Monthly Archives: සැප්තැම්බර් 2016
GMOA දොස්තරලා කියන්නේ අලිපුකෙන් ආපු ජාතියක්ද ?
පසුවදන මුලින්ම: පසුගිය දිනක මහමෝදර රෝහල වෙත පැමිණි ත්‍රිරෝද රථයක ගෙන ආවේ හිස පොඩිපට්ටම් වී ගිය දරු ප්‍රසූතියට ආසන්නව සිටි මළකඳකි. ඒ අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරු තිදෙනෙකු මළගෙදරකට යාම සඳහා පිටත්වීමට සූදානමින් සිටියා. මළ සිරුර දුටු වහාම ඔවුන් සිදු කර තිබුණේ කුස තුළ සිටි දරුවා ජීවත්ව සිටී දැයි නිගමනය කිරීමයි. දරුවා තවමත් ජීවත්ව සිටින බව දැනගත් ඔවුන් වහාම කළේ මියගිය රෝගියාගේ භාරකරුවන්ගෙන් අවසර ලබාගෙන රෝහලේ කොරිඩෝවේදීම සිසේරියන් සැත්කමක් කර පණ යමින් සිටි දරුවා බේරා ගැනීමයි, ඉන්පසු දරුවා අදාල ඥාතීන්ට භාර දී තිබේ.
මේ වෛද්‍යවරු අතර සිටින දෙවියන් බඳු වූ මිනිසුන් පිළිබඳ කතාවකි.. ඔවුන්ගෙන් එකෙකු මගේ මිතුරෙකි… මම ඔහු ගැන ආඩම්බර වෙමි, ගරු කරමි, … අපි ඔවුනට හිස නමා ආචාර කරමු, දෑත් බැඳ, වැඳ නමස්කාර කරමු…
ඊට පෙර: දරු ප්‍රසූතියට ආසන්න මවක් උණවටුන රජයේ රෝහලට පැමිණ ඇත්තේ ප්‍රසූත වේදනාව උත්සන්න වීම නිසාය. රෝහලේ වෛද්‍ය පහසුකම් නැති නිසා හෝ ඒ අවස්ථාවේ යමක් සිදු කල නොහැකි නිසා ඥාතීන් ප්‍රසූතියට ආසන්න මව ත්‍රීරෝද රථයක දමාගෙන මහමෝදර රෝහල වෙත රැගෙන එන ලෙස ඔවුනට දැනුම් දී තිබේ.. එසේ රැගෙන එත්දී ප්‍රසූත වේදනාව දරාගත නොහැකිව මව සිහිමඳ ගතියකින් පසුවෙද්දී ඇගේ හිස ත්‍රීරෝද රථයෙන් එළියට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ පැමිණි රථයක හිස ගැටී ඇය එතැනම මියගොස් තිබේ. කෙසේ නමුත් ඥාතීන් ඇයව මහමෝදර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මේ කතාන්දරය දොස්තර දෙවිවරු අතර සිටින ශයිලොක්ලා ගැනයි…
දෙවනුව ලියමි: හැමෝටම ඇති- කවුරුත් කතා කිරීමට අකමැති, බොහෝ පිරිමින්ගේ ඇස නිති යොමු වන : පුක යනු කුණුහරුපයක් නොවන බව ගුරු ජී කකා ජී විසින් පෙර කළක සාධනය කර ඔප්පු කරන ලදී.
අවවාදයයි : මේ කරුණට අදාල සියල්ල එකතැනකම සාකච්ඡා කරන නිසා මේ ලිපිය අතිශය දිග ලිපියක් විය හැක.
දෙමාපියන් කවුරුත් තම දරුවාට ලබා දෙන්නට අදහස් කරන්නේ උසස්ම අධ්‍යාපනයක්, උසස් පාසැලක්, හොඳ ඇඳුම් පැළඳුම්, කටට රසට ආහාර ආදියයි. එය සෑම දෙමාපියෙකුගේම සිහිනයක්. අපේ දෙමාපියෝ තමන්ට කන්න නැතත් තම දරුවන්ට එක බත් කටක් හෝ උයා දෙන්නේ, තමන්ට අඳින්න ඇඳුමක් නැතත්, තම දරුවන්ට හොඳ ඇඳුමක් ලබා දෙන්න වෙර දරන්නේත්, අනෝරා වැහි වහිද්දී තමන් තෙමි තෙමී තම දරුවන් ආරක්‍ෂා කරන්නේත්, තමන් මියෑදුනත් තම දරුවන් බේරා ගන්නට ගින්දරට, වැවට, පාරට, පනින්නේත් මේ අපරිමිත ස්නේහය නිසාමය… එය අප කිසිදු විටක ප්‍රශ්න කරන්නට සූදානම් වන කරුණක් නොවේ.
මේ දෙමාපියන් අතරේ තවත් දෙමාපියෝ වර්ගයක් සිටී…. ඒ තම දරුවන්ට ජනප්‍රිය පාසැල් අවශ්‍ය යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය අත්පත් කර ගත් GMOA ශයිලොක්ලාය..
තමන්ට ඩියුටි ෆ්‍රී කාර් නොදුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… සීමා වාසික වෛද්‍යවරුන්ගේ තත්ත්‍වය ඉහළ දැමුවහොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස්ලාට අළුත් ඇඳුමක් දුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස් කෙනෙකු තමන්ගේ එකෙකුට බැන්නා යැයි කියා රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයිද, නමුත් පෞද්ගලික රෝහල්වල චැනල් කරන්නට දුවන්නේද, ඒ චැනල් බලයෙන් සහ ඖෂධ සමාගම් වලින් දෙන සන්තෝසම් වලින් ලංකාවේ හැමටම වඩා මුදල් හොයන්නේද, වාහනයේ ගසා ඇති රතුපාට කතිරයේ බලයෙන් බොහෝ අවස්ථාවල මාර්ග නීති කඩ කළත් ගැලවී යන්නේද, රජයේ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයකට ගියත් තමන් දොස්තර කෙනෙකු යැයි කියූ පමණින් ප්‍රමුඛතා ලයිස්තුවේ ඉදිරියට ගෙන අවශ්‍ය දෑ සිදු කර දෙන්නේ ද, මේ සෙට් එකේ අයටමය… ඒ… අපේ රටේ මහජනතාව තම බදු මුදල්වලින් දුන් නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 4-6 ක් වෛද්‍ය විද්‍යාලයක අමාරුවෙන් ඉගෙනගෙන, රටේ දුෂ්කර පලාතක අවුරුදු කිහිපයක් සේවය කර, නැවත කොළඹ/ගාල්ල/නුවර පැමිණ, රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන තම ඉල්ලීම් දිනා ගන්නට වලිකන… දොස්තර සෙට් එකමය…

මේ ඉන්නේ මගේ ප්‍රියතම දොස්තර සෙට් එකය.. උන් ඉන්නේ Grays Anatomy සෙට් එකේ විතරමය
දොස්තරලා සුවිශේෂි ද? පිළිතුර වන්නේ ඔවු සහ නැත යන දෙකමය…පිළිතුර වෙනස් වන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන පුද්ගලයාගේ මානසික ස්වභාවය, දේශපාලනික සබැඳියාව, සමාජ තත්ත්‍වය, ආදී දේ අනුවය. දැන් දැන් මෙය මෛත්‍රී ද මහින්ද ද යන තත්ත්‍වය දක්වා වර්ධන වන අයුරක් ද දකින්නට ලැබේ.
දොස්තරලා සුවිශේෂීය:
ලෝකයේ මියෑදීමට ආසන්න හෝ රෝගීව සිටින හෝ අනතුරකට පත්වූ කෙනෙකුට අසන්නට කැමති එකම වදන තමන් අසළ වෛද්‍යවරයෙකු සිටින බවයි. ඒ, සිය ජීවිතය කෙසේ හෝ බේරා ගනීවි යැයි විශ්වාසය වෛද්‍යවරයා යන වදනේ ගැබ් වී ඇති නිසාය. ඈත කාළයේ පවා ගම්, නගරවල වෙද මහතාට සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණේ, ඒ මහඟු ජීව ගුණය නිසාය… සත්‍යයක් හෝ නැති වුවත්, බුද්ධදාස රජතුමාට තම සැරව ගෙඩිය පෙන්වූ නාගයා පවා, විශ්වාස කර තිබුණේ බුද්ධදාස රජුගේ සුපතල වෙදකමේ බල මහිමයයි. අපි අසරණ වූ විට – වෛද්‍යවරු පෙනෙන්නේ දෙවිවරු මෙනි.. සත්‍යය එයයි.
දොස්තරලා සුවිශේෂීය, උසස් පෙළින් ජීව විද්‍යා අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී වසර කීපයක් අමාරුවෙන් උගෙන : (ඇත්තෙන්ම අන් සියළු විෂය ක්‍ෂෙත්‍ර වලට වඩා අපහසු සහ නිවැරදිව උගෙන ගත යුතු විෂය වෛද්‍ය වෘත්තිය බව සැලකේ) වෛද්‍යවරයෙකු/වරියක ලෙස සමාජයට පැමිණීමට පාසැල් සිසුන් බොහෝ දෙනෙකුගේ, ඔවුනගේ දෙමාපියන්ගේ එකම සිහිනය විය හැකිය. එය බොහෝ විට එසේම වේ. මා ද ඒ ආකාරයේ සිහිනයක් තිබූ කෙනෙකි.. දොස්තරලාට සමාජයේ ලැබෙන වරප්‍රසාද සහ තත්ත්‍වය දකින අයද, තම තමන්ගේ දරුවන් දොස්තරලාම කරන්නට සිහින දකින බවද සැබෑය. ඒ තමන්ට නොලැබුන තත්ත්‍වයක් තම දරුවනට ලබා දීමේ මිනිස් ස්වභාවයයි.
දොස්තරලා සුවිශේෂීය: සමහර දොස්තරලා දිවා රෑ නොබලා මහන්සි වෙති, රෝගියෙකුගේ ජීවිතය ගොඩ දාන්නට අපරිමිත වෙහෙසක් ගෙන කටයුතු කරති, සමහර දොස්තරලා රෝගියෙකු මිය ගිය පසු දුකින් හඬති, ආහාර වේලක් දෙකක් නොකා සිටිති – එහෙමත් දොස්තරලා ලංකාවේ සිටිති. පෞද්ගලිකව රෝගීන්ට වෙදකම් කරන සමහර දොස්තරලා දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය නොකරති, බෙහෙත් පවා මිනිසුනට අරන් දෙති, එහෙමත් දොස්තරලා ලෝකයේ සිටිති.
දොස්තර හොඳහිත ලා අතර දොස්තර ගඳහිත ලා ද ඇත.
දොස්තරලා සුවිශේෂීය – ඒ නිසාම තමන්ට සියළු වරප්‍රසාද ලැබිය යුතුයැයි සිතන පිරිසක් ද සිටිති. ඒ – අර කියූ අලි පුකෙන් ඇවිත් යැයි සිතා සිටින කොටසයි… සියළුම දොස්තරලා ඒ ගණයටද නොවැටෙති. ඒ මෙන්න මේ ලිස්ට් එකේ ඉන්න කට්ටිය වන්නට පුළුවන… මෙම ලිස්ට් එක මා උපුටා ගත්තේ අන්තර්ජාලයේ හුවමාරු වන පෝස්ට් එකකිනි. 100% ක සත්‍ය අසත්‍යභාවය නොදන්නා නමුත්, අදාල පුද්ගලයා එය සත්‍ය බව පවසා තිබුණි.
ඒ අනුව බොහොමයක් දෙනා ඉල්ලන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගණයේ පාසැල් වේ.. මෙම ලිස්ට් එකට දැනට දරුවා ඉගෙන ගන්නා පාසැල ඇතුලත් කළා නම් එය වඩා අර්ථවත්ව විශ්ලේෂණය කළ හැකිව තිබුණි. උදාහරණයක් ලෙස 13 සහ 18 ඉල්ලීම් සසඳන විට වෛද්‍යවරුන් දෙදෙනාම මාරුවී පැමිණ ඇත්තේ කළුබෝවිල රෝහලටයි… නමුත් 13 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉල්ලුම් කරන විට 18 ඉල්ලන්නේ ඩී එස් සේනානායක විද්‍යාලයයි. අංක 41 කරාපිටියේ සිට බලපිටියට මාරු වන විට රිච්මන්ඩ් විද්‍යාලය ඉල්ලා සිටී. කරාපිටියේ සේවය කරන විට මෙම දරුවා ගිය පාසැල කුමක්ද ? එවිට මෙම ප්‍රශ්නය පැන නැඟී නැත්තේ මන්ද ? මෙම ලැයිස්තුව හොඳින් අධ්‍යයනය කළහොත් මෙම ඉල්ලීම්වල සාධාරණත්‍වය පෙනී යයි. ඒ අතරම, අතිශය සාධාරණ ඉල්ලීම් ද මේ ලැයිස්තුවේ නැතිවාම නොවේ…..
දොස්තරලා ද මනුශ්‍යයෝය… උන් ද අපි මෙන්ම සාමාන්‍ය ය….
ප්‍රජාතන්ත්‍රවාදීව අපි සැවොම එක හා සමාන සැලකුම් ලැබිය යුතුය. නියමාකාරව නම් ජනාධිපතිතුමා සිට අන්ත දුගී පුද්ගලයා දක්වා අයිතිවාසිකම් සාමානව ලැබිය යුතුය. නමුත් මිනිස් වර්ගයා සතු පන්ති-කුළ-ජාති-ආගම්-පාට-පක්‍ෂ පරතර නිසා අපි සැවොම විවිධාකාර සමාජ ස්ථරවල ජීවත් වෙමු. මේ තත්ත්‍වය කිසිදා වෙනස් කළ හැක්කක් ද නොවේ. මෙය අප රටට ආවේණික ලක්‍ෂණයක් ද නොවේ. වැඩි වශයෙන් ආසියානු රටවලද, අඩු වශයෙන් අනෙකුත් රටවල ද පොදුවේ දැකගත හැක්කකි.
මා ලංකාව හැර වෙනත් රටවල් දෙකක ජීවත්ව සිටි පුද්ගලයෙක් වන නිසා ඒ ඒ රටවල වෛද්‍යවරුන්ට ඇති තත්ත්‍වය හොඳින්ම දැක ඇත. ඇමරිකාවේ නම් වෛද්‍යවරයෙකු වීමට ලංකාවේ තරම් ලේසියෙන් බැරිය. පාසැලේදී උසස්ම GPA අගයක් පවත්වාගෙන යන සිසුන් විශ්ව විද්‍යාලයේ ද ඒ අයුරින්ම අති උසස් GPA අගයයක් (4.0 හෝ ඊට දශම කිහිපයක් අඩුවෙන්) පවත්වාගෙන යා යුතුය. ඒ අවුරුදු 4 ඉගෙන ගන්නා ඔවුන් නැවතත් වෛද්‍ය විද්‍යාලයේ ද ඉගෙන ගත යුතුය. මා දන්නා පරිදි සියළුම වෛද්‍ය විද්‍යාල මුදල් ගෙවා ඉගෙන ගත යුතු ඒවා වේ.. (යකෝ මෙන්න ඇමරිකාවෙ Private Medical Schools තියෙනවලු..) ඉන්පසුවද ඔවුන් Residencies, Internships ආදියෙන් හෙම්බත්ව වසර ගණනාවක් යනතුරු Bar Exams ආදිය සිදු කර කිසියම් තත්ත්‍වයකට ආ යුතුය. ඒ පැමිණියද, අද ලංකාවේ වෛද්‍යවරුන් ගත කරන සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඔවුනට නොලැබේ. සිය කාර්යය අකුරට ඉටු කළ යුතු මෙන්ම තමන් රෝගියාගේ ජීවිතය පිළිබඳ අසීමාන්තික වගකීමක් ඔවුනට පැවරී ඇත. ලංකාවේ නම් පළමු උපාධිය වූ MBBS නිම වූ පසු වෛද්‍යවරයෙකු සේ පත්වීමක් ලැබේ. නමුත් අමෙරිකාවේ BS වලින් පසුව Medical School හි අධ්‍යාපනය නිම කළ යුතුය. ඒ අනුව ඔවුන් වැඩි කළක් මුදල් ගෙවා ඉගෙන ගත යුතු වේ… බොහෝ සිසුන් මේ අධ්‍යාපනය නිම කරන විට ඩොලර් මිලියනයක් පමණ ණය වී අවසානය.. ඉන්පසු ඔවුන් කරන්නේ මුලින්ම ණය ගෙවා නිම කිරීමයි. ඇමරිකාවෙ එහෙම වුනත් – ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ..
වැරදිලාවත් දකුණු කකුල කපනවා වෙනුවට වම් කකුල කැපුවෝතින් සේසතම ඉවර වෙනකල් අර රෝගියාට වන්දි ගෙවන්නට වෙයි. රෝගියාට නොකිවයුතු යමක් හෝ අයුතු බලපෑමක් කළහොත් ලයිසන් එකම ඉවර වෙයි. මේ නිසා ඔවුනට වසරකට ඩොලර් ලක්‍ෂ ගණනක ආරක්‍ෂණ සහතිකයක් ලබා ගත යුතුය. එසේම මෙඩිකල් රෙප් ලා කියන පදමට බෙහෙත් නිකුත් කිරීම ද තහනම් ය. මේ නිසා ඖෂධ සමාගම් වලින් සන්තෝෂම් ලබා ගැනීමද අපහසුය.. වෛද්‍යවරයෙකු වූ පලියට වාහන පර්මිට් ලැබෙන්නේ ද නැත… ඔවුන් සමාජයේ තවත් එක් කොටසක් පමණි. එසේ නමුත් ආසියාතික රටවලින් අමරිකාවට යන බොහෝ වෛද්‍යවරු, තම රටේදී තිබූ තත්ත්‍වයම ඒ රටවල ද තම වර්ගයා ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරති. අපේ දූපත් මානසිකත්‍වයට ගැලපෙන සේම පිටරට සිටින අපේ එවුන්ද උන්ට ඒ විදියටම වැඳගෙන සලකති.
කෙසේ නමුත් පාසැලකට දරුවන් ඇතුලත් කිරීමේදී, රජයේ ආයතනයකට ගොස් යමක් කරවා ගැනීමේදී හෝ බැංකුවකින් ණයක් ගැනීමේදී වැනි අවස්ථාවලදී වෛද්‍යවරුන්ට තරමක සුවිශේෂී ස්ථානයක් ලැබේ. ඒ උගත්කමට සහ වෘත්තීය ස්ථාවරභාවයට ගරු කිරීමක් ලෙසින්. එසේ නමුත් ඒ ගරු කිරීම ම, ආචාර්ය උපාධිධරයන්ට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට, ගණකාධිකාරීවරුන්ට, නීතීඥයින්ට ආදී සමාජයේ අනෙකුත් උගත් යැයි සම්මත කොටසට ද ඒ අයුරින්ම ලැබේ. ඒ නිසා ඒ රටවල වෛද්‍යවරු අලිපුකෙන් ඇවිත් නැත.
ලංකාවේ මූලික අධ්‍යාපනය ලැබ, ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය නම් පෞද්ගලික උපාධි කඩයක මූලික උපාධි තත්ත්‍වය ලබාගෙන, ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක පශ්චාත් විද්‍යාවේදී උපාධිය සහ ආචාර්ය උපාධි ලැබ, විශ්ව විද්‍යාලයක අවුරුදු දෙකක් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු කර, ජර්මනියේ BASF ආයතනයේ විද්‍යාඥයෙකු ලෙස සේවය කර ලංකාවට පැමිණි මා, දරුවාට කිසිදු රජයේ පාසැලක් සෙවීමට උනන්දු වූවෙකු නොවේ. මගේ පදිංචිය අනුව රාජකීය, ඉසිපතන, තර්ස්ටන් යන විදුහල් තුනටම ඇල්කෙමි පැටියා ඇතුලත් කර ගැනීමට තරම් “ලකුණු” තිබුණි. එකළ සිටි දේශපාලුවෙකුට රුපියල් ලක්‍ෂ දහයක් දුනහොත් පැටියාව රාජකීය විද්‍යාලයට ඇතුලත් කර දෙන බවට මගේ සමීපතම මිතුරෙකු ද මට පොරොන්දු විය…. නමුත් මා ඌව දැම්මේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලටයි. කිසිවෙකු මට ඌව ඒකට දැම්මාය කියා දොස් පැවරුවේවත්, අපරාදෙ රාජකීය විද්‍යාලයට දාන්න තිබුණ චාන්ස් එක මිස් කර ගත්තා යැයි උපදෙස් දෙන්න ආවේවත් නැත. ඒ සමහරවිට මගේ ගැන දන්නා නිසා වෙන්නට පුළුවන.
හිතවත් වෛද්‍යවරුනි,
මේ ගැන කතා කළ මගේම සමහර වෛද්‍ය මිතුරන් පැවසූයේ අපි මේ කතන්දරයට විරුද්ධ වන්නේ අප තුළ පවතින හීනමානය නිසා ය කියාය. මට නුඹලා ගැන කිසිම තරහක් හෝ හීන මානයක් නැත. වෛද්‍යවරයෙකු වීමේ සිහිනය මටද නොතිබුණා නොවේ… ඒ සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූවා කියා මට ඉරිසියාවක් හෝ වෛරයක් ද නැත. මම නුඹලාට වඩා කිහිප ගුණයක් නීත්‍යානුකූලව- සහ සාධාරණව කිසිවෙකු ප්‍රාණ ඇපයට තබා නොගෙන මුදල් උපයන කෙනෙකි. මම ද සමහරුන්ට දොස්තර (Dr.) කෙනෙකි. නුඹලාගේ තත්ත්‍වය භාවිතා කර නුඹලාට ඇති සමාජ තත්ත්‍වය නිසා වරදවා වටහාගෙන සිටින පුද්ගලයින්ට කියා යම් යම් දේ කරවාගත් බව නම් සැබෑය. ඒ සමාජයේ Ignorance බව සාර්ථකව වාසියට හරවා ගැනීමකි. ඇල්කෙමිච්චී ඉගැන්නුවේ Pre-Med සිසුන්ටය… ඒ නිසා ඇයට ද හීන මානයක් නොමැත… කොටින්ම කියනවා නම් නුඹලාගේ තත්ත්‍වය පිළිබඳ දශමයක හෝ හීනමානයක් අපට නොමැත. මෙය හීනමානයකින් ලියන ලද්දක් නොවේ.
මේ පිළිබඳ සක්‍රීයව කතා කරන බොහෝ දෙනාට නුඹලාගේ දරුවන් හොඳ පාසැල්වලට දැම්මාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවනු ඇත. ප්‍රශ්නය වන්නේ නුඹලා ඒ ඉල්ලීම් ඉල්ලූ ආකාරයයි. උඹලා ඒ ඉල්ලීම් ඉල්ලුවේ ශයිලොක් මස් රාත්තලම ඉල්ලුවාටත් වඩා අමානුෂික ආකාරයටය…. මේවා ප්‍රසිද්ධියේ රෙදි ගළවා නොගෙන හීන් සැරයෙන් කරගත යුතු දේවල්ය.. නුඹලා පමණක් නොව, අන් සියළුම වෘත්තිකයින්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අභිමානයක් තිබේ.. රටක් වශයෙන් ඉදිරියට යන්නේ එවිටයි….
බොහෝ විට නුඹලා කරන හොඳ දේ ප්‍රචාරණය වනවා අඩු විය හැක… මාධ්‍ය බොහොමයක් රස කර කර විකුණන්නේ කුණු මාළු විනා සුවඳ හමන මල් නොවේ… ඒ උන්ගේ සදාචාරයයි. සමාජයේ වැදගත් යැයි සම්මත, බොහෝ දෙනා Role Models ලෙස සළකන නුඹලා යම් වැරැද්දක් කළවිට එය දස ගුණයකින් රැල්ලක් වී නුඹ වෙතම ආපසු එන්නේ සමාජය නුඹලා පිළිබඳ මවා ගෙන ඇති ප්‍රතිරූප බිඳී යාමේ වේදනාව නිසාය… අපේ සිරි ලාංකිකයාට ප්‍රතිරූප වන්දනාව ඉතා තදින් මුල් බැසගෙන ඇත. ජීවිතයට දෑසින් නොදුටු අය පවා ප්‍රතිරූප මවාගෙන වන්දනා කරන ඔවුන්, එය බිඳී ගිය පසු මරා ගන්නට ඉදිරියට කඩාගෙන පනී,.. ඉඳහිට සමහර බ්ලොග්කරුවන් තම හිට්ස් ප්‍රමාණය වැඩි කර ගනු වස්, පෝස්ට් දෙක තුනක් ද ඒ අතරට රිංගවා ගනිති.
සමාජයේ සුවිශේෂී පිරිසක් යැයි කියා කොටසක් නොමැත.
සිදු විය යුත්තේ මෙයයි. වෛද්‍යවරු, නීතීඥයින්, ගුරුවරු, ආචාර්ය-මහාචාර්යවරු, ලිපිකරුවන්, කුලීකරුවන්, වැසිකිලි පවිත්‍රකරන්නන්, සහ දේශපාලුවන් යන සියල්ලට එකම වරප්‍රසාද, එකම පිළිගැනීම තිබිය යුතුමය. නමුත්, දූපත් මානසිකත්‍වයක වැඩවසම් සමාජ ක්‍රමයක දිවි ගෙවන අපි, කවදාවත් කිසිවෙකුට වෙනස් තත්ත්‍වයක් දීමට මැලි වනවා සේම, තමන්ට හිමි තත්ත්‍වය නැති වනවාට ද අම්බානක බය පිරිසක් වේ. මේ නිසා බොහෝ දෙනෙකු අනුන්ට කෙළවෙනවා බලා සිට ස්වයං වින්දනයකට පත්වීමට කැමති ය. මේ නිසාම තැලන යකඩය උඩ පැන පැන තලන්නාක් මෙන් අනුන් කියන ඕනෑම මගුලක් මුහුණු පොතේ බෙදා ගන්නවා සේ, වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය අරභයාද ක්‍රියා කරති. එයට විරුද්ධව තම කුලකයේ එවුන් – එනම් වෛද්‍යවරු – ද විවධාකාර පෝස්ට් ලියති.
මෙම ප්‍රශ්නය කෙසේ නිරාකරණය කළ යුතුදැයි ඇත්තෙන්ම මට පැවසීමට හැකියාවක් නැත. ඒ තරම් සුවිශාල රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ මේ ප්‍රශ්නය නිරාකරණය කිරීම පිළිබඳ පුළුල් දැනුමක් මට නොමැත. ඒ නිසා ඒ පිළිබඳ ගොඩ පෙරකදෝරු කම් කිරීමෙන් වැලකී සිටිමි.
නමුත්, රජයක් ලෙසින් කළ යුත්තේ, මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමයි. තම සේවා ස්ථානය හෝ රැකියා ස්ථානය අනුව පාසැලක් ලබා දීම, එක්තරා කෝටා ක්‍රමයක් සැලසීම, ආදිය කඩිනම් විසඳුම් ලෙසින් සැලකිය හැකිය. නමුත් ප්‍රධානව සිදු විය යුත්තේ සෑම පාසැලකම පහසුකම් එක හා සමාන කිරීම මගින් ජනප්‍රිය පාසැල් තරඟය අවම කර මෙම තරඟය අඩු කිරීමයි.
වෛද්‍යවරුන් ද, මස් රාත්තලම නොඉල්ලා… තම දරුවන්ගේ පාසැල් ප්‍රශ්නය නොව, තම දරුවන්ට ද යා හැකි ආකාරයට සෑම පාසැලක්ම එක හා සමානව දියුණු කරන ලෙස ඉල්ලා වර්ජනය ආරම්භ කළේ නම්, සමහරවිට ඔබ වටා සමස්ථ සමාජයම එක් රොක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඔබේ ආත්මාර්ථකාමී ඉල්ලීම නිසාම, ඔබ තව තවත් සමාජයේ වෛරයට පාත්‍රවනවා විනා, අන් යමක් සිදු නොවේ…FUTA කළ දේ කුමක් වුවත්, ඔවුන්ගේ පා ගමනට බොහෝ දෙනා ආශීර්වාද කළේ, ඔවුන් අධ්‍යාපනය නැංවීමට 6% ක් ඉල්ලීම කළ නිසාය…
මින් පසුව වත්, සමාජයේ හද ගැස්ම හඳුනාගෙන, තමන්ගේ ප්‍රශ්නය එයට සමපාත කර සමාජය හා එක්ව එය ලබාගන්නට කටයුතු කරන්නේ නම්, සමස්ථ සමාජයම ඔබ හා එක්වනු නොඅනුමානය….
මේ ඔබ කළ කී දෑ නිසා සමාජයේ පිළිකුල අන්තර්ජාලයේ සටහන්වන ආකාර කිහිපයකි….
වෛද්‍යවරුනි, නුඹලා අලිපුකෙන් ඇවිත් නැත, නමුත් නුඹලා කරන රාජකාරියේ සුවිශේෂී බව නිසාම වෘත්තීයමය වශයෙන් ගරු කටයුතුව සැලකේ… එම ගරුත්වය මෙවැනි සාහසික ක්‍රියා මගින් කෙලෙසා ගන්න එපා…. සමාජය සමඟ එක්ව ගමනක යමු… එවිට සාමාන්‍ය ජනතාව පවා ඔබේ ඉල්ලීමට එකඟ වනු ඇත…
නුඹලා අලි පුකෙන් ඇවිත් නැත.
පසුව ලියමි: ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී, කෙනෙකු තම තත්ත්‍වය හෝ බලය නිසා අසාමාන්‍ය දෑ, වරප්‍රසාද ඉල්ලයි නම් අසන්නේ, “ඇයි ? උඹ අලිපුකෙන් ඇවිත් ද ?” කියායි… මාතෘකාවට නිමිත්ත වූයේ එයයි…
සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් ?
සීමාවන් මහ පුදුමාකාරයි. ඉපදීමටත් පෙර සිටමයි අපි සීමාවන්ට යටත්ව ඉන්නෙ… මාස නවයක්ම අප සීමා වී ඉන්නේ මවගේ ගර්භාෂය වපසරියට…. ඒක ඇතුලෙ දෙකට තුනට නැවිලා ඉඳලා බොහොම අමාරුවෙන් රිංගලා තෙරපිලා එලියට එන අපි, ජාතිය – ආගම – කුළය – දෙමාපියන්ගෙ නිලබලය – ආච්චිලා සීයලාගෙ විවිධාකාර මති මතාන්තරවලට කොටු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා… නම තියන්නත් උපදින වෙලාවට අනුව අකුරු හොයනවා… කොණ්ඩය කපන්න, බත් කන්න, අකුරු කියවන්න, ඉස්කෝලෙ යන්න, විබාගෙට යන්න, විවාහ වෙන්න…. මෙකී නොකී හැම දේටම සීමා බාධක යොදාගෙන ජීවත් වෙනවා… සමහර දරුවොන්ගෙ කොණ්ඩෙ කපන්නෙ නෑ බහ තෝරන වයසෙදි ගොළු වෙනවා කියලා… උන්ට හිස නිදහස් නෑ…
සමාජයට ගියාම අපි සමාජයීය සීමා මායිම් වලට යටත් වෙනවා… සංස්කෘතිකමය සීමා බැඳීම් වලට යටත් වීම සාධාරණයි… නිදහස හොයා ගෙන යනවා කියලා ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්න වත්, අන් අය අපහසුතාවයට ලක් වන විදියේ හැසිරීම් වලටවත් නොයා යුතුයි කියන මතයේ මම සිටිනවා.. නමුත් බොහෝ දෙනා හිතන්නෙ ඒ නිදහස කියන්නෙ අර වල්බූරු නිදහස කියලා. නීතිමය රාමු පද්ධතිය ඇතුලත වූ සියළුම සීමාවන්ට අපි යටත් විය යුතු වන්නේ ගෞරවාන්විත පුරවැසියන් විදියට සමාජයීය සහ සංස්කෘතිකමය සීමාවන්ට අපි සියළුම දෙනා එකඟව සිටිය යුතු නිසා.
අනිවාර්යයෙන්ම බැඳීමට හෝ යටත් වීමට සිදු වන සමාජමය සහ සංස්කෘතිකමය සීමා මායිම්, බැඳීම් වෙන් කළ විට අපි අපිම කොයි තරම් මානසිකව සීමා කරගෙන සිටිනවාද කියා ඔබ මොහොතකටවත් සිතුවාද ? අපි අපිටම කොයි තරම් සීමා පණවාගෙන ද ඉන්නෙ ? යමක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල එන්න පෙර අපේ සිතට නැගෙන්නෙ කොයිතරම් බාධක තියෙනවද කියන එක නේද ?
“ඇයි මට මේ දේ කරන්න බැරි ?” යන සිතිවිල්ල ඔබට කී වතාවක් සිතට ඇවිත් තිබෙනවාද ? ඒ කී වතාවක ඔබ ජය අරගෙන තියෙනවද ? මේ සියල්ලම තියෙන්නෙ තමන් තමන්ටම පණවා ගන්නා සීමා තුළ සිට ක්‍රියාත්මක වන නිසා….
අපි බොහෝ දෙනෙක් උපකල්පන රාශියක් මත ඉඳගෙන, අපිටම සීමා බොහොමයක් පනවාගෙන ඉන්නවා… යමක් කරන්න අවශ්‍යතාවය තිබුණත්… ඒ නිසාම අපි බොහොමයක් අවස්ථා අතහැර ගන්නවා… මටත් එහෙම අහිමි වූ දෑ බොහොමයි… ලෝකයේ බොහොමයක් සාර්ථක වූ මිනිස්සු මෙන්න මේ ස්වයංව පණවාගෙන තිබූ සීමාවන් බිඳ දමාගෙන ඉදිරියට ගියපු එවුන්…
අපට මේක කරන්න බෑ.. කවුරුවත් මේක කරලා නෑ.. ඒ නිසා අපටත් බෑ…. කියන දේ තමයි සිතට එන පළමු සිතිවිල්ල… අපි ඒ දේ කරන්න එක වතාවක් හෝ උත්සාහ කරලා නැතිවම, අපි එය උපකල්පන රාශියක් මත ඉඳගෙන පටන් නොගෙනම අවසන් කරනවා… පළමු උත්සාහය බොහෝ දුරට අසාර්ථක වෙන්න පුළුවනි, නමුත් එයින් අපට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි… දෙවන වතාවේ එම දුර්වලතා මඟ හරවාගෙන නැවත උත්සාහ කරන්න පුළුවනි… නමුත් අපි කීයෙන් කී දෙනාද නැවත නැවතත් යම් දෙයක් කරන්න උත්සාහ කරන්නෙ ? අපි නිතරම උත්සාහ කිරීම අත හැර දමන්න සූදානම්… මොකද කියනව නම් ලේසිම දේ ඒ නිසා… Try and Try again, one day you can fly කියලා සුද්දා කිවුවෙ මෙන්න මේ නිසා…
මේක අපි අපිටම නොදැනුවත්වම පනවා ගන්නා සීමාවක්… මමත් කාළයක් මේ උපකල්පනයෙ හිටං … අහිමි කරගත් දේ බොහොමයි. සමාජයීය ජීවිතයෙ වගේම වෘත්තිමය ජීවිතයෙදි…. ජයගන්න හෝ පරාජය වෙන්න අපි උත්සාහ කරලා බලන්න ඕන… ජීවත්ව ඉන්නකල් පරාද කරන්න බෑ කියපු හිටපු ජනාධිපතිතුමාව වර්තමාන ජනාධිපති තුමා විසින් පරාජය කළේ මෙන්න මේ සංකල්පය මත පිහිටු කටයුතු කිරීම නිසා වෙන්න ඇති.
අපි අපිටම පණවා ගත් සීමා සියල්ලම බිඳ දමන්න අවශ්‍යයි… නැතිනම් අපි හැමදාම එකම තැන හිරවෙලා, හැමදාම එකම දේ එකම විදියට….
කොහොමද අපි සීමා බිඳ දමන්නෙ ? අළුත් විදියට හිතන්නෙ ?
E + R = O
Event + Response = Outcome
සිද්ධිය + ප්‍රතිචාරය = ප්‍රතිඵලය
අපි වටා ගොඩනැගෙන සියළුම දේ සිදු වෙන්නෙ මෙන්න මේ හේතු නිසා.. අපි ඉදිරියට යන්න හෝ පිටුපසට යන්න.. නැතිනම් ජීවත් වෙන්න හෝ මිය යන්න පවා මේ හේතු බලපානවා…
ඔබ ඕනෑම අවස්ථාවක් හෝ සිද්ධියක් ගන්න… උදාහරණයක් ලෙස ඔබේ උසස් පෙළ සමත් වීම/අසමත් වීම – ඔබ ඒ සඳහා නිසි ලෙස උනන්දු වුනා නම්, ජයග්‍රහණය උදෙසාම කැප වූවා නම්, ඒකායන පරමාර්ථයෙන්ම පාඩම් කළා නම්, බොහෝ දුරට ප්‍රතිඵලය වන්නේ සමත් වීමක්… ඔබ රාජකාරියේදී කිසියම් අවශ්‍යතාවයකට දක්වන ප්‍රතිචාරය අනුව, ඔබ සාර්ථක වීම හෝ අසාර්ථක වීම රඳා පවතින්න පුළුවනි.
ඔබ මගතොටදී දකින/මුහුණපාන සිදුවීමකට දක්වන ප්‍රතිචාරය අනුව ඔබේ දවස තීරණය වන්නට පුළුවන්…. මේ උදාහරණ කීපයක් පමණයි… ඔබටම පුළුවනි මේ සූත්‍රය යොදාගෙන ඔබ මුහුණපාන සිද්ධි, ඔබ මුහුණ පෑ සිද්ධි විශ්ලේෂණය කරන්න…
සමහරවිට ගේ දොර සිදු වන සිදුවීමක් වුනත් උදාහරණයකට ගෙන බලන්න… ඔබට කිසිවෙකු පවසන යමකට ඔබ දක්වන ප්‍රතිචාරය අනුව එක්කෝ ගුටිකන්න හෝ සාමදානයෙන් ඉන්න ලැබෙන සම්භාවිතාවය රඳා පවතිනවා…
ජීවිතය සරළ කරගන්න හරිම ලේසියි…. අපි බොහෝ දෙනෙකු ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා…. ලබන ලිපියකින් ජීවිතය සරළ කර ගන්න මම උපයෝගී කරගන්නා Flow Chart එක ප්‍රසිද්ධ කරන්නම්…
අද ඉඳලා… තමන් තමන්ට පණවාගෙන තිබූ දියුණුවට දොර වසන සීමාවන් බිඳ දමන්න පුරුදු වෙන්න…. මුලදි අමාරු වෙයි… පුරුදු වෙනකොට හරියයි……
සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය -මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය
සමාජ මෙහෙවර උදෙසා විද්‍යාව හා තාක්‍ෂණය සම්මන්ත්‍රණය ලංකාවේ පැවැත්වුන බව දන්නේ බොහොම ස්වල්පයක් දෙනා පමණයි. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය පැවැත්වුනත්, ප්‍රධාන මාධ්‍ය මගින් එය ප්‍රචාරය වුනේ ජනාධිපති – අගමැති – සහ විද්‍යා හා තාක්‍ෂණ ඇමතිවරු සහභාගි වුන නිසාම පමණක් බවයි මගේ හැඟීම. නමුත් COSTI ආයතනය මගින් මෙම සමුළුව සජීව YouTube විකාශයක් ලෙස සහ පටිගත කරන ලද වීඩියෝ සියල්ල අන්තර්ජාලයට මුදා හැරීම නිසාම පසුව වුවත් උනන්දුවක් ඇති කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවනි.
මේ සඳහා මගේ දායකත්‍වය වුනේ මහජනයා සඳහා විද්‍යාව සන්නිවේදනය යන සංවාදයට කෙටි දේශනයක් සහ අදාල සාකච්ඡාවට සහභාගී වීමෙන්. එම කොටසේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම මෙන්න මෙතන
මේ සඳහා විද්‍යා සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෙක් වන නාලක ගුණවර්ධනගේ සහ ආනන්ද ගලප්පත්ති යන දෙදෙනාගේ දායක්‍තවය කැපී පෙනුනා… බ්ලොග් දෙකක් පමණක් පවත්වාගෙන ගිය මටත් මේ සඳහා ආරාධනා ලැබුණෙ ඒවා ලියූ කාලයේ යමක් මගෙන් සමාජයට දායක වන්නට ඇතැයි සංවිධායකයින්ට හැඟී ගිය නිසා වෙන්න ඇති. නාලක – ආනන්ද ගලප්පත්ති – සම්රිටි වැනි අය අතරේ මම බොහොම සුළු චරිතයක්.
මගේ දේශනයේ මූලික අවශ්‍යතාවය වුනේ සාමාන්‍ය සමාජයට හුරු පුරුදු නොමැති සංකල්ප භාවිතා කරගෙන විවිධ කණ්ඩායම් විසින් සිදු කරන වැරදි මතිමතාන්තර නිවැරදි කරන්නේ කෙසේද යන්න, විද්‍යා සන්නිවේදනයට මගේ දායකත්‍වය සහ අපට ඉදිරියේදී නිසි විද්‍යා සන්නිවේදනයක් අවශ්‍යනම්, එය ලබා දෙන්නේ කෙසේද යන කාරණායි.
ලෝකයේ බිලියන 7.3 ක් දෙනා අතරින් සියයට අසූවක් පමණ දෙනා කුමක් හෝ මිත්‍යා විශ්වාසයක එල්බ ගෙන සිටිනවා. එය සමහාවිට ආගම, දෙවියන්, ජෝතිශ්‍යය, වෛද්‍ය මතිමතාන්තර, ජීවන ශෛලීන්, සමහර හිතළු.. ආදිය වෙන්න පුළුවනි. තවමත් ලෝකය පැතලි බව විශ්වාස කරන කණ්ඩායමක් සිටින බව අමතක කරන්න එපා…
මෙන්න මේ මති මතාන්තරවල එල්බ ගෙන සිටින අය නිසි තාර්කික දැනුමක් ලබා දී නිසි මඟට ගෙන්වීමට, විවිධ කණ්ඩායම් මඟින් සිදු කරන වැරදි ප්‍රචාරණයන්ට පිළිතුරු ලබා දීමට, සහ නිවැරදි විද්‍යා දැනුමක් සමාජයට ලබා දීමට මා යෝජනා කළේ රූපවාහිනී නාලිකා වල කාලයෙන්ස තියකට පැය බාගයක් විද්‍යා සන්නිවේදකයින්ට ලබා දෙන ලෙසයි.
මෙය කෙතරම් දුරට සාර්ථක වේ දැයි මා දන්නෙ නැහැ… නමුත් මගෙන් වෙන්න අවශ්‍ය කාර්යභාරය එදින මම නිම කළ බව මට සතුටින් සිතන්න පුළුවනි. මම නැවත ලංකාවට පදිංචියට එන්න තීරණය කළාම නැසීගිය මගේ ගුරුතුමෙක් වන මහාචාර්ය JNO ප්‍රනාන්දු මහතා කියූ එක දෙයක් මට තවමත් මතකයි “You are nobody in another country – But, you are somebody in Sri Lanka” ඔබ වෙනත් රටක සුවිශේෂ වූ පුද්ගලයෙක් නොවයි – සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි – නමුත් මේ රටේදී අවම වශයෙන් කිහිප දෙනකෙුට හෝ සුවිශේෂි වන්නට පුළුවනි…
නැවතත් මම ලියන්න ගත්තා…. මේ පුනරාගමනයේ සම්පූර්ණ ගෞරවය මහාචාර්ය අජිත් ද අල්විස් මහතාට හිමිවිය යුතුයි… මාව නැවතත් ලියන්න උනන්දු කළේ අජිත් සර්…
සතියකට එක ලිපියක් හෝ පළ කරන්න උත්සාහ කරනවා…