ජීවිතය දිගයි – ඉක්මන් කොටයි……..අවධානයෙන් සිට අවදානම අඩු කරගමු…. මෙවර රිවිර ලිපිය


Road discipline.jpgමිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ බව බුදු දහමේ පවා සඳහන්. මිනිස් ජීවිතයක් කියන්නේ ඒ තරම් දුර්ලභ සිදුවීමක්. සරළව සලකා බලනවා නම් කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බැලීමකට කාරණා කිහිපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. මූලිකවම කැස්බෑවා එක් ඇසක් අන්ධ විය යුතුයි, නගුලකින් කැඩී ගිය වියගසක් මුහුදේ පා විය යුතුයි. විය ගස මුහුදේ පාවන අවස්ථාවේ කැස්බෑවා මතුපිට පැමිණ උගේ පෙණෙන ඇස විය සිදුර හා සමපාත විය යුතුයි. සම්භාවිතාවය ආශ්‍රයෙන් සලකා බලන කල පවා මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක්.

ආගම පැත්තකින් තැබුවත්, විද්‍යානුකූලව ඔබ – ඔබම වීම ඉතා දුර්ලභ සම්භාවිතාවයකින් එකක්. ඔබේ ගති ලක්‍ෂණ සහ ඔබේ රූ ලක්‍ෂණ ඇති පුද්ගලයෙක් ඇති වීමට ඔබේ මව සහ පියාගේ නිසි සරු කළ එක්වීම අවශ්‍යයි. එසේ වුවත් ඔබ ජීවය ලැබීමට පැලෝපීය නාලය කරා පිහිණීමට සටන් කරන්නේ අවම වශයෙන් ඔබ වැනිම ඔබේ සහෝදර සහෝදරියන් මිලියන 40 ක් සමගයි. එසේ පිහිණන ඔබ පළමුවැනියා වුවත්- නොවුවත් ඩිම්බයේ බිත්තිය සිදුරු කිරීමට අවශ්‍ය ශක්තිය තිබිය යුතු වෙනවා. වෙනත් කෙනෙකු ඒ අවස්ථාව ලැබුවා නම් අද මේ පුවත කියවන ඔබ වන්නේ ඒ පුද්ගලයායි. ඒ අනුව ඔබ ජීවය ලබන්නට පමණක් කෙතරම් සටනක් දෙන්නට ඇතිද කියා ඔබම සිතන්න. එසේම ඒ ජීවය ලැබීම පිළිබඳව ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න. මිලියන හතලිහක් පරදවා ජයග්‍රහණය කිරීම පිළිබඳව.

එසේ ලබා ගත් ජීවිතය මේ දක්වාම පවත්වාගෙන යාමට කෙතරම් බාධා පැමිණෙන්නට ඇත්ද කියා සිතන්න. කෙසේ නමුත් ඔබ මේ දක්වා පැමිණ අවසන්, ඉන්පසු කෙසේ ගත කරන්නේද යන්න ඔබ සහ ඔබේ අවට සමාජය අනුව තීරණය වෙනවා. කෙසේ නමුත් අප සියළුම දෙනා හැකි තරම් දිගු ජීවිතයක් ගත කරන්නයි කැමති. නීරෝගී මනසක් ඇති, මනස අතිශය දියුණු නොකළ කිසිම පෘතඃජනයෙකු සිය ජීවිතය නිශ්චිත දිනක අවසන් කරනවා යැයි කියා සිතන්නේ නැහැ.  ඒ නිසාම අපි සියළුම දෙනා අනතුරු රහිතව සහ ලෙඩරෝග රහිතව ජීවිතය ගත කරන්නට කැමතියි. එසේම අප අවට සිටින්නවුන් පවා එසේ සිටිනවා දක්නට පතනවා.

නමුත් අපි ඉතා කෙටි, අනුවණ තීරණ ගන්නට ඉතා දක්‍ෂ කොට්ඨාසයක්. දැනට වාර්තා වන පරිදි දවසකට අවම වශයෙන් වාහන අනතුරු නිසා ජීවිත 5 ත් 10 අතර ප්‍රමාණයක් දිනපතා රටට අහිමි වෙනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ. මෙයට අමතරව වලක්වාගත හැකි ගෘහස්ථ අනතුරු නිසා කුඩා දරුවන්ගේ ජීවිත දෙක තුනක් දිනපතා අහිමි වෙනවා. මේ අනතුරු බොහොමයක් විශ්ලේෂණය කර බැලුවහොත් ඒවායේ පොදු සාධකය වන්නේ නොසැලකිලිමත්කමයි. වාහන අනතුරකදී නම් බොහෝවිට අධික වේගය සහ නොඉවසීම පොදුයි. ඊයේ යන්නට තිබූ ගමනක් අද යනවාක් මෙන් යාමේදී අනතුරු සිදුවීම බහුලයි. ගෙදර දොර අනතුරක් නම් බොහෝවිට අනතුර පිළිබඳ නොසැලකිලිමත් වීමක් පොදු සාධකය වනවා. වැඩබිමක සිදු වන අනතුරුවලදී එක්කෝ නිසි ආරක්‍ෂක උපකරණ පැළඳ නොසිටීම, ක්‍රියාවේ අනතුරුදායක බව නිසි ලෙස විශ්ලේෂණය නොකිරීම පෙන්නුම් කරනවා.

මහමඟ ගමන්කරනවිට අපට නිතර පෙනෙන දෙයක් නම් යතුරුපැදි කරුවන්ගේ නොසැලකිලිමත් භාවය. ඔවුන් නිතරම ගමන් කරන්නේ එක්කෝ මං තීරුවේ දකුණු පැත්තේ හෝ මැදින්. වෙනත් වාහනයක් සඳහා සමහරවිට ඉඩ ලැබෙන්නෙත් නැහැ. වම් පස මංතීරුව වාහනවලින් තොර වුවත් ඔවුන් ගමන් කරන්නේ දකුණු පසින්. මේ නිසා ඔවුන් අනතුරුවලට ලක්වන අවස්ථා බහුලයි. එසේම යතුරුපැදිකරුවන් තම හැකියාවන් පිළිබඳ අධිතක්සේරුවකින් ගමන් කරනවා. වාහන දෙකක් මාරුවන අතරතුර ඒ අතරින් ගමන් කිරීම, වංගු වලදී වාහන ඉස්සර කිරීම, වමෙන් ඉස්සර කිරීම ආදිය ඉතාමත් බහුල වැරදි. මේ නිසාම අහිමි වන ජීවිත ප්‍රමාණයත් ඒ හා සමානවම වැඩියි. යතුරුපැදි ධාවකයන්ගේ අධික වේගය නිාම යතුරුපැදිය පාලනයෙන් ගිලිහී අනතුරට පත්වන අවස්ථා එමටයි. රෝද දෙකක් යනු ස්ථායීව පවත්නා ව්‍යුහයක් නොවන නිසා පෙරළීමේ සම්භාවිතාවය වැඩියි. එසේම යතුරු පැදියක් ප්‍රධාන පාරකට දැමීමේදීත් ඔවුන් අනුගමනය කරන්නේ තමන්ට ප්‍රමුඛත්‍වය ලැබිය යුතු යැයි හැඟීමක්. මේ නිසාම සමහරවිට ප්‍රධාන පාරේ පැමිණෙන වාහනවල ගැටීමේ සම්භාවිතාවය අධිකයි. එසේම බොහෝ දෙනා සිය ජංගම දුරකථනය හෙල්මට් එක සහ මුහුණ අතර රඳවාගෙනයි ගමන් කරන්නේ. දුරකථන ඇමතුමක් ලැබුණ වහාම එමගින් කතා කරමින් තමයි පදවන්නේ. මේ නිසා බයිසිකලය පැදීමට ඇති අවධානය ඉතා දැඩි ලෙස අඩු වනවා. අනතුරු සිදු වීමේ සම්භාවිතාවය ඉතා අධිකයි.

සාමාන්‍යයෙන් මෝටර් රථයක් පැදවීමේදී දුරකථන භාවිතය නිසා අඩු වන අවධානය, එම පුද්ගලයා මත්පැන් පානය කර මෝටර් රථය පැදවීමේදී අඩුවන අවධානයට වඩා වැඩි බව සොයාගෙන තිබෙනවා. එනම් ඔබ දුරකථනයෙන් අමතමින් වාහන පදිනවා යනු බීමත්ව රිය පැදවීමටත් වඩා භයානක කාර්යයයක්.

බොහෝ දෙමාපියෝ තම දරුවන් මෝටර් බයිසිකල්වල නංවාගෙන යන අවස්ථා අනන්තයි. අපේ රටේ ආර්ථික සහ සමාජයීය තත්ත්‍වය අනුව එය වලකා ලන්නඩ බැහැ. නමුත් ඔවුන් එසේ ගෙනයන ආකාරය සමහරවිට බොහෝ අනතුරුදායක වන්නට පුළුවන්. තමන් හෙල්මට් පැලඳ සිටියත් දරුවාට පළඳවන්නේ කුඩා කැප් තොප්පියක්. අනතුරක් සිදු වුවහොත් දරුවාගේ හිසට සිදුවිය හැකි හානිය අධිකයි. දරුවා බොහෝ දුරට මවගේ උකුලේ ගමන් කරන්නේ සිටගෙනයි. කිසියම් හේතුවක් නිසා දරුවා අතහැරුණහොත් වැටීමට ඇති ඉඩකඩ බොහොමයි. ඒ වගේම සමහරවිට දරුවන් තනිවම පිටුපස නංවාගෙන යන අවස්ථා ද තිබෙනවා. එවිට පදවන්නාගෙන් දරුවාට ඇති අවධානයත් අඩු වෙනවා. දරුවාට නින්ද යාම වැනි දෑ සිදු වුවහොත් සිදු වන ජීවිත හානිය නැවතත් ලබාගත හැක්කක් නොවෙයි. මේ නිසා දරුවන් යතුරුපැදි වැනි නිරාවරිත වාහනවල රැගෙන යාමේදී නිරතුරුවම සිදු විය හැකි අනතුරු පිළිබඳ පෙර සීතීමක් අත්‍යවශ්‍යමයි.

දෙවනුවට වැඩිම අනතුරු සිදු වන්නේ ත්‍රීරෝදකරුවන් අතිනුයි. ඔවුන් ද යතුරුපැදිවලට දෙවනි නැහැ. සිය වාහනයේ වේගය පාලනය කර ගැනීමට අපොහොසත් වීම නිසා බොහෝ අනතුරු සිදු වනවා. ත්‍රීරෝද රථයේ නංවාගෙන යාමට නොහැකි තරමක මගීන් ප්‍රමාණයක් නංවාගෙන යාම, එසේ ගමන් කිරීම නිසා සිදුවන අනතුරු නිසා සිදුවන අධික මරණ සංඛ්‍යාව අපට නිතිපතා අසන්නට දකින්නට ලැබෙන දෙයක්. ත්‍රීරෝද රථ රියැදුරන් අතින් ඉහත කී යතුරුපැදි ධාවකයන් අතින් සිදුවන වැරදි සියල්ලම සිදුවනු දකින්නට පුළුවන්. එමෙන්ම, මාර්ග සංඥා පුවරු ආසන්නයේ මඟ අහුරාගෙන ඉදිරියෙන්ම සිටින්නේ ත්‍රීරෝද සහ යතුරුපැදි බව ඔබටම බලාගනු හැක. බොහෝවිට පිටරටවල නම් වාහන ධාවනය කෙරෙනුයේ අදාල මංතීරුවේ පමණයි. එසේම එය නීතියක් වන අතර නීති කඩකරන්නන්ට එවේලේම දඬුවම් ලැබෙනවා. අවාසනාවකට අපේ රටේ නීතිය විවිධාකාර ලෙස නැවී ඇති නිසා මාර්ග නීති පවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවෙන්නේ නැහැ. මේ නිසා බොහෝ දෙනා හිතාමතාම වැරදි කිරීමට පෙළඹී සිටිනවා. වැරැද්දක් හසු වූ විට පවා පගාවක් දී ගැලවීයාමට උත්සාහ කරනවා. මේ නිසා නීති පිළිපැදීම අඩු වී අනතුරු වැඩි වී තිබෙනවා. පසුගියදා පැනවූ රු: 25000 දඩය නිසාම කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුලත් කෙරෙන රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබුණා. එයින්ම පෙනෙනවා නිසි ලෙස මාර්ග නීති අනුගමනය කරනවා නම් මාර්ග අනතුරු අවම කරගත හැකි බව. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු නිසා සිදු වූ මරණ 3003 කින් මරණ 1227 ක්ම යතුරුපැදි කරුවන්, ඊට පසු වැඩිම අගය වන 405 ත්‍රී රෝද රථ නිසාද තෙවනුව 357ක් ලොරි රථ නිසාද සිදු වී තිබෙනවා. මෙයට අමතරව මේ සෑම ක්‍රමයකින්ම බරපතල තුවාල ලැබී සංඛ්‍යාවද ඊට නෙදෙවෙනියි.

බස් සහ ට්‍රක් වැනි විශාල වාහන රියැදුරන් තමන්ගේ වාහන ධාවනය කරන්නේ මාර්ග නීති නොතකා නොසැලකිල්ලෙන්. මෑතකදී අප දුටු බස් අනතුරකදී රියැදුරා හිතාමතාම කාන්තාවක් යට කරනු අපට දැක ගැන්මට පුළුවන් වුනා. මෙවැනි වැරදි වලට දැඩි දඬුවම් ලබා දිය යුතු මෙන්ම ඒවා ප්‍රසිද්ධ කර අන් අය මෙවැනි වැරදි වලට පෙළඹීම නතර කළ යුතුමයි. ප්‍රභූ වාහන ගැන කතා කිරීම ඇත්තෙන්ම අනුවණ ක්‍රියාවක්, ඔවුන්ට ඇත්තේ වෙනම නීතියක්. නීතියක් ඇතිනම් එය සැමට එකසේ ක්‍රියාවේ යෙදවිය යුතුයි. වසර කිහිපයකට පෙර ඇමරිකාවේ නිව් ජර් සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බීමතින් රිය පැදවීමට වරදකරු වී මාස හයක් රියැදුරු බලපත්‍රය තහනමකට ලක් වූවේ මේ සැමට එක නීතිය යටතේ. ශ්‍රී ලංකාවේ එසේ වූවා නම් අදාල පොලිස් නිලධාරියා අද සේවය කරනු ඇත්තේ දුෂ්කර ප්‍රදේශයක…

කෙසේ නමුත් කාර් සහ අනෙකුත් වාහන පදවන්නන් සාන්තුවරයන් නොවෙයි. මෑතකදී වාර්තා වුන මෝටර් රථයක දොරක් හරිනවිට යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකදී වරද බොහෝ විට අපරීක්‍ෂාකාරීව දොර අරිනලද පුද්ගලයාගේ වන්නට පුළුවනි. අප නිතරම යම් අනතුරක් විය හැකිදැයි සිතා පෙර විපරමින් කටයුතු කළහොත් ඇත්තෙන්ම මෙයට වඩා අනතුරු ප්‍රමාණයක් අඩු කරගත හැකියි.

2015 වසරේ දත්ත වලට අනුව, මාර්ග අනතුරු නිසා සිදුවන ජීවිත හානි වැඩිපුරම වාර්තා වන්නේ ලිබියාවෙන් එය ජනගහනයෙන් ලක්‍ෂයකට 73.4 ක් ලෙසින්. වාසනාවකට අප ඒ ලැයිස්තුවේ ඉහළ නැහැ, නමුත් මේ අකාරයට ගියොත් ඒ වාර්තාවටත් අපට හිමිකම් කියන්න බැරි වෙන එකක් නැහැ.

බොහෝ වාහනවල දැන් දැන් බුදු පිළිම, කුරුස මෙන්ම ධර්මචක්‍ර වැනි ආගමික සංකේත තබාගෙන යනු අපට දකින්නට පුළුවන්. ඇත්තෙන්ම ඔබ කළ යුත්තේ ආගමික සංකේත නොව ඔබේ පවුලේ ඡායාරූපයක් රථයේ ඉදිරිපස ඔබට පෙනෙන අයුරින් සවිකිරීමයි. එයින් ඔබට නිතරම මතක් වේවි ඔබේ ඉක්මන නිසා තවත් කී දෙනෙක් අසරණ විය හැකිද කියා. මේ නිසා ඔබ ස්වයං විනයක් ඇතිව ධාවනය කරන්නට සමහරවිට පෙළඹේවි. හදිසි අනතුරකින් අහිමි වන කිසිම ජීවිතයක් අපට නැවත ලබා ගත නොහැකියි. සමහර විට මිය යන පුද්ගලයා ඔබ නොවුවත්, අසරණ පවුලක් නඩත්තු කරන එකම පුද්ගලයෙක් විය හැකියි. එවිට අසරණ වන ජීවිත සංඛ්‍යාව කොපමණ දැයි සිතා ගන්න. එසේ අසරණ වන පවුලක ඉරණම ඔබට භාරගත හැකිද ? සමහරවිට පවුලේ එකම දරුවා විය හැකියි. මිය යන දරුවකු වෙනුවෙන් ඔබේ දරුවෙකු එම පවුලකට ලබා දිය හැකිද ? ඔබ ඒ ඉරණමට ගොදුරු වුවහොත් ඔබේ දරුපවුලට කුමක් සිදු වේද ? ඔබේ දරුවකු එම ඉරණමට ගොදුරු වුවහොත් ඔබ කුමක් කරාවිද ? මේ සියල්ලටම හොඳම පිළිතුර වන්නේ වඩා ඉවසිලිවන්තව සහ ආචාරශීලීව රථ ධාවනය කිරීමයි.

අප රටේ රියැදුරන්ට නොමැති දෑ දෙකකි. එනම් ඉවසීම සහ රිය පැදවීමේ ආචාර ධර්ම පිලිපැදීම නොමැතිකමයි. නොඉවසිල්ල නිසා සිදු වන මාර්ග අනතුරු ප්‍රමාණය ගණන් කළ නොහැකියි. එසේම අනුන්ට පෙර තමන් යා යුතුය යන සිතිවිල්ල ඇති නිසා කුඩා ඉඩකින් හෝ තම වාහනය රිංගවාගෙන තමන්ගේ ගමන යාමට අපි උත්සුක වෙනවා. බොහෝ මංසන්ධිවල මාර්ග තදබදය ඇතිවීමට එකම හේතුව වන්නේ අනුන්ට ඉඩ නොදී තමන් ඉස්සර වීමේ න්‍යාය නිසායි. පිටරටවල ඇති සිවු මාර්ග නැවතුම් සංඥා (Four way Stop Sign) වලදී වාහන සියල්ල අදාල ඉර මත සම්පූර්ණයෙන් නවත්වා, ඉන්පසු ඉදිරියට යා යුතුයි. එසේ කිරීමේදී වාහන දෙකක් එකවර පැමිණිය හොත්, කෙනෙක් අනිකාට සංඥා කර අන්‍යොන්‍ය අවබෝධයෙන් වාහන ඉදිරියට ගමන් කරවනවා. මංසන්ධිය මැද වූ කොටුවේ හෝ අදාල ඉරෙන් ඉදිරිපිට, කිසිදු වාහනයක් නවත්වා නැහැ. මේ සංසිද්ධිය ලංකාවේ කොතැනකදී වත් දකින්නට නොහැකියි.

4 way stop sign.jpg

මෙසේ ඔබ හදිසියේ ඔබ සහ අනෙක් අය අනතුරේ හෙලා යන ගමනින් සමහරවිට ඔබට විනාඩි 10 ක් ඉතුරු කර ගත හැකි වේවි. නමුත් ඔබ ඒ විනාඩි 10 වෙනුවෙන් අනතුරක් කරා ගෙන යන ජීවිතවල වටිනාකම ඔබට තක්සේරු කළ හැකිද ? කිසි විටෙක විනාඩි 10 ක වාසියක් වෙනුවෙන් ජීවිතයක් පරදුවට තබන්න එපා.

මාර්ගයේ ගමන් කිරීමේදී පවා අප බොහෝ දෙනා ගමන් කරන්නේ ඉතා නොසැලකිල්ලෙන්. බොහෝ දෙනා එක්කෝ දුරකථනයෙන් කතා කරමින් හෝ දුරකථනයෙන් යමක් බලමින් ගමන් කරන අවස්ථා සහ ඒ නිසාම අනතුරට පත් වූ අවස්ථා බොහොමයි. එමෙන්ම බොහෝ අනතුරු සිදු වන්නේ දකුණෙන් ගමන් නොකිරීම නිසා. වමෙන් ගමන් කිරීමේදී වාහන පැමිණෙන්නේ අප පිටුපසින්. ඒ නිසා වාහනයක් තමා දෙසට එනු පෙනෙන්නේ නැහැ. නමුත් දකුණෙන් ගමන් කිරීමේදී අවම වශයෙන් සුළු හෝ ආරක්‍ෂාකාරී පියවරක් අනුගමනය කළ හැකියි. කහ ඉරනේ මාරු වීමේදීත් අප ඉක්මනින් මාරු වීම වඩා යෝග්‍යයි. බොහෝ දෙනා මාරු වන්නේ ඉතා හෙමින්. එසේම කුඩා දරුවන් සමඟ ඇවිදගෙන යාමෙදී නිතරම දරුවාගේ අතින් අප අල්ලාගෙන යනුවිනා දරුවාට අපේ අතින් අල්ලාගෙන යාමට ඉඩ නොදිය යුතුයි. මක්නිසාද යත්, ඔවුන්ට හදිසි අවස්ථාවකදී ඔබේ අත අත්හැරී යාමට ඇති අවස්ථාව ඉහළයි. කුඩා දරුවන්ගේ අතින් අල්ලාගෙන පාරේ ගමන් කිරීමේදී නිතරම ඔවුන් පාරෙන් ඈත්වන සේ එක් කරගෙන යා යුතුයි.

කුඩා දරුවන් බොහොමයක් ගෙදර දොරේදී අනතුරට පත්වන්නේ නොසැලකිල්ල නිසයි. කුඩා දරුවන් බොහෝ විචක්‍ෂණශීලීයි. ඒ නිසා සියළුම දේ පරීක්‍ෂාවට ලක් කරනවා. පිහි, කතුරු, වැනි තියුණු දෑ මෙන්ම විවිධාකාර රසායන ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ දැනුම අල්පයි. මේ නිසාම ඔවුන් ඒ ගැන පරීක්‍ෂාකාරී වනවා. එවිට සිදු විය හැකි අනතුරු වැඩියි. මේ නිසාම කුඩා දරුවන් ඇති නිවෙස්වල වැඩිහිටියන් නිරතුරුවම තම දරුවාට සිදු විය හැකි අනතුරු පිළිබඳ පරීක්‍ෂාවෙන් සිටිය යුතු වෙනවා. තියුණු ආයුධ, රසායන ද්‍රව්‍ය, බෙහෙත් වැනි දෑ දරුවාගේ දෑත මානයේ නොතැබිය යුතුයි. ඒවා වෙනම අසුරා සමහරවිට අගුළු දැමිය හැකි ස්ථානයක තිබිය යුතුයි. දරුවාට අනතුරක් විය හැකි මාළු පොකුණු හෝ වෙනත් ජල තටාක, ගලා යන දිය පහරවල් පිළිබඳ මනා අවධානයෙන් සිටිය යුතුමයි. දරුවාට යමක් ආහාරයට දීමේදී පවා ඔවුන්ට සිර වීමක් ඇතිවිය හැකි මාර්ග අසුරා තැබිය යුතුයි. රඹුටන්, මිදි වැනි ගෝලාකාර ආහාර දරුවාට සිරවිය හැකි අවස්ථා එමටයි. මේ නිසා ඒවා කුඩා කැබලිවලට කපා දිය යුතුයි. දරුවාගේ තරමට ආහාර වර්ග සැපයිය යුතුයි. සමහරවිට කුඩාම දරුවන්ට නුසුදුසු ආහාර දීම නිසා ඔවුන් අනතුරට පත්වන අවස්ථා එමටයි.  එසේම දරුවන් වාහන තුළට හෝ ඒවා යටට යාමට බොහෝ කැමැත්තක් දක්වනවා. කුඩා දරුවකු නිවසේ ඇතිනම්, සිය වාහනය පණ ගැන්වීමට පෙර දරුවා තමන්ට පෙනෙනතෙක් මානයක සිටී දැයි පරීක්‍ෂාවෙන් සිටීම වැදගත්. එසේම වාහනය ධාවනයට පෙර ඒ දරුවා සිටින්නේ කොතැනද, වැඩිහිටියෙකු දරුවාගේ ආරක්‍ෂාවට සිටීද යන කරුණු සළකා බැලීමෙන් ජීවිත කාළය පුරාම වේදනාවට පත්වන කරුණු කාරණා අවම කරගත හැකියි.

කුඩා දරුවන් බොහෝවිට අනතුරට ලක්වන තවත් අවස්ථාවක් වන්නේ විදුලිසැර වැදීම නිසා. ඔවුන් විදුලි පේනුවල සිදුරු තුළට ඇඟිලි දැමීම හෝ පේනුවලට විදුලි උපකරණ සවි කරන්නට උත්සාහ දරනවා. මේ නිසා විදුලිසැර වැදීමට භාජනය වනවා. මෙය වලක්වාගැනීමට එක්කෝ පේනු ආවරක හෝ විදුලි උපකරණ දරුවාගේ දෑත මානයෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. එසේම කුඩා දරුවන්ට පේනු සවි කිරීමට අනුබල නොදිය යුතුයි. අවම වශයෙන් අවුරුදු 12 ක් වත් වනතුරු ඔවුන් එම කටයුතු වලින් ඈත් කර තැබිය යුතුයි.

වැඩිහිටියන් පවා විද්‍යුත් පරිපථ හා කටයුතු කිරීමේදී ඒවා නිසි ලෙස විසන්ධි කළ යුතුයි. එසේම අවදානම් ස්ථානවල වැඩ කරනවිට ඒවා හරිහැටි පරීක්‍ෂා කර අවදානම් අවම කළ යුතුයි. යම් යම් උපකරණ භාවිතයේදී ඒවාට අදාල ආරක්‍ෂක උපකරණ පැළඳිය යුතුමයි. අත්වැසුම්, ඇස් ආවරණ ආදිය දැන් ඉතා අඩු මිලට වෙළඳපොලේ තිබෙන නිසා ඒවායින් යුගලයක් පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වාගැනීමට පුළුවනි. ලොව වටා වසරකට වැඩබිම අනතුරු නිසා මිනිස් පැය මිලියන 3 කට අධික ප්‍රමාණයක් අපතේ යනවා. මේ අනතුරු බොහොමයක් අප නිසි අනතුරු විශ්ලේෂණයක් සිදු කර ඉන් පසුව අදාල කාර්යයට බටහොත් වලක්වාගත හැකි අනතුරු.

Mechanical work.JPG

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපි බොහෝ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේවා නිසි ලෙස අසුරා තැබීම, දරුවන්ගෙන් ඈත් කර තැබීම මෙන්ම නිසි ලෙස ලේබල් කර තැබීම අත්‍යවශ්‍යයි. කිසි විටෙක එය නියමිත අසුරණයෙන් පිටතට ගෙන ගෙදර දොර පාවිචිචිවන බෝතල්වල අසුරා තබන්නට එපා. ඒවා නොදැනුවත්වම අන් දෑ සමග මිශ්‍ර වී වස ශරීරගත වන්නට පුළුවනි. එසේම එම කෘෂිරසායන ද්‍රව්‍ය භෝගවලට ඉසීමේදී නිසි ආරක්‍ෂක උපකරණ පැළඳ සිටීමෙන් අනියමාර්ථයෙන් වස ශරීරගත වීම වලක්වා ගන්නට පුළුවනි.

pesticide-ground-spraying.jpg

එසේම අපි බොහෝ දෙනා ජලාශ හෝ දිය ඇලි දුටු විට අනතුර නොතකා දියට පනින්නට උත්සුක වෙනවා. දැන් දැන් සිදු කරන ප්‍රචාරණ කටයුතු නිසා එවැනි අනතුරු අඩුවක් දක්නට ලැබුණත්, තවමත් වීරකම් කරන්නට ගොස් ජීවිත අහිමි කර ගන්නා අවස්ථා බොහොමයි. නොදන්නා ජලයට බැසීම අවදානම් බව නැවත නැවතත් මතක් කර දෙනවාට වඩා ඔබේ ජීවිතය ඔබට පමණක් නොව ඔබ වටා සිටින බොහෝ දෙනාට අයිති බව වටහා දීම වඩා වැදගත් වේවි. තරුණ වයසට අවදානම් ස්ථානවල සෙල්ෆි ගැසීමට ගොස් මිය යන ප්‍රමාණයත් දැන් දැන් ඉහළ යමින් පවතිනවා. මේ කාරණයත් අප හිතට ගත යුතුයි. සෙල්ෆියද ජීවිතයද වඩා වැදගත් වන්නේ කියා අපි සිතා බැලිය යුතුයි.

මීට අමතරව අප බොහෝ දෙනා සරළ ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ දැනුමක් ඇත්තවුන් නොවෙයි. මේ අඩුව නිසා සමහරවිට බේරාගත හැකිව තිබූ ජීවිත පවා අපට අහිමි වන අවස්ථා නැතුවා නොවෙයි. විශේෂයෙන්ම ජලයේ ගිලීමකදී කෘත්‍රිම ශ්වසනය (CPR) දීම මගින් අනතුරට පත් වූවන්ගේ දිවි බේරාගැනීම යම් තරමකට කළ හැකියි. මේ නිසාම එක්කෝ පවුල් සෞඛ්‍ය නිලධාරීවරයා හෝ අදාල ප්‍රදේශයේ වෛද්‍යවරයා මගින් කෘත්‍රීම ශ්වසනය ලබාදෙන අයුරු මහජනතාව දැනුවත් කිරීම මගින් ජීවිත බේරාගැනීම කළ හැකියි. අනතුරක් වූ විට එය වීඩියෝ කර ගොසිප් නාලිකාවලට ලබා දීමට උත්සුක වනවාට වඩා, තමන්ට හැකි අන්දමින් එම ජීවිතය බේරා ගැනීමට කටයුතු කරන්නට පුළුවන් නම් එය මහා පිනක්. එසේම මෙවැනි අනතුරු සහ අනතුරුවලට ලක්වන්නන් වීඩියෝගත කිරීම සහ ප්‍රදර්ශනය කිරීම රජය මගින් තහනම් කළ හැකි නම්, මෙවැනි කටයුතු නිතැතින්ම වලකිනවා.

මිනිස් ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක්. එය දිගු කාළයක් ගතකරනවාද – ඉක්මනින්ම කෙටි කර ගන්නවාද යන්න ඔබේ තේරීමක්.

මේ තියෙන්නේ රිවිර පත්තරේ පළවූ ලිපිය…

http://www.rivira.lk/online/2017/07/22/118521

 

 

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 22, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , , , , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: