Monthly Archives: මැයි 2014

බලන් කඩතුරා හැර දෑසේ…. කාබන් ඩයොක්සයිඩ් ශ්‍රී මහා බෝධියට අකැප නම්, කළුතර බෝධියයි බෙල්ලන්විල බෝධියයි පවතින්නෙ කොහොමද ?


පණ්ඩිත් අමරදේවත්, ටී එම් ජයරත්න මහතාත්, මහින්දයේ නැටුම් ගුරුවරයා වුන ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාත් තුන් දෙනා ඒ කාලෙ බොහොම හොඳ යාළුවො… දවසක් තුන්දෙනා කතරගම ගියේ ඒ යාළුකමට වුනත්, අලවත්තගේ මහත්තයා හීනියට පොඩ්ඩක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ… ඒ කාලෙ දැන් වගේ කතරගම දෙයියොන්ගෙ පිහිට පතන්න අසූහාරදාහක් සෙනඟ නොහිටිය නිසාම ඒ තුන්දෙනා කතරගම දේවාලෙ ඇතුලෙ හොඳට වාඩි වෙලා කතා කර කර උන්නලු…

කතරගම දෙයියො ආවරණය කරලා තිබුණ තිරය එකපාරටම සුළඟට සෙලවෙන්න ගනිත්දි, ටී එම් ජයරත්න මහත්මයා කිවුවලු, අන්න කතරගම දෙයියෝ අලවත්ත මහත්තයා බීපු නිසාද කොහෙද බලනවා කියලා… එතකොට තමයි අලවත්ත මහත්තයා කියලා තියෙන්නේ…. ඔය කඩතුරාව නෙවෙයි හැරලා බලන්න ඕන… දෑස වසාගෙන තියෙන කඩතුරාව කියලා…

ඒ අනුව තමයි අලවත්ත මහත්තයා මෙන්න මේ ගීය ලියලා ටී එම් ජයරත්න මහත්තයාට දීලා තියෙන්නෙ…

මිනිසා මේ ලොව බිහි වූ දා පටන්ම නොදන්න දේවල්, අමුතු දේවල් කෙරෙහි දැක්වූයේ ගෞරවයක්. ඉරට – හඳට පොළවට මිනිස්සු වැන්දෙ බයට.. ගින්දර දේවත්වයේ ලා සැලකූවේ උණුසුම දෙන නිසාම නොවෙයි…. තේරුම් ගන්න බැරි වුන නිසා…. විශාල රූස්ස ගස්වලට මිනිස්සු වෘක්‍ෂ දේවතාවො කියලා වැන්දෙ, මිනිස්සුන්ට ඒකෙන් සෙවණ, ආහාර ලැබුණ නිසාම පමණක් නොවෙයි… ඒ ගස්වල මහා බල පරාක්‍රමය මිනිස්සු දෑහින් දැකලා දරා ගන්න බැරි වුන නිසා… මේ නිසාම මිනිස්සු එක එක දේවල් දේවත්වයෙන් සැලකුවා… තමන්ට තේරුම් ගන්න හැකි- නොහැකි ආකාරය අනුව…

මේ දේවල් පාරම්පරිකව අතීතයේ සිට වර්තමානය දෙසට ඇදී ආවා.. විවිධ ස්ථානවල දේවස්ථාන පිහිටවුනා… විවිධාකාර අන්දමින්… දැනුත් සිදු වෙනවා.. තව අවුරුදු 50 කින් විතර බැලුවොත් බුදු හාමුදුරුවො වැඩ සිටියෙ ඉන්දියාවෙ නෙවෙයි… පන්නිපිටියෙ දෙවුරම් වෙහෙරේ කියලා කියවුනොත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි… පසුගිය දවසක දෙව්රම් වෙහෙරෙ රාවණා රජ්ජුරුවොන්ටත් පූජා සිද්ද වුනා….  මහා පෙරහැරකුත් තිබුණා.. ඉස්සරහට තව තව දේ වේවි.. එදාට දෙව්රම් වෙහෙරේ බෝධීන් වහන්සෙට රාවණා රජතුමා එනවා කියලා කිවුවොත් ඒකත් පිරී ඉතිරිලා යාවි…. VVIP කට්ටියත් එනවා… දෙව්රම් වෙහෙරේ අංගම් පොර බලන්න…. සල්ලි වල බලේ…. මීට අවුරුදු 20 කට පෙර ඔතැන තිබුණෙ තනිකර කුඹුරක්… පායන කාලෙ අපි නාන්න ගියේ එතැනට…

කතරගම දෙයියන්ගෙ උපන් දිනේ සැමරුවලු… හැපි බර්ත් ඩේ කිවුවා…. ලක්‍ෂ දෙකක් විතර ගියාලු… සෙලිබ්‍රේෂන් එකටත්… ඒ වුනාට එක්කෙනකුටවත් අතට අත දීලා විශ් කරන්න බැරි වුනේ හදිසි ආරාධනාවකට කතරගම දෙයියෝ කොල්ලුපිටියෙ පැත්තෙ ගිහින් හිටිය නිසාලු…

දැන් ලංකාවෙ හිට්ම ටෙලි නාට්ටිය අත්තම්මා ලු… ඒකෙ තියෙන යන්ත්‍ර මන්ත්‍ර ගැන දැක්කාම අනේ අපි විද්‍යාව ඉගෙන ගන්නෙ මොකටද කියලා හිතෙනවා… ඇත්තෙන්ම උසස් පෙළ විෂය නිර්දේශයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැනත් වෙනම විෂයක් දාන්න වෙයි…. ලොක්කත් ඉතිං සුරේ අල්ලෙ තියාගෙනම නෙ ඉන්නෙ… තුන්සිය හැටපස් දවසෙම…. තව මොනවද ?

කොහොමත් සාමාන්‍ය මිනිස්සු දැන් දැන් අභූත දේවල් විශ්වාස කරනවා වැඩියි… වෙන එකක් තියා මට අද අපේ මැනේජර් කෙනෙක් ෆොටෝ වගයක් පෙන්නුවා…  එළි වගයක් තියෙනවා කියලා… බැලුවාම කැමරාවෙ ලෙන්ස් එකේ දූවිලි වගේ… එහෙමත් නැතිනම් මිරර් එකේ දූවිලි…. මම ඉතිං කැමරාවෙ ඒ ඒ එළි තියෙන තැන් වල දුර ඇනලයිස් කරලා පෙන්නුවෙ ඒ හැම එලි දෙකක් අතරම දුර එක හා සමානයි කියලා… පස්සෙ තමයි කිවුවෙ කැමරාව සුද්ද කරන්න දුන්නා කියලා…

කතරගම විශ්‍රාම ශාලාවක ලොකු බූරු පිටියක් පවත්වාගෙන ගිහින් පොලීසියට අහු වෙලා…. ඔය සූදු කාරයොන්ට ඔච්චර අනුහස් තියෙන කතරගම දෙයියො දඬුවම් දෙන්නෙ නැද්ද ?

බුද්ධාගම දර්ශනයක් විදියට මම දකින දැක්ම ගැන මගේ හිතේ  කිසිම අවිශ්වාසයක් නෑ….

ශ්‍රී මහා බෝධීන් වහන්සේට වාහන දුම වදින නිසා අච්චර ශ්‍රද්ධාවෙන් මර්වින් සිල්වා මැතිතුමා කරවපු රථගාල අයින් කරලා…. නමුත් ඔය තර්කයම වෙන තැනකට ගෙනාවොත්, වාහන සිය දහස් ගණනක් දවසකට මාරුවෙන තැනක අච්චර පාර අයිනෙම වැඩ සිටින කළුතර බෝධීන් වහන්සෙයි බෙල්ලන්විල බෝධීන් වහන්සෙයි කොළ පැහැති අතු රිකිළි දාගෙන හොඳින් වැඩෙන්නෙ මොන ආශ්චර්යයක බලයෙන්ද ? මම නම් හිතන්නෙ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දිරාපත් වීමට හේතුව රජරට ඇති පාරිසරික සාධක කියලයි…

අපේ උපාසකම්මලා ඉහින් කණින් හති දාගෙන පැන් කළ හතක් වඩම්මවලා බෝධීන් වහන්සේලා ස්නානය කරවන  පැන් අහල පහල කානුවකට හෝ වැවකට යන්න සලස්වලා තියෙනවා කියලා දන්නෙ කීයෙන් කී දෙනාද ? මේ ආකාරයට බෝධිය නාවන නෑවිල්ලට උන්වහන්සෙට ජල සන්නිය හැදිලා ඉතිරි වුනොත් ඇති. මොර සූරන වැස්සෙත් කල හතක් ම නාවනවා. භක්තිය කියන්නෙ එකක්…. අන්ධ භක්තිය කියන්නෙ තව එකක්…. ඒ වගේම මේ ආගමික සංහිඳියාව පවතින මේ අවධියෙ පැන් කියලා මොන වහක් බෝධීන් වහන්සෙට දාන්න බැරිද ? ඒ නිසාම තමයි මේ ආරක්‍ෂක උපක්‍රමය අරගෙන තිබෙන්නෙ. ගමේ බෝධීන් වහන්සෙට ඔය ප්‍රශ්න නැති නිසා තමයි නාවන පැන් සියල්ල බෝධි ඝරය තුළට එකතු වෙන්නෙ.

රජරට, අනුරාධපුර පැත්තෙ ආසනික් සහිත ජලය නිසා වකුගඩු රෝගය ඇති වෙනවලු….  ඉතින් බෝධීන් වහන්සේටත් පූජා කෙරෙන්නේ ඒ ටැප් වලින්ම එන ආසනික් සහිත ජලයමද කියලා කවුද දන්නෙ ?

ගෝඩ් නාථ ම තමයි…..

%d bloggers like this: