දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය


අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස් වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුනේ එක මඩුවකට.. සීයා ඒකෙන් පෝර හදනවා… දැන් අපි ලොකුවට ඕගැනික් පෝර කියන්නෙ මෙන්න මේ ගොම පෝර එකතු කරලා ග්ලිරිසීඩියා කොළ, දහයියා අළු ආදිය මිශ්‍ර කරලා හදන පෝර වලට. වත්තේ පහල හොඳට වැඩුන කොහිල ගාලක් තිබුණා. ඒ කොහිල ගාලට යාබදව තිබුණේ පොල් ලෙලි වලක්. ගෙදර එකතු වෙන පොල් ලෙලි සියල්ලම වාගේ එකතු වෙන්නේ එතැනට… පොල් ලෙලි වලේම වියළුණු පොල් අතුත් පල් වෙනවා. දින දෙක තුනක් පල්වන පොල් අතු ලස්සනට වියෙන්නේ අපේ අම්මගේ, පුංචි අම්මලාගේ සහ ආච්චිගේ අත්වලින්… පසුකාලීනව මමත් පොල් අතු වියන්න පුරුදු වුනා…

Related image

Image result for Sri Lankan village

සමහර දවස්වලට ආච්චි පොල් ලෙලි ගොඩ දානවා… පලාතෙ ඉන්න බෑ ගඳේ… නමුත් ටික වෙලාවකින් නහයට හුරු ගතියක් දැනෙනවා… පොල් ලෙලි එක්කම මඩ පුවක් ගෙඩිත් එලියට එනවා.. ඒවා දියට දාන්නෙ සීයා… සීයා ඒවා එකතු කරලා බුලත්විට කන්න වෙනම එකතු කරගන්නවා. පොල්ලෙලි වල ලඟම ඇති කොටයක් උඩ තබාගෙන පොල් ලෙලි තලන්න අපිත් උදවු වෙනවා… මුලින් අමාරු වුනත් සැරෙන් සැරේ වතුරෙ දාලා සෙමින් සෙමින් පොල් ලෙලි තලනකොට අවසානයේ ලස්සන සුදුපාට පොල් කෙඳි සහිත පොල් ලෙල්ලක් ඉතිරි වෙනවා. පොල් කෙඳි අතර ඇති කොහු බත් වෙනම ගොඩකට එකතු වෙන්නේ කිසිම දෙයක් අපතේ යවන්නෙ නැති සංකල්පය ඔස්සේ… ඒවා පසුව අර සීයාගේ කොම්පෝස්ට් ගොඩට එකතු වෙනවා.

Image result for coconut husk

පොල් කෙඳි පෑදුන පොල් ලෙල්ල වියලන්නේ එක්කෝ පැදුරක දාලා, නැතිනම් ලණුවක එල්ලලා… දවස් දෙක තුනක් වේලෙන පොල් කෙඳි ආච්චිගේ අතින් අපූරු කොස්සක් බවට පත් වන්නේ අපටත් නොදැනීම… තරමක් මහත මල්කෑර කෝට්ටක අගින් තැබෙන පොල් කෙඳි එකට බැඳෙන්නේ කොහු ලණුවකින්… එයත් තැනෙන්නේ අර කෙඳි වලින්මයි.. වියන්න බැරි පොල් අතුවල ඉරටු ගන්නට අපිත් සහභාගී වෙනවා. ඒ ඉරටු මිටි බැඳිලා මඩුවකට එකතු වෙනවා. ඒ ඉරටු මිටි ඉදල් බවට පත් වන්නේ කොසු නිපදවීමේ යාන්ත්‍රණය මගින්ම තමයි. ඉරටු හදලා ඉතිරිවන පොල් කොළ සහ පොල් නාරටි වියැලිලා කුස්සියේ පැත්තක එකතු වෙන්නෙ ඉවුම් පිහුම් වලට සහභාගි වෙන්න. ඒ අයට ගස් වලින් වැටෙන් කොලපු ආදියත් එකතු වෙනවා. සමහර කොලපු නම් අපූරු නිමැවුම් බවට පත් වන්නේ ඉස්කෝලෙ අත්වැඩ පීරියඩ් එකේදී.

Related image Image result for coconut broom

ගොම පෝර ගොඩ  සාරවත් වෙන්න ගෙදර ඇති කරන කිකිළියෝ කීප දෙනත් දායක වෙනවා. එයාල එක්ක බේර ගන්න බැරිම එලවලු පාත්ති ටික තමයි. කුඹුරේ එක කොණක් ගොඩ කරලා තැණුන එලවලු පාත්තියේ අයිතිකාරයා සීයා.. උදේ පාන්දර නැවුම් එළකිරි වීදුරුවක් බීලා කුඹුරට යන සීයා වැඩ අවසාන කරන්නේ එලවලු පාත්තියෙන්. එතැන නැති දෙයක් නෑ. මිරිස්, වම්බටු, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, කරවිල, පතෝල, වැටකොලු ආදිය වගේම මුකුණුුවැන්න, සාරණ සහ නිවිති ඒ පාත්තියේ නිත්‍ය සාමාජිකයො… කුඹුර වටකර තිබෙන වේල්ල දිගට තියෙන්නේ කුරුඳු පඳුරු… අතරින් පතර කෙසෙල් පඳුරුත් නැතුවාම නොවෙයි… පතෝල වැටකොළු වගේ වැල් යවන්න ආධාර කරගන්නේ පාත්තිය වටා හිටවපු කිතුල් රීප්ප ආධාරකරගෙන ඇදුන ලණු සහ කෙසෙල් පිති තීරු ගසා හදාගත්ත පටි… වැඩීගෙන එන වැටකොළු, පතෝලා ආදිය පළතුරු මැස්සාගෙන් ආරක්‍ෂා වෙන්නේ පරණ පත්තර ආධාරයෙන් අපි හදලා දෙන කවර වලින්.. ඒ කවර වැල්වල ගැටගැසෙන්නෙ වියැළුණු කෙසෙල් පිති තීරු ආධාරයෙන්. පාත්තියට පෝර දැම්මට පස්සේ ඒවා තැන තැන විසුරවන්නේ කුකුළු හමුදාව.. ඒ අතරම ඔවුන් අතරින් පතර හැදෙන කුඩා තණකොළ ගසුත් ගලවන නිසා සීයා උන්ට මොනවත් කියන්නෙ නෑ… නමුත් එලවලු පැලයක් ගලවපු දවසට නම් සෑහෙන බැණුම් අහනවා…

පාත්තියේ පැත්තකින් මඤ්ඤොක්කා ගස් කීපයක්, බතල පාත්තියක්, ඉන්නල කන්දක් වගේම නිල් මානෙල් මල් හැදෙන පොඩි පොකුණකුත් තිබෙනවා. බතල කන්ද හාරන දවස අපේ ප්‍රියතම දවසක් කහ බතල දෙක තුනක් පස් එක්කම අමුවෙන්ම බඩට යන්නේ පෙරේතකම නිසාම නෙවෙයි, අනිත් අයට නොදී රස බලන්න තියෙන ආසාවට. බෝලවගේ මහත බතල ගෙඩියක් තිබුණාම ඒක පුංචි මම්මා වගේ කියන්නෙ ඇය පවුලෙම මහතට හිටිය කෙනා නිසා…. දැන් ඉන්න වල් ඌරො, ඉත්තෑවො ඉස්සර කාලෙ සීයගේ වගාවට කරදර කරන්න ආවෙ නෑ.. උන් කැලේට වෙලා උන්ගෙ වැඩක් බලාගෙන හිටියා… ඒ නිසාම අපට උන්ගෙ මස්වල රස බලන්න ලැබුණෙත් නෑ.. දැන් කාලෙ වගේ… පාත්තිය අයිනෙ තිබුණ පොකුණෙ නිතරම කිතුල් කඳක්, ගස්වල කඳන් කීපයක් පදම් වෙන එකත් සිදු වෙනවා.  මානෙල් මල් කඩන්න පොකුණට නැඹුරු වෙලා වැටිලා වතුර පෙවුන දවස් මතක් වෙනකොට තවමත් ජීවත් වෙලා ඉන්න එක ගැනත් පුදුමයක් තිබෙනවා. ඒ පොකුණ කොනේ පන් ගස් හැදුන පන් විලක් තිබුණා. කාලෙන් කාලෙට ඒ පන් කොළ කපලා වේලලා, කුකුළු සායම් දාලා පාට කරපු පන්වලින් පැදුරු සහ පන් මලු වියන එකත් ආච්චිගේ විනෝදාංශයක්.

බොහොමයක් දෙනා නිදා ගත්තෙ පන් පැදුරු වල, සීයා නම් නිදා ගත්තෙ ලණු ඇඳේ.. ලණු ඇඳ උඩ දාපු පැදුර කියන්නෙ දැන් භාවිතා වන හැම මෙට්ටයක්ම පරදන දෙයක්. ඇඟේ හැඩයට වෙනස් වෙන ගතිය වගේම අංශක 360 න්ම වාතාශ්‍රය ලැබෙන, නිදා ගන්න අවස්ථාවෙත් ශරීරය සම්බාහනය වන අපූරු ක්‍රමයක්. මේ නිසාම මිනිසුන් නිරෝගීව උදේ අවදි වුනා කියන්න පුළුවන්. පන් මලු කියන්නේ ස්වභාවික ද්‍රව්‍ය වලින් සැකසූ මලු. මේවා කාලයක් පාවිච්චි වෙනවිට දිරන්න පටන් ගන්නවා ස්වභාවිකවම දිරන මේ මළු අවසන් වෙන්නේ වත්ත පහල කුණු ගොඩෙන්. නමුත් ඒවා පරිසරයට හානියක් නෑ.. පරිසරයෙන්ම ඉපදිලා පරිසරයෙන්ම අවසන් වෙනවා.

කුඹුරෙ වතුර බඳින කාලෙට අපට හරි ජොලි. ඒක තමයි අපේ පිහිණුම් තටාකෙ. දැන් වගේ කෘමිනාශක ගහන්නෙ නැති නිසා වතුර ඇත්තෙන්ම පිරිසිදුයි. අස්වැන්න නෙළුවට පස්සෙ කුඹුර තමයි අපේ පිට්ටනිය. කුඹුරේ ලොකු වලවල් හාරලා සුදු වැලි ගොඩ දාන්නෙ මේ කාලෙට. අඩි දෙක තුනක මඩ අයින් කළාට පස්සෙ මතු වෙන්නෙ සුදුම සුදු සුදු වැලි. ඒකට අපි හැමෝම උදවු වෙනවා. වැලි ගොඩ දාපු වලවල් වල වතුර පිරුණාම ඒකත් අපිටම තමයි. හැබැයි දැන් ළමයි වගේ ඒවයෙ පැනලා ගිලිලා මැරෙන්න නම් ගියේ නෑ අපි…

Image result for Sri Lankan village

වත්තේ හැම තැනම තිබුණ පළතුරු ගස් නම් අවුරුදු තිහක් ගිහිල්ලත් තවම ඒ වගේම තිබෙනවා. මැංගුස් ගහ ඉස්සර වගේම පළදාව දුන්නත්, ඒක මහ ගහක්… ඉස්සර අත්තෙන් අත්තට නැගපු අපි දැන් මැංගුස් කඩන්නේ රිටක උදවුවෙන්.. වත්තේ තිබුණ මහා ඩොංගා ගස් දෙක නම් ලී බවට පත් වුනා… අගෝස්තු මාසෙ ගෙඩි හැදෙන ඩොංගා ගහට පොලු ගහලා කහපාට ඩොංගා කඩාගෙන කන එක මේ ලියන වෙලාවෙත් කටට කෙළ උණනවා. ඩොංගා ඇට ගිලුනාම පස්සෙන්දා ඒවා අයින් කරගන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරන්නත් වෙනවා. ඒකට උදවු වෙන්නේ වත්තේ හැදෙන පැපොල් ගහේ ගෙඩි… ඒ කාලේ කොච්චර පැපොල් කෑවද කියනවා නම් දැන් පැපොල් කන එක එපා වෙලා තියෙන්නෙ.

පොල් වගේම කිතුල් ගසුත් වත්තෙ තැනින් තැන තිබුණා… මලක් පීදීගෙන එන කාලෙට ගමේ ඉන්න කෙනෙක් ඇවිත් ගහ හැර ගහනවා. හැර ගහනවා කියන්නෙ ගහට සවිමත් පොලු තබා බඳිමින් ඉහලට යන්නට මගක් පාදා ගන්න එක… ඒකෙ තේරුම අපට පැණි සහ හකුරු ලැබෙනවා කියන එක තමයි. මල් කපන එක කලාවක්, එයටම වෙන් වූ පිහිය අපි කාටවත් අල්ලන්න ලැබෙන්නෙ නෑ… ඇල්ලුවොත් වෙන්නේ ඇඟිල්ලක් දෙකක් කැපෙන එක විතරයි… ඒ තරම් මුවහත්, මල පීදෙන කාලෙට නැවුම් මුට්ටියක් ඇතුලත පුච්චලා සකසා ගන්නවා.. සමහර විට මුට්ටි දෙකක් තිබෙනවා. එකක් පැණි සෑදීමට අවශ්‍ය තෙලිදිය ගන්න. ඒකට සුවිශේෂී ගස් ජාතියක පොතු දමා තෙලිදිය පැසවීම නවත්වා ගන්නවා. අනෙක් මුට්ටිය එල්ලන්නේ රා වලට අවශ්‍ය තෙලිදිය ලබා ගන්න. ඒවා අපට අකැපයි.

ලොකු හට්ටියකට හැමදාම එකතු වෙන තෙලිදිය ලිපේ පැසෙන්නෙ ආච්චිගෙ අධීක්‍ෂණයෙන්. දිනක් දෙකක් එසේ පැසෙන තෙලිදිය පිටතට එන්නේ කිතුල් පැණි ලෙසින්. ඒ කිතුල් පැණි එකතු වෙන්නේ තවත් මුට්ටියකට, සමහර වෙලාවට පැණි තව තවත් හිඳවලා හකුරුත් හැදෙනවා.

Image result for කිතුල් පැණි හකුරු පදම වෙනස් වුනාම හැදෙන්නේ ලාකඩ වගේ ජාතියක්.. ඒවා ගුණසිරි බුල්ටෝ වගේ…අයිතිය අපට.. එයින් ගුලියක් කටේ දාගෙන දවස පුරාම උඩ තල්ලෙයි යට තල්ලෙයි අලවගෙන කෙල පෙරාගෙන කන එකත් අපේ විනෝදාංශයක්… සමහර වෙලාවට පැණි මුල් හැදෙනවා. පුවක් ගසක කොලපොතක් පිරිසිදු කරලා හොඳින් පැසක් හදලා එයට පැණි දාලා ලිපට උඩින් ඇති අගුවේ එල්ලනවා. කොළපොත තුලින් තව තවත් ජලය වාෂ්ප වෙලා පැණි මුල ඇතුලෙ හැදෙන්නෙ වැලි හකුරු… ඒ වැලි හකුරු කියන්නේ සීනි ස්ඵටික. ඒවා මාර රහයි… කර කර ගාලා හැපෙන්නෙ… පැණිමුල් එල්ලන්නෙ කුස්සියේ දුමේ. දුම කියන්නෙ ලිපට උඩින් ලී ආධාරයෙන් සැකසුන ගබඩාව, කොස් ඇට, ගන්දෙල්, වියැළුණු බත්, කරවල, උම්බලකඩ ආදී ආහාර වගේම යම් ප්‍රමාණයකට දර ගොඩකුත් එතැන එකතු වෙන්නෙ වැහි කාලයට භාවිතා කරන්න.  එතැන ගින්දර රස්නයට සියල්ලම හොඳින් වේලෙනවා. මේකත් ලිපෙන් හානි වන තාපය භාවිතා කරන එක ක්‍රමයක්.

Image result for පැණි මුල

වත්තෙ පැත්තක ඉඟුරු පාත්තියක් සහ කහ පාත්තියක්, ඒකට දාන්නෙ වී පොතු, පස බුරුල් වෙලා අල හොඳට බහින්න. හීං අරත්ත, ආඩතෝඩා, ඇත්තෝර, විසකුම්භ, වගේ බෙහෙත් ජාතිත් වත්තෙම පැත්තක තිබෙනවා. සීයගෙ ආදරණීයම වගාව තමයි බුලත් වැල්ටික. කවුරු ආවත් කඩන්න දෙන්නෙ නැතුව තමන්ම කඩලා දෙන්නේ, බුලත් වැල් වලට ලෙඩ බෝ වන නිසා. ඊට අමතරව ගම්මිරිස් වැල් කීපයක්, කරාබු ගහක් ආදිය වත්තේ කොතැනක හෝ තිබුණා. මේ නිසා ඇත්තෙන්ම ජීවන රටාව හරිම ස්වයංපෝෂිතයි. සියල්ලම තමන් විසින්ම සපයා ගනු ලැබුවා.

ගෙදර හැමෝම වැඩට උදව් වෙන නිසා හැම දෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දර අහුලන්න, පලා කඩන්න වගේම කුඹුරේ එළවලු පාත්තියේ වැඩ කරන්න හැමෝම යනවා. නාන ලිඳ සවස් තුන්සිය හැටපහ පුරාම උතුරලා යනවා.. ඒ අසල කණ්ඩියෙන් ඉපදිච්ච උල්පත්වලට තේ කොල තියලා පීලි හදන එක නාන්න ගියාම අපේ විනෝදාංශය. පණිට්ටුව ලිඳට ගහලා වතුර පණහක් නාන්නෙ සබන් ගාන්න… වතුර පණිට්ටු සීයක් කියන්නෙ සෑහෙන නෑමක්, ඒ වගේම ඇඳට හොඳ ව්‍යායාමයක්. මේ නිසා දැන් වගේ  තඩි බඩවල් කාටවත් තිබුණෙ නෑ..ජිම් නොගියත්, හොඳට කට්ස් දාපු ඇඟවල් කීපයක්ම ගමේ තිබුණා.. කාන්තාවන් වුනත් බොහොම නිරෝගීව සිටියෙ…

උණක් හැදුනාම සීයා තෙල් මතුරනවා. ඒ මන්තර වල වැඩිහරියක් තිබුණෙ බුදුගුණ. කහ ඩිංගක් උරච්චි කරලා සුදු හඳුන් පොඩ්ඩක් දාපු තෙල් හරිම සුවඳයි. තෙල් මතුරලා ඉවරවෙනකොට ලෙඩත් හොඳයි. ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බපු වතුර වේල් දෙකක් බීවාම ඕනම ලෙඩක් නිට්ටාවට සුවයි.

හවසට අපි ඔක්කොම රේඩියෝව ලඟට කිට්ටු වෙන්නෙ මුවන් පැලැස්ස අහන්න… සමහර දවස්වලට හන්දියේ ගෙදරත් අහනවා.. පරණ අයට මතක ඇති. වේවැලක් නැති පාසැලක් කතාව තමයි ලමා අපට වැදගත්, ඒකෙ හිටපු ජිල්ජෝනා සහ වැන්දබෝනා ගෙ චරිත මතක හිටින ඒවා..හවස් වෙනකොට සීයා පැට්‍රල්මැක්ස් එකට භූමිතෙල් දාලා හුලං ගහනවා. ඒ හුලංපාරත් එක්ක මැද තිබෙන රෙදි මැන්ටල් එක රිදී පාටින් බබලනවා. වැඩිය දැඟලුවොත් ඒක කැඩෙනවා… ඒ නිසාම එතැන අපට තහනම්. සාලෙ ඒක එල්ලුවාම මුළු ගෙදරම එලියයි. අනෙත් කාමරවලට චිමිනි ලාම්පු.

ඒ ජීවිතය පහසුකම් අඩු වුනත් සරළයි. මුළු ජීවිතයම බද්ධ වෙලා තිබුණෙ පරිසරයත් එක්ක… උදෑසන අවදි වූ වෙලේ පටන් මිනිස්සු ජීවත් වුනේ පරිසරයත් එක්ක.. ඒ වගේම රෑට නින්දට යනකොට උදේ තිබුණ පරිසරය ඒ වගේම තිබෙනවා. පරිසරයට අළුතෙන් යමක් එකතු වුනේ නැහැ. හැම නිශ්පාදනයක්ම, හැම කාර්යයක්ම පරිසරයට අනුබද්ධයි. කුණු කඳු ගොඩගැහුනෙ නෑ…පරිසරය විනාශ වුනේ නෑ.. ගමේ වගේම නගරයෙත් ඒ සුන්දරත්වය තිබුණා.

මේ ජීවිතය සංකීර්ණ වෙලා වෙනස් වෙන්න පටන් ගත්තේ ගමට විදුලි බලය, දුරකථන පහසුකම් එකතු වීමත් එක්ක. ගමේ පාරවලට තාර දැමුනා… මෙච්චර කාලයක් පස් එක්ක හැපිපිච්ච කකුල් වලට සෙරෙප්පු වැටිලා පොළවත් එක්ක තිබුණ සම්බන්ධය නැති වුනා.. ඒත් එක්කම රූපවාහිනිය ගමට ආවම, ඉස්සර රෑට ඔක්කොම එකතු වෙලා පිල උඩ හෝ වෙනත් තැනක තිබුණ සතුටු සාමීචිය රූපවාහිනියේ නළු නිළියෝ කියන කරන දේ බලන් ඉන්න තැනට පත් වුනා. මිනිස්සු ටික ටික එකිනෙකාගෙන් ඈත් වෙන්නත් ඇති… අපටත් අළුත් වීරයෝ ඇති වුනා… නයිට් රයිඩර් වගේ බයිසිකලේ උඩින් පන්නන්න ගිහින් තරු පෙණුන වාර අනන්තයි.. පරිසරයට අනුබද්ධ නිශ්පාදන වෙනුවට ප්ලාස්ටික් බෑග් ආවා. ඒවා නොදිරන නිසාම පරිසරයේ එකතු වුනා.. අවුරුදු විස්සකට එහා තිබූ සමහර අසුරන ද්‍රව්‍ය දැන් පවා කුණුගොඩක් ඇවිස්සුවොත් හොයා ගන්න පුළුවන්.

අළුත් ජීවන රටාව පහසුයි… හැම දෙයක්ම අතට පයට. වාහන හැම තැනම.. එක බයිසිකලයක් හෝ නැති ගෙයක් හොයා ගන්නවට වඩා ලේසියි නොමල ගෙයකින් අබ ඇට මිටක් හොයා ගන්න එක.. ගම පුරාම ඇවිදපු කකුල්වලට විරාමයක් ලැබුණා වගේම ඇඟටත් විවිධාකාර රෝග ගොඩ වුනා.. ඉස්සර දියවැඩියාව, හෘද රෝග, පිළිකා නොදැකපු අපේ ශරීර, ඒවා නැතිනම් පුදුමයක් වන තත්ත්‍වයට පත් වෙලා. මිනිස්සු කම්මැලි වෙලා.. ගෙදර වත්තේ කොච්චර ඉඩ තිබුණත්, වෙලාව කොච්චර තිබුණත් හැම එළවලුවක්ම කඩෙන් ගේන්න, එකතු වෙන හැම කුණුගොඩක්ම නගර සභාවට දෙන්න පුරුදු වෙලා.. අච්චර ලස්සනට තිබුණ ජීවිතේ.. හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා…

දියුණුව හොඳයි… අපි ඉදිරියට යා යුතුමයි… ඒ දියුණුවත් එක්ක අපි බොහෝ දෙයින් පස්සට ගිහින්… අධ්‍යාත්මිකව, මානසිකව, ශාරීරිකව, චර්යාත්මකව අපි ඉන්නේ ඉස්සර මිනිස්සුන්ට වඩා බොහොම පිටුපසින්…තවමත් අපි ප්‍රමාද නෑ.. පොඩ්ඩක් හිතලා වෙනස් වෙන්නයි ඕන.. වෙනස් වීම අමාරුයි. අපි අපේ රටාවෙන් බැහැරට යනවා කියන්නෙ බොහොම අමාරු දෙයක්. නමුත් ඒ වෙනස දවසෙන් දවස හුරු කර ගත්තොත් තව වසර කිහිපයකින් හෝ අපි අළුත් වේවි.

දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…..

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 4, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. මං මේ කියලා තියෙන ඒවට සම්පූර්ණයෙන්ම එකඟයි . හැබැයි ඕකට ආණ්ඩුවත් යම් තරමකට දායක වෙන්න ඕන. විශේෂයෙන්ම භාණ්ඩ ඇසුරුම් වලට. ඕනෙ කමක් තියෙනවා නම් ප්ලාස්ටික් පොලිතින් 90% විතර අඩු කරන්න පුළුවන්.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: