාවේ වර්තමාන ජීවන තත්ත්‍වය හා ගැලපෙන්නේ නැති බව මා දන්නවා. සමහරවිට ආර්ථිකව බර දැනෙන විට පෞද්ගලික අංශයේ රැකියාවකට හිරවෙන්නට මට සිදු වේවි. සමහරවිට වෙනත් දෙයක් කරන්නට සිත් දේවි. මගේ සිතේ තිබූ ලොකුම සිහිනයක් වුනේ විද්‍යාව සහ විද්‍යාත්මක දේ සාමාන්‍ය ජනතාවට සමීප කිරීම. මා ඒ සඳහා උත්සාහයක් දරනවා. සමහර විට මගේ සැලසුම් සාර්ථක වෙන්න පුළුවනි. පර්යේෂණ මට්ටමින් යමක් කරන්නටත් අදහසක් ඇති නමුත්, ඒ සඳහා ඉඩක් ලැබේ දැයි සැක සහිතයි. මක් නිසාද කියනවා නම් ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයනාංශයේ තනතුරක් ලබා ගැනීමේ මූලිකම සුදුසුකම මා සපුරා නොමැති නිසා. ඒ, ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් මූලික උපාධිය ලබා සිටිය යුතුය යන්නයි. එය නොමැතිව කෙනෙක් නොබෙල් ත්‍යාගය දිනු කෙනෙකු වුවත් නීත්‍යානුකූලව ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යයනාංශයක තනතුරක් ලබා ගන්නා එක සිහිනයක් වන්නට පුළුවන්. මෙය දැන් වෙනස් වෙලාද කියා මා දන්නේ නැහැ.

කොහේ යන්නද ?

කොහේ යන්නද ?

ජනතාව දැනුවත් කිරීමට විද්‍යාත්මක සංනිවේදනයට යොමු වීමටත් අදහසක් තිබෙනවා. නමුත් මේ තාක් කල් පුවත්පත් වලට මා ලියූ ලිපි වලට වඩා වැදගත් ප්‍රවෘත්ති ඔවුනට පළ කිරීමට ඇති නිසා මගේ ලිපි පළ වූයේ කිහිප වතාවක් පමණයි.  සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමඟ මේ තත්ත්‍වය වෙනස් වන්නට පුළුවනි. එසේ වූවා කියා ඇල්කෙමියාගේ දිනපොත නවතින එකක් නැහැ – සමහර විට වැඩි දියුණු වන්නටත් පුළුවන්. ඉතින් මා නැවත ලංකාවට යන්නෙ බොහොම අවිනිශ්චිත අනාගතයක් මත හීන ගොන්නක් කරපින්නාගෙන. නමුත් කෙටි කළකින් උගත්කමට සරිලන යමක් සොයා ගන්නට – නැවත දෙපයින් සිටගන්නට හැකියාව ලැබෙයි කියා සිතනවා. එසේම රටට සේවයක් කිරීමට හැකියාවක් ලැබෙනවා නම් එයත් මට සතුටක්. ඉතිං මට කියන්න තියෙන්නෙ අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු කියලා පමණයි.

කොහොම වුනත් ඉදිරිය කෙසේ වේ දැයි දැන්ම කියන්න බැහැ. සමහරවිට මේ තීරණය මා ජර්මනියට පැමිණීමට කළ තීරණයට වඩා මෝඩ තීරණයක් වන්නටත් පුළුවන්. සමහරවිට මෙය මගේ ජීවිතයේ ගනිපු හොඳම තීරණයක් වන්නටත් පුළුවන්. අනාගතය ගැන කිසිවක් කියන්නට මට බැහැ. නමුත් දැන් දැන් ලංකාවේ බිහිවන කර්මාන්තශාලා සඳහාත්, ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක සහ පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනයටත් මට සක්‍රීයව දායක වන්න පුළුවන් බව මගේ හැඟීමයි. ලංකාවේ අපට යමක් කෙසේ හෝ කළ හැකි නමුත් විදේශයන්හි අපි නිකංම නිකං නිකමුන් පමණයි. අපේ රටේ අවම වශයෙන් අපට රටට දැනෙන යමක් කළ හැකියි. මගේ තීරණය පිළිබඳ මගේ දෙමාපියන්ට පසුව වැඩිපුරම සතුටු වන්නෙ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතා. ඒ මහතා කියන්නෙ අපි පිටරටට සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ යමක් තමන්ගෙ රටට කරන එක වටිනවා කියලා. ඒ වගේම ඒ මහතා මට කළ හැකි දෑ හොඳින්ම දන්නා කෙනෙක්. ඒ නිසා මම හිතන්නෙ පමා වෙලා හරි මම ගනිපු තීරණය හරි කියලා.

අපි බලමු…. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා….

මිහිකත හෝරාවට පසුවදනක්………..


ලොව පුරා නොයෙක් දින වෙන් කර තිබේ.. අවුරුද්ද පුරාම ලව් කරන ප්‍රේමවන්තයන්ට තවත් ලව් කරන්නට වැලන්ටයින් දිනයක් මෙන්ම අවුරුද්ද පුරාවට මාතෘත්වය සහ පීතෘත්වය වෙනුවෙන් ලේ කඳුළු දාඩිය හෙලන දෙමාපියන් වෙනුවෙන් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනයක් ද වෙන්කර තිබේ. මේ සියළු දිනවල විවිධාකාර අර්ථයන් ඇත. ප්‍රේමවන්තයින්ගේ දිනය සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුවත්, මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනය වෙන් කර ඇත්තේ බටහිර රටවල දෙමාපියන්ගෙන් ඈත්ව වෙසෙන දරුවන්ට දෙමාපියන් සිටින බව මතක් කිරීමටත්, අවම වශයෙන් ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි එක දිනයක් හෝ වෙන් කර තැබීම වෙනුවෙන් යැයි මට සිතේ. නමුත් අවාසනාව වන්නේ වසර පුරාවටම – ජීවිතය පුරාවටම අපව ආදරයෙන් රැකබලාගත් දෙමාපියන්ට දින දෙකක් පමණක් වෙන් කර තැබීමයි. ඔවුන්ට නිති රැකවරණය, ආදරය දැක්විය යුතු වුවත්, අවාසනාවට වර්තමාන ජීවන රටාව නිසා ඔවුන් පැත්තකට දමා තබා ඇති ඔවුන් වෙනුවෙන් දිනක් හෝ වෙන් කර මතක් කිරීමත් එක් අතකට අගය කළ යුතු කටයුත්තකි. ඒ දෙමාපියන් වෙනුවෙන් දින වෙන් කිරීමයි.

උපන්දා සිට සියල්ල දුන් දෙමාපියන්ට එසේ සලකන අපි, ජීවත්වන තුරාවට කිසිදු ප්‍රති උපකාරයක් නොපතා අපට සේවය කරන මිහිකත ට ලබා දෙන්නේ පැයක් පමණි. ඒ මිහිකත හෝරාවයි. මිහිකත දිනයක්ද ඇත. ඒකෙත් වැඩි වෙනසක් නැත. මිහිකත හෝරාව වෙනුවෙන් පැයක් ලයිට් නිවන අපි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් පැය හතරක් පහක් ඒ ඉතිරි කළ විදුලිය විනාශ කර දමමු. ඒ අපේ හැටි ය.

පරිසරය යනු වටිනා සම්පතකැයි තවත් අමුතුවෙන් කීමට අපට අවශ්‍යතාවයක් නැත. අප සියළුම දෙනා පරිසරය හා බැඳී පවතී. අප ජීවත් වන්නේ පරිසරය නිසාවෙනි. අප හුස්ම ගන්නේ පරිසරයෙන් ලැබෙන ඔක්සිජන් සහිත වාතයයි. අප ආහාරයට ගන්නේ පරිසරයෙන් නිපදවෙන ආහාර යි. අප බීමට ගන්නේ – පිරිසිදු වීමට භාවිතා කරන්නේ පරිසරයෙන් ලැබෙන පිරිසිදු ජලයයි. කොටින්ම – අපට දෙමාපිය – නෑදෑයන් කිසිවකු නැතිව වුවත් ජීවත් විය හැක්කේ පරිසරය යහපත්ව පවතින නිසායි. පරිසරය අයහපත් නම්, කෙතරම් මුදල් හදල් තිබුණත් සුවදායක ජීවිතයක් ගත කළ හැකිද ?

අප සංවර්ධනයේ නාමයෙන් පරිසරය විනාශ කරමින් සිටිමු. මෙයට දශක කිහිපයකට පෙර රටේ වර්ග ප්‍රමාණයෙන් 40% ක්ව තිබූ වනාන්තර ප්‍රමාණය 20%ක් දක්වා අඩු වී ඇති බව වාර්තාවක සඳහන්ව තිබුණි.  අපි වනාන්තර එළි පෙහෙළි කරමින් ගොවි බිම්, ගුවන් තොටුපලවල්, පාරවල්, කෙසෙල් වතු, ආදිය සකසන රටකි. මේ අපි පරිසරයට ආදරය කරන අන්දමයි. කාබන් පියසටහන් (Carbon Footprint) අඩුකරනවා යැයි පවසමින් තව තවත් ගල් අඟුරු බලාගාර පිහිටුවන අපි ආසියාවේ ආශ්චර්යය වීමට මඟ බලා සිටිමු. දැන්වත් අපට නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු කාළය පැමිණ ඇත.

අපට පරිසර ප්‍රතිපත්ති රාශියක් ඇත. නමුත් අපි තවමත් පරිසරය විනාශ කරමින් සිටිමු. රටක් වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද අපි පරිසරය විනාශ කරමින් සිටිමු. විදුලිබිල වැඩි වීම ගැන රජයට මැසිවිලි නඟන අපි ඒකීයව විදුලි පරිභෝජනය අවම කරන ආකාරය නොසළකා හරිමින් සිටිමු. දීර්ඝ කාලීනව වාසි ලබා දෙන සූර්යබලශක්තිය, සුලං බලය වැනි විදුලි ජනන ක්‍රම වෙනුවට ගල්අඟුරු බලාගාරයන් වෙනුවෙන් (අපේද නොවන) අනාගත පරපුර බිල්ලට දෙමින් සිටිමු… මේ ද අපමය.

වෙනත් රටවල් විදුලි බලය පිරිමැසීම, කාබන්  පියසටහන් අවම කිරීම, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අප එහි විලෝමය ක්‍රියාත්මක කරමින් සිටිමු. නමුත් අපි පාරම් බාන්නේ ඒකක කාබන් පියසටහන් අවම කිරීම පිළිබඳවයි.

වසර 2014 අවසාන වනවිට හෝ 2013 අවසාන වනවිට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වායුගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ( 400 ppm) දක්වා ලඟාවනු ඇත. වසර 800,000 කට පසුව මෙය පෘථිවියේ මේ තාක් කල් වැඩිම කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය මෙය වීම  කාර්මික විප්ලවයේ ආදීනව හොඳින්ම කියා පා ඇත. මානව ක්‍රියාකාරකම් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන්නේ නැතැයි කවුරු කියා සිටියත්, වසර 800,000 කට පෙර නොවූ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණයක් වසර 150 ක් තුළදී වැඩි වූයේ කෙසේදැයි යන ප්‍රශ්නයට කිසිවෙකු පිළිතුරු සපයන්නේ ද නැත.

මෙසේ වැඩි වන කාබන් ඩයොක්සයිඩ් මෙන්ම ඉදිරියේදී වැඩිවන මෙතේන් සාන්‍ද්‍රණ නිසා මිහිතලය උණුසුම් වීම වැඩි වේ. එවිට සිදුවන ධ්‍රැවීය අයිස් දියවීම හරහා ඇතිවන අනිසි කාලගුණ විපර්යාස සහ ස්වභාවික විපත් අධික වීම මගින් මිනිසා පරිසරයට කරන ලද හානිය මිනිසාටම දැනෙනු ඇත. මිහිකත සුරැකීමට වසර පුරා කටයුතු කරනු විනා පැයක් වෙන් කිරීමෙන්ම මිනිසා පරිසරයට දක්වන ආදරය පෙන්නුම් කෙරේ.

අපට කළ හැකි දෑ බොහොමයකි.

  1. නාස්තිය අවම කිරීම මගින් භාවිතා වන ශක්ති ප්‍රමාණය අවම කිරීම. මේ නිසා නිපදවෙන ශක්ති ප්‍රමාණය අවම වන අතර සිදුවන හානිය ද අවමය.
  2. නැවත භාවිතය මගින් යම් යම් දෑ අළුතින්ම නිෂ්පාදනය කිරීමට වැයවන ශක්තිය අඩු වේ.
  3. ප්‍රතිචක්‍රීකරණය නිසා ද ඉහත කී සෙත ම සිදු වේ.
  4. ආදේශනය – පරිසරයට අහිතකර දෑ වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි යොමු වීම.
  5. දැනුවත් කිරීම – රජය මගින්, මාධ්‍ය මගින් මහජනයා නිතර දැනුවත් කිරීම.
  6. අවම පරිභෝජනයට – නාස්තිය මැඩලීමට කුඩා කල සිට දරුවන් පුරුදු කිරීම මගින් පරම්පරාවෙන් පරම්පරාවට එම පුරුදු නොකඩවා රැක ගැනීමට උනන්දු කිරීම.
  7. අවවාදයට වඩා ආදර්ශමත්ව කටයුතු කිරීම – රජය සහ ආණ්ඩුව මගින් පරිසර හිතකාමී සංවර්ධන සහ ගොඩනැඟීම් ක්‍රියාදාමයන් සඳහා යොමු වීම.
  8. කෙටි කාලීන වාසි සඳහා නොව දිගු කාලීන වාසි සඳහා සැලසුම් සකස් කිරීම.
  9. පර්යේෂණ සහ සංවර්ධනය (R&D) සඳහා වැඩි උනන්දුවක් මගින් අනාගත සැලසුම් සකස් කර ඒ අනුව කටයුතු කිරීම.

මෙවැනි දෑ නිසා කුඩා රටක් වන අපට මිහිතලය වෙනුවෙන් කළ හැකි දෑ උපරිමයෙන් කළ හැක. අප සුවිශාලව කර්මාන්තකරණයෙහි යෙදෙන රටක් නොවේ. දැන් දැන් ඇතිවන කර්මාන්තවලට පරිසර හිතකාමී සම්මාන – සහ බදුසහන ආදීය ලබා දීම මගින් පරිසරය සුරැකීමේ කාර්යයට ඔවුන් දායක කරගත හැකිය.

අනාගතය වෙනුවෙන් අප පරිසරයත් ලෝකයත් සුරැකිය යුතුය… අප සැලසුම් සකස් කළ යුත්තේ තවත් වසර 20 කටය… අදට නොවේ.

පරිසරය සුරැකීමට දිනයක්, පැයක් උවමනා නැත. එය සෑම කෙනාගේම යුතුකමකි…

2013 මාර්තු 07 : ප්‍රතිරූප වන්දනාව නිසා බැටකන ලසිත් මාලිංග


ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා ප්‍රශ්නයක් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට ක්‍රීඩකයෝ 23 දෙනෙකු අකැමැතිවීම පිළිබඳ ආන්දෝලනය අවසාන වූයේ ඔවුන් ඒ සඳහා එකඟ වීමත්, සිදු වූ කිසිවක් මාධ්‍ය හමුවේ නොකිව යුතු බවට එකඟතාවයක් (හෝ තර්ජනයක්) ඇතිකරගැනීමත් සමඟය. නමුත් ඒ ආන්දෝලනය සමනය වන්නට නොදී ලංකාවේ ක්‍රිකට් නැවත වතාවක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගැනීමට අපේ මාධ්‍ය සමත්විය.

මිනිසා කවදත් තමන්ට වඩා ඉදිරියෙන් සිටින්නකු වෙත කිසියම් ගෞරව පූර්වක බැල්මක් හෙලූ සත්ත්‍වයෙකි. ඒ නිසා ඒ පුද්ගලයා වටා  ප්‍රතිරූපයක්  ගොඩනගා ගනී. බටහිර සංස්කෘතියේ  විශේෂයෙන් ඇමරිකාවේ වැඩිහිටියන්ට ගරු කිරීම හෝ උගතාට/ඉහළ මට්ටමේ රැකියාවක් කරන පුද්ගලයෙකුට එතරම් ගරු කිරීමක් නැත්තේ, සියල්ල සමානව සැලකීමට පුරුදුව ඇති නිසාය. යුරෝපයේ තවමත්  අවම වශයෙන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ මේ ගරුත්‍වය තරමක් හෝ දුරට රැඳී පවතී. ආසියාව තවමත් ප්‍රතිරූප වන්දනාව ඉහළින්ම ඇති කලාපයකි. මේ පුද්ගල/ප්‍රතිරූප වන්දනාවට ඉහළින්ම පාත්‍ර වන්නේ වෛද්‍යවරු – විශ්ව විද්‍යාල ආචාර්යවරු – ඉංජිනේරුවරු – නීතීඥයින් වැනි ඉහළ තලවල රැකියා දරන පුද්ගලයින් ය. එසේම පසුගිය යුධ කාළයේ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වන්දනා කළේ රණවිරුවන් යන නාමයෙන් වුවත්, දැන් දැන් කාර් රේස් සඳහා වැලි කොට්ට අදින, අතිරික්ත එළවලු වෙළඳාම් කරන පුද්ගලයින්ගේ තත්ත්‍වයට ඔවුන් පත්ව ඇත්තේ අපට ඇති සති දෙකේ මතකය නිසාම විය හැකිය.  ඊට අමතරව කෘත්‍රිමව ඇතිකරගත් ප්‍රතිරූප වන්දනාවට අනුකූලව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිතුමා දක්වා විවිධාකාර දේශපාලනඥයින් සහ හෙංචයියන් පුද්ගල වන්දනාවට ලක්වෙති. ඒ බොහෝ දුරට එකිනෙකාගේ පෞද්ගලික වාසි ලබා ගැනීම පිණිසය.

නළු නිළියන් සහ ක්‍රීඩකයින් මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට සිය දක්‍ෂතාවය මත කැපී පෙනෙන නිසා ප්‍රතිරූප වන්දනාවට ලක්වෙති. දක්‍ෂ නළු නිළියන් සහ දක්‍ෂ ක්‍රීඩකයින් මේ තත්ත්‍වයෙහි ඉදිරියෙන් සිටිති. මෙයට අමතරව මාධ්‍යවල අවශ්‍යතාවය මත පිම්බෙන සහ හැකිළෙන ප්‍රතිරූප වන්දනාවක් ද දැකිය හැක. නයි නළඟන මාධ්‍යවලට මහඟු වස්තුවක් වූයේත්, ආචාර්ය මර්වින් සිල්වා වැන්නන්ගේ සුළු චලනයක් වුවත් මාධ්‍යවලට සුවිශාල ආකර්ෂණයක් වන්නේත් මේ නිසාය. මිනිසුන් සතුව  ස්වභාවයෙන්ම ඇති කටකතා සහ ඕපාදූප ඇසීමට ඇති කැමැත්ත දඩමීමා කරගෙන මාධ්‍ය සිය මඩි තර කර ගන්නේ එසේය.

ලංකාව පළමු ටෙස්ට් තරඟය දිනූ දිනයේ සිට සහ ඊට පෙරත්, ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් වෙත තරමක ආකර්ෂණයක් ඇතිව තිබුණි. මෙය ලෝක කුසලානය දිනූ කාළයේ සිට වැඩි වැඩියෙන් දක්නට ලැබුණි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තත්ත්‍වය ඉහළ යන විට ඔවුන් ද පුද්ගල වන්දනාවට බඳුන් වූහ. එමෙන්ම අර්ජුන – මහේල – සනත් – සංගක්කාර – මුරලි – වාස් – වැනි අයගේ අගය ඉහළ ගියේ ඔවුන් සතුව තිබූ පෞරුෂත්‍වය සහ නිහතමානීකම නිසාම විය හැක. මේ අතර විවිධ චරිත දක්නට ඇත. සියල්ලන්ටම අර්ජුන – මහේල -සංගක්කාර වැන්නවුන් වීමට නොහැක. එකිනෙකාගේ පෞරුෂත්‍වය වෙනස්ය. නමුත් පුද්ගල වන්දනාවේ යෙදෙන්නවුන්ට මේ වෙනස නොතේරේ. ඔවුන්ට සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් එක සේ දීප්තිමත්ව බැබැළිය යුතුය. ආදර්ශමත්ව හැසිරිය යුතුය. නමුත්, සත්‍යය බොහෝ විට උපකල්පිත මට්ටමින් බොහෝ අපගමනය වී ඇති බව කිසිවෙකුට නොවැටහේ. මේ නිසාම දර්ශීය ක්‍රිකට් ක්‍රීඩකයා මේ යැයි අච්චුවකට දමා (Stereotype) සියල්ලන්ම සැලකීමට පුරුදු වී තිබේ.

පසුගිය දා සිදු වූයේ එයයි. මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට මාලිංග දුන් පිළිතුරක් කප්පරක් සේ වර්ධනය කර ජනතාව අතරට ගිය කතාවයි.

මේ ද ලාස්ට් රෝ නම් වෙබ් අඩවියේ තිබූ සටහනකි. අයිතිය කස්සා සතුය. (වරද නිවැරදි කළෙමි)

මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි
——————————————-
මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්

“මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.

“මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.

“ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.

“මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”

“ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”

“අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”

“හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.

“උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

උපුටාගැනීම අවසන්.

මාලිංග ක්‍රිකට් ගැසුවේ මාලිංගගේ දක්‍ෂතාවය නිසා ය. ඒ නිසාම මාලිංග ධනවත් වී ඇත. මාලිංග රත්ගම වැල්ලේ ටෙනිස් බෝලයෙන් ක්‍රිකට් ගසමින් සිටියා නම් සමහරවිට කොහේ හෝ පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරමින් සිටින පුද්ගලයෙකු වන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුගේත් අපගේත් වාසනාවට ඔහුගේ දක්‍ෂතාවයන් මත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබුණි.

අපි සියළුම දෙනාට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැක. මා ද අප ක්‍රීඩා කරන මට්ටමේ ක්‍රීඩකයින් අතර තරමක දක්‍ෂයෙකු වුවත්, මගේ දක්‍ෂතා ජාතික කණ්ඩායමට නොව ක්‍රීඩා සමාජයකටවත් වැද්ද ගැනීමට තරම් නොවේ. ජාතික තලයේ ක්‍රීඩකයින් එම ස්ථානවලට පැමිණ ඇත්තේ අපමණ දුක් විඳ සිදු කරනලද කැපවීම් තුළිනි. ඔබ-අප ද අප කරනා රාජකාරිවල නිසි කැපවීමක් ඇතුව ක්‍රියා කළා නම් සමහරවිට අප ද දැන් සිටින ස්ථානයට වඩා හොඳ රැකියාවක්, උසස් තනතුරක සිටින්නට බැරිකමක් නැත.

අප බොහෝ දෙනා ඉතා ඉක්මනින් නිගමනවලට පැමිණෙන පිරිසකි. කිසිවෙකු උසිගැන්වූ සැණින් සොයා නොබලා විවිධ චෝදනා කිරීමට අප මඟබලා සිටිමු. මාලිංගට වූයේ ද මෙයයි. මේ සුළු ප්‍රශ්නය අප වවාගෙන කෑවා විය හැකිය. මාලිංග ජාතික සම්පතක් වූ කාළයක් විය. නමුත් ඔහු ක්‍රීඩා කළ විලාශය අනුව සහ ප්‍රධාන තරඟවලදී පෙරදි නොපෙන්වූ දක්‍ෂතා නොපෙන්වීම නිසාම ඔහු මුදලට තරඟ කරන පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ විය. අරවින්ද ද සිල්වා ටද මෙවැනිම චෝදනා එල්ල වී තිබූ කාළයක් මට මතක තිබේ. තරඟයේ හෝ තරඟාවලියේ වීරයා සඳහා සුපිරි මෝටර් රථයක් පිරිනමන්නේ නම් අරවින්දගේ දක්‍ෂතා නැරඹිය හැකි බවට මතයක් එකළ පැවතින.

මිනිසුන් තුළ විවිධ පුද්ගලයන් අරභයා විවිධ ප්‍රතිරූප මැවී පවතී. මෙවන් වාක්‍යයක් දේශපාලනඥයෙකුගේ මුවින් පිටවුනි නම්, එය සාමාන්‍ය දෙයක් වන්නට ඉඩ තිබිණ. ඒ රටේ සියළුම දෙනාගේ සිත් තුළ තැන්පත් වී ඇත් දේශපාලනඥයාගේ පහත් ප්‍රතිරූපය නිසායි. මේ වාක්‍යය සාමාන්‍ය මිනිසකුගේ මුවින් පිටවන්නට කිසිදු හේතුවක් නැත. ඒ ඔවුනට මාලිංගට තරම් මාධ්‍ය ආවරණයක් නොලැබෙන නිසාය. මේ සිදුවීම අල්ලාගෙන පතුරු ගසන්නට පටන් ගෙන ඇත්තේ කිසිදු වැඩක් නොකර ෆේස් බුක් එකේම කාළය ගෙවන කිහිප දෙනෙකු වන්නට පුළුවන. කාළයක් දුමින්ද සිල්වා, හිරුණිකා, අනර්කලී, මර්වින් සිල්වා, පබා, ආදී පුද්ගලනාමයන් පතුරු ගැසූ ඔබ මෑතකදී පතුරු ගසන්නට වූයේ හලාල් සහ බොදුබලසේනාවයි. මටද දිනකට හලාල් සහ මුස්ලිම් ආක්‍රමණ පිළිබඳ ඊ මේල් දහයක් පමණ ලැබුණත් මගේ මේල් පෙට්ටියේදී ඒ සියල්ලේ අවසාන නවාතැන වන්නේ කුණු කූඩයයි. මා සිංහලයෙකි. බෞද්ධයෙකි. නමුත්, මුස්ලිම් ප්‍රශ්නයත් හලාල් ප්‍රශ්නයත් මීට වඩා පුළුල්ව සහ සූක්‍ෂමව ක්‍රියා කළ යුත්තකි. එය ගාල කඩා ගත් හරක් සේ දුව පැන ඇවිද කෑ ගසා විසඳිය යුත්තක් නොවේ. බුද්ධිය මෙහෙයවා – නිසි සැළසුමක් ඇතිව කළ යුතු කටයුත්තකි. මෙසේ කෑ ගැසීමෙන් ඒ පිළිබඳ  අවධානය වෙනතක යනවා පමණක් නොව අදාල ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාව ද අවහිර වනු ඇත.

අපේ මාධ්‍ය ද කටයුතු කරන්නේ කළ දුටු කළ වල ඉහ ගැනීමේ න්‍යාය මත සිටය. කිසිදු වටිනාකමන් නැති නයි නළඟනට ලැබුණ මාධ්‍ය ආවරණය තුළින්ම අපේ මාධ්‍ය කටයුතු කරන ආකාරය ගැන මනා වැටහීමක් ලබා ගත හැකිය. අපේ මාධ්‍යවලට ආචාර ධර්ම පද්ධතියක් නැත. කිසිවෙකු ඒ සඳහා උනන්දුවක් ද නැත. ඒ වැල යන පැත්තට මැස්ස ගසාගෙන තමන්ගේ මඩි තර කර ගත හැකි බව ඒ සියල්ලන් දන්නා නිසාය. උඩු ගං බලා පිහිණීමට කිසිවෙකු කැමති නැත. ඒ එය අපහසු නිසාය.

තව සති දෙකකින් මාලිංග මාධ්‍ය වේදියාට බැණ වැදුනාද යන්න සැමට අමතක වනු ඇත. බාලචන්‍ද්‍රන් මිය ගියාද යන්නවත් සැමට අමතක වනු ඇත. දැනටමත් අමතක වී ඇත. මාලිංග ඊලඟ ටෙස්ට් තරඟයේදී කඩුළු පහක් හෝ ත්‍රිත්වයක් ගත් කළ ෆේස් බුක් පිටුවල නැවතත් මාලිංගව අගය කෙරෙනු ඇත. ඒ අපි මොනවා කලත් උන්ට ආදරේ නිසා බව ද ඒ ඒ පුද්ගලයින් තම මතය සාධාරණීකරණය කරන නිසාය.

Malinga

ප්‍රතිරූප වන්දනාව භයානකය. අදාල පුද්ලයාටත්, වන්දනාව කරන පුද්ගලයින්ටත් එය එකසේ භයානකය. ප්‍රතිරූප වන්දනාවට ලක්වන පුද්ගලයා තමා තබා ඇති රාමුවෙන් පිටතට පැනීම මාරාන්තික විය හැක. ඒ වන්දනාව කරන පුද්ගලයින්ගේ සිතැඟි අනුව කටයුතු නොකළහොත් මරණය පවා අත්විය හැකි නිසාය….

මට නම් මාලිංග මොනවා කීවත් කමක් නැත. ඒක ඌට ඇති අයිතියකි. මීට වඩා කතා කිරීමට අපට ප්‍රශ්න ඇත.

ඒ මට හිතෙන හැටිය…

2013 මාර්තු 05 : ආසියාවේ ආශ්චර්යය – ආසියාවේ දැනුම් කේන්‍ද්‍රය


අපි හැමදාම ලෝකයේ ලොකුම එක, ආසියාවේ ලොකුම එක, දකුණු ආසියාවේ ලොකුම එක, ආදී ලොකු ලොකු දේ කරන්නට මෙන්ම සිහින දකින්නට ද දක්‍ෂය. ආසියාවේ කුඩාම රටක් වුවත් ලොකුම ඇමති මණ්ඩලය ඇත්තේ අපටය. අප ආසියාවේ ආර්ථිකව සමාජයීයව මෙන්ම අධ්‍යාපනිකව ද ඉතාම පසුපසින් සිටියත්, පාරම් බාන්නේ ආසියාවේ ආශ්චර්යමත්ම රට හැටියටය. පිටින් ණය අරන් උජාරුවට දිවි ගෙවන අපි හැම දෙනාම රුපියල් ලක්‍ෂ තුනක් පිටරටට ණයය. නමුත් ණය ගැනීම නතර වී ද නොමැත. අපි තවමත් කරන්නේ  අවුරුදු 2500 ක වංසෙ කබල් ගෑමක් වුනත්, අප එය පිළි ගැණීමට ද අකැමැතිය.

මෑතකදී අපි දකුණු ආසියාවේ ලොකුම ටින් මාළු කර්මාන්තශාලාව ගාල්ලේදී තනා නිම කර ජනතා අයිතියට පැවරූ රටකි. නමුත් මාළු ගෙන්වන්නේ චීනයෙනි. අපි දකුණු ආසියාවේ රටක් ඇතුලත තැනූ එකම වරාය තැනූ ජාතියයි. නමුත් එය ද චීනයෙන් ණය අරගෙන තැනූවකි. අපි, මිලියන 22 ක ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 65610 ක වපසරියක් ඇති රටක ගුවන් තොටුපල දෙකතුනක් ඇති රටකි. ඒද ණයට ගත් මුදලින් තනන්නකි. අපේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 3T ය Tourism – Tea – Textile ය… එය එසේ වුවද ඒ සඳහා ද හරිහැටි සැලසුම් අපට නැත. ඊට අමතරව තරුණියන් – මවු වරුන් දහදුක් විඳ මැදපෙරදිග කඹුරා එවන තුට්ටු දෙක වුවත්, ඔවුනටද කිසිදු සහනයක් නොමැත. අපි සත්තකින්ම ආශ්චර්යමත් ජාතියකි.

අප කිසිදු විටෙක අගය එකතුකළ යමක් (value added products) පිටට ලබා නොදෙන ජාතියකි. නුපුහුණු ශ්‍රමය අමු ුඅමුවේම පිට රටට පටවන්නේ ඉතාම අඩු මිළකටය. හරි හැටි අගය එකතු කළ විට රටම ගොඩ ගන්නට තරම් වටිනාකමක් ඇති පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ජපනාට විකුණන්නේ අමු අමුවේය. රබර් අමු අමුවේම විකුණන අප පිටරටින් ටයර් ආනයනය කරමු. රට වටකර මුහුද ඇතත් මාළු ද ගිණි ගණන්ය. වසර පුරාවටම හිරු එළිය – වගා කළ හැකි වටපිටාවක් ඇති අපේ රටේ එළවලු ගිණි ගනන් ය.. තව කිව හැකි දෑ බොහොමයකි.

ඉන්දියාව අප තරම් පාරම් බාන්නේ නැත. ඉන්දියාවේ  ජනගහනයෙන් 80% ක් දරිද්‍රතාවයෙන් පෙලෙන රටකි. අම්බානිට අම්බානට මුදල් ඇතත්, වැඩි ප්‍රතිශතයක් දිනය ගෙවන්නේ ඩොලර් දෙකකට වඩා අඩු දෛනික ආදායමකිනි. එහි දේශපාලනඥයෝ ද අපේ අය මෙන්ම ඉතා දූරදර්ශී – විනීත, දූෂණයෙන් භීෂණයෙන් තොර ඉතාම බුද්ධිමත් කාණ්ඩයකි. ඒ නිසා අපේ රට මෙන්ම ඉන්දියාව ද ආසියාවේ ආශ්චර්යය කරා ළඟා වෙමින් පවතී. ඉන්දියාවේ අගමැති ආර්ථික විද්‍යා විශේෂඥයෙකු වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරා ඇති පුද්ගලයෙකි. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූයේ  “India’s export performance, 1951–1960, export prospects and policy implications” යන්නයි. ඒ සමඟම එය “India’s Export Trends and Prospects for Self-Sustained Growth” පොතක් බවට පත් කිරීමට ද හේ උත්සුක විය. ඒ ඉන්දියාවේ අගමැතිතුමාගේ අධ්‍යාපනික සුදුසුකම් කිහිපයකි.

අපේ අගමැතිතුමාට දැන් සනීපය. ඒ නිසා එතුමා ඉල්ලා අස් වන්නේ නැත. පාප් වහන්සේ ඉල්ලා අස් වූවත් අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත. ඒ එතුමාටය කියා අමුතුවෙන් කරන්න දෙයක් නැති නිසාමය. ලංකාවේ අගමැතිකම ඉන්දියාවේ ජනාධිපතිකම මෙන්ම බල රහිත එකක් නිසා අගමැතිතුමා කවුරු වුනත් කිසි ප්‍රශ්නයක් නැත.  එකම ප්‍රශ්නය ඒ පුද්ගලයා වෙනුවෙන් දරන්නට වෙන වියදම පමණි. නමුත් ඉන්දියාව යනු බිලියන 1.3 ක ජනගහනයක් ඇති ලොව ඉහළම ආර්ථිකයක් පවතින රටකි. එවන් රටක පාලනය දරන්නා (පමණක් නොව වෙනත් ඕනෑම රටක) බුද්ධිමතෙකු වීම රටේ ප්‍රගමනයට බලපායි. ඉන්දියාව මන්මෝහන් සිං පාලනයට නතු වූ දා පටන් විශාල සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින රටකි.  ඒ රටේ ජනාධිපති වූයේ න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥයෙකු වූ ආචාර්ය අබ්දුල් කලාම් මහතාය. ඒ බුද්ධිමතුන් දෙදෙනකි.  ඊට පෙර 1991 දී ඉන්දියාවේ වෙළඳ ඇමති තනතුර හෙබවූයේ ච ආචාර්ය මන්මෝහන් සිං මහතාය.. ඉන්දියාව අපනයනය කරන්නේ බුද්ධිමතුන් ය. ඉන්දියාවෙන් පිටතට යන බුද්ධිමත් තරුණ තරුණියන් නැවත් පැමිණෙන්නේ ආචාර්ය උපාධි හෝ අවම වශයෙන් ශාස්ත්‍රපති/විද්‍යාපති උපාධියක් අත දරාගෙනය. ඉන් නොනවතින ඔවුහු රටේ නිෂ්පාදනයට දායක වෙති. ලොව ප්‍රධානතම ඖෂධ සමාගම් සහ රසායනික සමාගම් අඩු මිලට බුද්ධිය සොයාගෙන පැමිණෙන්නේ ඉන්දියාවටය. ලොව මූලිකම පරිඝණක සමාගම් සිය ශාඛා පිහිටවන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ IIT (Indian Institute of Technology) විශ්ව විද්‍යාල අද තරඟ කරන්නේ ඇමරිකාවේ හාවඩ්, MIT, සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල සමඟ සම තත්ත්‍වයේ සිටීමටය. මේ ඉන්දියාවේ අධ්‍යාපනයේ තත්ත්‍වයයි. අපි ?

මේ ලිපිය ලිවීමට සිත් වූයේ බ්‍රිතාන්‍යයේ රාජකීය රසායන විද්‍යා සංගමය මගින් පළ කරන Chemistry World නම් සඟරාවේ වූ ඉන්දියානු විද්‍යාත්මක චින්තනයේ ප්‍ර බෝධය පිළිබඳ වූ ලිපියක් දැකීමෙන් ඇති වූ සංවේගයයි. ඒ සංවේගය ඉන්දියාව ගැන නොවේ. ආසියාවේ ආශ්චර්යය යැයි උදම් අනන අපේ ලංකාව ගැන ඇති වූ සංවේගයයි.

ඉතාම මෑතකදී ඉන්දියාව තම රටට නව විද්‍යාත්මක ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුනි. ලංකාවේ පුවත්පත්/මාධ්‍ය ආයතනවලට හොරෙන් මෙය කරන්නට ඇත්තේ අප රටේ ද මෙවැනිම ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදේ යැයි යන බියෙන් විය හැකිය. ඉන්දියාව මෙහිදී අවධාරණය කරන්නේ සීඝ්‍ර – දිගුකල් පවතින – සියළුම අංශවල වර්ධනයක් දැකිය හැකි විද්‍යාත්මක පිළිවෙතකි. මේ නිසා රටේ බොහෝ අංශ වල දියුණුවක් ඔවුහු අපේක්‍ෂා කරති. සමහර අංශ විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදැක තිබු අංශයන් වන අතර ඒවාට ද මේ පිළිවෙත් හඳුන්වාදීමට ඉන්දියාව අපේක්‍ෂා කරයි. ඉන්දීය රජය මෙහිදී ඉලක්ක කරන්නේ විද්‍යාත්මක සංවර්ධනය අතින් තමන්ගේ බලය වසර 2020 වනවිට ලොවට කියා පෑමටය. දැනට ලෝකයේ පළවන විද්‍යාත්මක ලිපි වලින් 3.5% ක ප්‍රමාණයක් පළ වන්නේ ඉන්දීය විද්‍යාඥයින් විසිනි. එය 2020 වනවිට 7% ක් දක්වා වැඩි කිරීමට ඉන්දියාව අදහස්කරගෙන ඇත. ලොව ඉහළම විද්‍යා ලිපි පළකෙරෙන සඟරා වලට ඉන්දියාවේ වර්තමාන දායකතවය වන 1% ක ප්‍රමාණය 2.5% දක්වා වැඩි කිරීමට ද සැලසුම් යොදා හමාරය. ඉන්දියාව ලබන වසර පහ ඇතුලත සිය විශ්ව විද්‍යාල සහ පර්යේෂණාගාරවල පර්යේෂකයින් සංඛ්‍යාව 66% කින් ඉහළ නැංවීමට, එනම් 150,000 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. මෙයට අමතරව අධ්‍යාපනය ද ඒ හා සමගාමීව ඉහළ නංවන්නට අදහස් කරගෙන තිබේ.

ඉන්දියාවේ අගමැති

ඉන්දියාවේ අගමැති

කෙසේ වුවත් ඉන්දියාව ද විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් වෙන් කරන්නේ දළ ජාතික ආදායමෙන් 1% ක් පමණි. 2017 වනවිට එය 2% දක්වා වැඩි කිරීමට ආචාර්ය මනමෝහන් සිං සැලසුම් කරගෙන තිබුණද, සමහර  විද්‍යාඥයින් ඒ පිළිබඳ සැක සංකා මතු කරති. ඉන්දියාවට දැන් ඇති ප්‍රධාන ප්‍රශ්නය චීනයේ ආර්ථික සහ විද්‍යාත්මක සංවර්ධනයයි. ඒ නිසා ඔවුන් චීනය හා කරට කර හෝ ඉදිරියට යාමට හැකි සියල්ලම සිදු කරති. ආසියාවේ ලොකුම දේවල් නොකළත්, තමන්ට හැකි පමණින් යමක් කිරීම ඔවුන්ගේ ක්‍රියා කලාපයයි. නමුත් අප කරන්නේ සියල්ලට ම පෙර ලොකු නමක් යොදාගත් ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවට එම ව්‍යාපෘතියට වෙන් කළ මුදලෙන් හරි අඩක් යොදා නාස්ති කර, ඉතිරියෙන් ද හැකි ප්‍රමාණයක් යටිමඩි ගසාගෙන ඉතිරියෙන් යමක් කිරීමයි. ඒ අපේ ආශ්චර්යයයි. ඒ මුදලින් යමක් සිදු වීම ම ආශ්චර්යයකි.

උදාහරණයක් ලෙස වරායේ සිට සපුගස්කන්දට තෙල් ගෙන යන නලය සෑම තැනින්ම සිදුරු වී සිදුවන තෙල් නාස්තියම අවම කිරීමෙන් අපට බොහෝ මුදලක් ඉතිරි කරගත හැක. නමුත් හැමදාම සිදු වන්නේ කාන්දුවන තැනකට පැලැස්තරයක් යොදා නැවතත් කාන්දුවක් ඇතිවනතෙක් බලා සිටීම නොවේද ? ජර්මනියේ BASF ආයතනයේ වර්ග කිලෝමීටර 10 ක වපසරියේ පමණක් අතුරා ඇති නල මාර්ගවල දිග කිලෝමීටර 2300 කට අධිකය. මේ කිසිදු නළයක කාන්දුවක් වසර 25 කින් වාර්තා වී නැත්තේ ඒවායේ කටයුතු සොයා බලන්නන්ගේ සහ අදාල ආයතනයේ කාර්යක්‍ෂමතාවය සහ වගකීම් සහගත ස්වභාවය නිසාය. නමුත් වරායේ සිට කොලොන්නාවට තෙල් ගෙනයන නලය හරිහැටි නඩත්තු කිරීමට අපට හැකියාවක් නැත. ඒ අපගේ ආශ්චර්යයයි.

වාසනාවට අපටද දැන් බුද්ධිමත් අගමැති අපේක්‍ෂකයෙකු පහළවන ලකුණු මතු වී ඇත.

අපේ අනාගත අගමැති

අපේ අනාගත අගමැති

අපේ රටේ අවිවාදයෙන්ම ජනප්‍රියතම ආචාර්යවරයා වන ආචාර්ය මර්වින් සිල්වා මහතා තමා තරම් අගමැති තනතුරට සුදුස්සෙකු තවත් මේ රටේ නොමැති බව රටටම හඬගා ප්‍රකාශ කර හමාරය. ඉන්දියාවේ අගමැතිතුමාට මෙන්ම එතුමාට ද ආචාර්ය උපාධියක් ඇත. මන්මෝහන් සිං මහතා මෙන්ම එතුමා ද කොටය. පොතක් ද ලියා ඇත.ඒ හැමටම වඩා මන්මෝහන් සිං මහතාට වඩා රට වෙනුවෙන් ඒ මහතා කැප වී ඇත. එතුමාගේ පවුලේ කිහිප දෙනෙකු මියගොස් ඇත්තේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාවෙනි. ඉතිං…. අපටත් ආශ්චර්යයේ ඉදිරියටම යන්නට. මෙතරම් සුදුසුකම් ඇති.. එතුමා අගමැති කළොත් බැරි වෙයිද ?

2013 මාර්තු 02 : හලාල් නිෂ්පාදන සහ ලෝක නිෂ්පාදන ආර්ථිකයේ නව ප්‍රවණතා…..


හලාල් :

විකිපීඩියාවට අනුව හලාල් යනු මුස්ලිම් ජීවන දර්ශනයට අනුව නීත්‍යානුකූල හෝ ආහාරයට ගත හැකි තත්ත්‍වයේ ඇතැයි සහතික කළ ආහාර සහ ඒ අනුව එදිනෙදා ජීවිතයේ භාවිතාව ලෙස සඳහන් වෙනවා. හලාල් යන වදන නිසි ලෙස තේරුම් නොගත් පුද්ගලයින් හලාල් යන වදන ඇසුණු සැණින් අදහස් කරන්නේ මස් මාංශ හා බැඳුන වදනක් ලෙසින්. නමුත් මුස්ලිම් ජීවන දර්ශනයට අනුව සත්ත්‍ව නිෂ්පාදන අන්තර්ගත විය හැකි සියල්ල හලාල් ලෙසින් හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් සැකසූ ආහාර, ඖෂධ, රූපලාවන්‍ය නිෂ්පාදන, ආදියද හලාල් සංකල්පයට අයත්.

යුරෝපීය හලාල් සහතිකයක්

යුරෝපීය හලාල් සහතිකයක්

හලාල් සහ මුස්ලිම් ලෝකය:

මුස්ලිම්වරුන් අන් ආගමිකයින්ට වඩා  භක්තිමත් යැයි සැලකෙනවා, ඒ නිසාම හලාල් සංකල්පය දිවිහිමියෙන්ම අදහනවා. ලෝකයේ මුස්ලිම් රටවල් 57 ක් ද බිලියන 1.7 ක් ජනගහනයක් ද සිටිනවා. යුරෝපයේ පමණක් මිලියන 51ක් මුස්ලිමුන් සිටින අතර ජර්මනියේ මිලියන 4.2 ක් ජීවත් වෙනවා. එසේම හලාල් නිෂ්පාදන සැකසීම ඉතා සුවිශාල ව්‍යාපාරයක්, වසරක් තුළදී ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 700 කට ආසන්න අගයක  ආහාර සහ පාරිභෝගික ද්‍රව්‍ය පමාණයක් සංසරණය වනවා. කවුරු කෙසේ කීවත් මේ නිසාම හලාල් ව්‍යාපාරයන් ලොව පාරිභෝගික වෙළඳපලෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් අයිතිකරගෙන ඇතිබව පිළිගන්න වෙනවා.  සසඳා බලනවා නම් කාබනික/හරිත නිෂ්පාදන (Organic products) වෙළඳපල ආර්ථිකය වසර 2010 දී ඇමරිකානු ඩොලර් බිලියන 30 ක් .

හලාල් සහ නිෂ්පාදන ආර්ථිකය:

හලාල් සැකසීම ආහාර වලට පමණක් සීමා වන්නෙ නැහැ. ඖෂධ, රූපලාවණ්‍ය නිෂ්පාදන, රෙදිපිළි, සියල්ල හලාල් වලට අයත්. මේ නිසාම ඒ ඒ නිෂ්පාදන සැකසීමේදී ලබා ගන්නා අමුද්‍රව්‍ය හලාල් වීම මුස්ලිම් ලෝකයට වැදගත්. ආහාර ද්‍රව්‍ය කෙළින්ම හලාල් ක්‍රමයට සැකසිය හැකි වුවත්, බොහෝ සැකසූ ආහාර ද්‍රව්‍ය සහ ආහාරමය නොවන ද්‍රව්‍ය හලාල් ක්‍රමයට සැකසීමේදී සැලකිය යුතු කාරණා බොහොමයක්. උදාහරණයක් ලෙසින් යෝගට් හෝ අයිස්ක්‍රීම් සළකා බැලුවහොත්, එය ඍජුවම මස් මාංශ නොමැති වුවත් වක්‍රාකාරව සත්ත්‍ව නිෂ්පාදන අඩංගුයි. ඒ යෝගට් සහ අයිස්ක්‍රීම් වල අඩංගු කිරිවලටත් වඩා ජෙලටින් නිසායි. ජෙලටින් සැකසෙන්නේ සත්ත්‍ව පටක ආශ්‍රයෙන් විශේෂයෙන්ම ඌරු පටක ආශ්‍රිතව. මේ නිසා මුස්ලිමුන්ට මෙය ඉතා වැදගත්. ඒ එක පැත්තක්. තවත් පැත්තකින් බලනවා නම් ඖෂධ නිෂ්පාදනය. ඖෂධ නිෂ්පාදනයේදී විවිධාකාර රසායනික ද්‍රව්‍ය භාවිතා වෙනවා. උදාහරණයක් ලෙසින් විටමින් B සළකා බලනවා නම්, එහි අන්තර්ගත රසායනික සංයෝගය සැකසෙන්නේ විවිධාකාර කුඩා සංයෝග කිහිපයක් ක්‍රියා කරවීමෙන්. මෙහි එක සංඝඨකයක් වන්නේ සිට්‍රැල් නම් සංයෝගය. සිට්‍රැල් සැකසෙන්නේ පෙට්‍රෝලියම් විඛණ්ඩනයෙන් ලබා ගන්නා සරළ අණුවක් කිහිප වතාවක් ඔක්සිකරණයට සහ ප්‍රතික්‍රියාවනට සහභාගී වීමෙන්. මේ සිට්‍රැල් වෙනත් සංයෝග කිහිපයක් සමඟ ක්‍රියාකරවීමෙන් විටමින් B සැකසෙනවා. ලොව පුරා බෙදාහැරෙන විටමින් බී නිෂ්පාදනවල නිෂ්පාදකයා වන්නේ BASF ආයතනයයි. මෙහිදී ඔවුන් සිය නිෂ්පාදන සැකසීමේදී යුරෝපීය – ඇමරිකානු සහ පිළිගත් ආහාර – ඖෂධ සම්මතයනට අනුකූලව ඉතාමත් සුපිරිසිදුව නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. මෙහිදී සුවිශේෂ කාර්යයක් නොකළත්, මේ නිෂ්පාදන සියල්ල සත්ත්‍ව නිෂ්පාදනවලින් තොරව සැකසීමට ඔවුන් කටයුතු කරනවා. මේ නිසා මේ නිෂ්පාදන හලාල් ගණයට සැකසෙනවා. ඒ හැරුණත්, මේ රසායනික ද්‍රව්‍ය සැකසෙන්නේ මානව පරිභෝජනයට නිසාම ඔවුන් ඉතා සුපිරිසිදුව ඒවා සකසනවා.

මේ ආකාරයට BASF ආයතනය බොහොමයක් අමුද්‍රව්‍ය සකසන්නේ හලාල් නිෂ්පාදන සඳහා අනුකූල වන ආකාරයට. මෙය ඔවුනට සුවිශේෂ වෙහෙසක් ගන්නට සිදුවන කාරණයක් නොවන්නේ ඔවුන්ගේ සම්මත තත්ත්‍වයන් හලාල් තත්ත්‍වයනටත් වඩා සුපිරිසිදු ලෙස සැකසෙන නිසා. නමුත් කාරණය වන්නේ ඔවුන් කිසිම විටෙක සිය නිෂ්පාදනවල දත්ත කිසිවෙකුට නොපෙන්වීමයි. ඒ නිෂ්පාදන රහස් තරඟකාරී ආයතනවලට එළිවන නිසා. මේ නිසා අදාල නිෂ්පාදන හලාල් සහතිකය සහතික කිරීමේදී සිදුවන්නේ විශ්වාසය පදනම් කරගෙන පෙන්විය හැකි දත්ත අදාල සහතිකය ලබාදෙන මුස්ලිම් සංවිධානයට පෙන්වා එය ලබා ගැනීමයි. නමුත්, මේ හලාල් සහතිකය අන්තර්ගතකර වෙළඳපොලට නිකුත් කරන ඒ සංයෝගවලට වැඩි මිලක් නියම කිරීමට ඒ ආයතනය කටයුතු කර තිබෙනවා. මේ නිසා ඇත්තෙන්ම BASF ආයතනය වැඩි ලාභයක් ලබනවා. හලාල් සම්බන්ධව නිෂ්පාදන ආර්ථිකය තුළින් ඒ ආයතන වාසි ලබා ගන්නේ එහෙමයි.

ශ්‍රී ලංකාවේ තත්ත්‍වය:

ශ්‍රී ලාංකිකයින් උපතින්ම බොහෝ ආවේගශීලීයි. කිසිවෙකු යමක් කිවූ පමණින්ම උසි ගැන්වෙන අපි – බොහෝ දුරට නඩු අහන්නෙ වෙඩි තියා අවසන් කර. මේ නිසා ප්‍රශ්න වැඩියි. මෑතකදී ඇති වූ අර්බුධකාරී තත්ත්‍වය වූයේ බොහෝ නිෂ්පාදන හලාල් සහතිකය ලබා ගැනීම නිසා නොසන්සුන් වූ බෞද්ධ සංවිධාන මගින් පැවැත්වූ මාධ්‍ය සංදර්ශන. හැම දේකටම සිදු කරනවා සේ මේ කාරණයේදීත් රජය රඟපෑවේ පසුගාමී චරිතයක්. මේ නිසා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරවෙන්වත් කඩා ඉවත් කරන්න බැරි ලෙස අවුල් වී තිබෙනවා.

පළමු ප්‍රශ්නය පැමිණියේ හලාල් සහතිකය ලබා ගැනීමට සමාගම් වලට කිසියම් මුදලක් උලමා සංවිධානයට ගෙවන්නට සිදු වීම සහ ඒ මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන පාරදෘශ්‍යභාවය නොමැති වීම. මේ ගැන විවිධාකාර මති මතාන්තර මාධ්‍ය ඔස්සේ මෙන්ම ෆේස් බුක් වැනි සමාජශාලා වෙබ් අඩවි ඔස්සේ සංසරණය වන්නට වීම නිසා අදාල කතාන්දරයෙන් බාගයක් දැනගන්නා පුද්ගලයින් සත්‍යයත් අසත්‍යයත් දෙකම විකෘති කිරීමකට ලක් කළා. ලංකාවේ ප්‍රධානම දුර්වලතාවය වන්නේ අදාල පුද්ගලයින් කිසිම කාරණයක් කෙරෙහි නිසි දැනුවත්වීමක් නොමැතිකම. ඔවුන් යමක් දන්නේ බාගයයි. ඉතිරි බාගය තමන් දන්නවායැයි සිතන කාරණාවලින් පුරවාගෙන කතාන්දරය නිර්මාණය කරනවා. බොදුබලසේනාවට මෙන්ම මුස්ලිම් සංවිධානවලටද මේ චෝදනාව එකසේ අදාලයි.

මේ හලාල්කරණය නිසි ලෙස කළා නම් උලමා සංවිධානය කළ යුතුව තිබුණේ අදාල අංශ නිසි ලෙස දැනුවත් කරවා, ආණ්ඩුවේද අවසරය සහ සහයෝගය ඇතිව එය සිදු කිරීමයි. එසේම මුලින්ම මේ පිළිබඳව නිසි දැනුවත් කිරීමක් සිදුකළා නම් මෙවන් අර්බුධයක් ඇතිවන්නේ නැහැ. බොදුබලසේනාව කළ යුතුව තිබුණේ අදාල අංශ සමඟ නිසි සාකච්ඡාවක් පවත්වා, අදාල ආයතන සමඟ කතාබහෙන් අනතුරුව  ඒ ඒ නිෂ්පාදන හලාල් කරණය මෙන්ම හලාල් නොවන සේ සැකසිය හැකිද යන්නත්, ඒ ඒ නිෂ්පාදනවල හලාල්කරණය නිසා වැඩි වූ මිල හලාල් නිෂ්පාදනවලට පමණක් ඇතුලත්වන සේ වෙනස් කිරීම ආදී සාමකාමී ක්‍රියාමාර්ග විනා කැතිපොලු රැගෙන සටනට යාම නෙවෙයි. එයටම හරියන්න ෆේස්බුක් බෞද්ධයින් ද සිටින නිසා මේ තත්ත්‍වය දෙගුණ තෙගුණ වෙනවා. 

හලාල් කරණය නැවැත්විය හැකිද ?

හලාල්කරණය නැවැත්විය නොහැකියි. ලෝකයේ නිෂ්පාදන ආර්ථිකය එකම ජාලයකින් ආවරණය වෙලා තිබෙන්නෙ. මේ නිසා ලංකාවට පමණක් හලාල්කරණයෙන් ඈත් වෙන්නට බැහැ. ලෝකයේ ප්‍රධාන සමාගම් සහ ඉතාම බලවත් ආර්ථිකයන් හලාල්කරණය ට සමගාමීව සිය නිෂ්පාදනයන් සහ වෙළඳාම සකසාගෙන ඇති කාළයේ අපට කවදාවත් තනිව මේ ගමන යන්න අපහසුයි. එපමණක් නොවෙයි, අපේ ආර්ථිකය 80% කට වඩා සැකසී ඇත්තේ මුස්ලිම් රටවල ආර්ථික රටාවට සමගාමීව – අපේ තරුණ පරම්පරාව රැකියාවල  යෙදිලා සැලකිය යුතු විදේශ විනිමයක් එවන්නෙ මුස්ලිම් රටවලින්. අපේ රටට සැළකියයුතු ආධාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ මුස්ලිම් රටවලින්. (මේවා රජයක් වශයෙන් වගකීම භාරගතයුතු වුවත් – ඔවුනට කරන්න දෙයකුත් නැහැ ඔවුන් හිඟාකෑමෙන් සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්න පුරුදු වී ඇති නිසා) මේ නිසා අපට හලාල්කරණයෙන් අපේ වෙළඳපොල මුදවාගන්න බැහැ. එසේ මුදවාගන්න හැකිනම් විරෝධතා දක්වන අය ඒ සඳහා විකල්ප ඉදිරිපත් කල යුතුයි. බොහෝ විට අප කරන්නේ විවේචන ඉදිරිපත් කරනවා විනා විසඳුම් ලබා දෙන්නේ නැහැ.

කළ යුත්තේ හලාල්කරණය නිසි ලෙස අධීක්‍ෂණය කිරීමයි. එක්කෝ හලාල් භාණ්ඩවලට වෙනම වෙළඳපොලක් නිර්මාණය විය යුතුයි.  නැතහොත් මේ හලාල්කරණය නිසිලෙස ප්‍රමිතිකරණය විය යුතුයි. නමුත් හලාල් නිෂ්පාදනවලට සහතික ලබාදීම නීතිගතවිය යුතුද යන්න පිළිබඳ මට පැහැදිලි අදහසක් නැහැ. ආහාරවල ප්‍රමිති සහතික වන්නේ ISO, HACCP (H azard A nalysis and C ritical C ontrol P oint) ජානමය වෙනස්කම් කරනලද ආහාර (Genetically modified foods), FDA,  සහ වෙනත්   ප්‍රමිතිකරණයන්. හලාල් සහ කෝෂර් යනු ජාත්‍යන්තරව පිළිගත් විද්‍යානුකූල ප්‍රමිතිකරණයන් නොවෙයි – ඒවා මුස්ලිම් සහ යුදෙව් ආගමික සම්මත පමණයි. එසේ වුවත් දැන් දැන් ඒවා නිෂ්පාදකයන් විසින් සඳහන් කරන්නේ තමන්ගේ වෙළඳපල ප්‍රසාරණය කරගැනීම වෙනුවෙන්.

හලාල්කරණය කරලියට පැමිණියේ මෑතකදී… වසර දෙක තුනක කාළයක් තුළ, මීට පෙර ආහාර නිෂ්පාදන ලේබල්වල අඩංගුව තිබුණේ මෙහි සත්ත්‍ව තෙල් අඩංගුව නැත යන නිර්ණායකයයි. මෙය ඇත්තෙන්ම හලාල්කරණයේ මූලික සිද්ධාන්තයයි. මේ නිසාම සමහරවිට උලමාවරුන් හෝ වෙනයම් කෙනෙකු මෙම කාරණයෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතා හලාල්කරණය ඉදිරිපත් කළා වන්න පුළුවනි. (මේ මා සිතන ආකාරය- වැරදි වන්නට පුළුවන්) හලාල්කරණය පැමිණීමට පෙර ඔවුන් කෑවේ මොනවද ? මෙය බොහෝ දෙනෙකුට නැඟෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මටත් නැඟෙන ප්‍රශ්නයක්… නමුත් ප්‍රවේශමෙන් සළකා බැලුවහොත් එකළ බොහෝ දේ පදනම් වූයේ විශ්වාසය මත. මේ නිසා කිසියම් භාණ්ඩයක සත්ත්‍ව තෙල් අඩංගුව නැත යන්න මුස්ලිමුන් විශ්වාස කරන්නට ඇති. එසේම ඔවුන්ට දැන් පවතිනවාක් මෙන් සංවිධානය වූ හලාල් ප්‍රමිතිකරණයක් නොතිබෙන්නටත් ඇති. මීට වසර විස්සකට පෙර මේ කිසිම හලාල්කරණයක් මස්වලට හැර වෙනත් දේකට තිබුණා කියා මතකයක් මටත් නැහැ. මගේ මුස්ලිම් මිතුරන් පවා එකට කෑම කනකොට සැලකිළිමත් වූයේ ඌරුමස් අඩංගුද යන්න පමණයි.

අප කළ යුත්තේ කුමක්ද ?

විවිධාකාර න්‍යායපත්‍ර ඇති පුද්ගලයින් විවිධාකාර ලෙස මෙම ප්‍රශ්නය අර්ථ දක්වනවා. නමුත් මේ සියල්ලම ජනතාව රැවටීමක්. අපි හැමෝටම සාධාරණත්‍වයක් තිබිය යුතුයි. මුස්ලිම් ජාතිකයින්ට හලාල් සහිත ආහාර මෙන්ම මුස්ලිම් නොවන අයට හලාල් රහිත ආහාර ලබා ගැනීමේ පහසුකම තිබිය යුතුයි. නමුත් ව්‍යාපාරිකයින් පවසන්නේ හලාල් සහිත සහ රහිත ලෙස දෙආකාරයකට ආහාර සැකසිය නොහැකි බවයි. ඔවුන්ගේ පැත්තෙන් බැලූවිට එය සත්‍යයක්. නිෂ්පාදන සැකසීමේදි සිදුවන්නේ මහා පරිමාණ ක්‍රියාවලියක්. මේ නිසා දෙආකාරයකට නිෂ්පාදන සැකසීමේදී අමුද්‍රව්‍ය – බලශක්තිය – මිනිස් ශ්‍රමය ආදිය වෙනස් ආකාරයකින් – වෙනස් අවස්ථාවක වැයවෙනවා. එවිට නිෂ්පාදනයට වැයවන වියදම ඉහළ යනවා. එසේම බොහෝ නිෂ්පාදකයින් සිය නිෂ්පාදන ශ්‍රි ලංකාවට පමණක් සීමා කරගෙන නැහැ. ඔවුන් විවිධාකාර වෙළඳපොලවල් වෙත මේවා අපනයනය කරනවා. මේ නිසා මැදපෙරදිග වැනි පෙදෙසකට නිෂ්පාදන අපනයනයේදී හලාල් සහතිකය අනිවාර්ය අංගයක්. මේ නිසා ව්‍යාපාරිකයින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කළ දුටුකළ වල ඉහ ගැනීම.

මේ අවස්ථාව නැගී එන කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ස්වර්ණමය අවස්ථාවක්. දැනට හලාල් සහතිකය ලබා ඇති ව්‍යාපාර කෙසේවත් හලාල් සහතිකය අතහරින්නෙ නැහැ. එසේම බොහොමයක් මුස්ලිම් නොවන්නන් හලාල් සහිත නිෂ්පාදන මිලදී ගැනීමට මැලිකමක් දක්වනවා. ඒ අතින් බොදු බලසේනාවේ අරමුණ සාර්ථක වෙන්න පුළුවනි. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට හැකියි. අවශ්‍ය නම්. මක් නිසාද යත් අවසානයේ හැමෝගෙම සාර්ථකත්‍වය මනින්නෙ තමන් උපයන ලාභය මත.

මගේ මතය.

ලෝකය සංකීර්ණයි. අප රටක් වශයෙන් තනිව ජීවත් වීමට අපහසුයි. ජාතියක් ලෙසින් වුවත් සිංහලයින් – ද්‍රවිඩයින් හෝ මුස්ලිමුන් ලෙසින් තනිව ජීවත් විය නොහැකියි. මේ නිසයි ලොව පුරා සහජීවනය අවශ්‍ය. විද්‍යානුකූලව වුනත් ලෝකය පුරා එක ජාතියක පමණක් ජීවත් විය නොහැකියි. විවිධත්‍වයක් අත්‍යාවශ්‍යයි. නැතිනම් පැවැත්මක් නැහැ. ජනගහන වර්ධනය මගින් හෝ වෙනයම් ආකාරයකින් ලෝකයේ බලය සියතට ගත හැකි යැයි කියා මුස්ලිමුන් සිතනවා නම් එය විශාල වැරැද්දක්, මක් නිසාද යත් ලෝකයේ කිසිම ජනවර්ගයකට තනිව ජීවත් විය නොහැකි නිසා. විවධත්‍වය අවශ්‍ය පැවැත්මට පමණක් නොවෙයි.  මානව සංහතියේ ප්‍රගමනයට වෙනස් ජාන මිශ්‍රවීම අත්‍යවශ්‍යයි.

මේ නිසා මගේ කැමැත්ත නම් සියල්ලන් සහජීවනයෙන් ජීවත් වනු දැකීම. තම තමන්ට අවශ්‍ය පරිදි හලාල් හෝ හලාල් නොවන ආහාර නිෂ්පාදන පාවිච්චි කිරීමේ අයිතිය තිබිය යුතුයි. ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර හලාල් කළත්, කාළයාගේ ඇවෑමෙන් සුදුසු පියවරන් ගෙන වඩාත්ම ගැලපෙන ආකාරයට හැඩගැසේවි.

මේ ඇස් හලාල්...

මේ ඇස් හලාල්…

මේ ලිපිය සැකසීමට මූලිකව හේතු වූයේ ගිය සතිය පුරාවට BASF ආයතනය මගින් පැවැත්වූ වැඩමුළුවක් අවසානයේ මට හමු වූ ව්‍යාපාරික සහ නිෂ්පාදන කළමණාකාරවරුන් සමඟ පැවැත්වූ මහා පරිමාණ නිෂ්පාදන සහ නව ලෝකයේ නිෂ්පාදන ප්‍රවණතා ආශ්‍රිත සාකච්ඡාවකින් මතු වූ කරුණු ඔබටත් දැනගන්නට සැලැස්විය යුතු යැයි මට හැඟුන නිසා. පසුගිය වතාවක අමානුෂිකත්‍ව ලේබලය ගහපු අය සමහරවිට මේ ලිපිය අවසානයේ මම මුස්ලිමුන්ට කඩේ යනවා යැයි ලේබලයකුත් අලවන්න බැරිකමකුත් නෑ… ඒකත් ඒ අයගෙ අයිතියක් !

මම කියන්නෙ මට හිතෙන දේ !

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ ලිපිය තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුව යොදා නොගන්නැයි කාරුණික ඉල්ලීමක් කරනවා.

%d bloggers like this: