දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු !


හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්‍වයක් ඇති වූයේ ධිවර ප්‍රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. ධීවර ප්‍රජාව මේ තත්ත්‍වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්‍වය ආරම්භවෙලා පැය ගණනාවක් ගොස් දැඩි අනතුරු සිදු වූවාට පසු.. උදෑසන 3.00 ට අන්තර්ජාලයෙන්. මෙය ඇත්තටම ඇඟ බේරාගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවෙ වෙලාවෙන් උදෑසන තුනට අන්තර්ජාලයේ සැරිසරන්නෙ එක්කෝ නින්ද යන්නෙ නැති උදවිය, නැතිනම් රාත්‍රී සේවා මුරයන්හි යෙදෙන උදවිය. ධීවර ප්‍රජාවට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් වත් තිබුණත් හැකියාවක්වත් නැහැ. ඇමරිකාවේ කාලගුණ විද්‍යා අනාවැකි වලින් මේ බව දන්වා තිබුණත්, එය මෙතරම් දරුණු වේ යැයි සිතුවෙ නැති බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ තුමා පවසා තිබුණා.

දැන් මාස දෙකක් පමණ ලංකාවේ වෙසෙන මා දුටු ප්‍රධාන කරුණක් නම් අප බොහෝ දෙනෙක් අප කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ඨ නොකරන බව. මොනයම් හෝ ආකාරයකට යන්තම් තමන්ට කළ යුතු පමණ ඉටු කර එක්කෝ නිකං සිටීමට හෝ නිවෙස බලා යාමටයි බොහෝ දෙනෙකු ක්‍රියා කරන්නෙ. නමුත් තමන් රාජකාරිය කරන අවස්ථාවේ එයට 100% ක සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්, අපේ රට බොහෝ දුර ගිහින්. බොහෝ දෙනෙක් නිතරම බලන්නේ මගෙන් කෙරන්න ඕන කුමක්ද යන්න නොවෙයි – මට ගන්න පුළුවන් කුමක්ද කියා. පසුගියදා පැවති පරිසර දින සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසු සිසුවියන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ පැවැත්වූ රැකියා අයැදුම්පත්‍ර සැකසීමට කියාදෙන වැඩමුළුවට සහභාගි වුනා. ඒ තමන්ගෙන් ලෝකයට සිදු වන්න තිබෙන දේට වඩා තමන්ට ගන්න තිබෙන දේ වැඩි නිසා… මෙයයි යතාර්ථය.

එසේම බොහෝ දෙනෙකු සුපරීක්‍ෂාකරීව කටයුතු කරන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් අවම වශයෙන් තමන් ලියන ලිපියක හෝ වාර්තාවක නිරවද්‍යතාවය (අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ) පවා බොහොම සැහැල්ලුවෙනුයි ගණන් ගන්නෙ. යමක් කිරීමේදී ඉදිරිය බලා සැලසුම් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යමක් සිදු වුනාම පැලැස්තර විසඳුමක් යොදන එකයි කෙරෙන්නෙ.. රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැන් දැන් පෙන්වා දුන් වැරදි පවා නැවත නැවත කරනු දකින්නට ලැබෙනවා. (ඒකට මගෙන් නම් සමාවක් නැහැ)  බොහෝ දෙනා තමන්ගෙ වගකීම  නිසි ආකාරව ඉෂ්ඨ කරන්නෙ නැත්තෙ ඇයි කියන දේ මට තේරුම් ගන්න බැහැ. නමුත් මේ ප්‍රජාවම තමන්ගෙ අයිතිවාසිකම් ලබා ගන්නට නම් නොපැකිලව පෙරට එනවා.

කොයි පැත්තද තෝරා ගන්නෙ ?

කොයි පැත්තද තෝරා ගන්නෙ ?

නමුත් මම මේ කියන්න යන්නෙ රාජකාරිමය යුතුකම් ඉෂ්ඨ කිරීම ගැනම නොවෙයි. ලෝකයට සිදු විය යුතු යුතුකම් ඉෂ්ඨ කිරීම පිළිබඳව. පසුගිය මාසය තුළ පමණක් ලෝක පරිසරය තුළ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුනා. වායූගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ක අගය සටහන් වුනේ මැයි මාසයේදී. එසේම ඔක්ලහෝමාවල පිට පිටම සිදු වූ කුණුටු තත්ත්‍වය නිසා සියයකට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවුවා. යුරෝපයේ ඇති වූ ගංවතුර තත්ත්‍වය නිසා බොහෝ දෙනෙකු අවතැන් වී මහා දේපල හානියක් සිදු වුනා. ලංකාවේද අසාමාන්‍යා ලෙස දැඩි සුළං තත්ත්‍වයක් ඇති වූවා. මේවා කළින් කළට අසන්නට ලැබුණත්, දැන් දැන් ඉතා සුළභ කාරණා බවට පත් වෙලා තිබෙනවා. යුද්ධ කාළයේ සිදු වූ ඝාතන නිසා අපේ මානුෂිකත්‍වය සහ මෘදු බව තරමක් යටපත් වී ඇති සේම, මේ ස්වාභාවික විපත් දැන් දැන් සුළභව අසන්නට ලැබීම නිසා ඒවාත් සාමාන්‍ය දේ බවට පත් වෙමින් පවතිනවා.

නමුත් මේ හැම ඵලයකටම හේතුවක් තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නවා. අපට මව්වරුන් දෙදෙනෙකු සිටිනවා. වැදු මහ සහ මිහි මව. වැදු මව අප කරන හැම දේම උපේක්‍ෂාවෙන් ඉවසා සිටියත්, මිහිමවට දැරිය හැකි සීමාවක් තිබෙනවා. මා පසුගියදා ලෝක පරිසර දිනයේ දේශනයකදී පැවසුවේ අපේ ලෝකයේ ජනගහන වර්ධනය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවා ගොස් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතු වන්නේ සෞඛ්‍ය පහසුකම් සහ නවීන තාක්‍ෂණය දියුණු වීම නිසා ස්වභාවිකව පාලනය වන මරණ අනුපාතිකය අප කෘත්‍රිමව පාලනය කර තිබෙනවා. මේ නිසා ස්වභාවික උපත් ප්‍රමාණය ස්වභාවික මරණ සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. සෑම තත්පර 13 කට වරක්ම ලෝක ජනගහනය 1 කින් ඉහළ යනවා. මේ නිසා අප පසුගිය ශතවර්ෂයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් සහ විශේෂයෙන්ම ඛණිජ තෙල් භාවිතය වැඩි කර තිබෙනවා. ජලවාෂ්ප, මෙතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන්ගෙන් හරිතාගාර ආචරණයට බලපෑම් ඇති වුවත්, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හරහා මිනිසා විසින් සිදුකරන හරිතාගාර ආචාණය (Anthropogenic Green House Effect) වැඩි වෙමින් පවතිනවා.

මේ නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල බොහෝයි. වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිපුර ජලවාශ්ප ප්‍රමාණයක් වායුගෝලයට එකතු වීම සිදු වනවා. මේ නිසා ඉහළ වායුගෝලය ප්‍රසාරණය වෙනවා පමණක් නොවෙයි, පෘථිවියේ සමහර ප්‍රදේශ වලට අධික වැසි ලැබීමට පටන් ගන්නවා මෙහි අනෙක් පැත්ත වන්නේ වැසි නොලැබෙන පෙදෙස් කාන්තාරකරණයට ලක්වීමයි. ධ්‍රැවීය අයිස් දියවීම, කඳුකර අයිස් තට්ටු දියවීම හරහා මුහුදට එකතුවන ජලය ප්‍රමාණය ඉහළ ගොස් මුහුදු මට්ටම ඉහළට යනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ මුහුදුබඩ නගරවල. මේ නිසා මේ අයට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොඩබිම් කරා ඇදෙන්නට සිදු වෙනවා. එවිට අවශ්‍යවන ඉඩ සකසා ගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වෙනවා. එවිට සාමාන්‍යයෙන් වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වත් උරා ගැනීමට අවශ්‍ය කාන්තාර ප්‍රමාණය නැති වෙනවා. මේ  ආකාරයට මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. අවසානයේ අප සියළුම දෙනා වඳවී යන්න පුළුවනි.

මේ තත්ත්‍වය නැති කරන්න අප හැම දෙනාටම දායක වන්න පුළුවනි. අප භාවිතා කරන සම්පත්, බලශක්ති ප්‍රමාණය අවම කිරීම මගින් නිශ්පාදනය අඩු කරන්නට පුළුවනි. නිෂ්පාදනය අඩු වනවිට ඒවාට භාවිතාවන බලශක්තියත්, සම්පත් ප්‍රමාණයත් ඉතිරි වෙනවා. චක්‍රය අඩාල වෙනවා.

නමුත් අප හැම දෙනාම බොහොම ආත්මාර්ථකාමීයි. පාර අයිනේ ඇති කුණුරොඩු ප්‍රමාණයෙන්ම එය කියා පානවා. අප කී දෙනෙකු පාරට අපද්‍රව්‍ය එකතු කරනවාද ? බස් ටිකට් එක වුනත් බස් එකෙන් බැස්ස ගමන්ම දමන්නේ පාරට, නැතහොත් කාණුවකට, ටොපියක් චොකලට් එකක් කෑවොත්, දිරා නොයන දවටනය වැටෙන්නෙත් මහපාරට… එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෑගයක්, හෝ වෙනයම් අනවශ්‍ය දෙයක් එකතු වෙන්නෙත් පරිසරයටමයි. අපට මේ තත්ත්‍වය තනි තනියෙන් වෙනස් කරන්නට පුළුවනි. තමන් ගමනේ යෙදෙනවිට එකතුවන කුණු එක්කෝ කුණුබක්කියක් ඇති තැනක් එනතුරු හෝ නිවස කරා ගෙනයාමට එතරම් අපහසුවක් නැහැ. තමන්ට තමන් පාලනය කරගෙන එවැනි කුණු නිසි තැකට දමන්න පුළුවන් නම්, අවම වශයෙන් තරමක හෝ සහනයක් පරිසරයට දැනේවි.

අනුන්ට බැනලාවත්, අනුන් පිට වරද පටවලාවත් අපට දියුණු වෙන්න බැහැ. අප රැකෙන්න නම් අප දැන් දැන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නැතිනම් ආසියාවේ ආශ්චර්යය මුහුදට හේදිලා යන දිනය තව දශක කීපයකට වඩා දුර නැති වෙන්න පුළුවනි. ඉතිං මේ ධීවරයින් මියගිය නිසා හෙට අනිද්දට ලිප්ටන් වට රවුමේ කීප දෙනෙක් එකතු වෙලා ධීවර ඇමතිටයි පරිසර ඇමතිටයි ඉල්ලා අස්වෙන්න කියලා විරෝධතාවයක් තියන්නත් බැරි නෑ…

අවවාදයට වඩා ආදර්ශය උතුම්.. අපි අපේ දරුවන්ට ආදර්ශයක් වෙමු.. එතකොට උන් අපේ පසුපස යමින් ඉගෙන ගනීවි…. ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන වගකීමත් ටික ටික හරි ඉටු කරන්න උත්සාහ ගනිමු…

Advertisements

Posted on ජූනි 9, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. අගනා පණිවුඩයක් අද ඔබ මේ සමාජගත කළේ.

  2. ඇල්, අපේ සමාජ යුතුකම් තිබියේවා, තමාගේ ගෘහ යුතුකම්වත් හරියට ඉටු කරනව ද අපි? මෙතැන ප්‍රශ්නෙ ආකල්පමය වරදක්. පිටරටවල් කීපයක ජීවත් වූ ඔබ දන්නවනෙ ඒ රටවල් පරිසර ආරක්ෂනයේ අගය අලුත් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න, එහෙමත් නැත්නම් තම තමාගේ සාමාජික යුතුකම් පිළිබඳ මානසිකත්වය ඇති කරන්න අධ්‍යාපනයෙන් මොන තරම් දෙයක් කරනව ද? අපි අපේ අධ්‍යාපනයෙන් එහෙම කරනව ද? මේ ප්‍රශ්න විසඳන්න ඔය මෝල්ලු හැත්ත ඉල්ලා අස්වෙලා මදි මේකෙන් තොලොන්ජි වෙලාම යන්න ඕනෙ. මේක ලස්සන රටක්, හැබැයි හොරු කුපාඩි අතට ගිය, ඒ වගේම තමාගේ ජීවිතය ගැනවත් තමන්ට අවබෝධයක් නැති අහින්සක මෝඩයෝ රැලක් ජීවත් වෙන රටක්.

    • සහතික ඇත්ත….
      අපේ ඊලඟ වෑයම දරුවන්ට යහපත් ආහාර පුරුදු, ජීවන රටා ගැන කියාදීම..
      ඉදිරියේදි පාසැල්වල සම්මන්ත්‍රණ පවත්වන්න හැකි වෙයි කියා සිතනවා. සමහරවිට ඔබේ දායකත්‍වයත් අපට ඕන වේවි බටහිර ඖෂධවලින් ඈත්වෙලා අපේ පාරම්පරික බේත් හේත්වල වටිනාකම ඔවුන්ට කියා දීමට…
      අපේ අධ්‍යාපනය කොහොමත් රටට ගැලපෙන විදියටවත් ලෝකයට ගැලපෙන විදියටවත් නෙවෙයි සකස් වෙලා තියෙන්නෙ.. පාලකයින්ට ගැලපෙන විදියට… ඉතිං කොහොමද රට ඉදිරියට යන්නෙ ?
      ලොක්කා බණ කියනවා… ඒ වුනාට කරනකොට සම්පූර්ණයෙන් අනිත් පැත්ත

  3. වටිනා ලිපියට ස්තූතියි!. මේ දේ හැමෝම හිතට ගන්නවා නම් අපේ රට සුරපුරයක් වේවි. තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම නොකොට අනෙක් අය දෙස ඇඟිල්ල දිගු කරලා පලක් නෑ. සැවොම මෙයට දායක වෙමු.

  4. කාළගුණ විජ්ජා දෙපාර්තමේන්තුව කියන්නේ සුද්දා දාලා ගියපු බඩු ටිකක් තියාගෙන කෙල උනයින් පස්සෙ අනාවැකි කියන කාලකන්නි ආයතනයක්. මුංට කාළගුණ අනාවැකි කියන්න බෑ කියලා කිව්වේ මුන්මයි. ඒත් අපේ මෝඩ මාධ්‍යත් මුංගෙන්ම වචනෙ එනකන් ඉන්නවා. ධීවර අමාත්‍යශය ඊට හපන්. ඒකේ ඉන්නේ කප්පන් කාරයෝ. වෙසක් දවස් වලම ඇමරිකාවෙන් කිව්වා මැයි 28 ඉඳගෙන ජූනී මැද බාගය වෙනකන් ඒ තරම් හොඳනැති කාළගුණයක් ලංකාවට බල පැවත්වෙනවා කියලා. ඒ ගැන ඇහුවම් එතන ඉන්න උන් බක පන්ඩිත ටෝක් ද්ජීලා කිව්වා. පැය 24 කට ඉස්සෙල්ලා එහෙම තද සුළං වාතාවරනයක් තියෙනවනම් කියන්න පුළුවන්ය කියලා. ඒ කියලා මේ කාළකන්නි සිකුරාදා ගෙදර ගිහින් අඩියක් ගහලා හොඬ්හ්ජට නිදාගන්න ඇති. එදා වේල හොයාගන්න මුහුදු ගියපු ධීවරයෝ අන්තීමේදි මැරිලා ගියා. වෙන රටකනම් මුන්ව අල්ලල උල තියනවා. ඒත් මේ රටේ තවත් බයිලා ගහනවා. ඕක වහලා ඔතන කැසිනෝ එකක් දාලා. කාළගුණ වාර්ථාව ඉන්දියාවෙන් අරගෙන කිව්වහම් වැඩේ ඉවරයි. අපේ කාළකන්නි නොකිව්වට. අනිත් හැම එකේම කිව්වා තද සුළං එනවා කියලා…

  5. පහුගිය දවස් ටිකේ පත්තරේ කාටුන් වල තිබ්බ විදියට තමයි ඇත්තටම අපේ රටේ කාලගුණ වාර්තාව දෙන්නේ…මට මතකයි මම එක පාරක් ඕක බලන්න ගියා.ඇති දෙයක් නෑ…ඇත්තටම ඔක්කොටම කලින් ඒක නවිකරනය කරන්න ඕනේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: