Monthly Archives: අගෝස්තු 2017
අපි නොදන්න ඇප් : ක්‍ෂණිකව පින්තූර එකතු කරන ටෙලිග්‍රෑම් එක – Instagram
සමහරවිට ඔබට සමාජ මාධ්‍ය කරදරයක් හෝ කාළය කා දමන කටයුත්තක් වන්නට පුළුවනි. නමුත් ඔබට ඔබේ ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතකයන් හුවමාරු කර ගැනීමට හෝ ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට ඔබේ දුරකථනයේ බාගත කරගත හැකි ඉතා පරණ ඇප් එකක් වනුයේ Instagram ඇප් එකයි.
මෙය කෙතරම් ප්‍රචලිත වී ඇත්ද යත්, සමහරවිට Instagram සාමාජිකත්‍වය නැතිනම්, ඔබ ජනප්‍රිය සමාජයෙන් කොන් වන තරමට එය ප්‍රබලයි.
Instagram මුලින්ම සැකසුනේ 2010 පමණ ඈත කාලයක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලදීයි. Kevin Systrom සහ Mike Krieger දෙදෙන් විසින් ජංගම ඡායාරූපකරණය පිළිබඳ මෘදුකාංග ව්‍යාපෘතියක් සිදු කරන අවස්ථාවකයි මෙය සොයාගෙන තිබෙන්නේ. එය Foursquare නම් ඇප් එකට බොහෝ සමානකමක් දක්වපු නිසා ඔවුන් ඡායාරූප බෙදා ගැනීම පිළිබඳ මූලික අවධානය යොමු කර ඒ වෙනුවෙන් මේ ඇප් එක වෙනස් කර තිබෙනවා. මෙය Instant Camera සහ Telegram යන වචනවල එකතුවෙන් සැදුනක්.
Kevin Systrom විසින් 2010 ජුලි 16 වනදා මෙක්සිකෝ වලදී ගනු ලැබූ බල්ලෙකුගේ පින්තූරයකින් පළමු Instagram පෝස්ට් එක පළ වීමත් සමගම එය ඇරඹුනා. පසුව එම වසරේම ඔක්තෝබර් 06 වනදා එය ඇපල් පද්ධතියේ ඇප් එකක් ලෙස මුදාහැරුණා. 2012 දී එය ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට මුදා හැරීමත් සමගම එක දිනකදී මිලියනයක් භාගත කිරීම් සිදුවූ බව සඳහන්.
Instagram මගින් ඔබට ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ඡායාරූප හෝ කෙටි වීඩියෝ ඔබේ නමින් පළ කිරීමට පුළුවනි. මෙය වෙනත් සමාජ ජාලා ගිණුම් සමග සම්බන්ධ වීමෙන් ඔබට එය සබැඳි කර ගත හැකියි. එසේම ලබා ගන්නා පින්තූරවල ගෝලීය ස්ථාන සළකුණු කිරීම (Geotagging) මගින් එම ස්ථානය නිසි ලෙස හඳුනා ගැනීමේ පහසුව ද සකසා තිබෙනවා. එසේම ලබා ගන්නා පින්තූර විවිධාකාර පෙරණයන් (Filter) හරහා සැකසීම මගින් පින්තූරවල කලාත්මක භාවය වැඩි කර ගැනීමට හැකියි. මෙවැනි පෙරණයන් 33 ක් Instagram විසින් සකසා ඇත්තේ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඔබේ පින්තූර වෙනස් කිරීම කළ හැකි වන ආකාරයටයි. Instagram බොහෝ විට සිය සාමාජිකයන් පින්තූර පළකිරීමේදී ඒවායේ සුවිශේෂී භාවය ඉස්මතු කරන ලෙස පළකිරීමට උනන්දු කරනවා. එය මෘදුකාංගය හරහාම ඇති කර තිබෙන නිසා සාමාජිකයන්ට සුවිශේෂි වෙහෙසක් දැරිය යුතු වන්නේ නැහැ.
මුලින්ම ඡායාරූප බෙදා ගැනීමේ ඇප් එකක් වූ මෙය වීඩියෝ ඇතුලත් කළේ 2013 දී. එය තත්පර 15 කට සීමා කෙරුණා. ෆේස් බුක් සමග තරඟයේදී ඉදිරියෙන් සිටීමට 2016 දී එම සීමාව තත්පර 60 ක් දක්වා වැඩි කළ අතර 2017 පෙබරවාරි මාසයේදී වීඩියෝ එකකට වඩා වැඩි ප්‍රමාණයක් පළ කිරීමේ හැකියාව සාමාජිකයන්ට ලබා දෙනු ලැබුවා. ඒ අනුව එක් පෝස්ට් එකකින් වීඩියෝ කිහිපයක් පළ කළ හැකි අතර එය විනාඩි 10 ක් තරම් දිගු කාළයකට වැඩි කිරීම සිදු වුවා.
Instagram බොහෝ දෙනා අතර ප්‍රචලිත ඇප් එකක්. 2010 වසරේ නිකුත්වත් සමගම එය මාස කිහිපයකින් සාමාජිකයින් මිලියනය ඉක්මවූවා. ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වූ එය 2011 ජුනි වන විට මිලියන 5 ඉක්මවූවා. 2017 අප්‍රේල් මාසය වන විට සාමාජිකයින් මිලියන 700 ඉක්මවීමෙන්ම එහි ජනප්‍රියතාවය කෙතරම්දැයි සිතා ගත හැකියි. එය සනාථ කරමින් Instagram විවිධ සම්මාන ද දිනාගෙන තිබෙනවා. 2011 දෙසැම්බර් මස ඇපල් සමාගම මගින් වසරේ ඇප් එක ලෙසින් නම් කළේ Instagram. එමෙන්ම 2015 දී Mashable විසින් ලොව හොඳම iPhone ඇප් 100 අතරින් ප්‍රථම ස්ථානයට නම් කළේද මෙම ඇප් එකයි. එය ලොව පවතින ප්‍රබලම සමාජ මාධ්‍යයක් ලෙසින් හදුන්වා දී තිබෙනවා.
බොහෝ දෙනා Instagram සිය ප්‍රසිද්ධිය ප්‍රචලිත කිරීමට සහ සිය තොරතුරු තම රසිකයන්ට ලබාදීමට භාවිතා කරනවා. Instagram ලොව අංක එකේ වැජඹෙන්නේ රසිකයන් මිලියන 103 ක් ඇති සෙලීනා ගෝමස්, දෙවන ස්ථානය ලබා ඇත්තේ රසිකයන් මිලියන 94.1 කගේ පහස ලබන ටේලර් ස්විෆ්ට්. ෙමහි ප්‍රධාන ස්ථාන පහම කාන්තාවන් සතු කරෙගන අැති අතර, වැඩිම රසිකයන් අැති පිරිමියා වන්ෙන් පාපන්දු ක්‍රීඩක ෙරානාල්ෙඩා්.
ඉතින්, ඔබත් තවම Instagram සාමාජිකතවය ලබා නැතිද ? සමහරවිට ඔබ සමාජයෙන් කොන් වේවි………….
පිටස්තරයා – 05
තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී… දුක් වෙන්නට හේතුවක් නැත…. සියල්ල හොඳින් සිදු වේවි….
අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය… තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය… මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා…..
ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය… සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය…. සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි… විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය… උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි…. නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය… සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි…. නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි…. වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය…..
තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි….
හෙට තමා නැවත යා යුතුය….. ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය……
…………………………………………………………………………………………………………………………………………
ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්……. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ…..
කොච්චරක්ද ?
ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ… මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට…..
103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ…. කමක් නැහැ… අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා….. දිගටම පටිගත කරන්න…. ඉහළින් ලැබුන අණ ඒකනෙ…
ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය…..
මැරුණද ?
කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ….. උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා….
නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?
ඔව්… ඒක හරිම අසාමාන්‍යයි…
කමක් නෑ… ආපු වැඩ ටික කර ගත්තා නෙ… දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ….
සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.
මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ… මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.
මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.
පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ……………………………………
නමුත් විෂය පරාසය තරමක් පටුයි…. ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි…….
පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ….. සාමාන්‍යයි…
නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා…. ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ…..
අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර…………………. නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන….
දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: ……………………………………
මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ….. කොහොමද අනිත් එක්කෙනා… කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය…
නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ…..
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය…. කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි… සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය…. ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි…. සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.
ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින් ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය
විශ්ව නාවික පර්යේෂණ ආයතනයේ සම්මුඛ පරීක්‍ෂණයට ගොස් දින කිහිපයක් ගත විය………..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.
මේ…. එයින් දෙදෙනකු ලැබූ ලිපියයි….
“හිතවත් ……………………………….,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය”
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර
හිතවත් ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,
පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.
ස්තූතියි.
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්
ප්‍රධාන පර්යේෂක,
නාවික පර්යේෂණ ආයතනය
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය… මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී… නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.
විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට අකුරු අමුණන්නට විය.
……………………………………………………………………………………………………………………………………………………….
පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.
දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය… ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය…. බලාපොරොත්තු බොහොමයකි….
බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය… බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.
හලෝ……
ලොකු නැන්දේ….
හලෝ සමාධි පුතා…. මොකද අප්පේ මේ අවේලාවෙ ?
මම හිතුවා ඔහොම අහයි කියලා… ආරංචියක් කියන්නයි කතා කළේ….
අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න…. ගිය වැඩේ හරි ගියා නේද ?
ඔවු නැන්දෙ…. අද තමයි ආරංචිය ආවෙ… නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ…. වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා… දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා… මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ… අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන… ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?
මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ… මම පණිවුඩේ කියන්නම්….. මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා…
නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ…
ඔව් පුතා… අපට කිසි කරදරයක් නෑ… අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා…. පුතාගෙ බෙහෙත් කොහොමද ?
ප්‍රශ්නයක් නෑ නැන්දෙ… මට චීන කඩයක් හම්බ වුනා… ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්… වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන… කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්… හොඳයි එහෙනම්… ලොකු නැන්දේ…. මම පස්සෙ කතා කරන්නම්…
හොඳයි පුතා… තෙරුවන් සරණයි…
තෙරුවන් සරණයි දෙන්නටම…
……………………………………………………………………………………………………………………………………………………….
බෙහෙත් ?
ඔව්… බෙහෙත්… Medicine…. එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය….
ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ….
අන්න එතැන තමයි ප්‍රශ්නෙ…. මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා… අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති… ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ… නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි… එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා…. සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි….
ඒත්… බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?
සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය… මේ නිසා පරීක්‍ෂණ වලදි අහු නොවන්න පුළුවනි….
ඔව්… ඒක තමයි… කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි…. දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න…. මේ ගැන ඒ අය දැනගත යුතුයි..
විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය…
:::::::::::::
නිතිපතා බෙහෙත් ගැනීමට විශ්වට තිබෙන රෝගය කුමක්ද ?
මේ තනි පුද්ගලයෙකු වෙනුවෙන් FBI ආයතනයේ සම්පත් යොදා කරන විපරම කුමක්ද ?
අළුත් අළුත් දෑ බෙදාගන්න – Pinterest එකේ පින් කරන්න.
අපේ ජංගම දුරකථන දැන් ඇමතුම් ලබා ගන්න සීමා වෙලා නැහැ. ඇත්තෙන්ම වෙලඳපොලේ ජංගම දුරකථන වෙළඳ දැන්වීම් සළකා බැලුවොත් ඒවායෙහි දුරකථන ඇමතුම් තත්ත්‍වය හෝ ඇමතුම් පිළිබඳ කිසිම විස්තරයක් සඳහන් වන්නේවත් නැහැ. එක්කෝ කැමරාවෙහි ඇති ප්‍රබලතාවය නැතිනම් ජංගම දුරකථනයේ අභ්‍යන්තර දත්ත ගබඩාවෙහි ප්‍රමාණය, තිරයෙහි තීවෘතාවය හෝ වර්ණ සංකලණය ආදී විවිධාකාර උපයෝගීතා පිළිබඳව තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. මේ නිසාම ජංගම දුරකථනයේ මූලික අවශ්‍යතාවය වන ඇමතුම් ලබාගැනීම අමතකම වෙලා ගිහින්.
ජංගම දුරකථනවල පරිණාමයත් සමගම එවා ස්මාට් ජංගම දුරකථන බවට පරිවර්තනය වූ විට එකතු වූ අළුත්ම උපාංග වන්නේ විවිධාකාර ඇප් වර්ගයි. මේවා අතර ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙයුම් පද්ධති සමගම එනවා වගේම විවිධාකාර සමාගම් සහ පුද්ගලයන් විසින් සකසා විකුණන ඇප් වර්ගද තිබෙනවා. එකම කටයුත්ත සඳහා විවිධාකාර ඇප් වර්ග තිබෙන අතරේ, තමන්ට හරියටම හරියන ඇප් එක කුමක්දැයි තෝරාගැනීමත් අපහසු කටයුත්තක් වෙලා තිබෙනවා.
අපි අළුතෙන් යමක් කිරීමට උත්සාහ කරනවිට ඒ දේම, හෝ ඊට සමාන දෙයක් වෙනත් කෙනෙකු කර ඇත්දැයි බැලීම සාමාන්‍යෙයන් සිදු කරන කාර්යයක්. එසේ නොකළහොත් අපි බොහෝවිට කාළය කා දැමීමක් හෝ අනවශ්‍ය ලෙස මහන්සිවීමක් කරනවා. මෙවැනි විවිධාකාර ව්‍යාපෘති සිදු කරන සහ කළ අයගේ එකතුවක් තමයි Pinterest මගින් එළිදැක්වෙන්නෙ. මේ ඇප් එක ජංගම දුරකථන මෙන්ම අන්තර්ජාලය හරහා ද ලබා ගත හැකියි. වෙනත් බොහෝ ඇප් මෙන්ම මෙයටද ඔබ සාමාජිකත්‍වය ලබා ගත යුතුයි. එය එක්කෝ gmail නැතහොත් ෆේස්බුක් හරහා ලබාගත හැකියි. මෙහි විවිධාකාර වර්ගීකරණයන් තිබෙනවා. කලාව, විද්‍යාව හා තාක්‍ෂණය, නිවාස සැලසුම්, විවාහ උත්සව සඳහා නිර්මාණ අදහස්, තනිව කළ හැකි ව්‍යාපෘති ආදී අවශ්‍ය ඕනෑම ප්‍රවර්ගයකින් ඔබට අදහස් ලබා ගත හැකියි.
මෙහි වඩාත්ම විශේෂිත වන්නේ නවීන විලාසිතා උපයෝගී කරගෙන එකතු වන සැලසුම් සහ විද්‍යාත්මක අදහස් බෙදා හදාගැනීමේ නිර්මාණයි. දැන් දැන් මේ ඇප් එක වෙළඳ ව්‍යාපාර සඳහා පවා භාවිතා කරනවා. උදාහරණයක් ලෙස ඔබ යමක් නිෂ්පාදනය කර විකිණීමක් කරන කෙනෙක් නම්, ඔබේ නිෂ්පාදනවල පින්තූර සහ විස්තර Pinterest වෙත එකතු කළ හැකියි. එවිට එය පරිශීලනය කරන කෙනෙකුට ඉතාම ඉක්මනින් ඒ විස්තර ලබාගෙන ඔබේ ව්‍යාපාරය වෙතින් විමසීමක් කළ හැකියි. ඔබ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු නම්, ඔබේ නිර්මාණ ඒ වෙතට එක් කිරීමෙන් ඔබ සතුව ඇති නිර්මාණ වලට වැඩි වටිනාකමක් මෙන්ම ඔබටම කියා ප්‍රේක්‍ෂක සමූහයක් ගොඩනගාගත හැකියි. 2012 වනවිට මෙය ෆේස්බුක් සහ ට්විටර් පවා අභිබවා ව්‍යාපාර ප්‍රචලිත කිරීමට යොදාගෙන තිබුණා. මෙහි ඇති වාසිය නම් පාරිභෝගිකයාට දැනෙන ආකාරයට නිර්මාණාත්මකව තොරතුරු ලබා දීමට ඇති හැකියාවයි.
Pinterest ප්‍රධාන විධායක නිලධාරී බෙන් සිල්බර්මන් පවසන ආකාරයට එය අදහස් නාමාවලියක් (Idea Catalogue). ඇත්තෙන්ම එය බොහෝ දෙනෙකුගේ දායකත්‍වෙයන් තැනුන පුස්තකාලයක් වගේ. ඔබට අවශ්‍ය බොහෝ දේවල් එයින් සොයා ගන්නට පුළුවනි. මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති දෙකේම භාවිතා කළ හැකි ඇප් එකක්. භාවිතා කරන්නන්ට මෙහි තොරතුරු ගබඩා කිරීම, බෙදා ගැනීම, තමන්ට අවශ්‍ය තොරතුරු බාගත කිරීම සහ සළකුණු කර තබා ගැනීම කළ හැකියි. මෙය බිත්තියක සැකසූ ලෑල්ලක ඇණ හෝ කටු ගසා යමක් රඳවනවා හා සමාන නිසා එම සළකුණු කිරීමට Pin කරනවා යැයි පවසනවා.
ෆේස්බුක් සහ ට්විටර් අඩවි මෙන්ම මෙහි සාමාජිකයන්ගේ දත්ත වෙනත් වෙළඳ ආයතනවලට ලබා දීමට මෙය කටයුතු කරන නිසා ඔබේ පෞද්ගලික තොරතුරු සුරක්‍ෂිත නැහැ. නමුත් මේ තොරතුරු ඔබ දැනටමත් ඉහත වෙබ් අඩවි වෙත ලබා දී ඇත්නම් ඒ ගැන ඔබ පසුතැවිලි විය යුතු නැහැ. අනෙකුත් වෙබ් අඩවි මෙන්ම ඔබ සොයන තොරතුරු අනුව ඔබට විවිධාකාර ඉඟි ලබා දෙන්න Pinterest කටයුතු යොදා තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධ දෑ වැඩි වැඩියෙන් සොයන්නෙක් නම්, ඔබේ ඊමේල් ලිපිනය වෙත එවැනි ඉඟි ලැබෙන්නට පටන් ගනීවි. එය එක් අතකට උදව්වක් මෙන්ම තවත් අතකට කරදරයක්, මක් නිසාද යත්, එවැනි ඉඟි හරහා ඔබ Pinterest හි ගත කරන කාලය වැඩි වන නිසා නොදැනීම ඔබ ඒ වෙතට ඇබ්බැහි වෙනවා.
වෙනත් අන්තර්ජාල සේවා මෙන්ම මෙහිද සත්‍ය තොරතුරු සහ අසත්‍ය තොරතුරු යන දෙවර්ගයම ඇතුලත්. මේ නිසා නිසි තොරතුර ලබාගෙන ඔබේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමයි වඩා වැදගත්. විශේෂයෙන්ම තනිව සිදු කරන ව්‍යාපෘතිවලට මෙමගින් සෑහෙන උදව්වක් ලබෙනවා. එමගින් ලබා ගන්නා විවිධ තොරතුරු උපයෝගී කරගෙන ඔබටම අනන්‍ය යම් කළ හැකියි. මෙය ඉතා සරළ ඔබටම ඉගෙන ගත හැකි ඇප් එකක්, විවිධාකාර උපයෝගීතා බොහොමයි… ඇබ්බැහි වුනොත් දැනුම ලැබෙනවාට වඩා අමතරව සිදු වන එකම දේ ඔබේ දුරකථනයේ ඩේටා වැඩිපුර වැයවීමයි.
පැටලුනොත් ජාලේ සිදුවෙන ජංජාලේ
සමහර වෙලාවට සුපිරි වෙලඳසැලකදී ඔබට මෙහෙම දෙබසක් ඇහෙන්නට ඇති…
මිස් අපේ සාමාජිකයෙක්ද ?
ඔව්
ටෙලිෆෝන් නම්බර් එක ?
001 234 5678
ඔබ සුපරීක්‍ෂාකාරී සහ අවස්ථාවාදී නම්, ඒ අංකය ඔබ මතකයේ තබාගනු ඇති…
ඔබට ඈ හා සබඳතාවයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, දුරකථන අංකය මගින් ඇයගේ නම සහ වෙනත් විස්තර සොයා ගතහැකි වනු ඇත. සමහරවිට ෆේස්බුක් ගිණුම පවා සොයාගතහැකි වනු ඇති..
ඉතිරිය අතීතයට හෝ අනාගතයට එකතුවනු ඇත…
###########
ලෝකය එකම විශ්ව ගම්මානයක් කියලා කියන්නෙ නිකම්ම නෙවෙයි. ලෝකයේ එහා කොණක සිටින කෙනෙකුට අන්තර් ජාලය හරහා ඔබ හා සම්බන්ධ වෙන්නට යන්නේ තත්පර හයක් වැනි කෙටි කාළයක්. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් කවදා හෝ රහසිගතව හෝ පටිගතකළ විඩියෝ දර්ශනයක් සමාජගත වීම නිසා ඔබට සමාජයටත් මුහුණ දෙන්නට බැරි තත්ත්‍වයක් ඇති වන්නට පුළුවනි. අපේ රටේ බොහොම ප්‍රසිද්ධ චරිත වගේම ලෝකෙයේ ප්‍රසිද්ධ චරිත පවා මේ අපහසුතාවයට ලක් වුණ අවස්ථා එමටයි. සමහරුන්ට රැකියාව අහිමි වුනා, තවත් සමහරුන්ගේ පවුල් ජීවිත පවා අවසන් වුනා. අපේ දත්ත ඒ තරම් ම අවදානම්.. ඔබගේ දත්ත වෙනත් අයගේ අතට පත්වෙන අවදානම ඉතා ඉහළයි.
මේ නිසාම, අනවශ්‍ය පුද්ගලයින් ඔබේ දත්ත අනවශ්‍ය ආකාරයට යොදා ගැනීම නිසා බොහෝ දෙනා අමාරුවේ වැටෙනවා. නමුත් මේ සිද්ධීන් ජනමාධ්‍යයන් මගින් ප්‍රසිද්ධියට පත් වන්නේ, එක්කෝ කෙනෙකු සියදිවි නසා ගැනීම, ඝාතනයට ලක්වීමක්, කප්පම් සිද්ධියක්, හෝ වෙනයම් අනතුරකට පත්වීම වැනි කරුණක් නිසාම වන්නට පුළුවන්. ඒ බොහොමත්ම අල්ප ගණනක්. සෙසු සියළුම සිදුවීම් ජලයේ පාවෙන අයිස් කන්දක ජලයෙන් යට ව පවතින විශාල කොටස වගේ නොපෙනී නොදැනී තිබෙන්නට පුළුවනි. නමුත්, මෙය අපි නොසිතන භයානක උවදුරක්. මේ දත්ත වැරදියට භාවිතා කිරීම නිසා සහ ඔබේ දත්ත අයිතීන් ගැන ඔබ නිසි ලෙස දැනුවත් නොවීම නිසා, ඔබ නොදැනුවත්වම සමහරවිට ඔබේ නම වුනත් අපරාධයකට ගෑවී තිබෙන්නට පුළුවනි, එසේත් නැතිනම් වෙනත් වැරදි ක්‍රියාවක කොටස් කරුවෙකු වන්නට පුළුවනි. මේ නිසා ඔබේ දත්ත තිබෙන්නේ කොතැනකද? ඒවා පාවිච්චි වන්නේ කෙසේද කියලා දැන සිටීම සහ එය පාලනය කිරීම ඔබ සතු යුතුකමක් වගේම අතිවිශාල වගකීමක් ද වෙනවා. පිටරටවල නම් මේ දත්ත පාවිච්චි කරලා සිදුකරන අපරාධ බොහොමයි. වාසනාවකට ලංකාව ඒ තරම් දියුණු වෙලා නැති නිසා තවමත් අපේ අනාරක්‍ෂිත දත්ත – තරමකට ආරක්‍ෂිතයි.
ඔබේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ කොහේද ?
මේ ලිපිය අන්තර්ජාලයෙන් කියවන ඔබ බොහෝ දුරට ඔබේම පුද්ගලික පරිඝණකයක සහ ස්මාට් ජංගම දුරකථනයක අයිතිකරුවකු විය හැකියි. ඔබ පුද්ගලික දුරකථනයක අයිතිකරුවකු වනවිට ඔබේ විස්තර සියල්ල දුරකථන සේවා සපයන්නන් වෙත ලැබෙනවා. එසේම ඔබේ අංකය ඔබේ මිතුරන් සියළුම දෙනා තම දුරකථනවල ගබඩා කරගන්නවා. ඔබ දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන විටම, ඔබ ඔබේ නම සහ තරමක පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක් කර හමාරයි. ඉන්පසු ඔබ පිවිසෙන්නේ ඊමේල් වෙත, එහිදී බොහෝවිට ඔබ Gmail, Yahoo, Outlook, වැනි සමාගම්වලින් ඔබේ ඊමේල් ලිපිනය ලබා ගන්නවා. එහිදී ඔබ ඔබේ නම, වයස, ලිපිනය, මවගේ නම, ආදී බොහෝ තොරතුරු ඒ වෙත එක් කරනවා. මේ දත්ත බොහෝදුරට ආරක්‍ෂා සහිත වුවත්, එය සේප්පුවක දමා වසා ඇති යැයි කිසිවෙකුට සහතික වන්නට බැහැ. මෙහිදී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ යම් ඉඩක් වෙන් වන අතර අය ඔබගේ අනන්‍යතාවය වෙනවා. ලොව කොතැන සිට ඔබ ඊමේල් භාගත කළත්, එය අන්තර්ජාලයේ සටහන් වෙනවා. ඔබ සතුව Facebook, LinkedIn, Twitter, YouTube හෝ වෙනත් සමාජ ජාල භාවිත ඇතිනම්, ඒ සියළුම විස්තර අන්තර්ජාලයේ රැඳී පවතිනවා. මේ සියල්ල දැන් එකිනෙකට සම්බන්ධයි. ඔබේ නම Google හි සටහන් කර සොයා බැලුවහොත් ඔබ ගැන කෙතරම් විස්තර ඇතිදැයි ඔබම පුදුමයට පත් වේවි. ඔබ මේ කිසිවක නැතත්, ඔබේ මිතුරු මිතුරියන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරීත්‍වය නිසා, ඔබේ පින්තූරත් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා ඇති. මෙය භයානක වන්නේ ඔබටත් වඩා ඔබේ දරුවන්ට, සමහරවිට අප නොසිතා අපේ දරුවන්ගේ යම් යම් අවස්ථාවල පින්තූර අපේම Facebook ගිණුමේ පළකරනවා. මේවා අපි එතරම් දුරදිග නොසිතා සිදු කළත්, සමහර පුද්ගලයින් මේ පින්තූර අවස්ථාවාදීව වැරදි අයුරින් යොදා ගත හැකියි. දැන් අවශ්‍ය ඕනෑම ඔළුවකට අවශ්‍ය ඕනෑම ඇඟක් බද්ධ කිරීමේ ෆොටෝශොප් ශල්‍යකර්ම කිරීම ඉතාම පහසුයි. එසේම, මේ කටයුතු නිසා ඔබේ පවුලේ සියළුම තොරතුරු ප්‍රසිද්ධියේ මුදාහැරෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය වනවා. උදාහරණයක් ලෙස ඔබ පිටරටක සවාරියක් යන බව Facebook ගිණුමේ සඳහන් කළායැයි සිතන්න. උජාරුවට, බොහෝ දෙනා ගුවන්ගතවන අවස්ථාවේදීම තමන් ගුවන්ගතවන බව ගිණුමේ සඳහන් කරනවා. ඔබ පවුල පිටින්ම යනවා නම්, එය ප්‍රසිද්ධ වීමට එතරම් කාළයක් ගත වන්නේ නැහැ. ඔබේ Facebook ගිණුම Public කර ඇතිනම් ඔබ නොදැනුවත්වම ඒය ප්‍රසිද්ධ කර අවසන්. ඔබේ මිතුරකු නොවූවත්, වෙනත් කෙනෙකු මාර්ගයෙන් හෝ හොඳින් සැලසුම් කරන ශූර සොරෙකුට මේ තොරතුරු සුවිසල් සම්පතක් වෙනවා. ඔබ සවාරිය ගොස් එන අතරතුරේ නිවසේ ඇති සියල්ලම අහිමි වන්නට මේ එක Facebook පෝස්ට් එක ඇති.
සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් වෙනවා. මෙය ඉතා බරපතල කාරණයක්. දැන් බොහෝ දෙනා පුද්ගලයින් හඳුනාගැනීමේ ඇප් එකක් භාවිතා කරනවා. ඔබ විසින් එය භාවිතා නොකළත්, භාවිතා කරන කෙනෙකු ඔබේ නම එහි ගබඩා කර ඇතිනම්, මුළු ලොව පුරාම එමගින් එය බෙදා හැරෙනවා. උදාහරණයක් ලෙස සුපිරි වෙලඳසැල්වල සාමාජිකත්‍ව විස්තරය ඔබේ දුරකථන අංකය විමසා ඒ අනුව සාමාජිකත්‍වය ස්ථිර කරන අවස්ථාවක සමහරවිට අසළ සිටින කෙනෙකු ඔබේ දුරකථන අංකය සටහන් කරගන්නට පුළුවනි. එවැනි අවස්ථාවක ඔබේ දුරකථන අංකය මගින් ඔබේ නම සොයාගෙන එමගින් Facebook වැනි සමාජ ජාලයක ඇති ඔබේ විස්තර සොයා ගැනීමට ගත වන්නේ විනාඩි ගණනක කාළයක්. මේ නිසා ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබේ දුරකථන අංකය පැවසීමෙන් වැලකී සිටීම ඉතා ගුණදායකයි. දුරකථන අංකය වෙනුවට අදාල සුපිරි වෙළඳසැලට අදාල සාමාජිකත්‍ව කාඩ් එක ඔවුනට ලබා දෙන්න. සමහරවිට බැංකු වැනි ආයතනවලින් ඔබේ පෞද්ගලික තොරතුරු දුරකථනයෙන් විමසන අවස්ථා ඇති. එවිට ඔහු/ඇය කතා කරන්නේ අදාල බැංකුවෙන්මද කියා සහතික කර නොගෙන ඔබේ බැංකු විස්තර හෝ වෙනත් පෞද්ගලික විස්තරයක් ඒ පුද්ගලයාට ලබා දීමෙන් වලකින්න.
අනෙක් කරුණ වන්නේ ඔබ බැංකු කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් භාවිතා කරනවා නම්, ඔබ ඒ වෙබ් අඩවි වලට ඇතුලත් වීම සඳහා මුරපද පාවිච්චි කරන්නේ නම්, ඒවා පහසුවෙන් සොයාගත නොහැකි මුරපද විය යුතුයි, සමහරු සිය දරුවන්ගේ නම්, උපන්දින වැනි දෑ මුරපද සඳහා භාවිතා කරනවා. මේවා ඉතා පහසුවෙන් සොයාගතහැකි මුරපද වෙනවා. මේ නිසාම දැන් දැන් බොහෝ බැංකු සිය පාරිභෝගිකයන් මුරපද සැකසීමේදීම විවිධ අංක, සළකුණු, සහ අකුරුවලින් සමන්විත සංකීර්ණ මුරපද සැකසීමට පොළඹවා තිබෙනවා. තවත් සමහරු සිය බැංකු කාඩ්පතේම කොණක එහි මුරපදය ලියා තබන්නේ මතක් කර ගැනීම පහසුවට. නමුත් ඔබේ මුදල් පසුම්බිය සොරා ගන්නා කෙනෙකුට පහසුවෙන්ම ඔබේ කාඩ්පතින් මුදල් ලබාගන්නට ඔබ මඟ සලසා දී තිබෙනවා. බැංකු කටයුතුවල සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරගැනීමට කළහැකි උපක්‍රමයක් වන්නේ ඔබේ සෑම බැංකු ගණුදෙනුවක්ම කෙටි පණිවුඩයකින් ඔබට දැනුම්දෙන ක්‍රමය ස්ථාපිත කිරීමයි. එවිට ඔබේ බැංකු කාඩ්පතින් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ බැංකු ගණුදෙනුවක් වූ විට එය ඔබ වෙත ක්‍ෂණිකවම දැනුම් දෙනු ලබනවා. එය ඔබෙන් සිදු නොවූවක් නම් වහාම බැංකුවට දැනුම් දී එය නීතියේ රැහැණට හසුකරගැනීමට හෝ නිවැරදි කිරීමට පුළුවනි. තවත් සමහරු පොදු පරිඝණක වලින් මේ බැංකු ගිණුම් ආදී සංවේදී තොරතුරු වෙත පිවිසෙනවා. සමහරවිට ඒ කටයුත්ත අවසන සිය මුරපද මකාදැමීම සිදු කරන්නේ නැහැ. මේ නිසා වෙනත් කෙනෙකුට ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. එනිසා, පොදු පරිඝණක පාවිච්චියේදී පාවිච්චි කළ වෙබ් පිටු පරිඝණකයේ අතීත මතකයන්ගෙන් (Browsing History) මකා දැමීමට නිතරම මතක තබා ගන්න.
ඔබේ දුරකථනය ඔබ දත්ත සියල්ලම පාහේ ගබඩා කරගන්නා තැනක්. දැන් දැන් දුරකථනය මුදල් පසුම්බියටත් වඩා ආරක්‍ෂාකාරීව තබාගතයුත්තක් බවට පත් වී හමාරයි. ඔබේ දුරකථනයේ ඔබේ පවුලේ සියල්ලන්ගේම දුරකථන අංක, Facebook ගිණුම, ඡායාරූප, වීඩියෝ, පෞද්ගලික සහ රාජකාරීමය E-mail ගිණුම්, බැංකු ගිණුම් තොරතුරු, වෙනත් සමාජ ජාල අඩවිවල තොරතුරු, ලබාගත් සහ ලැබූ ඇමතුම්, කෙටි පණිවුඩ, වෙනත් චැට් භාවිත ආදී සියල්ලම තැන්පත් වී තිබෙනවා. මෙය වෙනත් කෙනෙකු අතට පත් වුවහොත් සිදුවිය හැකි විනාශය ගිණිය නොහැකියි. මේ නිසා ඔබ මුලින්ම දුරකථනය දැඩිව පරෙස්සම් කරගත යුතුයි. වැරදී හෝ වෙනකෙකු අතට තොරතුරු යාම වැලැක්වීමට හැකි උපරිම ආරක්‍ෂක උපක්‍රම අනුගමනය කළ යුතුයි. ඇඟිලි සළකුණු, ප්‍රධාන මුරපදය සහ විවිධ ඇප් සඳහාත් දැන් වෙන වෙනම මුරපද සැකසිය හැකියි. මෙය සමහරවිට වදයක් වුවත්, ඇත්තෙන්ම ආරක්‍ෂාකාරී වන නිසා සමහරවිට ඔබේ දුරකථනය සොරකම් කළත්, සොරාට සියල්ලම මකා දමා දුරකථනය පමණක් හිමිකරගැනීමට සිදු වන නිසා ඔබේ දත්ත සුරක්‍ෂිත වනවා. එසේම දුරකථනයේ IMEI අංකය ලඟ තබා ගැනීමෙන් දුරකථනය පසුව හො සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ සතු දුරකථනයේ *#06# ටයිප් කිරීමෙන් ඒ දුරකථනයට අදාල IMEI අංකය සොයාගත හැකි වෙනවා
එසේම ඔබ අමතකව හෝ නොසැලකිල්ලෙන් දමා යන සමහර කඩදාසි, ක්‍රෙඩිට් කාඩ් බිල්, රෝහල් බිල් ආදියෙන් ඔබේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් වෙත යන ප්‍රවණතාවය අධිකයි. ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා විට බොහෝ දෙනා රිසිට්පත ලබාගෙන එය කියවා එතැනම වූ කුණුකූඩයට දමනවා. එහි එතරම් දත්ත නැතත්, එම රිසිට්පත මුද්‍රණය අනවශ්‍ය කාර්යයක්. එය ඇත්තෙන්ම පරිසරයටත් කරන හානියක්. හැකිතරම් මුද්‍රිත දෑ, කඩදාසි භාවිතයෙන් ඉවත්වීම ඉතා සුදුසුයි.
ආයතන පවා සිය දත්ත සුරක්‍ෂිතතාවයට කටයුතු යෙදිය යුතුයි. පෞද්ගලික ආයතනවල පරිඝණක අංශයන් ඇත්තෙන්ම මේ වෙනුවෙන් සෑහෙන වෙහස මහන්සියක් දරනවා. මේ නිසා පෞද්ගලික ආයතනවල නම් බොහෝ දුරට දත්ත ආරක්‍ෂිතයි. එසේම ලංකාවේ පරිඝණක හැකර්වරුන්ට මේ ආයතනවල පද්ධතීන්ට ඇතුළුවීම ඉතා පහසු නිසා ඔවුන් ඊට වඩා උසස් ඉලක්ක කරා යනවා. නමුත් රාජ්‍ය අංශයේ දත්ත නම් ආරක්‍ෂිත නොමැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා. සමහරවිට වෙබ් අඩවි පවා ඉතාම අනාරක්‍ෂිත තත්ත්‍වයේයි පසු වන්නේ. වසර ගණනාවකට පෙර වෙබ් පිටුව සැකසීමේදී ඇතුලත් කළ මුරපද, තවමත් මේ දක්වා වෙනස් කර නැහැ.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පතක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත්, මා දන්නා පරිදි එය මේ දක්වා ක්‍රියාවට නැංවී නැහැ. ඉන්දියාවේ නම් මේ හැඳුනුම්පත ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අනුව එය හිමි පුද්ගලයා සතු සියළුම විස්තර මේ හැඳුනුම්පතට සම්බන්ධව පවතිනවා. ඒ නිසා ඔහු නමින් වෙනත් පුද්ගලයින්ට දුරකථන සම්බන්ධතා, බැංකු ගිණුම් ආදිය විවෘත කිරීමට නොහැකියි. එසේම ඒ පුද්ගලයාගේ රෝහල් විස්තර පවුලේ විස්තර සියල්ල පරිඝණක කර ඇති නිසා අදාල කාර්යයන්දී කඩදාසි භාවිතය, එකම තොරතුර නැවත නැවතත් ස්ථිර කරගැනීම වැනි අනවශ්‍ය කාලය කා දමන ක්‍රියා සියල්ල ඉවත් කර තිබෙනවා. මේ නිසා ආයතනවලදී පවා කාර්යක්‍ෂමතාවය ඉතා ඉහලින් පවතිනවා. ලංකාවේත් මේ ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකිනම්, බැංකුවල පෝලිම් වල සිටීම, රෝහල්වල අනවශ්‍ය තදබදය, රාජ්‍ය ආයතනයකදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් ආදී සියල්ලම අහෝසි වනවා.
විශේෂයෙන්ම දරුවන් පරිඝණක භාවිත කරන අවධියට පත්වන විට දෙමාපියන් සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට පරිඝණයක භාර දෙන විට එයට ලැබෙන දත්ත පෙරණයක් හරහා ලබා දෙන Content Filter, වැනි අවශ්‍ය දත්ත පමණක් ලබා දෙන පරිඝණක ක්‍රමලේඛ (Program) දැන් ලබා ගන්නට පුළුවනි. එසේම පරිඝණකයේ ද එම සැකසුම් නිසි ලෙස සකසන්නට පුළුවනි. මේ නිසා දරුවා භාවිත කරන වෙබ් පිටු සීමා කිරීමට හැකියි. අනවශ්‍ය වෙබ් පිටුවලට යාමට නොහැකියි. දරුවාගේ පරිඝණකයේ මොනිටරය (ලැප් ටොප් එකක් නම් තිරය) ඔබට පෙෙණන අයුරින් තබා ගන්නට උපෙදස් දෙන්න. හදිසි පරීක්‍ෂා සිදු කර, ඔවුන් භාවිතා කරන වෙබ්පිටු මොනවාදැයි ඉඳහිට බැලීමෙන් නරකක් වන්නේ නැහැ. දරුවන්ට අන්තර්ජාලයෙන් චැට් කිරීම හෝ ස්කයිප් වැනි භාවිත අවම කරන්න. ඔබේ දරුවා අන්තර්ජාලය හරහා කතා කරන පුද්ගලයා කවුදැයි කිසිවෙක් නොදන්නවා වන්නට පුළුවනි. සමහරවිට නමගිය අපරාධකරුවකු වන්නට පුළුවනි. අන්තර්ජාලය යනු අනන්‍යතාවයක් නොමැති සමාජයක්, මේ නිසා ඔවුන්ව පරෙස්සම් කර ගත යුතුමයි.
ලෝකය තාක්‍ෂණයත් සමඟ සීඝ්‍ර ගමනක් යමින් සිටින මේ අවධියේ අපත් ඊට අනුගත විය යුතුමයි. නැතහොත් අපට ඉදිරි ගමනක් නැහැ. සුළු දේටත් වර්ජන කරමින් සිටින අපට ඇත්තෙන්ම ලෝකයෙන් කොන් වන්නටයි සිදු වන්නේ. එසේම තාක්‍ෂණය සමඟ ඉදිරියට යාමේදී තාක්‍ෂණය නිසාම අපට සිදුවිය හැකි අනවශ්‍ය අනතුරු දෙසටත් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සමඟම ඊට අදාල ආරක්‍ෂණ පිළිවත් ද අනුගමනය කරමින් තමන්ගේ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීම වැදගත් වෙනවා.
ඔබේ දුරකථනය නිසි ආරක්‍ෂිත ක්‍රියා මාර්ග භාවිතා කර සුරක්‍ෂිතව තබා ගන්න
ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම්, ඊ මේල්, ෆේස්බුක්, වැනි දෑවල මුරපද ඉතා සංකීර්ණව සකසා ගන්න – ඒ මුරපද කාලීනව වෙනස් කරන්න
ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම හැකිතාක් අඩු කරන්න, එසේ නොකරම බැරි අවස්ථාවක අවට සිටින්නවුන්ට එම තොරතුරු නොලැබෙන බවට සහතික කරගන්න.
ඔබේ බිල්පත්, රෝහල් බිල් සහ වෙනත් තොරතුරු, පෞද්ගලික විස්තර ලියා ඇති කඩදාසි නිසි ක්‍රමවේදයකට ඉරා විනාශ කරන්න.
ඔබේ ෆේස්බුක් පිටුවට උපරිම ආරක්‍ෂාවක් යොදන්න, ඔබේ පිටුව දැකිය හැක්කේ මිතුරු කවයේ සිටින අයට පමණක් සහ මිතුරු ආරාධනා එවීමට හැකි වන්නේ ඔබේ මිතුරන්ගේ මිතුරන් පමණක් වන සේ ආරක්‍ෂාව තර කරන්න. ඔබේ දරුවන්ගේ පින්තූර, පවුලේ පෞද්ගලික තොරතුරු ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල පළකිරීමේදී ඉතාමත්ම සැළකිලිමත් වන්න. ඔබේ දරුවන් පරිඝණක භාවිතා කරනවිට ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න, ඔබ ඔවුන්ගේ පරිඝණක ක්‍රියාකාරකම් පිළිබඳ අවදියෙන් සිටින බවට ඔවුන්ට හඟවන්න, එවිට ඔවුන් නිසි පාලනයක් ඇතිකර ගනීවි. එසේම දරුවන්ගේ පරිඝණකවලට වෙබ් දත්ත පෙරණයක් ඇතුලත් කරන්න. ලංකාවේ වැඩිපුරම සෙවුම් කර කප් ගසා ඇති වචන පෙරණයට ඇතුලත් කර ඒවා දරුවන්ට ලබාගත නොහැකි ආකාරයට ඔවුන්ගේ පරිඝණක සකස් කර දෙන්න.
අනවශ්‍ය පුද්ගලයින් සමග ක්‍ෂණික සයිබර් සබඳතා ගොඩනගා ගැනීමෙන් වලකින්න. සමාජය කෙරෙහි කිසියම් සුපරීක්‍ෂාකාරී හැඟීමකින් කටයුතු කරන්න.
පරිඝණක භාවිතයේදී තම තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන්න. නිවසේ වයිෆයි රවුටරයේ මුරපදය සංකීර්ණව සකසා ගන්න. සාමාන්‍ය හැකර්වරයෙකුට වුවත්, එයට ඇතුළු වී ඔබේ දත්ත සියල්ල සොරාගත හැකියි.
දුරකථනයට Truecaller වැනි ඇප් එකක් දමා ගැනීමෙන් ඔබ නොදන්නා දුරකථන අංකයකින් එන ඇමතුමක් වුවත් හඳුනාගැනීම කළ හැකියි. එසේම එමගින් ඔබේ තොරතුරු ද අන්තර්ජාලයට මුදාහැරෙන බව අමතක කරන්න එපා.
මේ සියළුම උපක්‍රම කළත්, ඔබ සාමාන්‍ය බුද්ධියකින් කටයුතු නොකරන්නේ නම්, ඔබ අන්තර්ජාල අනතුරුවලට භාජනය විය හැකියි. මේ නිසා සමාජය සහ තාක්‍ෂණය පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිතව, ආරක්‍ෂාවෙන් ක්‍රියා කරන්න. ලෝකය වෙනස්වන වේගයට අනුව ඔබට ඉදිරියේදී ජාලගතවීමෙන් මිදිය නොහැකියි. ඔබ කැමති වුවත් නැතත්, ඔබේ සියළුම තොරතුරු අන්තර්ජාලයේ ගබඩා වෙනවා. ඒවා නිසි පරිදි ආරක්‍ෂාකර ගැනීම සහ කළමණාකරණය කර ගැනීම ඔබගේ වගකීමක්.
ජාලය නිසිපරිදි පාවිච්චි කර ජීවිතය ජංජාලයක් බවට පත්වන කරුණු වලින් ඈත් වන්න..
රිවිර ලිපිය
http://www.rivira.lk/online/2017/08/19/122902
පිටස්තරයා – 04
විශ්ව සමාධි සූර්යබණ්ඩාර….
ඔව්…
වයස අවුරුදු 30 යි…
හරි….
ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය.
මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් සහ උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි… බලන්න ඔයාලා ලඟ තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය…. ඔයා හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා…
මහාචාර්ය ලිපර්ඩ සහ නීල් ෆියු මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය…
ඔයාගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔයා බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔයා කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ…
“බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.”
“අපි දන්නවා ඔයාට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව… අපට කියන්න පුළුවන්ද ඔයා ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා…”
ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය…..
“ඔයා සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි…”
විශ්ව තරමක් උපහාසයෙන් පැවසීය….
“ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔයා දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්…”
“ඔයා කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා….”
“නැන්සි මහත්මිය, ඔයාගෙ හැසිරීමෙන් අහන ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔයා එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ලඟ ඇති ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔයා මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.”
නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි…
“හොඳයි විශ්ව…. ඔයා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව… නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි මේ වගේ වෙනස් විෂයයක් තෝර ගත්තෙ ?”
“පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..”
“නමුත්, ඔයා ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය බොහොම වෙනස් දෙයක්….”
“ඔව්… මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ ජීව රසායනය අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.”
“ඔයාලා දන්නවානෙ ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.”
g = GM/r2
මෙහිදී ඔයාලට පේනවා ඇති r අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටයක් වැනි කුඩා දෙයක් සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M කියන්නෙ එහි ස්කන්ධය, G ගුරුත්වාකර්ෂණ නියතය… මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. ඒ වගේම නොසළකන්නෙ අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න නැතිනම් ශුන්‍ය කරන්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය – විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔයාලට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.
ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන පොලිග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: Piece of Cake !
මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය…….
33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින්, ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීස් අවන්හල් සමූහයේ නිර්මාතෘ ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු ද අයත් වෙති.
සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත….
පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්… නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්…Gut Feeling එකක්… එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා….
නැන්සි… ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා… හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්… අපට වඩා ඔබ ඒක දන්නවා… නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට…..
නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක… ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ…
ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු… අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි…
බලමු… තවත් වාර්තා එන්න තිබෙනවා නෙ…. එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ පර්යේෂණය ඉක්මන් කරන්න ඕන…. කල් දාන්න බැහැ..
සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හලෝ……… මට පුළුවන්ද දකුණු ආසියානු බුද්ධි බලකායේ මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න… මම ජෙනරාල් වෙලිංටන්… NSA එකෙන්……
CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.
ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ රහස් අංකය ඇතුලත් කරන්න….
ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය….
ස්තුතියි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…
අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් කිසිවකු ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.
මේජර් වයිට් කතාකරනවා….
මේජර්…. මම ජෙනරාල් වෙලිංටන්… NSA ප්‍රධානි…
ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන….
මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?
ඔව් සර්…
මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව… මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි…
හොඳමයි ජෙනරාල් තුමනි… මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙන්න සලස්වන්නම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.
එල්… මම මැට්…
කියන්න මැට්….
තාත්තා ඉන්නවද කාමරේ….
ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්…..
පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ සහායිකාව වන එලේනාට මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ…. නමුත් අද ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි…. සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය….
ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ජනරාල් වෙලිංටන් නීතීඥ සෙනරත් සූර්යබණ්ඩාරගේ අතීථය හාරා අවුස්සා සොයා ගන්නේ කුමක්ද ?
FBI ආයතනය විශ්ව ගැන සොයාගත් තොරතුරු නිසා ඔහුට කුමන ඉරණමක් අත්වේද ?
සිය පියාගේ බලපරාක්‍රමය නිසා මැට් රැකියාව ලබා ගනීද ?
ලබන සතියට…
ක්‍ෂණික ආහාර ගිල්වීමෙන් මාරක වන දාරක ස්නේහය…. රිවිර අගෝස්තු 12
රටක අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණු වූ සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙන්. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙනවා. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරනවා. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයක්.
පසුගිය වසරක පළවූ දත්ත අනුව ලංකාවේද පාසැල් වයසේ ගැහැණු ළමුන් 37% ක් සහ පිරිමි ළමුන් 17% ක් ළමා ස්ථුලතාවයෙනේ පෙළෙන බව සොයාගෙන තිබෙනවා. මේ තත්ත්‍වය දිගින් දිගටම පැවතුනහොත් තව වසර දහයකින් ශ්‍රම බලකායට එකතු වන්නේ රෝගීන් පිරිසක්. ඒ වගේම ගණන් බලා ඇති පරිදි වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට පණහක් දියවැඩියා රෝගීන් වනවා. ඒ කියන්නෙ තව වසර තුනක් වන විට දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්. එවිට ඔබේ ජීවිත කාලය කෙතරම් කෙටි වෙනවාදැයි සළකා බලන්න. දියවැඩියාව නිසා වකුගඩු රෝග, හෘද රෝග වැනි රෝග නිතැතින්ම අපේ ශරීරයට ඇතුළු වනවා. ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තවමත් මේ තත්ත්‍වය පාලනයට සමත් වී නැහැ. අවාසනාවට ඔබට ඉතිරිව ඇත්තේ එක විසඳුමයි. ඒ දැන දැනම මරණය කරා ගමන් කිරීමයි. එවිට ඔබේ දරුවන් හැදී වැඩෙනවා බලන්න, ඔවුන්ගේ සාර්ථකත්‍වය දකින්න, ඔවුන්ට නිසි මඟ පෙන්වන්න ඔබ ඉතිරි වන්නේ නැහැ. ළමා ස්ථුලතාවය ලංකාවේ තවමත් හරිහැටි අවධානය නොවූ ප්‍රශ්නයක්. සෞඛ්‍යමය පැත්තෙන් මෙය යම්තරමකින් හෝ සළකා බැලුවත්, කාර්යක්‍ෂමතාවය හෝ ඵලදායීතාවය අතින් මේ පුරෝකථන සිදු කර නැති බවයි පෙනෙන්නේ.
තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යනවා. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටයි. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතිනවා. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග ලැබෙන්නේ නැතිවා වගේම ඇය එය බලාපොරොත්තු වන්නේත් නැහැ ..ඇයට ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණයි. සමහර මව්වරුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය සැනසුම පතා ආත්මාර්ථකාමී වුවත්, 95% කට වඩා මව්වරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා.
දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයක්. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරනවා. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට වන්නේ නැහැ. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස්. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයක්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයක්. ඔවුන්ගේ කාලසටහන කාර්ය බහුලයි. බොහෝවිට මවත් පියාත් දෙදෙනාම රැකියා කරන උදවිය. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයක්. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙනවා. බොහෝ විට ආප්ප, ඉඳිආප්ප, කොත්තු, ආදී පිසූ ආහාර වේලක් අසළ වූ කෑම කඩයකින් සැපයෙනවා විය හැකියි. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර කොහොම සකසනවාදැයි දන්නේ දෙයියෝ සහ සකසන කෙනා පමණයි. බොහෝ විට මේ ආහාරවල එළවලු නරක් වීමට ආසන්න ඉවත දමන එළවලු විය හැකියි. ආහාර ව්‍යාපාරය ලාභ ලබන්නේ එහෙමයි. එසේම ආහාර රස කිරීමට MSG අඩංගු රසකාරක එකතු නොකරන ආහාර සපයන්නෙක් සොයා ගැනීම බොහොම දුර්ලභයි. මේ තෙල්, රසකාරක සියල්ල ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම, දරුවන් වඩා කැමති බටහිර ක්‍ෂණික ආහාර සමාගම්වල ශාඛාවලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරනවා. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.
මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකයි. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වෙලා සහ ප්‍රමාදවෙලා. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වෙනවා. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යනවා. දැඩිව කය වෙහෙසා කරන ක්‍රීඩා කරන්නේ බොහොම අල්ප සංඛ්‍යාවක්. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝ දුරට අපගමනය වී ඇති බව නම් පෙනෙන්නට ඇති කරුණක්.
දශක තුනකට පෙර කාලයේ පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක යෙදුනා. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම හෝ කළා. ඇති තරම් දිවුවා, බයිසිකල් පැදීම එල්ලේ ගැසීම වැනි යමක් අනිවාර්යයෙන් සිදු වුනා. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනා. කුඩා දරුවන් එසේ ක්‍රීඩා කරනවා දැන් දකින්නත් නැති තරම්. වොලිබෝල් දැන් දුර්ලභ තත්තවයකයි පසු වෙන්නෙ. දැන් දුවන්නේ මහල්ලන්, වැඩිහිටියන්: ඒ ඔවුන්ගේ ජීවිතය තවත් දවසක් දිගු කරගන්න….. ඒ වගේම දැන් සියළුම දෙනා හැල්මේ දුවනවා – ව්‍යායාමයට නොවෙයි ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.
ස්ථුලතාවය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපානවා. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසින්. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා. සමහරුන්ට දියවැඩියාව. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත්තේ… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙයි. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙනවා. ඒ බොහොමත්ම අල්ප දෙනෙක්..
මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගන්නයි.. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණයි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැකියි. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසයි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් ලැබෙන්නේත් නැහැ. සමාජයීය මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන සිටීම මෙයට හේතුවයි.. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වෙනවා. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වනවා. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපානවා. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වනවා. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යනවා. කෙට්ටු වීමට නොකා සිටීමෙන් සිදු වන්නේ පසුකාලීනව ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව වැනි වෙනත් රෝග වැලඳීම කෙරෙහි එය බලපානවා..
මෙය චක්‍රයක්. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙන් පමණයි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැකියි. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වනවා. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යනවා. සමබරව සිතනවා….
කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැහැ.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩියි. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙනවා. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගන්නවා. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගන්නවා. ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසක් පමණයි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වනවා.
දැන් ලංකාවේ දරුවන් බොහොමයක් පරිඝණක ක්‍රීඩා, ජංගම දුරකථන භාවිතය වෙත නැඹුරුව පවතිනවා. දෙමාපියන් පවා පහසුව තකා ඔවුන්ට දුරකථනය හෝ ටැබ් එකක් ලබා දී ක්‍රීඩා කරන්නට ඉඩ සලසා තිබෙනවා. මේනිසා දරුවන් කය වෙහෙසා කරන ක්‍රීඩාවකට යොමු වනවා හරිම අඩුයි. එයින් වැරදි දෙකක් වනවා. පළමුවැන්න වන්නේ ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වීමයි. එමගින් දරුවාගේ මානසික ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණශීලීත්‍වය වැනි දෑ අහිමි වන බව සොයාගෙන තිබෙනවා. දෙවැන්න දරුවා කය වෙහෙසා කරන ක්‍රීඩාවලට සහ කණ්ඩායම් ක්‍රීඩාවලට යොමු නොවීම නිසා දරුවාගේ කායික ශක්තිය හීන වීම, ස්ථුලතාවය වැඩි වීම, කණ්ඩායම් හැඟීමක් නොමැති වීම, කායිකව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නොමැති වීම නිසා අනතුරුවලට ලක්වීම වැනි අහිතකර දෑ සිදු වන්නට ඇති හැකියාවයි.
ළමා ස්ථුලතාවය නිසා දරුවන්ට වැළඳිය හැකි ෙරා්ග රාශියක් තිෙබනවා. ෙම් අතරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්නායුගත අාබාධ, අාහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අාබාධ, කායික අාබාධ, අස්ථි දුර්වලතා ප්‍රධානයි. ෙමයින් වඩාත්ම සංෙව්දී වන්ෙන් මානසිකව දරුවා අපහසුතාවයට පත්වීම නිසා සිදුවන අාත්ම විශ්වාසය බිඳවැටීම වැනි නැවත පිළිසකර කිරීමට අපහසු තත්තවයන් අැති වනවා.
අවශ්‍යතාවය ඇතිනම් වෙනස් වන්නට පුළුවන්. සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකියි. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකියි. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා. එපමණක් නොවෙයි, එය ඔබේ ආර්ථිකයට සහයක් මෙන්ම, පවුලේ සියල්ලන් එකට එකතු වී යමක් කිරීම නිසා පවුලේ සමගිය පවා ඉහළ යාමට සාධකයක්. එමෙන්ම ඔභ වගා කරන දෑවලට ඔබ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු නොකරන නිසා පවුලේ උදවියගේ සෞඛ්‍යාරක්‍ෂිත බව ද ඉහළ යනවා. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතුරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකියි. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇති. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැකියි. කෂණික අාහාර අඩු කිරීම, පැණි බීම, ෙසා්ඩා වර්ග පානය නැවැත්වීම, දුවනගිරි ෙහා්ටල්වලින් අාහාර ගැනීම නැවැත්වීම සහ නිසි ව්‍යායාම ලබා දීම මගින් දරුවන්ෙග් ෙමම ස්ථුලතාවය අඩු කළ හැකියි. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවනවා. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේවි. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකියි….
ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුයි… අපට හැක්කේ එය කියාදීම පමණයි.
ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ තනි තනිව ඔබ වෙනස් වීමෙන් පමණයි. ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලාගෙන පාර වසාගෙන කෑ ගැහුවට සමාජය වෙනස් කරන්න බෑ කියන දේ ඔප්පු වෙලා හමාරයි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න… එවිට සමාජය හොඳ අතට වෙනස් වේවි.
http://www.rivira.lk/online/2017/08/12/121972
පිටස්තරයා – 03
ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්…
ඔව්…
වයස තිස් දෙකයි.
ඔව්….
විවාහකද ?
නැහැ….
ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.
ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.
එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද ?
මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේදී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිඝණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා ? ඇය පෙරළා ප්‍රශ්න කළාය.
මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්…. නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.
ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිඝණක වැඩසටහන් පිළිබඳව…. නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිඝණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම… ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා. ? මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්‍රශ්නය යොමු කළේ ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන….
ඇත්තෙන්ම මම හිතනවා මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිඝණක වැඩසටහනට වුවත් මගේ විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්… රොබෝවරුන් තැනීම… ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා… පරිඝණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරු විද්‍යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්‍ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව ආදී සියළු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්‍වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි…
ඇගේ ඇස්වල කළු ඉංගිරියාවන් විශාලවනු ලිපර්ඩ් ට හොඳින්ම පෙණුනි… ඇයට පිටුපසින් සිටි තාක්‍ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය…
තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව…………..
හොඳයි…. අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්… ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳව… එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්…
ස්තූතියි… මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..
සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය, ජාතික ආරක්‍ෂක ඒජන්සිය නාවික පර්යේෂණ ආයතනය, පෙන්ටගනය වැනි ස්ථානවල අවසාන සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්‍වයන් මධ්‍යයේ දී ය. එය යන්ත්‍රාණුසාරයෙන් සිදු කරන්නේ එම කාර්යය මානව සබඳතාවයකින් තොරව අදාල ප්‍රතිඵල ඉහළ නිරවද්‍යතාවයකින් තබා ගත යුතු නිසාය. මේ සඳහා භාවිතා කරන යන්ත්‍රය Polygraph යන්ත්‍රය යනුවෙන් හඳුන්වයි. එයින් අදාල පුද්ගලයා පවසන්නේ සත්‍යයක්ද නැද්ද යන්න එවේලේම පෙන්වා දෙයි. පළමුව අපේක්‍ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාල යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්‍ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්‍ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්‍ෂකයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාල කරුණ වෙත ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්‍ෂණවල භාවිතා වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන පොලිග්‍රාෆ් යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්‍ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා කදිමට නිර්ණය කිරීමට අදාල බලධාරින්ට හැකි වේ.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේක වෙන්න පුළුවන් කොහොමද ?
ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය….. කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නොලැබුණ බව තමාට විශ්වාසය… අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරදි තිබියදී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්‍ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.
බිල්….. මයික්….. මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා. කාළය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.
මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අළුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන… නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා… ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා… ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා… ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියළුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ….
මම දන්නවා…. මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.
එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා ?
ඔව්…. ජනරාල් තුමනි….
මෙයාට පෙම්වතියක් ඉන්නවද ? ඉඳලා තියෙනවද ?
දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ… නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා… Facebook එකේ පමණක් යාළුවො 666 ක් සිටිනවා… දැනට අවුරුදු ගණනක ඉඳලම මේ සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666 දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්…
666 යක්‍ෂයාගේ අංකය….. ඔය තියෙන්නෙ පොටක් පෑදිලා…
දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා…. සමහරවිට මෙයා යක්‍ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති… මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ… දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුලත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන…. ඒ වගේම පුළුවන් නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න… මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න…. මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්…. ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුලත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන… මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න…
හොඳමයි ජෙනරාල් තුමනි..
666 : යක්‍ෂයාගේ අංකය (Devil’s number/Number of the Beast)
අංක ගණන් කිරීමේදී පළමු අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+……….+34+35+36 = 666) මේ නිසා ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ. 666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 කි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. එසේම 666 අධි අංකයකි. (abundant number) – එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ – එහි එකතුව 16කි). එසේම 666 පුනරාවර්තී අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාල අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)
ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්‍ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය… ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහුද එය යක්‍ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද මේ මනුස්සයා කරන්නෙ…. ?
වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි….
ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී…… තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මැතිව්…. ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?
ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි…
ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව…. හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම් වලටම වඩා මගේ පවුල් පසුබිමට…. මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්ව විද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.
ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..
නැහැ… මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්‍ෂෙත්‍රය මෙයට කිසිම අදාලතාවයක් නැහැ… ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්…. ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාල වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ… නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.
මැතිව්… ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව…
මම විතරක් නොවෙයි… මේ මුළු ලෝකයම දන්නවා…. ඔහු එය හංගන කෙනෙක් නොවෙයි… ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන් වරුන්… අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා….
මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය….
ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ ඒ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව… ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාළය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..
ඉහළම සුදුසුකම් ඇති, කේවල් කළ නොහැකි ලෙස අදාල තනතුරට සුදුසු අපේක්‍ෂකයින් සමහරවිට සිය පෞරුෂත්‍වය විදහාලනු වස් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරිපිට පාරම් බෑවත්, මැතිව් සොලමන් එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඔහුව පරීක්‍ෂණයට භාජනය කරන සිවු දෙනාම හොඳින්ම දැන සිටි කරුණකි. මැතිව් සොලමන්ගේ පියා කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය එඩ්වඩ් සොලමන් වේ. සොලමන් පරම්පරාව පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව 970-931 දක්වා ජෙරුසෙලමේ රජකම් කළ සොලමන් රාජ පරම්පරාවෙන් යැයි විශ්වාසයක් පවතී. ජෙරුසලමේ පළමු පල්ලිය තැනුවේ සොලමන් රජතුමා විසින්ම ඇඳි සැලසුමකට අනුව යැයි පුරාවෘතවල සඳහන්වේ. කළෙක ඉතා රහසිගත සමාජයක් වූ නමුත් දැන් දැන් ප්‍රසිද්ධියේම හැසිරෙන Free Mason වරුන් හා සොලමන් පරම්පරාව අතර වූ සම්බන්ධය සමහරු බැහැර කරතත්, සොලමන් පරම්පරාව සිය මුතුන්මිත්තන්ගේ රාජකීය තේජස මෙන්ම රාජකීය රුධිරය පිළිබඳ තවමත් ආඩම්බර වෙමින් එය රැකගනිමින් ඉදිරියට ගමන් කරති.
මැතිව්… මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි…. අද්මිරාල් රිචඩ් බවර්ගේ කටහඬ දැඩි විය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
666……………. මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ… මටත් අමතක වුන හැටි…ඒත්… මෙච්චර සංයමයක් තියෙන කෙනෙක් ඇයි මේ වගේ සිදුවීමකදි මෙච්චර හැඟීම්බර වෙන්නෙ ? මිනිහා රාජකාරියෙදිත් මේ වගේ වුනොත් අපට මෙයා සුදුස්සෙක් වෙයිද ?
සිය පරිඝණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය…
අපි නොදන්න APP: නොදන්නා දුරකථන අංක සොයා දෙන Truecaller
නොදන්නා දුරකථන අංකයකින් සමහරවිට කිසිවකු ඔබට අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන අවස්ථා අපමණ සිදුවන්නට ඇති. සමහරවිට එය ඔබට කරදරයක්, නැතහොත් බියජනක සිදුවීමක් වන්නටත් පුළුවන්. ඒ වගේම බොහොම අනතුරුදායක තත්ත්‍වයකටත් ඔබ පත්වන්නට ඉඩ තිබෙන්නට පුළුවනි. මෙන්න මේ කරදර කාරයන් හඳුනාගන්න, නවත්වන්න සහ ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නට දැන් ජංගම දුරකථන සඳහා Truecaller නම් ඇප් එක මගින් පුළුවන්.
Truecaller ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන දුරකථන මාදිලි දෙවර්ගයම සඳහා වලංගු වන ඇප් එකක්. මෙම ඇප් එක සාදනු ලැබුවේ Alan Mamedi සහ Nami Zarringhalam යන දෙදෙනා විසින්. ඇත්තෙන්ම තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් කාගෙන් ලැබෙන්නේදැයි සොයා ගැනීම පිණිස මේ දෙදෙනා මෙය මුලින්ම අන්තර්ජාලයට මුදා හැරියා. ඒ වනවිට අන්තර්ජාලයේ තිබූ දුරකථන අංක සොයා ගැනීමේ ක්‍රම සියල්ල අභිබවමින් මේ ඇප් එක සතියක් ඇතුලත බාගත කිරීම්10,000 පසුකර ගියා. මේ නිසා ඔවුන් එය ජංගම දුරකථන සඳහා සැකසුවත්, එයට අවශ්‍ය යටිතල පහසුකම් තිබුණේ නැහැ. කෙසේ වුවත් 2010 දී මෙම ඇප් එක ජනප්‍රිය වන්නට පටන් ගත් විට මේ දෙදෙනා සිය රැකියාවලින් සමුගෙන පූර්ණකාලීනව මේ සඳහා කැපවුනා.
මෙහිදී ඔබ කළයුතු වන්නේ Truecaller ඇප් එක බාගත කළ පසු ඔබේ දුරකථන නාමාවලිය එය වෙතට ලබා දීමයි. එසේම මෙහිදී ඔබේ දුරකථන අංකය නිසි අනන්‍යතාවයකින් යුතුව Save කිරීම මගින් ඔබේ දුරකථන අංකයට වලංගුභාවයක් ලැබෙනවා. ඔබ දුරකථන නාමාවලිය ලබා දුන් පසු, සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබා ගන්නා ඇප් එක වෙනුවට Truecaller ඇප් එක මාරුකරගන්න. එවිට ඔබේ දුරකථනය Truecaller ජාලයට සම්බන්ධ වෙනවා. ඔබ වැනිම Truecaller භාවිතා කරන වෙනත් කෙනෙකු Save කළ දුරකථන අංක ද ජාලයේ සටහන්ව තිබෙනවා. ඔබ නොදන්නා, එහෙත් වෙනත් කිසිවෙකු විසින් Save කළ අංකයකින් දුරකථන ඇමතුමක් ලැබේ නම්, එම අංකය සහ අදාල තැනැත්තා Save කළ නමින් එය ඔබේ තිරයේ දිස් වෙනවා. එවිට ඒ පුද්ගලයා ඔබේ දුරකථන නාමාවලියේ නැතත්, කවුරු ඔබට දුරකථන ඇමතුම් දෙනවාදැයි ඉතාම ලෙහෙසියෙන් සොයාගත හැකියි.
එසේම කිසිවෙකු අනවශ්‍ය දුරකථන ඇමතුම් ලබාදෙන්නේ නම් එය කරදරකාර අංකයක් ලෙස නම් කිරීමෙන් එය අගරු ලේඛණයකටද ඇතුලත් වෙනවා. එසේම කිසියම් කෙනෙකුගේ අනන්‍යතාවය පැහැදිලිවම මෙමගින් බලාගැනීමට පුළුවනි. උදාහරණයක් වශයෙක් කිසිවෙකු ඔබට බැංකුවකින් අමතා පෞද්ගලික විස්තර විමසුවොත්, එය එම බැංකුවෙන්ද, එසේත් නැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න ඉබේම සටහන් වනවා. බොහෝ ව්‍යාපාර දැන් සිය වලංගුභාවය ස්ථාපිත කරන්නේ ද මෙම ඇප් එක හරහායි. එවිට සිය පාරිභෝගිකයන් කිසිදු සැකයකින් තොරව ඔවුන් හා සම්බන්ධ වෙනවා.
මීට අමතරව, සමහරවිට ඔබට කිසිවෙකු දුරකථන අංකයක් ලබා දුන්පසු එහි වලංගුභාවය ද මේ මගින් සොයාගත හැකියි. එනිසා කෙනෙකුට වැරදි දුරකථන අංක ලබාදිය නොහැකියි. මෙම ඇප් එක වඩාත්ම පළදායී වන්නේ එය ජාලගතව ඇති නිසයි. දැන් දැන් වැඩි දුරකථන ග්‍රාහකයින් ප්‍රමාණයක් මෙම ඇප් එක පාවිච්චි කරන නිසා, කිසියම් කෙනෙකුගේ දුරකථන අංකයක් මේ ජාලයේ සඳහන් නොවී තිබීමට ඇති හැකියාව ඉතා අල්පයි. ලොව පුරාම ඇති දුරකථන අංක බොහොමයක් කුමන ක්‍රමයකින් හෝ මෙම ජාලයට සම්බන්ධයි. මේ නිසා ලොව කොතැනකින් දුරකථන ඇමතුමක් ලැබුණත්, ඒ කවුදැයි දැනගැනීම ඉතාම පහසුයි.
මෙම ඇප් එක ඉතාමත් වැඩදායී සහ ආරක්‍ෂාකාරී ඇප් එකක්. මේ නිසා කෙනෙකුගේ දුරකථන භාවිතයේ ආරක්‍ෂාව තහවුරු වන අතර අනවශ්‍ය දුරකථන ඇමතුම්වලින් මඟහැර සිටීමට පුළුවන්. මෙය කෙටිපණිවුඩ සේවාවට ද එසේම වැදගත් වනවා. ඔබ වෙනත් දුරකථන ඇප් බාගත කරන අවස්ථාවේ මෙවැනි වැඩදායී ඇප් එකක් පාවිච්චි කිරීමට පෙළඹීමෙන් ඔබේ ආරක්‍ෂාව මෙන්ම දුරකථන භාවිතයේදී පහසුවත් නිතැතින්ම ලැබෙනවා.
වැඩි විස්තර https://www.truecaller.com/
පිටස්තරයා – 02
එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන… නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්… දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..
ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය…
අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි… අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න… ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්…. අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන…… මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්… දෙයියන්ගෙ නාමෙට ඔයා මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න බුද්ධියෙන් කතාකරනවා… !
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය…
අද්මිරාල් රිචර්ඩ් බවර්
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල් රිචඩ් බවර් ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය…,
2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව (ජෝර් ජියාව) විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය… ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට “සහතිකවම ආධාර බෙදාහරින” (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය… ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න….. විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්…….
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බීප් බීප්……… බීප් බීප්……… …බීප් බීප්………
හලෝ….. ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය… මම මෙගන් වොලික්….. කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?
හලෝ… මම අද්මිරාල් බවර්…. නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්… මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?
පුළුවන් අද්මිරාල් තුමනි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…
ජනරාල් චාල්ස් වෙලිංටන්
ජනරාල් චාල්ස් වෙලිංටන් පසුගිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ “ඉව” ත් ඇති නිසාය… රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
හලෝ ජනරාල්……..
කොහොමද මිත්‍රයා…… මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන….. ජනරාල් වරයා ඍජුවම ඇසීය….
මට යමක් දැනගන්න අවශ්‍යයි…. ඒ කිසියම් පුද්ගලයෙක් ගැන…..
ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා… ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ….. ජනරාල්ගේ ස්වරය දැඩි විය…..
නැහැ නැහැ… මම ඔබේ කාළය කා දමනවා නොවෙයි… එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ….
කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ……… ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ…
නැහැ චාලි… මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන….
මොනවා… FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?
චාලි… මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ… දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි… නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි… ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න… ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි….. ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ… මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා… ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න… මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව…. මට මේ උදවුව කරලා දෙන්න… සමහරවිට ඔබටත් එය වැදගත් වේවි…
හොඳයි කියමු බලන්න….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය… මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත… සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචඩ් බවර්, නැන්සි පෙපර්, ඩෙනිස් ලිපර්ඩ්, සහ නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි… පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි… කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන… මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්… බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි. අනිත් එක්කෙනා.. විශ්ව… මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ… අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි… මට එයාව කියවන්න බැහැ.. සැමවිටම අන් අයට පෙර කතා කරන නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි…
නීල්…. මොකද කියන්නෙ….
විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා… ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ… ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්… මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි… මම ඔබ ගැන දන්නවා… නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්…
එහෙම කියන්නෙ කොහොමද නීල්…එයා දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්… ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?
ඇත්ත… නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්… ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න… නමුත් මෙතැන එහෙම නෙවෙයි…. අපි බලමු කෝකටත්… අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.
මැතිව්… මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා… නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි… එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ… ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි…
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ් : මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි… ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ… අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක… දැනුම අතින් පරිපූර්ණ කවුද – ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක… කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය…. නමුත් අපට හසුරවාගන්න පුළුවන් කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ…
ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්… ඇය සුදුසු NSA එකට… ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.
මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ… ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි… මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි… අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ… අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.
මේ දෙදෙනාම පර්යේෂණ අංශයට තෝරා ගනීවිද ?
මැතිව්ගෙ සම්බන්ධකම් විශ්වගෙ දක්‍ෂතා අභිබවා යාවිද ?
ඔවුන්ට පැවරෙන රාජකාරි මොනවද ?
ලබන සතියේ කොටසින්
හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට
අපි හැමදේම කරන්නෙ ජීවත් වෙන්න… සමහරු බොහොම හොඳට ජීවත් වුනත්, තවත් සමහරු වේලක් ඇර වේලක් කාලයි ජීවත් වෙන්නෙ.. ඇති හැකි අය වගේම නැතිබැරි අයත් මේ සමාජයෙම කොටස් – ජීවිතය දෙවිදියකට සැලකුවත්, අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්.. ඒ අතරෙ අපි විවිධාකාර ජීවිත රංගනයන් කරනවා. අපි බොහෝ දේ වලට හුරු වෙලා ඉන්නවා… සමහර පුරුදු ජීවිත කාලෙම ගෙන යනවා.. තවත් සමහර ඒවා පුහුණු කළ පුරුදු බවට පත් වෙනවා… ඉතිං ඒ අතරේ හුරු වෙයං මෙන්න මේවට කියලත් රැල්ලක් යනවා.
මචං කියලා මම මේ කියන්නෙ මචංලට සහ මැචීල දෙගොල්ලොන්ටම….
හුරුවෙයං මචං… ඉස්කෝලෙ යන කාලෙ හොඳට ඉගෙන ගන්න… අපේ අම්මලා තාත්තලා දහ දුක් විඳලා සමහර වෙලාවට වේලක් නොකා නොබී සල්ලි ඉතුරු කරන්නෙ අපිට හොඳට උගන්නන්න මචං… අපි මොකද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන පනං හතරට කරන්නෙ ? ෆෝන් එකට කාඩ් දාගෙන ඉන්ටනෙට් යනවා, ෆේස්බුක් යනවා, චැට් කරනවා, රවුම් ගහනවා… නේද මචං ? පොඩ්ඩක් හිතලා බලපං මචං… අපි හොඳ දෙයක් කළොත් ඒ මිනිස්සුන්ගෙ මූණට වැටෙන එළිය ? අපි හොඳ රිසල්ට් එකක් දැම්මාම ඒ මිනිස්සුන්ගෙ ඇස්වලින් පනින කඳුළු බිංදු.. අන්න ඒවයි මචං පට්ට.. ඒ සතුට, ඒ කඳුල මිල කරන්න බෑ මචං.. හුරුවෙයං මචං ඒ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සඵල කරන්න…. ඒක පට්ටයි මචං…..
අපේ දෙමව්පියො දවස තිස්සෙ රස්සාවට ගිහින්, නැතිනම් කුලියක් මලියක් කරලා අපි ගැන මහා බලාපොරොත්තු තියාගෙන ජීවිතේ එක්ක ෆයිට් කරනවා මචං…ඒ මිනිස්සුන්ගෙ ජීවිත කතාව සමහරවිට බොහොම දුඛිතයි… අපි දන්නෙත් නෑ…අපි වෙනුවෙන්ම හැම දේම කරනවා මිසක්, ඒ මිනිස්සුන්ට කියලා යමක් කරගන්නෙම නැති තරම්. අපි සමහර වෙලාවට, ක්ලාස් ගිහින් හෝ රවුමක් ගහලා ඇවිත්, ඒ මිනිස්සු කන්න උයලා දෙනකල් ටී වී එක ඉස්සරහ ඇමරිකන්කාරයො වගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එනකල් බලාගෙන හරි ෆේස් බුක් එකේ චැට් එකක් දාගෙන ඉන්නවා නේද මචං ? නරකද හවසට ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් උයන්න පිහන්න, ගේ අස්පස් කරන්න සපෝට් එකක් දුන්නොත් ? සමහර විට මචං, ඔයාගෙ තාත්තා වාහනයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්… නරකද තාත්තා වාහනය හෝදනකොට පොඩි සප් එකක් දුන්නොත්? ඒ මනුස්සයා සංතෝෂ වෙනවා නේද මචං ? ඒ සංතෝෂය ෆේස් බුක් එකේ චැට් එකකින් ගන්න පුළුවන්ද මචං ? හුරුවෙයං මචං අම්මට තාත්තට හැකි හැම වෙලාවකම උදවුවක් කරන්න… ඒක පට්ට මචං….
අපි පාරෙ යනකොට සමහර වෙලාවට කඩල ගොට්ටක්, අයිස්ක්‍රීම් එකක්, චොකලට් එකක් කනවා නේද මචං ? අපි ඒකෙ ඉවත ලන කොළ දාන්නෙ කොහෙද මචං ? කිසි සද්දයක් නැතුව ශේප් එකේ බිමට දානවා නේද මචං ? එතකොට මොකද වෙන්නෙ ? පරිසරය අපවිත්‍ර වෙනවා… කුණු එකතු වෙනවා… හරි නෑ නේද මචං ? වැරදිලාවත් සිංගප්පූරුවට වගේ ගිහින් ඒවගේ කරන්න එපා මචං… හිරේ ලගින්න වෙනවා… ඇයි අපි අපේ ලංකාව ලස්සනට තියා ගන්න හිතන්නෙ නැත්තෙ මචං ? අනිත් එවුන් කරන නිසා මමත් ගානක් නැතුව ඒකම කරනවද ? ගෙදර එකතුවෙන කුණු, අපි කොච්චරවත් පාරෙ අයිනට ගිහින් දානවද මචං? ඇයි අපිට වෙනස් වෙන්න බැරි ? අනිත් එවුන්ට බම්බු ගහ ගන්න කියලා.. අපි හරි දේ කරමු මචං…. කුණු පාරෙ නොදා, නිසි තැනට බැහැර කරමු… ඒකට හුරුවෙයං මචං… ඒක පට්ට..
කුණු කිවුවාම අපිට කුණු කන්දෙ සීන් එක අමතක වෙන්නෙ නෑ නේද මචං ? පවු… අපේ කුණු නිසාම අවුරුද්ද දවසෙ මිනිස්සු සෑහෙන මැරුණා… තව සමහරු තවමත් අතුරුදහන්,.. අවතැන්… අපට නං ගානක් නෑ නේද මචං ? ඒ දවස්වල නං අපි කුණු කන්දෙ ෆොටෝ දාගෙන ෆේස්බුක් එකේ ඇඬුවා… නේද මචං ? අපි මුල ඉඳලම කසළ කළමණාකරණය කළා නම් මේක පොඩ්ඩක් හෝ අඩු කරගන්න තිබුණා නේද මචං ? නරකද ගෙදරම කසළ වෙන් කරලා දිරන කසළ කොම්පෝස්ට් කළොත් ? ඒ එක්කම එළවලු ගහක් දෙකක් හදා ගත්තොත් ? අඩුම ගානෙ මිරිස් කරලක් හරි ගන්න පුළුවන් නේද මචං ? හුරුවෙයන් මචං ඒ වගේ දේකට… ඒකෙන් ලැබෙන ලාභය.. සතුට කඩෙන් එන නොදන්නා තැනක හැදුන, මොන කෙමිකල් එක ගහලද එවන්නෙ කියලා දන්නෙ නැති එළවලුවකින් ගන්න බෑ මචං…. ඒක පට්ට…
පාරට බැස්සම නොමැරි ගෙදර එන එක ලේසි නෑ නේද මචං ? කොහෙන් හැප්පෙයිද දන්නෙ නෑ…. බෝම්බ ගහපු කාලෙ හොඳයි කියලා හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට… නේද ? අපි පාරෙ ඇවිද්දත් වාහනයක් පැදෙව්වත් කොච්චර වැරදි කරනවා ද ? ඇයි අපිට හරි දේ කරන්න බැරි මචං ? ඇයි අපිට නීතිගරුකව කහ ඉරෙන්.. සමාවෙන්න… සුදු ඉරෙන් පනින්න බැරි ? අපේ මාන්නය බිඳෙනවද මචං ? අපි හදිස්සියෙන් පාර පැනලා මොකද්ද ලබා ගන්න හදන්නෙ ? තප්පර දහයක වාසියක්ද ? ජීවිතේ වන්දියක්ද ? අපි වාහනයක් එලවනකොට වුනත් මචං… පුළුවන් තරම් හදන්නෙ කොහෙන් හරි රිංගලා යන්න… නේද මචං ? ඇයි අපිට බැරි අනිත් එකාට පොඩ්ඩක් ඉඩ දීලා ට්‍රැෆික් එක අඩු කරගෙන යන්න? මොනවද අපට නැති වෙන්නෙ ? මේ ඉක්මන නිසා ජීවිත කීයක් නැතිවෙනවද කියලා හිතලා බලපන් මචං…. ඇයි අපි අනිත් එකාට පොඩ්ඩක් ගරු කරලා යන්න බැරි ? පාරෙ ලේන් දෙක තියෙද්දි, අපිම නේද තුන්වැනි ලේන් එකක් හදාගෙන ගිහිං පාර හිර කරන්නෙ ? ඇයි අපිට අනිත් අය වගේ ඉවසීමෙන් ගිහින් හරි විදියට යන්න බැරි ? බැරි නෑ මචං… අපිට ඕනකමක් නෑ,.. පොර වෙන්න අපි හෙඩ් ලයිට් ගහගෙන හෝන් ගහගෙන රෝං සයිඩ් එකෙන් ගිහින් ඉස්සරහ පාර බ්ලොක් කරලා ඒ මදිවට ඉස්සරහින් එන අයට සද්දෙකුත් දානවා.. නේද මචං… ඒක හරි නෑ…. හුරුවෙයං මචං මාර්ග නීති හරියට පිළිපදින්න… එතකොට පොලීස් රාලහාමිලා ඉස්සරහා දෙකට නැවෙන්න ඕන නෑ . පගාව දෙන්න ඕනත් නෑ.. පොලීසිය ඉන්නකොට විතරක් නෙවෙයි මචං පාරෙ හරියට යන්න ඕන.. හැම තිස්සෙම.. හිතට එකඟව… හුරුවෙයන් මචං වාහනයක හෝ පයින් යනකොට නීතිගරුකව පිළිවෙලකට යන්න… එතකොට අවදානමත් අඩුයි, පොලීසියත් ගරු කරනවා මචං… අන්න ඒක පට්ට…
ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවට අපි රැල්ලට ගිහින් බොහොම අවදානම් අවස්ථාවල සෙල්ෆි ගහලා ලයික් හිගා කන්නත් යනවා….. සෙල්ෆියකට ලැබෙන උපරිම ලයික් ගණන කීයද ? 1000 ක් ? ඒ වගේද මචං ජීවිතය.. ? ජීවිතේ විඳලා දිගුකාලයක් සාර්ථකව හිටියොත් ලයික් කී දාහක් ලැබෙයිද ? ඒ නිසා මචං… ලයික් කීපයක් වගේ බොහොම ලාභ දේකට ඔය වටින ජීවිතේ අවදානමේ දාන්න එපා.. හුරු වෙයං ජීවිතේ විඳින්න… විඳවන්න නොවෙයි… විඳින්න…. ඒක ඔක්කොටම වඩා පට්ටයි මචං….
ඒ ඔක්කොම කරලා රස්සාවට ගියාම අපි 100% ක් වැඩ කරනවද මචං ? සමහර වෙලාවට උඩින් පල්ලෙන් අතගාලා වැඩේ ගොඩ දාන්න නේද අපි ට්‍රයි කරන්නෙ ? එහෙම හොඳද මචං ? අපි අපේ පඩියට සරිලන වැඩක්වත් කරන්න ඕන නේද මචං ? හරියට හතරහමාර වෙනකොට ඇඟිල්ල ගහන්න හතරයි කාලෙ ඉඳලා මැශින් එක ඉස්සරහට වෙලා ඉන්නෙ අපිම නේද මචං ? එහෙම ඉඳලා අපිම නේද ෆේස්බුක් එකේ පොරටෝක් දෙන්නෙ ලංකාව හදන්න.. ? සමහර වෙලාවට වෙන ඔෆිස් එකකට ගිහින් වැඩක් කරගන්න බැරුව කොච්චර අපහසුතාවයට පත් වෙලා තියෙනවා ද මචං ? අපි අනිත් මිනිස්සුත් ඒ විදියටම අපහසුතාවයට පත් කරන්න ඕනද? හුරුවෙයං මචං කරන වැඩේ හරියට, සංතෝෂෙන් කරන්න මචං… ඒක පට්ට ෆීලිං එකක්.
ඒ වගේමයි මචං… අපි කොච්චර දේවල් හොරකං කරන්න පුරුදු වෙලා තියෙනවද ? සමහරු ඔෆිස් එකේ හාෆ්ශීට් එක පවා මාටියා ගහනවා නේද මචං ? ඕවා යාදෙන්නෙ නෑ මචං… හොරකං කරන්න, පගා ගහන්න පුරුදු වෙන්න එපා… දරුවන්ටවත් ලැබෙන දෙයක් නෑ . මලාට පස්සෙ වුනත් අනිත් අය කියයි.. මේකා හොරා.. පගාකාරයා, වගේ දේවල්….. හුරුවෙයං හොර බොරු, කොමිස් නැතුව, අවංකව වැඩ කරන්න මචං…ඒක පට්ට… එතකොට ලොක්කා වුනත් පැහැදේවි… සමහරවිට ප්‍රමෝෂන් එකක්, ඉන්ක්‍රිමන්ට් එකක් වුනත් ලැබෙන්න ඉඩ තියෙනවා.. යාළු මිත්‍රයො වුනත් උඹ ගැන හොඳ කියාවි… මැරෙන දවසට ඔළුව කෙළින් තියාගෙන බරක් නැතුව මැරෙන්න වුනත් පුළුවන් මචං… හුරුවෙයං කොන්ද කෙළින් තියාගෙන හරි හැටියට ජීවත් වෙන්න… ඒක පට්ට මචං…
ඒ විතරක් නෙවෙයි මචං…. සමහර වෙලාවට අපි හුඟක් අනිත් එවුන් දිහා බලලා අනුකරණය කරනවා… ඇඳුම් ඇඳින්නෙ, කොණ්ඩෙ හදන්නෙ.. කතා බහ කරන්නෙ අපේ අනුකරණය කරන අය දිහා බලලා… කෝ මචං ඒ ඇඟ ඇතුලෙ හිටපු කෙනා ? ඇයි අපි අනුන් වෙන්න හදන්නෙ ? ඇයි අපට අපිම වෙන්න බැරි ? ඇයි මටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න බැරි ? හුරුවෙයං මචං තමන්ව බ්‍රෑන්ඩ් එකක් කරගන්න.. තමන්ටම ආවේණික, යහපත් ශෛලියක් ගොඩ නගා ගන්න… එතකොට හැමෝම සලකන්න පටන් ගනීවි… ඒ ෆීලිං එක පට්ට මචං… කොහෙන්වත් ගන්න බෑ…..
අපි හැමෝම ආදරේ කරනවා නේද මචං ? ජීවිතේට… සමහර වෙලාවට බොහොම පොඩි කතාවක් ලොකු වලියක් දක්වා ඇදිලා ගහගන්නවා නේද? දුර දිග ගියොත් එකෙක් දෙන්නෙක් මැරෙන්නත් පුළුවන්… අපි හැමෝම ජීවිතේට ආදරෙයි මචං… මම වගේම උඹත්… අපි හැමෝගෙම ජීවිත අනිත් අයට සම්බන්ධ වෙලා තියෙන්නෙ.. අපි මලොත් දුක අපට නෙවෙයි, අපෙන් යැපෙන්නන්ට, අපිට ආදරේ කරන අයට… අපි ගැන නොහිතුවත් අපි එවුන් ගැන හිතමු මචං… ආවේගශීලීව ක්‍ෂණික තීරණ අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා පොඩ්ඩක් දුර හිතමු මචං.. අපි අතින් මැරෙන එකාටත් අපට තියෙන ජීවිතයම තියෙනවා මචං… ඌ වෙනුවට අපි මැරුණොත් මොකද වෙන්නෙ මචං ? හුරුවෙයං මචං ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සාමදානෙන් ඉන්න… ඒක පට්ට මචං…
අපි ආදරේ කරනවා නේද මචං…කෙල්ලට, කොල්ලට, බිරිඳට, ස්වාමි පුරුෂයට… ඉතිං මේ ආදරේ ඇත්තම එකක්ද ? ඉස්සර නං එහෙමයි… දැන් නං ටිකක් වෙනස්… ඉස්සර මාර ගේමක් දීලයි කෙල්ලෙක් කැමති කරව ගන්නෙ.. දැන් එහෙමද ? ෆේස් බුක් එකෙන්ම සෙට් වෙලා ෆේස් බුක් එකෙන්ම අවසාන කරන ජීවිත… ඒ වගේමයි සමහර වෙලාවට අපි ඇත්තටම ආදරේ කරනවද ? කරනවා නම් හොඳයි මචං… යාළු වෙලා ඉන්න කාලෙ නම් ගැලපීමක් නෑ කියමුකො… ඒත් බැඳීමක් ඇති වුනාම, පවුලක් වගේ එකට එකතු වෙලා ජීවිතේ ගෙනියන්න ගත්තාම, ඒ බැඳීමට ගරු කරන්න ඕන මචං… ඒත් සමහරු එහෙමම නෑ… විනාඩි ගානක සැපතට මුළු ජීවිතේම විනාශ කර ගන්නවා.. මුළු ජීවිතයක්ම විනාශ කරනවා… හුරුවෙයං මචං ජීවිතේකට ගරු කරන්න… ඒක පට්ටයි මචං…
අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ ගිෆ්ට් එකක් මචං.. මේ ලෝකෙ අනන්තවත් මිනිස්සු ඉන්නවා කන්න වේලක් හොයා ගන්න බැරි, බොන්න පිරිසිදු වතුර දැකලාවත් නැති, අඳින්න හරිහමන් ඇඳුමක් නැති.. ඒ වගේම ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා හිතන්නවත් බැරි අවදානමක ඉන්න. ඒ අතින් අපි හරි වාසනාවන්තයි මචං..අපිට වැටිලා ඉන්න තැනක්, කන්න යමක්, අඳින්න ඇඳුමක්, තියෙනවනේ… ඒ වුනත්, ඒ ජීවිතේ අපි නාස්ති කරනවා.. අපට පමණක් නෙවෙයි, අපි සමාජයටත් යමක් කරන්න ඕන මචං… ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි, ජොලි කිරීමම නොවෙයි.. අනුන්ට උදව්වක් කරලා ඒ මිනිස්සුන්ගෙ ජීවිතෙත් යම් පමණකට ගොඩ දාන්න පුළුවන් නම්, තවත් මනුස්සයෙකුගෙ මූණෙ හිනාවක් අඳින්න පුළුවන් නම්, අන්න ඒකයි මචං ජීවත් වෙනවා කියන්නෙ.. අපිට කොච්චර සල්ලි තිබුණත්, අනුන්ට උදවුවක් නැතිනම්, නැති බැරි මිනිහෙකුට රුපියල් දහයක් දෙන්නෙ නැතිව පොදි ගහගෙන ඉඳලා මැරිලා යනවා නම්, ඒ ජීවිතේ ලොකු හිස් බවක් තියෙනවා මචං.. හුරුවෙයං… තමන්ට වගේම අනුන්ටත් පොඩ්ඩක් හරි සලකන්න… ඒකට කවදා හරි ප්‍රතිඋපකාර ලැබෙනවා මචං… අන්න ඒක පට්ට මචං…
ඉතිං මචං… මෙන්න මෙහෙමයි අපි ජීවිතේට හුරු වෙන්න ඕන… අදහන ආගම මොකක් වුනත්, අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙ යම් කිසි mission එකකට… අපිටම කියලා හිමි වෙච්ච භූමිකාවක් අපට ලියැවිලා තියෙනවා. ඒකම නිසා තමයි බුද්ධිමත්තු, ව්‍යාපාරිකයො, දේශපාලනඥයෝ, ආගමික නායකයෝ අතරේ හොරු, මංකොල්ල කාරයෝ, මිනී මරුවො වගේ අයත් ජීවත් වෙන්නෙ… ඒ ඒ හැම දෙනාටම තමන්ට හිමි වෙච්ච භූමිකාවක් තියෙනවා මේ සමාජයේ රඟපාන්න… ඉතිං අපි උපරිමව ජීවත් වෙන මේ දවස් 36,500 අතරේ අපි අපට හිමි වෙච්ච භූමිකාව හොයා ගන්න ඕන… ඉක්මනින්ම හොයා ගත්තොත් අපට උපරිමය කරන්න පුළුවන් වේවි… එදාට අපි මේ ලෝකෙට සාධාරණයක් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ අතරෙම ජීවිතය විඳින්නත් පුරුදු වෙමු මචං.. එහෙම ජීවිතේට සාධාරණයක් කළාම… මැරෙන දවසට ඇතිවෙන පට්ට ෆීලිං එක…වෙන මොනවා කළත් ලැබෙන්නෙ නෑ මචං…
ඉතිං මේ අපිට කරන්න පුළුවන් දේ වලින් බොහොම අල්පයක් විතරයි. අපි කීබෝඩ් වීරයෝ වගේ අනුන්ව විවේචනය කරන්නෙ නැතුව ඇත්තෙන්ම ඒ දේට බැහැලා වැඩක් කරනකොට තමයි අමාරුකම පේන්නෙ… ඉතිං මේ හැම දේම බොහොම උපේක්‍ෂාවෙන් සලකගෙන සමාජයේ තමන්ටත්, අනුන්ටත් හොඳ වැඩක් කරලා ජීවත් වෙන එක තරම් පට්ට ෆීලිං එකක් කවදාවත් ලැබෙන්නෙ නෑ,.. හුරුවෙයං මචං මෙන්න මේ දේවලට… ඒක පට්ටයි.
අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්….හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට
මෙන්න රිවිර පත්තරේ මේ ලිපියේ දිගුව