Monthly Archives: නොවැම්බර් 2016
රථවාහන දඩය රුපියල් 25,000 කළ රජයට අපගේ ප්‍රණාමය…. Seriously… No Joke….
I Love You,..
හැමදාම කිවුවත්, හදවතින් කියන්නෙ නැතිනම් බොහොම සරළව ලාබෙට හුවමාරු වන වචන පෙළක් තමයි… I Love You… ඒ වගේමයි බොහෝ ස්ථානවල දක්නට ලැබෙන Safety First යන්න… මේ ගැන බොහෝ දුරට සැළකිළිමත් වන්නෙ ඇත්තෙන්ම අවදානම් කාර්යයක නියැලෙන පුද්ගලයා නොවෙයි… එක්කෝ ආයතනයේ හිමිකරු, මානව සම්පත් කළමණාකරු, එහෙමත් නැතිනම් ආරක්‍ෂාව පිළිබඳ කළමණාකරු.. (සිංහලෙන් සේෆ්ටියා කියන්නෙ… අන්න ඌ…) ඒ මොනවා වුනත් තම තමන්ගේ ආරක්‍ෂාව තම තමන් සළකා ගත යුතුය කියලා ජේ ආර් උන්නැහේ කිවුවෙත් කට කහනවට නෙවෙයි. මොකද කියන්නෙ, තමන්ට කෙළවුනාම කිසිම කෙනෙක් එන්නෙ නෑ කියලා ඒ උන්නාන්සෙ දැන උන්න නිසා…
ගිය වසරේ හදිසි අනතුරු ප්‍රමාණයට වඩා මේ වසරේ අනතුරු ප්‍රමාණය අඩුයි කියලා ඔන්න කවුද කට ඉස්සර කරගෙන තිබුණා.. දැන්වත් කට්ටිය ක්‍රියාත්මක වෙලා ගිය වසරේ රෙකෝඩ් එක කැඩුවොත් හොඳයි.. කොහොම වුනත් පාරේ යන එන අතරේ අවධානයෙන් බැලුවොත්, කිලෝමීටරයක් දුර යත්දි අපි කොපමණ අනාරක්‍ෂිත කටයුතු දකිනවද කියලා බලා ගන්න පුළුවනි. මේ සඳහා බොහොමයක් දායක වෙන්නේ මෝටර් බයිසිකල් සහ ත්‍රීරෝද රථ.වමෙන් ඉස්සර කිරීම, ධාවන පථ (Lane) මාරු කිරීමේ අවදානම් සහගත අවස්ථා, නිසි ප්‍රමාණයට වඩා සෙනඟ පැටවීම, මෝටර් බයික්වල අම්මත් තාත්තත් හෙල්මට් දාගෙන දරුවන්ට කිසිම ආරක්‍ෂාවක් නැතිව ගමන් කිරීම ආදිය බහුලව දැකිය හැකි අනාරක්‍ෂිත කටයුතු.
ඇත්තෙන්ම මේ අනාරක්‍ෂිත බව කර පින්නාගෙන අපි යන්නෙ කොහාටද ? මේ කලබලයෙන් ගියත් වැඩිම වුනොත් අපි විනාඩි 5 ක් නැතිනම් 10 ක් ඉක්මනින් ගමනාන්තයට ලඟා වේවි. නමුත් ඒ අතරේ අනතුරක් වුනොත් ? ඊටත් ඉක්මනින් සුරලොව හෝ අපාය කරා ලඟා වේවි… නමුත් මේ හදිසියට, විනය නොමැතිකමට විසඳුමක් ලැබිලයි තියෙන්නෙ…
රථවාහන වැරදි 6 ක දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දමලා… මේක බොහෝ දෙනෙකු ලොකු වැරැද්දක් ලෙසිනුයි දකින්නෙ….
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය…
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කිසිම කෙනෙකුට නීත්‍යානුකූලව රිය පදවන්න බැහැ. රිය පැදවීමේ හැකියාව තිබුණත් එය නීතිමය වශයෙන් ඔප්පු කරන්නත් බැහැ… ලඟකදී රියදුරු බලපතක් නැතිව රිය පැදවූ අවුරුදු 16 ක ළමයෙක් කහ ඉර මතදීම මවක් සහ දියණියක් යටකරදමා තිබුණා…
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනයට අනුබල දීම…
මේකත් දැන දැන කරන වැරැද්දක් නෙ..නුසුදුසු කෙනෙකුට රිය ධාවනයට ඉඩ දීම ඇත්තෙන්ම කළ යුත්තක් නොවෙයි.
රක්‍ෂණ සහතිකය නොමැතිව ධාවනය…
අනිවාර්ය දෙයක්. තර්කයක් නෑ….
බීමත්ව රිය පැදවීම.
බීමත්ව රිය පැදවීම නිසා සිදුවන අනතුරුවලින් මිය යන බොහොමයක් දෙනා අනෙක් පාර්ශවයේ උදවිය… අනතුරු වලින් මියගිය මා දන්නා බොහෝ දෙනෙකුගේ මරණවලට හේතුව අනෙක් පාර්ශවය බීමත්ව සිටීම නිසා… බීමත් නම් එක්කෝ රියදුරෙක් ගන්න ඕන… නැත්නම් ත්‍රීවිල් එකක් හරි අරන් යන්න ඕන… නැත්නම් නොබී ඉන්න ඕන….
අධික වේගය…
මෙය මමත් කරන වැරැද්දක්… නමුත් අධික වේගය අනතුරු වලට හේතුවක් බව තර්කයක් නැහැ… බොහොමයක් දෙනා පාලනය කරගත නොහැකි වේගයෙන් පදවනවා.. වේග සීමාවට වඩා කිලෝ මීටර 5 ක සහන වේගයක් දුන්නට කමක් නැහැ… එසේමයි, වේග සීමා ගණනය කරන පොලීස් මහත්වරු ලඟ කැමරාවක් සහ නිසි රේඩාර් උපකරණ තිබිය යුතුයි. එසේම ඒ උපකරණ බිමට සවි කර (ත්‍රිපාද රඳවනයක් මත) තිබිය යුතුයි.. එවිට කිසිම තර්කයක් නොමැතිව වේගය හරියටම මැනිය හැකියි… මෙය පුළුවන් තරම් නිවැරදිව කළ යුත්තක්… සමහරවිට බොරු ගනන් පවා පෙන්විය හැකියි…
දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය…
මෙය උල්ලංඝනය කිරීම මරුවාට අත වැනීමක්. සියදිවි නසා ගැනීමක් පමණක් නොව වාහනයේ අනෙක් අය ඝාතනයක්….
වම්පසින් ඉස්සර කිරීම.
බොහොමයක් ත්‍රී වීල් මහත්වරු සහ බයිසිකල් මහත්වරු කරන ලොකු වැරැද්දක්.. මෙය විනය සහ ඉවසීම අතර ගැටුමක් පවතින තැනක්… ඉඩ නැතිනම් වමෙන් හෝ දාගෙන යන්න ඕන… ඕකයි තර්කය… මෙය ද දෘෂ්‍ය සාක්කි සහිතව ඔප්පු කළ යුත්තක්… පින්තූර වලින් සමහරවිට ඔප්පු කරන්න බැරි නිසා වීඩියෝ දර්ශන වලට යන්න සිදු වේවි… වමෙන් ඉස්සර කිරීම නිසා අනතුරු සිදු වනවා සේම මාර්ග තදබදයද ඇති වෙනවා…
මේ නීතිවලට විරුද්ධ වන බොහොමයක් දෙනාගෙ තර්කය තමයි පොලීසිය මේ මගින් අයථා ලෙස මුදල් උපයන බව…. කොහාමත් ඉස්සර රුපියල් 550 ක් දීලා ශේප් වුන අයට දැන් 10,000 ක් වත් දීලා ගැලවෙන්න බැරි වෙයි.. මේ නිසා කල යුතු හොඳම දේ කොපමණ පරක්කු වුනත් නීතිගරුකව වාහනය පැදවීම.
පොලීසිය අල්ලස් ගන්නවා නම් කළ යුත්තේ එසේ අල්ලස් ගන්නා පොලිස් නිලධාරීන් උපක්‍රම මගින් අල්ලස් දැලට හසු කර ගැනීම. උදාහරණයක් ලෙස Undercover කණ්ඩායමක් හිතාමතාම වැරදි සිදුකර, අල්ලස් දීමට උත්සාහ කළ යුතුයි.. නිලධාරීන් අල්ලස් ගන්නේ නම්, ඒ අවස්ථාවේදීම නීතියේ රැහැනට හසු කර ගත හැකියි…
ඊලඟ ප්‍රශ්නය වන්නේ VIP කට්ටියට මේ නීති වලංගු නැතිද යන්නයි. නීතිය සැමට පොදු විය යුතුයි.. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හැරුණු කොට අන් කිසිවකුට මාර්ගයේ ගමනාගමනය හදිසි විය යුත්තක් නොවෙයි. සමහරවිට වෛද්‍යවරුන්ට හදිසියේ යා යුතු වනවා. ඒ හැරෙන්නට කිසිම කෙනෙකුට හදිසියක් තිබිය යුතු නැහැ.. මේ නිසා මේ සියළු නීති හැම දෙනාටම පොදු විය යුතුයි.. එවිටයි නීතිය අර්ථවත් වන්නෙ….
දඩ එකක් දෙකක් වදිනවිට නිතැතින්ම අපි විනය ගරුක වේවි… මම හිතන විදියට මුදල් ඇමති සහ ප්‍රවාහන ඇමති දෙපළම මිනිසුන්ගේ ඇඟට වදින ආකාරයෙන් මේ නීති ගෙනැත් තිබෙනවා… පොකට් එකට තට්ටු වනවිට ඉබේම නීති ගරුක වෙයි… නමුත් බස් මාෆියාවට හෝ ත්‍රීවිල් මාෆියාවට බයේ මේ නීති අකුලා නොගත යුතුයි… බස් වර්ජනය කළොත් සතියක් වර්ජනය කළ හැකි වෙයි… බොහොමයක් බස් හිමියෝ වාරික ගෙවන්නේ බසයේ එදිනෙදා ආදායම එකතු කරලයි… බස් නොදිවුවොත් පාඩුව ඔවුන්ට.. ඒ නිසා සතියකට පසු ඉබේම බස් එක දෙක පාරට වැටේවි…
දියුණු රටවල පවා මාර්ග නීති උල්ලංඝණයට දෙන දඩය ඉතා ඉහලයි…. මගේ නම් අදහස මෙය ඉතාම හොඳ කරුණක්…
දඩය වැඩිනම් නීතිගරුක වන්න… එවිට කිසිම දඩයක් නොවදිනු ඇත.