Monthly Archives: සැප්තැම්බර් 2014

වකුගඩු රෝගීන් වෙනුවෙන්…… අමු මිරිස් කන්නට #SLAmuMirisChallenge


රජරට වකුගඩු රෝගය, එහෙමත් නැතිනම් හැමෝම කියන CKDU (Chronic Kidney Disease of Unknown Aetiology) කියන්නෙ දැන් මුළු රටම දන්න දෙයක්. ළඟදි කරලියට ආවත්, මේ රෝගයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. CKDU කියන රෝගය ලංකාවට පමණක් උරුම වෙච්චි දෙයක් නොවෙන බව බොහෝ දෙනා නොදන්නෙ ඒ පිළිබඳ දීර්ඝ විද්‍යාත්මක සංවාදයක් නිසි ලෙස ගොඩ නොනැඟුන නිසයි. ඒ පිළිබඳ මූලිකව යම් යම් කණ්ඩායම් මගින් විවිධාකාරව (තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව) දැනුවත් කළත්, මේ රෝගය ලෝකයේ රටවල් කිහිපයකම දැඩි ලෙස ව්‍යාප්තව තිබෙන බව නොකියන්නට හේතුව සමහරවිට තමන්ගේ අරමුණ කරා යන්න නොහැකි වේ යැයි ඔවුන් විශ්වාස කළ නිසා විය හැකියි.

CKDU (Chronic Kidney Disease of unknown cause)

 CKDU කියන්නෙ හඳුනා නොගත් හේතුවක් නිසා සිදුවන ක්‍රමාණුකූල වකුගඩු අකර්මණ්‍යතාවය. මෙය දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, වැනි හේතු නිසා ඇතිවන්නට පුළුවන් වුනත්, රජරට රෝගීන් සියල්ලම පාහේ මේ හේතු නිසා රෝගී වූ අය නොවෙයි. මේ රෝගීන්ගේ පොදු සාධකය වන්නේ දැඩි අවුරශ්මිය ඇති පෙදෙස් වල අධිකව කය වෙහෙසා සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සහ කාර්මික කටයුතු, ආදියයි. මේ කෘෂිකාර්මික කටයුතු වලදී ඔවුන් ඵලදාව වැඩි කර ගැනීමේ අටියෙන් විවිධාකාර පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට ගන්නවා. එසේම මේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නෙත් මැදි සහ වයසක පිරිමි පාර්ශවයේ උදවිය. මේ නිසයි පිරිමින් අතර වකුගඩු රෝගය ප්‍රචලිත වීම වැඩි වන්නෙ. මෙය අපේ රටට පමණක් උරුම දෙයක් නොවෙයි. බංගලිදේශය සහ ලතින් ඇමරිකානු රටවලත් මේ තත්ත්‍වය දැඩිව දැකිය හැකියි.

රෝග ලක්‍ෂණ

මෙහි රෝග ලක්‍ෂණ අවධි ගණනාවකදි දැකිය හැකියි. මුල්ම අවධියේදි අධික මහන්සිය, කෑම අරුචිය වගේ දේ දැකිය හැකි වුනත් කල් යත්ම මේ රෝග ලක්‍ෂණ දරුණු වෙනවා. බොහෝ විට රෝගීන් ඔවුනට මේ තත්ත්‍වය ඇති බව දැනගන්නා විට පමා වී අවසානයි. එවිට වැලැක්විය නොහැකි ලෙස වකුගඩු නරක්වී අවසානයි. ඒ වනවිට මතු වන්නේ වකුගඩු ප්‍රදාහයක රෝග ලක්‍ෂණ වන ශරීරය කහ පැහැති වීම, දැඩි මාංශපේෂී වේදනාව වැනි රෝග ලක්‍ෂණයි. එසේ සිදු වන්නේ වකුගඩු වලින් අපද්‍රව්‍ය පෙරීම අඩු වන නිසායි. එසේම මේ හේතුව නිසා සිදුවන මරණ ඉතා දීර්ඝකාලීන වේදනා විඳ මරණය බොහෝ කළක් පෙනි පෙනී සිදුවන බොහොම දුක්ඛදායක මරණ.

ප්‍රතිකාර

බොහෝ විට මූූලික අවධියේදීම රෝගය හඳුනා ගතහොත් රුධිර කාන්දුකරණය (Dialysis) මගින් හෝ වකුගඩු බද්ධ කිරීමක් මගින් රෝගියා යහපත් තත්ත්‍වයට ගෙන ආ හැකියි. නමුත් මේ ක්‍රම දෙකම රංරට වකුගඩු රෝගීන්ට නොවෙයි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටවත් දැරිය නොහැකි බරක්, ඒ නිසාම එවැනි ප්‍රතිකාර කරා බොහෝ දෙනෙකු යන්නෙ නැහැ. ඒ හැරෙන්න මේ රෝගයට සුවිශේෂී බෙහෙතක් නැහැ. වකුගඩු නරක් වීම වැලැක්වීම හැරෙන්නට වෙනත් කිසිම බෙහෙතක් නැහැ. එයයි මූලිකම බෙහෙත.

මේ රෝගයට හේතු කාරක ලෙස විවිධාකාර පර්යේෂණ කණ්ඩායම් විවිධ මත පළ කළා. වරෙක එක් කණ්ඩායමක් පැවසුවේ වැව්වල වැවෙන එක්තරා ජලජ ක්‍ෂුද්‍ර ජීවී කාණ්ඩයකින් සිදුවන විෂවීමක් ලෙසින්. තවත් වරෙක රජරට ජලයේ පවතින අධික ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණය මෙයට හේතු විය දැකි බව දැක්වූවා. වඩාත්ම ප්‍රසිද්ධ වූ නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම යටතේ මහාචාර්ය නලින් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම මෙය ආසනික් සහ කැඩ්මියම් විශ වීම නිසා සිදු වන්නක් බව ගෙන හැර දැක්වූවා. මේ සියල්ල පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිසා සිදු වන්නක් බවත්, පිටරටින් ගෙන එන පොහොර සීමා කිරීම යුතු බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා. මගේ මතය වූයේ එප්පාවල ඇපටයිට් නිධිය ආශ්‍රිතව ඇති අධික පොස්ෆේට් සහ ඛණිජ ලවණ සාන්‍ද්‍රණය මේ සඳහා දායකත්‍වයක් දක්වන බවයි. මගේ මතයට මූලික වූයේ හිමාල කඳු ආශ්‍රිතව බැස යන ගංගා නම් නදියෙන් පෝෂණය වන බංගලිදේශ ද්‍රෝණිය තුළත් මෙවැනිම ලක්‍ෂණ දැකිය හැකි නිසා. කෙසේ වුවත් දැන් දැන් මගේ හැඟීම මේ සියල්ලේම එකතුවක් නිසා මේ වකුගඩු රෝගය ඇතිවන බවයි. එසේහ භූගත ජලයේ පවතින කිවුල් භාවය මේ ඛණිජ ළවණ ජලයේ දියකිරීමට වැඩි දායකත්‍වයක් දක්වනවා ඇතැයි මගේ මතයයි.

මේ තත්ත්‍වය සමනය කිරීමට හෝ පාලනය කිරීමට අපට නොහැකිද ?

අපට මේ තත්ත්‍වය පාලනය කිරීමට පියවර ගණනාවක් ගත හැකියි.

  1. දැනට රෝගී තත්ත්‍වයේ සිටින පුද්ගලයින්ගේ රුධිර කාන්දුකරණය මගින් පිරිසිදු කිරීමෙන් ඔවුන් වැඩි කළක් ජීවත් කර ගැනීම
  2. කෘෂි කාර්මික කටයුතු වලදී දැන්වත්, ආසනික්, කැඩ්මියම් සහ ග්ලයි පොස්ෆේට් අඩංගු පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නැවැත්වීම/සීමා කිරීම
  3. රජරට වැසියනට බීමට සුදුසු ජලය සැපයීම
    1. කිවුල් නොවූ පිරිසිදු ජලය නළ මාර්ග හෝ බවුසර මගින් සැපයීම (බවුසර ක්‍රමය දීර්ඝකාලීනව කළ හැක්කක් නොවේ)
    2. ගෘහස්ථ ජල පෙරණ ලබා දීමට කටයුතු කිරීම
    3. ග්‍රාමීයව මහා පරිමාණ ජල පෙරණ ලබා දීම
  4. විද්‍යාඥයින් – රසායනඥයින් – වෛද්‍යවරුන් ආදී බුද්ධි මණ්ඩලයකින් සමන්විත පුළුල් පර්යේෂණ මණ්ඩලයක් පත් කිරීම සහ ක්‍රියාවට නැංවීම මගින් දීර්ඝකාලීන විසඳුමක් කරා යාම
  5. නැවතත් සාම්ප්‍රදායික ව්‍යාපාරික කෘෂිකාර්මික රටාවක් කරා යොමු වීම

මේ අතරින් ප්‍රධානයි.

අමු මිරිස් අභියෝගය.

මෑතකාලයේ චාලක නියුරෝණ ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් සිදු කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් තර කිරීමට සහ ඒ පිළිබඳ අවධානය වැඩි කිරීම සඳහා ඇමරිකාවෙන් ඇරඹුන ALS Ice Bucket Challenge කටයුත්තට සමගාමීව අපේම තරුණ කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකීය ඌරුවක් ඇතිව සංවිධානය කළ අමු මිරිස් අභියෝගය දැන් දැන් ශ්‍රී ලංකාව පුරා විද්‍යුත් මාධ්‍ය හරහා වේගයෙන් පැතිරී ගෙන යනවා.

මෙය ඇත්තටම දැන් ප්‍රසිද්ධ චරිත කරාත් ඇදී යන්නට පටන් අරන්, එය ඉතාම හොඳප්‍රවණතාවයක්. ඒ නිසාම දැන් මෙය රැල්ලක් ලෙසටම වර්ධනය වෙලා. මුලින් මෙයට මා ඒ තරම් කැමැත්තක් නොදැක්වූයේ මිරිස් කරල් තුනක් කෑමෙන් සමහරුන්ට ඇතිවිය හැකි අතුරු විපාක පිළිබඳ මා දන්නා නිසා. උදාහරණයක් විදියට මට මිරිස් කෑම සුදුසු නැහැ. එමගින් මගේ බඩේ තුවාල හට ගැනීමට ඉඩතිබෙන බව වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසයි මම මේ මිරිස් කරල් අභියෝගය භාර ගැනීමට මැලිකමක් දැක්වූයේ. ප්‍රසිද්ධියේ මිරිස් කරල් කා වීරයෙකු විය හැකි වුවත් දීර්ඝකාලීනව විඳවන්න සිදුවන නිසාම මම ඒ අභියෝගය භාර ගන්න මැලි වුනා. නමුත් සංවිධායකයින්ගේ එක් අරමුණක් වූයේ වකුගඩු රෝගීන් විඳින දුක අපට විනාඩි කිහිපයකට හෝ විඳිය හැකිනම් එය කළ යුතුය යන්නයි. එය එසේ සිදු කිරීම හෝ නොකිරීමට ඔබට භාරයි.

මේ වකුගඩු රෝගය පිළිබඳ මා උනන්දු වූයේ වසර 2010 ටත් පෙර සිට.. මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු කණ්ඩායම නාථ දෙවියන්ගේ මග පෙන්වීම මත සිදු කළ පර්යේෂණයේ ඇති සමහර අඩු ලුහුඬුකම් දැකීමෙන් මමත් මේ ගැන සොයා බලන්නට වුනා. ඒ සෙවිල්ලේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි රාවය පුවත්පතේ මගේ ලිපියක් පළ වුයේ. එසේම ඇල්කෙමියාගේ දිනපොතෙන් සහ රසායනාගාරය බ්ලොග් අඩවි තුලින් මේ පිළිබඳ කතිකාවතක් ගොඩ නගන්න මා උත්සාහ කළා… අමු මිරිස් අභියෝගය තුළින් ඒ පිිළිබඳ දැන් දැන් කතා කිරීමට මට බලවත් සතුටක්.

ඒ නිසාම මම මේ අභියෝගයට මුහුණ දෙන්න කටයුතු කළා. මේ තාක් අපේ අමු මිරිස් අභියෝගය සිදු වූයේ සිංහල භාෂාවෙන්. මෙය එසේ දිගින් දිගටම සිදු වීම මගින් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් වුවත් අපි මෙයින් එහාට යා යුතුයි. අපි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. මේ නිසාම මගේ වීඩියෝව ඉංග්‍රීසි බසින් සිදු කළා. මම මිරිස් නොකෑවත්, මගේ අභියෝගය ඊට වඩා එහා ඉමකට ගෙන යන්නට මට අවශ්‍ය වුනා. ඒ නිසයි මම මගේ අභියෝගය ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන්ට සහ විිද්‍යාඥයින් – රසායනඥයින්ට එල්ල කළේ. අපට මේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් මීට වඩා යමක් කළ හැකි නම් ඒ අපි ලැබූ මිනිස් භවය තවත් අර්ථවත් කළ හැකි කරුණක්. ඒ නිසාම අපට මේ මිනිසුන් වෙනුවෙන් ලාභදායී කල් පවතින ගෘහස්ථ ජල පෙරණයක් තනා දිය හැකිනම්, එය නිර්මාණයකට වඩා එහා යන මහඟු පිංකමක් වෙනවා. රෝහලට Reverse Osmosis යන්ත්‍රයක් ලබා දීමෙන් යම් සහනයක් දිය හැකි වුවත් එය දීර්ඝකාලීන විසඳුමක් නොවෙයි. එයින් කවදාවත් අළුතෙන් වකුගඩු රෝගීන් ඇති වීම වලක්වන්නට බැහැ. එයින් අපට කළ හැක්කේ දැන් රෝගීව සිටින්නවුන්ට යම් සහනයක් දීම පමණයි.

අපි එයින් එහාට යා යුතුමයි. අමු මිරිස් අභියෝගයෙන් හෝ මෙය අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසයි අපි සැවොම එකතු වීමේ අවශ්‍යතාවය ඇත්තෙ. අපි බොහෝ දුරට ප්‍රශ්න දුටුවත්, ඒවාට විසඳුම් ලබා දෙන්නට උත්සාහයක් ගන්නවා අඩුයි. එසේම අපි අපේ පෞද්ගලික න්‍යායපත්‍ර, වෘත්තීයමය පෞරුෂත්‍වය ආදිය ගොඩ නඟා ගන්න ආත්මාර්ථකාමීව කටයුතු කරනවා හැරෙන්නට පොදු කරුණක් සඳහා තම පෞද්ගලිකත්‍වය ඉවත දමා එකතු වනවා අඩුයි. විද්‍යාත්මක ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනෙකු තම මතය හරි යැයි ශපථ කරන්නට කටයුතු කරනවා හැරෙන්නට විරුද්ධාකල්ප දරන්නන් සහ එකතු වී කටයුතු කරන්න කැමති වන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් හැමෝටම අඩු වැඩි වශයෙන් Ego එක තියෙන නිසා. මේ නිසා පොදු කරුණක් වෙනුවෙන් එක් වන්නට ඔවුන්ට හිත නැමෙන්නෙ නැහැ.

ඉතින් මගේ අභියෝගය මෙන්න මේ වකුගඩු රෝගීන් වෙනුවෙන් අපේ වාද භේද, පෞද්ගලික වාසි, වෘත්තීයමය නොගැලපීම් මොහොතකට අමතක කරලා, එකා වන්ව අත්වැල් බැඳගෙන මේ කාරණය සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දෙන පර්යේෂණයකට එක් වන්න කියලයි. මට මෙය සංවිධානය කරන්නට බැරි වුනත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙනත් වගකිවයුතු ආයතනවල ලොකු පුුටු හොබවන විද්වතුන්ට මෙය කරන්න අමාරු නැහැ. තිබිය යුත්තේ ඒ පිළිබඳ උවමනාවක් පමණයි. අපට කළ හැක්කේ ඒ පිළිබඳ උනන්දු කිරීම පමණයි.

නැවතත් මධ්‍යම පලාතේ ඡන්දයක් ආවොත් මේ වකුගඩු රෝගීන් වෙනුවෙන් මිරිස් නොවෙයි අසූචි වුවත් කන්න අපේ දේශපාලනඥයෝ සූදානම් වෙිවි. නමුත් ඒකත් අර ඌවට නියං සහනාධාර බෙදනවා වගේ මැතිවරණ වාසියක් තකා සිදු කරන තවත් එක් දෙයක් පමණක් වෙිවි.

ඉතිං සිරිලකේ සොඳුරුතම අභියෝගයට මා මුහුණ දුන්නේ මෙහෙමයි… මගේ ඉල්ලීම අපි ඔක්කොම එකතු වෙලා මේකට ස්ථිරසාර පිළියමක් හොයමු යන්නයි…

ඒ වගේමයි මේ වීඩියෝව සූටිං කරලා එඩිට් කරලා හදලි දුන්න සිහින මලයාට (තිසර මධුවන්ත) බොහොම පිං…..

ඒ වගේම අමු මිරිස් අභියෝගය ජාත්‍යන්තරයට ගෙන යමු…..

 

බොන්නට පිරිසිදු දිය බිඳක්,
හීන මවන්නට ඉදිරියක්,
දරුවන්ට පැහැදිලි අනාගතයක්,
කඳුලක් පිසින්නට දෑතක්,
හිතට සහනයක් – ගතට දිරියක්
මේ කිසිවක් නොමැති අසරණ රජරට ජනතාවට

බොන්නට පිරිසිදු දිය බිඳක්,
හීන මවන්නට ඉදිරියක්,
දරුවන්ට පැහැදිලි අනාගතයක්,
හිතට සහනයක් – ගතට දිරියක්
දෙන්නට…
තරුණ හිත්වල පිබිදුන
සිරිලක සොඳුරුතම අභියෝගයේ
නව මානයකට….

මේ අභියෝගය ලංකාවේ සහ ලෝකයේ දසත විසිරී සිටින
විද්‍යාඥයින්ට – නව නිර්මාණ කරුවන්ට.

අපි – වාද භේද පසේක ලා එකා වන්ව….
මේ දුක්බර ජීවිතවලට ස්ථිරසාර සහනයක් ලබා දෙන්නට
නව නිර්මාණයකට ඇරයුම්….

අභියෝගය භාර ගනිමු…. එකාවන්ව පෙළ ගැසෙමු…
හීන සැබෑ කරමු….

ලැම්බෝගිනි සහ සංචාරකයින් මත යැපෙන ආර්ථිකය යහපත් එකක් වීමට නම් හෙවත්…. Sigiriya You Rock !


පසුගිය සතියක පළවුන ලිපියක් ආශ්‍රයෙන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා. ඒ අතරේ ඉස්සර විදුසරේ වීරයෝ වෙලා හිටපු නාලක ගුණවර්ධන, චානුක වත්තෙගම දෙපළත්, ආර්ථික විද්‍යාව ගැන බොහෝ මත පළ කරන අරුණි ශපිරෝ අක්කත් මූලිකව සිටියා… මේ අතරෙයි චම්පික රණවක මහතා බලය සහ බලය පොත එළි දක්වන්නෙ. මට ඒ පොත කියවන්නට නොහැකි වුනත්, ඒ පොතට ප්‍රතිචාරයක් ලෙස පළකළ චානුකගෙ ‘ලැම්බෝගිනි ආර්ථිකය’ සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? – Is Lambogini economy not real? ලිපිය නම් කියවන්න අවස්ථාවක් ලැබුණෙ මට පියෙකු මෙන් සැලකූ මහාචාර්ය විලියම් රැම්බින් සමඟ ලංකාවේ සමහර වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කරන අතරතුරේ දීයි.

මම රසායන විද්‍යාඥයෙක් මිස ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් රසායන විද්‍යාව හෝ කර්මාන්ත ආශ්‍රයෙන් රටට යමක් සිදු විය යුතුය කියන ස්ථාවරයේ තදින්ම එල්බගත් මිනිහෙක් තමයි මම. මේ ලිපිය චානුකගෙ ලිපියට පිළිතුරක් නම් නොවෙයි. නමුත් අපි බොහෝ දෙනෙකු ඉන්න සංචාරක බුබුලේ ඇත්ත තත්ත්‍වය දැක්වෙන ලිපියක් වෙයි කියලයි මම හිතන්නෙ. මේ ලිපියට පාදක වෙන්නෙ මම පසුගියදා මගේ මහාචාර්යවරයා සමඟ ලංකාවේ ඓතිහාසික ස්ථාන නරඹන්නට ගිය ගමන….. සංචාරක ක්‍ෂෙත්‍රයේ ඇති අපමණක් අඩුපාඩු  පමණක් නොවෙයි ඒ අඩුපාඩු හදාගන්නත් මේ ලිපිය කාට හෝ උපකාරයක් වේවි යැයි මම විශ්වාස කරනවා… නැතිනම් රෑ නිදි මරාගෙන මේ ලිපිය ලියන්න මට අමාරුවක් නෑ…

අපි මුලින්ම ගියේ දඹුල්ලේ ලෙන් විහාර නරඹන්නට. දඹුලු ලෙන් විහාර කියන්නෙ ලෝකයාගෙම අවධානය දිනා ගනිපු, සංචාරක පොත්පත්වල හොඳින් විස්තර ලියැවුන තැනක්. සංචාරකයෝ බොහෝ දෙනෙක් මඟපෙන්වන්නන් සමඟ පැමිණියත්, තවත් සමහරුන් පැමිණෙන්නෙ එක්කෝ තනියම, එසේත් නැතිනම් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයින් සමඟ. දඹුලු ලෙන් විහාරවලට ඇතුළු වීමේ විදෙස් සංචාරක ප්‍රවේශ පත්‍රයක්  රුපියල් 1500 ක්, නමුත් එතැන රුපියල් 1500 කට සරිලන්න සේවයක් ලැබුණ බවක් නම් පෙනෙන්න තිබුණෙ නැහැ. මුල්ම අඩුපාඩුව තමයි ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය තිබෙන්නෙ ගොඩනැගිල්ලෙ පිටුපසට වීම… එය ඉදිරියක තිබුණා නම් එතැනින් ප්‍රවේශපත්‍ර ලබා ගන්න එන අයට කීප දෙනෙකුගෙන් අහන්න අවශ්‍ය වෙන්නෙ නෑ… දඹුල්ලෙ ගමන ගැන නම් ඒ තරම් කියන්න අඩුපාඩුවක් නැහැ.

නමුත් සීගිරියෙ සංචාරකයින්ට සිදු වුන අපහසුතා එමටයි… මුලින්ම ප්‍රවේශපත්‍ර ලබා ගන්න තියෙන්නෙ ඇතුළුවීමේ දොරටුවෙන් මීටර දෙසීයක් පමණ ඈතට – විරුද්ධ පසට වෙන්න… ඇයි මේ ඇතුළුවීමේ දොරටුව අසළම ප්‍රවේශපත්‍ර කවුළුවක් තනන්න අපහසු ? ඒ වගේමයි දේශීය සංචාරයකයින්ට වාහන ගාල් කරන්න තැනක් නැති ලු. එතැන හිටපු ආරක්‍ෂක නිලධාරියෙකු තමයි ඒ කතාව කිවුවෙ… විදේශීය සංචාරක ටිකට්පතක් රුපියල් 3000 ක් විතර වෙනවා.. ටිකට් නිකුත් කරන ස්ථානයේ අපූරු දැන්වීමක් අලවා තිබුණා.. එතැන සිටි සංචාරකයින් කිහිප දෙනෙකුම ඒ දැන්වීම කියවා බොහොම වික්‍ෂිප්ත භාවයට පත් වුනා.

949

මොන භාෂාවක්ද ? මොන විදියට කියලා තියෙනද කියලා හිතා ගන්න අමාරුයි. දහස් ගණනක් විදේශ සංචාරකයින් එන තැනක ලියපු දැන්වීක වගකීම් සහිත භාවය තමයි මේ.

ටිකට් පත් ගැනීම නිසා සීගිරියේ විදේශ සංචාරකයින් ගෙන එන වාහන ගාල් කිරීමේ ස්ථානයේ වාහනය නැවැත්වීමට පහසුකම ලැබුණා. නමුත් එතැන තියෙන්නෙ රථ ගාලක් නොවෙයි… එතැන විවිධ ස්ථානවල ගස් අස්සෙ ඉඩක් තියෙන තැනක වාහනය ගාල් කරනවා.. දැඩි තදබදයක් මැදින් සීගිරි බිතුසිතුවම් නරඹා සිංහ පාදය අසළටත් අපි තමන් කළා.

_MG_0378

මේ මහාචාර්ය විලියම් රැම්බින්

_MG_0342

උඩට යන්න පෝලිම

_MG_0351

සීගිරි සුකුමාලියෝ

_MG_0354

_MG_0362

ඉන්පසුව අපි ගියේ අනුරාධපුරයට… බලන්න දේ එමටයි… ජේතවන කෞතුකාගාරයේ ඇති දෑ විශ්මය ජනකයි… එතැන හිටපු අයගෙ වැඩ නම් අපිලිවෙලයි…. සංචාරයකින්  එතැන වූ රූපවාහිනියේ ජේතවනය පිළිබඳ වාරතා වැඩසටහන නරඹත්දී එතැන සේවයට හිටපු කිහිප දෙනෙක් මහ හයියෙන් කතාව… අන්තිමට එතැන හිටපු සංචාරකයෝ නැගිටලා ගියේ අප්‍රසාදය පළ කරමින්… සෙනඟ ගැවසෙන තැනක එසේ වාර්තා වැඩසටහන පෙන්වීමට ඉඩ වෙන් නොකර එය වෙනම කාමරයක සිදු කළා නම් එවැනි බාධා ඇති වන්නෙ නැහැ.

ලංකාවෙ සංචාරක කර්මාන්තය සහ සංචාරකයින්ට පහසුකම් සැලසීම අනිවාර්යයෙන්ම මීට වඩා කිහිප ගුණයකින් ගුණාත්මකව වැඩි දියුණු කළ යුතුයි. ඒ ඒ ස්ථානවල සේවය කරන්නවුන්ට මනා ඉංග්‍රීසි දැනුමක්, ආචාර ධර්ම ආදිය ඉගැන්විය යුතුයි. එවිටයි ආගන්තුක සත්කාරය සහ පාරිභෝගික සේවය පිළිබඳ සංචාරකයින්ගෙ සිත් තුළ යහපත් ආකල්පයක් ඇති වන්නෙ.

එසේ නැතිනම් අපි සංචාරකයෝ එනවා කියා උන් ඇවිත් වියදම් කරලා යනවා කියලා උඩ බලාගෙන සිටියොත් සංචාරකයින් නැවත පැමිණීම (Tourist Returns) අවම වෙන්න පටන් ගන්නවා.. වරක් පැමිණි කෙනෙකු නැවතත් එතැනට එන්නෙ හොඳ සැලකීමක් තිබුණොත් විතරයි.

නමුත් තුන්මුල්ල හන්දියේ ඇති ලක්සලේ නම් ඉතාම විශිෂ්ඨ සේවයක් සිදු කළා… එතැන හිටපු බොහෝ දෙනෙක් චතුරව ඉංග්‍රීසි කතා කළ හැකි තරුණ පිරිසක්, ඔවුන්ගේ පාරිභෝගික සේවාවත් අති විශිෂ්ඨයි… එවැනි තරුණ තරුණියන් සීගිරියේ, ජේතවන කෞතුකාගාරයේ වැනි ස්ථානවල සේවයට යොදන්න පුළුවන් නම් අපේ සංචාරක සේවාව මීට වඩා ගැම්මක් ඇති දෙයක් වෙනවා නොඅනුමානයි…

%d bloggers like this: