Monthly Archives: අප්‍රේල් 2013

කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක්….. අත්දුටුවයි සත්තයි…. හරි ගියාම විදුලි ගාස්තුව ගෙවන්න…


කවුරු මොනවා කිවුවත්, මොනවා කරන්න උත්සාහ කළත්, උද්ඝෝෂණ, උපවාස සහ සාකච්ඡා පැවැත්වුවත්, ආණ්ඩුව විදුලි බිල ඉහළ දමා තිබේ. හිටපු ඇමතිතුමා කියන්නේ එය තමා නොකළ බවයි. වර්තමාන ඇමතිතුමිය ඒ ගැන කිසිත් නොදනී. දැනට දන්නා පරිද්දෙන් විදුලි බිල ඉහළ දමා තිබෙන්නේ ආර්ථික ඝාතකයා යැයි විමල් වීරවංශ ඇමතිතුමා විසින් හැඳින්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාය. ඒ මහතාට හිතු මනාපෙට විදුලිබිල ඉහළ දැමීමට නොහැක. ඒ මුදල් අමාත්‍යාංශයේ අදාල ඇමතිවරයා ජනාධිපතිතුමා වන නිසාය…

කෙසේ හෝ විදුලිබිල ඉහළ ගොස් ඇත. වැඩි වූ විදුලි බිලට සමගාමීව රූපවාහිනී නාලිකාවල සාකච්ඡා  ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. ඉන් එක් සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ තවත් මාස කිහිපයකින් ජනාධිපතිතුමාගේ හිත උණු වී මේ විදුලිබිල වැඩිවීම අහෝසි කරනවා හෝ අඩු කරනවා ඇතැයි කියාය. එය උතුරේ පලාත්සභා ඡන්දය කාලයේ සිදු වන්නට හැකි බව මගේ ජ්‍යෝතිශ්‍ය දැනුමට හැඟේ.. කෙසේ වුවත් එය අඩුවේද වැඩිවේද යන්න කිව නොහැක..

අඩු වුවත් වැඩි වුවත් ඒ දේ සිදුවී හමාරය.. සමහරු අපි විදුලිබිල ගෙවන්නේ නෑ කියා මුහුණු පොත ඉදිරියේ සිට පාරම් බෑවත් ඒ නිවෙස්වල විදුලි බිල ගෙවන්නේ ඔවුන්මද යන්න ද සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විදුලි බිල නොගෙවීමෙන් අනතුරුව කෙරෙන විදුලිය විසන්ධි වීමේ ඵලවිපාක දරන්නට සිදු වන්නේද පාරිභෝගිකයාටමය. නැවත විදුලිය ලබා දීමේදී අය කෙරෙන ගාස්තුව සහ හිග මුදල් ද ගෙවීමට සිදු වන්නේ ඔවුන්ටමය. අප සෑම විටම සිදු කරන්නේ අනුන් පිට වරද පටවා කෑ ගැසීමය. තම තමන්ගෙන් මේ සඳහා විය හැක්කේ කුමක්ද යන්න කිසිවෙකු අවධාරණය නොකරයි. මේ වෙනුවෙන් පෞද්ගලිකව අපට සිදු කළ හැක්කේ කුමක්ද ?

විදුලිය සහිත ලොවක ජීවත් වූ අප සැමට විදුලිය නොමැතිව ජීවත් වීමට හුරු වීම ඉතා අපහසු කාර්යයකි. නොදියුණු ගෝත්‍රික සමාජයන් සහ බටහිර වෙසෙන සමහර අන්තගාමී ආමිශ් ගෝත්‍රික සමාජයන් වැනි අයට හැරෙන්නට විදුලි බලයෙන් සිදුවන සහ සිදු කෙරෙන දෑ අතර දිවි ගෙවන අපට විදුලි බලය නොමැතිව දින කිහිපයක් ගත කිරීම අපහසුය. එසේ සිදු කළ හැකිනම් ඉතාම අගනේය. මේ නිසා විදුලිය නොමැතිව ගෙවන ජීවිතයක් පිළිබද විකල්පය සිහි බුද්ධියක් ඇති කෙනෙකු විසින් ඉවත දැමිය යුතුය. නමුත් විදුලි බිල පාලනය කිරීමට කළ හැකි දෑ බොහොමයකි.

විදුලිබිලේ වැඩිවීම

විදුලිබිලේ වැඩිවීම

විදුලිබිල වැඩිපුරම ඉහළ යන්නේ ඒකක 90 කට වඩා වැඩියෙන් භාවිතා කළ හොත් පමණි. සාමාන්‍ය නිවසක විදුලි ඒකක කීයක් පාවිච්චි වනවාද යන්න ඒ ඒ නිවසේ වෙසෙන සාමාජික සංඛ්‍යාව සහ ඔවුන්ගේ ජීවන රටාව මත රදා පවතී. නමුත් නිවසේ පාවිච්චි වන විදුලි ඒකක ගණන අඩු කර ගැනීමට පොදුවේ අපට කළ හැකි දෑ බොහොමයකි.

සාමාන්‍ය නිවසක දැල්වෙන විදුලි පහන් වර්ග තුනකි. ටංස්ටන් පහන්, ප්‍රතිදීප්ත පහන් (ටියුබ් ලයිට්) සහ සුසංහිත ප්‍රතිදීප්ත පහන් (CFL) වශයෙනි. මේ පහන් වර්ගවලින් වැඩිපුරම විදුලි ඒකක ප්‍රමාණයක් වැයවන්නේ ටංස්ටන් පහන් වලට වන අතර ඉතිරි දෙකෙහි විදුලි ඒකක ප්‍රමාණය පිළිවෙලින් ඉන් අඩක් සහ 1/3 ක් පමණ වේ. මෙවැනි විදුලි බල්බ කිහිපයක් දීර්ඝ කාළයක් දිනපතා පාවිච්චි කිරීමෙන් විදුලි ඒකක 90 ඉක්මවා යා හැකිය. දැන් දැන් වෙළඳපොලේ ප්‍රචලිත වෙමින් පවතින එල් ඊ ඩී (LED) විදුලි පහනක් සඳහා වැයවන්නේ ඉතාමත්ම අඩු විදුලි ප්‍රමාණයක් වුවත් ඒ විදුලි පහන්වල දැනට ඇති අධික මිල නිසා පාරිභෝගිකයෝ LED විදුලි පහන් මිලදී ගැනීමට මැලිකමක් දක්වති. කෙසේ වුවත් මසකට එක බැගින් හෝ ටංස්ටන් විදුලි බල්බයක් LED විදුලි බල්බයක් මගින්  ආදේශ කර ගතහොත් දීර්ඝකාලීන ඉතිරියක් සිදු කර ගැනීමට පැහැදිලි හැකියාවක් ඇත.

දැන් පවතින අධික රස්නය නිසාම බොහෝ දෙනෙකු රාත්‍රිය පුරාවට විදුලි පංකා ක්‍රියාත්මක කරගෙන නිදා ගැන්මට පුරුදු වී ඇත. තවත් සමහරු වායුසමන යන්ත්‍ර පවා භාවිතා කරති. සාමාන්‍ය විදුලි පංකාවක් මෙන් විසි තිස් ගුණයක් විදුලිය පරිභෝජනය කරන වායු සමන යන්ත්‍ර, නිවසක වැඩියෙන්ම විදුලිය වැයවන උපකරණයක් වේ. එසේම සීලිං විදුලි පංකාවකට වඩා මේස විදුලි පංකාවක් ලාභදායී වන බව බොහෝ දෙනා නොසිතන කරුණකි.

නාගරික නිවෙස්වල බොහෝවිට රෙදි සෝදා ගැනීම සිදු කෙරෙනුයේ රෙදි සෝදන යන්ත්‍රයක ආධාරයෙනි. සමහර රෙදි සෝදන යන්ත්‍ර පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක වේ. ඔබ රෙදි සෝදා ගැනීමේ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී අඩු වේලාවකින් රෙදි සේදෙන යන්ත්‍රයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. රෙදි වේලා ගැනීමට වේලා ගැනීමේ යන්ත්‍රයක් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක භාවිතය තරමක අණුවන ක්‍රියාවකි. එසේම රෙදි සෝදා වේලා ගැනීමෙන් අනතුරුව රෙදි මැදීම අත්‍යවශ්‍ය කාරණයකි. නිවසේ වෙසෙන සියළුම දෙනා අවම වශයෙන් දින තුනක් හෝ භාවිතා කරන රෙදි එකවර මැද ගැනීම මගින් විවිධ අවස්ථාවල රෙදි මැදීම සඳහා විදුලි ස්ත්‍රික්කය රත් කිරීමට වැය වන විදුලිය ඉතිරි කර ගත හැකිය. එසේම එමගින් නිවැසියන්ගේ කාර්යයන්ද කළමණාකරණය කර සැලසුම් කරගැනීමට මඟ පාදා ගත හැකිය.

අප බොහෝ විට අනවශ්‍ය උපකරණ නිවසේ ගොඩ ගසා ගෙන සිටීම දක්නට ලැබිය හැකි කරුණකි. රූපවාහිනී යන්ත්‍රයට සවි කෙරෙනු ලබන ඩී වී ඩී යන්ත්‍ර, ශබ්ධ වාහිනී යන්ත්‍ර (Home theater systems) ආදී දෑ නිසා ඒවා ක්‍රියාත්මක නොවුනත් කිසියම් විදුලිය ප්‍රමාණයක් වැය වේ. එසේම සාමාන්‍යයෙන් භාවිතා වන විදුලි උපකරණ පවා ක්‍රියාත්මක නොවන අවස්ථාවක වුවත් විදුලියට සම්බන්ධ වී ඇතිනම් ඒවායේ ඇති විවිධ කොටස්වලට විදුලිය වැයවීමක් සිදු වේ. මෙය සාමාන්‍ය විදුලි බිලෙන් 10% ක පමණ ප්‍රමාණයක් ලෙසින් ගණන් බලා ඇත. මසකට රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන නිවසකට මේ නිසා වැඩිපුර රුපියල් 200 ක් වැය වේ. පාවිච්චි නොකරන අවස්ථාවලදී ශීතකරණය හැරෙන්නට නිවසේ ඇති සෑම උපකරණයක්ම විදුලියෙන් විසන්ධි කර තබා ගැනීමෙන් සෑහෙන ප්‍රමාණයකට විදුලියක් ඉතිරි කර ගත හැකිය.

දැන් දැන් ඉලෙක්ට්‍රොණික නිශ්පාදන වැඩි වැඩියෙන් පර්යේෂණ මගින් වැඩිදියුණු වන නිසා ඒවායේ බලශක්ති කාර්යක්‍ෂමතාවය ඉහළ දැමීමට කටයුතු යොදා ඇත. Energy star ලෙසින් හැඳින්වෙන සළකුණ ඒ ඒ විදුලි උපකරණවලට ලබා දී ඇත්තේ ඒවා කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ බවට සහතික කර ඇති බවට පාරිභෝගිකයාට දැන්වීමටය. ඔබ Energy Star සළකුණ සහිත විදුලි උපකරණ භාවිතා කරන්නේ නම් ඔබේ විදුලි උපකරණ කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ තත්ත්‍වයක පවතී. එසේ නොමැති නම්, ඊලඟ වතාවක එවැනි උපකරණයක් මිලදී ගැනීමේදී Energy Star සළකුණ ඇති දැයි සොයා බලා මිලදී ගන්න.

නිවසේ අනවශ්‍ය විදුලිපහන් නිවා දැමීම, නිකරුණේ විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම නැවැත්වීම, අවබෝධයෙන් යුතුව නිවසේ කටයුතු සිදු කිරීම මගින් විදුලි බිලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව බොහෝ දෙනා දනිතත්, ප්‍රායෝගිකව එය සිදු කිරීමට අමතක වීම නිසාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා විදුලි ඒකක 30 ක් පමණ සෑම නිවසකම භාවිතා කෙරෙයි.

පෞද්ගලිකව අප මෙසේ විදුලි පරිභෝජනය අවම කරන අතරම, කාර්යාලයේ ද සේවය අවසානයේ පරිඝණක ක්‍රියා විරහිත කර පේනුවෙන් ගලවා දැමීම මගින් ඒ ඒ ආයතනයට සෑහෙන ප්‍රමාණයක විදුලි බලයක් ඉතිරි කර ගැනීමට හැකි වේ. සාමාන්‍ය අවස්ථාවලදී පවා පරිඝණකයේ තිරය මිනිත්තුවක් හෝ දෙකකින් අනතුරුව නිවා යාමට සැකසීමෙන් ද සැලකිය යුතු විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. කාර්යාලීය වායු සමනය කිරීමේ යන්ත්‍රය එක් අංශකයක් වැඩි කර සැකසීම මගින් විදුලි ඒකක විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි අතර සාමාන්‍යයෙන් එක් අංශකයක වෙනසක් දැඩි අපහසුතාවයක් ලබා නොදෙන බවද අවධාරණය කළ යුතුමය.

මාර්ගස්ථ විදුලි පහන් දිවා කාලයේ පවා දැල්වෙනු අපට නිතර දැකිය හැකි දසුනකි. එසේම බොහොමයක් මාර්ග ආලෝක කරණය සිදු වන්නේ තවමත් අකාර්යක්‍ෂම විදුලි පහන් භාවිතයෙනි. ඒ විදුලි පහන් කාර්යක්‍ෂම විදුලි පහන් බවට පරිවර්තනය කිරීම සහ ස්වයංක්‍රීයව දැල්වෙන ආලෝක සංවේදී ස්විච සවි කිරීම මගින් රාත්‍රී කාළය වනවිට හෝ ආලෝකය අඩුවන විට ස්වයංක්‍රීයව දැල්වෙන පහන් උදෑසන වනවිට ඉබේම නිවී යාම මගින් කාර්යක්‍ෂම විදුලි පරිභෝජනයක් සිදු කළ හැක.

දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ මෙන්ම රාත්‍රී ධාවන තරඟද පැවැත්වීමේදී මෙයට වඩා පුළුල්ව රටක් වශයෙන් සිතා බැලීමත් ඉතා වැදගත්ය. මේ තරඟ වලදී වැය වන්නේ ඒ ඒ ස්ථානවලදී වැයවන විදුලිය පමණක් නොවේ. රූපවාහිනී ඉදිරිපිට සිට ඒ තරඟ නරඹන ප්‍රේක්‍ෂකයෝද ඒ හා සමාන හෝ ඊටත් වැඩි විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරති. මේ පිළිබඳවද අදාල බලධාරීන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව ඝර්ම කලාපයේ දවසට අපම වශයෙන් පැය අටක්වත් සූර්යාලෝකය ලැබෙන රටකි. එවැනි රටකට ඇති මහඟුම බලශක්ති ප්‍රභවය වන්නේ සූර්යාලෝකයයි. මේ කරුණ සිතා බලා සූර්යකෝෂ සම්බන්ධිත විදුලි ජනනයට යොමු වීම දීර්ඝකාලීනව වාසි ලැබිය හැකි ක්‍රියාවකි. එය, ඇති හැකි පුද්ගලයින්ට පෞද්ගලිකව සිය නිවාසවලට සූර්යකෝෂ සවිකරගෙන ඒ මගින් දිවාකාලයේ විදුලි ජනනය කිරීමත් – ඒ ජනනය වන විදුලිය ප්‍රධාන විදුලි සැපයුමට ස්මාර්ට් මීටර මගින් සම්බන්ධකරගෙන ජනනය වන විදුලියට අයවන මුදල මාසික විදුලිබිලෙන් අඩුකරන ක්‍රමයකට යා හැකි නම් පාරිභෝගිකයා මීටත් වඩා විදුලිය අරපිරිමැස්මකට යොමු වෙනවා ඇත. එසේම රාජ්‍ය ආයතනවලද ගොඩනැගිලිවල වහලයන් මත සූර්යකෝෂ සවිකිරීම මගින් ඒ ඒ ආයතනවල විදුලිබිල තරමකට හෝ පාලනය කර ගැනීමට පිටිවහලක් වනවා ඇත.

විකල්ප බලශක්ති ප්‍රභව ගැන අවධානය යොමු කිරීමේදී කොළඹ නගරයේ සදාකාලිකව පවත්නා කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට ද පිළියමක් යෙදිය හැකිය. කොළඹ නගරයේ පමණක් දිනකට කුණු ටොන් 700 ක් එකතු වන බව රජයේ ඇමතිවරයෙකු විසින්ම පවසා තිබුණි. මේ කුණු ටොන් 700 න් විදුලි බලය ජනනය කිරීමට විවිධාකාර ක්‍රම තිබේ. කුණු පූතිභවනය නිසා ජනනය වන ජීව වායුව දහනයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ තාප බලාගාරයක් සහ ඍජුවම දහනය කළ හැකි අපද්‍රව්‍ය මගින් ක්‍රියාත්මක වන තාප බලාගාරයක් වශයෙන් එය භාවිතයට ගත හැකිය.

විදුලිබල මණ්ඩලය පවසන අන්දමට විදුලි බිල වැඩි වීමට හේතු වූයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව මඟහරවා ගැනීමටය. එසේ නම් ඒ පාඩු සිද්ධවන අංශ පිළිබඳ සොයා බැලීමක් සිදු කර ඒ පාඩු මඟහරවා ගැනීමට ක්‍රියා කිරීමෙන් අවම වශයෙන් ඉදිරි වසරවලදී හෝ මෙවැනි අගතිගාමී කටයුතු සිදු වන්නට ඇති ඉඩකඩ අවුරාගත හැක. එසේම තම උදරය ගැන නොසිතන, සුදුසුකම් ඇති අවංක සහ දක්‍ෂ කළමණාකරණ මණ්ඩලයක් පත් කිරීම මගින් මේ පාඩු පියවාගෙන කිසියම් ආකාරයක ස්ථාවරත්‍වයකට විදුලිබල මණ්ඩලය ගෙන ඒමට හැකියාවක් තවමත් ඇත. කොටුවේ විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ලේම සිදු වන විදුලිබල නාස්තිය සහ බලශක්ති නාස්තියෙන් පටන් ගෙන පාඩු ලබන අංශවල පාඩු අවම කරගෙන, අනාගත බලශක්ති අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය සැකසීමෙන් ඉදිරිය ආලෝකමත් වනු ඇත. නැතිනම් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමන අධිබල විදුලිසැර වැදීමෙන් අතරමගදී මරණයට පත්වනවා නියතය.

කළ හැකි දෑ බොහොමයකි. සාම්ප්‍රදායික සහ මහා පරිමාණ විසඳුම් වලින් මෙවැනි ප්‍රශ්නවලට පිළියම් සෙවීමට වඩා නව චින්තනයකින් සහ අළුත් ක්‍රම අත්හදා බැලීමේ Thinking outside the box ක්‍රමයේ විසඳුම් කරා යොමු වීමෙන් මේ ගැටළුවෙන් ගොඩ ඒමට අපට හැකියාවක් ලැබෙන බව මගේ විශ්වාසයයි.

සමුගත් අසල්වාසියෝ………………………. උන් යන්නම ගිහින්…………..


ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක සෛලික සත්ත්‍වයාගේ පටන් නිල් තල්මසා දක්වා ජීවීන්ගේ වගේම ශාකවලත් ජීවිතය එකිනෙකාට විවිධාකාර වුනත්, මූලික සිද්ධාන්තවල වැඩි වෙනසක් නැහැ. මෙන්න මේ යතාර්ථය තේරුම් නොගන්න බොහෝ දෙනෙක් ජාති, කුළ, ආගම් ආදී බේද හදාගෙන ඉන්න ටික දවසෙ ගහමරාගෙන ජීවිතේ බොහොම අවලස්සන කර ගන්නවා.  අනිත් එක තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලි කියලා. ජීවිතේට සල්ලි අවශ්‍ය තමයි, ඒත් ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි. සල්ලි තියෙන මිනිස්සුන්ගෙ ජීවිත වලට වඩා සල්ලි නැති මිනිස්සුන්ගෙ ජීවිත හරිම ලස්සනයි. ඒ අයගෙ ජීවිත හරිම සරළයි. නමුත් අත්‍යවශ්‍ය කරුණකට මුදල් ටිකක් ලඟ නැති වුනාම හිතට අමාරුයි තමයි.

ඉතිං අපේ වත්තෙත් පැත්තක පුංචි පවුලක් ජීවත් වුනා. පවුලක් කිවුවට අළුත බැඳපු ජෝඩුවක්.. උන්ට සල්ලි ඇත්තෙම නෑ… හිටියෙ පුංචි ගෙදරක.. සමහර වෙලාවට ඒ ගෙදර පුංචි වැස්සක් වැටුනත් තෙමෙනවා. ඒ වුනාට ඒ ගෙදර දෙන්නා බොහොම සමගියෙන් හිටියෙ.. අඬදබරයක් ඇහෙන්නෙම නැති තරම්… ඉඳලා හිටලා සද්දෙන් කතා කළත් දෙන්නා අතරෙ නෙවෙයි විරසකයක් තිබුණේ. කුරුල්ලයි කිරිල්ලියි වගේ ජීවත් වුනේ… හැමදාම උදේට දෙන්නා කොහේදෝ ගිහින් කන්න යමක් කොහොම හරි හොයාගෙන ඇවිත් රෑ වෙද්දි ගෙදරට ගුලි වෙන එක තමයි වැඩේ… ඉඳලා හිටලා රෑට ඒ පැත්තෙන් එක එක සද්දත් ආවා… මේ අතර තමයි මේ අළුත බැඳපු ජෝඩුවට දරු සම්පත් ලබන්න ලකුණු පහළ වෙන්න ගත්තෙ.. එදා ඉඳලා මේ දෙන්නට හරි වැඩ… පුංචි වුනත් ඒ ගෙදර ලස්සන කරන්න එක එක විදියෙ වැඩ කෑලි දැම්මා.. ගේ ලස්සනට තියා ගන්න නිතරම කුණු අතුගාලා පිරිසිදුවට තියා ගත්තා. දොස්තරලා ලඟට ගියාද කියලා මම නම් දන්නෙ නෑ.. කොහොම වුනත් අන්තිමට මේ දුප්පත් දෙමාපියොන්ට නිවුන්නු තුන්දෙනෙක්ම ලැබුණා..

මේ තුන්දෙනාගෙ සද්දෙ තමයි සද්දෙ.. පුංචි වුනාට උදේ ඉඳන්ම කන්න ඉල්ලනවා… අර අසරණ දෙමව්පියන්ට ඒ හැටි වත්කමක් නැති වුනත් පුළු පුළුවන් විදියට හැම වෙලේම කන්න ගෙනත් දෙනවා අපි දැක්කා.. අපිත් සමහර වෙලාවට කන්න යමක් ගිහින් දුන්නත්, ඒ පැටවුන්ට අම්මා තාත්තා දෙන දේ අපි දෙන දේවලට වඩා වටිනවා… ඔන්න ඔහොම ටික කාලයක් යනකොට මේ තුන්දෙනා එකම විදියට උස්මහත් වුනා.. තුන්දෙනා වෙන්කරලා හඳුනා ගන්න බැරි තරමටම මේ අය සමානයි.. ඉතිං මේ දරුවො තුන්දෙනා ඒ ගණනට උස්මහත් කරගන්න මේ දෙමාපියො දෙන්නා විඳපු දුක අපි හොඳටම දැක්කා..

දවසක් දෙකක් මේ ගෙදර පුංචි පුංචි රණ්ඩු ඇතිවුනා.. පොඩි එවුන් තුන් දෙනාට ඉන්න ගෙදර ඉඩ මදිලු.. අම්මයි තාත්තයි රෑ නිදා ගත්තෙ එළියෙ… ඉක්මනටම මේකෙ කෙළවරක් දකින බව මට වැටහුනා.. කරන්න දෙයක් තිබුණෙත් නැහැ.. අපේ ගෙදරට එක්ක එන්නයෑ.. එක්ක ආවත් එයාලා අපිත් එක්ක ඉඳීවියෑ.. ඉතින් අහන්න ගියෙත් නෑ.. දවසක් උදේ මේ දරුවො තුන්දෙනා ගෙදරින් එළියට බැස්සා.. අම්මයි තාත්තයි දෙන්නත් එළියෙ ඉඳන් බලාගෙන හිටියා.. ඒ අය ඇඬුවෙ දුකටද සතුටටද කියන්න මම නම් දන්නෙ නෑ.. ඒත් ඒ දෙන්නා ඇඬුවා…

ඉතිං මේ දරුවො තුන්දෙනා එක දවසක් ගේ අතහැර දාලා යන්න ගියා.. මම හිතන්නෙ දරුවො නැති ගෙදරක දෙමාපියොන්ටත් ඉන්න හිතෙන්න නැතුව ඇති.. ඒ දෙමහල්ලොත් අපටත් නොකියා ම ගෙදරින් ගිහින්…. අපි ඉතිං ඒ දරුවො තුන්දෙනා ඉපදුන දවසේ ඉඳලම හැදෙනවා වැඩෙනවා බලාගෙන හිටපු නිසා ඒ අය ගිය එක ගැන අපටත් දුකයි.. නමුත් තුන් දෙනාම ලොකු මහත් වෙලා තමන් ගැන බලාගන්න පුළුවන් උදවිය වෙලා ගෙදරින් ගිය නිසා ඒ ගැන තැවුලක් නෑ…

ඉතිං උං ගිහින්.. ආයෙ නොඑන්නම ගිහින්…. කොහේ ගියත් හොඳින් ඇතිනෙ….

කොහොම වුනත් අම්මලා තාත්තලා ගෙදර නැති වෙලාවක ගේ ලඟටම ගිහින් ඒ දරුවොන්ගෙ පින්තූර ටිකකුත් ගත්තා..

බලන්න කොහොමද කියලා…

මේ ඉන්නෙ පුංචිම කාලෙ

IMG_2555 copy

ටික ටික ලොකු වුනා. පුදුම කෑමක්…

IMG_2552 copy

කාපු කෑමට සතියකින් මෙන්න මෙහෙම වෙලා..

IMG_2666 copy

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ කියලා මෙයාලගෙන් නම් අහලා වැඩක් නෑ…

IMG_2670

ඔන්න ඈතට ගිහින්…

IMG_2730

ඊට පස්සෙ කට්ටිය යන්නම ගිහින්……..

දවසක් මම ෆේස් බුක් එකේ දාපු පින්තූරයක් දැකලා මගේ මිත්‍ර මෙවන් දවස් දෙකක් පැය ගාණක් තැපලා පින්තූර පන්සීයක් විතර ගත්තා.. ඒවා නම් කවදා දකින්න ලැබේද දන්නෙ නෑ…. ඒ වගේම මේ පස් දෙනාත් ඈතට ගිහින්…

කොහේ ගියත් හොඳින් ඉඳීවි නෙ…. සුබ ගමන්…

සයිබරයේ හීන සැණකෙළියට ගොස් පණ පිටින් ආපසු පැමිණියෙමි……


සයිබරයේ සැරිසරන්න පටං අරන් අවුරුදු තුනක් වෙලත් පහුගිය අප්‍රේල් 22 වෙනිදා වෙනකල් හැබෑවටම හම්බ වෙලා (මුස්ලිම් නෙවෙයි ඈ) තිබුණෙ දෙන්නයි. අරුණි අක්කා සහ මහවෙදනා… අරුණි අක්කා නම් හම්බ වුනේ සුද්දගෙ රටේදී… මහවෙදනා නං හමු වුනේ බෙහෙතක් ගන්න ගිහිපු වෙලාවක… ඉතිං ඉඳලා හිටලා හරි මගේ බ්ලොග් එක බලන කීප දෙනෙක් හමු වෙන්න ආසාවක් හිතේ තිබුණා කාලෙක ඉඳලාම… ඒ ආසාව ඉෂ්ඨ වෙන අවස්ථාව ලැබෙයිද කියලා බලාගෙන හිටියා කාලෙක ඉඳලා.. ජර්මනියෙ ජීවිතේ ඉවර කරගෙන කඩේ වහලා ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්න කාලෙ තමයි දවසක් මූණු පොතේ ලොග් වෙලා අටං එක්ක කතා කළේ… එදා අටංට පොරොන්දු වුනේ සයිබරයෙ බකට කොහොම හරි එනවා කියලා… මුලින් අගෝස්තුවෙ එන්න හිතාගෙන හිටියත්, කොහොම කොහොම හරි අප්‍රේල් පළවෙනිදම ලංකාවට ගොඩ බැස්සා… 21 වෙනිදා කැලැන්ඩරේ දිනය වෙන් කරගෙන හිටියත්, ඒ දවස ලංවෙද්දි වෙන වෙන වැඩ ගොඩ ගැහෙන්න ගත්තා… 21 වෙනිදා උදේම නුවර යන්න කාරණාවක් සෙට් වුන අතරේ ටිකක් දුර ඥාතියෙක්ගෙ සීයා කෙනෙක්ගෙ මරණයකුත් සෙට් වුනේ එදාම.. ඒ දෙකම මග හැරිලා කොහොම හරි මහරගම නාකි මධ්‍යස්ථානෙට ගියේ උදේ නවයහමාරට විතර…. අවුරුදු පහක් හයක් මහරගම කරක් ගහපු මට තරුණ මධ්‍යස්ථානෙ කියන්නෙ ගෙදර වගේ… ඉතිං උදේ ඇවිත් අඳුරන ඩයල් එකක් හොයනකොට තමයි කිරි කොකා වගේ හිටපු වැප් නිශාන්ත මහත්තයාව දැක්කෙ..

හලෝ වැප් නිශාන්ත මහත්තයා…. මම පියල්….

කවුරු ?

පියල්… පියල්….

පියල් කිවුවෙ ?

ඇල්කෙමියා….

ඈහ්… මේ ඇල්කෙමියාමද ?

ඔව් ඔව්… මම තමයි ඒ….

බුදු අම්මේ… මම හිතං හිටියෙ අර වෙනිවැල් අයියා වගේ ඇට හැලිච්ච නාකි පොරක් කියල නෙ… මේ මෙයා අපටත් වඩා බාලයි නෙ…. (ඔන්න වැපා කිවුවෙ ඔහොමමයි)

එහෙම තමයි…  (අයියෝ මගේ ප්‍රතිරූපෙ දෙවනි වතාවටත් බිඳ වැටුනා)

ඔන්න ඔහොම තමයි අවුරුදු උළෙලට සෙට් වුනේ….

හොරෙන් කන්න හැදුවත් රුපියල් දෙසීය දීලා එන්න කියලා වැපා මාව රෙජිස්ට්‍රේශන් ඩෙස්ක් එකට යවපු අතරේ මගේ අතීසාර මිත්‍රයා (දන්නෝ දනිති ඒ විස්තරේ) මාරයත් එතැනට සේන්දු වෙලා… කට්ටිය මාරයට කියලා අන්න ඇලා ඇවිත් කියලා පුළුවන් නං හොයා ගන්න කියලා… මාරයා ඉතිං කිරි ගහට මෝටාර් එකක් ගැහුවා වගේ මම එතැනට එනකොටම අල්ල ගත්තා… ඔන්න ඔහොම එකා දෙන්නා සෙට් වෙන අතරේ ටික දෙනෙක් අනුන්ගෙ මාර්ගයෙන් මාව අඳුනගෙන ඇවිත් කතා කළා.

ඔය අතරෙ තමයි අටමයි පොඩි අටමියි දැක්කෙ.. අපරාදෙ කියන්න බෑ පොඩි එකී නං අටමා වගේ නෙවෙයි.. හොඳ වෙලාවට… (ඒ යාළුකමත් ඉවරයි ඕං)…. මම බොහොම ආසාවෙන් කියවන අටමගේ බ්ලොග් එක ලියන ඒකාව දැක බලාගෙන කතා කරන්න ලැබුන එක නම් බොහොම සතුටක්.. උඹ කවදා හරි මට උඹේ සිගරැට් බීම නැවැත්තුවා කියලා කිවුවොත් ඒක තමයි මට උඹ වෙනුවෙන් ලබන්න පුළුවන් උපරිම සතුට ….

නවම් මලයා මාත් එක්ක සෑහෙන දේවල් කතා කළා… අපි ඉතිං ආදරවන්තයන්ගෙ ඉස්කෝල දෙකේ නිසා අපට ඕනතරම් දේවල් තිබුණා කතා කරගන්න.. ප්‍රවීන් ඉන්ද්‍රනාම සහෝදරයාත් ඇවිත් ටික ටික කතා කරලා ගියා… ඔන්න ඉතිං ටික වෙලාවකට පස්සෙ අර විරූස් එකේ අයිතිකාරයා (මට අම්බානකට බැනපු එකා) ඇවිත් හිටියා… මම ඉතිං ඒකාට ගිහින් කතා කළා… ඌට ලැජ්ජයි ලු… මට බැන්නට… අනේ ඉතිං අපි අර සුර දූතියෝ දෙන්නා වගේ පිට්ටනිය මැද්දෙ ගහගන්න නං ගියේ නෑ… ඇදලා අරං බදාගෙන මචෝ කියලා කටපුරා කතා කළා… ඔන්න මාව ආයෙ පාරක් ෆ්‍රෙන්ඩ් කරලා ලැජ්ජ නැතුව..

බස් රේඩියෝවෙ කට්ටිය ඉස්පීකරවල සද්දෙ චෙක් කරන්න ගත්ත නිසා අපි උඩට ගිහින් පොඩි වටමේසයක් දාගෙන හිටියා.. පිටස්තරයා මල්ලියි තව තව කීප දෙනෙකුයි හිටියා…. අර මාරයාගෙ විවාහෙ ඇත්තක් කියලා දැන ගත්තෙත් ඒ වෙලාවෙමයි… ඒකත් ජයසිරි මංගලම් කිවුවලු…..

ඔන්න ඔහොම දේවල් යන අතරේ බ්ලැක් ‍මෝලියෙක් වගේ මල්ලි කෙනෙක් ඇවිත් ඌ ගෝල්ඩ් ෆිෂ් කියලා කියපි.. අන්න සහෝදරවරුනි ඒ ප්‍රතිරූපයත් බිඳ වැටුනා.. අඩවි රජා මල්ලි නං අඳුන ගන්න අමාරු වුනේ නැත්තෙ ෆේස් බුක් එක පුරාම ඇඩ් දාලා හිටපු නිසා ඒ වගේ ඩයල් එකක් ඕන කුණුගොඩක අඳුන ගන්න පුළුවන් වෙන්න මතක තිබුණ නිසා. හැබැයි ඒකව කඩේ යවපු එක නං වැරදියි…. මොනවා වුනත් නමට හරි රජෙක් නේ….

දවල් කන අතරේ අර ගෑණු ළමයි දෙන්නෙක් ගහ ගත්තා කියලත් ආරංචියක් ආවා… ලැජ්ජයි කියන්නෙ ලැජ්ජයි…. කට්ටිය ඒ ගැන ලියලා තියෙන නිසා මොනවත් ලියලා වැඩක් නෑ.. හැබැයි නංගිලා… බ්ලොග් එක කියන්නෙ ජීවිතේ නෙවෙයි… අහක යන බ්ලොග් එකකට දෙන්නෙක් ගහ ගන්නවා නම් තමුන්ගෙ මානසිකත්‍වය මොකද්ද කියලා ආපහු හැරිලා බලන එක හොඳයි…

ඉතිං අපිත් බනිස් කෑවා.. මාරයා නං හිටියෙ නිකං ඉතියෝපියාවෙන් ආපු එකෙක් වගේ…. බනිස්ම හයක් කෑව නෙ… තව බනිස් අතගාන්නත් කතාකළා මතකයි… වඩිවේලු අයියත් පොලීසියෙන් බේරිලා කැමරාවකුත් මානගෙන මානකොකා වගේ පින්තූර ගත්තා මතකයි… හැබැයි කැමරා තිබුණ ගාණට ඒ ගැන වාර්තා වෙච්ච පොටෝ ගාන නං මදි…. අවුරුදු කුමාරයා තේරීම සහ ජනගායනා නම් පංකාදු පහට තිබුණා.. ඒකෙ ගතිය වැඩිකළ ඕනයාට මගේ උපහාරය… ඔන්න ඔහොමයි කෙරෙන්න ඕන… ලබන වතාවෙ නිවේදන කටයුතු ඕනයාට බාර දිය යුතු බව මම යෝජනා කරනවා.

ඉතිං මේ සියල්ල මැද්දෙ මටත් අවස්ථාවක් ආවා සයිබරයේ හීන කුමාරිට තොප්පිය දාන්න.. ඒ වැඩේට මාව සෙට් කළ එකාට ස්තුතිවන්ත වෙනවා..  ඒත් කෝ යකෝ ඒ පොටෝ එක ?

ඔන්න ඔහොම අවසාන වුන අවුරුදු සැණකෙළියෙන් සමු අරන් සංතෝසෙන් ගෙදර ආවා… ඒකට ගිය එක ගැන නම් මම බොහොම සතුටු වෙනවා… ඉතිං ආයෙම දවසක හමු වෙමු….. නම් ලියැවුනේ නැති කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕන… දැං අපි වයසට යනකොට අමතක වීම් වැඩියි නෙ…

පින්තූර අනිත් අයගෙන් බලා ගන්න… මම පොටෝ මෝලක් ගෙන ගියේ නැත…

ඉතිං අඩුපාඩු සහ ගුණ දොස් ඉදිරියේදි ඇහෙන්න කියවන්න ලැබේවි… මම දැකපු අඩුපාඩුවකට තිබුණෙ සද්දෙ පාලනය ගැන පොඩ්ඩක් අවධානය යොමු නොකිරීම සහ එතැනට ආපු සියල්ලන් එකිනෙකා හඳුන්වාදීමට අවස්ථාවක් නොලැබීම. අපි බ්ලොග් ලිවුවට අපි හැමෝම සමාජශීලී නොවෙන්න පුළුවනි. ඒ නිසා හොඳ-ජනප්‍රිය බ්ලොග් එකක් ලියන කෙනෙක් වුනත් ඉදිරියට එනවා අඩුයි… නමුත් අපි හැම දෙනාටම තමන්ව අනිත් අයට හඳුන්වාදෙන්න කියලා අවස්ථාවක් දුන්නා නම් ඒක ලොකු දෙයක් වෙනවා. මම කියවපු බ්ලොග්වල හමු වෙන්න ආසකරන අය සමහර අය එතැනට ඇවිත් තිබුණා කියලා මම දන්නෙත් ෆේස් බුක් එකේ ෆොටෝ දැක්කාම….

 

අළුත් අවුරුදු පැතුම


සිතන සිතුම්

පතන පැතුම්

කරන කෙරුම්

සුභ වේවා

image005

ඇල්කෙමියගෙ

දිනපොත බැලු

ඔබ සැම හට

ජය වේවා !

පිටස්තරයා…………………. විසිහත්වන දිගහැරුම…………………


පිටස්තරයා…………. ඇරඹුමේ සිට සත්වන දිගහැරුම තෙක්

පිටස්තරයා…………. අටවන දිගහැරුමේ සිට  දහහතරවන දිගහැරුම දක්වා

පිටස්තරයා………….පහලොස්වන දිගහැරුමේ සිට  විසිඑක්වන දිගහැරුම දක්වා

පිටස්තරයා………….විසිදෙවන දිගහැරුම

පිටස්තරයා………….විසිතුන්වන දිගහැරුම

පිටස්තරයා………….විසිහතරවන දිගහැරුම

පිටස්තරයා………….විසිපස්වන දිගහැරුම

පිටස්තරයා………….විසිහයවන දිගහැරුම

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දැන් ඉතිං විශ්වට ආයෙම පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන් නේද ? නීල් විශ්ව දෙස බලාගෙන ඇසුවෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.

ඔව් නීල්, දැන් මට 100% ක් හොඳයි… ආයෙම අතපසු වුන වැඩත් එක්කම කරන්න පුළුවන් වේවි…

ඒක හොඳයි.. මොකද අපේ අළුත් පර්යේෂණය අත ගගා ඉන්න පුළුවන් එකක් නොවෙයි.. මේක වැදගත් වෙන්නෙ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම… ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නැවත වතාවක් විශ්වගේත් මොලීගේත් පර්යේෂණය පිළිබඳ විස්තර රාශියක් කියාගෙන ගියේ සමහර කරුණු විශ්වට අමතක වී ඇතැයි සිතා විය හැකියි. නමුත් ඒ සියල්ල විශ්වට හොඳින් මතක තිබුණා.

දැන් ඩෙනිස් කියන්නෙ අපට මේ පර්යේෂණය සඳහා ඒ ඒ ස්ථානවලට යන්න වෙනවා කියන එකද ?

ඔව්…. සමහරවිට අපට මේ පර්යේෂණයේ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණ සඳහා අදාල ස්ථානයටම යන්න සිදු වේවි. ඒකට අපට අදාල බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසාම අපට අපේ ආයතනය සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය බිඳ දමා වෙනත් ආයතනයකට සම්බන්ධ කරන්න සිදු වෙනවා. නාවික පර්යේෂණ ආයතනය මගින් වෙනත් රටක මෙවැනි පර්යේෂණයක් සිදු කරනවා කියන්නේ ඒ රටවල සැකය කෙළින්ම අප දෙස යොමු වෙන එකයි. නමුත් විශ්ව විද්‍යාලයක පර්යේෂණයක් විදියට මෙය සිදු කෙරුණොත් ඒ සැකය අප වෙත යොමු වෙන්නෙ නැහැ. අපි ඔබ දෙදෙනා යවන්නේ විශ්ව විද්‍යාලයක සිසුන් දෙදෙනකු විදියට.. අදාල ලියකියවලි සියල්ල අපි සූදානම් කරන්නම්.

ළඟදිම යන්න ඕන වෙයිද ? මොලී ඇසුවෙ ඒ සියල්ල අවසන..

නැහැ නැහැ… අපි දැනට සෑහෙන කාළයක් මෙහේම පර්යේෂණය සිදු කරගෙන යන්න පුළුවනි… නමුත් හරියටම ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල අගයයන් නිර්ණය කරන්න නම් අපට ඒ ස්ථානයටම යන්න වෙනවා.

කමක් නෑ.. මමත් මගේ ආචාර්ය උපාධි පර්යේෂණයට ඒ වගේ තැන් වලට ගිහින් තිබෙන නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් මට නම් නැහැ… පොඩ්ඩක් අමාරු ඒ ඒ පරිසරයට අනුගත වන එක… හරියටම මාස ගණනාවක කෑම්පින් ට්‍රිප් එකක් ගියා වගේ. එච්චරයි… වැඩියත්ම හොඳ දේ තමයි ඒ ඒ රටවල සංස්කෘතීන්ට බැඳෙන එක… සමහරු අපි දිහා බලන්නෙ සැකයෙන්.. ඒ සැකය දුරු කරගන්න හොඳම විදිය තමයි ඒ ප්‍රදේශවල මිනිස්සු එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම.. අන්තිමට අපට ඒ මිනිස්සු බොහොම ආදරයෙන් සලකන්න ගන්නවා….

හරි එහෙනම්.. අපි ඉක්මනින්ම වැඩ පටන් ගනිමු… අපි දන්නවා විශ්ව අනතුරට පත්වෙලා සිටි කාළෙ මොලී මේ පර්යේෂණයට අදාල ගණනය කිරීම් බොහොමයක් නිම කළ බව.. ඒ වගේම විශ්වත් අදාල පර්යේෂණ පත්‍රිකා කියවලා නිසි අවබෝධයක් ලැබූ බව.. ඒ නිසා මේ පර්යේෂණය තවදුරටත් පහු කරන එකේ තේරුමක් නැහැ… ආචාර්ය ලිපර්ඩ් සිය තට්ටය අතගාමින් පැවසුවා..

වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද ? අවසන නීල් ඇසුවේ සාකච්ඡාව නිමා කරන අටියෙන්…

නැහැ… මටනම් නැහැ… මොලීට නම් ප්‍රශ්න තියෙනවද දන්නෙ නෑ..

නැහැ… මටත් කිසි ප්‍රශ්නයක් නැහැ…

එහෙනම් අපි සතියකින් ආයෙම හමුවෙමු.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ දරුවා මොනවා කර ගනීද මම නම් දන්නෙ නෑ නීලා…….. සුමනසේකර මහතා දිගු සුසුමක් හෙළමින් සිය බිරිඳට පැවසුවා..

එහෙම හිතන්න එපා… ඒ දරුවා මොලේ ඇති දරුවෙක්…. එයා දැන් තමන්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න පුළුවන් වයසක ඉන්නෙ…. එයා දන්නවා කොහොමද ජීවත් වෙන්න ඕන කියලා… දැන් අවුරුදු හයක්ම තනියම ජීවත් වුන එකේ කිසිම කතාවක් අහන්න වැඩක් සිද්ධ කර ගත්තෙ නෑනෙ… ඉතිං අපි ඒ ගැන එච්චර කරදර වෙන්න ඕන නැහැ…. හැරත්, ඒ දරුවා අපි ගැන තියෙන ගෞරවේ බිංදුවක්වත් අඩු වෙලා නැහැනෙ… හැම සතියෙම කතා කරලා විස්තර අහන්නෙ.. හැම දේම කියන්නෙ අපට නෙ.. මම හිතන්නෙ නං මහත්තයා ඕනවට වඩා හිතනවා…. නීලා සුමනසේකර මහත්මිය එසේ පැවසුවේ සිය සැමියාට අවවාදයක් ලෙසින්.

මම දන්නවා නීලා…. සුදු පුතා ගැන මම හොඳට දන්නවා…. නමුත් මේ දරුවගේ ග්‍රහචාරය අනුව ඉස්සරහට උදා වෙන්නෙ නං සුභ කාලයක් නෙවෙයි. එකතැනක ඉන්න නොලැබෙන, කරදර වැඩි කාළයක්… මට බය ඒකයි..

ඔය ග්‍රහචාරෙ අල්ලගෙන හැමදාම ඔයා වද වෙනවා… දැන්වත් ඔය දරුවා ගැන විස්වාස කරලා ඔය අදහස් ටිකක් අඩු කරගත්තොත් හොඳ නැද්ද ?

ඔයා කොහොමද මේ සාත්තරේ වැරදියි කියන්නෙ නීලා. ? මම මස්සිනාට කිවුවා ඔය ගමන යන්න එපා මාරකයක් තියෙනවා කියලා.. ඇහුවද ? මං කියන දේ අහලා හිටිය නං සමහරවිට මස්සිනයි නංගියි දරුවයි තවමත් ජීවතුන් අතර…

මහත්තයෝ.. මැරෙන්න තියෙන මිනිහා වෙලාව ආවම කොහේ හිටියත් මැරෙනවා.. ඕක අපට නවත්තන්න පුළුවන් කාරණයක් නෙවෙයි.. මස්සිනා ලෝකෙ වටේම ඇවිදපු මනුස්සයා… ඔය කොහේ හිටියත් සමහරවිට ඔය තුන්දෙනාම ගෙනාපු ආයු කාලෙ ඉවර වෙන්න තිබිලා තියෙන්නෙ එකට… ඒකමනෙ සුදු පුතා ඔය ගමනට එකතු නොවුනෙ.. ඒකනෙ ඒ දරුවා බේරුණේ…

ඒ දරුවා බේරුණේ ඒක නිසා නෙවෙයි… ඒ දරුවගේ කේන්දරේ හරිම බලවත්, ඒ බලවත් කම නිසා ඒ දරුවට ඒ ගමන යන්න ඉඩ සැලසුණේ නැහැ.. ඒකයි.. දැන් වුනත් ඒ දරුවා මෙච්චර අනතුරකින් බේරුණේ ඒ බලවත්කම නිසා… නමුත් ඒ බලවත්කම තව දිග කාලයක් පවතින්නෙ නැහැ.. අන්න ඒකයි මම කරදර වෙන්නෙ.. නීලාට ඕවා තේරෙන්නෙ නැහැනෙ….

අනේ මන්දා…. මම නං ජෝතිශ්‍යය අවිස්වාස කරන්නෙ නැහැ… ඒ වුනාට ඉතිං අපි නොදන්න බලවේග කොච්චරක් මේ සක්වල ඇතුලෙ ඇත්ද ? අපි මොනවද දන්නෙ ? මගේ දැනුමෙ හැටියට තමයි මම මේ දේවල් විස්වාස කරන්නෙ….

දැන් ඉතිං අපිත් අනිද්දා යන්න ලෑස්ති වෙන්න ඕන… දැන් ඉතිං සුදු පුතාගෙ වැඩකටයුතු සෑහෙන්න එකලාසයක් වෙලා ඉවරයි නෙ.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඇත්තටම මේ පර්යේෂණයෙ අරමුණ අඩු ගුරුත්‍ව ක්‍ෂෙත්‍රයකින් සිදුවෙන කාර්ය භාරය සොයා ගැනීම විතරමද කියලා ඔයා හිතනවද මොලී ?

ඇයි විශ්ව එහෙම ඇහුවෙ ?

නැහැ…. මේ සිතියම අනුව අපට හොඳටම පේන දෙයක් තමයි අඩු ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර සියල්ලම තිබෙන්නෙ පහසුවෙන් ලංවෙන්න බැරි ස්ථානවල කියන එක… ඒ කියන්නෙ එක්කෝ මුහුද මැද, එහෙ

 

මත් නැතිනම් මහා කන්දක් මුදුනෙ… අපි මේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර ඇති තැනක ඉඳලා යානයක් ගුවන්ගත කරනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්.. එහෙනම්, මේ පර්යේෂණයෙ මූලික අරමුණ ඒක නෙවෙයි. නමුත් නීල් ම කිවුව විදියට අපට පුළුවනි මේ ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල ඇති ලක්‍ෂණ උපයෝගී කරගෙන අපේ අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීම වෙනස් කරන්න… මම හිතන විදියට මේ පර්යේෂණයේ මීට වඩා ලොකු අරමුණක් තිබෙනවා.

අරමුණ මොනවා වුනත් අපි මේ අපට දුන්න පර්යේෂණය හොඳින් කරන එක නේද විශ්ව අපි කරන්න ඕන ? සමහරවිට මේක අභ්‍යවකාශයානා තාක්‍ෂණයට අදාල කරගන්න පුළුවන් වගේම ගුවන්යානා තාක්‍ෂණයටත් අදාල කරගන්න පුළුවන් වෙයි. මම ඔයා නැතිව හිටි කාළයේ කරපු ගණනය කිරීම් ගොඩාක් තිබෙනවා පෙන්වන්න… යමු… සමහරවිට මේ ගණනය කිරීම් දැක්කාම ඔයාට මේ පර්යේෂණය පිළිබඳ හොඳ නිගමනයකට එන්න පුළුවන් වේවි.

විශ්ව මොලී සමඟින් ඇගේ කන්තෝරු කාමරය වෙත පියමැන්නා…

කවුද මොලී අර ඔයා එක්ක රෙස්ටෝරන්ට් එකේ කෑම කාපු පිරිමි දෙන්නා ? පර්යේෂණාගාරයේ කාමරයක සිට ඔළුව දැමූ මෙගන් විශ්ව සමඟ ගමන් කරන මොලීගෙන් විමසුවා….

 

මොන පිරිමි දෙන්න ද ? මොලී කිසිදු වෙනසක් නොපෙන්වා මෙගන්ගෙන් ඇසුවේ තරමක නොරිස්සුමකින්.

මොන පිරිමි දෙන්නද නෙවෙයි.. එදා බදාදා ඔයා දවල් කෑම කාපු දෙන්නා…. ඔයා හොඳට දන්න දෙන්නෙක් වගේ කතා කළේ නම්…

ආ… ඒ දෙන්නද ? ඒ විශ්වගෙ නවාතැන ලඟ ඉන්න දෙන්නෙක්…. පහුගිය දවස් ටිකේම මම විශ්වගෙ මාමයි නැන්දයි එක්ක එයාගෙ නවාතැනට යකකොට හඳුන ගත්තෙ… මම දවසක් ලින්කන් රෙස්ටෝරන්ට් එකට ගිය වෙලාවක දෙන්නා හම්බ වුනා… ඉතිං මම ඒ දෙන්නා එක්ක කෑම කෑවා.. විශේෂයක් නැහැ…. මම දැක්කෙ නැහැනෙ ඔයා එතැන ඉන්නවා.

ඔහොම තමයි සමහර වෙලාවට වටේ පිටේ අය පේනවා අඩුයි…. මෙගන් ඇනුම්පදයක් කියාගෙන එතැනින් යන්න ගියා.

මොකද මන්දා මෙගන්ට වෙලා තියෙන්නෙ… හැම නිතරම මාත් එක්ක පැටලෙන්නමයි බලන්නෙ…  මොලී නෝක්කාඩුවෙන් මෙන් පැවසුවා…. විශ්ව කිසිවක් නොකියා ඇය සමඟ ගොස් මොලීගේ කන්තෝරු කාමරයට ඇතුළු වුනා…

දැන් මේ තියෙන්නෙ ඉන්දීය සාගරයේ ගුරුත්‍ව සිතියමක්, ඔයා දන්නවානේ ඉන්දීය සාගරයේ අවම ගුරුත්‍වය ඇත්තේ ශ්‍රී ලංකාවට පහලින් කියලා… මෙන්න මෙතැනයි ප්‍රශ්නය තියෙන්නෙ.. අපට කවදාවත් මේ ස්ථානයට ලඟා වෙන්න අපේ පහසුකම්වලින් බැහැ… නමුත් මම ගණනය කරලා තිබෙන හැටියට මේ ස්ථානවල තිබෙන ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය සාමාන්‍ය ගුරුත්‍වය මෙන් සියයට අනූවකට වඩා අඩු වෙන්නෙ නැහැ. මෙය අපට නොදැනුනාට ගුරුත්‍ව මාපක වලට දැනෙනවා. මේ වගේමයි අධිගුරුත්‍ව ක්‍ෂෙත්‍රත්. ඒවායේ ගුරුත්‍වය වැඩි වෙන්නෙ නම් සියයට පහක් පමණ පරාසයක. මේ නිසා එයින් ඇතිවන බලපෑම අල්පයි.

ggm01_asia_full

මම මේ ගැන තව ටිකක් කියවලා බලන්නම්. ඔයාට පුළුවන් නේද ඔය ගණනය කිරීම් ටිකයි සිතියම් ටිකයි දත්ත ගබඩාවට දාන්න.. එතකොට මම මගේ පරිඝණකයෙන් ඒක බාගෙන තව ටිකක් හොඳට බලලා අපි මේ ගැන තව හොඳට විමර්ෂණය කරමු…

ඒක හොඳයි.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? : භෞතික රසායනය, ද්‍රව්‍යමය රසායනය සහ සිද්ධාන්ත රසායනය


භෞතික රසායනය – Physical Chemistry

භෞතික රසායනයෙන් කෙරෙන්නේ විවිධ භෞතික පද්ධතීන්, රසායනික පද්ධතීන්, රසායන විද්‍යාවේ මූලික හරයන්, සාධනයන්, නියම ආදියට අදාලව කෙරෙන හැදෑරීම් වේ. මේ බොහොමයක් ඍජුව සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ නොවුවත් වක්‍රාකාරයෙන් බොහෝ දෙනාට භෞතික රසායනය වැදගත් වෙනවා. භෞතික රසායනය යන යෙදුම මුලින්ම හඳුන්වා දුන්නේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කළ මිකායිල් ලොමනොසෙව් නම් රුසියානු විද්‍යාඥයා විසින්1752 දී. නමුත් නූතන භෞතික රසායනයට අඩිතාලම වැටුනේ 1860 ගණන්වල කෙරුණ තාපරසායනය (Chemical Thermodynamics), එන්තැල්පි සහ එන්ට්‍රොපි (Enthalpy & Entropy) ආදී විෂයයන් එක් වීමෙන්. භෞතික රසායනයේ දැවැන්තයන් ලෙස ගිබ්ස් (Josiah Willard Gibbs), වැන්‘ට් හොෆ් (Jacobus Henricus van’s Hoff), අර්හීනියස් (Svante August Arrhenius), ආදීන් මතක් වෙනවා. පශ්චාත් නූතන භෞතික රසායනය මේ මූලික සංකල්පවලින් බොහෝ දුරට අපගමනය වූ විශයයක්. එයට ක්වොන්ටම් රසායනය, ස්ථර හෝ යම් වස්තූන්වල මතුපිට පිළිබඳ හැදෑරෙන Surface Chemistry, සහ විවිධ පරමාණුක ගණනය කිරීම්, විවිධ උපකරණ ආශ්‍රයෙන් කෙරෙන පරීක්‍ෂණ ( IR, VU-Vis, Raman, EPR, Microwave, NMR – spectroscopies) ආදිය විද්‍යුත් රසායනය (Electrochemistry) ආලෝක රසායනය (Photochemistry) පදාර්ථයේ ඝණ අවස්ථා,(ලෝහ සහ අලෝහ පමණක් යොදා කෙරෙන ප්‍රතික්‍රියා) පිළිබඳ හැදෑරීම සහ නූතන තාරකා රසායනය (Astrophysics) ආදිය ඇතුලත් වෙනවා.

භෞතික රසායනය සාමාන්‍ය ජීවිතයේ දී වැදගත් වන ප්‍රධාන ස්ථානයක් වන්නේ නිවසක මුළුතැන්ගෙයයි. ලුණු පොල්කට්ටේ ලුණු කැට වෙනුවට ලුණු කුඩු පාවිච්චි කර ඉක්මනින් දිය කර ගැනීම, ඝණ වූ පොල්තෙල් රත් කර ද්‍රව කරගැනීම, ඉක්මනින් ගිණි දැල්වීමට කුඩා දර කැබලි පාවිච්චි කිරීම ආදී සරළ සංකල්ප අදාල වන්නේ මේ භෞතික රසායනයටයි. එසේම සබන් හෝ සෝදන කුඩු භාවිතාකර රෙදි සේදීමේදී කුණු අංශු ඉවත් කිරීමේ කාර්යය සිදු වන්නේ ඒ ඒ රසායන ද්‍රව්‍ය කුණු අංශු වටා “මිසෙල්ලාව“ නම් වූ ආකාරයට රොක් වී ඒ කුණු අංශු රෙදි වලින් ගලවා ගැනීම මඟින්. අප නොදැනුවත්වම භෞතික රසායනය මෙසේ අපේ ජීවිත වලට එකතු කරගන්නේ මෙහෙමයි.

ද්‍රව්‍යමය රසායනය – Materials Chemistry

මේ අංශය වැඩිපුරම අදාල වන්නේ ඉගැන්වීම් කටයුතු වලදීයි. සාමාන්‍ය ජීවිතයට එතරම් ප්‍රයෝජනවත් නොවුනත් ඒ ඒ පර්යේෂණ වලින් සොයාගන්නා දෑ අපට ප්‍රයෝජනවත් වන අවස්ථා එමටයි. දැන් දැන් භාවිතා වන පටක නිර්මාණය (Tissue Engineering) මෙම ද්‍රව්‍යමය රසායනයේ පර්යේෂණ වල ප්‍රතිඵලයක්. වාහනවල විවිධ කොටස් ගෙවී යාම හො ඒවා වැලැක්වීම, අභ්‍යවකාෂ ෂටලවල මතුපිට සහ අභ්‍යන්තර ද්‍රව්‍ය සකස් කිරීම වැනි භාරධූර කටයුතු මෙමඟින් කෙරෙනවා.  එසේම නැනෝ තාක්‍ෂණය වඩාත් නැඹුරු වන්නෙත් මේ අංශයටයි. මෙය ඉංජිනේරු විද්‍යාව පැත්තට බොහෝ නෑකම් කියන නිසා බොහොමයක් විශ්ව විද්‍යාලවල මේ අංශයේ ඉගැන්වීම කරන්නේ ඉංජිනේරු පීඨ වලයි.

සිද්ධාන්තමය රසායනය – Theoretical Chemistry

මේ අංශය නම් සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙනවා බොහොම අඩුයි. නමින්ම පෙනෙනවා සේම මේ අංශයට නැඹුරු වෙලා ඉන්නේ සිද්ධානත පිළිබඳ ඇල්මක් දක්වන මොළය බොහෝ වෙහෙසා කටයුතු කරන සුවිශේෂී පිරිසක්… ඔබත් ගණනය කිරීම් වලට ඇල්මක්, දක්‍ෂතාවයක් දක්වනවා නම් මේ පිළබඳ හැදෑරීම කලාට කමක් නෑ.. දැන් දැන් රසායනික පර්යේෂණ වලට යන මුදල් සම්භාරය වැඩි නිසා, බොහොමයක් රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන්නේ ගණනය කිරීම් මගින්. අදාල තත්ත්‍ව යටතේ සියළු දත්ත ලබා දී, රසායනාගාරයේ ප්‍රතික්‍රියාව සිදු කරන ආකාරය ලෙසින්ම ගණනය කිරීම් මගින් ඒ ඒ ප්‍රතික්‍රියාව සිදු වේද – නැද්ද යන්නත්, එසේ සිදු වනවා නම් එහි වූ යාන්ත්‍රණය කුමක්ද යන්නත් මෙවැනි ගණනය කිරීම් මගින් ලබා ගත හැකියි. ඒ නිසා අනවශ්‍ය ලෙස පර්යේෂණ සඳහා වැය වන මුදලත් කාළයත් ඉතිරි වෙනවා. විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදන සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් සිද්ධාන්තමය රසායනයේ පිහිට පතන්නේ සිය වියදම් අවම කරගෙන ලාභ වැඩි කර ගැනීමේ අපේක්‍ෂාවෙන්. එය එසේ වුවත් මෙවැනි අංශ සඳහා රැකියා වෙළඳපොලේ ප්‍රමුඛතාවය නම් බොහොම අඩුයි… ඒ රසායනඥයින් දහ දෙනෙකුගෙන් සිදු වන සේවය එක් සුපිරි පරිඝණකයක් මඟින් කර ගත හැකි නිසා.

ඉතින් අප මේ ලිපි පෙළෙන් රසායන විද්‍යාවේ විවිධ මානයන් ගැන කතා කළා… ඔන්න ඔහොමයි රසායන විද්‍යාව අපේ ජීවිත වලට වැදගත් වෙන්නෙ….

 

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? : කාබනික රසායන විද්‍යාව – Organic Chemistry


රසායන විද්‍යාවේ බොහෝදෙනා දන්න කොටස වන්නේ කාබනික රසායනයයි. කාබන් සංයෝග ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබීමත්, බොහෝ දෙනා කාබන් පිළිබඳ දන්නා නිසාත් මේ කාබනික රසායනය හැමදෙනාටම සමීප වන්නට ඇති. කාබනික රසායනය මේතරම් පැතිරී ඇත්තේ ඇයිදැයි කියන්න කාබන් පරමාණුවටම යන්න වෙනවා. කාබන් පරමාණුවේ දෙවන කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝණ 4 ක් පමණයි (2s2, 2p2).  මේ ඉලෙක්ට්‍රෝණ හතර තවත් කාබන් පරමාණුවක් සමඟ හෝ නයිට්‍රජන්, ඔක්සිජන්, හැලජන, හෝ වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝණ සමඟ සහ-සංයුජව බැඳෙන්න බොහොම කැමතියි. එපමණක් නොවෙයි සමහර ලෝහ සමඟත් බන්ධන තනන්න කාබන් බොහොම ලැදියි. ඒක හරියට අර සමාජයේ ඉන්න “කාගෙත් සුන්දරී“ වගේ…ඇය සමාජයේ හැමෝම සමඟ බන්ධන හදනවා වගේම ඇය හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ කාබන් සංයෝගත් ඒ වගේම හැමෝම අතරේ ජනප්‍රියයි.

කාබනික රසායනයේ සාරාංශය

කාබනික රසායනයේ සාරාංශය

කාබනික රසායනය ගැන කතා කරත්දි නිතැතින්ම කාබනික සංයෝග පිළිබඳ කතා කරන්න වෙනවා. කාබනික සංයෝග අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇල්කේන (CnH2n+2) වර්ගයි. ජීව වායුව නමින් හඳුන්වන මෙතේන් (CH4), ගෑස් සිලින්ඩර වල ඇති ප්‍රොපේන් (C3H8), ගුවන් යානා ඉන්ධන වන බියුටේන්(C4H10), කාබනික ද්‍රාවකයක් වන පෙන්ටේන්(C5H12), ආදී ලෙස මේ ඇල්කේන වර්ග කරන්න පුළුවන්. වාහන වලට යොදන පැට්‍රෝල්, ඩීසල්,  පාරට දමන තාර, මෙන්ම ඉටිපන්දම් තැනීමට යොදා ගන්නා පැරෆින් ඉටි ද මේ ඇල්කේන වලට අයත්. ඇල්කීන සාමාන්‍ය ජීවිතයේදී එතරම් භාවිතා නොවුනත් ඒවායින් තනන බහු අවයවික (Polymers) නම් බොහෝ තැන්වල ඕනවටත් වඩා භාවිතාවන්නේ පොලිතීන් (Poly-ethylene) නමින්. දැන් දැන් විවිධ ආකාරයේ පොලිතීන් වර්ග භාවිතා වන්නේ අධික තාපයට, හිරු රශ්මියට, විවිධ පාරිසරික සාධක වලට ඔරොත්තු දෙන ආකාරයට සැකසීමෙන්.

කාබනික සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් වලින්ම පමණක් සෑදුනක් නොවෙයි. ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් වැනි විද්‍යුත් ඍණතාවයෙන් කාබන් වලට සමාන පරමාණු සහ සංයුජව බැඳී විවිධ සංයෝග තනනවා. ඒ අතර සමහරුන්ට නැතිවම බැරි මද්‍යසාර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ මද්‍යසාරවල අඩංගු එතනෝල් (CH3CH2OH) විසින් ඒ අයට පෙන්වන අපූරු ලෝකය නිසාවෙන්. ඒ වගේමයි මෙතනෝල් (CH3OH) පානය කරලා වේලසනින්ම පරලොව යන අයත් අප අතර සිටිනවා. විශේෂයෙන්ම නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනයේදී මෙතනෝල් සහ එතනෝල් වෙන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කසිප්පු මුදලාලි ගමේ බණ්ඩයියට පොලිතීන් උරයේ දාලා දෙන්නේ මේ කාබනික සංයෝග දෙකේ මිශ්‍රණයක්. ඒ ආනුභාවයෙන් පරලොව යන බණ්ඩයියාව එම්බාම් කරන්න අවමංගල්‍ය ශාලාවෙදි භාවිතා කරන්නේ ෆෝමලීන් නොහොත් ෆෝමැල්ඩිහයිඩ් (H2C=O). ඊට පස්සේ බණ්ඩයියගේ මරණයේ වැඩකටයුතු වලදි සුදුකොඩි දාන්නේ පොලිතීන් වලින්, ඒ වගේම සෑය ගිණිගන්න දර වලට මිශ්‍ර කරන්නේ පැට්‍රල්. මෙන්න මෙහෙමයි රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න බණ්ඩයියාගේ ජීවිතයට රසායන විද්‍යාව වැදගත් වෙන්නේ.

ඒ විතරක් නොවෙයි. අපේ ශරීරයේ ඇති බොහොමයක් දෑ තැනී ඇත්තේ කාබනික සංයෝග වලින්. ප්‍රෝටීන, ලිපිඩ, රුධිරයේ අඩංගු හිමෝග්ලොබීන් වල ඇති සංයෝග ආදිය මින් ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ජීවයේ මූලික සංඝඨකය වන DNA අණුවේ සියළුම භෂ්ම වර්ග කාබනික සංයෝගයි. මේ නිසාම කාබනික රසායනය සහ කාබනික සංයෝග ජීවයේ උපත සහ ජීවය පවත්වාගැනීම කෙරෙහි දැඩි බලපෑමක් කෙරෙනවා. ඒවගේමයි, ජීවයේ විනාශයත් කවදා හරි වන්නේ කාබනික සංයෝග නිසාම තමයි. දැන් දැන් සීඝ්‍රයෙන් ඉහල යන කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය නිසා සිදුවන පාරිසරික විපර්යාස නිසාම ජීවය මෙලොවින් තුරන් වන්නට බැරි කමක් නැහැ. දැනට වැඩිවන වේගයෙන් කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වැඩි වුවහොත් වසර 2050 වනවිට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය දැනට ඇති මිලියනයකට කොටස් 390 සිට මිලියනයකට කොටස් 750 ක් (750 ppm) දක්වා වැඩි වන්නට පුළුවන්. මෙය සෞඛ්‍ය විද්‍යාත්මකව මිනිසාට එතරම් බලපෑමක් ඇති නොවුනත් ශාඛවල අධික වර්ධනයත් සමහර සතුන්ගේ (විශේෂයෙන්ම ඉකිරින් වැනි මුහුදු ජීවීන්ගේ) විකලාංග තත්ත්‍වයනුත් ඇති කිරීමට සමත්. ඒ වගේමයි මුහුදු මට්ටම ඉහල යාම සහ ධ්‍රැව අයිස් දියවීම, ඒ ප්‍රදේශ වල ජීවත්වන සතුන්ගේ වඳවීම ආදී එකිනෙකට බැඳුන බොහෝ අහිතකර දෑ සිදුවන්නට මේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් වගකිව යුතුයි. මේවා සිදුකෙරෙන්නේ මිනිසුන් වන අපේම අතින්…. ඒකයි වඩාත්ම කණගාටුදායක දේ.

කාබනික සංයෝගවල සිදු වූ දැවැන්තම විප්ලවය සිදු වන්නේ නැනෝතාක්‍ෂණය ලොවට හඳුන්වාදීම හරහායි. කාබන් නැනෝ ටියුබ් (Carbon Nano Tube, CNT) යනු කාබන් වලින්ම පමණක් තැනුන නැනෝමීටර (10-9 m) ගණනක් තරම් කුඩා නල විශේෂයක්. මේවා තනන්නේ විශේෂිත පෝරණු වර්ගයක් තුළ කාබන් සංයෝග වාෂ්පීකරණයෙන් සහ තැන්පත් කිරීම (Chemical vapor deposition) මගින්. මේ CNT වර්ග විවිධ කටයුතු සඳහා යොදා ගන්නවා, එපමණක් නොවෙයි දැන් දැන් විවිධ ලෝහ වර්ගද මේ CNT වලට මුසු කිරීමෙන් විප්ලවීය සොයාගැනීම් නිතිපතා ලෝකයට එක් වෙනවා. ලංකාවත් මේ අංශයෙන් තරමක් දායක වී තිබෙනවා. Sri Lanka Institute of Nano Technology – SLINTEC  ආයතනයේ මෙම නැනෝතාක්‍ෂණික පර්යේෂණ සිදුකෙරෙන්නේ ලාංකීය සංවර්ධනයට හැකි පමණින් දායක වෙමින්. ඒ වගේමයි කාබන් වලින්ම තැනුන ඉතා මෘදු මිනිරන් සහ කාබන් වලින්ම තැනුන දියමන්තිත් කාබනික රසායනයේ විශ්මයජනක නිර්මාණ වලින් වැදගත් දෙකක්.

අප සියළුම දෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින්න උපකාරී වන විවිධාකාර ඖෂධ වර්ගද අයත් වන්නේ මේ කාබනික රසායන ද්‍රව්‍ය ගණයටයි. ඒ වගේම සමහරුන් ලෙඩ කරවන විවිධාකාර මත් ද්‍රව්‍යද මෙයටම අයත් වන්නේ ලෝකයේ සමබරතාවය මොනවට කියාපාමින්. ලෝකය සුවකරන දෑ මෙන්ම ලෝකය විනාශ කරන විවිධාකාර පුපුරණ ද්‍රව්‍යයනුත් තැනෙන්නේ කාබනික රසායනයේ බලමහිමයෙන්. ඉතා සුමට සිනිඳු පොලිතීන් කොළයක් මෙන්ම වානේ මෙන් සවිබල ඇති කාබන් තන්තු තැනෙන්නෙත් එකම කාබන් මූලද්‍රව්‍යය උපයෝගී කරගෙනයි.

කාබනික රසායනය ඉතාම පුළුල් පරාසයක පැතිරී ඇති විෂයයක්. ඒ නිසාම ඒ පිළිබඳව කෙරෙන පර්යේෂණත් විශාල ප්‍රමාණයක්. විවිධ අංශ රාශියක් ඇති මේ කාබනික රසායනය ඉතාම සරවත් සහ සාරවත් විෂයයක්. ඔන්න ඔහොමයි කාබනික රසායනය අපට වැදගත් වෙන්නෙ…