දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ


අපට බ්‍රේක් නැත… අපට බ්‍රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්‍රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට ඉඩ දිය යුතුය කියාය.

අපේ ජනාධිපතිතුමා තවත් අවුරුදු පන්දහසකට රජවෙන්න කටුනායක – පෑලියගොඩ එක්ස්ප්‍රස්වේ එක හදා නිම කළේ පැරණි රජදරුවන් අනුරාධපුරයේ සිට මාගම දක්වා හැදූ අඩි දෙසීයක් පළල ලොව පළමු එක්ස්ප්‍රස් වේ එකට නොදෙවනි වන්නට ය. වැඩේ හොඳය.. කටුනායක සිට පෑලියගොඩට නිසි වේගෙන් එනවා නම් වැය වන්නේ හරියටම විනාඩි 20 කි. නමුත් පෑලියගොඩ බෝතල් කටේ හිරවෙලා බොරැල්ලට එන්න පැය බාගයක් හෝ ඉතාමත් වාසනාවන්ත නම් පැයකට ආසන්න කාළයක් ගත වේ….

නමුත් ප්‍රශ්නය එය නොවේ… අපට බ්‍රේක් නැතිකමය. එක්ස්ප්‍රස් එකේ සීයට එන අපි පෑලියගොඩට ලංවත්ම අසූවට අඩු කළත්, අපට බ්‍රේක් නැති නිසා හැටට හැටේ ඇරලා එන්නේය. පෑලියගොඩ පාලමට එකතු වන විට අපි පෑලියගොඩ ඉන්නබව මතක් වෙන්නේ පාලමෙන් බාගයක් ගිය පසුය… නුවර පාරේ බස් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ එන්නේද හැටට හැටේ ඇරලාය.. මේ දෙකම එකතු වෙන්නේ පෑලියගොඩ පාලම මතදීය…

CKE Opening - 2013_10_27

දිනක් අපි ගාල්ලේ සිට එනවිට සුදු පැහැති මොන්ටෙරෝවක් කාණුවක් තුළ තිබුණේ කොට්ටාව ටෝල් බූත් එකේය.. එතැන නවත්තන්න අනිවාර්ය බව දැන දැනත් ඒ අහිංසකයා කාණුව වන්දනා කිරීමට සමත්ව තිබුණේ අපේ රෝඩ් ඩිසිප්ලින් එකේ ඈස් චරිය මොනවට කියාපාමිනි.

පෑලියගොඩ පාලම මහා විනාශයක පෙර නිමිත්තකි. අදින් ඇරඹෙන්නේ අනතුරු නිවාරණ මාසයයි. මෙතැන මහා විනාශයක් වන්නට පෙර කටුනායක පෑලියගොඩ එක්සිප්‍රස් වේ එකේ අවසාන කොටසේ ස්පීඩ් බම්ප් දෙක තුනක් දැමීමෙන් මේ විනාශය මඟහරවා ගත හැක

ඔබ මෙය වගකිවයුත්තන්ට පවසා ලකුණු දමාගත්තාට කමක් නැත… මට ලකුණු අවශ්‍ය නැත.. මට අවශ්‍ය අනතුරක් වලක්වා ගැනීමටය…

එක්ස්ප්‍රස්වේ එකේ රිය පදවන ඔබත් මේ ගැන සැලකිළිමත් වන්න. මෙතැන වේගය අඩාල කිරීමට මටත් මතක් වූයේ හන්දියටම පැමිණි පසුය… එය බොහෝ දෙනෙකුට එසේ වනු ඇත…

දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.

ඔබ සැමට අනතුරු රහිත මාසයක්, වසරක්, වේවා !

Advertisements

Posted on නොවැම්බර් 1, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. ඇල්කෙමියා
    දැන් ඔබව දේශද්‍රෝහියෙකු ලෙස නම්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.මොකද මේ අධිවේගී මාර්ගයේ වැරදි කිසිවක් නැති නිසාත් ඔබ සුදු අධිරාජ්‍යවාදීන්ට සේවයකල ඔවුන්ගේ මතය දරන්නෙකු නිසාත්ය.
    මේ මාර්ගවල රිය පැදවීමේදී අනුගමනය කලයුතු ක්‍රම ගැන කිසිම දැනුවත්කිරීමේ වැඩපිලිවෙලක් පොලීසිය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් කරතිබේද? මම පුංචි උදාහරනයක් දෙන්නම්. ඉදිරියෙන් යන වාහනයට කොපමන දුරකින් තමන් සිටිය යුතුද යන්න වෙගයෙන් යනවිට ඉතාම වැදගත් මොකද ඉදිරි වාහනය නවත්වන විට ආරක්ශාකාරීව ගැ‍ටුමක් නොවී ත්ම වාහනය නවත්වාගැනීමට.
    Reaction +stoping distance වේගය අනුව වෙනස්වන නිසා ඉදිරි වාහනයට තත්පර දෙකක දුරක් තබාගත යුතු බව සුද්දො උගන්වනවා.මේක කරන්න බොහොම ලේසියි.ඉදිරි වාහනය පාරේ යම් තැනක් (ලයිට් කනුවක් කියල හිතමු0 පසුකරනවිට ගනින්න පටන් ගන්න මෙහෙමෙ සුද්ද කියන විදියටම One thousand one.One thousand two. මෙහෙම ගැනලා ඉවරවෙනකොට තමන්ගෙ වාහනය අර ලයිට් කනුව ලඟ හරි ලයිට් කනුවට පස්සෙන් හරි තියනව නම් හොඳයි, හැබැයි ගැනල ඉවරවෙන්න කලින් තමන් ලයිට් කනුව පහු කරල නම් ඉස්සරහින් යන වාහනයට කිට්‍ටු වැඩියි. ප්‍රැක්ටිස් කරල බලන්න.මේ ක්‍රමය හැම වේග සීමාවකදිම වලංගුයි.

  2. පියල් ඔය කතාව ඇත්ත. මමත් මුලින්ම අලුත් පාරේ ගිය දවසේ ඔය දේ දැක්කා. හැබැයි මෙතැන අනතුර වලකන ක්‍රමයකුත් තියනවා. එනම් නුවර පාරේ සිට අලුත් පාලමට වාහනය එක පාරටම එන්න බැහැ. පොඩි කන්දක් නගින්න ඕනෙ. එතකොට වේගේ කැඩෙනවා. අනිත් පැත්තෙන් ටොල් ගේට් එකෙන් පස්සෙ හයි වේ ඉවරයි එතනින් එහාට රියදුරන් සැලකිලිමත් වෙන්නෙ ඕනෙ.

    මම දකින්නෙ අපේ වගකීම් විරහිත බව මෙන්ම නොසැලකිල්ල සහ අන් අය ගැන නොතැකීම නීතිය පිළිනොපැදීම වගේ දුර්ගුණ නිසා මිසක පාරේ වරදක් නිසා නොවෙයි අනතුරකට ඉඩ ඇත්තේ. ඒත් ඔබ කියන දේ නම් වෙන්න පිලිවන්. අර ගුණ දියුණු කර ගත්තොත් නම්………..කාටත් හොදයි. මේවා අපේ හැදියාව පිළිබඳ ප්‍රශ්න. දූපත් මානසිකත්වය කිව්වත් වැරදි නැහැ. අමුතු ඇටේ මිනිස්සුනේ.

  3. මෙහෙමයි, මෙතන දෙපැත්තක් තියෙනවා. අපේ රටේ රෝඩ් ඩිසිප්ලින් අඩු බව මමත් පිලිගන්නවා. ඒත් මේක බොහෝ දුරට වෙන්නේ අවබෝධයක් හා හොඳ බුද්ධියක් නැති අයගේ. (මම බුද්ධිය කිව්වේ උගත්කමට නෙවෙයි.) ප්‍රයිවට් බස් වලින්, ත්‍රී වීලර් සහ බයික් වලින් තමා මේ වැඩේ වැඩියෙන්ම වෙන්නේ. ඊට අමතරව හොඳ ලොකු වටින වාහන තිබුණත් මොලේ නැති මිනිස්සුන්ගෙනුත් මේ වැඩේ වෙනවා.

    අපිට වැරදෙන එක තැනක් තමයි, රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය. මොන ටෙස්ට් එක තිබ්බත් ලැර්නර්ස් එකක් තුලින් ගියොත් අනිවාර්්‍යෙයන්ම සමත් වෙනවා. ලියන ප්‍රශ්න පත්තරය මේ හැම ලර්නර්ස් එකකම තියෙනවා. කටපාඩම් කරවලා තමයි යවන්නේ. ප්‍රායෝගික එකේදී අනිවාර්යෙන්ම ගානක් දෙනවා. ඉතින් හැමෝම පාස් වෙනවා. අපේ රටේ ලර්නර්ස් එක හොඳද කියලා බලන්නේ කී දෙනාගෙන් කී දෙනෙක් පාස් උනාද කියලා බලලා. මම දන්න කෙනෙක් කරා, මිනිහා කාටවත් පගාව දුන්නේ නැහැ. සුපිරියටම ඉගැන්නුවා. මගේ වයිෆ් ගියෙත් එතනට. දැන් එයා මට වඩා පරිස්සමට වගේම හොඳට එලවනවා. හැබැයි ටිකක් බුද්ධිමත් අඩු අය ආවහම ඉවසීම නැහැ. පාස්වෙන්න බැහැ. ඉතින් මිනිහා ඒ වගේ අය ටෙස්ට් එකට දාන්නේ නැහැ. වාසනාවකට වගේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ මේ වගේ හදිස්සි කාරයෝ නිසා මිනිහා ලර්නර්ස් එක වහලා දැම්මා.

    අනිත් එක ඔය ඉහත කියපු පිරිස ඇරුණාම ලංකාවේ රිය පැදවීමේ විදිහ සෑහෙන්න හොදයි. විශේෂයෙන් ම අනිත් ආසියාතික රටවල් ගත්තහම (ජපානය ඇර) සෑහෙන්න හොදයි. මුම්බායි, දිල්ලි, චෙන්නායි, නැත්නම් තමිල්නාඩු වලට ගිහිල්ලා බලන්න. නැත්නම් චීනයට, වියට්නාම් වලට, පකිස්ථානයට, බංගලාදේශයට, මැලේසියාවේ සමහර පැති වල බලන්න. අපි මොනතරම් පරිස්සම්ද කියලා හිතෙනවා. මම මෙතන අපේ රට ජපානය, ස්වීඩන්, කැනඩා නැත්නම් යුරෝපයේ රටවල් එක්ක සංසන්දනය නොකළේ, අපි තාම ඒ සංසන්දනයට දියුනු වෙලා නැති නිසා.

    ජපානය කියන්නේ වෙනම අධ්‍යයනය කළ යුතු රටක්. මම දැකපු විනය හොඳින්ම තියෙන රට, ඒ වගේම පාරිහෝගිකයන්ට සැලකීම අතින් ජපානය ළඟටවත් එන්න ලෝකේ කිසිම රටකට බැහැ.
    රේල් වේ ක්‍රොසින්ග් එකක වාහන යන්නේ එක වතාවක එක පැත්තකට එකයි. දකුණු පැත්තෙන් එක වාහනයක් දානකම් ඉඳලා වම් පැත්තේ වාහනේ යනවා, ආයෙත් දකුණු පැත්තේ එත්තෙනාට ඉව දෙනවා. තිසිම වෙලාවක රේල් පාර මත වාහන දෙකක් තියෙන්නේ නැහැ.

  4. //දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.//

    …..මේටික නැවත නැවත කියෝලා පත්තියම් කරගත්තොත් හොඳා..

    ස්තුතියි ඇල්කේමිස්ට්

  5. අද ප්‍රවෘත්ති වලට පෙන්නුවා දක්ෂිණ අධිවේගෙ ඔයවගේ අතුරුපාරේ හතරවෙනි මරනයත් උනාට පස්සෙ..ගමේ මිනිස්සු උද්ඝෝෂණයක් කරලා විසඳුමක් ඉල්ලලා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: