Daily Archives: අගෝස්තු 25, 2017

අළුත් අළුත් දෑ බෙදාගන්න – Pinterest එකේ පින් කරන්න.


 

pinterest Main

අපේ ජංගම දුරකථන දැන් ඇමතුම් ලබා ගන්න සීමා වෙලා නැහැ. ඇත්තෙන්ම වෙලඳපොලේ ජංගම දුරකථන වෙළඳ දැන්වීම් සළකා බැලුවොත් ඒවායෙහි දුරකථන ඇමතුම් තත්ත්‍වය හෝ ඇමතුම් පිළිබඳ කිසිම විස්තරයක් සඳහන් වන්නේවත් නැහැ. එක්කෝ කැමරාවෙහි ඇති ප්‍රබලතාවය නැතිනම් ජංගම දුරකථනයේ අභ්‍යන්තර දත්ත ගබඩාවෙහි ප්‍රමාණය, තිරයෙහි තීවෘතාවය හෝ වර්ණ සංකලණය ආදී විවිධාකාර උපයෝගීතා පිළිබඳව තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. මේ නිසාම ජංගම දුරකථනයේ මූලික අවශ්‍යතාවය වන ඇමතුම් ලබාගැනීම අමතකම වෙලා ගිහින්.

ජංගම දුරකථනවල පරිණාමයත් සමගම එවා ස්මාට් ජංගම දුරකථන බවට පරිවර්තනය වූ විට එකතු වූ අළුත්ම උපාංග වන්නේ විවිධාකාර ඇප් වර්ගයි. මේවා අතර ඇපල්  සහ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙයුම් පද්ධති සමගම එනවා වගේම විවිධාකාර සමාගම් සහ පුද්ගලයන් විසින් සකසා විකුණන ඇප් වර්ගද තිබෙනවා. එකම කටයුත්ත සඳහා විවිධාකාර ඇප් වර්ග තිබෙන අතරේ, තමන්ට හරියටම හරියන ඇප් එක කුමක්දැයි තෝරාගැනීමත් අපහසු කටයුත්තක් වෙලා තිබෙනවා.

අපි අළුතෙන් යමක් කිරීමට උත්සාහ කරනවිට ඒ දේම, හෝ ඊට සමාන දෙයක් වෙනත් කෙනෙකු කර ඇත්දැයි බැලීම සාමාන්‍යෙයන් සිදු කරන කාර්යයක්. එසේ නොකළහොත් අපි බොහෝවිට කාළය කා දැමීමක් හෝ අනවශ්‍ය ලෙස මහන්සිවීමක් කරනවා. මෙවැනි විවිධාකාර ව්‍යාපෘති සිදු කරන සහ කළ අයගේ එකතුවක් තමයි Pinterest මගින් එළිදැක්වෙන්නෙ. මේ ඇප් එක ජංගම දුරකථන මෙන්ම අන්තර්ජාලය හරහා ද ලබා ගත හැකියි. වෙනත් බොහෝ ඇප් මෙන්ම මෙයටද ඔබ සාමාජිකත්‍වය ලබා ගත යුතුයි. එය එක්කෝ gmail නැතහොත් ෆේස්බුක් හරහා ලබාගත හැකියි. මෙහි විවිධාකාර වර්ගීකරණයන් තිබෙනවා. කලාව, විද්‍යාව හා තාක්‍ෂණය, නිවාස සැලසුම්, විවාහ උත්සව සඳහා නිර්මාණ අදහස්, තනිව කළ හැකි ව්‍යාපෘති ආදී අවශ්‍ය ඕනෑම ප්‍රවර්ගයකින් ඔබට අදහස් ලබා ගත හැකියි.

මෙහි වඩාත්ම විශේෂිත වන්නේ නවීන විලාසිතා උපයෝගී කරගෙන එකතු වන සැලසුම් සහ විද්‍යාත්මක අදහස් බෙදා හදාගැනීමේ නිර්මාණයි. දැන් දැන් මේ ඇප් එක වෙළඳ ව්‍යාපාර සඳහා පවා භාවිතා කරනවා. උදාහරණයක් ලෙස ඔබ යමක් නිෂ්පාදනය කර විකිණීමක් කරන කෙනෙක් නම්, ඔබේ නිෂ්පාදනවල පින්තූර සහ විස්තර Pinterest වෙත එකතු කළ හැකියි. එවිට එය පරිශීලනය කරන කෙනෙකුට ඉතාම ඉක්මනින් ඒ විස්තර ලබාගෙන ඔබේ ව්‍යාපාරය වෙතින් විමසීමක් කළ හැකියි. ඔබ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු නම්, ඔබේ නිර්මාණ ඒ වෙතට එක් කිරීමෙන් ඔබ සතුව ඇති නිර්මාණ වලට වැඩි වටිනාකමක් මෙන්ම ඔබටම කියා ප්‍රේක්‍ෂක සමූහයක් ගොඩනගාගත හැකියි. 2012 වනවිට මෙය ෆේස්බුක් සහ ට්විටර් පවා අභිබවා ව්‍යාපාර ප්‍රචලිත කිරීමට යොදාගෙන තිබුණා. මෙහි ඇති වාසිය නම් පාරිභෝගිකයාට දැනෙන ආකාරයට නිර්මාණාත්මකව තොරතුරු ලබා දීමට ඇති හැකියාවයි.

Pinterest ප්‍රධාන විධායක නිලධාරී බෙන් සිල්බර්මන් පවසන ආකාරයට එය අදහස් නාමාවලියක් (Idea Catalogue). ඇත්තෙන්ම එය බොහෝ දෙනෙකුගේ දායකත්‍වෙයන් තැනුන පුස්තකාලයක් වගේ. ඔබට අවශ්‍ය බොහෝ දේවල් එයින් සොයා ගන්නට පුළුවනි. මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති දෙකේම භාවිතා කළ හැකි ඇප් එකක්. භාවිතා කරන්නන්ට මෙහි තොරතුරු ගබඩා කිරීම, බෙදා ගැනීම, තමන්ට අවශ්‍ය තොරතුරු බාගත කිරීම සහ සළකුණු කර තබා ගැනීම කළ හැකියි. මෙය බිත්තියක සැකසූ ලෑල්ලක ඇණ හෝ කටු ගසා යමක් රඳවනවා හා සමාන නිසා එම සළකුණු කිරීමට Pin කරනවා යැයි පවසනවා.

ෆේස්බුක් සහ ට්විටර් අඩවි මෙන්ම මෙහි සාමාජිකයන්ගේ දත්ත වෙනත් වෙළඳ ආයතනවලට ලබා දීමට මෙය කටයුතු කරන නිසා ඔබේ පෞද්ගලික තොරතුරු සුරක්‍ෂිත නැහැ. නමුත් මේ තොරතුරු ඔබ දැනටමත් ඉහත වෙබ් අඩවි වෙත ලබා දී ඇත්නම් ඒ ගැන ඔබ පසුතැවිලි විය යුතු නැහැ. අනෙකුත් වෙබ් අඩවි මෙන්ම ඔබ සොයන තොරතුරු අනුව ඔබට විවිධාකාර ඉඟි ලබා දෙන්න Pinterest කටයුතු යොදා තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධ දෑ වැඩි වැඩියෙන් සොයන්නෙක් නම්, ඔබේ ඊමේල් ලිපිනය වෙත එවැනි ඉඟි ලැබෙන්නට පටන් ගනීවි. එය එක් අතකට උදව්වක් මෙන්ම තවත් අතකට කරදරයක්, මක් නිසාද යත්, එවැනි ඉඟි හරහා ඔබ Pinterest හි ගත කරන කාලය වැඩි වන නිසා නොදැනීම ඔබ ඒ වෙතට ඇබ්බැහි වෙනවා.

වෙනත් අන්තර්ජාල සේවා මෙන්ම මෙහිද සත්‍ය තොරතුරු සහ අසත්‍ය තොරතුරු යන දෙවර්ගයම ඇතුලත්. මේ නිසා නිසි තොරතුර ලබාගෙන ඔබේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමයි වඩා වැදගත්. විශේෂයෙන්ම තනිව සිදු කරන ව්‍යාපෘතිවලට මෙමගින් සෑහෙන උදව්වක් ලබෙනවා. එමගින් ලබා ගන්නා විවිධ තොරතුරු උපයෝගී කරගෙන ඔබටම අනන්‍ය යම් කළ හැකියි. මෙය ඉතා සරළ ඔබටම ඉගෙන ගත හැකි ඇප් එකක්, විවිධාකාර උපයෝගීතා බොහොමයි… ඇබ්බැහි වුනොත් දැනුම ලැබෙනවාට වඩා අමතරව සිදු වන එකම දේ ඔබේ දුරකථනයේ ඩේටා වැඩිපුර වැයවීමයි.

 

%d bloggers like this: