කසන, පළු දමන, සමහරු මියයන, ආසාත්මිකතාවලින් මිදෙන මග… Rivira ජූලි 30


 

සමහර උදවියට යමක් ආහාරයට ගත් පසු කැසීමක්, පළු දැමීමක් හෝ උගුර හිරවීමක් වැනි රෝග තත්ත්‍වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ ඒ පුද්ගලයාට යමක් ඇලජික් වී ඇති බවයි. සාමාන්‍ය ගැමි වහරේ යෙදෙන මේ ඇලජික් යන්න ඉංගිරිසියේ Allergies යන්න ඍජු පරිවර්තනයට ලක් කිරීමෙන් සාදාගත් ආසාත්මිකතාවය යන තත්ත්‍වය හැඟවීමට සරළව යොදාගන්නා  පදයයි. මේ ආසාත්මිකතාවයන් ඇති වන්නේ යම් යම් දෑ වලට ශරීරය දක්වන අධිසංවේදීතාවය නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන්. මේ ආසාත්මිකතාවයන් ඇති කරන ද්‍රව්‍ය ඉංගිරිසියෙන් Allergens කියා හඳුන්වනු ලබනවා. මේවා විවිධ පුද්ගලයනට ආසාත්මික වන්නේ විවිධාකාරයෙන්. සමහරුන්ට මුහුදු ආහාර, මස් වර්ග, උෂ්ණාධික එළවළු-පළතුරු වර්ග, ආදී ආහාර ආසාත්මික වන අතර, සමහරුන්ට මල්වල රේණු, සතුන්ගේ ලොම්, ආදිය ආසාත්මික වනවා. සමහර අවස්ථාවල තවත් සමහරුන්ට සුවඳ විලවුන් වර්ග, විවිධ පරිසර පද්ධතීන්, මීමැස්සන් – කූඩැල්ලන් දෂ්ඨ කිරීම් ආදිය මාරාන්තිකව ආසාත්මික වන අවස්ථාද තිබෙනවා. මේ සියළුම දෑ ඒ ඒ ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රබලතාව අනුව සිදුවනවා.

Allergy යන්න මුලින්ම හඳුන්වා දී ඇත්තේ වියානාවේ ළමාරෝග වෛද්‍යවරයෙක් වූ Clemens von Pirquet විසින් 1906 දී. ඔහුගේ රෝගීන් සමහරක් දූවිලි සහ මල්රේණු වලට දක්වන ආසාත්මිකතා හේතුවෙන්  ඔහුට සිදු කිරීමට සිදු වූ “අමතර වැඩ” නිසා, ඔහු විසින් ග්‍රීක ශබ්ධකෝෂයේ වූ Allos (වෙනත්) Ergon (වැඩ) ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

ආසාත්මිකතා ඇති වීමට හේතු.

හේතු දෙවර්ගයකි.

  1. අදාල පුද්ගලයාගේ ජානමය සහ පාරම්පරික හේතු.
  2. පාරිසරික සාධක

සමහරුන්ට පාරම්පරිකව උරුම වන රෝගාබාධ ලෙස මේ ආසාත්මිකතා උරුම වෙනවා. ඇදුම රෝගීන් ඇති දෙමාපියන් ඇති පවුලක දරුවන් විවිධ ද්‍රව්‍ය වලට ආසාත්මිකතාවයන් ඇති වීම බොහෝ සුලභ දසුනක්. එසේ වී මුත් දැන් දැන් වැඩි වන ආසාත්මිකතාවයන් පාරම්පරික ලක්‍ෂණ නිසාම ඇති වන ඒවා නොවෙයි. පසුගිය වසර 10 ක ඇතුලත ඇමරිකා එක්සත් ජනපදයේ වාර් තා වන ආසාත්මිකතා රෝගීන් ප්‍රමාණය 10% කින් ඉහල ගොස් තිබෙනවා. මේ බොහොමයකට හේතු වශයෙන් දක්වා ඇත්කේ පාරිසරික සාධක සහ වැරදි ආහාර පුරුදුයි….

ආහාර ආසාත්මිකතා.

සමහරු මස් වර් ග වලට, මුහුදු ආහාර වලට අන්නාසි වැනි පළතුරු වලට දැඩි සංවේදීතාවයක් දක්වනවා. අමෙරිකාවේ නම් ආසාත්මිකතාවයන් නිසා සිදුවන බොහෝ මරණ සංඛ්‍යාවකට දායක වී ඇත්තේ රටකජුයි (Peanuts) බොහෝ රටකජු ආසාත්මිකතා මාරාන්තිකයි. මෙහිදී සිදු වන්නේ ආසාත්මිකතාවය නිසා ක්‍ෂණිකව ශ්වාසනාලය අභ්‍යන්තරයෙන් ඉදිමී අවහිර වීමයි. රටකජු කෑ පෙම්වතා විසින් දෙතොල සිපගත් පෙම්වතියක් ක්‍ෂණිකව මරු වැළඳගැනීමේ සිද්ධියක් වගේම රටකජු පාර්සලයක් පන්ති කාමරයේදී විවෘත කිරීම නිසා සිසුන් රෝගී වූ පුවත් ඇමරිකාවෙන් ආරංචි වනවා. ආසාත්මිකතා ඒ තරම් ප්‍රබලයි. අමෙරිකාවේ බොහෝ ප්‍රාථමික පාසල් ඇට වර් ග වලින් තොර (Nut Free Schools) කර ඇත්තේ මේ ඇට වර් ග වලට කුඩා දරුවන්ගේ ඇති සංවේදීත්වය මනාව කියා පාමින්. එසේම තවත් සමහරුන් විවිධ  ප්‍රෝටීන අධික ආහාරවලට සංවේදීතාවයන් දක්වනවා. කිරි, බිත්තර, කිරි ආහාර, මාළු,  මෙන්ම ආහාරවලට දමන විවිධ රසායනික රසකාරක, වර්ණක ආදියටත් සමහරු සංවේදීතාවයක් දක්වනවා. බිත්තර, කිරි ආදියට සංවේදීතාවයක් දක්වන කුඩා දරුවන්ගෙන් 50%ක් පමණම අවුරුදු 5 වනවිට ඒවාට හුරු වීමත් දක්නට ලැබෙනවා.

ආහාර නොවන ආසාත්මිකතා.

සමහරු විවිධ ඖෂධ වර්ග වලට, පෙර සඳහන් කළ පාරිසරික තත්ත්‍ව වලට මෙන්ම විවිධ කෘත්‍රිම ද්‍රව්‍ය වලටද ආසාත්මිකතාවයන් දක්වනවා. ප්‍රකට ගායිකා මාලිනී බුලත්සිංහල මහත්මිය මරණයට පත් වූවේ හිස ගැල්වූ ඩයි වර්ගයක් ආසාත්මිකවීමෙන් බව ප්‍රචලිත වූවා. පෙනිසිලින් වැනි දේ වලට සංවේදීතාවයන් දක්වන පුද්ගලයන් ප්‍රමාණය තරමක වැඩිකමක් දක්වනවා. එසේම තවත් සමහරු ලේටෙක්ස් (Latex) වලින් තැනූ ද්‍රව්‍ය වලට සංවේදීයි. මගේ මිතුරියක් ටෙට්‍රාහයිඩ්‍රෝ ෆියුරෑන් (Tetrahydrofuran- THF) නම් රසායන ද්‍රව්‍යයට සංවේදී වීම හේතුවෙන් ඇගේ රසායන විද්‍යා ආචාර්ය උපාධිය අත්හැරීමට සිදුවුනා. සමහරු ලේටෙක්ස් වලට සංවේදීවීම හේතුවෙන් ජීවිත කාලයටම ලේටෙක්ස් වලින් තැනූ කිසිම දෙයක් ස්පර්ශ වීම අකැපයි. හදිසියේවත් රෝහල්ගත කළහොත් වෛද්‍ය වරුන් පවා ලේටෙක්ස් අත්වැසුම් පාවිච්චියෙන් වැලකිය යුතුයි.

කහඹිලියා, දළඹුවන් ස්පර්ශ වීම නිසා ඇතිවන කැසීම,   මීමැස්සන් ඇණීම, කූඩැල්ලන් කෑම ආදිය  නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ද අයත් වන්නේ ආහාරමය නොවන ආසාත්මිකතා වර්ග යටයි. එසේම පූසන් බල්ලන් වැනි සුරතල සතුන්ගේ ලොම් නිසා සමහරුන්ට ඇති වන ප්‍රතික්‍රියා ද මේ ගණයටම අයත් වෙනවා.

අනෙකුත් සාධක

බොහෝ යුරෝපීය රටවල්, අමෙරිකාව වැනි කාර්මීකරණය වූ දියුණු රටවල ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දක්වන්නන්ගේ  ප්‍රමාණය ආසියානු සහ අප්‍රිකානු රටවල රෝගීනට වඩා වැඩියි. ඒ විශේෂයෙන්ම ඒ රටවල්  දියුණු වීමත්, පෞද්ගලික සනීපාරක්‍ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වීමත් නිසා බවයි වෛද්‍ය මතය. දියුණු වන රටවල් බොහොමයක් කෘෂිකාර් මික වීම නිසා ඔවුන් ඒ ඒ ආසාත්මිකතා සාධක වලට නිරාවරණය වීමේ අවස්ථා වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ශරීර ඒ ඒ ද්‍රව්‍ය වලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තයි. එසේම ආසියානු රටවලින් සංක්‍රමණය වූ අය යුරෝපීය සහ අමෙරිකානු රටවලදී ඒ ඒ ද්‍රව්‍ය වලට සංවේදීතාවයන් පෙන්වනවා. ඒ ඔවුන් ආසාත්මිකතා සාධක වලට නිරාවරණය නොවීම නිසායි.

රෝගලක්‍ෂණ.

දූවිලි වලින් සහ මල්රේණු වැනි සුළඟ උපයෝගී කරගෙන සංසරණය වන්නාවූ ආසාත්මිකතා ද්‍රව්‍ය නිසා සෑදෙන ආසාත්මිකතාවන් ශරීරයේ ඒ ඒ ස්ථාන ඉලක්ක කරගන්නවා. උදාහරණ වශයෙන් සමහරුන්ට අධික කඳුළු ගැලීම්, සොටු බේරීම වැනි බාහිර ප්‍රතික්‍රියා දක්වන්නේ ඉහත කී ද්‍රව්‍ය මඟින්. එසේම ආශ්වස කිරීම මඟින් පෙනහළු වලට ඇතුළුවන දේ වලින් ඇතිවන ආසාත්මිකතාවයන් පිටතට පෙනෙනුයේ ඇදුම, හතිය වැනි රෝග ලක්‍ෂණ මඟින්. ආහාර, මුඛ මාර් ගයෙන් ගන්නා බෙහෙත් වර් ග ආදියේ ආසාත්මිකතා රෝගලක්‍ෂණ බඩ රිදුම, වමනය, පාචනය වැනි දෑ වලින් මෙන්ම කැසීම, පළු දැමීම වැනි දේ වලින් පිටතට පෙන්නුම් කරනු ලබනවා. ඒ ඒ දෑ ඉතාම අධික ලෙස ආසාත්මික වූ කල්හි හුස්ම හිරවීම, මරණය වැනි අතිශයින් භයානක ප්‍රතිඵල ද මේ ආසාත්මිකතාවයන් නිසා ඇතිවන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතු වෙනවා. පසුගිය කාළයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්නත් දීමෙන් පසු බාලිකාවියන් කිහිපදෙනෙකු මිය යාමේ සිද්ධීන් පිටුපසත් මේ ආසාත්මිකතාවයන් ඇති බවට සැක කළ හැකියි.

ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දෙආකාරයි. ක්‍ෂණික ප්‍රතිචාර සහ පසුව දක්වන ප්‍රතික්‍රියා වශයෙන්. ක්‍ෂණික ප්‍රතිචාර ඇතිවන්නේ යමෙකු ඒ ආසාත්මිකතා සාධකයට නිරාවරණය වූ වහාම දක්වන ක්‍ෂණික ප්‍රතික්‍රියාව මඟින්. මෙය කැසීම, පළු දැමීම ආදී සුළු ප්‍රතිචාරයක සිට හුස්ම සිරවීම හෝ මරණය වැනි භයානක තත්ත්‍වයක් දක්වා වෙනස් වන්නට පුළුවන්. පසුව දක්වන ප්‍රතිචාර වලට මුහුණ දීම තරමක් ලෙහෙසියි, ඒ නිරාවරණයේ සිට පැය 2 ත් 24ත් අතර කාළයක් තුළ ප්‍රතික්‍රියා දක්වන නිසායි. මෙසේ වන සංවේදීතාවයන්ට අත්බෙහෙත් මඟින් ප්‍රතිකාර කළ හැකි වන අතර ඒවා මරණයෙන් කෙළවර වන්නේ ඉතාම කලාතුරකින්.

රෝගය හඳුනාගැනීම.

 allergy-reaction Prick Testපැච් පරීක්‍ෂණය

සමහර ආසාත්මිකතා හඳුනාගැනීම පහසු වන අතර සමහර දෑ හඳුනා ගැනීම ඉතාම අපහසු වෙනවා. මස්, කිරි, වැනි ආහාර වලට දක්වන සංවේදීතාවයන් ඒ ඒ ආහාර ගත් පසු දක්වන ප්‍රතික්‍රියා මාර්ගයෙන් හඳුනා ගතහැකි වනවා. ඒවා බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් මඟහැරී යන අතර තවත් සමහරක් ඒ ඒ ආහාර ස්වල්ප වශයෙන් ගැනීම මඟින් ශරීරය ඒ සඳහා පුරුදු කරවාගෙන මඟ හරවා ගත හැකියි. නමුත් සමහර ආසාත්මිකතාවයන් එසේ සරළව හඳුනාගත නොහැකියි. ඒ සඳහා වෛද්‍ය සහාය පැතිය යුතුයි. පිළිගත් ආසාත්මිකතා පරීක්‍ෂණ ලෙස සම ආශ්‍රිත ආසාත්මිකතා පරීක්‍ෂණ වන ආසාත්මික දෑ කටු ඇණීමක් මඟින් සමට ඇතුළු කර නිරීක්‍ෂණය කරන Prick Test සහ අදාල ද්‍රව්‍ය පැලැස්තරයක් සම මත අලවා නිරීක්‍ෂණය කරන Patch Test යන ක්‍රම දෙක ප්‍රවලිතයි. මීට අමතරව රුධිර පරීක්‍ෂණ, ආහාර මාර්ගයේ ඇතුලත කැමරාවක් මගින් රූපගත කරන Endoscopy පරීක්‍ෂණ සහ අදාල ආහාර කෑමට ලබාදී වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කරන පරීක්‍ෂණ ද ආසාත්මිකතාවයන් නිර් ණය කරන පරීක්‍ෂණ වලට ඇතුලත්. ලංකාවේ අයට ආසාත්මිකතා ඉතා සරළ දෙයක් වුවත් සමහරක් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වන බැවින්, බොහෝ රටවල මේ පරීක්‍ෂණ ඉතා බැරෑරුම් ලෙස සළකා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ කරනු ලබනවා.

Skin Allergy Test

ප්‍රතිකාර විධි.

ලොව දියුණු රටවල් වැඩිපුර මෙයින් බැටකන නිසාදෝ මේ ගැන ඉතා ඉහළ ලෙස පර් යේෂණ පැවැත්වීම හේතුවෙන් බොහොමයක් ආසාත්මිකතාවයන් පාලනය කර තිබෙනවා. ආසාත්මිකතාවයන් පාලනය කිරීමේ මූලික කටයුත්ත ඇරඹෙන්නේ ඒ මගින් ඇති වන ක්‍ෂණික කම්පනය (Anaphylaxis) පාලනයෙන්. සරළ තත්ත්‍වයන්  බෙහෙත් මගින් පාලනය කෙරෙනවා. ප්‍රතිහිස්ටැමීන්, ග්ලූකො කෝටිකොකොයිඩ, ඇඩ්‍රිනලින්, තියෝෆිලීන් ආදිය මේවාට අයත්. ඖෂධීය නාමයෙන් වඩාත් ප්‍රචලිත බෙනඩ්‍රිල්, සර් ටෙක්, සහ එෆිනෙෆ්රින් මේවාට අයත් ඖෂධ වෙනවා. එසේම ඒ ඒ ආසාත්මිකතා සාධක ක්‍රමාණුකූලව ශරීරයට එන්නත් කිරීම මඟින් ස්වභාවික ප්‍රතිශක්තියක් ශරීරය තුළින්ම ගොඩනැංවීමේ Immunotherapy ප්‍රතිකාර ක්‍රමය දැන් දැන් වැඩි වශයෙන් අත්හදා බැලෙනවා. මෙමඟින් ඒ ඒ ද්‍රව්‍ය වලට ඇති අධිසංවේදීතාවය අවම කිරීම හෝ නැත්තටම නැති කිරීමට පුළුවන්.

Epipen-Thailand

ඉතින් මෙසේ ඇතිවන ආසාත්මිකතා සමහර විට ගණන් නොගෙන සිටීමෙන් මඟහැරී යාමට හැකිවාක් මෙන්ම ගණන් නොගැනීම මරණය පවා ලං කර දෙන්නක් විය හැකියි. විශේෂයෙන් රටකජු වැනි දේ වලට ඇති ආසාත්මිකතාවයන් ඉතා භයානක වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වෛද්‍යවරු බෙනඩ්‍රිල්, සර් ටෙක් වැනි බෙහෙත් නියම කරන්නේ ඒවා සරළ ආසාත්මිකතා සුවකරන නිසාවෙන්.

epinephrine-injection-of-epi-pen

ඒ වගේම සමහරු නිතරම එෆිනෙෆ්රින් අඩංගු එන්නතක් ළඟ තබාගන්නේ ඔවුන් සමහර ද්‍රව්‍යයනට දක්වන දැඩි සංවේදීතාවය නිසා. මේ නිසා කවදාවත් කිසිකෙනෙකුට නොඅසා කෑමක් දෙන්නට යන්න එපා. මා දන්නා කුඩා දරුවකු බිත්තර, මාළු, කිරි, ආහාර වර්ණක, රටකජු ආදී ඇට වර්ග , සහ තිරිඟු පිටි ආහාර වලට ආසාත්මිකතා පෙන්වනවා. දිනක් ඇඟිලි පුරුකක් තරම් පොඩි කේක් කැබැල්ලක් ආහාරයට ගෙන පැයක් පමණ යනවිට ඔහු සිහිනොමැතිව ඇඟ නිල්පැහැ ගැන්වී සිටියා. හැකි පමණින් ඔහුව අවදි කර එවේලේම ඖෂධ ලබා දුන් පසු වමනය දමා ඔහු පියවි සිහියට පැමිණියා. නිසි අවස්ථාවේ ඖෂධ ලබා නොදුන්නේ නම් ඒ දරුවා අද ජීවතුන් අතර නැති වන්නට පුළුවන්.

දැන් දැන් පාරිසරික සාධක වෙනස් වීම නිසා ලංකාවේ පවා ආසාත්මිකතාවයන් දකින්නට පුළුවන්. මේ ලිපිය ලියන මා පවා හරක්මස් සහ ඌරුමස් වලට ආසාත්මිකයි. මේ නිසා කිසිම කෙනෙකුට ඔවුන්ගෙන් නොඅසා කිසිම ආහාරයක් දෙන්නට යන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන්ට ආහාර දීමේදී ඔවුන්ගේ දෙමාපියන්ගෙන් දරුවා කිසිවකට ආසාත්මිකදැයි ඇසිය යුතුමයි. දැන් දැන් වෛද්‍යවරුන් නම් බෙහෙත් නියම කිරීමේදී රෝගියා යම් යම් ඖෂධ වලට ආසාත්මිකදැයි විමසනවා. එය ඉතා හොඳ පුරුද්දක්.

කිසිවෙක් ආසාත්මිකතාවයක් පෙන්වයි නම් ක්‍ෂණිකව කළ යුතු දෙයක් වන්නේ ප්‍රතිහිස්ටැමීන් ඖෂධයක් ලබා දීමයි. එවැන්නක් සොයා ගැනීමට අපොහොසත් නම්, පොල් වතුර හෝ තැඹිලි වතුර පෙවීමෙන් ටික වේලාවකින් ආසාත්මිකතාවය මඟහරවා ගැනීමට පුළුවනි. කෙසේ නමුත් රෝගියාගේ තත්ත්‍වය අසාධ්‍ය නම් පොල් වතුර වැනි දෑ පෙවීමෙන් වැලකිය යුතුයි.

ආසාත්මිකතා විහිළුවෙන් බැහැර කළ යුත්තක් නොවෙයි. ඒ පිළිබඳ අවදියෙන් සිටින්න… සමහරවිට ඔබටත් වෙනකෙකුගේ ජීවිතයක් බේරාගන්න මේ ලිපිය ආධාරයක් වේවි….

මේ ලිපියත් රිවිර පුවත්පතේ පළ වූ ලිපියක්

මේ තිබෙන්නේ එහි මුල් ලිපියට යා හැකි ලිිපිනය

http://www.rivira.lk/online/2017/07/29/120240

 

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 31, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: