කරන්ට් වැදුන ඔබට මෙන්න සහනයක්….. අත්දුටුවයි සත්තයි…. හරි ගියාම විදුලි ගාස්තුව ගෙවන්න…


කවුරු මොනවා කිවුවත්, මොනවා කරන්න උත්සාහ කළත්, උද්ඝෝෂණ, උපවාස සහ සාකච්ඡා පැවැත්වුවත්, ආණ්ඩුව විදුලි බිල ඉහළ දමා තිබේ. හිටපු ඇමතිතුමා කියන්නේ එය තමා නොකළ බවයි. වර්තමාන ඇමතිතුමිය ඒ ගැන කිසිත් නොදනී. දැනට දන්නා පරිද්දෙන් විදුලි බිල ඉහළ දමා තිබෙන්නේ ආර්ථික ඝාතකයා යැයි විමල් වීරවංශ ඇමතිතුමා විසින් හැඳින්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාය. ඒ මහතාට හිතු මනාපෙට විදුලිබිල ඉහළ දැමීමට නොහැක. ඒ මුදල් අමාත්‍යාංශයේ අදාල ඇමතිවරයා ජනාධිපතිතුමා වන නිසාය…

කෙසේ හෝ විදුලිබිල ඉහළ ගොස් ඇත. වැඩි වූ විදුලි බිලට සමගාමීව රූපවාහිනී නාලිකාවල සාකච්ඡා  ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. ඉන් එක් සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ තවත් මාස කිහිපයකින් ජනාධිපතිතුමාගේ හිත උණු වී මේ විදුලිබිල වැඩිවීම අහෝසි කරනවා හෝ අඩු කරනවා ඇතැයි කියාය. එය උතුරේ පලාත්සභා ඡන්දය කාලයේ සිදු වන්නට හැකි බව මගේ ජ්‍යෝතිශ්‍ය දැනුමට හැඟේ.. කෙසේ වුවත් එය අඩුවේද වැඩිවේද යන්න කිව නොහැක..

අඩු වුවත් වැඩි වුවත් ඒ දේ සිදුවී හමාරය.. සමහරු අපි විදුලිබිල ගෙවන්නේ නෑ කියා මුහුණු පොත ඉදිරියේ සිට පාරම් බෑවත් ඒ නිවෙස්වල විදුලි බිල ගෙවන්නේ ඔවුන්මද යන්න ද සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විදුලි බිල නොගෙවීමෙන් අනතුරුව කෙරෙන විදුලිය විසන්ධි වීමේ ඵලවිපාක දරන්නට සිදු වන්නේද පාරිභෝගිකයාටමය. නැවත විදුලිය ලබා දීමේදී අය කෙරෙන ගාස්තුව සහ හිග මුදල් ද ගෙවීමට සිදු වන්නේ ඔවුන්ටමය. අප සෑම විටම සිදු කරන්නේ අනුන් පිට වරද පටවා කෑ ගැසීමය. තම තමන්ගෙන් මේ සඳහා විය හැක්කේ කුමක්ද යන්න කිසිවෙකු අවධාරණය නොකරයි. මේ වෙනුවෙන් පෞද්ගලිකව අපට සිදු කළ හැක්කේ කුමක්ද ?

විදුලිය සහිත ලොවක ජීවත් වූ අප සැමට විදුලිය නොමැතිව ජීවත් වීමට හුරු වීම ඉතා අපහසු කාර්යයකි. නොදියුණු ගෝත්‍රික සමාජයන් සහ බටහිර වෙසෙන සමහර අන්තගාමී ආමිශ් ගෝත්‍රික සමාජයන් වැනි අයට හැරෙන්නට විදුලි බලයෙන් සිදුවන සහ සිදු කෙරෙන දෑ අතර දිවි ගෙවන අපට විදුලි බලය නොමැතිව දින කිහිපයක් ගත කිරීම අපහසුය. එසේ සිදු කළ හැකිනම් ඉතාම අගනේය. මේ නිසා විදුලිය නොමැතිව ගෙවන ජීවිතයක් පිළිබද විකල්පය සිහි බුද්ධියක් ඇති කෙනෙකු විසින් ඉවත දැමිය යුතුය. නමුත් විදුලි බිල පාලනය කිරීමට කළ හැකි දෑ බොහොමයකි.

විදුලිබිලේ වැඩිවීම

විදුලිබිලේ වැඩිවීම

විදුලිබිල වැඩිපුරම ඉහළ යන්නේ ඒකක 90 කට වඩා වැඩියෙන් භාවිතා කළ හොත් පමණි. සාමාන්‍ය නිවසක විදුලි ඒකක කීයක් පාවිච්චි වනවාද යන්න ඒ ඒ නිවසේ වෙසෙන සාමාජික සංඛ්‍යාව සහ ඔවුන්ගේ ජීවන රටාව මත රදා පවතී. නමුත් නිවසේ පාවිච්චි වන විදුලි ඒකක ගණන අඩු කර ගැනීමට පොදුවේ අපට කළ හැකි දෑ බොහොමයකි.

සාමාන්‍ය නිවසක දැල්වෙන විදුලි පහන් වර්ග තුනකි. ටංස්ටන් පහන්, ප්‍රතිදීප්ත පහන් (ටියුබ් ලයිට්) සහ සුසංහිත ප්‍රතිදීප්ත පහන් (CFL) වශයෙනි. මේ පහන් වර්ගවලින් වැඩිපුරම විදුලි ඒකක ප්‍රමාණයක් වැයවන්නේ ටංස්ටන් පහන් වලට වන අතර ඉතිරි දෙකෙහි විදුලි ඒකක ප්‍රමාණය පිළිවෙලින් ඉන් අඩක් සහ 1/3 ක් පමණ වේ. මෙවැනි විදුලි බල්බ කිහිපයක් දීර්ඝ කාළයක් දිනපතා පාවිච්චි කිරීමෙන් විදුලි ඒකක 90 ඉක්මවා යා හැකිය. දැන් දැන් වෙළඳපොලේ ප්‍රචලිත වෙමින් පවතින එල් ඊ ඩී (LED) විදුලි පහනක් සඳහා වැයවන්නේ ඉතාමත්ම අඩු විදුලි ප්‍රමාණයක් වුවත් ඒ විදුලි පහන්වල දැනට ඇති අධික මිල නිසා පාරිභෝගිකයෝ LED විදුලි පහන් මිලදී ගැනීමට මැලිකමක් දක්වති. කෙසේ වුවත් මසකට එක බැගින් හෝ ටංස්ටන් විදුලි බල්බයක් LED විදුලි බල්බයක් මගින්  ආදේශ කර ගතහොත් දීර්ඝකාලීන ඉතිරියක් සිදු කර ගැනීමට පැහැදිලි හැකියාවක් ඇත.

දැන් පවතින අධික රස්නය නිසාම බොහෝ දෙනෙකු රාත්‍රිය පුරාවට විදුලි පංකා ක්‍රියාත්මක කරගෙන නිදා ගැන්මට පුරුදු වී ඇත. තවත් සමහරු වායුසමන යන්ත්‍ර පවා භාවිතා කරති. සාමාන්‍ය විදුලි පංකාවක් මෙන් විසි තිස් ගුණයක් විදුලිය පරිභෝජනය කරන වායු සමන යන්ත්‍ර, නිවසක වැඩියෙන්ම විදුලිය වැයවන උපකරණයක් වේ. එසේම සීලිං විදුලි පංකාවකට වඩා මේස විදුලි පංකාවක් ලාභදායී වන බව බොහෝ දෙනා නොසිතන කරුණකි.

නාගරික නිවෙස්වල බොහෝවිට රෙදි සෝදා ගැනීම සිදු කෙරෙනුයේ රෙදි සෝදන යන්ත්‍රයක ආධාරයෙනි. සමහර රෙදි සෝදන යන්ත්‍ර පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක වේ. ඔබ රෙදි සෝදා ගැනීමේ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී අඩු වේලාවකින් රෙදි සේදෙන යන්ත්‍රයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. රෙදි වේලා ගැනීමට වේලා ගැනීමේ යන්ත්‍රයක් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක භාවිතය තරමක අණුවන ක්‍රියාවකි. එසේම රෙදි සෝදා වේලා ගැනීමෙන් අනතුරුව රෙදි මැදීම අත්‍යවශ්‍ය කාරණයකි. නිවසේ වෙසෙන සියළුම දෙනා අවම වශයෙන් දින තුනක් හෝ භාවිතා කරන රෙදි එකවර මැද ගැනීම මගින් විවිධ අවස්ථාවල රෙදි මැදීම සඳහා විදුලි ස්ත්‍රික්කය රත් කිරීමට වැය වන විදුලිය ඉතිරි කර ගත හැකිය. එසේම එමගින් නිවැසියන්ගේ කාර්යයන්ද කළමණාකරණය කර සැලසුම් කරගැනීමට මඟ පාදා ගත හැකිය.

අප බොහෝ විට අනවශ්‍ය උපකරණ නිවසේ ගොඩ ගසා ගෙන සිටීම දක්නට ලැබිය හැකි කරුණකි. රූපවාහිනී යන්ත්‍රයට සවි කෙරෙනු ලබන ඩී වී ඩී යන්ත්‍ර, ශබ්ධ වාහිනී යන්ත්‍ර (Home theater systems) ආදී දෑ නිසා ඒවා ක්‍රියාත්මක නොවුනත් කිසියම් විදුලිය ප්‍රමාණයක් වැය වේ. එසේම සාමාන්‍යයෙන් භාවිතා වන විදුලි උපකරණ පවා ක්‍රියාත්මක නොවන අවස්ථාවක වුවත් විදුලියට සම්බන්ධ වී ඇතිනම් ඒවායේ ඇති විවිධ කොටස්වලට විදුලිය වැයවීමක් සිදු වේ. මෙය සාමාන්‍ය විදුලි බිලෙන් 10% ක පමණ ප්‍රමාණයක් ලෙසින් ගණන් බලා ඇත. මසකට රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන නිවසකට මේ නිසා වැඩිපුර රුපියල් 200 ක් වැය වේ. පාවිච්චි නොකරන අවස්ථාවලදී ශීතකරණය හැරෙන්නට නිවසේ ඇති සෑම උපකරණයක්ම විදුලියෙන් විසන්ධි කර තබා ගැනීමෙන් සෑහෙන ප්‍රමාණයකට විදුලියක් ඉතිරි කර ගත හැකිය.

දැන් දැන් ඉලෙක්ට්‍රොණික නිශ්පාදන වැඩි වැඩියෙන් පර්යේෂණ මගින් වැඩිදියුණු වන නිසා ඒවායේ බලශක්ති කාර්යක්‍ෂමතාවය ඉහළ දැමීමට කටයුතු යොදා ඇත. Energy star ලෙසින් හැඳින්වෙන සළකුණ ඒ ඒ විදුලි උපකරණවලට ලබා දී ඇත්තේ ඒවා කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ බවට සහතික කර ඇති බවට පාරිභෝගිකයාට දැන්වීමටය. ඔබ Energy Star සළකුණ සහිත විදුලි උපකරණ භාවිතා කරන්නේ නම් ඔබේ විදුලි උපකරණ කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ තත්ත්‍වයක පවතී. එසේ නොමැති නම්, ඊලඟ වතාවක එවැනි උපකරණයක් මිලදී ගැනීමේදී Energy Star සළකුණ ඇති දැයි සොයා බලා මිලදී ගන්න.

නිවසේ අනවශ්‍ය විදුලිපහන් නිවා දැමීම, නිකරුණේ විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම නැවැත්වීම, අවබෝධයෙන් යුතුව නිවසේ කටයුතු සිදු කිරීම මගින් විදුලි බිලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව බොහෝ දෙනා දනිතත්, ප්‍රායෝගිකව එය සිදු කිරීමට අමතක වීම නිසාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා විදුලි ඒකක 30 ක් පමණ සෑම නිවසකම භාවිතා කෙරෙයි.

පෞද්ගලිකව අප මෙසේ විදුලි පරිභෝජනය අවම කරන අතරම, කාර්යාලයේ ද සේවය අවසානයේ පරිඝණක ක්‍රියා විරහිත කර පේනුවෙන් ගලවා දැමීම මගින් ඒ ඒ ආයතනයට සෑහෙන ප්‍රමාණයක විදුලි බලයක් ඉතිරි කර ගැනීමට හැකි වේ. සාමාන්‍ය අවස්ථාවලදී පවා පරිඝණකයේ තිරය මිනිත්තුවක් හෝ දෙකකින් අනතුරුව නිවා යාමට සැකසීමෙන් ද සැලකිය යුතු විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. කාර්යාලීය වායු සමනය කිරීමේ යන්ත්‍රය එක් අංශකයක් වැඩි කර සැකසීම මගින් විදුලි ඒකක විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි අතර සාමාන්‍යයෙන් එක් අංශකයක වෙනසක් දැඩි අපහසුතාවයක් ලබා නොදෙන බවද අවධාරණය කළ යුතුමය.

මාර්ගස්ථ විදුලි පහන් දිවා කාලයේ පවා දැල්වෙනු අපට නිතර දැකිය හැකි දසුනකි. එසේම බොහොමයක් මාර්ග ආලෝක කරණය සිදු වන්නේ තවමත් අකාර්යක්‍ෂම විදුලි පහන් භාවිතයෙනි. ඒ විදුලි පහන් කාර්යක්‍ෂම විදුලි පහන් බවට පරිවර්තනය කිරීම සහ ස්වයංක්‍රීයව දැල්වෙන ආලෝක සංවේදී ස්විච සවි කිරීම මගින් රාත්‍රී කාළය වනවිට හෝ ආලෝකය අඩුවන විට ස්වයංක්‍රීයව දැල්වෙන පහන් උදෑසන වනවිට ඉබේම නිවී යාම මගින් කාර්යක්‍ෂම විදුලි පරිභෝජනයක් සිදු කළ හැක.

දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ මෙන්ම රාත්‍රී ධාවන තරඟද පැවැත්වීමේදී මෙයට වඩා පුළුල්ව රටක් වශයෙන් සිතා බැලීමත් ඉතා වැදගත්ය. මේ තරඟ වලදී වැය වන්නේ ඒ ඒ ස්ථානවලදී වැයවන විදුලිය පමණක් නොවේ. රූපවාහිනී ඉදිරිපිට සිට ඒ තරඟ නරඹන ප්‍රේක්‍ෂකයෝද ඒ හා සමාන හෝ ඊටත් වැඩි විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරති. මේ පිළිබඳවද අදාල බලධාරීන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව ඝර්ම කලාපයේ දවසට අපම වශයෙන් පැය අටක්වත් සූර්යාලෝකය ලැබෙන රටකි. එවැනි රටකට ඇති මහඟුම බලශක්ති ප්‍රභවය වන්නේ සූර්යාලෝකයයි. මේ කරුණ සිතා බලා සූර්යකෝෂ සම්බන්ධිත විදුලි ජනනයට යොමු වීම දීර්ඝකාලීනව වාසි ලැබිය හැකි ක්‍රියාවකි. එය, ඇති හැකි පුද්ගලයින්ට පෞද්ගලිකව සිය නිවාසවලට සූර්යකෝෂ සවිකරගෙන ඒ මගින් දිවාකාලයේ විදුලි ජනනය කිරීමත් – ඒ ජනනය වන විදුලිය ප්‍රධාන විදුලි සැපයුමට ස්මාර්ට් මීටර මගින් සම්බන්ධකරගෙන ජනනය වන විදුලියට අයවන මුදල මාසික විදුලිබිලෙන් අඩුකරන ක්‍රමයකට යා හැකි නම් පාරිභෝගිකයා මීටත් වඩා විදුලිය අරපිරිමැස්මකට යොමු වෙනවා ඇත. එසේම රාජ්‍ය ආයතනවලද ගොඩනැගිලිවල වහලයන් මත සූර්යකෝෂ සවිකිරීම මගින් ඒ ඒ ආයතනවල විදුලිබිල තරමකට හෝ පාලනය කර ගැනීමට පිටිවහලක් වනවා ඇත.

විකල්ප බලශක්ති ප්‍රභව ගැන අවධානය යොමු කිරීමේදී කොළඹ නගරයේ සදාකාලිකව පවත්නා කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට ද පිළියමක් යෙදිය හැකිය. කොළඹ නගරයේ පමණක් දිනකට කුණු ටොන් 700 ක් එකතු වන බව රජයේ ඇමතිවරයෙකු විසින්ම පවසා තිබුණි. මේ කුණු ටොන් 700 න් විදුලි බලය ජනනය කිරීමට විවිධාකාර ක්‍රම තිබේ. කුණු පූතිභවනය නිසා ජනනය වන ජීව වායුව දහනයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ තාප බලාගාරයක් සහ ඍජුවම දහනය කළ හැකි අපද්‍රව්‍ය මගින් ක්‍රියාත්මක වන තාප බලාගාරයක් වශයෙන් එය භාවිතයට ගත හැකිය.

විදුලිබල මණ්ඩලය පවසන අන්දමට විදුලි බිල වැඩි වීමට හේතු වූයේ විදුලි බල මණ්ඩලයේ පාඩුව මඟහරවා ගැනීමටය. එසේ නම් ඒ පාඩු සිද්ධවන අංශ පිළිබඳ සොයා බැලීමක් සිදු කර ඒ පාඩු මඟහරවා ගැනීමට ක්‍රියා කිරීමෙන් අවම වශයෙන් ඉදිරි වසරවලදී හෝ මෙවැනි අගතිගාමී කටයුතු සිදු වන්නට ඇති ඉඩකඩ අවුරාගත හැක. එසේම තම උදරය ගැන නොසිතන, සුදුසුකම් ඇති අවංක සහ දක්‍ෂ කළමණාකරණ මණ්ඩලයක් පත් කිරීම මගින් මේ පාඩු පියවාගෙන කිසියම් ආකාරයක ස්ථාවරත්‍වයකට විදුලිබල මණ්ඩලය ගෙන ඒමට හැකියාවක් තවමත් ඇත. කොටුවේ විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ලේම සිදු වන විදුලිබල නාස්තිය සහ බලශක්ති නාස්තියෙන් පටන් ගෙන පාඩු ලබන අංශවල පාඩු අවම කරගෙන, අනාගත බලශක්ති අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය සැකසීමෙන් ඉදිරිය ආලෝකමත් වනු ඇත. නැතිනම් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමන අධිබල විදුලිසැර වැදීමෙන් අතරමගදී මරණයට පත්වනවා නියතය.

කළ හැකි දෑ බොහොමයකි. සාම්ප්‍රදායික සහ මහා පරිමාණ විසඳුම් වලින් මෙවැනි ප්‍රශ්නවලට පිළියම් සෙවීමට වඩා නව චින්තනයකින් සහ අළුත් ක්‍රම අත්හදා බැලීමේ Thinking outside the box ක්‍රමයේ විසඳුම් කරා යොමු වීමෙන් මේ ගැටළුවෙන් ගොඩ ඒමට අපට හැකියාවක් ලැබෙන බව මගේ විශ්වාසයයි.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අප්‍රේල් 25, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. //එය උතුරේ පලාත්සභා ඡන්දය කාලයේ සිදු වන්නට හැකි බව මගේ ජ්‍යෝතිශ්‍ය දැනුමට හැඟේ.. කෙසේ වුවත් එය අඩුවේද වැඩිවේද යන්න කිව නොහැක..//

    දකුණු ගොබ්බයො වගේ උතුරේ උන්ව ඕවයින් අන්දන්න බෑ ම් යුද්ධ දිනුවට ප්‍රභාකරන්ල අවුරුදු 30ක් තිස්සේ හදපු (අපේ අයගේ උදව්වෙන්ම තමා ) ඔලු ගෙඩි වෙනස් වෙන්නේ නෑ . උතුර දිනන්න නම් වෙනම ක්‍රමයක් ඕනි වෙනවා . ලොක්කා ඒවට ලැසිති වෙලාම තමා ගේමට බහිනවා ඇත්තේ

    ලයිට් බිලට ආවොත් – මොන දේ කලත් මට නම් 90න් පහල යන්න බෑ , කථාව ඇරෙන්න අනික් බොහෝ දේවල් දැනටත් ක්‍රියාත්මකයි . නොදන්නා දෙයක් – සුර්ය කෝෂ වලට හොඳට අව්ව වැටිලම තියෙන්න ඕනිද , නැත්නම් වැස්ස වෙලාවක උනත් තියන සුර්යාලෝකය විතරක් ප්‍රමාණවත්ද ?

    කැමතියි

  2. ලිපිය නම් ගොඩක් අගය කරනවා ඇල් ..ඒත් වැඩේ තියෙන්නේ
    කොහොම කරත් 4 දෙනෙක් ඉන්න ගෙදරක ඒකක 90 ව පනිනවා
    පනිනවාමයි ..ඇත්තටම ආණ්ඩුවේ උවමනාවත් ඒකමයි …

    නැත්නම් 130 වගේ ඔය සීමාව දාන්න තිබ්බා …

    කැමතියි

  3. කාලිනව ඉතාමත්ම වැදගත් ලිපියක් ඇල්….90ට අඩුවෙන් තියාගන්න නම් බොහොම අමාරුයි..ස්තුතියි..

    කැමතියි

  4. කොහොම කරත් ‍අපේ වාගේ පොඩි ගෙදරක උනත් 90 පණිනවා. වැඩිපුරම තියෙන්නේ එහෙම ගෙවල් . මේක අපිවම ඉලක්ක කරලා හදපු සූත්තරයක්, මෙයාලව පත් කරන්න චන්දය දුන්නෙත් ඒකක 90 ක් පාවිච්චි කරන ජනතාව . අන්තිමට උන්ටම දුන්නා වැඩේ

    කැමතියි

  5. නියම ලිපියක්.
    ඔය වගේම වැඩැපුර විදුලිය වැයවෙන දෙයක් තමයි හොට් ප්ලේට් සහ ගිල්වුම් තාපක (හීටර්). ඒවත් භාවිතය අඩුකරගන්න පුලුවන්නං විදුලි බිල ගොඩක් අඩුකරගන්න පුලුවං වෙයි.

    කැමතියි

  6. ඉතාම වැදගත් ලිපියක් ඇමතිවරිය කියවාවිද ? ඇල්! මේ අය විකල්ප මාර්ග සොයන්නේ නෑ. ඒ සෙවුවත් එයාලගේ අයටම වාසි ලැබෙන ලෙස කරාවි. මහජනයා ගැන බලන්නේ නෑනෙ. අපටත් අද දරන්න නම් බෑ මේ දැනට ලැබෙන බිලත්. ඉතින් ඉස්සරහට කවර කතාද?

    කැමතියි

  7. මම නම් කියන්නේ ඔය කියපු විකල්ප මාර්ග ඔක්කොම ආන්ඩුව දන්නවා…විශේෂයෙන් කුනු ප්‍රශ්නේ…ඒක කලොත් තව රැකියා අවස්ථා කොච්චරක් ලැබෙනවද??? අපිට මිලියන ගනන් ඉතුරු කරන්න පුලුවන්….නමුත් ක්‍රියාවට නංවන්නේ නෑ…මොකද කුට්ටිය නැති වෙන නිසා….නැත්නම් තවත් ගල් අඟුරු ගිනි ගනන් දීලා ගෙන්වද??? මුලු පාර්ලිමෙන්තුව හැඳි ගාවිලා ගියොත් ඔන්න ඇල්කෙමියාට පුලුවනි ලබන පාර ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය ටික කරන්න…ලියද්දි මැවිලත් පේනවා…

    කැමතියි

  8. ඇල්… විදුලි බිල අඩුකරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ… සූර්ය කෝෂ භාවිතයට හුරු වෙන්න පුළුවන් නම් වසර පුරාම හිරු එළිය තියන අපේ රටවල් වලට ඒක ලොකුම ලොකු සහනයක්. ඕස්ට්‍රේලියාවේ මේ ව්‍යාපෘතිය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක උනා. ඒ වගේම කාලසීමාවක් ඇතුලත සූර්යකෝෂ වලට මාරුවෙන්නන් හට විශේෂ වට්ටම් සහ දීමනා දුන්නා. සූර්යකෝෂ භාවිතාකරන්නන්ට පුළුවන් තමන්ගේ අතිරික්තය ප්‍රධාන විදුලි සැපයුමට එක කරන්න. ඒකට ගෙවීමක් කරනවා.

    එවැනි විකල්ප මිස, මිනිසුන්ගේ ජීවන රටාව විදුලිබිල මත තීරණය වෙන විකල්ප ගැන නම් මගේ පැහැදීමක් නැහැ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: