Monthly Archives: අප්‍රේල් 2017
මෙන්න තියෙනවා පත්තරේ විස්තරේ…..
ඇල්කෙමියාගේ රසායනාගාරය කියන්නෙ මම මුලින්ම පටන් ගත්ත blog අඩවිය – 2010 අප්‍රේල් 13… ඒක පටන් අරන් දැනට අවුරුදු 7 ක් වෙනවා… ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තේ ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසෙ – රසායන විද්‍යාවට වඩා සරළ යමක් කතා කරන්න… මෑත කාළයේ යාවත්කාලීන නොවුනත්, 2013 දක්වාම – මම ආයෙම ලංකාවට එනතුරු මේ අඩවි දෙකම යම් තරමකට සක්‍රීයව තිබුණා… ලංකාවට ආවට පස්සෙ ඇත්තෙන්ම විවේකය මඳ වීම සහ බ්ලොග් කර්මාන්තයේ නියැලෙනවාට වඩා ජීවිත සටනට උරදෙන්න සිදු වීම නිසාම තරමකට ඈත් වීමක් සිදු වුනා.. ඒ වගේමයි මේකට යොමු කරන්න යොදා ගෙන හිටපු කාළය රැකියාවට අදාල තොරතුරු සෙවීම සඳහා සහ අමතර කියවීමට යෙදවීම බ්ලොග්කරණයෙන් ඈත් වීමටත් එක හේතුවක්… කවදාවත් මම සම්මාන බලාගෙන සහ හිට්ස් බලාගෙන නොලිවීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්….
නමුත් දැන් දැන් ඒ ගැන නැවතත් හිතක් පහල වුනේ පරණ රසික රසිකාවියන්ගේ විමසීම සහ යම් යම් අයගේ දිරිගැන්වීම නිසාමයි… ඒකට පොහොර දැමීමක්ද මෑතකදී සිදු වුනා… මා ගැන ලිපියක් රිවිර පත්‍රයේ රුව ගුණ වරුණ තීරයේ පළ වීම.. මේකට මා මිත්‍ර තාරක ගමගේ සහෝදරයාගේ මූලිකත්වයත් සෑහෙන දායක වුනා.. බොහොමත්ම තුති…
ඉතිං මේ ලිපිය පිළිබඳව බොහෝ දෙනා ඉතාම යහපත් ප්‍රතිචාර දැක්වූවා… ඇත්තෙන්ම ඒක දුෂ්කර ගමනක්.. ඒ පිටුපස හිටපු යෝධ සෙවනැලි කිහිපයක් තිබුණා… අම්මා තාත්තා මාව මේ ලොවට බිහිකරලා කවා පොවා ඇතිදැඩි කරලා ජීවිතේ පිළිවෙලකට ගෙන යන්න කියා දුන්නා වගේම මහින්ද මාතාව මගේ ජීවිතය හැඩගැස්වුවා.. ඒ සමගම සුබසිංහ මාතාව මට දෙවැනි මවක් ව මා ගැන සොයා නොබලන්න මගේ ජීවිත කතාව වෙනස් වන්න ඉඩ තිබුණා… දෙව්රුවන් සර් හමුවීම සහ රසායන විද්‍යා ආයතනයට යාම මගේ ජීවිතයේ දෙවන හැරවුම් ලක්ෂ්‍යය.. ඒ වගේම මගේ පුංචි අම්මා සහ බාප්පා මට කළ උදවු අමතක කරන්නම බැහැ.. ඔවුන් දෙදෙනා මාව බලා ගත්තේ – අදත් මාව බලා ගන්නේ ඔවුන්ගේම දරුවෙක් වගේ… ඉතිං මේ ගමන් මගේ සදාකාලික සහකාරිය මිහිරිත් මගේ ජීවිතයට හැමදාම බලාපොරොත්තු එකතු කරන ඇල්කෙමි පැටවු දෙන්නත් අමතක කරන්නම බැහැ….
ඒ වගේම මා වටා ඉන්න මිතුරු මිතුරියන්, සයිබර් අවකාශයේ හඳුනාගත් බොහොමයක් දෙනා මට සුබ පැතුම් එක් කර තිබුණා.
ගුරුවරු කිහිප දෙනෙක්, මඟහැරී ගිය මිතුරු මිතුරියන් බොහොමයක්, ඥාති හිතමිත්‍රාදීන් දුරකථන ඇමතුම්වලින් සුබ පැතුවා… ඇත්තෙන්ම ඒ අයට මා ගැන දැන ගැනීම සතුටක් වගේම මටත් ඔවුන්ගෙන් ලද ඇමතුම් එක් කළේ මහත් සතුටක් ආඩම්බරයක්…
ඒ අතරම රැකියා අවස්ථා පිළිබඳ විමසීම් දහයක් පමණ ලැබුණ බවත් නොකියාම බැහැ… ඔවුන් වෙනුවෙන් කළ හැකිව තිබුණෙ ඒ ඒ අදාල තැන්වලට ඔවුන් යොමු කිරීම.. ඊට අමතරව එළවලු වගාවකට ආයෝජනයක් කරන්න සහ දුප්පත් පවුලකට හඳුන්කූරු නිෂ්පාදනයකට යන්ත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉල්ලා යෝජනා දෙකක් ද ලැබුණෙ මේ අතරමයි..
ඒ වගේම සුවිශේෂ ඇමතුමක් වූයේ එක්තරා රෙදිපිළි ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරය සැලසුම් කර ගැනීමට උදවු කරන ලෙස කළ ඉල්ලීමයි… ඒ පිලිබඳව නම් මම උනන්දුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා….
මේ දිනවල නිවාඩුවක් ලැබුණ නිසා මේ ටික එකතු කර ගන්න වෙලාවක් ලැබුණා…
නොබලපු අයට බලන්න මෙන්න මෙතැන ලිපියේ දිගුව තිබෙනවා….
ඉදිරියට යමක් තව ලියැවේවි….
http://www.rivira.lk/online/2017/04/01/102910