Monthly Archives: නොවැම්බර් 2014

කරන කළට පව් මීරිය මී සේ නොහොත් Payback is a BITCH !


බිත්තරයක පිටතින් පුපුරවා දැමීමේදී ජීවිතයක් නැති වන බවත්, බිත්තරයක් ඒ තුළින්ම පැමිණෙන පීඩනයකින් බිඳ වැටීමේදී ජීවිතයක් ඇති වන බවත් කොහේදෝ පඬිවදනක් උපුටු දැක්වූ Facebook පින්තූරයක තිබුණා මතකය. ඒ පඬිවදන මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවේ කොටසක් කඩා බිඳගෙන පොදු විපක්‍ෂයට එක් වී පොද්දා වූ අවස්ථාවේ සිදු වූ සිදු වීමට කවුදෝ සමාන කර තිබුණි. සත්තකින්ම මේ පුපුරා ගියේ ආණ්ඩුව ඇතුලේ මෙතෙක් හිර වී තිබූ පීඩනයයි… තමන්ට බලයක් නොමැතිව පඹයන්සේ සිටීමට සිදු වීම නිසා ඇති වූ පීඩනයයි. තමන් වෙනුවට අනුන් මුදල් හම්බ කර ගැනීමට එරෙහිව නැගිටීමට නොහැකිව තිබූ පීඩනයයි.

කෙසේ නමුත්, බොහෝ දේ සිදු වී හමාරය. රටට, මෛත්‍රීපාල සිරිසේන නම් වූ දේශපාලනඥයා තම අනාගත බලාපොරොත්තුව වී හමාරය. දැන් හැමටම නව ජනාධිපතිවරයෙකු ලැබී ඇත….

කරන කළට පව් මීරිය මී සේ – විඳින කළට දුක් දැඩි වෙයි ගිනි සේ… අපේ ආච්චීගේ මුවේ නිතරම තිබූ වදනකි.. ආච්චීට මඥ්ඥං වගේ කියා මට හිතුනේ මෙච්චර අසික්කිත, තුච්ඡ, පහත් දහදුරා හැම දේම කරන අපේ දේශපාලුවන් දැහැමෙන් සෙමෙන් වැජඹෙන හැටි මේ දෑස් දෙකෙන්ම දකින විටය… මේ කතා කියන්න ආච්චී ලඟ පාතක නැති වුනත්, උන්දෑ එදා කියූ දෑ ඇත්තදෝ කියා නිකමට හිතෙන්න ගත්තේ ම්+ඇහින්ද යුගයෙන් මයිත්ත්‍රී යුගයට පැමිණ දවස් දෙක තුනක් ගතවූ කාළයේ දීය… මෑතක් වන තුරුම මට නං බුදු බණ බොරු යැයි කියා සිතුනේ ඉහත කී හේතුව නිසාමය… නමුත් දවසක් අපේ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් වැදෑරූ බණක් අහම්බෙන් කණ වැකුණේ සෙනසුරාදා දවසක සේවයට යන අතරේ සිරස එෆ් එම් පන්සිල් මළුව ඇසීමට සිතුන නිසාය… උන් වහන්සේ බණ වැඩ සටහනට ප්‍රශ්න ඇසූ ශාලිකා දියණියට පැවසූයේ දැනට ඔවුන් සැප විඳින්නේ පෙරකළ කරන ලද කුසල කර්මයන් නිසා බවයි… ඉදින් මට හිතුනේ… දෙයියනේ මුංගේ කුසල කර්ම කවදා ගෙවී යා දැයි කියාය…

කවදාවත් නිම නොවන කුසල කර්ම රාජකීය දෛවඥයාගේ අකුසල කර්මයක් නිසා අහෝසි වී ගියේ කාට කාටත් නැවතත් බුදු බණ මතක් කර දෙමිනි… තම නිවසට උඩින් කාක්කෙක් වත් පියාඹා නොගිය සජින් වාස් ගේ නිවසට සාමාන්‍ය මිනිසුන් ප්‍රහාර එල්ල කළේ ද, රජ සැප විඳි බැරිසිල් ඇමරිකාවට තනියෙන්ම බෑග් උස්සගෙන ගියේද, මෙතෙක් කල් අසු නොවූ වෙලේ සුදා දවස් දෙකකින් අසු වූයේද, විමලසිරි ගම්ලත්ගේ ආදායම් වාර්තාවට අභියෝග කෙරුණේද…. කවුරුත් කටක් අරින්නට බය වූ නාමල් කුමරුට දුරකථනයෙන් මරණ තර්ජන ඇති කිරීමට තරම් ජනතාව අසික්කිත වූයේද මේ දිට්ඨදම්ම වේදනීය කර්මය කෙමෙන් කෙමෙන් පටිසන් දෙන්න පටන් ගත්ත නිසා බව මගේ මොට්ට මොළයට වැටහෙන්නට විය…

මොනවා වුනත් අප කරන හොඳ නරකවල රිටර්න් එක මොන යම් විදියකින් හෝ අපටම වදින්නේ ස්වභාවයේ නීතිය අනුවමය… මොන ආගම ගත්තද මේ සත්‍යය මනාව පැහැදිලි කර තිබේ.. තමන් වැපිරූ ධාන්‍යවල අස්වැන්න ලැබෙන්නේ වැපිරූ දේ අනුව බවද තමන් කරන ලද පින් පවු තමන් පිටුපස සෙවනැල්ලක් සේ එන බව ද විවධ ශාස්තෘවරුන් විවිධාකාරයට පවසා ඇත්තේ මේ ස්වභාවයේ නියමය සනාථ කරමිනි..

මෛත්‍රී පාලනයේ දේශපාලනඥයන්ටද මේ තියරිය එලෙසින්ම අදාලය… අද වැජඹෙන්නවුන් වෙනත් ආණ්ඩුවකට යටත් වූ විට තම දුගුණවල වන්දි ගෙවන්නට සිදු වනු නොඅනුමානය..

අපි කෙසේ වෙතත්… උඩ ඉන්න දෙයියෝ නම් බලා සිටින බව දැන් පට්ට ශුවර් ය…

මාස හතරකට පස්සේ අකුරු කරන්නට හිතුනේ මෙසේය….

%d bloggers like this: