Daily Archives: අගෝස්තු 15, 2017
අපි නොදන්න APP: නොදන්නා දුරකථන අංක සොයා දෙන Truecaller
නොදන්නා දුරකථන අංකයකින් සමහරවිට කිසිවකු ඔබට අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන අවස්ථා අපමණ සිදුවන්නට ඇති. සමහරවිට එය ඔබට කරදරයක්, නැතහොත් බියජනක සිදුවීමක් වන්නටත් පුළුවන්. ඒ වගේම බොහොම අනතුරුදායක තත්ත්‍වයකටත් ඔබ පත්වන්නට ඉඩ තිබෙන්නට පුළුවනි. මෙන්න මේ කරදර කාරයන් හඳුනාගන්න, නවත්වන්න සහ ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නට දැන් ජංගම දුරකථන සඳහා Truecaller නම් ඇප් එක මගින් පුළුවන්.
Truecaller ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන දුරකථන මාදිලි දෙවර්ගයම සඳහා වලංගු වන ඇප් එකක්. මෙම ඇප් එක සාදනු ලැබුවේ Alan Mamedi සහ Nami Zarringhalam යන දෙදෙනා විසින්. ඇත්තෙන්ම තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් කාගෙන් ලැබෙන්නේදැයි සොයා ගැනීම පිණිස මේ දෙදෙනා මෙය මුලින්ම අන්තර්ජාලයට මුදා හැරියා. ඒ වනවිට අන්තර්ජාලයේ තිබූ දුරකථන අංක සොයා ගැනීමේ ක්‍රම සියල්ල අභිබවමින් මේ ඇප් එක සතියක් ඇතුලත බාගත කිරීම්10,000 පසුකර ගියා. මේ නිසා ඔවුන් එය ජංගම දුරකථන සඳහා සැකසුවත්, එයට අවශ්‍ය යටිතල පහසුකම් තිබුණේ නැහැ. කෙසේ වුවත් 2010 දී මෙම ඇප් එක ජනප්‍රිය වන්නට පටන් ගත් විට මේ දෙදෙනා සිය රැකියාවලින් සමුගෙන පූර්ණකාලීනව මේ සඳහා කැපවුනා.
මෙහිදී ඔබ කළයුතු වන්නේ Truecaller ඇප් එක බාගත කළ පසු ඔබේ දුරකථන නාමාවලිය එය වෙතට ලබා දීමයි. එසේම මෙහිදී ඔබේ දුරකථන අංකය නිසි අනන්‍යතාවයකින් යුතුව Save කිරීම මගින් ඔබේ දුරකථන අංකයට වලංගුභාවයක් ලැබෙනවා. ඔබ දුරකථන නාමාවලිය ලබා දුන් පසු, සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබා ගන්නා ඇප් එක වෙනුවට Truecaller ඇප් එක මාරුකරගන්න. එවිට ඔබේ දුරකථනය Truecaller ජාලයට සම්බන්ධ වෙනවා. ඔබ වැනිම Truecaller භාවිතා කරන වෙනත් කෙනෙකු Save කළ දුරකථන අංක ද ජාලයේ සටහන්ව තිබෙනවා. ඔබ නොදන්නා, එහෙත් වෙනත් කිසිවෙකු විසින් Save කළ අංකයකින් දුරකථන ඇමතුමක් ලැබේ නම්, එම අංකය සහ අදාල තැනැත්තා Save කළ නමින් එය ඔබේ තිරයේ දිස් වෙනවා. එවිට ඒ පුද්ගලයා ඔබේ දුරකථන නාමාවලියේ නැතත්, කවුරු ඔබට දුරකථන ඇමතුම් දෙනවාදැයි ඉතාම ලෙහෙසියෙන් සොයාගත හැකියි.
එසේම කිසිවෙකු අනවශ්‍ය දුරකථන ඇමතුම් ලබාදෙන්නේ නම් එය කරදරකාර අංකයක් ලෙස නම් කිරීමෙන් එය අගරු ලේඛණයකටද ඇතුලත් වෙනවා. එසේම කිසියම් කෙනෙකුගේ අනන්‍යතාවය පැහැදිලිවම මෙමගින් බලාගැනීමට පුළුවනි. උදාහරණයක් වශයෙක් කිසිවෙකු ඔබට බැංකුවකින් අමතා පෞද්ගලික විස්තර විමසුවොත්, එය එම බැංකුවෙන්ද, එසේත් නැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න ඉබේම සටහන් වනවා. බොහෝ ව්‍යාපාර දැන් සිය වලංගුභාවය ස්ථාපිත කරන්නේ ද මෙම ඇප් එක හරහායි. එවිට සිය පාරිභෝගිකයන් කිසිදු සැකයකින් තොරව ඔවුන් හා සම්බන්ධ වෙනවා.
මීට අමතරව, සමහරවිට ඔබට කිසිවෙකු දුරකථන අංකයක් ලබා දුන්පසු එහි වලංගුභාවය ද මේ මගින් සොයාගත හැකියි. එනිසා කෙනෙකුට වැරදි දුරකථන අංක ලබාදිය නොහැකියි. මෙම ඇප් එක වඩාත්ම පළදායී වන්නේ එය ජාලගතව ඇති නිසයි. දැන් දැන් වැඩි දුරකථන ග්‍රාහකයින් ප්‍රමාණයක් මෙම ඇප් එක පාවිච්චි කරන නිසා, කිසියම් කෙනෙකුගේ දුරකථන අංකයක් මේ ජාලයේ සඳහන් නොවී තිබීමට ඇති හැකියාව ඉතා අල්පයි. ලොව පුරාම ඇති දුරකථන අංක බොහොමයක් කුමන ක්‍රමයකින් හෝ මෙම ජාලයට සම්බන්ධයි. මේ නිසා ලොව කොතැනකින් දුරකථන ඇමතුමක් ලැබුණත්, ඒ කවුදැයි දැනගැනීම ඉතාම පහසුයි.
මෙම ඇප් එක ඉතාමත් වැඩදායී සහ ආරක්‍ෂාකාරී ඇප් එකක්. මේ නිසා කෙනෙකුගේ දුරකථන භාවිතයේ ආරක්‍ෂාව තහවුරු වන අතර අනවශ්‍ය දුරකථන ඇමතුම්වලින් මඟහැර සිටීමට පුළුවන්. මෙය කෙටිපණිවුඩ සේවාවට ද එසේම වැදගත් වනවා. ඔබ වෙනත් දුරකථන ඇප් බාගත කරන අවස්ථාවේ මෙවැනි වැඩදායී ඇප් එකක් පාවිච්චි කිරීමට පෙළඹීමෙන් ඔබේ ආරක්‍ෂාව මෙන්ම දුරකථන භාවිතයේදී පහසුවත් නිතැතින්ම ලැබෙනවා.
වැඩි විස්තර https://www.truecaller.com/