පැටලුනොත් ජාලේ සිදුවෙන ජංජාලේ


Internet security

සමහර වෙලාවට සුපිරි වෙලඳසැලකදී  ඔබට මෙහෙම දෙබසක් ඇහෙන්නට ඇති…

මිස් අපේ සාමාජිකයෙක්ද  ?

ඔව්

ටෙලිෆෝන් නම්බර් එක ?

001 234 5678

ඔබ සුපරීක්‍ෂාකාරී සහ අවස්ථාවාදී නම්, ඒ අංකය ඔබ මතකයේ තබාගනු ඇති…

ඔබට ඈ හා සබඳතාවයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, දුරකථන අංකය මගින් ඇයගේ නම සහ වෙනත් විස්තර සොයා ගතහැකි වනු ඇත. සමහරවිට ෆේස්බුක් ගිණුම පවා සොයාගතහැකි වනු ඇති..

ඉතිරිය අතීතයට හෝ අනාගතයට එකතුවනු ඇත…

###########

ලෝකය එකම විශ්ව ගම්මානයක් කියලා කියන්නෙ නිකම්ම නෙවෙයි. ලෝකයේ එහා කොණක සිටින කෙනෙකුට අන්තර් ජාලය හරහා ඔබ හා සම්බන්ධ වෙන්නට යන්නේ තත්පර හයක් වැනි කෙටි කාළයක්. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් කවදා හෝ රහසිගතව හෝ පටිගතකළ විඩියෝ දර්ශනයක් සමාජගත වීම නිසා ඔබට සමාජයටත් මුහුණ දෙන්නට බැරි තත්ත්‍වයක් ඇති වන්නට පුළුවනි. අපේ රටේ බොහොම ප්‍රසිද්ධ චරිත වගේම ලෝකෙයේ ප්‍රසිද්ධ චරිත පවා මේ අපහසුතාවයට ලක් වුණ අවස්ථා එමටයි. සමහරුන්ට රැකියාව අහිමි වුනා, තවත් සමහරුන්ගේ පවුල් ජීවිත පවා අවසන් වුනා. අපේ දත්ත ඒ තරම් ම අවදානම්.. ඔබගේ දත්ත වෙනත් අයගේ අතට පත්වෙන අවදානම ඉතා ඉහළයි.

මේ නිසාම, අනවශ්‍ය පුද්ගලයින් ඔබේ දත්ත අනවශ්‍ය ආකාරයට යොදා ගැනීම නිසා බොහෝ දෙනා අමාරුවේ වැටෙනවා. නමුත් මේ සිද්ධීන් ජනමාධ්‍යයන් මගින් ප්‍රසිද්ධියට පත් වන්නේ, එක්කෝ කෙනෙකු සියදිවි නසා ගැනීම, ඝාතනයට ලක්වීමක්, කප්පම් සිද්ධියක්, හෝ වෙනයම් අනතුරකට පත්වීම වැනි කරුණක් නිසාම වන්නට පුළුවන්. ඒ බොහොමත්ම අල්ප ගණනක්. සෙසු සියළුම සිදුවීම් ජලයේ පාවෙන අයිස් කන්දක ජලයෙන් යට ව පවතින විශාල කොටස වගේ නොපෙනී නොදැනී තිබෙන්නට පුළුවනි. නමුත්, මෙය අපි නොසිතන භයානක උවදුරක්. මේ දත්ත වැරදියට භාවිතා කිරීම නිසා සහ ඔබේ දත්ත අයිතීන් ගැන ඔබ නිසි ලෙස දැනුවත් නොවීම නිසා, ඔබ නොදැනුවත්වම සමහරවිට ඔබේ නම වුනත් අපරාධයකට ගෑවී තිබෙන්නට පුළුවනි, එසේත් නැතිනම් වෙනත් වැරදි ක්‍රියාවක කොටස් කරුවෙකු වන්නට පුළුවනි. මේ නිසා ඔබේ දත්ත තිබෙන්නේ කොතැනකද? ඒවා පාවිච්චි වන්නේ කෙසේද කියලා දැන සිටීම සහ එය පාලනය කිරීම ඔබ සතු යුතුකමක් වගේම අතිවිශාල වගකීමක් ද වෙනවා. පිටරටවල නම් මේ දත්ත පාවිච්චි කරලා සිදුකරන අපරාධ බොහොමයි. වාසනාවකට ලංකාව ඒ තරම් දියුණු වෙලා නැති නිසා තවමත් අපේ අනාරක්‍ෂිත දත්ත – තරමකට ආරක්‍ෂිතයි.

ඔබේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ කොහේද ?

මේ ලිපිය අන්තර්ජාලයෙන් කියවන ඔබ බොහෝ දුරට ඔබේම පුද්ගලික පරිඝණකයක සහ ස්මාට් ජංගම දුරකථනයක අයිතිකරුවකු විය හැකියි. ඔබ පුද්ගලික දුරකථනයක අයිතිකරුවකු වනවිට ඔබේ විස්තර සියල්ල දුරකථන සේවා සපයන්නන් වෙත ලැබෙනවා. එසේම ඔබේ අංකය ඔබේ මිතුරන් සියළුම දෙනා තම දුරකථනවල ගබඩා කරගන්නවා. ඔබ දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන විටම, ඔබ ඔබේ නම සහ තරමක පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක් කර හමාරයි. ඉන්පසු ඔබ පිවිසෙන්නේ ඊමේල් වෙත, එහිදී බොහෝවිට ඔබ Gmail, Yahoo, Outlook, වැනි සමාගම්වලින් ඔබේ ඊමේල් ලිපිනය ලබා ගන්නවා. එහිදී ඔබ ඔබේ නම, වයස, ලිපිනය, මවගේ නම, ආදී බොහෝ තොරතුරු ඒ වෙත එක් කරනවා. මේ දත්ත බොහෝදුරට ආරක්‍ෂා සහිත වුවත්, එය සේප්පුවක දමා වසා ඇති යැයි කිසිවෙකුට සහතික වන්නට බැහැ. මෙහිදී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ යම් ඉඩක් වෙන් වන අතර අය ඔබගේ අනන්‍යතාවය වෙනවා. ලොව කොතැන සිට ඔබ ඊමේල් භාගත කළත්, එය අන්තර්ජාලයේ සටහන් වෙනවා. ඔබ සතුව Facebook, LinkedIn, Twitter, YouTube හෝ වෙනත් සමාජ ජාල භාවිත ඇතිනම්, ඒ සියළුම විස්තර අන්තර්ජාලයේ රැඳී පවතිනවා. මේ සියල්ල දැන් එකිනෙකට සම්බන්ධයි. ඔබේ නම Google හි සටහන් කර සොයා බැලුවහොත් ඔබ ගැන කෙතරම් විස්තර ඇතිදැයි ඔබම පුදුමයට පත් වේවි. ඔබ මේ කිසිවක නැතත්, ඔබේ මිතුරු මිතුරියන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරීත්‍වය නිසා, ඔබේ පින්තූරත් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා ඇති. මෙය භයානක වන්නේ ඔබටත් වඩා ඔබේ දරුවන්ට, සමහරවිට අප නොසිතා අපේ දරුවන්ගේ යම් යම් අවස්ථාවල පින්තූර අපේම Facebook ගිණුමේ පළකරනවා. මේවා අපි එතරම් දුරදිග නොසිතා සිදු කළත්, සමහර පුද්ගලයින් මේ පින්තූර අවස්ථාවාදීව වැරදි අයුරින් යොදා ගත හැකියි. දැන් අවශ්‍ය ඕනෑම ඔළුවකට අවශ්‍ය ඕනෑම ඇඟක් බද්ධ කිරීමේ ෆොටෝශොප් ශල්‍යකර්ම කිරීම ඉතාම පහසුයි. එසේම, මේ කටයුතු නිසා ඔබේ පවුලේ සියළුම තොරතුරු ප්‍රසිද්ධියේ මුදාහැරෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය වනවා. උදාහරණයක් ලෙස ඔබ පිටරටක සවාරියක් යන බව Facebook ගිණුමේ සඳහන් කළායැයි සිතන්න. උජාරුවට, බොහෝ දෙනා ගුවන්ගතවන අවස්ථාවේදීම තමන් ගුවන්ගතවන බව ගිණුමේ සඳහන් කරනවා. ඔබ පවුල පිටින්ම යනවා නම්, එය ප්‍රසිද්ධ වීමට එතරම් කාළයක් ගත වන්නේ නැහැ. ඔබේ Facebook ගිණුම Public කර ඇතිනම් ඔබ නොදැනුවත්වම ඒය ප්‍රසිද්ධ කර අවසන්. ඔබේ මිතුරකු නොවූවත්, වෙනත් කෙනෙකු මාර්ගයෙන් හෝ හොඳින් සැලසුම් කරන ශූර සොරෙකුට මේ තොරතුරු සුවිසල් සම්පතක් වෙනවා. ඔබ සවාරිය ගොස් එන අතරතුරේ නිවසේ ඇති සියල්ලම අහිමි වන්නට මේ එක Facebook පෝස්ට් එක ඇති.

සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් වෙනවා. මෙය ඉතා බරපතල කාරණයක්. දැන් බොහෝ දෙනා පුද්ගලයින් හඳුනාගැනීමේ ඇප් එකක් භාවිතා කරනවා. ඔබ විසින් එය භාවිතා නොකළත්, භාවිතා කරන කෙනෙකු ඔබේ නම එහි ගබඩා කර ඇතිනම්, මුළු ලොව පුරාම එමගින් එය බෙදා හැරෙනවා. උදාහරණයක් ලෙස සුපිරි වෙලඳසැල්වල සාමාජිකත්‍ව විස්තරය ඔබේ දුරකථන අංකය විමසා ඒ අනුව සාමාජිකත්‍වය ස්ථිර කරන අවස්ථාවක සමහරවිට අසළ සිටින කෙනෙකු ඔබේ දුරකථන අංකය සටහන් කරගන්නට පුළුවනි. එවැනි අවස්ථාවක ඔබේ දුරකථන අංකය මගින් ඔබේ නම සොයාගෙන එමගින් Facebook වැනි සමාජ ජාලයක ඇති ඔබේ විස්තර සොයා ගැනීමට ගත වන්නේ විනාඩි ගණනක කාළයක්.  මේ නිසා ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබේ දුරකථන අංකය පැවසීමෙන් වැලකී සිටීම ඉතා ගුණදායකයි. දුරකථන අංකය වෙනුවට අදාල සුපිරි වෙළඳසැලට අදාල සාමාජිකත්‍ව කාඩ් එක ඔවුනට ලබා දෙන්න. සමහරවිට බැංකු වැනි ආයතනවලින් ඔබේ පෞද්ගලික තොරතුරු දුරකථනයෙන් විමසන අවස්ථා ඇති. එවිට ඔහු/ඇය කතා කරන්නේ අදාල බැංකුවෙන්මද කියා සහතික කර නොගෙන ඔබේ බැංකු විස්තර හෝ වෙනත් පෞද්ගලික විස්තරයක් ඒ පුද්ගලයාට ලබා දීමෙන් වලකින්න.

අනෙක් කරුණ වන්නේ ඔබ බැංකු කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් භාවිතා කරනවා නම්, ඔබ ඒ වෙබ් අඩවි වලට ඇතුලත් වීම සඳහා මුරපද පාවිච්චි කරන්නේ නම්, ඒවා පහසුවෙන් සොයාගත නොහැකි මුරපද විය යුතුයි, සමහරු සිය දරුවන්ගේ නම්, උපන්දින වැනි දෑ මුරපද සඳහා භාවිතා කරනවා. මේවා ඉතා පහසුවෙන් සොයාගතහැකි මුරපද වෙනවා.  මේ නිසාම දැන් දැන් බොහෝ බැංකු සිය පාරිභෝගිකයන් මුරපද සැකසීමේදීම විවිධ අංක, සළකුණු, සහ අකුරුවලින් සමන්විත සංකීර්ණ මුරපද සැකසීමට පොළඹවා තිබෙනවා. තවත් සමහරු සිය බැංකු කාඩ්පතේම කොණක එහි මුරපදය ලියා තබන්නේ මතක් කර ගැනීම පහසුවට. නමුත් ඔබේ මුදල් පසුම්බිය සොරා ගන්නා කෙනෙකුට පහසුවෙන්ම ඔබේ කාඩ්පතින් මුදල් ලබාගන්නට  ඔබ මඟ සලසා දී තිබෙනවා. බැංකු කටයුතුවල සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරගැනීමට කළහැකි උපක්‍රමයක් වන්නේ ඔබේ සෑම බැංකු ගණුදෙනුවක්ම කෙටි පණිවුඩයකින් ඔබට දැනුම්දෙන ක්‍රමය ස්ථාපිත කිරීමයි. එවිට ඔබේ බැංකු කාඩ්පතින් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ බැංකු ගණුදෙනුවක් වූ විට එය ඔබ වෙත ක්‍ෂණිකවම දැනුම් දෙනු ලබනවා. එය ඔබෙන් සිදු නොවූවක් නම් වහාම බැංකුවට දැනුම් දී එය නීතියේ රැහැණට හසුකරගැනීමට හෝ නිවැරදි කිරීමට පුළුවනි. තවත් සමහරු පොදු පරිඝණක වලින් මේ බැංකු ගිණුම් ආදී සංවේදී තොරතුරු වෙත පිවිසෙනවා. සමහරවිට ඒ කටයුත්ත අවසන සිය මුරපද මකාදැමීම සිදු කරන්නේ නැහැ. මේ නිසා වෙනත් කෙනෙකුට ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. එනිසා, පොදු පරිඝණක පාවිච්චියේදී පාවිච්චි කළ වෙබ් පිටු පරිඝණකයේ අතීත මතකයන්ගෙන් (Browsing History) මකා දැමීමට නිතරම මතක තබා ගන්න.

ඔබේ දුරකථනය ඔබ දත්ත සියල්ලම පාහේ ගබඩා කරගන්නා තැනක්. දැන් දැන් දුරකථනය මුදල් පසුම්බියටත් වඩා ආරක්‍ෂාකාරීව තබාගතයුත්තක් බවට පත් වී හමාරයි. ඔබේ දුරකථනයේ ඔබේ පවුලේ සියල්ලන්ගේම දුරකථන අංක, Facebook ගිණුම, ඡායාරූප, වීඩියෝ, පෞද්ගලික සහ රාජකාරීමය E-mail ගිණුම්, බැංකු ගිණුම් තොරතුරු, වෙනත් සමාජ ජාල අඩවිවල තොරතුරු, ලබාගත් සහ ලැබූ ඇමතුම්, කෙටි පණිවුඩ, වෙනත් චැට් භාවිත ආදී සියල්ලම තැන්පත් වී තිබෙනවා. මෙය වෙනත් කෙනෙකු අතට පත් වුවහොත් සිදුවිය හැකි විනාශය ගිණිය නොහැකියි. මේ නිසා ඔබ මුලින්ම දුරකථනය දැඩිව පරෙස්සම් කරගත යුතුයි. වැරදී හෝ වෙනකෙකු අතට තොරතුරු යාම වැලැක්වීමට හැකි උපරිම ආරක්‍ෂක උපක්‍රම අනුගමනය කළ යුතුයි. ඇඟිලි සළකුණු, ප්‍රධාන මුරපදය සහ විවිධ ඇප් සඳහාත් දැන් වෙන වෙනම මුරපද සැකසිය හැකියි. මෙය සමහරවිට වදයක් වුවත්, ඇත්තෙන්ම ආරක්‍ෂාකාරී වන නිසා සමහරවිට ඔබේ දුරකථනය සොරකම් කළත්, සොරාට සියල්ලම මකා දමා දුරකථනය පමණක් හිමිකරගැනීමට සිදු වන නිසා ඔබේ දත්ත සුරක්‍ෂිත වනවා. එසේම දුරකථනයේ IMEI අංකය ලඟ තබා ගැනීමෙන් දුරකථනය පසුව හො සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ සතු දුරකථනයේ *#06# ටයිප් කිරීමෙන් ඒ දුරකථනයට අදාල IMEI අංකය සොයාගත හැකි වෙනවා

එසේම ඔබ අමතකව හෝ නොසැලකිල්ලෙන් දමා යන සමහර කඩදාසි, ක්‍රෙඩිට් කාඩ් බිල්, රෝහල් බිල් ආදියෙන් ඔබේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් වෙත යන ප්‍රවණතාවය අධිකයි. ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා විට බොහෝ දෙනා රිසිට්පත ලබාගෙන එය කියවා එතැනම වූ කුණුකූඩයට දමනවා. එහි එතරම් දත්ත නැතත්, එම රිසිට්පත මුද්‍රණය අනවශ්‍ය කාර්යයක්. එය ඇත්තෙන්ම පරිසරයටත් කරන හානියක්. හැකිතරම් මුද්‍රිත දෑ, කඩදාසි භාවිතයෙන් ඉවත්වීම ඉතා සුදුසුයි.

ආයතන පවා සිය දත්ත සුරක්‍ෂිතතාවයට කටයුතු යෙදිය යුතුයි. පෞද්ගලික ආයතනවල පරිඝණක අංශයන් ඇත්තෙන්ම මේ වෙනුවෙන් සෑහෙන වෙහස මහන්සියක් දරනවා.   මේ නිසා පෞද්ගලික ආයතනවල නම් බොහෝ දුරට දත්ත ආරක්‍ෂිතයි. එසේම ලංකාවේ පරිඝණක හැකර්වරුන්ට මේ ආයතනවල පද්ධතීන්ට ඇතුළුවීම ඉතා පහසු නිසා ඔවුන් ඊට වඩා උසස් ඉලක්ක කරා යනවා. නමුත් රාජ්‍ය අංශයේ දත්ත නම් ආරක්‍ෂිත නොමැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා. සමහරවිට වෙබ් අඩවි පවා ඉතාම අනාරක්‍ෂිත තත්ත්‍වයේයි පසු වන්නේ. වසර ගණනාවකට පෙර වෙබ් පිටුව සැකසීමේදී ඇතුලත් කළ මුරපද, තවමත් මේ දක්වා වෙනස් කර නැහැ.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පතක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත්, මා දන්නා පරිදි එය මේ දක්වා ක්‍රියාවට නැංවී නැහැ. ඉන්දියාවේ නම් මේ හැඳුනුම්පත ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අනුව එය හිමි පුද්ගලයා සතු සියළුම විස්තර මේ හැඳුනුම්පතට සම්බන්ධව පවතිනවා. ඒ නිසා ඔහු නමින් වෙනත් පුද්ගලයින්ට දුරකථන සම්බන්ධතා, බැංකු ගිණුම් ආදිය විවෘත කිරීමට නොහැකියි. එසේම ඒ පුද්ගලයාගේ රෝහල් විස්තර පවුලේ විස්තර සියල්ල පරිඝණක කර ඇති නිසා අදාල කාර්යයන්දී කඩදාසි භාවිතය, එකම තොරතුර නැවත නැවතත් ස්ථිර කරගැනීම වැනි අනවශ්‍ය කාලය කා දමන ක්‍රියා සියල්ල ඉවත් කර තිබෙනවා. මේ නිසා ආයතනවලදී පවා කාර්යක්‍ෂමතාවය ඉතා ඉහලින් පවතිනවා. ලංකාවේත් මේ ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකිනම්, බැංකුවල පෝලිම් වල සිටීම, රෝහල්වල අනවශ්‍ය තදබදය, රාජ්‍ය ආයතනයකදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් ආදී සියල්ලම අහෝසි වනවා.

විශේෂයෙන්ම දරුවන් පරිඝණක භාවිත කරන අවධියට පත්වන විට දෙමාපියන් සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට පරිඝණයක භාර දෙන විට එයට ලැබෙන දත්ත පෙරණයක් හරහා ලබා දෙන Content Filter, වැනි අවශ්‍ය දත්ත පමණක් ලබා දෙන පරිඝණක ක්‍රමලේඛ (Program) දැන් ලබා ගන්නට පුළුවනි. එසේම පරිඝණකයේ ද එම සැකසුම් නිසි ලෙස සකසන්නට පුළුවනි. මේ නිසා දරුවා භාවිත කරන වෙබ් පිටු සීමා කිරීමට හැකියි. අනවශ්‍ය වෙබ් පිටුවලට යාමට නොහැකියි. දරුවාගේ පරිඝණකයේ මොනිටරය (ලැප් ටොප් එකක් නම් තිරය) ඔබට පෙ‍ෙණන අයුරින් තබා ගන්නට උපෙදස් දෙන්න. හදිසි පරීක්‍ෂා සිදු කර, ඔවුන් භාවිතා කරන වෙබ්පිටු මොනවාදැයි ඉඳහිට බැලීමෙන් නරකක් වන්නේ නැහැ. දරුවන්ට අන්තර්ජාලයෙන් චැට් කිරීම හෝ ස්කයිප් වැනි භාවිත අවම කරන්න. ඔබේ දරුවා අන්තර්ජාලය හරහා කතා කරන පුද්ගලයා කවුදැයි කිසිවෙක් නොදන්නවා වන්නට පුළුවනි. සමහරවිට නමගිය අපරාධකරුවකු වන්නට පුළුවනි. අන්තර්ජාලය යනු අනන්‍යතාවයක් නොමැති සමාජයක්, මේ නිසා ඔවුන්ව පරෙස්සම් කර ගත යුතුමයි.

ලෝකය තාක්‍ෂණයත් සමඟ සීඝ්‍ර ගමනක් යමින් සිටින මේ අවධියේ අපත් ඊට අනුගත විය යුතුමයි. නැතහොත් අපට ඉදිරි ගමනක් නැහැ. සුළු දේටත් වර්ජන කරමින් සිටින අපට ඇත්තෙන්ම ලෝකයෙන් කොන් වන්නටයි සිදු වන්නේ. එසේම තාක්‍ෂණය සමඟ ඉදිරියට යාමේදී තාක්‍ෂණය නිසාම අපට සිදුවිය හැකි අනවශ්‍ය අනතුරු දෙසටත් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සමඟම ඊට අදාල ආරක්‍ෂණ පිළිවත් ද අනුගමනය කරමින් තමන්ගේ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීම වැදගත් වෙනවා.

ඔබේ දුරකථනය නිසි ආරක්‍ෂිත ක්‍රියා මාර්ග භාවිතා කර සුරක්‍ෂිතව තබා ගන්න

ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම්, ඊ මේල්, ෆේස්බුක්, වැනි දෑවල මුරපද ඉතා සංකීර්ණව සකසා ගන්න – ඒ මුරපද කාලීනව වෙනස් කරන්න

ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම හැකිතාක් අඩු කරන්න, එසේ නොකරම බැරි අවස්ථාවක අවට සිටින්නවුන්ට එම තොරතුරු නොලැබෙන බවට සහතික කරගන්න.

ඔබේ බිල්පත්, රෝහල් බිල් සහ වෙනත් තොරතුරු, පෞද්ගලික විස්තර ලියා ඇති කඩදාසි නිසි ක්‍රමවේදයකට ඉරා විනාශ කරන්න.

ඔබේ ෆේස්බුක් පිටුවට උපරිම ආරක්‍ෂාවක් යොදන්න, ඔබේ පිටුව දැකිය හැක්කේ මිතුරු කවයේ සිටින අයට පමණක් සහ මිතුරු ආරාධනා එවීමට හැකි වන්නේ ඔබේ මිතුරන්ගේ මිතුරන් පමණක් වන සේ ආරක්‍ෂාව තර කරන්න. ඔබේ දරුවන්ගේ පින්තූර, පවුලේ පෞද්ගලික තොරතුරු ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල පළකිරීමේදී ඉතාමත්ම සැළකිලිමත් වන්න. ඔබේ දරුවන් පරිඝණක භාවිතා කරනවිට ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න, ඔබ ඔවුන්ගේ පරිඝණක ක්‍රියාකාරකම් පිළිබඳ අවදියෙන් සිටින බවට ඔවුන්ට හඟවන්න, එවිට ඔවුන් නිසි පාලනයක් ඇතිකර ගනීවි. එසේම දරුවන්ගේ පරිඝණකවලට වෙබ් දත්ත පෙරණයක් ඇතුලත් කරන්න. ලංකාවේ වැඩිපුරම සෙවුම් කර කප් ගසා ඇති වචන පෙරණයට ඇතුලත් කර ඒවා දරුවන්ට ලබාගත නොහැකි ආකාරයට ඔවුන්ගේ පරිඝණක සකස් කර දෙන්න.

අනවශ්‍ය පුද්ගලයින් සමග ක්‍ෂණික සයිබර් සබඳතා ගොඩනගා ගැනීමෙන් වලකින්න. සමාජය කෙරෙහි කිසියම් සුපරීක්‍ෂාකාරී හැඟීමකින් කටයුතු කරන්න.

පරිඝණක භාවිතයේදී තම තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන්න. නිවසේ වයිෆයි රවුටරයේ මුරපදය සංකීර්ණව සකසා ගන්න. සාමාන්‍ය හැකර්වරයෙකුට වුවත්, එයට ඇතුළු වී ඔබේ දත්ත සියල්ල සොරාගත හැකියි.

දුරකථනයට Truecaller වැනි ඇප් එකක් දමා ගැනීමෙන් ඔබ නොදන්නා දුරකථන අංකයකින් එන ඇමතුමක් වුවත් හඳුනාගැනීම කළ හැකියි. එසේම එමගින් ඔබේ තොරතුරු ද අන්තර්ජාලයට මුදාහැරෙන බව අමතක කරන්න එපා.

මේ සියළුම උපක්‍රම කළත්, ඔබ සාමාන්‍ය බුද්ධියකින් කටයුතු නොකරන්නේ නම්, ඔබ අන්තර්ජාල අනතුරුවලට භාජනය විය හැකියි. මේ නිසා සමාජය සහ තාක්‍ෂණය පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිතව, ආරක්‍ෂාවෙන් ක්‍රියා කරන්න. ලෝකය වෙනස්වන වේගයට අනුව ඔබට ඉදිරියේදී ජාලගතවීමෙන් මිදිය නොහැකියි. ඔබ කැමති වුවත් නැතත්, ඔබේ සියළුම තොරතුරු අන්තර්ජාලයේ ගබඩා වෙනවා. ඒවා නිසි පරිදි ආරක්‍ෂාකර ගැනීම සහ කළමණාකරණය කර ගැනීම ඔබගේ වගකීමක්.

ජාලය නිසිපරිදි පාවිච්චි කර ජීවිතය ජංජාලයක් බවට පත්වන කරුණු වලින් ඈත් වන්න..

රිවිර ලිපිය

http://www.rivira.lk/online/2017/08/19/122902

 

 

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 23, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. දැන් දැන් දුරකථනය මුදල් පසුම්බියටත් වඩා ආරක්‍ෂාකාරීව තබාගතයුත්තක් බවට පත් වී හමාරයි. /////////////// athha

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: