ඊට පස්සෙ මොනවා වේවිද ?


ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි සැලසුම් කරන හැම දේම ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නත් ජීවිතයෙ ඉඩක් නැහැ. සාමාන්‍ය පෙළ කරන කාලෙ මගේ ලොකුම සිහිනය වුනේ වෛද්‍යවරයෙක් වෙන්න… උසස් පෙළ කරන කාළෙ මගේ සිහිනය වුනෙත් ඒකමයි. නමුත් උසස් පෙළ අවසාන වෙනකොට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුනා… නමුත් ඒ සිහිනය පිටුපස තවත් සිහිනයක් තිබුණා. මුලදි රසායන විද්‍යාව ගැන ඒ තරම් උනන්දුවක් නොතිබුණ මට අවශ්‍ය වුනේ උද්භිද විද්‍යාඥයෙක් වෙන්න… අපේ රටේ ගහකොළ ගැන දැනගන්න. ඒ නිසාමයි මම උද්භිද විද්‍යාව ගැන උනන්දුවක් මෙන්ම දක්‍ෂතාවක් දැක්වුයේ. මගේ බලාපොරොත්තුව වුනේ උද්භිද විද්‍යාව පැත්තෙන් පර්යේෂණ කරන්න… ඒ තමයි මගේ පර්යේෂකයෙක් වන සිහිනයේ ආරම්භය, නමුත් උද්භිද විද්‍යාවට වගේම රසායන විද්‍යාවටත් මගේ හැකියාවක් සහ අප්‍රමාණ කුතුහලයක් තියෙනවා කියලා දැනගත්තෙ දෙව්රුවන් සර්ගෙ රසායන විද්‍යා පන්තියට ඇතුලත් වුනාට පස්සෙ. මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රසායන විද්‍යාව විතරක් නොවෙයි, ජීවිතය ආයෙම පටන් ගත්තා. මගේ රසායන විද්‍යා දැනුම විතරක් නොවෙයි සැඟවී තිබුණ කවි ලිවීමේ හැකියාවත් නැවත ඔප මට්ටම් වෙලා ආවෙ දෙව්රුවන් සර්ගෙ උනන්දු කිරීම මත. ඒ මඟපෙන්වීම ඔස්සෙ ගිහින් මම නැවතුනේ සර්ගෙ හොඳම ගෝලයන්ගෙ ගොඩේ මූලික ස්ථානයක් ලැබීමත් සමඟ….. සර් නැවත මට ජීවිතය දුන්නෙ රසායන විද්‍යා ආයතනයෙ ඉගෙන ගන්න උනන්දු කිරීමත් සමඟ….

ඒ කාලෙ මගේ රසායන විද්‍යාව පිළිබඳ උනන්දුව තිබුණත් ආචාර්ය උපාධියක් දක්වා යන්න පුළුවන් වේවිද කියන සිහිනය හැමදාම මගේ හිතේ තිබුණා…කළින් කළට මගේ සිහින වෙනස් වුනා. ඒ කාලෙ මගේ සිහිනයක් වුනේ දෙව්රුවන් සර් වගේ රසායන විද්‍යා ගුරුවරයෙක් වෙන්න. ටික කලකින් එය වෙනස් වුනේ යුනිලීවර් වගේ ලොකු ආයතනයක රසායනඥයෙක් වෙන්න පෙරුම් පිරීමත් සමඟ. මං වගේ හද්දා පිටිසරින් ආපු පුංචි මිනිහෙක් කොළඹ රසායන විද්‍යා ආයතනයේ ඉංගිරිසියෙන් ඉගෙනගෙන මාත් එක්ක හිටපු උන් ඔක්කොම පරද්දලා බැච් ටොප් වුන නිසාමද මන්දා මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු, මහාචාර්ය එස්. පී. දැරණියගල, මහාචාර්ය එච්.ඩී ගුණවර්ධන, මහාචාර්ය ඩබ්ලිව් එස් ප්‍රනාන්දු, වැනි මහාචාර්යවරුන්ගෙන් ලැබුණෙ අප්‍රමාණ දිරි ගැන්වීමක්. රසායන විද්‍යා ආයතනයෙ උපාධිය අවසානවෙලා ටික කලක් යද්දි එක සිහිනයක් වෙච්ච යුනිලීවර් ආයතනයෙ රසායනඥයෙක් වෙන සිහිනය සැබෑ වුනා. ඒ සියල්ලටම මට ලොකු හයියක් වුනේ රසායන විද්‍යා ආයතනයෙදිම මට හමු වෙච්චි ඇල්කෙමිච්චි.. ඇයගේ උනන්දුව මත විදේශ විශ්ව විද්‍යාල කිහිපයකටම අයැදුම් කළත් ලැබුනෙ යහපත් ප්‍රතිචාර නොවෙයි. අවසානයේ අපේ මිතුරියක් වන චාමිකා මාර්ගයෙන් අපට ලුයිසියානාවට යන්න වරම් ලැබුණා. ඇයට අපි ඒ ගැන සැමදාම ස්තුතිවන්ත වෙනවා. එතැනින් පස්සෙ අපි ගිය ගමන ගැන බොහෝ දෙනෙක් පෙර ලිපි වලින් දැන ගන්න ඇති. නැත්නම් පොඩ්ඩක් පස්සට ගිහින් කියවලා බලන්න.

ඒ සියල්ල අවසානයෙ අපි දෙදෙනාම උපයගත්ත එකම දේ ආචාර්ය උපාධි දෙකක් පමණයි. ඊට අමතරව අපට ලැබුණ ලොකුම සම්පත ඇල්කෙමි පැටියා අපට එකතු වීම… ඇල්කෙමි පැටියා නිසාම අපේ බොහෝ ඉලක්කයන් වෙනස් කරන්න අපට සිදු වුනත්, ඒ ගැන කිසිදු පසුතැවිල්ලක් නැහැ. නමුත් පසුගිය කාළයේ අපේ ජීවිත බොහෝ වෙනස් වුනේ ඇමරිකාව අතහැරලා ජර්මනියට පැමිණීමට තීරණය කිරීමත් සමඟ. ඇමරිකාවෙ රැකියාවක් තිබෙත්දිත් ජර්මනියට එන්න හේතු වුනේ එය ලෝකයේ අංක එකේ රසායන ද්‍රව්‍ය සමාගම වන BASF සමාගමේ රසායනාගාරයක රැකියාවක් වුන නිසා. වසර දෙකක රැකියාව අවසානයේ ස්ථිරවම මව් ආයතනයේ රැකියාවක් ලැබෙන බවට පොරොන්දු නොවුනත්, මේ ලැබෙන අත්දැකීම් මත වෙනත් සමාගමක ඉහළ මට්ටමේ රැකියාවක් ස්ථිර බව මා දැන සිටි නිසා සහ මට පෙර මේ ආයතනයේ එවැනි රැකියා කළ සියළුම දෙනා එවැනි ඉහළ තත්ත්‍වයන්හි සේවය කරන නිසා මට කිසිදු සැකයක් වුයේ නැහැ. එසේ වුවත් අපට සළකා බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තිබුණා. භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් නිසා පැටියාගේ ඉගෙනීම පළමුකොටම සැලකීමට සිදු වුනා. නමුත් පළමු වන පන්තියේ උගෙනිමින් සිටි පැටියාට නව භාෂාවක් ඉගැන්වීමත්, ලැබෙන නව අත්දැකීම් මතින් ඉහළ රැකියාවකට යාමත්, ඇමරිකාවට වඩා යුරෝපයේ ජීවන තත්ත්‍වය උසස් යැයි ඒ පිළිබඳ අත්දැකීම් ඇති (යැයි සැලකුන) බොහෝ දෙනාගේ රෙකමදාරුව මත සහ මා ආචාර්ය උපාධිය හැදෑරූ මහාචාර්යවරයාගේ දුර දක්නා දැනුම මත යුරෝපයේ රැකියාවට කැමැත්ත පළ කිරීමට මා තීරණය කළා.

මාස කිහිපයක් ලංකාවේ ගත කරන්න සිදු වුනේ ජර්මන් තානාපති කාර්යාලයේ වීසා ලබා දීම මාස දෙකත් තුනත් අතර කාළයක් ගතවන නිසාම. ඒ වනවිටම මා ජර්මනිය පිළිබඳ බොහෝ කළකිරීමට පත් වී තිබුණත්, ඉදිරිය හොඳ වේ යැයි සිතමින් සියල්ලට මුහුණ දුන්නා. අවසානයේ මා පළමුවත්, ඇල්කෙමිච්චි සහ පැටියා  දැඩි පරිශ්‍රමයක් දරා ඊට මාස දෙකකට පසුවත් මා සමඟ එකතු වූවා. ඒ කල සිටම ජර්මනියේ ජීවිතය කෙමෙන් කෙමෙන් අප්‍රසන්න වන තත්ත්‍වයක් මට දැනුනා. සේවා ස්ථානය ඉතාම හොඳ වුවත්, බාහිර ජීවිතය ස්ථිර රැකියාවක් කරන මා වැනි කෙනෙකුට කටුක බව මට වැටහෙමින් තිබුණා. මේ නිසාම මා සිදු කරමින් සිටි පර්යේෂණයේ කොණක් දුටු වහාම මෙතැනින් ඉවත්ව යා යුතු බව මට දැනුනත්, ඇල්කෙමිච්චි සහ පැටියාගේ තීරණයක් ලැබෙන තුරු මා ඉවසා සිටියා. නමුත් මා මෙන්ම ඒ දෙදෙනාටද මෙහි ජීවිතය එතරම් සාර්ථක බවක් පෙනුනේ නැහැ. මේ අතර අම්මාගේ අසනීප තත්ත්‍වයත් තරමක වැඩි වීමක් දැනුන නිසාම පර්යේෂණයේ එක් කොණක් දුටු වහාම මා ඉවත් වන බව පාලනාධිකාරියට දැනුම් දුන්නා.

අප කිහිප දෙනෙකු එකතු වී කළ පර්යේෂණයේ ප්‍රතිඵල පේටන්ට් බලපත්‍රයකට එකතු කළ හැකි තරමට ලැබුන නිසාමත්, මා තනිව සිදු කළ වෙනත් පර්යේෂණයක ප්‍රතිඵල ද සාර්ථක වීම නිසා මගේ කාර්ය භාරය අවසාන කළ යුතු බවට මට දැනුනා. ඒ නිසාම මා නැවත ලංකාව බලා යාමට තීරණය කළේ මගේ දැනුමින් ලංකාවට යමක් කළ යුතු බව හා හැකි බව මට දැනුන නිසා. මේ නිසා මට නැවතත් මඟහැරුණු බොහෝ දේ ලබා ගැනීමටත්, වසරින් වසර පාසැලෙන් පාසැලට මාරු වී ගිය ඇල්කෙමි පැටියාට ස්ථිරව එක් පාසැලක අකුරු කිරීමට අවස්ථාව ලබා දීමත්, මගේ දෙමාපියන්ට සහ නෑදෑයන්ට සමීපව ජීවත් වීම තරම් තවත් දෙයක් මට නැති නිසාත්, කෙතරම් කර්කෂ අනාගතයක් ලැබුණත් මා නැවත ලංකාවට යා යුතුයැයි තීරණයට එළැඹුනා. ඒ අනුව අළුත් අවුරුද්දට ලංකාවට එන්න අපි තීරණය කළා.

දැනටමත් රසායන විද්‍යා ආයතනයේ ඉගැන්වීමට ආරාධනාවක් ලැබී ඇති මට ඒ සඳහා කොටු වීමට පමණක් බලාපොරොත්තුවක් නැහැ. ආර්ථිකව සළකා බැලුවහොත් පෞද්ගලික අංශයේ රැකියාවක් මගින් යහපත් ජීවන තත්ත්‍වයක් ගොඩ නඟා ගත හැකි වුවත්, එසේ කොටු වීම මගින් මගෙන් සිදු විය හැකි සේවය බොහෝ දුරට සීමා වන බව මට හිතෙනවා. මේ නිසාම මම මගේ සීමාවන් පුළුල්ව සහ නිදහස්ව තබා ගැනීමට තීරණය කළා. නමුත් මා දකින සිහින – ලංකාවේ වර්තමාන ජීවන තත්ත්‍වය හා ගැලපෙන්නේ නැති බව මා දන්නවා. සමහරවිට ආර්ථිකව බර දැනෙන විට පෞද්ගලික අංශයේ රැකියාවකට හිරවෙන්නට මට සිදු වේවි. සමහරවිට වෙනත් දෙයක් කරන්නට සිත් දේවි. මගේ සිතේ තිබූ ලොකුම සිහිනයක් වුනේ විද්‍යාව සහ විද්‍යාත්මක දේ සාමාන්‍ය ජනතාවට සමීප කිරීම. මා ඒ සඳහා උත්සාහයක් දරනවා. සමහර විට මගේ සැලසුම් සාර්ථක වෙන්න පුළුවනි. පර්යේෂණ මට්ටමින් යමක් කරන්නටත් අදහසක් ඇති නමුත්, ඒ සඳහා ඉඩක් ලැබේ දැයි සැක සහිතයි. මක් නිසාද කියනවා නම් ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයනාංශයේ තනතුරක් ලබා ගැනීමේ මූලිකම සුදුසුකම මා සපුරා නොමැති නිසා. ඒ, ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් මූලික උපාධිය ලබා සිටිය යුතුය යන්නයි. එය නොමැතිව කෙනෙක් නොබෙල් ත්‍යාගය දිනු කෙනෙකු වුවත් නීත්‍යානුකූලව ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යයනාංශයක තනතුරක් ලබා ගන්නා එක සිහිනයක් වන්නට පුළුවන්. මෙය දැන් වෙනස් වෙලාද කියා මා දන්නේ නැහැ.

කොහේ යන්නද ?

කොහේ යන්නද ?

ජනතාව දැනුවත් කිරීමට විද්‍යාත්මක සංනිවේදනයට යොමු වීමටත් අදහසක් තිබෙනවා. නමුත් මේ තාක් කල් පුවත්පත් වලට මා ලියූ ලිපි වලට වඩා වැදගත් ප්‍රවෘත්ති ඔවුනට පළ කිරීමට ඇති නිසා මගේ ලිපි පළ වූයේ කිහිප වතාවක් පමණයි.  සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමඟ මේ තත්ත්‍වය වෙනස් වන්නට පුළුවනි. එසේ වූවා කියා ඇල්කෙමියාගේ දිනපොත නවතින එකක් නැහැ – සමහර විට වැඩි දියුණු වන්නටත් පුළුවන්. ඉතින් මා නැවත ලංකාවට යන්නෙ බොහොම අවිනිශ්චිත අනාගතයක් මත හීන ගොන්නක් කරපින්නාගෙන. නමුත් කෙටි කළකින් උගත්කමට සරිලන යමක් සොයා ගන්නට – නැවත දෙපයින් සිටගන්නට හැකියාව ලැබෙයි කියා සිතනවා. එසේම රටට සේවයක් කිරීමට හැකියාවක් ලැබෙනවා නම් එයත් මට සතුටක්. ඉතිං මට කියන්න තියෙන්නෙ අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු කියලා පමණයි.

කොහොම වුනත් ඉදිරිය කෙසේ වේ දැයි දැන්ම කියන්න බැහැ. සමහරවිට මේ තීරණය මා ජර්මනියට පැමිණීමට කළ තීරණයට වඩා මෝඩ තීරණයක් වන්නටත් පුළුවන්. සමහරවිට මෙය මගේ ජීවිතයේ ගනිපු හොඳම තීරණයක් වන්නටත් පුළුවන්. අනාගතය ගැන කිසිවක් කියන්නට මට බැහැ. නමුත් දැන් දැන් ලංකාවේ බිහිවන කර්මාන්තශාලා සඳහාත්, ලංකාවට අවශ්‍ය විද්‍යාත්මක සහ පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනයටත් මට සක්‍රීයව දායක වන්න පුළුවන් බව මගේ හැඟීමයි. ලංකාවේ අපට යමක් කෙසේ හෝ කළ හැකි නමුත් විදේශයන්හි අපි නිකංම නිකං නිකමුන් පමණයි. අපේ රටේ අවම වශයෙන් අපට රටට දැනෙන යමක් කළ හැකියි. මගේ තීරණය පිළිබඳ මගේ දෙමාපියන්ට පසුව වැඩිපුරම සතුටු වන්නෙ රසායන විද්‍යා ආයතනයේ මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතා. ඒ මහතා කියන්නෙ අපි පිටරටට සේවය කරනවාට වඩා සුළුවෙන් හෝ යමක් තමන්ගෙ රටට කරන එක වටිනවා කියලා. ඒ වගේම ඒ මහතා මට කළ හැකි දෑ හොඳින්ම දන්නා කෙනෙක්. ඒ නිසා මම හිතන්නෙ පමා වෙලා හරි මම ගනිපු තීරණය හරි කියලා.

අපි බලමු…. ඊට පස්සෙ මොනවා වෙයිද කියලා….

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මාර්තු 25, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 21.

  1. ඔබ ජිවිතයෙ ගත්ත මෝඩ තීරණය මේක කියල කවද හරි ඔබට තේරුම් යයි.ලංකාවට යායුතු වේලාව මෙය නොවෙයි ඇල්කෙමි.මෙය ඔබ දෙපලගේ තීරණය.උගතුන් දෙපලක් නිසා කොහේ ගියත් වරදින්නෙ නැහැ.ඔබ සිය පවුලට,සිතන ප්‍රර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියා මගේ මුළු හදින් පතමි!!!!

    කැමතියි

    • කොහොමත් මම හැම රටටම ගියේ අමාරුම අවස්ථාවල… ඇමරිකාවට ගිහින් ටික කලකින් ආර්ථික අවපාතය එන්න ගත්තා….. ජර්මනියට ආවමත් වැඩි වෙනසක් නෑ…. ලංකාවෙත් හැමදාම අවපාතෙ…. බලමු…. සමහරවිට වැරදි වෙන්න පුළුවන්. නමුත් මට ලබා ගන්න පුළුවන් දේ වැඩියි ලංකාවෙ…. ලබා දෙන්න පුළුවන් දේත් එහෙමමයි.

      කැමතියි

  2. ඔබගේ වෘතීය ජීවිතය පිළිබඳව ගුරුහරුකම් දෙන්න තරම් මට දැනුමක් නැහැ . එත් රටට සේවයකිරීම,නෑදෑ හිතමිත්‍රාදීන්ගේ ආශ්වාදනීය සමාගමය විඳීම වැනී ආවේගශීලී සුන්දර හැගීම් වලට ඔබට ලොකු මිලක් ගෙවන්න වේවි — – – – – !!!! මා දන්නා කියන ඔබ වැනිම වූ ද පිට රට ජීවත් වී අවුරුදු ගණනකට පසුව ලංකාවට පැමිණ ස්ථිරව පදින්චි වූද අය ගැන සලකා බලනාවිට , ලොකු කීර්ති නාමයක් ඇති ,පෞද්ගලික අංශයේ ඉහල විධායක රැකියාවක් ලබා ගතහොත් හැර වෙනත් ආයතන වල රැකියාවලින්නම් ආර්ථික වශයෙන් ලබාගත හැකි ප්‍රති ලාභ වලින් ඔබ කිසිසේත්ම තෘප්තිමත් වේ වෙයි මා නම් පෞද්ගලිකව හිතන්නේ නැහැ ඔබේම කියා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කළහොත් හැර – – – – – – – – !!!!

    කැමතියි

    • මෙවන්,
      සුන්දර හැඟීම් වලට විතරක්ම නොවෙයි මෙතැනදි තැන ලැබුනෙ.. පෞද්ගලිකව ජර්මනියෙදි මට අත් විඳින්න වූ ගැහැට ගැන මම මෙතැන කියලා නැහැ. ඒ නිසාම මට ජර්මනිය ගැන කළකිරුණා. ඒ හැඟීම කවදාවක්වත් අයින් කරන්න පුළුවන් වෙන එකක් නැහැ. අනිත් කාටත් ජර්මනිය හොඳ රටක් වුනාට මට නම් හොඳ රටක් නොවෙයි. ලංකාවෙ ඉඳපු කාළයේ මට ලංකාවෙ තත්ත්‍වය ගැන තේරුණා…
      මට මහා ලොකු බලාපොරොත්තු තියෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලද දෙයින් සැනසිලා ජීවත් වෙන්න පුළුවන් කියා හිතනවා.
      අපි බලමු….

      කැමතියි

  3. සුබ පැතුම්..

    තාම කසාද බැඳල නැතත් මම ඉන්නෙත් ඔය දැං කියන ස්ථාවරේම තමයි. ලංකව තමයි අපිට අන්තිමට නවතින්න හිතෙන තැන.

    වරදින එකක් නෑ.

    කැමතියි

  4. මේ සම්බන්ධව මහා ලොකු දෙයක් කියන්න මට තේරෙන්නේ නැහැ ඇලා අයියා. කොහොම උනත් මුදල් මතම පමණක් නොවන සිතිවිලි තියෙන පුද්ගලයෙක් බව මට තේරෙන හින්දා මම හිතන්නේ නැහැ මේ තීරණය ජිවිතයේ කරන ලොකුම වරද කියලා දවසක උඹට හිතෙයි කියලා. සල්ලි පස්සේ දුවන එකා කවදා හරි මැරෙන්නේ මිස ජීවිතේ විඳපු එකෙක් හැටියටනං නොවන බව මේ වන තෙක් මං ලබලා තියෙන අත්දැකීම් අනුව මට කියෑකි. හැමදේම තීරණය වෙන්නේ මිනිස්සු තමන්ට උවමනා මොනවද කියන දේ තේරුම් ගැනීම මතයි. එහෙම නැතිව ලෝකයා අපිට උවමනා දේ යැයි සිතන දේ මතවත්.. ලෝකයාට උවමනා දේ අපිට උවමනා දේ යැයි සිතීම මතවත් නෙවෙයි. උඹට මොනවා නැතත් උඹ ඉගෙන ගත්ත දේ තියෙනවා. ලෝකයේ පිළිගත් ස්ථාන කිහිපයක වැඩ කරලා ලබා ගත්ත පලපුරුද්ද සහ ඒ පිළීබඳව සහතික තියෙනවා. ඒ වගේම ඇනයක් නොවන නිතරම මනුස්සයට ජීවිතේ සැහැල්ලු කරවන්න සමත් ගෑණියෙක් ඉන්නවා. අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් විදියේ දරුවෙක් ඉන්නවා. බය නැතිව කරන දේ හිතේ සතුටෙන් කරහං. වැරදිම් නොවුන මිනිස්සු ලෝකේ ඉඳලා නැහැ. හැබැයි හුගක්ම සාර්ථක උන මිනිස්සු කියන්නේ ලෝකයේ දැන දැන හෝ වැරදි කරමින් අළුත් විදියට ඉස්සරහට ගිය උන් මිස නිතරම ආරක්ෂාව මුලට දාගෙන දෙයක් නොකර පස්ස ගගහා හිටිය උන් නෙවෙයි.

    අඩියක් පස්සට ගන්නවා කියන්නේ අඩි දෙකක් ඉස්සරහට යන්න පුළුවන් දෙයක්. අද උඹ ගන්න තීරණය පිටතින් බැළුවම මෝඩ තීරණයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් උනාට..දවසක එයාලටම කියන්න පුළුවන් වෙයි “මිනිහා නියම වෙලාවේ අවධානම් තීරණයක් ගත්තේ“ කියන එක…

    කරලා බලමු…

    —–

    තව එක කාරණයක්…

    ඇලයියේ ඇත්තටම ඔය රසායන විද්‍යාව පිළීබඳව සරලව පැහැදිලි කරන ලිපි කිහිපයක් ලියහංකෝ… මං කියන්නේ මේ මං වගේ එහෙකුට තේරෙන විදියට. මට දැන ගන්න ඕන උඹ ඔය ඉගෙනගත්ත දේ රටක් විදියට අපිට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ප්‍රායෝගිකව.උඹට කල හැකි දේ… එතනදී මං බලාපොරොත්තු වෙන්නේ උඹ රටට ආයෝජනයක් වෙන හැටි දැන ගැනීමයි…

    මේ මෑතකදී මං උඹ වගේ ඉගෙන ගත්ත ඒත් උඹ වගේ නොහිතන මිනිහෙක් ගැන අත්දැකීම් වගයක් ලැබුවා. එතනදී මං තේරුම් ගත්ත දෙයක් තමා ඒ මනුස්සයා ඉගෙන ගත්ත විෂය ප්‍රායෝගිකව ලංකාව වගේ රටකට තවමත් වැදගත් නැහැ. ඒත් මනුස්සයා බලාපොරොත්තු වෙනවා රජය විසින් මිනිහට උසස් ලෙසින් සැලකිය යුතුයි කියලා. ඒත් ඒ විෂයන්ගෙන් රටට ලැබෙන දෙය අල්පයි. මනුස්සයා ඉගෙන ගත්ත රටවල් වලින්වත් ඒ දේවල්වලට නොසලකන තරමට අපි සැලකිය යුතුයි කියලා හිතං ආණ්ඩුවට වැරදි කියන තත්වයට පත් වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් ලංකාවේ කලා උපාධියට වෙලා තියෙන දේම තමා… ඒත් මං රසායන විද්‍යාවෙන් රටට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා හිතනවා… ඒත් ඒ කොහොමද කියන දේ ගැන මට ලොකු අව බෝධයක් නැහැ. පුළුවන්නං ඒ ටික පැහැදිලි කරලා දියං. දෙයක වටිනාකම සරල විදියට සමාජගත කරන්න පුළුවන්නං ඒ හරහා ඒ දේට ඇති ඉල්ලුම වැඩි වෙනවා කියන එක විතරයි මං දන්නේ…

    කරන්න යන වැඩ ටික අතිශයින්ම සාර්ථක වේවා කියලා සුභ පතන ගමන්ම ලංකාවට ආවට පසුව සුළු වේලාවකට හෝ හමු විමටත් බලාපොරොත්තු වෙනවා.

    කැමතියි

    • ඇත්ත, වැරදුනේ නැති මිනිහෙක් මේ ලෝකෙ නෑ.. මටත් එක පාරක් නොවයි කිහිප වතාවක් වැරදිලා තියෙනවා. ඒ වැරදි වලින් බොහොම පාඩම් ඉගෙන ගත්තා…
      බලමු… මොනවත්ම බැරි වුනොත් තාත්ත එක්ක එළවලු පාත්තියක් හරි දානවා…
      රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද කියලා ලිපි පෙලක් ලියලයි තියෙන්නෙ… මම ඒක ටිකෙන් ටික මේකෙ පළ කරන්නම්…
      මම හිතන්නෙ ඒක ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ගොඩක් සපයාවි.
      හමුවෙමු… අපි ඔක්කොම ඉන්නෙ ලංකාවෙ නෙ… පාරෙ දැක්කොත් ඇලෝ කියලා කෑ ගහන්න… හැරිලා බැලුවොත් ඒ මම..

      කැමතියි

  5. මාරයගේ බ්ලොග් අඩවියේ මම උඹෙන් අහපු ප්‍රශ්ණයට, පොස්ට් එකක්ම දාලා බ්ලොග්කරුවන් ගැන හා බ්ලොග් ගැන අවතක්සේරු කරමින් කතා කල නිසා හා මගේ කොමෙන්ටුවට පිළිතුරු නොදුන් නිසා මම උඹට කොමෙන්ට් දැම්මේ නෑ. කෙසේ නමුත්, මට උඹට කියන්න තියෙන්නේ, මම කළ මෝඩ කම උඹත් කරන්න එපා කියන එකයි. මේ රට කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. දවසක නෙමෙයි හැමදාම උඹට දුක් විඳින්න වෙයි උඹ කළ මෝඩ කමට. ඒත් නැවතත් වෙන රටකට යන එක උඹ වගේ අයට පහසු නිසා. තීරණය උඹේ අතේ. මොකෝ උඹ කියලා තිබුනා නේ උඹට ඕන දේ උඹ කරන්නේ කියලා.. අමනාපයට කියපු දෙයක් නෙමෙයි.. හිතවත් කමටයි කිව්වේ..

    කැමතියි

    • කමක් නෑ මාතලන්… මට ප්‍රශ්නයක් නැහැ මාරයාගේ පෝස්ට් එක සහ ඒ සම්බන්ධ ගැටළුවේ ඔබේ ස්ථාවරය ගැන… අපි හැමෝම හිතන්නෙ එක එක විදියට… ඔබට ප්‍රතිචාර නොදුන්නෙ අහිතකින් නෙවෙයි සමහරවිට මඟ හැරෙනවා.. ඒ වගේම මගේම ලිපි වලටවත් මම හරියට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ…
      අපි බලමු… සමහරවිට මේක මම ගනිපු ලොකු මෝඩ තීරණයක් වෙන්න පුළුවනි. නමුත් මම බොහොම සරළ මිනිහෙක්… මට වැඩි අවශ්‍යතා නැහැ… මගේ පවුලත් එහෙමමයි… ඒ නිසා සමහරවිට අපට survive වෙන්න පුළුවනි.
      ඒ වගේම මට අවශ්‍ය වෙලාවකට වෙනත් රටක වැඩක් හොයා ගන්න (විශේෂයෙන් මැද පෙරදිග තෙල් සමාගම් වල) අපහසු වෙන එකක් නැහැ…
      ඇමරිකාවෙත් රසායන විද්‍යාව පැත්තෙන් නම් රැකියා තත්ත්‍වය යහපත් නැහැ… ඒ රටවල ප්‍රශ්නය තියෙන්නෙ අපි උපාධිය ලබා ගත්ත විෂයයෙන්ම රැකියා කරන්නට සිදු වීමයි. ලංකාවෙ ඒ තත්ත්‍වය නැති නිසා මට වාසියක්…
      ටියුෂන් කඩයක් දාගනිමු…. වැඩේ ගොඩ… මම ඉගැන්වීමට උපන්නෙමි කියලා ආදර්ශ පාඨයක් දාගත්ත නං සක්විති වගේ ඉන්න පුළුවන්.. (හිරේ නෙවෙයි) එළියෙ

      කැමතියි

  6. ඇල්ස්…සුබ පැතුම්..මනුස්සයෙක් තමන්ගෙ හිතේ තියන ප්‍රාර්ථනා එතකොට අධිෂ්ඨානය සාක්ෂාත් කරගන්ට උත්සාහයක් දරණකොට ඇල්වතුර බාල්දියක් ඔලුවෙ හැලුව වගෙ අසුභවාදී අදහස් ප්‍රකාශ කරන එක මගෙ සිරිත නෙවෙයි.

    එසේම ඔබේ පරාර්ථකාමී උත්සාහයට මගේ හෘදයාංගම සුබ පැතුම්!!!!!

    කැමතියි

    • බලමු රවි….
      මේක මම අවුරුදු දෙකක් ඇතුලත ගන්න දෙවැනි risk එක.. පළවෙනි එක එපා වුනා.. සමහරවිට මේක හරි යන්න පුළුවනි.. අවම වශයෙන් මම අම්මලා සමග ඉන්නව නෙ…
      මඟ හැරිච්ච මගුල් ගෙවල් දානෙ ගෙවල් මරණ ගෙවල් අනන්තයි… අවුරුදු 13 කින් අළුත් අවුරුද්දට ගෙදර ඉඳලා නෑ… මට ඕවා බොහොම වටිනවා….
      හීන ගොඩයි…. දෙක තුනක් හරි හරියාවිනෙ…

      කැමතියි

  7. හොඳ තිරණයක්.සුභ පැතුම්!
    හැබැයි ඇල්කැමි ලංකාවේ පරික්ෂකයෙකු/ගුරුවරයෙකු විදියට විශ්ව විද්යාල පද්ධතිය තුළ හරි නැතනම් පුද්ගලික අංශයේ හරි තෘප්තිමත් රැකියාවක නිරත වෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි.ඒ එන කට්ටට මුහුණ දෙන්න නම් හොඳම දේ යම් මට්ටමක ආර්ථික පසුබිමක් ගොඩනඟාගෙන ලංකාවට යන එක( හොඳ ඉතිරියක්,අඩුම තරමේ දරුවාගේ අධ්යාපන වියදම් ප්ලස් ඇල්ෆා)
    දෙවැනි එක ලංකාවට යන්න කලින් ලංකවේදී හරියටම කරන්නේ මොකක්ද කියලා කලින් තිරණය(නියත වන රැකියාව/ආයතනය)අරගෙන ඉන්න එක.
    නැත්නම් හුරුපුරුදු පරිසරේ වුනත් ලංකාවට හැඩ ගැගෙන එක ජර්මනියට හැඩ ගැහෙනවාට වඩා අමාරුවෙන්න ඉඩ තියෙයි..

    කැමතියි

  8. Alchemiya gaththa theerane waradi kiya kiyanne obe daruwa gana hithalai. obata daruwek nohitiyanam oba hari. ese kiyannata hethuwa. obe daruwata hondin aluth dewal aluth vidihata igena ganna thibunu awasthawa oba lankawata giya vita nolabi yana nia. oba kiyavi math igenagaththe lankawene kiya eheth ithamath pahasuwen labaganna puluwan una welawaka eya labagath vita wadi karadarayak nomathiwa alchemi patiya obata wada ihala thanakakatayavi. mata labunu ath dakeem nisai mehema kiyanne. mage mahaththaya waiddiyawarayek wenna godak mahansi una. ithamath duskatha madde eth mage puthalata ithamath pahasuwen sulu mahansiyakin yanna hakiwenawa( eyala dannam ude indan karanne sellam karana ekai mama kaagahanawa padam karanna kiyala) eyalata uwamanawak thibenam. . lankawa yana thaleta api asa unata ratata sewaya karanna eth hithanatharam lesi naha. ekatath honda athdakeem ematai duskara sewaya bible, monaragala awrudu 6k wada kala puthata iskolayak naha ispirithale beheth naha . dannam kohomada danne naha. apith puthalata uganwala enwa monawaunath ape rata nisa daruwan nisa thawa tika kalayak innawa daruwanta honda de dunnam eyalatath therei api kochchara kapa kalada kiya. ithin e gana tikak hithuwoth hondai neda. samawenna hitha ridunanam. obata subapathanawa obe abiyogawalata muhunadeeme hakiyawata. subadawasak pawle samata.!!!

    කැමතියි

  9. මම අනාගතේ ගන කියන්න නං දන්නෙ නෑ සර්! හැබැයි මමයි මගෙ යාලුවොයි පුද්ගලිකව කමතියි සර් එනවනං! 🙂

    කැමතියි

  10. ආයේ නූපන් කිඩහැලීගේ කේන්දරේ බලන්නේ මොටෝ ආයිබෝන්…ඔන්න ඔහේ ඔය නාසි අය්යලාට කුදහන්න කියලා.. ඊලඟ ආසියාත්තරාවෙන් ගෙදර වරෙන්..යකා කියන තරම් කලු නැහැ බන්… වෙන මොනා නැතත් ඔය අටෝන්න හිතං ඉන්න ටියූසන් කඩේ නම් හරියනවා අම්මපා කිරි ගහට කොස් ගහෙන් ඇන්නැහේ.
    අපේ මුලු ජීවිතේම වැඩකරන්නේ Natural law of probability තියරියට නේ බන්.හැරිලා බලලා පහුගිය ජීවිතය ඇනලයිස් කරලා බලාපන් සෑම තීරනාත්මක සන්දිස්තානයකදීම සියල්ල සිදුවී ඇත්තේ වෙන්නේ තියන හොඳම විදියටමනේ….නැද්ද මං අහන්නේ

    බුදු මල්ලියේ මම මේ උඹව ගඟේ යවන්න හිතං කියපු කතාවක් නෙමේ. Since you are having a considerable multinational background ( apart from ur research work),can even join to the pvt sector for a decent salary… උඹට ඕනේ රටට සේවයක් කරන්න නම් දැන්ම එන්න එපා..මොකද ඊට වඩා සේවයක් වෙනවා උඹ රට ඉඳන් එවන ඩොලර් වලින්.( මෙහේ ඉඳන් රටට සේවයක් කරනවා කියන එක politicconge මහ බයිලා කතාවක් බන්)

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න