දිය මතුපිට රබර් බෝල……………………… කෙටි විද්‍යා ප්‍රබන්ධය


“මහාචාර්යතුමා…. තමුන්නාන්සෙට උගත්කම තිබුණට මොළේ කඳුලක්වත් නැති මිනිහෙක්….”

නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය නාරද වෛද්‍යසේකර මහතාට කළකිරුණු හැඟීමක් මුහුණට ආරූඪ කරගෙන දොස් නැඟුවේය.

“මම කිවුවෙ ඇත්ත මිස්ටර් ජයසේකර…”

“මිස්ටර් ජයසේකර ? තමුන්නාන්සෙට මම කියලා තියෙනව නේද මට මිස්ටර් ජයසේකර කියලා කියන්න ඕන නෑ කියලා… එක්කෝ ඇමතිතුමා කියනවා… නැත්තං සර් කියනවා අනිත් මිනිස්සු වගේ…..”

දහය ශ්‍රේණිය පමණක් සමත් මැර බලයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ආ නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා  ලොව පුරා රටවල් රාශියක විවිධාකාර උසස් තනතුරු දැරූ මහාචාර්ය වෛද්‍යසේකර වෙත නිර්දය ලෙස කඩා පැන්නේය….

“මම තමුන්නාන්සෙ මේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට බඳව ගත්තෙ ජනාධිපතිතුමියගෙ උවමනාවට මිසක් මට උපදෙස් ගන්න නෙවෙයි… මට උපදෙස් ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා… තමුන්නාන්සෙගෙ පර්යේෂණයෙ ප්‍රතිඵල ඕන කෙනෙකුට පෙන්වගන්න… මට ඔය පර්යේෂණයෙන් ලාභයක් නෑ.. මට ලැබෙන්නෙ පාඩුවක් විතරයි… මම තමුන්නාන්සෙට කිවුවෙ නෑනෙ ඔය පර්යේෂණය කරන්න කියලා.. තමුන්නාන්සෙ පත් කළේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න…. මේ පර්යේෂණය ඕකට අදාල නෑ…”

“එහෙම කියන්න එපා ඇමතිතුමා.. මේ නිසා රටට කොච්චරක් කියලා සල්ලි ඉතිරි වෙනවද ?”

“රටට සල්ලි ඉතුරු කරලා කාටද හලෝ හරි ගියේ ? බලනවා.. තමුන්නාන්සෙ අවුරුදු හතරක් විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන.. තවත් අවුරුදු ගානක් ආචාර්ය උපාධිය කරලා… රට රටවල ගිහින් වැඩ කරලා.. මොනවද හම්බ කළේ ?  ආ ? අඩුම ගානෙ ඉන්න ගෙයක්වත් තියෙනවද ? පාරට පැස්සම මිනිස්සු තමුන්නාන්සෙ අඩුම ගානෙ කවුද කියලවත් දන්නවද ? මොකද්ද තියෙන පිළිගැනීම ?”

“බලනවා.. මම පාරට බහින්නෙ ආරක්‍ෂකයො පිරිවරාගෙන… කිසිම සාමාන්‍ය මිනිහෙකුට මගේ ළඟටවත් එන්න බෑ ඒ අයගෙ අවසරයක් නැතුව… පාරෙ යනකොට අනිත් වාහන ඔක්කෝම අයින් කර ගන්නවා මම එනකොට.. ටී වී එකේම මගේ ගැන කී පාරක් කියනවද ? ලංකාවෙම මිනිස්සු මගේ නම කිවුව ගමන් කවුද කියලා දන්නවා… මම කාගෙන් හරි උදව්වක් ඉල්ලුවාම ඒ මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුව.. හරි සර්… මොනවද වෙන්න ඕන කියලා අහනවා…. බලනවා… ඔය කියන එක දෙයක්වත් තමුන්නාන්සෙට තියෙනව ද ?”

“ඔන්න ඕකයි මහාචාර්යතුමා මම තමුන්නාන්සෙට කියන්නෙ….. උගත්කම තිබුණට මදි… ඒක හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන්න ඕන…. තමුන්නාන්සෙට මොළේ නෑ…… මට උගත්කම නෑ… කවුද දිනුම් ?”

මහාචාර්යවරයා නිරුත්තර විය.. ඔහුට සිය සගයෙකු විසින් සුහද හමුවකදී පැවසූ යමක් මතක් විය..

“නාරද…. මෝඩයොත් එක්ක වාද කරන එක පරිස්සමින් කරන්න… මොකද උන් අපිව උන්ගෙ තත්ත්‍වයට අරගෙන බිමට දාලා අපට ගහන්න යනවා.. අපි ඒ තත්ත්‍වයට ගියාම අපි අසරණයි… මොකද අපට මෝඩයෝ වගේ හිතන්න බැරි නිසා.. ඔය උපදේශක තනතුර ගත්තට කමක් නෑ… නමුත් ඕකෙ අවදානම හොඳට හිතට අරගෙන වැඩ කරන්න… ඔයා වැඩ කරන්නෙ කාටද කියලා හොඳට මතක තියාගන්න… මෙතන තියෙන්නෙ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්….”

“ඔබතුමා දිනුම්… හරි… මම මේ පර්යේෂණය නවත්වන්නම්….”

“නැවැත්තුවට කමක් නෑ.. මේවා ඉහළ තැන්වලට යවන්නෙ නැතුව… මොකද අපිට බොහොම සමාදානෙන් මෙතන වැඩ කරන්න තියෙන අවස්ථාව නැති කරගන්න ඕන නෑනෙ.. ඔබතුමාට අවශ්‍ය නම් මම අළුතෙන් වාහනයක් ගන්න කටයුතු කරවන්නම්… දැන් පාවිච්චි කරන වාහනෙත් ඉතිං පරණයිනෙ… ආණ්ඩුවට කියන පරක්කුවෙන් වාහනයක් ගෙන්වලා දෙන්න පුළුවන්… “

“කමක් නෑ ඇමතිතුමා… මේ තියෙන වාහනේ මට හොඳටම ප්‍රමාණවත්…. මම ඉතිං වයසක මනුස්සයා… රෝද හතර හරියට කැරකුණාම ඇති…”

“ඕකනෙ කියන්නෙ මහාචාර්යතුමා… ඔබතුමාට හිතන්න බෑ කියලා… පින නෑ… පින නෑ… කමක් නෑ… අපි සහයෝගෙන් කටයුතු කරමු…. ඔන්න ඔය පර්යේෂණේ නවත්තලා දාන්න… මම වාහනයක් එවන්නම්…… අමාත්‍යාංශෙට අළුතෙන් ජීප් දෙකතුනක් ආවා…. අළුත් ජීප් එකක යනකොට ඉතිං ඔබතුමාටත් ගතියක් තියෙනව නෙ…”

“ඇමතිතුමාගෙ කැමැත්තක්…”

෴෴෴෴෴

මහාචාර්යවරයා නිවසේ ආලින්දයේ හාන්සි පුටුවේ සිට සිවිලිමේ කොටු ගණන් කරන අතරතුර ඔහුගේ බිරිඳ,

“මොකද නාරද දාහට අරන් සීයට දීල වගේ ?  මොකද ? අදත් ලෙඩක්ද ?”

“එහෙමමත් නැහැ ශීලා…නමුත්, මම හිතන්නෙ අපි මෙහාට ආපු එකෙන් කර ගත්තෙ ලොකු වැරැද්දක්… හිටපු විදියට ජපානෙට වෙලා හිටිය නං.. අඩුම ගානෙ හිතට සැනසීමෙන්වත් ජීවත් වෙනවා.”

“ඉතිං මහ ලොකුවට ඔයාමනෙ උඩ දාගෙන ආවෙ…. ඉගෙන ගත්ත රටට සේවය කරන්න ඕන කියලා…. විශ්‍රාම ගියාට පස්සෙ ලංකාවට ඇවිත් වැඩ කරනවා කියලා ඔයාම නෙ තීරණය කළේ…. මම ලොකු දුවගෙන් අහන්නද අපි ආයෙම එයා ගාවට එන්නද කියලා ? ඔයාට වැඩ හොයා ගන්න අමාරු මනුස්සයෙකුත් නෙවෙයි නෙ…”

“එපා ශීලා… තව ටිකක් බලමු…. මම කවුරු කිවුවත් මේක දිගටම කරගෙන යනවා… අපි දැන් අපට අයිති නැහැ.. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නෙ.. ඒ ටිකේ අපි මේ රටට යමක් කරන්න ඕන… මම ලෝකෙටම වැඩ කළත් මේ රටට යමක් කළේ නැහැ…. කවුරු මොනවා කිවුවත් මේ රට පිං බිමක්…. අපට පුළුවන් මේ රට හදන්න… මට හොඳටම විශ්වාසයි මේ පර්යේෂණයෙන් සෑහෙන දෙයක් රටට කරන්න පුළුවන්…”

“මොනවා කළත් කමක් නෑ… පරිස්සමින්… ඔයා වැඩ කරන්නෙ සෑහෙන සල්ලි පාවිච්චි වෙන තැනක… මේක පිටරට වගේ නෙවෙයි.. ඒ රටවල අඩුම ගානෙ නීතියවත් තියෙනවා පිහිටට. මේ රටේ සල්ලිවලට කරන්න බැරි දෙයක් නැහැ…. ඒ නිසා ඔයාගෙ වැඩ ගැන පරිස්සම් වෙන්න… මම අළුතෙන් ඔයාට මතක් කරලා දෙන්න ඕන නැහැනෙ බ්‍රසීලෙදි වුන දේ ?”

මහාචාර්ය නාරද වෛද්‍යසේකරට බ්‍රසීල ඛණිජ තෙල් පර්යේෂණාගාරයේ ප්‍රධාන විද්‍යාඥ තනතුර ලැබුණේ ඔහුගේ කීර්තිමත් පර්යේෂණ ඉතිහාසයට පින් සිදු වන්නටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් බලශක්ති කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් හෙතෙම ඉන් අනතුරුව වසර අටක්ම සේවය කළේ ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ බලශක්ති පර්යේෂණ අංශයේ ය. වසරින් වසර සේවයේ ඉහළට ගිය ඔහු වසර අටක් ඇතුලත මහාචාර්ය තනතුරට උසස් විය… ඔහුගේ පර්යේෂණ සඳහා බොහෝවිට මූල්‍යමය ප්‍රතිපාදන ලැබුණේ ටෙක්සාස් හි ශෙල් ගෑස් ආයතනයේ පර්යේෂණ අරමුදලිනි. .. එසේම ඒ අරමුදල් ලබා දීමේ එක් කොන්දේසියක් වූයේ ඒ මුදල්වලින් කෙරෙන ඔහුගේ සොයාගැනීම් වල පේටන්ට් අයිතිය ශෙල් ගෑස් සමාගම සතුවීමයි. මුලදී මුදල් හිඟකම නිසා එයට එකඟ වූවද, පසුව කීර්තිය සහ තනතුරු ඔහු කරා පැමිණෙන විට ශෙල් ගෑස් සමාගම හා තිබූ ගිවිසුම් අවලංගු කරන්නට ඔහු කටයුතු කළේය… එය විරසකයක ආරම්භය විය… හූස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අරමුදල් සපයන්නා වන ශෙල් ගෑස් සමාගමේ බලපෑම මතම මහාචාර්ය නාරද වෛද්‍යසේකර හූස්ටන් වලින් පිටකිරීමට විශ්ව විද්‍යාල බලධාරීන්ට සිදු විය… එයට සුවිශාල වන්දියක් ලැබුණත්, ඒ සියල්ල සිය දරුවනට බෙදා දී ඔහු නැවතත් සිය පර්යේෂණ කටයුතු සඳහා බ්‍රසීලය තෝරා ගත්තේය.

ඒ සමය උක් වගාවෙන් සරුසාර වූ බ්‍රසීලයේ එවකට පැවති පාලනය ඛණිජතෙල් භාවිතය අවම කර උක් සාරයෙන් ලබා ගන්නා එතනෝල් භාවිතයෙන්  රථවාහන ධාවනයට කටයුතු කළ කාළයයි. බ්‍රසීලයේ වූ ඛණිජතෙල් සමාගම් මේ පර්යේෂණ වලට දැඩි ලෙස අකුල් හෙලන්නට විය… සමහර අවස්ථාවලදී මැරයන් විසින් එල්ල කළ මරණීය තර්ජන හමුවේ බොහෝ පර්යේෂකයින් බ්‍රසීලය හැර දමා ජීවිතය බේරා ගන්නට රටින් පිට වූහ… කවදත් සිය රාජකාරිය දේවකාරිය ලෙසම සළකන මහාචාර්ය නාරද ජයසේකර ඒ කිසිදු තර්ජනයකින් නොසැලී සිය කාර්යය නිසි ලෙස කරගෙන ගියේ, රජයෙන් ලැබුණ සහයෝගය තමන් දැඩිව විශ්වාස කළ බැවිනි. ඒ අනුව ප්‍රථම වතාවට සියයට සියයක් එතනෝල් භාවිතයෙන් රථ ධාවනය කිරීම මගින් ලැබෙන ආර්ථික සහ බලශක්ති ප්‍රතිලාභය ඔහු ලෝකයට හඳුන්වා දුන්නේය… මේ නිසාම බොහෝ රටවලින් පැසසුම් ප්‍රශංසා සහ සම්මාන පිරිණැමුනද, ඔහු බලශක්ති සමාගම්වල ප්‍රධාන හතුරා බවට ද නිතරඟයෙන් පත්විය… අවසානයේ ඒ නිසාම ජීවිතය රැක ගැනීම සඳහා ඔහු කිසිවෙකුට නොදන්වා ජපානයට පැමිණියේ අප්‍රකට ජීවිතයක් ගත කිරීමේ අටියෙන් වුවත්, නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳුන පසු නැවතත් ජීවිතය වෙනස් වන්නට විය. එහි වූ ශ්‍රී ලාංකික උත්සවයකදී හමු වූ සිය පැරණි සිසුවෙකු මාර්ගයෙන් ලාංකික රජයට ඔහුගේ තොරතුරු දැනගන්නට ලැබිණ.. එවකට රට වටා ඛණිජතෙල් සම්පත් හමු වෙද්දී, ජනාධිපතිනිය විසින් ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඛණිජතෙල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කරන ලදී. ඛණිජතෙල් සංවර්ධන අමාත්‍යාංශය ඇය සතුව තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයෙක් පමණක් පත් කර එය පාලනයට කටයුතු කළද, නියෝජ්‍ය ඇමති සරත් ජයසේකර විසින් අමාත්‍යාංශය පුරා සිය බලපරාක්‍රමය විහිදවාගෙන සියල්ල පාලනය කරමින් සිටියේය. ජනාධිපතිනිය විසින් පත් කළද, මහාචාර්ය වෛද්‍යෙස්කරට කිසිදු බලයක් නොමැති වූයේ ඔහු නියෝජ්‍ය ඇමතිවරයාගේ අණසකට යටත්ව සිටිය යුතු නිසාය.

“මම දන්නවා ශීලා…. කොයි රටෙත් පොලිටීශියන්ස් ලා එකම වගේ…. තමන්ට වාසියක් වෙනව නම් අම්මා තාත්තා උනත් උගස් තියයි. මෙහෙයි කියලා වෙනසක් නෑ… මට නම් දැන් එපා වෙලා.. නමුත් මාත් එක්ක වැඩ කරන පොඩි එවුන් ටික රටේ හොඳම මොළ ටිකක්.. උන් ටිකවත් අඩුම ගානෙ හොඳ තැන් වලට යවලා මම මෙතැනින් අයින් වෙන්නයි ඉන්නෙ… ඊට ඉස්සර තව කරන්න වැඩ ටිකක් තියෙනවා… උන්ට සුදුසුකම් හදා ගන්න මේ පර්යේෂණය කොහේ හරි පබ්ලිෂ් කරන්න ඕන.. ඊට පස්සෙ අපි යමු..”

“ඔයා ඔය දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා…. දන්නවනේ මෙහේ මිනිස්සුන්ගෙ හැටි… අපට ලොකු දුව දැන් කී පාරක් කියලා තියෙනවද එහේ එන්න කියලා… ඔයාට මොනෑෂ් වලම මොකක් හරි හොයා ගන්න පුළුවන්….”

“ඉන්න ශීලා… අපි තව ටිකක් බලමු… අර මනුස්සයා එහෙම කෑ ගැහුවට මම ආයෙම කතා කළාම සමහරවිට මේකට කැමති වෙන්න පුළුවන්…”

“ඔයාගෙ මහා කරුණාව නිසා තමයි අපි අමාරුවෙ වැටෙන්නෙ… එක පාරක් යන්තම් නොමැරි බේරුණා… මේ පාර මොනවයින් මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.”

“දෙයියො මේ ලෝකෙ ඉන්නව නං මෙහෙම දේවල් වෙන්නෙ නෑ ශීලා…. මම කියලා තියෙනව නෙ මාත් එක්ක දෙයියො ගැන කතා කරන්න එපා කියලා… අපි බලමු… හැම දේටම වෙලාවක් එයි…”

“මම දන්නෙ නෑ නාරද….. කරන දෙයක් පරිස්සමින්….” අවසානයේ ශීලා වෛද්‍යසේකර මහත්මිය පුටුවෙන් නැගිට කාමරය කරා පා නැඟුවේ සිය සැමියාගේ මුරණ්ඩුභාවය ගැන කණස්සල්ලක් ද සමඟිනි.

෴෴෴෴෴

බ්‍රසීලයෙන් අතුරුදහන් වූ මහාචාර්ය නාරද ජයසේකර නතර වූයේ ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය ධූරයක වැඩ භාර ගැනීමෙනි. ෆොසිල ඉන්ධන මතම යැපුණ ජපාන ආර්ථිකයේ බලශක්ති සමතුලිතතාවයේ වෙනසක් කිරීමට ජපාන රජය කටයුතු කරමින් සිටි කාළයේ ජපානයට මහාචාර්ය නාරදගේ පැමිණීම දෙආකාරයකින් ආශිර්වාදයක් විය. බලශක්ති කළමණාකරණය පිළිබඳ ඔහුගේ හසළ දැනුමත්, ඉංජිනේරු වරයෙකු වශයෙන් බලශක්ති පරිවර්තනය පිළිබඳ වූ සුවිසල් ඥාණ සම්භාරයත් නිසා ඔහු ඉල්ලූ වේතනයටත් වැඩි වේතනයක් සහිතව නගෝයා විශ්ව විද්‍යාලයට මහාචාර්ය නාරද බඳවා ගත්තේ ඔහුගේ වටිනාකම දන්නා නිසාමය. එතැන් පටන් මහාචාර්යවරයා කටයුතු කළේ කසළ කළමණාකරණයෙන් පිටවන ජීව වායුව භාවිතයෙන් මෝටර් රථ ධාවනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීම උදෙසා කරන පර්යේෂණ සිදු කිරීම පිණිසය. මේ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට සහ අවශ්‍ය වූ මෝටර් රථ සහ ඉංජිනේරු ශිල්පීන් සහ උපකරණ සියල්ලම ලබා දීමට ටොයොටා සමාගම එකඟ වීමත් නිසා මහාචාර්ය වරයාට සම්පත්වලින් කිසිදු හිඟයක් නොවීය… බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙන බලශක්ති කෝෂ (Fuel Cell) තාක්‍ෂණයට වඩා කෙළින්ම ජීව වායුව දහනය සඳහා වාහනවල එන්ජිම වෙනස් කිරීම සහ ක්‍රමාණුකූල ඉන්ධන නිකුතුව මඟින් බලශක්ති උත්පාදනය උපරිම කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ඉක්මනින්ම ජීව වායුව දහනයෙන් වාහන ධාවනය පිළිබඳ තරඟයේ ඉදිරියෙන්ම සිටීමට සමත් විය. මේ නිසා මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බලශක්ති ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් අතර නැවතත් කරලියට පැමිණුනි. මේ නිසා විදේශයන්හි මහාචාර්ය නාරද වෛද්‍යසේකරගේ නම බොහෝ සේ ප්‍රචලිත විය. ජපානයේ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ හමුවකදී මහාචාර්ය නාරද වෛද්‍යසේකරට තමන් යටතේ පවතින විදුලිබල, බලශක්ති සහ ඛණිජතෙල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට ඇරයුම් කළාය… වසර තිහක්ම උපන් රටින් පිටත ජීවත් වෙමින් ලෝකයටම සේවය කළත්, තම රටට තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් ඉටු කරනු පිණිස හෙතෙම සිය බිරිඳද කැටුව, ඇගේද අකැමැත්ත පිටම පැමිණ ලංකාවේ පදිංචි වී අදාල තනතුරෙහි සේවය කළේය.. ඔහුගේම ඉල්ලීම පරිදි මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු සහ සිසුන් පිරිසක් සමඟ ජීව වායුව දහන ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් ලංකාවේ මෝටර් රථ ධාවනයට ඇති හැකියාව පිළිබඳ සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල සිය ප්‍රධානියා වන සරත් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයාට පෙන්වා දීමට ඔහුගේ කාර්යාලයට ගිය අවස්ථාවේ තමන්ට සිදු වූ අකරතැබ්බය ගැන මහාචාර්යවරයා නැවත නැවතත් කල්පනා කළේය..

කමක් නෑ… මම මේක ජනාධිපතිනියට දන්වනවා.. මාව පත් කළේ එයානෙ… අඩුම ගානෙ එතකොට මේක ක්‍රියාවට නංවන්න වැඩ පිළිවෙලක් හරි යොදයි නෙ… හෙතෙම තමාටම කියා ගත්තේය….

෴෴෴෴෴

“සර් කියන්නෙ අපි මේ පර්යේෂණය කළා ඇති කියලද ?”

“ඔව් විපුල… දැන් අපි අපේ ඉලක්කයෙන් සෑහෙන ප්‍රතිශතයක් දිනාගෙන අවසන්… දැන් තියෙන්නේ මේ රථය දිගු කාලීන පාවිච්චියට ඔරොත්තු දෙනවද කියන දේ කරන්න විතරයි… ඒක ඉතින් අපි කිහිප දෙනෙකුට කරන්න පුළුවන්… ඒ නිසා ඔයා ළමයින්ට කියන්න අපි පර්යේෂණය මෙතැනින් නතර කරනවා කියලා…”

“ඒ වුනාට සර්, ඒ දරුවො සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියෙ මේක ප්‍රසිද්ධ කරන්න…”

“ඇත්ත විපුල… මට තේරෙනවා.. නමුත්, අපට දැන්ම මේක ජනමාධ්‍යයට ප්‍රසිද්ධ කරන්න බැහැ.. ඔයා දන්නවනේ අර වතුරෙන් දුවපු මෝටර් රථයට වෙච්ච දේ ? ප්ලාස්ටික් වලින් පැට්‍රෝල් හදපු මනුස්සයා කරපු දේ ? ඔය වගේ මේ පර්යේෂණයත් නිකම්ම පුස්සක් වෙනවා අපි හරියට අවසාන නිගමනය ගත්තෙ නැති වුනොත්… මේ නිසයි මම කියන්නෙ අපි මේ රථය මාස තුනක් දුවලා බලමු.. කොච්චර ඉන්ධන ඉතිරියක් අපට කර ගන්න පුළුවන් ද කියලා.”

“එහෙනම් සර් මම කියන්නම් දැනට අපි පර්යේෂණය අත්හිටෙව්වා කියලා.. මාස තුනක ටෙස්ට් රන් එකකින් පස්සෙ නැවත පටන් ගන්නවා කියලා…. එතකං කාටවත් කිසිම දෙයක් කියන්න එපා කියන්නම්… නැත්නම් ඉතිං අපේ දත්ත දාලා වෙන කවුරු හරි ලොකු කතාවක් කියාවි… සර් දන්නෙ නෑනෙ ලංකාවෙ කට්ටියගෙ හැටි…”

“මම නොදන්නවා නෙවෙයි විපුල…. මමත් මේ ගෙන්දගම් පොළවෙ ඉපදිලා හැදුන වැඩුන මිනිහෙක්… දැන් මිනිස්සු පිස්සුවෙන් වගේ වැඩ කළාට ඉස්සර නම් සාරධර්ම කියලා දෙයක් තිබුණා…. මම දන්නවා ඔය කට්ටියගෙ හැටි… එහෙනම් මම දැන් තියන්නම්… අර වාහනයෙ ධාවන කාළයයි දුරයි හරියට මැන ගන්න… එක ජීව වායු සිලින්ඩරයකින් කොච්චර කිලෝමීටර ගණනක් ගමන් කරන්න පුළුවන්ද කියන එක තමයි අපට වැඩියෙන්ම වැදගත්.. ඒ වගේම කඳු සහිත ප්‍රදේශයක ධාවනය වෙනකොට ඉන්ධන දහනයේදි සිදුවන වෙනසත් ගණනය කරන්න ඕන.. මෙන්න මේ පරාමිතීන් දෙක අනුව අපට කියන්න පුළුවන් මේ ක්‍රමය කොයි තරම් කාර්යක්‍ෂමද කියන එක… මාස තුනක ධාවනයෙන් පස්සෙ ඒ සියල්ල ගණනය කරලා අපි අවසාන නිගමනය දෙමු….”

“හොඳයි සර්… ඔබට සුභ දවසක්….”

“සුභ දවසක්….”

෴෴෴෴෴

මැතිණියනි, මහාචාර්ය නාරද වෛද්‍යසේකර ඇවිත් ඉන්නවා ඔබතුමිය හමුවෙන්න…

එවන්න….

ආ නාරද මහත්මයා…. කොහොමද වැඩ කටයුතු…. කාලෙකින් කතා කරන්නත් බැරි වුනා….

ජනාධිපතිතුමියනි, මෙන්න පර්යේෂණයෙ ප්‍රතිඵල… මේ පර්යේෂණයට අනුව අපට කසළ පූතිභවනයෙන් ඇතිකෙරෙන ජීව වායුව එකතු කිරීමෙන් සෑහෙන ප්‍රමාණයක ජීව වායුවක් එකතු කරගන්න පුළුවනි. මේ ජීව වායුව අපට කෙළින්ම දහනයට යොමු කරලා වාහන ධාවනයට යොදා ගන්න පුළුවනි. එසේත් නැතිනම් ඉන්ධන කෝෂයකට (Fuel Cell) යොමු කිරීම මගින් විදුලිය නිපදවලා මෝටර් රථවල මෝටර් කරකැවීමට යොදා ගැනීමට පුළුවනි.

නාරද මහත්මයාගෙ හයිඩ්‍රජන් පර්යේෂණයට මොකද වුනේ ? මුලින්ම හයිඩ්‍රජන් යොදාගෙන පර්යේෂණයක් කළා නේද ?

ඔව් මැතිණියනි. නමුත් හයිඩ්‍රජන් වල තිබෙන ප්‍රශ්නය ඉන්ධනයක් විදියට තවමත් භාවිතා කරන්න බැරි ප්‍රශ්න තිබෙනවා. ආරක්‍ෂාව වගේම හයිඩ්‍රජන් භාවිතයේ සහ ගබඩා කිරීමේ ගැටළු තිබෙනවා. ඒ වගේම එය කාර්යක්‍ෂමව භාවිතා කරන්නනම් තවත් ප්‍රායෝගික ගැටළු රාශියක් තිබෙනවා. නමුත් ජීව වායුව දැනටමත් භාවිතා වෙනවා. අපට කරන්න තිබෙන්නේ අපේ මෝටර් රථවලට සරිලන විදියට වෙනස් කරන්න පමණයි. මම හිතන්නෙ මගේ රාජකාරිය මෙතැනින් අවසාන කරන්නයි. මම ලබන සතියෙ නැවතත් මගේ දුව ඉන්න රටට යනවා. මම ඒ ගැන කියන්නත් එක්කයි ඔබතුමිය හමු වෙන්න ආවෙ.

ඒ මොකද හදිසියෙම ? ඒ තරම් ඉක්මනට මේ රට එපා වුනාද ?

අනේ නැහැ මැතිණියනි, මම සෑහෙන කළක් වැඩ කළානෙ.. දැන් පොඩි විවේකයක් අරගෙන අවුරුද්දක් දෙකක් දුවගෙ ලඟ ඉඳලා දරු මුණුපුරන්ගෙ වැඩකටයුතුත් බලලා එන්නයි කියලා හිතාන ඉන්නෙ…

නාරද මහත්මයාගෙ කැමැත්තට පිටුපාන්න මට බැහැ.. මම දන්නවා ඔබතුමා කොච්චර වටිනා කෙනෙක්ද කියලා.. මගෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්න.. මම අදම ඔබේ ලිපි ලේඛණ සකස් කරන්න කියලා දන්වන්නම්.. ලැබෙන්න අවශ්‍ය ගෙවීම් ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්නම්… මට ඔබතුමා වගේ අවංක මිනිස්සු ලැබෙනවා අඩුයි.. හැකිනම් ආයෙම අපට එකතු වෙන්න.. ඔබතුමාගෙ දැනුම අපට හරිම වැදගත්, මේ වාර්තාවෙ ඇති දේ මම ඉක්මනින්ම ක්‍රියාවට නංවන්න සලස්වන්නම්. අපේ රටට දියුණුවක්, ඉතිරියක් කරගන්න ලැබෙනවා නම් මේ වගේ පර්යේෂණ ක්‍රියාවට නංවන්න මම පසුබට වෙන්නෙ නෑ.. බොහොම ස්තුතියි මේ කෙටි කාළයෙ කරපු සේවයට… මම මේක සරත් ජයසේකරට දෙන්නම් ඉක්මනට ක්‍රියාවට නංවන්න.

හොඳයි, මම එහෙනම් ගිහින් එන්නම්……..

෴෴෴෴෴

සර්, කවුද නාකි මනුස්සයෙක් කහ ඉර අයිනෙදි අපේ එස්කෝට් වෙහිකල් එකේ හැපුනා… නියෝජ්‍ය ඇමති සරත් ජයසේකරට සිය වාහන පේළියේ පසුපසින්ම පැමිණි වාහනයකින් ඇමතුමක් ලැබුණි…

හරි, තමුසෙලා එක්කෙනෙක් නැවතිලා බලනවා. මම දිගටම පාර්ලිමේන්තුවට යනවා. මොනවා හරි වෙලා නම් පොඩ්ඩක් බලනවා ශේප් කරගන්න…. වාහන යනකොට අයින් වෙන්න දන්නෙ නැති බූරු මිනිස්සු….

෴෴෴෴෴

ඊට මාස තුනකට පසු………….

කොළොන්නාව කුණු කන්ද අසළ සැකසුන මහා පරිමාණ ජීව වායු නිෂ්පාදනාගාරය – ජයලංකා ගෑස් – විවෘත වන අවස්ථාව. ප්‍රධාන අමුත්තා රටේ ජනාධිපතිනිය…

සරත්, ඇත්තෙන්ම මට හරිම සන්තෝසයි ඔයා මේ ප්‍රශ්නෙට අතගහපු එක.. නැතිනම් කවුරුවත් මේ කුණු ප්‍රශ්නය නිරාකරණය කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.. කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවෙ ?

ඇත්තෙන්ම මැතිණියනි, මේකෙ මූලික අදහස නම් නාරද මහත්මයාගෙ.. නමුත් ඒ මහත්මයා අකාළයෙ මිය ගියානෙ රට යන්න ඉස්සර. කාගෙදෝ වාහනයක් හප්පගෙන ගිහින් පාරෙ අයිනෙ ඉන්නකොට.. මතක නෙ ඔබතුමිය ශෝකප්‍රකාශයකුත් නිකුත් කළේ… මම ඒ අදහස ගැන ටිකක් හිතලා මේක වැඩිදියුණු කළා. කොහොමත් රජයේ ආයතනයක් කරලා මේක කරන්න ගියා නම් ටික කළක් යන නිසා තමයි මම ම  ආයෝජනය කරලා මේක පටන් ගත්තෙ.. අපරාදෙ නිකං තියෙන කුණු.. ඒ වගේම ඉතිං දැන් කුණු ප්‍රශ්නෙත් ඉවරයි නෙ..

බොහොම හොඳයි… මටත් ඕන මෙන්න මේ වගේ හිතන අය තමයි.. අපි බලමු ඉස්සරහට, මටත් දැන් මේ ඇමතිකම් ගොඩක් ඔළුවෙ තියාගෙන ඉඳලා ඇතිවෙලා තියෙන්නෙ….

 සැළකිය යුතුයි.

මෙම විද්‍යා ප්‍රබන්ධය සියයට සියයක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර මූලික පිටපතට සබැඳියක් නොමැතිව උපුටා ගැනීම සිදු නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 11, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. ඔහොම තමයි ලංකාවෙ හැම දෙයක්ම වෙන්නෙ.
    නිර්මාණය ගැනනම් කියල වැඩක් නැහැ.
    ජප්පෝ කීදෙනෙක් නම් යැව්වද ලංකාවෙ යමක් කරන්න හිතපු අය.
    ඒ අය ඇවිල්ල කිව්වෙ ලයන් ලාගර් බියර් එක විතරයි හිතට ඇල්ලුවෙ කියල.
    [කොතල හිඹටු ජාවාරම් කරන එවුන් නෙමේ]

    කැමතියි

  2. ඒ අතින් සේනක බිබිලේ, විමලසුරේන්ද්‍ර, රේ විජේවර්ධන උන්නැහැලා මොනවා හරි දෙයක් කරන්න සමත් වෙලා තියෙනවා…

    කැමතියි

  3. අධික වැඩ . නමුත් යමක් නොකියාම බැහැ. බොහොම සුලභ මාතෘකාවක්. මට දැනෙන්නෙ නිකම් මම එතන ඉන්නවා වගේ. ආරිටත් එහෙම ඇති. අපි කවුරුත් එක බෝට්ටුවෙ නෙ. නිර්මාණාත්මක බව ඉහලයි.

    කැමතියි

  4. කාට කියන්නද! 😦 නිර්මාණයක් විදියට මරු! 🙂

    කැමතියි

  5. පට්ට… උපරිම… සහ ඇත්ත…
    මෙවන් රටකට කෙදින පායයිදෝ සූර්යයා…

    මම දැක්ක කොල්ලෙක් කාරෙකක් හදලා තියෙනවා ස්ටාට් කලයින් පස්සෙ සුළං බලයෙන් දුවන්න. ඒ ඇති රටකට දියුණු වෙන්නේ..

    කැමතියි

  6. මේක නම් සුපිරි..ආයෙත් කතා කරන්න දෙයක් නෑ…මම දීර්ග කතා වලට වඩා කෙටි කතා වලට ප්‍රිය කරන කෙනෙක්…අපි කැමති තව තවත් කෙටි කතා ලියනවා නම්…මම ඇල්ගේ වැඩියෙන්ම කැමති අපේ එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන ඇහෙන්න ලැබෙන චරිත, සිදුවීම් වල අපි නොදකින පැත්ත හරිම රසවත්ම හරයක් ඇතිව ඉදිරිපත් කරන එකට…

    කැමතියි

  7. ඉතින් ඇල්කෙමිය මම නම් උඹේ පලාතට අලුත් ,, මේක කියෙව්වෙත් දිග පාරකින් ඇවිත්.
    පට්ට කතාව බං , මේ පේ රටේ ඇත්ත තත්වේ තමයි ඉතින් , , , ,,,,,

    කැමතියි

  8. මේක ඇත්ත නෙවෙයිද ඈ?

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: