ක්‍ෂණික ආහාර ගිල්වීමෙන් මාරක වන දාරක ස්නේහය…. රිවිර අගෝස්තු 12


child obeisityරටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණු වූ සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙන්. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙනවා. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරනවා. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා  ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයක්.

පසුගිය වසරක පළවූ දත්ත අනුව ලංකාවේද පාසැල් වයසේ ගැහැණු ළමුන් 37% ක් සහ පිරිමි ළමුන් 17% ක් ළමා ස්ථුලතාවයෙනේ පෙළෙන බව සොයාගෙන තිබෙනවා. මේ තත්ත්‍වය දිගින් දිගටම පැවතුනහොත් තව වසර දහයකින් ශ්‍රම බලකායට එකතු වන්නේ රෝගීන් පිරිසක්. ඒ වගේම ගණන් බලා ඇති පරිදි වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට පණහක් දියවැඩියා රෝගීන් වනවා. ඒ කියන්නෙ තව වසර තුනක් වන විට දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්. එවිට ඔබේ ජීවිත කාලය කෙතරම් කෙටි වෙනවාදැයි සළකා බලන්න. දියවැඩියාව නිසා වකුගඩු රෝග, හෘද රෝග වැනි රෝග නිතැතින්ම අපේ ශරීරයට ඇතුළු වනවා. ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තවමත් මේ තත්ත්‍වය පාලනයට සමත් වී නැහැ. අවාසනාවට ඔබට ඉතිරිව ඇත්තේ එක විසඳුමයි. ඒ දැන දැනම මරණය කරා ගමන් කිරීමයි. එවිට ඔබේ දරුවන් හැදී වැඩෙනවා බලන්න, ඔවුන්ගේ සාර්ථකත්‍වය දකින්න, ඔවුන්ට නිසි මඟ පෙන්වන්න ඔබ ඉතිරි වන්නේ නැහැ. ළමා ස්ථුලතාවය ලංකාවේ තවමත් හරිහැටි අවධානය නොවූ ප්‍රශ්නයක්. සෞඛ්‍යමය පැත්තෙන් මෙය යම්තරමකින් හෝ සළකා බැලුවත්, කාර්යක්‍ෂමතාවය හෝ ඵලදායීතාවය අතින් මේ පුරෝකථන සිදු කර නැති බවයි පෙනෙන්නේ.

තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යනවා. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටයි. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතිනවා. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග ලැබෙන්නේ නැතිවා වගේම ඇය එය බලාපොරොත්තු වන්නේත් නැහැ ..ඇයට ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණයි. සමහර මව්වරුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය සැනසුම පතා ආත්මාර්ථකාමී වුවත්, 95% කට වඩා මව්වරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා.

දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයක්. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරනවා. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට වන්නේ නැහැ. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස්. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයක්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයක්. ඔවුන්ගේ කාලසටහන කාර්ය බහුලයි. බොහෝවිට මවත් පියාත් දෙදෙනාම රැකියා කරන උදවිය. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයක්. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙනවා. බොහෝ විට ආප්ප, ඉඳිආප්ප, කොත්තු, ආදී පිසූ ආහාර වේලක් අසළ වූ කෑම කඩයකින් සැපයෙනවා විය හැකියි. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර කොහොම සකසනවාදැයි දන්නේ දෙයියෝ සහ සකසන කෙනා පමණයි. බොහෝ විට මේ ආහාරවල එළවලු නරක් වීමට ආසන්න ඉවත දමන එළවලු විය හැකියි. ආහාර ව්‍යාපාරය ලාභ ලබන්නේ එහෙමයි. එසේම ආහාර රස කිරීමට MSG අඩංගු රසකාරක එකතු නොකරන ආහාර සපයන්නෙක් සොයා ගැනීම බොහොම දුර්ලභයි. මේ තෙල්, රසකාරක සියල්ල ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම, දරුවන් වඩා කැමති බටහිර ක්‍ෂණික ආහාර සමාගම්වල ශාඛාවලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරනවා. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.

මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකයි. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වෙලා සහ ප්‍රමාදවෙලා. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වෙනවා. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යනවා. දැඩිව කය වෙහෙසා කරන ක්‍රීඩා කරන්නේ බොහොම අල්ප සංඛ්‍යාවක්. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝ දුරට අපගමනය වී ඇති බව නම් පෙනෙන්නට ඇති කරුණක්.

දශක තුනකට පෙර කාලයේ පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක යෙදුනා. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම හෝ කළා. ඇති තරම් දිවුවා, බයිසිකල් පැදීම එල්ලේ ගැසීම වැනි යමක් අනිවාර්යයෙන් සිදු වුනා. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනා. කුඩා දරුවන් එසේ ක්‍රීඩා කරනවා දැන් දකින්නත් නැති තරම්. වොලිබෝල් දැන් දුර්ලභ තත්තවයකයි පසු වෙන්නෙ. දැන් දුවන්නේ මහල්ලන්, වැඩිහිටියන්: ඒ ඔවුන්ගේ ජීවිතය තවත් දවසක් දිගු කරගන්න….. ඒ වගේම දැන් සියළුම දෙනා හැල්මේ දුවනවා – ව්‍යායාමයට නොවෙයි ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.

ස්ථුලතාවය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපානවා. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසින්. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා. සමහරුන්ට දියවැඩියාව. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත්තේ… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙයි. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙනවා. ඒ බොහොමත්ම අල්ප දෙනෙක්..

මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගන්නයි.. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණයි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැකියි. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසයි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් ලැබෙන්නේත් නැහැ. සමාජයීය මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන සිටීම මෙයට හේතුවයි.. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වෙනවා. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වනවා. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපානවා. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වනවා. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යනවා. කෙට්ටු වීමට නොකා සිටීමෙන් සිදු වන්නේ පසුකාලීනව ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව වැනි වෙනත් රෝග වැලඳීම කෙරෙහි එය බලපානවා..

මෙය චක්‍රයක්. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙන් පමණයි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැකියි. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වනවා. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යනවා. සමබරව සිතනවා….

කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැහැ.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩියි. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙනවා. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගන්නවා. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගන්නවා.  ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසක් පමණයි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වනවා.

දැන් ලංකාවේ දරුවන් බොහොමයක් පරිඝණක ක්‍රීඩා, ජංගම දුරකථන භාවිතය වෙත නැඹුරුව පවතිනවා. දෙමාපියන් පවා පහසුව තකා ඔවුන්ට දුරකථනය හෝ ටැබ් එකක් ලබා දී ක්‍රීඩා කරන්නට ඉඩ සලසා තිබෙනවා. මේනිසා දරුවන් කය වෙහෙසා කරන ක්‍රීඩාවකට යොමු වනවා හරිම අඩුයි. එයින් වැරදි දෙකක් වනවා. පළමුවැන්න වන්නේ ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වීමයි. එමගින් දරුවාගේ මානසික ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණශීලීත්‍වය වැනි දෑ අහිමි වන බව සොයාගෙන තිබෙනවා. දෙවැන්න දරුවා කය වෙහෙසා කරන ක්‍රීඩාවලට සහ කණ්ඩායම් ක්‍රීඩාවලට යොමු නොවීම නිසා දරුවාගේ කායික ශක්තිය හීන වීම, ස්ථුලතාවය වැඩි වීම, කණ්ඩායම් හැඟීමක් නොමැති වීම, කායිකව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නොමැති වීම නිසා අනතුරුවලට ලක්වීම වැනි අහිතකර දෑ සිදු වන්නට ඇති හැකියාවයි.

ළමා ස්ථුලතාවය නිසා දරුවන්ට වැළඳිය හැකි  ෙරා්ග රාශියක් තිෙබනවා. ෙම් අතරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්නායුගත අාබාධ, අාහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අාබාධ, කායික අාබාධ, අස්ථි දුර්වලතා ප්‍රධානයි. ෙමයින් වඩාත්ම සංෙව්දී වන්ෙන් මානසිකව දරුවා අපහසුතාවයට පත්වීම නිසා සිදුවන අාත්ම විශ්වාසය බිඳවැටීම වැනි නැවත පිළිසකර කිරීමට අපහසු තත්ත‍වයන් අැති වනවා.

අවශ්‍යතාවය ඇතිනම් වෙනස් වන්නට පුළුවන්. සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකියි. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකියි. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා. එපමණක් නොවෙයි, එය ඔබේ ආර්ථිකයට සහයක් මෙන්ම, පවුලේ සියල්ලන් එකට එකතු වී යමක් කිරීම නිසා පවුලේ සමගිය පවා ඉහළ යාමට සාධකයක්. එමෙන්ම ඔභ වගා කරන දෑවලට ඔබ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු නොකරන නිසා පවුලේ උදවියගේ සෞඛ්‍යාරක්‍ෂිත බව ද ඉහළ යනවා. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතුරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකියි. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇති. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැකියි. ක‍ෂණික අාහාර අඩු කිරීම, පැණි බීම, ෙසා්ඩා වර්ග පානය නැවැත්වීම, දුවනගිරි ෙහා්ටල්වලින් අාහාර ගැනීම නැවැත්වීම සහ නිසි ව්‍යායාම ලබා දීම මගින් දරුවන්ෙග් ෙමම ස්ථුලතාවය අඩු කළ හැකියි. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවනවා. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේවි. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකියි….

ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුයි… අපට හැක්කේ එය කියාදීම පමණයි.

ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ තනි තනිව ඔබ වෙනස් වීමෙන් පමණයි. ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලාගෙන පාර වසාගෙන කෑ ගැහුවට සමාජය වෙනස් කරන්න බෑ කියන දේ ඔප්පු වෙලා හමාරයි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න… එවිට සමාජය හොඳ අතට වෙනස් වේවි.

http://www.rivira.lk/online/2017/08/12/121972

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 18, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. Dear Dr.Piyal,
    Thank you very much for dedicating your time to write a valuable article like this.Appreciate if you could write an article on the harmful effects of MSG (Monosodium glutamate) when the time permits

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: