Monthly Archives: අප්‍රේල් 2014

කැසිනෝ එපා…. නෑ යකෝ… කැසිනෝ ඕන…


රතන උන්නාන්සේ විරුද්දව ඡන්දය දුන්නේ කැසිනෝ අනිත් එවුන්ට නරක නිසා නොව උන්නාන්සෙට ගහන්න යන්න බැරි වුන නිසා යැයි මගේ ඔලමොට්ටල හිතට ආපු මහා අසමජ්ජාති අසික්කිත මූලධර්මවාදී අසෝභන අවලං සිතුවිල්ලත් එක්කම අාපු යටිබඩේ කැසිල්ලත් එක්ක අපට ඇත්තටම කැසිනෝ ඕන දැයි මට සිතෙන්නට පටන් ගත්තේය….

ඇත්තටම අපට කැසිනෝ එපා ය. ඕනය. කැසිනෝ එපා කියන සත්ගුණවත්, දානපති, ශීලවන්ත, චරිතවත්, අවංක, ගුණගරුක, මහත්තැන්ලාගේ ඇනලිසිස් එක වන්නේ කැසිනෝ ආපසු අපේ ධර්මද්වීපයේ ගණිකා වෘත්තිය සහ දුරාචාර වැඩි වෙන බවය….

large

යකඩෝ… මේක එහෙමත් එකක්ද ?

දවසකට ගබ්සා 800 ක් වෙන කොළඹ රටේ.

දවසකට ළමා අපචාර 5 කට වඩා වෙන මේ රටේ

ගණිකාවන් 40,000 ක් දිනපතා සේවයේ යෙදෙන මේ රටේ

දවසකට AIDS ආසාදිතයන් තුන්දෙනා බැගින් වැඩි වෙන මේ රටේ

දවසකට ස්ත්‍රී දූෂණ 10 ක් පමණ වෙන මේ රටේ

කැසිනෝ තුන හතරක් දැම්මාම ගණිකාවො 8,000 ක් වැඩි වුනා කියලා… මේ රට ධර්මද්වීපයක් වෙනවද යකෝ ?

කැසිනෝ ගහන්න යන්නේ කවුද ?

මෙන්න උදාහරණයක්….. මෙන්න මෙහෙමයි කැසිනෝ නිසා අපරාධ වැඩි වෙන්නෙ……

queen-casino2හරමානිස් කළේ පයිලට් රස්සාව…. සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂයක් විතර දවසකට හම්බකරගෙන, ගමේම ගලායන  ඕගැනික් දොලපාරෙන් නාලා…. කෙන්ජියා ගහන සෙන්ට් බෝතලෙන් බාගයක් හලාගෙන… ඔන්න උගේ අළුත්ම බෙන්ස් එකෙන් යනවා කැසිනෝ ගහන්න… එතැනදි හම්බ වෙනවා මරදන්කඩවල පැත්තෙන් ගෙනැල්ලා බාපු  ඉංගිරිස් කතා කරන අඟල් හයේ සායක් ඇඟ ලාපු විස්කි වගේ දහ අටේ ඉටිකිරිස් කෑල්ලක්…. ඉතිං යකෝ කාටද උදේ බීපු වැල්පෙනෙල කොක්ටේල් එකේ පවර් එක නොදැනෙන්නෙ ? ඒ ඉටිකිරිස් කෙල්ල හරමානිසාට අළුත්ම Blue Label එකක් කඩලා වීදුරුවකට අයිස් ටිකක් දාලා දෙන ගමන් අහනවා…

casino_novo

What’s youuuuuur Naime darling කියලා…

හරමානිසත් නිකං ඇරියෙ නෑ,..

My naime eeees,… Hermainis….

Wow,.. dat’s a niiiiice naime…..

යකඩෝ හරමානිසා බස බස ගාලා කඩ්ඩ දානවා…. ආශ්චර්යය ළමයෝ…. ආශ්චර්යය…. ගමට ඉංගිරිසි ගිය එකේ රඟ දැන් පේනවා නේද ?

ඔන්න ඔහොම පස්වෙනි සිල්පදේ කඩපු හර්මේනීස් ගෙන් අර ඉටිකිරිස් කෑල්ල මෙහෙම අහනවා..

Are you marrieeeeed ?

හැට පැනලා හොට බිම ඇණුනත් හර්මේනිස් ඉතිං පුරුස ධෛර්යය ඇති කොල්ලා නිසාත්,….. සාමාන්‍යයෙන් පයිලට් රස්සාව කරන අතරේ නවරත්න මුද්දයි අඟල් බාගෙ රත්තරං චේන් එකයි නොදාන නිසාම හර්මේනිස් පේන්නෙත් බැචුලර් කෙනෙක් වගේ…

No darling,…. who gets married these days ?

අම්මට සිරි… ඉංගිරිසි බඩයනවා….

ඔන්න හතරවෙනි සිලපදෙත් කඩපු හර්මේනිස්ගෙ තුන්වෙනි එක කැඩෙන්නෙ කැසිනෝ එකේ කාමරේකදි…. වැල්පෙනෙල වල ෆිට් එක දැනෙන්නෙ ඔය වෙලාවට…. එක පාරක් නෙවෙයි… දෙතුන් පාරක්ම කැඩුනා….

දැං ඉතිං හර්මේනිස්ට මේ දහ අටේ ඉටිකිරිස් කෑල්ල අයිති කරගන්නමයි හිත…. සල්ලි ටිකක් එහෙන් මෙහෙන් විසි කරලා.. හර්මේනිස් මේ කෙල්ලව පන්නගෙන ගෙදර යන්න හදන්නෙ දෙවනි සිල්පදෙත් කඩාගෙන….

ඔය යන අතරේ තමයි හෝටලේ බවුන්සරයා මේක දකින්නෙ…. ඒක දැකපු බවුන්සරයා කෙල්ල බේර ගන්න පනිනකොටම හර්මේනිස් ළඟ හිටපු එකෙක්ගෙ සෙල්ලම් පිස්තෝලෙ අරන් නිකං උළුක්කු කළේ සෙල්ලමට වගේ…

කරුමෙට බ්‍රේක් නෑ කිවුවා වගේ ඒ වෙලාවෙ එතැනින් වැඩ ඇරිලා ගෙදර යන අහිංසක කාර්යාල සේවකයෙකුගෙ ඔළුවටම ඒ සෙල්ලම් පිස්තෝලෙ පත්තු වෙන්නෙ හර්මේනිස්ගෙ කරුමෙටද නැත්තං අර අහිංසකයාගෙ කරුමෙටද කියලා දැනගන්න ලැබුණෙ නෑ… පස්පවු පහම කැඩුනා….

ඔන්න නඩු දවස ආවා…. හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා හර්මේනිස් වෙනුවෙන් පෙනී හිටිය නිසා බේරුණා… නඩුවෙ තීන්දුව වුනේ…

අවේලාවේ මේ රජයේ සේවකයා තමන්ට නුසුදුසු නොගැලපෙන ස්ථානයක් වූ ධනකුවේරයින් ගැවසෙන මේ හෝටලය ඉදිරියෙන් ගමන් කළ අවස්ථාවේ එතැන සිදු වූ සෙල්ලම් වෙඩි තැබීමකින් මිය ගිය නිසා…. ඒ අවස්ථාවේ නුසුදුසු තැනක සිටි මේ රජයේ සේවකයා වරදකරු බවත්, මේ නඩුව නිසා හර්මේනිස් මහතාට සිදු වූ චරිත හානියට වන්දි ගෙවීම පිණිස මේ මියගිය රජයේ සේවකයාගේ සේවක අර්ථසාධක අරමුදලෙන් 95% ක මුදලක් යොදා ගන්නා ලෙසත්… මේ අධිකරණය ඉදිරියේ දැනුම් දෙනු ලබන වගයි….

ඉතිං යකෝ….. මේ කැසිනෝ එක නිසා, හතර පෝයට සිල් ගනිපු හරමානිසා නිකං පවු කාරයෙක් වුනා නේද ? හේමන්ත වර්ණකුලසූරිය මහත්තයා නොහිටින්න හරමානිසා වැලිකඩ කූරු ගණන් කරනවා…

ඉතිං තවත් අහනවද කැසිනෝ ඕනද කියලා ?

 

2014 අප්‍රේල් 13 : බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක්……. අළුත් අවුරුද්දටත් විද්‍යාත්මක පැත්තක් තියෙනවා……..


අද 2014 අප්‍රේල් 13 යි

2010 අප්‍රෙල් මාසෙ අවුරුදු දවසෙ ගෙදර ඉන්නකොට තමයි හිතුනෙ මගේ දැනුමත් ලෝකය එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා. එදාම බ්ලොගයක් හදාගෙන මම මුලින්ම බ්ලොග් ලෝකයට පා තැබුවෙ අවුරුදු හතරකට පෙර අද වගේ දවසක….

එදා මම මුලින්ම ලියපු

අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී – කුමාරතුංග මුනිදාසයන් 2010 අප්‍රේල් 13

කියන ලිපියේ අන්තර්ගතය තුළ තවමත් මම එල්බගෙන ඉන්නවා.

ගමේ අවුරුද්ද (සිංහල හෝ දෙමළ වශයෙන් බෙදා වෙන්කරන්න මම කැමති නැහැ) කියන්නෙ පරිසරය හා බද්ධ වෙච්ච සංස්කෘතික උත්සවයක්. නගරයේ අවුරුද්ද බොහොම වෙනස්…

ගමේඅවුරුදු පටන් ගන්නෙ අවුරදු මාසෙට බොහොම ඉස්සර….යමක් කමක් ඇති අය ගෙවල් හුණු පිරියම් කරද්දි, ගෙදර ගොම මැටි ගෑම හෝ කරන්න අනෙත් අයත් වග බලා ගන්නවා… ගොම-මැටි මිශ්‍රණය කියන්නෙ ඇත්තෙන්ම විශබීජ නාශනය කරන මිශ්‍රණයක්. එයින් සිදු වෙන්නේ නිවස තුළ ඇති ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වය පාලනය කිරීම. මෙය විද්‍යාත්මකව නොදැන සිටියත් ගැමියා ඒ දේ පාරම්පරිකව කරගෙන ආවෙ කිසියම් සත්‍යතාවයක් ඇති නිසා. අවුරුද්දට දින කීපයකට පෙර වලක් කපා කෙසෙල් කැණක් වල දමන්නෙ අවුරුද්ද දවසට කෙසෙල් ඉදවා ගන්න… දැන් වගේ මැලතියන්, එතිලීන්, ෆෝමලීන් ගහලා නැති, ඉතාම පිරිසිදු කෙසෙල් අපට ලැබුණෙ එහෙමයි. හැකියාවක් තිබෙනවා නම් ගෙදර ලිඳත් අවුරුද්දට ඉස්සර ඉහලා පිරිසිදු කරලා අළුත් අඟුරු කැට කීපයක් එයට එක් කරනවා. අඟුරු වලින් සිදු වෙන්නෙත් අහිතකර දෑ උරා ගැනීම… එතැනත් සිදු වන්නේ විශබීජ නාශනයක්… දැන් කාලෙ වගේ ෆිල්ටර් හරහා පෙරා ජලය පානයක් තිබුණෙ නැහැ. අඟුරු කැබැල්ලක් සමඟ කළයට දාගනිපු වතුර හැම වෙලේම පිරිසිදුයි. ඒ වගේම සිසිල්.. කළයේ පෘෂ්ඨය හරහා ජලය වාශ්ප වෙනකොට කළයේ ඇති ජලය සිසිල් වෙනවා… හරිම සරළයි… ඒ වගේම වී – සහල් කරලා ඉතිරි වෙන වී පොතු සහ බොල් වී ගොඩ ගසා ඇති බොල් වී ගොඩ ගිනි තබනකොට ගෙදර ඇති ගුරුලේත්තුව සහ කළයත් ඒ මතම නවනවා… අවසානයේ ලැබෙන්නෙ ඉතාම නැවුම් රහක්, සුවඳක් ඇති ජලය ලබාදෙන කළයක්, ගුරුලේත්තුවක්… ඒ රස කවදාව‍ත් ෆිල්ටරයකින් ලැබෙන්නෙ නෑ,..

අවුරුද්ද ලංවෙනකොට නෑදෑයො බොහොම දෙනෙක් ගමේ එන්නෙ තමන්ගේ දෙමාපියො වැඩිහිටියො, නෑදෑයොත් එක්ක ඒ දින කීපය හෝ ගත කරන්න…  ඒ සංතෝෂය නිරාමිස සතුටක්…. හැමෝගෙම මුහුණුවල සිනාව ඉතිරෙනවා…. තරහක් මරහක් හිතේ තිබුණත්, බුලත් අතක් දීලා වැඳලා සමාව ගත්තාම ඒ සියල්ල අවසන්… නමුත් දැන් නම් අවුරුදු ගානක් හිතේ තියාගෙන ඉඳලා වටකරලා ගහන්න තරම් අපේ මිනිස්සු පහත් තත්ත්‍වයට පත් වෙලා…

පුණ්‍ය කාලෙට ආහාර අනුභවයක් සිදු නොකරන්නෙ බඩටත් කිසියම් විවේකයක් දීමට අවශ්‍ය නිසා… මුස්ලිම් ජනතාව මාසයක් තිස්සේ හැමදාම කරන නෝම්බි අැල්ලීම වගේ දිනක් බඩගින්නේ ඉඳලා ආහාර ගන්නවා වගේම අවුරුද්දෙදි කරන්නෙත් කිසියම් කාලයක් නිරාහාරව ඉඳලා බඩ පදම් කිරීමක්…  ඒ වගේම සියළුම දෙනා එකට හිඳ ඒ කටයුතු කිරීමෙන් පවුලේ සමගිය, එකමුතුකම නැවතත් වර්ධනය වෙනවා. සමහරවිට අපි අපේ කාර්යබහුලකම නිසාම අපේ සහෝදර සහෝදරියන්ට හරියට එකතු වෙලා කතා කරන්න වෙලාවක් නැහැ. මේ නිසාම අවුරුද්ද දවසේ එකට එකතු වෙලා, කිසියම් ක්‍රීඩා කරලා, රාජකාරි වැඩ සියල්ල අත හැරලා, අමතක කරලා, බොහොම සැහැල්ලුවෙන් ඉන්න දවස් කීපයක් – මානසික සුවයක් ලැබෙන දින කීපයක්….

ඒ වගේමයි නව අවුරුද්දට ස්නානයත්, ශාක සාරයන් ඇසුරෙන් තනාගත් නානු හිසේ ගල්වා, නෑම නිසා සිද්ධ වෙන්නෙ හිසේ සෞඛ්‍යමත් බව දවසකට හෝ ඇතිවීම… ඉස්සර මිනිසුන්ගේ කොණ්ඩය දැන් අපේ වගේ අකලට පැසුනෙ නෑ… ඔවුන් ආහාරයට ගත්තෙ පිරිසිදු ආහාර ද්‍රව්‍ය, බිව්වෙ  පිරිසිදු ජලය, හුස්ම ගත්තේ පිරිසිදු වාතය… දැන් අපි නාන්නෙ ක්ලෝරීන් මුසු ජලය, කන්නෙ වසවිස, හුස්ම ගන්නෙ අධික විශ සහිත වාතය… මෙන්න මෙතැනයි අපේ වර්තමාන මිනිස්සුන්ගෙ සෞඛ්‍ය තත්ත්‍වය පිහිරීමට බලපාන ප්‍රධාන සාධකය..

ගමේ අවුරුදු හොඳින්ම අත් විඳපු කෙනෙක් ලෙස ඒ සුන්දරත්‍වය අද දරුවොන්ට ලැබ ගන්න අවස්ථාවක් නැති එක ගැන අප්‍රමාණව දුක් වෙනවා..  ඉස්සර ගමේ හැමතැනම නිදහසේ ඇවිදලා බෝවිටියා, දං, කැබෙල්ල, ටොංකිඥ්ඥා, කොතලහිඹුටු, පඩගෙඩි, ආදී නොයෙක් දෑ කඩාගෙන කාපු අපට මේ කිසිම දෙයක් ඇහින් දකින්නවත් නෑ දැං…. ඒ වගේම දරුවෙක් තනියම හෝ කිහිප දෙනෙකු වශයෙන් ගමේ යවන්න බයයි… ඔවුන්ට මොන අතවරයක් වෙිවිද කියා හිතා ගන්න බැරි තත්ත්‍වයකයි අපි ඉන්නෙ… මේ අපේ දුක්ඛිත යතාර්ථය… අපට මේ පැරණි තත්ත්‍වයට ආයෙත් යන්න බැහැ… යන්න පුළුවන් කියලා කියනවා නම් ඒක බොරුවක්… නමුත් අපට අපේ පැවතුම්, සිතුම් පැතුම්, නිසි මඟට හරවා ගන්න පුළුවන්…

සමාජයක් හදන්න විශාල රැල්ලකටවත්, දැඩි මතධාරී කණ්ඩායමකටවත්, දැඩි නීතිරීති වලටවත් බැහැ… සමාජයක් වෙනස් විය යුත්තේ සමාජයේ මූලිකම ඒකක වෙනස් කිරීමෙන්… තනි තනි පුද්ගලයින්, පවුල, ආදී ඒකක වෙන් වනවිට සමාජයක් කෙමෙන් කෙමෙන් වෙනස් වෙනවා…

අවුරුදු හතරකට පස්සෙ මම ඉන්නෙ මෙතැන… බ්ලොග් ලෝකය හරහා මම බොහෝ දේ ලබා ගත්තා.. මම දැනුම, සයිබර් මිතුරන්, සැබෑ ලෝකෙ මිතුරන්, කිසියම් ප්‍රසිද්ධියක්, නින්දා අපහාස, ආදී සියල්ල ලබා ගත්තෙ බ්ලොග් අවකාශය හරහා… ඉතිං කොතරම් කාර්ය බහුල වුවත්, ඉඳහිට හෝ බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න අමතක කරන්නෙත් නැහැ…

අද සිට ඔබත් හරි දේ කරන්න, හරි දේ ආහාරයට ගන්න, හරි දේ බොන්න (සුරාමේරය ගැන නොවෙයි මේ කියන්නෙ), හරියට ජීවත් වෙන්න උත්සාහ කරන්න… මුලදි අමාරු වෙයි… ඒත්, හරි මාර්ගයට වැටුනාම – ඒ වෙනස ඔබටම තේරේවි….

සුබ අළුත් අවුරුද්දක් !

බ්ලොග් ලෝකයේ අළුත් අවුරුදු උත්සවේදි හමුවෙමු….

%d bloggers like this: