Daily Archives: මාර්තු 25, 2013

ඊට පස්සෙ මොනවා වේවිද ?


ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි සැලසුම් කරන හැම දේම ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නත් ජීවිතයෙ ඉඩක් නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලෙ මගේ ලොකුම සිහිනය වුනේ වෛද්‍යවරයෙක් වෙන්න… උසස් පෙළ කරන කාළෙ මගේ සිහිනය වුනෙත් ඒකමයි. නමුත් උසස් පෙළ අවසාන වෙනකොට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුනා… නමුත් ඒ සිහිනය පිටුපස තවත් සිහිනයක් තිබුණා. මුලදි රසායන විද්‍යාව ගැන ඒ තරම් උනන්දුවක් නොතිබුණ මට අවශ්‍ය වුනේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න… අපේ රටේ ගහකොළ ගැන දැනගන්න. ඒ නිසාමයි මම උද්භිද විද්‍යාව ගැන උනන්දුවක් මෙන්ම දක්‍ෂතාවක් දැක්වුයේ. මගේ බලාපොරොත්තුව වුනේ උද්භිද විද්‍යාව පැත්තෙන් පර්යේෂණ කරන්න… ඒ තමයි මගේ පර්යේෂකයෙක් වන සිහිනයේ ආරම්භය, නමුත් උද්භිද විද්‍යාවට වගේම රසායන විද්‍යාවටත් මගේ හැකියාවක් සහ අප්‍රමාණ කුතුහලයක් තියෙනවා කියලා දැනගත්තෙ දෙව්රුවන් සර්ගෙ රසායන විද්‍යා පන්තියට ඇතුලත් වුනාට පස්සෙ. මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රසායන විද්‍යාව විතරක් නොවෙයි, ජීවිතය ආයෙම පටන් ගත්තා. මගේ රසායන විද්‍යා දැනුම විතරක් නොවෙයි සැඟවී තිබුණ කවි ලිවීමේ හැකියාවත් නැවත ඔප මට්ටම් වෙලා ආවෙ දෙව්රුවන් සර්ගෙ උනන්දු කිරීම මත. ඒ මඟපෙන්වීම ඔස්සෙ ගිහින් මම නැවතුනේ සර්ගෙ හොඳම ගෝලයන්ගෙ ගොඩේ මූලික ස්ථානයක් ලැබීමත් සමඟ….. සර් නැවත මට ජීවිතය දුන්නෙ රසායන විද්‍යා ආයතනයෙ ඉගෙන ගන්න උනන්දු කිරීමත් සමඟ….

ඒ කාලෙ මගේ රසායන විද්‍යාව පිළිබඳ උනන්දුව තිබුණත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන් වේවිද කියන සිහිනය හැමදාම මගේ හිතේ තිබුණා…කළින් කළට මගේ සිහින වෙනස් වුනා. ඒ කාලෙ මගේ සිහිනයක් වුනේ දෙව්රුවන් සර් වගේ රසායන විද්‍යා ගුරුවරයෙක් වෙන්න. ටික කලකින් එය වෙනස් වුනේ යුනිලීවර් වගේ ලොකු ආයතනයක රසායනඥයෙක් වෙන්න පෙරුම් පිරීමත් සමඟ. මං වගේ හද්දා පිටිසරින් ආපු පුංචි මිනිහෙක් කොළඹ රසායන විද්‍යා ආයතනයේ ඉංගිරිසියෙන් ඉගෙනගෙන මාත් එක්ක හිටපු උන් ඔක්කොම පරද්දලා බැච් ටොප් වුන නිසාමද මන්දා මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු, මහාචාර්ය එස්. පී. දැරණියගල, මහාචාර්ය එච්.ඩී ගුණවර්ධන, මහාචාර්ය ඩබ්ලිව් එස් ප්‍රනාන්දු, වැනි මහාචාර්යවරුන්ගෙන් ලැබුණෙ අප්‍රමාණ දිරි ගැන්වීමක්. රසායන විද්‍යා ආයතනයෙ උපාධිය අවසානවෙලා ටික කලක් යද්දි එක සිහිනයක් වෙච්ච යුනිලීවර් ආයතනයෙ රසායනඥයෙක් වෙන සිහිනය සැබෑ වුනා. ඒ සියල්ලටම මට ලොකු හයියක් වුනේ රසායන විද්‍යා ආයතනයෙදිම මට හමු වෙච්චි ඇල්කෙමිච්චි.. ඇයගේ උනන්දුව මත විදේශ විශ්ව විද්‍යාල කිහිපයකටම අයැදුම් කළත් ලැබුනෙ යහපත් ප්‍රතිචාර නොවෙයි. අවසානයේ අපේ මිතුරියක් වන චාමිකා මාර්ගයෙන් අපට ලුයිසියානාවට යන්න වරම් ලැබුණා. ඇයට අපි ඒ ගැන සැමදාම ස්තුතිවන්ත වෙනවා. එතැනින් පස්සෙ අපි ගිය ගමන ගැන බොහෝ දෙනෙක් පෙර ලිපි වලින් දැන ගන්න ඇති. නැත්නම් පොඩ්ඩක් පස්සට ගිහින් කියවලා බලන්න.

ඒ සියල්ල අවසානයෙ අපි දෙදෙනාම උපයගත්ත එකම දේ ආචාර්ය උපාධි දෙකක් පමණයි. ඊට අමතරව අපට ලැබුණ ලොකුම සම්පත ඇල්කෙමි පැටියා අපට එකතු වීම… ඇල්කෙමි පැටියා නිසාම අපේ බොහෝ ඉලක්කයන් වෙනස් කරන්න අපට සිදු වුනත්, ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් නැහැ. නමුත් පසුගිය කාළයේ අපේ ජීවිත බොහෝ වෙනස් වුනේ ඇමරිකාව අතහැරලා ජර්මනියට පැමිණීමට තීරණය කිරීමත් සමඟ. ඇමරිකාවෙ රැකියාවක් තිබෙත්දිත් ජර්මනියට එන්න හේතු වුනේ එය ලෝකයේ අංක එකේ රසායන ද්‍රව්‍ය සමාගම වන BASF සමාගමේ රසායනාගාරයක රැකියාවක් වුන නිසා. වසර දෙකක රැකියාව අවසානයේ ස්ථිරවම මව් ආයතනයේ රැකියාවක් ලැබෙන බවට පොරොන්දු නොවුනත්, මේ ලැබෙන අත්දැකීම් මත වෙනත් සමාගමක ඉහළ මට්ටමේ රැකියාවක් ස්ථිර බව මා දැන සිටි නිසා සහ මට පෙර මේ ආයතනයේ එවැනි රැකියා කළ සියළුම දෙනා එවැනි ඉහළ තත්ත්‍වයන්හි සේවය කරන නිසා මට කිසිදු සැකයක් වුයේ නැහැ. එසේ වුවත් අපට සළකා බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබුණා. භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නිසා පැටියාගේ ඉගෙනීම පළමුකොටම සැලකීමට සිදු වුනා. නමුත් පළමු වන පන්තියේ උගෙනිමින් සිටි පැටියාට නව භාෂාවක් ඉගැන්වීමත්, ලැබෙන නව අත්දැකීම් මතින් ඉහළ රැකියාවකට යාමත්, ඇමරිකාවට වඩා යුරෝපයේ ජීවන තත්ත්‍වය උසස් යැයි ඒ පිළිබඳ අත්දැකීම් ඇති (යැයි සැලකුන) බොහෝ දෙනාගේ රෙකමදාරුව මත සහ මා ආචාර්ය උපාධිය හැදෑරූ මහාචාර්යවරයාගේ දුර දක්නා දැනුම මත යුරෝපයේ රැකියාවට කැමැත්ත පළ කිරීමට මා තීරණය කළා.

මාස කිහිපයක් ලංකාවේ ගත කරන්න සිදු වුනේ ජර්මන් තානාපති කාර්යාලයේ වීසා ලබා දීම මාස දෙකත් තුනත් අතර කාළයක් ගතවන නිසාම. ඒ වනවිටම මා ජර්මනිය පිළිබඳ බොහෝ කළකිරීමට පත් වී තිබුණත්, ඉදිරිය හොඳ වේ යැයි සිතමින් සියල්ලට මුහුණ දුන්නා. අවසානයේ මා පළමුවත්, ඇල්කෙමිච්චි සහ පැටියා  දැඩි පරිශ්‍රමයක් දරා ඊට මාස දෙකකට පසුවත් මා සමඟ එකතු වූවා. ඒ කල සිටම ජර්මනියේ ජීවිතය කෙමෙන් කෙමෙන් අප්‍රසන්න වන තත්ත්‍වයක් මට දැනුනා. සේවා ස්ථානය ඉතාම හොඳ වුවත්, බාහිර ජීවිතය ස්ථිර රැකියාවක් කරන මා වැනි කෙනෙකුට කටුක බව මට වැටහෙමින් තිබුණා. මේ නිසාම මා සිදු කරමින් සිටි පර්යේෂණයේ කොණක් දුටු වහාම මෙතැනින් ඉවත්ව යා යුතු බව මට දැනුනත්, ඇල්කෙමිච්චි සහ පැටියාගේ තීරණයක් ලැබෙන තුරු මා ඉවසා සිටියා. නමුත් මා මෙන්ම ඒ දෙදෙනාටද මෙහි ජීවිතය එතරම් සාර්ථක බවක් පෙනුනේ නැහැ. මේ අතර අම්මාගේ අසනීප තත්ත්‍වයත් තරමක වැඩි වීමක් දැනුන නිසාම පර්යේෂණයේ එක් කොණක් දුටු වහාම මා ඉවත් වන බව පාලනාධිකාරියට දැනුම් දුන්නා.

අප කිහිප දෙනෙකු එකතු වී කළ පර්යේෂණයේ ප්‍රතිඵල පේටන්ට් බලපත්‍රයකට එකතු කළ හැකි තරමට ලැබුන නිසාමත්, මා තනිව සිදු කළ වෙනත් පර්යේෂණයක ප්‍රතිඵල ද සාර්ථක වීම නිසා මගේ කාර්ය භාරය අවසාන කළ යුතු බවට මට දැනුනා. ඒ නිසාම මා නැවත ලංකාව බලා යාමට තීරණය කළේ මගේ දැනුමින් ලංකාවට යමක් කළ යුතු බව හා හැකි බව මට දැනුන නිසා. මේ නිසා මට නැවතත් මඟහැරුණු බොහෝ දේ ලබා ගැනීමටත්, වසරින් වසර පාසැලෙන් පාසැලට මාරු වී ගිය ඇල්කෙමි පැටියාට ස්ථිරව එක් පාසැලක අකුරු කිරීමට අවස්ථාව ලබා දීමත්, මගේ දෙමාපියන්ට සහ නෑදෑයන්ට සමීපව ජීවත් වීම තරම් තවත් දෙයක් මට නැති නිසාත්, කෙතරම් කර්කෂ අනාගතයක් ලැබුණත් මා නැවත ලංකාවට යා යුතුයැයි තීරණයට එළැඹුනා. ඒ අනුව අළුත් අවුරුද්දට ලංකාවට එන්න අපි තීරණය කළා.

දැනටමත් රසායන විද්‍යා ආයතනයේ ඉගැන්වීමට ආරාධනාවක් ලැබී ඇති මට ඒ සඳහා කොටු වීමට පමණක් බලාපොරොත්තුවක් නැහැ. ආර්ථිකව සළකා බැලුවහොත් පෞද්ගලික අංශයේ රැකියාවක් මගින් යහපත් ජීවන තත්ත්‍වයක් ගොඩ නඟා ගත හැකි වුවත්, එසේ කොටු වීම මගින් මගෙන් සිදු විය හැකි සේවය බොහෝ දුරට සීමා වන බව මට හිතෙනවා. මේ නිසාම මම මගේ සීමාවන් පුළුල්ව සහ නිදහස්ව තබා ගැනීමට තීරණය කළා. නමුත් මා දකින සිහින – ලංකාවේ වර්තමාන ජීවන තත්ත්‍වය හා ගැලපෙන්නේ නැති බව මා දන්නවා. සමහරවිට ආර්ථිකව බර දැනෙන විට පෞද්ගලික අංශයේ රැකියාවකට හිරවෙන්නට මට සිදු වේවි. සමහරවිට වෙනත් දෙයක් කරන්නට සිත් දේවි. මගේ සිතේ තිබූ ලොකුම සිහිනයක් වුනේ විද්‍යාව සහ විද්‍යාත්මක දේ සාමාන්‍ය ජනතාවට සමීප කිරීම. මා ඒ සඳහා උත්සාහයක් දරනවා. සමහර විට මගේ සැලසුම් සාර්ථක වෙන්න පුළුවනි. පර්යේෂණ මට්ටමින් යමක් කරන්නටත් අදහසක් ඇති නමුත්, ඒ සඳහා ඉඩක් ලැබේ දැයි සැක සහිතයි. මක් නිසාද කියනවා නම් ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයනාංශයේ තනතුරක් ලබා ගැනීමේ මූලිකම සුදුසුකම මා සපුරා නොමැති නිසා. ඒ, ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් මූලික උපාධිය ලබා සිටිය යුතුය යන්නයි. එය නොමැතිව කෙනෙක් නොබෙල් ත්‍යාගය දිනු කෙනෙකු වුවත් නීත්‍යානුකූලව ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යයනාංශයක තනතුරක් ලබා ගන්නා එක සිහිනයක් වන්නට පුළුවන්. මෙය දැන් වෙනස් වෙලාද කියා මා දන්නේ නැහැ.

කොහේ යන්නද ?

කොහේ යන්නද ?

ජනතාව දැනුවත් කිරීමට විද්‍යාත්මක සංනිවේදනයට යොමු වීමටත් අදහසක් තිබෙනවා. නමුත් මේ තාක් කල් පුවත්පත් වලට මා ලියූ ලිපි වලට වඩා වැදගත් ප්‍රවෘත්ති ඔවුනට පළ කිරීමට ඇති නිසා මගේ ලිපි පළ වූයේ කිහිප වතාවක් පමණයි.  සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමඟ මේ තත්ත්‍වය වෙනස් වන්නට පුළුවනි. එසේ වූවා කියා ඇල්කෙමියාගේ දිනපොත නවතින එකක් නැහැ – සමහර විට වැඩි දියුණු වන්නටත් පුළුවන්. ඉතින් මා නැවත ලංකාවට යන්නෙ බොහොම අවිනිශ්චිත අනාගතයක් මත හීන ගොන්නක් කරපින්නාගෙන. නමුත් කෙටි කළකින් උගත්කමට සරිලන යමක් සොයා ගන්නට – නැවත දෙපයින් සිටගන්නට හැකියාව ලැබෙයි කියා සිතනවා. එසේම රටට සේවයක් කිරීමට හැකියාවක් ලැබෙනවා නම් එයත් මට සතුටක්. ඉතිං මට කියන්න තියෙන්නෙ අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු කියලා පමණයි.

කොහොම වුනත් ඉදිරිය කෙසේ වේ දැයි දැන්ම කියන්න බැහැ. සමහරවිට මේ තීරණය මා ජර්මනියට පැමිණීමට කළ තීරණයට වඩා මෝඩ තීරණයක් වන්නටත් පුළුවන්. සමහරවිට මෙය මගේ ජීවිතයේ ගනිපු හොඳම තීරණයක් වන්නටත් පුළුවන්. අනාගතය ගැන කිසිවක් කියන්නට මට බැහැ. නමුත් දැන් දැන් ලංකාවේ බිහිවන කර්මාන්තශාලා සඳහාත්, ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක සහ පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනයටත් මට සක්‍රීයව දායක වන්න පුළුවන් බව මගේ හැඟීමයි. ලංකාවේ අපට යමක් කෙසේ හෝ කළ හැකි නමුත් විදේශයන්හි අපි නිකංම නිකං නිකමුන් පමණයි. අපේ රටේ අවම වශයෙන් අපට රටට දැනෙන යමක් කළ හැකියි. මගේ තීරණය පිළිබඳ මගේ දෙමාපියන්ට පසුව වැඩිපුරම සතුටු වන්නෙ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතා. ඒ මහතා කියන්නෙ අපි පිටරටට සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ යමක් තමන්ගෙ රටට කරන එක වටිනවා කියලා. ඒ වගේම ඒ මහතා මට කළ හැකි දෑ හොඳින්ම දන්නා කෙනෙක්. ඒ නිසා මම හිතන්නෙ පමා වෙලා හරි මම ගනිපු තීරණය හරි කියලා.

අපි බලමු…. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා….

%d bloggers like this: