Monthly Archives: සැප්තැම්බර් 2017
අනාගතයේ දත්ත ලෝකය පාලනය කරන දෙවියා….. Facebook නිර්මාතෘ Mark Zuckerberg
මේ ලිපිය කියවන ඔබ සියවසේ පරපුරට අයත් නම් අනිවාර්යයෙන්ම Facebook සාමාජිකයෙක් වන්නට පුළුවනි. එසේ නොමැති අයෙක් සොයාගැනීම තරමක් අසීරු කාර්යයක්. Facebook සාමාජිකත්වය නොලබා සිටින්නකු එසේ නොවන්නේ යැයි ඉතා දැඩි ස්ථාවරයක සිටින අයෙක් හෝ, ස්මාට් ජංගම දුරකථනයක හිමිකරුවකු හෝ නොවිය හැකි අයෙකුයි. තවත් සමහරවිට ඒ පුද්ගලයා සමාජය සමග සබඳතා අනවශ්‍ය යැයි සිතන පුද්ගලයෙකු විය හැකියි. ඒ අය හැරුණුකොට, සමාජයේ විවිධ තලවල, විවිධ වෘතීන්වල, සහ විවිධ වයස් මට්ටම්වල සෑම දෙනෙකුම පාහේ Facebook හි සාමාජිකත්වය ලබා සිටිනවා.
එයින්ම ඔබට පෙනෙනවා ඇති 2004 පෙබරවාරි 04 දින ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේදී එලිදැක්වුන, ලෝකය වෙනතකට ගමන් කරවන Facebook නම් සමාජ ජාල වෙබ් අඩවිය ලෝකවාසී මිනිසුන්ගේ සිත් සතන්, ජීවන රටාව, සිතුවිලි රටාවට කළ සුසමාදර්ශීය වෙනස. The Facebook යනු ඇමරිකානු සරසවිවල සිසුන්ගේ පින්තූර එකතු කොට සැකසුන නාමාවලියක්. හාවඩ් හි දෙවන වසර සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් මුලින්ම Facemash නම් වෙබ් අඩවිය නිර්මාණය කළේ එකළ තිබූ Hot or Not නම් වෙබ් අඩවියට සමාන කරමින්. මෙහිදී සිදු කළේ හාවඩ් වෙබ් ජාලයේ තිබූ සිසුන්ගේ පින්තූර තෝරාගෙන දෙදෙනෙකුගේ පින්තූර දෙකක් සසඳා දෙදෙනාගෙන් කවුරු වඩා සරාගී ද යන්න තේරීමයි. ප්‍රසිද්ධ කර මුල් පැය 4 ඇතුළත, Facemash වෙබ් අඩවිය 450 ක් නරඹා තිබු අතර එහි වූ ඡායාරූප 22,000 වතාවක් පරිශීලනය කර තිබුණා. මේ නිසාම ඔහුට හාවඩ් සරසවියෙන් දඬුවම් ලැබූයේ වෙබ් ජාලයේ ආරක්ෂක උපක්‍රම අවදානමට ලක් කිරීම නිසා. පසුව ඔහු එම ව්‍යාපෘතිය කලාවේ ඉතිහාසය යන විෂයානුබද්ධ ව්‍යාපෘතියක් ලෙස සකසා ඉදිරිපත් කළා. එහිදී විවිධ කලාකෘතිවල පින්තූර වෙබ් අඩවියකට ඇතුලත් කර ඒවාට Comment කිරීමේ පහසුකම ඇති කළා. එය ඉතා ඉක්මනින්ම සිසුන් අතර ප්‍රචලිත වුනා.
අනෙක් සෑම නව නිර්මාණයකටම වාගේ මෙයටත් ප්‍රශ්න නොතිබුණා නොවෙයි. මෙය එළිදක්වා දින හයකට පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේම Cameron Winklevoss, Tyler Winklevoss, සහ Divya Narendra තිදෙනා සකර්බර්ග්ට විරුද්ධව පැමිණිලි කළේ ඔවුන්ව රවටා ඔවුන්ගේ දැනුම ලබාගෙන HarvardConnection.com නම් වෙබ් අඩවියට තරඟකාරී වෙබ් අඩවියක් නිර්මාණය කලාය පවසමින්. කෙසේ හෝ මේ පැමිණිල්ල 2008 නඩු මාර්ගයට ගොස් 2012 දී කොටස් වෙළඳපොලේ ඩොලර් මිලියන 300 ක් වටිනා කොටස් ප්‍රමාණයක් ඔවුනට ලබාදීමට එකඟවීමෙන් සමථයකට පත් කෙරුණා.
මුලින් සරසවි සිසුන්ට පමණක් විවෘතව ක්‍රම ක්‍රමයෙන් වැඩුණු Facebook වෙබ් අඩවිය 2006 සැප්තැම්බර් 26 වන දින අවුරුදු 13 ට ඉහළ සාමාන්‍ය ජනතාවට සාමාජිකත්වය ලැබිය හැකි වන සේ විවෘත වූ අතර 2007 අග භාගය වන විට ව්‍යාපාරික ප්‍රජාව අතරද බෙහෙවින් ජනප්‍රිය වුනා. ඒ අනුව ඒ කාළය වන විට ව්‍යාපාරික පිටු 100,000 ඉක්මවා එකතු වූවා. එපමණක් නොවෙයි, ව්‍යාපාරික දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සමාගම පවා Facebook හි ආයෝජනයට එකතු වුණා. 2007 ඔක්තෝබර් වන විට Facebook හි පූර්ණ වටිනාකමින් 1.6% ක කොටස් ඩොලර් මිලියන 240 ක් මුදලක් ලබා දී මයික්‍රොසොෆ්ට් සමාගම මිලදී ගත්තේ ෆේස්බුක්හි මුළු වටිනාකම ඩොලර් බිලියන 15 ක් බවට ඉහළ නංවමින්. මේ සමගම අන්තර්ජාතිකව වෙළඳ දැන්වීම් Facebook හි පල කිරීමේ අයිතියත් ඔවුනට ලැබුණා.
2008 දී සිය ජාත්‍යන්තර මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින් හි පිහිටවූ Facebook ආයතනය 2009 වන විට ලාභ ලබන තත්ත්වයට පත් වූයේ වඩාත්ම වැඩිපුර පරිශීලනය වන සමාජ වෙබ් අඩවිය ලෙස කිරුළු පලඳමින්. 2010 වනවිට මිලියන 500 ක සාමාජිකත්වයක් ඇතිකරගත් මෙය සත්තකින්ම නිහඬ විප්ලවයක් කළායැයි පැවසුවහොත් එය අසත්‍යයක් නොවන්නේ ලොව පුරා විවිධ අවස්ථාවන්හිදී රාජ්‍යබලය පවා මේ මගින් සෙලවුන නිසා.
2010 නොවැම්බර් වන විට ඇමරිකාවේ තුන්වන විශාලතම සමාගම බවට පත් වන්නට Facebook ආයතනයට හැකි වුවේ එහි අගය ඩොලර් බිලියන 41 ක් බවට පත් කරගනිමින් ඒ වනවිට ඉහළින්ම වැජඹුනේ ගූගල් සහ ඇමසොන් සමාගම් දෙකයි. 2011 වසර වනවිට ඇමරිකාවේ වැඩියෙන්ම පරිශීලනය කරන වෙබ් අඩවිය බවට Facebook පත් වූයේ මසකට ට්‍රිලියනයක වෙබ්ගත වීම් සනිටුහන් කරමින්.
Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසා ඔහු Facebook අඩවිය නිල්පැහැයෙන් වර්ණ ගැන්වුවා. එය ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටි දෙයක්. විවිධාකාර එළිදැක්වීම් සමගින් වැඩිදියුණු වූ වෙබ් අඩවිය, පස් වසරකට පසු Like බොත්තම හඳුන්වාදුන් පසු සාමාජිකයන්ගේ අන්තර් සබඳතා වැඩිවුනා. පින්තූරයකට හෝ සටහනකට Like දැමීම මගින් එහි වටිනාකම සහ ආකර්ෂණය වැඩි කර ගන්නට බොහෝ දෙනා සමත්වූ අතර විවිධ පිටු එලිදැක්වූ සාමාජිකයින් සිය ජනප්‍රියත්වය Like වලින් මනින්නට වුනා. ලංකාවේද සමහර පිටු Like හිඟාකන්නේ සිය වෙබ්පිටුව පරිශීලනය කරන පිරිස වැඩිකරගැනීමට. මෙසේ පරිශීලකයන් වැඩිවන විට එම පිටුවලට එකතු වන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වැඩි වනවා. Facebookහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය හරහා ලැබෙන ආදායමයි. මේ සඳහා විවිධ සමාගම් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත් පරිඝණක ක්‍රමලේඛ උපයෝගී කරගෙන එක් එක් වයස් කාණ්ඩ සහ එකිනෙකාගේ රුචිකත්වය මත පදනම් වූ වෙළඳ දැන්වීම් ඒ අයගේ Facebook පිටුවල පළ කරනු ලබනවා. කෙසේ වුවත් වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩු සාර්ථකත්වයක් තමයි Facebook හි පළ කරන දැන්වීම් වල තිබෙන්නේ. එනම් වෙළඳ දැන්වීම් වෙත ගොස් Click කිරීමේ ප්‍රතිශතය වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩුයි. 2015 පෙබරවාරි වන විට Facebook හි සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගියා. මෙයින් වඩාත්ම වැඩි ප්‍රමාණයක් දැන්වීම් ලැබුණේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන්. එය කෙතරම් ඉක්මනින් වැඩිවූයේද කියනවා නම් 2016 මාර්තු වනවිට මිලියන තුනක සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාවක් Facebook සමඟ රැඳී සිටියා. ඔවුන්ගෙන් 70% ක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත ව්‍යාපාරිකයන් වීමත් විශේෂත්වයක්.
Facebook හි මුහුණත එය වුවත්, ඒ හා සබැඳි ව්‍යාපාර කිහිපයක් තිබෙනවා. Whatsapp, Instagram, Messenger, සහ Oculus VR නම් Virtual Reality සමාගමක් ද මේ හා එකතුව තිබෙනවා.
දිනෙන් දින Facebook ආයතනය නව ප්රවණතා ලෝකයට හඳුන්වා දෙනවා. මෑතකදී එක් වූ Like බොත්තම සහ එහි දිගුවක් වන විවිධ හැඟීම් දනවන ඉමෝජී නිසා සාමාජිකයන්ට Like එකක් වෙනුවට ආදරය, සිනහව, විශ්මය, දුක සහ තරහ යන හැඟීම් දැක්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙයට අමතරව දැන් දැන් Facebook ආයතනය සිය කටයුතු වලට කෘත්‍රීම බුද්ධිය එකතු කරගන්නා අවස්ථාවත් පැමිණිලා තිබෙනවා. මෙයට සමගාමීව ඔවුන් ස්වයංක්‍රීයව පාලනය වන රොබෝ ක්‍රමලේඛ හඳුන්වා දුන්නේ සති කිහිපයකට පෙර. නමුත් ඔවුන් නොසිතූ විරූ අත්දැකීමකට ලෝකයම මුහුණ දුන්නේ මේ ස්වයංක්‍රීය රොබෝ ක්‍රමලේඛ විසින් ඔවුන්ට දෙනු ලබන විධාන පසෙක ලා, ඔවුන්ටම ආවේණික භාෂාවකින් සන්නිවේදනය ඇරඹීමත් සමගයි. එවිටයි ලෝකයටම වැටහුනේ, කෘත්‍රීම බුද්ධිය ඇත්තෙන්ම භයානක බව. මේ සිද්ධියත් සමගම ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් විසින් ලොවටම අනතුරු හැඟවීමක් කළා. එසේම Facebook විසින් මෙය ඉදිරිපත් කිරීමත් නිර්දය ලෙස විවේචනය කළා. මේ නිසාම ඉලොන් මස්ක් සහ මාක් සකර්බර්ග් අතර දැඩි අදහස් හුවමාරුවක්ද සිදු වුනා. කෙසේ වෙතත් Facebook ඉංජිනේරුවන් විසින් නව ක්‍රමලේඛයක් රොබෝ ක්‍රමලේඛ වෙත හඳුන්වා දී ස්වයං සන්නිවේදන හැකියාව අවසන් කළා. නමුත් මෙය භයානක තත්ත්වයක්. කවදා හෝ අනාගතයේදී කවුරුන්හෝ රොබෝ හමුදාවක් වුනත් තනන්නට හැකි බව මෙයින් ඔප්පු වුනා.
මෙපමණක් නොවෙයි, ආරංචියේ හැටියට කිසියම් කෙනෙකුගේ චිත්ත රටාවන් පවා හඳුනාගත හැකි වන ආකාරයේ කෘත්‍රීම බුද්ධිය සහිත ක්‍රමලේඛ Facebook විසින් සකසා අවසන්. සරළම උදාහරණය වන්නේ ඔබට ලැබෙන මිතුරු යෝජනා (Friend Requests). ඔබේ පරිඝණකයේ ඇති ඊමේල් ලිපිනයන් සහ නිතර නිතර ලිපි හුවමාරු වන අයගේ Facebook පිටු ඔබ වෙත ගෙනහැරපෑම, යම් යම් වෙලඳ දැන්වීම් ඔබ වෙත වැඩියෙන් ගෙන ඒම දක්වන්නට පුළුවන්. නමුත් වඩාත්ම ප්‍රබල උදාහරණයක් ලෙස සැලනේනේ ඉදිරියේදී පැමිණීමට නියමිත මෙවැනි ක්‍රමලේඛයි. ඔබ නිතර නිතර දුක්වන බව සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ඇති පුවත්, පෝස්ට්, ආදිය පළ කරන්නේ නම්, ඒ බව Facebook හි කෘත්‍රීම බුද්ධිය විසින් හඳුනාගෙන ඔබේ ආදරණීයයන්ට දන්වන්නට පුළුවනි. එවිට ඔවුන් ක්‍රියාකාරී වී ඔබ ඒ තත්ත්වයෙන් මුදවා ගන්නට හැකි වේවි.
Facebook හුදෙක් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නක් පමණක්ම නොවෙයි. එය රටක හෘද ස්පන්දනය වෙනස් කිරීමට සමත්. Facebook විප්ලව යනුවෙන් හඳුන්වන්නේ ඒවා. රටේ තරුණ පරම්පරාව නිතරම Facebook සමගම සිටින නිසා, ඔවුන්ට කිසියම් පණිවුඩයක් යැවීම සහ ඔවුන් ක්‍රියකාරී කර ගැනීම මේ හරහා කරගත හැකියි. බොහෝ දේශපාලන ව්‍යාපාරවලට දැන් දැන් Facebook යොදා ගන්නේ එහි ඇති මේ ප්‍රබලතාවය නිසයි.
Facebook හි ප්‍රධාන විධායක සහ සභාපති මාක් සකර්බර්ග් (Mark Zuckerberg ) වන අතර ශෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg ) ප්‍රධාන මෙහෙයුම් නිළධාරිණිය වශයෙන් කටයුතු කරනවා. ඩේවිඩ් වෙනර් (David Wehner ) ප්‍රධාන මූල්‍ය විධායකද, මයික් ශ්රෝෆර් (Mike Schroepfer ) විසින් ප්‍රධාන තාක්ෂණික විධායක කටයුත්ත මෙහෙයවනවා. 2017 ජුනි මස 30 වනදා වනවිට Facebook හි සේවය කරන සේවක සංඛ්‍යාව 20,658 ක්.
Facebook හි ප්‍රධානතම ශක්තිය වන්නේ එය සතු දත්ත ගබඩාවයි. ලෝකයේ බිලියන දෙකක ජනතාවකගේ පෞද්ගලික විස්තර, පින්තූර, පවුල් දත්ත ආදී සියල්ල මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම් පවා හොඳින් දන්නා මේ සමාගම ඉදිරියේදී අප සියළුම දෙනා බොහොම හොඳින් පාලනය කරන්නට පටන් ගනීවි. අප බොහෝ දෙනෙකු අවම වශයෙන් දවසකට පැයක්වත් Facebook හි ගත කරනවා. මේ කාළය ඇතුලත අපේ සිත් සතන් වෙනස් වන අවස්ථා බොහොමයි. බොහොමයක් ආදර සම්බන්ධතා ඇරඹෙන්නෙත්, අවසන් වන්නෙත් Facebook එකෙන්. වෙනකක් තියා යෝජිත විවාහයදී කේන්දර ගලපන්නටත් පෙර දෙපාර්ශවය අහන්නේ මනාලයාගේ හෝ මනාලියගේ Facebook ප්‍රොෆයිල් එකේ ලිපිනයයි.. එසේමයි, බොහෝ රටවල රැකියාවකට තෝරාගැනීමේදී අදාල පුද්ගලයාගේ Facebook පිටුව හොඳින් පරීක්ෂා කර බලනවා. ඒ ඔවුන් සිය සමාගමට ගැලපෙන ආකාරයේ පුද්ගලයින්ද කියා සොයා ගැනීමට. එමෙන්ම සිය Facebook පිටුවේ පළකළ දෑ නිසා රැකියාව අහිමි වූ බොහෝ දෙනෙකු ලොව සිටිනවා. ලංකාවේ නම් තවමත් ඒ තත්ත්වය නැහැ. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය ඇතිවීමට පුළුවනි.
ඇමරිකානු වීසා අයදුම්පතේ දැන් ඔබට අයදුම් කිරීමේදී වසර පහක් තුළ භාවිතා කළ සියළුම Facebook ප්‍රොෆයිලවල ලිපිනයන් සඳහන් කිරීමට සිදු වනවා. මේ මගින් ඔබේ හැසිරීම, කල්ක්‍රියාව, දේශපාලනික සහ සමාජයීය අදහස් සියල්ල පරීක්ෂාකර බැලෙනවා. ඒ නිසා ඔබ ඇමරිකාවට යාමට අදහසක් තිබේ නම් ඔබේ Facebook කල්ක්‍රියාව හොඳින් තිබිය යුතු වෙනවා. මේ තත්ත්වය අනෙකුත් දෑ වලටත් එකතු වන දිනය වැඩි කල් නැහැ.
Facebook නිසාම එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර පස්වන ස්ථානයේ වැජඹෙන්නේ ඩොලර් බිලියන 71.5 ක් සතු කරගෙන. නමුත් ඔහු නිල වශයෙන් වේතනය වශයෙන් ලබා ගන්නේ මසකට ඩොලර් එකක් පමණයි. ඒ වගේමයි ඔහු සහ ඔහුගේ බිරිය ප්රසිලා සකර්බර්ග් විසින් බොහෝ පුණ්‍යකටයුතු සිදු කරනවා. ඔවුන් සිය Facebook කොටස් අයිතියෙන් සියයට 99ක් සිය පුණ්‍යායතනය වෙත ප්රදානය කරන බවට පොරොන්දු වී තිබෙනවා. එනම් ඩොලර් බිලියන 43 ක මුදලක්. මේ නිසාම මාක් සකර්බර්ග් ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. සිය පෞරුෂත්වය මෙන්ම ධනවත්කමින් ආඪ්‍ය වුවත්, ඔහු බොහොම සරළ පුද්ගලයෙක්, වෙනකක් තබා සිය ඇඳුම් පැළඳුම් පවා එකම වර්ණයකින් තබා ගන්නේ කාළය ඉතිරි කිරීමට ඉතා සරළව සහ පහසුව තෝරා ගැනීමට හැකි වන ආකාරයෙන් බවයි ඔහුම පවසන්නෙ. ඔහුගේ ජීවිත කතාව සහ මෙතෙක් පැමිණි ගමන තරුණ පරපුරට පූර්වාදර්ශයක්. Facebook ආයතනය ගොඩනැඟීම සහ පැවැත්ම පිළිබඳ කතාව චිත්‍රපටයකටත් නැංවුනා…
මේ නිසා Facebook දත්ත ලෝකයට හරි වැදගත්, ඉදිරියේදී ලෝකයේ සියල්ල දත්ත මත පාලනය වන නිසා දත්ත ලෝකයේ දෙවියා වන Facebook දෙවියාගේ බලපරාක්‍රමය ඉතා ඉහළ නැංවෙනවා. මේ නිසා Facebook දේවාලයේ මනා ලෙස හැසිරෙන එක කාගෙ කාගෙත්
පිටස්තරයා – 07
කොහොමද වොෂිංටන් නගරය ඔබට ?
ආයතනය වටා රැාගන යන අතරතුරදී ස්ටෙෆනී විශ්වගෙන් විමසුවාය..
නරකම නෑ… මම මීට ඉස්සෙල්ලත් මෙහාට ඇවිත් තිබෙනවා… උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා… ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයටත් ආවානෙ…. නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන වෙනස් වෙලා… ඒත් පැරණි ගතිය නම් එහෙමමයි.
ඇවිදින්න ගියේ නැද්ද කොහෙවත්,…..
තවම නෑ.. මම තවම මගේ අපාට්මන්ට් එක අස් කරනවා…. බඩු ටික ආවෙ දැනට දවස් දෙකකට පමණ ඉස්සර… ඒ ඔක්කොම අස්පස් කරලා පිළිවෙලකට තියන්න ටික දවසක් යනවා…
ඇය කෙතරම් දොඩමළු වුවත්, කැලිෆෝනියා කෙල්ලන්ට වඩා ආචාරශීලී ගතියක් ඇගෙන් පිළිබිඹු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොනවද ළමයි දෙන්නා හොයා ගත්තෙ ? ජනරාල් වෙලිංටන්ගේ සුපුරුදු උපහාසාත්මක ස්වරය අභිමුව ඒජන්ත මාක් සහ ජේසන් දෙදෙනාට පොළව පලාගෙන යන්නට සිතුනි….
මෙච්චර කරලත් මූ අපට කතා කරන හැටි……
තමා ඒ ටික කියුවා නම් සමහර විට කොහේ නතර වේ දැයි තමාටවත් හිතාගත නොහැකි වනු බව මාක් ට සිතුනි.
අපි එයගෙ තාප ඡායාරූපයත් විශ්ලේෂණය කරලයි ආවෙ…. ජනරාල්තුමනි, අපි ඉස්සරවෙලා මේ වීඩියෝ එක බලලා ඉඳිමුද ?
පරිඝණක තිරය දෙස බලා සිටින ජනරාල් වෙලිංටන්ගේ දෑස් ක්‍රම ක්‍රමයෙන් විශාලවනු ඒජන්තවරු දෙදෙනාටම පෙණුනි… දෙදෙනාගේම මුහුණුවල මඟ සිනා රැල්ලක් පහළ වූ නමුත් ජනරාල්ගේ හඬින් ඒ සියල්ල සැණෙකින් මැකී ගියේය.
මේක කොහොමද මෙහෙම වෙන්නෙ කියලා මට විස්තර කරනවද කවුරුහරි…
තාප ඡායාරූප දැකලා තිබුණත් මේ වගේ ක්ෂණික වෙනස්වීමක් පෙන්වන රූපයක් දැක්කෙ අදමයි… මිනිහෙක් මැරුණත් ඇඟේ උෂ්ණත්වය මෙච්චර ඉක්මනට පහළ වැටෙන්නෙ නෑ… පැය ගණනාවක් යනකල්…. කොහොමද මෙහෙම වෙන්නෙ ?
ඇත්තෙන්ම ජනරාල් තුමනි අපටත් ඒක ලොකු ප්‍රශ්නයක් වුනා… අපි දෙන්නටම තේරුම් ගන්න බැරි වුනා මේකෙ මොකද වෙන්නෙ කියලා. ඒක නිසාම තමයි අපි ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජෝසප් මන්සන් ගෙන් මේ ඡායාරූපයට අදාල විශ්ලේෂණය කර ගත්තෙ..
ඔහුට අනුව මේක සිද්ධ වෙන්න පුළුවන් එක විදියක් වන්නෙ මේ පුද්ගලයා නාන කාමරයේදී අධික උණු ජලය ස්නානය කිරීමක් කර තිබෙනවා. ඒ නිසා තමයි මේ සම සහ සම අවට පමණක් අධික උෂ්ණත්වයක් පෙන්නුම් කරන්නෙ…. ඒ වගේම මෙයා නාලා අවසන් වෙලා බොහොම ඉක්මනින් නින්දට ගියා… අන්න ඒ අවස්ථාවෙදි ශරීර උෂ්ණත්වය නැවතත් සමතුලිතතාවයට පැමිණෙද්දි තරමක් අඩු වෙලා නැවත සාමාන්‍ය තත්ත්වයට එන්න ඇති…
ඉතිං කෝ ඒ කොටස ? මෙතැන තියෙන්නෙ ෆැරන්හයිට් 80 කට පහළ බහිනවා විතරයි…
ඇත්තෙන්ම ජනරාල් තුමනි…
තමුසෙලට මේ වගේ වැඩක් වත් හරියට ඉවර කර ගන්න බැරිද ? කවදද FBI එකෙන් හරියට යමක් කරවගන්න පුළුවන් ? තමුසෙලා දෙන්නා මේ මිනිහා නිදා ගන්නකං වීඩියෝ කරලා ආවා… ඒ වෙලාවෙ හිතන්න මොළයක් තිබුණෙ නැද්ද මේ උෂ්ණත්වය අඩු වෙච්ච මිනිහට වෙන්නෙ මොකද්ද කියලා…
තමන් නැවත වතාවක් පැරණි ලේබලය නලලේම ගසා ගත් බව දෙදෙනාටම වැටහුන නමුත් තරහින් ගුගුරන ජනරාල් වෙලිංටන් හට තවත් වචනයක් හෝ පැවසීම තමන්ටම වල කපා ගැනීමක් වන බව හොඳින්ම දන්නා දෙදෙනාම ජනරාල්ට ඇති තරම් කෑ ගසන්නට ඉඩ දී නිහඬව සිටියහ.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සේවයට ගිය මුල් දින කිහිපයේ විශ්වට තිබුණේ නව රසායනාගාරයේ පෙර සිදු කර තිබූ පර්යේෂණ වලට අදාල නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා කියවා අවබෝධයක් ලබා ගැනීමටය. බොහෝ දෑ තමන්ට හුරු පුරුදුව ඇති පර්යේෂණ නිසාත්, කියවූ බොහෝ දේ නිසි ලෙස මතක තබා ගැනීමේ හැකියාවක් තිබූ නිසාත් පළමු සතිය තුළ රසායනාගාරයේ සිදු කර තිබූ පර්යේෂණ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට විශ්වට හැකියාවක් ලැබුණි.
පර්යේෂණාගාරයේ සංයුතිය ගැහැණු දෙදෙනකු සහ පිරිමි හතර දෙනෙකු විය. සියළුම දෙනාට තම තමන්ගේ ව්‍යාපෘති ලබා දී තිබූ අතර තිදෙනා බැගින් වූ උප කණ්ඩායම් දෙකක් ද තනා තිබුණි. සෑම සතියකම බදාදා සවස තුනට පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තම තමන්ගේ පර්යේෂණවල ප්‍රගතිය කණ්ඩායම හමුවේ ඉදිරිපත් කළ යුතුව තිබුණි. මේ හමුවට ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් සහ ආචාර්ය නීල් ෆියු යන දෙදෙනා ද අනිවාර්යයෙන්ම සහභාගී වෙති. මේ නිසා සුළු වැරැද්දක් හෝ නොකර සියළුම කරුණු ඉතා තර්කාණුකූලව සහ පිළිවෙලකට ඉදිරිපත් කිරීමට සියළුම දෙනා වග බලාගෙන තිබුණි. එසේ වුවත්, අධික බුද්ධි මට්ටමක් ඇති මේ කාණ්ඩය සමඟ යමක් තර්ක කර ජය ගැනීම සිංහ කූඩුවකට රිංගා පණපිටින් ආපසු පැමිණීමක් මෙන් ඉතා අපහසු දෙයක් විය…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද මේ කවදාවත් නැතුව බාර් එකක හමු වෙන්න යොදා ගත්තෙ ?
අගනුවර ඇති අති සුඛෝපභෝගී සහ අතිශය පෞද්ගලික – සුවිශේෂී පැලැන්තියක් පමණක්ම සාමාජිකත්වය දරන සෙනෙටර්ස් ක්ලබ් සමාජ ශාලාවේ කොණක වූ මේසය මත, තමා බොමින් සිටි ඉස්තරම්ම විස්කි වීදුරුව තබමින් අද්මිරාල් බවර් සිය මිතුරු ජෙනරාල් වෙලිංටන්ගෙන් විමසුවේය.
කාලෙකින් ඉතිං අපි හමු වුනෙත් නැහැනෙ… ටෙලිෆෝන් එකෙන් කතා කරනවා ඇරෙන්න.. එක්කෝ ධවල මන්දිරයෙදි හමු වෙනවා, නැත්නම් ආරක්ෂක මණ්ඩලයෙදි හමු වෙනවා, ඒ ඇරෙන්න ඉතිං අපට කෝ විවේකයක්….
චාලි…. මම උඹව හොඳට දන්නවා මිත්‍රයා… මම උඹව දන්නෙ වෙස්ට් පොයින්ට් එකේ එකට පුහුණු වෙන කාලෙ ඉඳලා…. උඹට මාව තම්බන්න බෑ…. කමක් නෑ… බොහොම ස්තූතියි විස්කි එකට…. මොකද වෙන්නෙ ? ආයෙම ධවල මන්දිරයෙ කචල් එකක්ද ?
බිල් ක්ලින්ටන් පාලන සමයේ මොනිකා ලෙවින්ස්කි සමඟ වූ සම්බන්ධතාවය ප්‍රසිද්ධියට පත්වීම නිසා වොෂිංටනයේ රහස් සුරකින ඉහළ පැලැන්තියේ දඩ බල්ලන් වන ජෙනරාල් වෙලිංටන්, සී අයි ඒ සංවිධානයේ අධ්‍යක්ෂක, එෆ් බී අයි සංවිධානයේ ප්‍රධානියා මෙන්ම නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් බවර් ද නිරතුරු සිටින්නේ දැඩි අවධානයෙනි. බොහෝවිට එවැනි හෝඩුවාවන් සම්බන්ධව දුරකථනයෙන් හෝ කතා නොකරන්නේ තමන්ගේ ද දුරකථන සංවාද වලට සවන් දෙන්නන් කොහේ සිටීදැයි නිනවුවක් කිසිවෙකුටත් නොමැති නිසාය. එසේම රාජ්‍ය රහස් සුරැකීමට දිවිහිමියෙන් බැඳී සිටින මොවුහු, කිසිදු හේතුවක් නිසා ඒ බැඳීම කඩ කිරීමට මැලි වෙති. එසේ වුවත් දැන හෝ නොදැන පවත්වන අයථා සම්බන්ධතා නිසා සිය තනතුරු අහිමි වූ උසස් පුද්ගලයින් දෑතේ ඇඟිලි ගණනට වඩා වැඩි බව දන්නෝ දනිති. මේ නිසාම පවත්වන රහස් සාකච්ඡා මෙන්ම අන් පුද්ගලයින්ගේ සම්බන්ධතා හෝ රහස් පිළිබඳ සාකච්ඡා කිරීමේදී තාක්ෂණික මාධ්‍ය අවම කිරීමට මේ තත්ත්වයේ සිටින සියල්ලෝම වග බලා ගනිති.
එහෙම එකක් නම් ඉතිං බැරියැ… මේක එච්චර සීරියස් දෙයක් නෙවෙයි… නමුත් රික්ටත් අදාල නිසා තමයි මම මේකට ටිකක් අවධානය යොමු කළේ….
ඒ මොකද්ද ඒ…
මතකද අර මට විස්තර හොයන්න කියලා බාර දීපු කොලු ගැටයා….
ඔව්… දැන් මිනිහා අපේ රසායනාගාරයෙ වැඩත් කරනවා… හොඳ මොළයක් තියෙන පාටයි… වැඩත් නරකම නැහැ.. මට නම් වැරැද්දක් කියන්න බැහැ මිනිහා ගැන…
ඉතින් මමත් විස්තර හෙව්වා…. ඒජන්ට්ලා දෙන්නෙකුත් දාලා පොඩි තොරතුරු ටිකක් හොයා ගත්තා…..
ඉතිං ඉතිං…. මොනවද ? වැදගත් යමක් තියෙනවද ?
තියෙනවා තියෙනවා… ඒක නිසාමයි මම ඔබව හමුවෙන්න යොදා ගත්තෙ….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අපි දවල්ට කෑමට එලියට යමුද ?
මෙගන් විශ්වගෙන් ඇසුවේ සියල්ලන්ම ඉදිරිපිටදී….
යමු… ඔක්කොම යනවනේ…… හැමදාම ගෙදරින්ම ගෙනත් කාලා මටත් ඇතිවෙලා…..
මෙගන්ගේ මුහුණ තරමක් අඳුරු වෙද්දී අනෙකුත් තරුණයින් ද හිස සැලුවේ තමන් ද විශ්වගේ ආරාධනය අනුමත කරන බව කියා පාමිනි…
පර්යේෂණාගාරයේ සය දෙනාම වොෂිංටනයේ වර්මොන්ට් මාවතේ පිහිටි ලින්කන් ආපන ශාලාව වෙත ගමන් කළේ කාර් දෙකකිනි. තරමක් මිල අධික බී එම් ඩබ්ලිව් රථයකට හිමිකම් කියන මෙගන් ෂුල්ට්ස් ඉහළ මධ්‍යම පාන්තික පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් ගණකාධිකාරීවරුන් වන ඇයගේ සහෝදරයින් දෙදෙනාම බැංකු නිලධාරීන් ය. මේ බී එම් ඩබ්ලිව් රථය ඇයගේ විසිපස්වන උපන් දිනයට සිය පවුලෙන් ලැබූ ත්‍යාගයකි. තිදෙනෙකු සහෝදර විද්‍යාඥ මයිකල්ගේ වාහනයට ගොඩ වෙද්දී විශ්වත් සිමෝනාත් මෙගන්ගේ වාහනයට නැගුනාහ.
ඔයා කොහේද නැවතිලා ඉන්නෙ ?
ගවනර්ස් කෝනර් එපාට්මන්ට්ස් වල….
එතැන ටිකක් ගණන් නේද ? ඉදිරිපස අසුන්ගෙන සිටි විශ්ව දෙස හැරී බලමින් මෙගන් ඇසුවාය….
ඔව්…. ටිකක් ගණන්… නමුත් බොහොම නිස්කලංකයි… පාරෙන් තරමක් ඈත තියෙන නිසා බොහොම සාමකාමියි….
පිටුපස අසුන්ගෙන සිටි සිමෝනා ද මේ සංවාදයට ඇහුම්කන් දීගෙන සිටියාය…. මෙගන් විශ්වගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ඇයට ද තේරුම් ගොස් තිබුණි… විශ්ව වැනි කඩවසම් තරුණයෙකු හට සිත ඇදී නොයන තනිකඩ තරුණියක් වේ දැයි ඇය ද සිතුවාය.. උසට සරිලන දේහ විලාශය මෙන්ම ඔහුගේ ගාම්භීර ගමන් විලාශයත්, තැන්පත් කතා විලාශයත්, ඒ සැම එකතු වූ සන්සුන් බවත් ඕනෑම තරුණියක් වශී කරවන බව ඇයද දැන සිටියාය. අන් සියළු තරුණියන් මෙන්ම තමන්ගේ පෙම්වතා මේ තරුණයා සමඟ සසඳන්නට සිමෝනා ද උත්සාහ කළාය… බොහෝ සංවාද අවසන ඔවුහු ලින්කන් ආපන ශාලාව වෙත ලඟා වී සිටියහ.
ආයුබෝවන්… මගේ නම මෙලනි ජොන්සන්… අද මමයි ඔබට සේවා සපයන්නෙ… මුලින්ම ඔබ බොන්න කැමති මොනවද ? ආචාරශීලී වේටර්වරිය සියල්ලන්ගෙන්ම විමසුවා..
බොහෝ දෙනා මෙනු පෙරලාගෙන බොන්නට යමක් සොයද්දී විශ්ව ලෙමන් යුෂ සහ ජලය පමණක් ඇණවුම් කළා..
ආහාර ගන්නා අතරතුර බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ කණ්ඩායමට එක් වූ අළුත් සාමාජිකයා වෙතයි. ඔහුගේ කතා විලාශය මෙන්ම ආහාර තෝරා ගැනීමද බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා.
ඔබ හැමදාම කන්නෙ සලාදයක් පමණයි….
මම නිර්මාංශකයෙක්…. ඒ නිසා කිසිම සත්ව ආහාරයක් ගන්නෙ නැහැ..
අඩුම ගානෙ කිරි, චීස් වගේ දෙයක්වත්…
නැහැ…. ඒ නිසාම තමයි මම සලාදයට කිසිවක් එක් කරගන්නෙ නැත්තෙ….
ඒ ඔයා බුද්ධාගමේ නිසාද ? නැතිනම් ඔයාගෙම තෝරා ගැනීමද ?
දෙකම…. මම බුද්ධාගමේ නිසාමත් මම මාංශ ආහාර ගන්නෙ නැහැ…. ඒ වගේම මාංශ ආහාරවල ඇති බොහෝ දේවල් අපේ ශරීර සමඟ පෑහෙන්නෙ නැහැ… ඒ නිසා අමතර දෙයක් මගේ ඇඟට දාගන්න මම කැමති නැති නිසාත් මාංශ ආහාර වලින් වැලකිලයි ඉන්නෙ…
ඉතින්, ඔයාට ශක්තිය ලැබෙන්නෙ කොහොමද ?
අලි ලොකු වෙලා තියෙන්නෙ මස් කාලද මෙගන්….. ඩැනියෙල් විහිළුවක් කළේය…
මම උසස් පාසැල් යන කාලෙ ඉඳලම නිර්මාංශයි…. දැන් ඒක පුරුද්දකට ගිහින්…. මස් ගෑවුන යමක් තිබුණත් කන්න බැහැ… නමුත් ඒක ඇඟට බොහොම සනීපයි… අවශ්‍ය ශක්තිය ශාක ආහාර වලින් අපට ඕනවටත් වඩා ලැබෙනවා. මිනිස්සු මස් කන්න බොරු හේතු හදාගෙන මස් කෑවත්, අපේ ශරීර පරිණාමය වෙලා තියෙන්නෙ සත්ත්ව ප්‍රෝටීන ජීර්ණය වෙන්න නොවෙයි. මේ නිසාම අපේ ඇඟට ඇතුළු වන සත්ත්ව ප්‍රෝටීන හැකි ඉක්මනින් ශරීරයෙන් බැහැර කරන්නයි අපේ ඇඟ උත්සාහ කරන්නෙ. හරියටම රුධිරයට ඇතුළු වුන ආගන්තුක ද්‍රව්‍යයකට විරුද්ධව ප්‍රතිදේහ ක්‍රියා කරනවා වගේ… මේ නිසා අපි මාංශ ආහාර ගන්න හැම අවස්ථාවකම අපේ ශරීරයට අපි හානියක් කරන්නෙ. මේ හේතුව නිසාම අපේ ඇඟ ඇතුලේ විවිධාකාර අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ මාංශ ආහාර නිසා අපේ ඇඟ ඇතුලත මුක්ත කාණ්ඩ (Free Radicals) නිපදවෙනවා. මේවා නිසා අපේ ශරීරය ඇතුලත ඔක්සිකාරක ආතතියක් (Oxidative stress) ගොඩනැංවෙනවා. ඒ නිසා සෛල වියපත් වීම වැඩි වෙනවා, පිළිකා වැනි දේ සෑදීමේ ප්‍රවණතාව වැඩි වෙනවා, පසුකාලීනව ඇල්ශයිමර්ස් වගේ රෝග වලට පවා මූලික වෙන්නෙ මෙන්න මේ දේවල්..
හරි… දැන් මේ දේශනයෙන් පස්සෙ කී දෙනෙක් නිර්මාංශ වෙනවද ? මම දන්නවා කාන්තාවො දෙන්නා නම් නිර්මාංශ වෙනවා කියලා.. මට නම් මස් නොකා බෑ…. ඒ නිසා විශ්ව, ඔයා මොනවා කිවුවත් මම මගේ ස්ටේක් එක කන එක නවත්වන්නෙ නම් නෑ… සමාවෙන්න මචං (Sorry dude)…. කට හැකර බිල් කටේ මස් කෑල්ලක් පුරවාගෙන මේසයේ එහා කොණේ සිට සැමට ඇසෙන්නට කියවන්නට විය.
පිටස්තරයා 06
ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,
ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත් දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ගෞරවයෙන්,
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.
………………………………………………………………………………………………………………………………………………………..
සතියක ඇවෑමෙන් විශ්ව පැලෝ ඇල්ටෝ (Palo Alto) නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000 ක ගමන තනිවම ඇරඹීය…… මේ නගරයේ ඔහුට අත් හැර යා නොහැකි කිසිවක් නොවීය… තමන් සියළු බැඳීම් වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නොවන බව විශ්ව දැන සිටියේය… 2006 වසරේ සිටම විශ්ව සිය කටයුතු කර ගත්තේ තනිවමය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවූ එකක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටියද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන විශ්වගේ ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.
විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලක් විය. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳවම විශ්ව හට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ ඉතිරිව ඇති එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූ දෙපළකි. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූ දෙපළකි. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන ඥාණයක් නොවීය.. ඉපැරණි වේද ග්රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්ෂූන් වහන්සේලා ම එයට සාක්ෂි සපයති.
තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙනයාමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි – ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය… ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතිකය…. ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය….
ඔබේ නම ?
විශ්ව සමාධි සූර්යබණ්ඩාර.
තනතුර ?
පර්යේෂණ විද්‍යාඥ – ප්‍රතිගුරුත්වාකර්ෂණ රසායනාගාරය.
මිනිත්තුවක් ඉන්න.
පළමු ගේට්ටුවේ සිටි ආරක්ෂක භටයා විශ්වගේ රියදුරු බලපත ගෙන ඉලෙක්ට්‍රොණික පුවරුවක් හරහා ගෙන ගියේය….
මේ කැමරාව දිහා බලන්න….
සැණෙකින් විශ්වගේ රූපය රැගත් තාවකාලික හැඳුනුම්පතක් පරිඝණකයෙන් සැකසුනි. එය පැලඳගත් විශ්වට මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත යාම සඳහා සවිස්තරාත්මක රූපසටහනක් සහිත සිතියමක් ලැබුණි.
කිසිම අවස්ථාවක මාර්ගයෙන් බැහැර වෙන්න එපා. එහෙම වුනොත් ඒ ඔබ මේ ආයතනයේ ගත කරන අවසාන මිනිත්තු කිහිපය වෙන්න පුළුවන්. ආරක්ෂක භටයාගේ උපදෙස් සමඟම විශ්ව උදෑසන නවය වන විට තමන් යා යුතුව තිබූ පළමුවන ස්ථානය වූ මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත පා නැඟුවේය. ඒ මඟ අතරතුර සෑම තැනම ඔහු දුටුවේ නවීන අවිගත් ආරක්ෂක භටයින් ඉතා පරීක්ෂාවෙන් ඔබ මොබ ගමන් කරන ආකාරයයි. නැවතත් මානව සම්පත් කළමණාකරණ ඒකකයට ඇතුළු වන විට ද විශ්වට සියළු විස්තර ලබා දීමට සිදු විය.
විශ්ව පැමිණෙන තෙක් එතැන බලා සිටියේ සිය කටයුතු පෙළගැස්වීම සඳහා ආයතනයෙන් පත් කර තිබූ ස්ටෙෆනී ෆිලිප්ස් මෙනවියයි. සුදු ජාතික තරුණියක් වූ ඇය ඉතා ප්‍රියමනාප ලෙස හැඳ පැළඳ සිටියාය. මානව සම්පත් කළමණාකරණ ඒකකය තුළ සෑම සැප පහසුකමක්ම තිබුණි. උදෑසන ආහාර වේලක් වුවද කැමති ආකාරයට පිළියෙල කරගත හැකිවන අන්දමට අවශ්‍ය දෑ සකසා තිබුණි. තේ – කෝපි හෝ දොඩම් යුෂ පානයන් ද, බිත්තර – බේකන් වැනි ආහාර මෙන්ම නිර්මාංශ ආහාර වර්ගද අවශ්‍ය ලෙස තෝරාගත හැකි ලෙස තිබුණි.
සුභ උදෑසනක්… මම ස්ටෙෆනී ෆිලිප්ස්. ඔබේ දවස කොහොමද ?
සුභ උදෑසනක් මම විශ්ව සූර්යබණ්ඩාර, මම සුවෙන් – ස්තූතියි ස්ටෙෆනි.. ඔබට කොහොමද ?
හොඳයි. ස්තූතියි..
මම තමයි අද දවසෙ ඔබේ කටයුතු භාරව ඉන්නෙ… ඔබ කැමති උදෑසන ආහාරය අරගෙන කතා කරන්නද ? නැතිනම් අපි පසුව යමක් කරමුද ?
ස්තූතියි. මම උදෑසන ආහාරය අරගෙනයි ආවෙ. මම පසුව යමක් ගන්නම්.
හොඳයි, එහෙනම් අපි ඔබව නාවික පර්යේෂණ ආයතනයට අනුයුක්ත කිරීමේ කටයුතු පටන් ගනිමු. මුලින්ම මට ඔබගේ සියළු සහතික වල මුල් පිටපත් අවශ්‍ය වෙනවා. අපි මේ සියල්ල අපේ මානව සම්පත් ඒකකයෙ තබා ගන්නවා, නමුත් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මේවා ආපසු ලබා ගත හැකියි. ඔබ මේ ආයතනයෙන් අස්වන දිනයේදී මේ සියල්ල ඔබට ආපසු ලැබෙනවා.
ඊලඟට අපට අවශ්‍ය ඔබේ හදිසි අවස්ථා දැනුම් දීමේ විස්තර, මේ විස්තර ලබා ගන්නෙ හදිසියකදි දැනුම් දීමට.
ඇත්තෙන්ම මා ගැන දැනුම් දෙන්න කවුරුවත් මේ රටේ නම් නැහැ. මගේ සියළුම නෑදෑයන් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ විස්තර නම් දෙන්න පුළුවනි.
අඩුම ගානෙ විශ්වාසවන්ත යාළුවෙක්වත් නැද්ද ?
නැහැ… මගේ දෙමාපියන් මිය ගියාට පස්සෙ මා හැදුනෙ වැඩුනෙ තනිවම… ඔබගේ අවශ්‍යතාවයට මේ අංක සහ ලිපිනය තබා ගන්න. විශ්ව සිය ලොකුමාමා සහ ලොකු නැන්දාගේ නම්ගම් කොළයක සටහන්කර ඇයට ලබා දුන්නේය.
ඈ මේ තරම් කඩවසම් කොල්ලෙකුට කෙල්ලෙක්වත් නැද්ද ? සිතමින් ඔහු ඒ තොරතුරු ලියන අතරතුර ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියාය.
ඊලඟට මෙන්න මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්න…
මේ තියෙන්නෙ ඔබ මේ ආයතනයෙ රැකියාව භාර ගන්නවා කියා.
මේ ලිපියෙ තියෙන්නෙ ආයතනයේ දත්තවල රහස්‍ය භාවය සුරකින බවට අත්සන් කරන ලිපිය.
ඊලඟට මේ තියෙන්නෙ ඔබේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය…
මේ සියල්ලට අත්සන් කළාම, ඒ ලිපි වල පිටපත් මම ඔබට ලබා දෙන්නම්.. ඊට පස්සෙ අපි ආයතනය වටා රවුමක් යා යුතුයි. එතැනදි ඔබට නිත්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම, ඔබේ ඩී එන් ඒ සාම්පල සහ ජෛවී හැඳුනුම්පත් සාම්පල ලබා දීමත් සිදු වෙනවා.
ඇය සියල්ල ඉතාම පැහැදිලිව නිරවුල්ව විශ්වට කියා දුන්නා. සියල්ල එක පාරින්ම මතක තබාගත හැකි විශ්වට ඒ කිසිවක් අනුගමනය කිරීම අපහසු වූයේ නැහැ.
සියල්ල අවසන විශ්ව ඇයත් සමඟ ආයතනය වටා ගොස් ආයතනයේ වටපිටාව සහ අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීමට යාමට නැගී සිටියා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවමත් හිතනවද කොහොමද මේ සිදුවීම වුනේ කියලා ?
තමා රූපගත කළ අධෝරක්ත කැමරා දර්ශනය දෙස බලා සිටි ඒජන්තවරයාගෙන් අනෙකා විමසීය…
මට තවම හිතාගන්න බැරි විනාඩි කිහිපයක් ඇතුලත මිනිහෙක්ගේ ශරීර උෂ්ණත්වය මේ තරම් වෙනසකට භාජනය වෙන්න පුළුවන් ද කියලා. මෙයා නාන කාමරයෙන් එළියට එනවිට ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 103 ක් සටහන් වුනා.. නමුත් නින්දට වැටිලා විනාඩි කිහිපයක් ඇතුලත එය 80 කට බහින්නෙ කොහොමද ? ඒ විතරක් නොවෙයි එච්චර බැහැලා මෙයා ජීවත් වෙලා ඉන්නෙ කොහොමද ? මේවා හිතන්න ඕන ප්‍රශ්න නොවෙයිද මාක් ?
එෆ් බී අයි ඒජන්ත ජේසන් බ්‍රවුන් අනෙකාගෙන් ප්‍රශ්න කළේ දැඩි කණස්සල්ලෙනි. සම්මුඛ පරීක්ෂණය අවසානයේ මේ සුවිශේෂ පුද්ගලයාගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමට ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානි ජෙනරාල් වෙලිංටන්ගේ විශේෂ ඉල්ලීම පරිදි යෙදවූ එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් පටිගත කළ අධෝරක්ත කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් සිටියහ. ජාතික ආරක්ෂක ඒජන්සිය එෆ් බී අයි ආයතනය හඳුන්වන්නේ අසමත් ළදරුවන්ගේ ආයතනය (Failed Babies’ Institute) ලෙසිනි. ඒ බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පරීක්ෂණවල අවසාන නිගමනය ලබා ගැනීම සඳහා ජාතික ආරක්ෂක ඒජන්සියේ සහාය ලබා ගැනීම නිසාය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුලත සැලසුම් කෙරෙන බොහෝ නීති විරෝධී කටයුතු මෙන්ම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ද නිතිපතා හසු වන්නේ ජාතික ආරක්ෂක ඒජන්සියේ දැලටය. එෆ් බී අයි ආයතනය සිය විමර්ශන කටයුතු නිම කරන විට අදාල පුද්ගලයින් දැලට හසුකරගෙන කිසිවෙකුටත් නොදන්වා අතුරුදහන් කිරීමටත්, ග්වොන්ටනාබේ සිර කඳවුරේ අඳුරු කුටි තුල ප්‍රශ්න කිරීමට සහ නිසි ක්‍රියාමාර්ග ගැනීම ජාතික ආරක්ෂක ඒජන්සියේ සහ සී අයි ඒ ආයතනයේ ඒජන්තවරුන් විසින් සිදු කර හමාරය. දැන් දැන් බොහෝ විට එෆ් බී අයි ආයතනය සිදු කරන්නේ වංචා විමර්ශනය සහ ළමා අපචාර සිදු කරන්නන්, දරුණු මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා යාම වැනි දෙකයි පණහේ වැඩ බව ජනරාල් වෙලිංටන් දිනක් එළි පිටම ධවල මන්දිරයේ පැවති සාදයකදී පවසා තිබුණි. මේ නිසා එෆ් බී අයි ආයතනය විසින් ජාතික ආරක්ෂක ඒජන්සිය මඟින් දෙනු ලබන කොන්ත්‍රාත්තු ඉටු කිරීම අවම ප්රමුඛත්වයක් දී තිබූ කටයුත්තක් විය. කෙසේ වුවත් මේ සුවිශේෂි කටයුත්ත ජාතික ආරක්ෂාවට වැදගත් වන්නක් යැයි ජනරාල් වෙලිංටන් විසින්ම පවසා තිබූ නිසා එෆ් බී අයි ඒජන්තවරු නොපැකිලව මේ සඳහා ඉදිරිපත් වූහ….. නමුත් දැන් ඔවුනට ඇති ප්රශ්නය වන්නේ සිය දත්ත තේරුම් ගැනීම සහ සිය පාරිභෝගිකයා වන ජෙනරාල් වෙලිංටන්ට ඉදිරිපත් කිරීමයි. උකුසු ඇස් ඇති, හිවලෙකු මෙන් කපටි, තීක්ෂණ බුද්ධියක් ඇති ජෙනරාල් වෙලිංටන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සූදානම් කරගෙන නොගිය හොත්, නැවතත් එෆ් බී අයි ඒකකය අසමත් ළදරුවන්ගේ ආයතනයක් බවට ජෙනරාල් සහතික කරන බව ඒජන්ත මාක් පිස්ට්නර් සහ ජේසන් බ්‍රවුන් යන දෙදෙනාම දැන සිටියහ… ඔවුන් කෙතරම් දක්ෂ ඒජන්තවරු වුවද, මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඔවුන් දන්නා විද්‍යාව හෝ වෙන යම් දැනුමකට නොහැකි විය…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔබ හිතන්නෙ මේ සංසිද්ධිය මොන වගේ දෙයක් වෙන්න පුළුවන් කියලද ? මහාචාර්ය තුමනි….
මම දන්න ජීව රසායන විද්‍යාව අනුව නම් මෙය අසාමාන්‍ය වෙනස්වීමක්… සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 103 ක ශරීර උෂ්ණත්වයක් ඇති කෙනෙක් නිරෝගීව සිටින්න බැහැ.. එය සාමාන්‍ය උණ ගතියටත් වඩා වැඩි උෂ්ණත්වයක්, නමුත්…. මේ දර්ශනය විශලේෂණය කිරීමේදී ඔබට පෙනෙන්න නැතුව ඇති මේ උෂ්ණත්ව වෙනස සිදු වන්නෙ ශරීර පෘෂ්ඨයේ පමණයි… ඒ කියන්නෙ සම මතුපිට සහ සමට යටින් විශාල උෂ්ණත්ව වෙනසක් සිදු වෙනවා. මේ බලන්න මේ දර්ශනයෙ ඔබට පැහැදිලිව පෙනෙනවා ඇඟ අභ්‍යන්තරය සාමාන්‍ය ශරීර උෂ්ණත්වයටයි තිබෙන්නෙ… නමුත් ශරීර උෂ්ණත්වය පහළ යාමේදි සිදු වන්නෙ මුළු ශරීරයෙම උෂ්ණත්වය පහළ යාම… සමහරවිට මේ පුද්ගලයා නාන කාමරයේදී අධික උණු ජලය ස්නානය කරන්න ඇති… ඔබ දන්නවා සාමාන්‍ය උණු ජල කරාමයක උෂ්ණත්වය අංශක 110 ත් 120 ත් අතර තිබෙන බව… ඒ නිසා මේ සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් එකම ආකාරය මට තේරෙන විදියට නම් අධික උණු ජලය ස්නානය කිරීම නිසා ශරීරයේ සම ආසන්නයේ අධික උෂ්ණත්ව වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ටික වේලාවකින් ශරීර උෂ්ණත්වය සමතුලිත වීමේදී නැවතත් පහළට ගොස් සාමාන්‍ය උෂ්ණත්වයට පත් වන්නට ඇති… ඔබ කරපු එක වැරැද්දක් නම් මේ පටිගත කිරීම ශරීර උෂ්ණත්වය පහළ ගොස් ඇති අවස්ථාවේදී නතර කිරීමයි…. ඔබ දිගටම පටිගත කළා නම් සමහරවිට ශරීර උෂ්ණත්වය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඔබට දැකබලා ගන්නට තිබුණා….
මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි….. සමහර මිනිසුන්ට අසාමාන්‍ය උෂ්ණත්ව දරාගැනීමේ හැකියාව තිබෙනවා වගේම සමහරු අධික උෂ්ණ ශරීර ඇති අය.. ඔබ අහලා ඇති ස්වයං දහනයට පත් වෙච්ච මිනිස්සු ගැන… කිසිම බාහිර දහන සාධකයක් නොමැතිව ඉබේම ශරීරය ගිනි අරගෙන අළුගොඩක් පමණක් ඉතිරි කරලා මිය යන මිනිස්සු ගැන…. ඒ මිනිස්සු ඉන්නේ එක් අන්තයක… මම කියන්නෙ නැහැ මේ පුද්ගලයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා.. නමුත් මේ පුද්ගලයාටත් ඒ වගේ අසාමාන්‍ය උෂ්ණත්වයන් දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්… මේ ගැන කියන්න පුළුවන් මෙච්චරයි…
එෆ් බී අයි ආයතනයට සම්පත් දායකයින් ලෙසින් විවිධාකාර ක්ෂෙත්රවල විශිෂ්ඨයින් අනුයුක්ත කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. අතිශය රහස්‍ය කටයුත්තක් වන මෙයට දේශපාලනය, විද්‍යාව, කලාව, ඉංජිනේරු ක්ෂෙත්රය වැනි විවිධාකාර අංශවල මහාචාර්යවරු දායක කර ගනිති. එෆ් බී අයි ඒජන්තවරුන් ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝසප් මන්සන් වෙත පැමිණියේද සිය පටිගත කිරීමේදී සිදු වූ අසාමාන්‍ය සංසිද්ධිය නිරාකරණය කර ගැනීම සඳහා ය…
තමන්ට ලැබුණ පිළිතුරෙන් සෑහීමකට පත් වූ ඒජන්තයින් දෙදෙනා නැවත සිය කාර්යාලයට පැමිණියේ හිසෙහි වූ බර සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙනයි……
අනාගතයේ ලෝකපාලන දෙවිවරු තුන්දෙනා…..
මිනිසුන් වන අපි බොහොම වෙනස් සත්තු කොට්ඨාසයක්. මොළයක් දියුණු නමුත් ඒ මොළයෙන් සිතන ප්‍රමාණය බොහොම අල්පයි. සමහර මිනිසුන්ගේ සිතීමේ පරාසය සතුන්ටත් වඩා පහත්. සමහරුන්ට සිතන්න හැකියාවක් තිබුණත්, වැල යන අතට මැස්ස ගහලා ජීවත් වෙලා ඔහේ මිය යනවා, ඔවුන්ටත් ලෝකයටත් දෙකටම වැඩක් නැතිව. ගල් යුගයේ මිනිසාට මේ සිතීමේ ඥාණය, තාර්කික හැකියාව, සන්නිවේදනය වැනි දෑ නොතිබුණ නිසාම සහ ලොව අළුතෙන් සිදුවන සෑම දෙයක්ම වෙනස් අත්දැකීමක් නිසා ඔවුන් ඒවාට බිය වුනා. ගින්දරට, ජලයට, සුළඟට, හිරු, සඳු ආදියට මෙන්ම ලෙඩ රෝගවලටද ඔවුන් බය වුනා.. මේ නිසාම ඒ තේරුම්ගත නොහැකිදෑ දේවත්වයෙන් පිදුවා.
ඒ ගල් යුගය පසු කර ආපු අපි විවිධාකාර ජාතීන් විදියට විවිධ වේගයන්ගෙන් දියුණු වුනා. සුද්දා සතුන් පසුපස දඩයමේ යන කාලෙයේ තිබූ ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය අත්‍යන්තයෙන්ම දියුණුයි. අඩි 660 ක් උස සීගිරිය පර්වතයට ජලය ගෙන යාමේ යාන්ත්‍රණය, අනුරාධපුයේ සුවිසල් ස්ථූප සහ යෝධ ඇල වැනි අතීත නිර්මාණයන් එයට මනාව සාධක සපයනවා. එසේ තිබූ ශිෂ්ඨාචාරයක් දැන් අන් සියළු රටවලට වඩා පසුපසින් සිඟමන් යදිමින් ගමන් කරන තත්ත්වයට පත් වීම අතිශයින්ම කණගාටුදායකයි.
විද්‍යාව, තාක්ෂණය දිනෙන් දින වේගයෙන් ඉදිරියට ගමන් කරන යුගයක අපි පසුගාමීව ගමන් කරන්නේ එක අංශයකින් පමණක් නොවෙයි. සෑම අතින්ම. වෙනකක් තබා නැවතත් අපි බොහෝ දේ දෙවියන් හට පවරා අත පිසදා ගන්නා මිනිසුන් කොට්ඨාසයක් බවට පත් වී හමාරයි. කිසියම් හෝ දවසක ඔබ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස්පෙළ විභාගය ආසන්නයේ සති අන්තයක ප්‍රධාන පෙලේ බෞද්ධ සිද්ධස්ථානයකට ගියහොත් අපේ මවුවරු, පියවරු, සහ දරුවන්, සිය හැකියාවන් පැත්තකට දමා විභාග සමත්කර දීමේ අයිතිය දෙවිවරුන්ට පවරන අයුරු ඔබට දැක ගැනීමට පුළුවන් වෙිවි. මේ බොහෝ සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේත් දෙවිවරු මාකට් කරමින්, එතැන පිවිතුරු බුදු දහම නැහැ. තවත් සමහර අවස්ථාවදී තක්කඩි, සිය ගණදෙවි, ෆෙංෂුයි, සරස්වතී බන්ධන විකුණන අයුරු ඔබට දැක ගැනීමට පුළුවනි. තවත් සමහර දේශපාලනඥයන්, ජීවම් කළ පෑන් පවා බෙදනු ඔබට දකින්නට පුළුවන් වේවි… මාධ්‍ය නාලිකා පවා මේ මිත්‍යාව පතුරවමින් සිය මාධ්‍ය නාලිකාව ප්‍රචලිත කරනු ඔබට දැනේවි… ඒ අපේ ලාංකිකයන් සිය ජීවිත, නොදකින තිස්තුන්කෝටියක් දෙවියන්ට භාරකර ඇති ආකාරයයි. ඒ අතරම මදක් හිතන්න හිතවතුනි.. ඔබට මේ පිහිට වන කතරගම දෙවියන්ගේ භාරකරුවන් මේ දිනවල දේවාලය තුළම දෙවියන් බෙදා ගැනීමට අරගල කරන බව සහ දෙවියන්ටවත් ඔවුන් නැවැත්වීමට නොහැකි බව.. දෙවියන් සිටී නම් මෙය වෙනස් ස්වරූපයක් ගනු ලබනවා නොවේද ?
අපි එසේ අරගල කරන අතරතුර ලෝකය ඊට වඩා ගවු ගණනක් ඉදිරියට ගොස් අවසන්… අපි ඉතා සරළ දෑ විසඳාගත නොහැකිව වර්ජන ගර්ජන කරමින් කාලය කා දමන අවධියක, ලෝකය බොහෝ දුර ගොස් අවසන්. මේ ගමනේ පෙරගමන් කරුවන් බොහොමයක් සිටියා. විවිධ කාලවල විවිධාකාර පුද්ගලයින් ලෝකය වෙනස් කළා. අශ්ව කරත්තවලින් කළ ගමන නිමා කරන්නට කාල් බෙන්ස් සමත් වුනා. 1907 දී බෙලිජියානු ජාතික ඇමරිකානුවකු වූ ලියෝ හෙන්ඩ්‍රික් බීකලන්ඩ් (Leo Hendrik Baekeland) බේක්ලයිට් සොයා ගැනීමත් සමඟම ලෝකය වෙනතකට පෙරළුනා.. රිචර්ඩ් ස්මෝලී විසින් බකිබෝලය නම් කාබන් නැනෝබෝලය සොයාගැනීමත් සමගම ලෝකය නැනෝතාක්ෂණය වෙත නැඹුරු වුනා, ඒමගින් සිදු කෙරෙන සිතා ගැනීමට පවා නොහැකි නවෝත්පාදන අනන්තයි. මේ සියල්ල ලොව වෙත දායාද වුනේ තමන්ට ලැබෙන දේට වඩා තමන්ගෙන් ලොවට ලැබිය යුතු දෑ වලට ප්‍රමුඛත්වය දී ලොවට සේවය කළ නිසයි. අවාසනාවකට ලෝකය එසේ වුවත්, ලංකාවේ අපි තවමත් දූපත් මානසිකත්වෙයන් ඔබ්බට ගොස් නැති නිසා, අපි තවමත් එකතැන… නැතිනම් පිටුපසට ගමන් කරමින් සිටිනවා.
මෙසේ ලෝකය වෙනස් වන අතරතුර කලින් කලට සුවිශේෂී පුද්ගලයින් හෝ සමාගම් විසින් පවතින ක්‍රමය කඩාකප්පල් කර දමා (disrupt) නව සමතුලිතතාවයකට ලෝකය ගෙන යනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සොයා ගත් බිල් ගේට්ස් තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වූයේ එසේමයි. ඒ වගේම ඔහුගේ සොයාගැනීම ලෝකය වෙනස් කළා. ඔහුගේ තරඟකරුවා ඇපල් පරිඝණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් පරිඝණකය පැත්තෙන් නොවූවත්, ජංගම දුරකථනයේ විප්ලවීය පෙරලියක් ඇති කළේ ඒ හා සමානවම. තවමත් ඇපල් ජංගම දුරකථනයක් හෝ පරිඝණකයක් භාවිතා කරන කෙනෙක් වෙනත් දුරකථනයකට හෝ පරිඝණකයකට මාරු නොවන හේතුවම, ඔහුගේ නිර්මාණයේ ප්‍රබල බව කියා පානවා. මේ අතරට නවතම චරිත වරින් වර පැමිණියත්, ලෝකයටම දැනෙන අන්දමේ ප්‍රබල බලපෑමක් කරන්නට සමත්ව ඇත්තේ තුන්දෙනෙකු පමණයි.
ව්ලැමිඩිර් පුටින් සිය දේශපාලන බල පරාක්‍රමය විහිදුවමින් ලෝකයම සිය අණසකට යටත් කරන්නට මෙන් කටයුතු කරන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සමතුලිතතාවය කඩා කප්පල් කරමින් වලං කඩයට කඩා වැදුනු කේප්ප වස්සකු සේ සිතූ සිතූ දෑ කරමින් සියල්ල කණපිට හැරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඒ සියල්ල අතර උතුරු කොරියාවේ කිම් ජොං අන් කිසිවෙක් නොසිතන ප්‍රතිචාරයක් ලබා දීමට ද හැකියාවක් තිබෙනවා. කෙසේ වුවත් මේ සියළුම බලපුළුවන්කාරයින් අභිබවමින් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය පතුරවන තිදෙනෙකු අනාගත ලෝකය පාලනය කිරීමේ නිහඬ ආක්‍රමණයක යෙදී සිටින බව බොහෝ දෙනා දන්නේ නැහැ.
ඒ තිදෙනා සියතින්ම බිහිකළ සමාගම්වල තාක්ෂණික සහ ව්‍යාපාරික පද්ධතිවල ඇති ප්‍රබලතාවය නිසාම ලොව ඉතා ඉහලින් වැජඹෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ අතරම ඒ ව්‍යාපාර නිසාම වෙනත් ව්‍යාපාරවල ස්ථාවරත්වය වෙත ද ප්‍රහාර එල්ල වීමට පටන් අරගෙන තිබෙනවා. මේ තත්ත්වය මෙසේ පැවතුනහොත් ඔවුන් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය නිසාම ලෝකයේ බොහෝ ක්‍රියාවලීන් තම අණසකට යටත් කර ගැනීමට හැකි වනු ඇති. දැනටම දේශපාලන ලෝකය පවා ඔවුන්ගේ සමාගම් නිසා සසළ වන්නට පටන්ගෙන තිබෙනවා
2004 පෙබරවාරි මාසයේදී සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් ෆේස්බුක් අඩවිය එලිදක්වන විට එය මේ තරම් ප්‍රබල සමාජ පරිවර්තනයක් කළාවි යැයි ඔහු වත් සිතන්නට නැතිව ඇති. නමුත් ඉතා ඉක්මනින්ම ෆේස්බුක් සමාජ ජාලය විශ්ව විද්‍යාල සිසුන් අතර සහ තරුණ පරපුර අතර ප්‍රචලිත වූයේ තමන්ගේ තොරතුරු බෙදාහදා ගැනීමට මෙන්ම අනුන්ගේ ඕපාදූප ද නිරායාසයෙන්ම දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන නිසයි. බටහිර රටවල ෆේස්බුක් අඩවිය තම තොරතුරු බෙදාහදා ගැනීමට සහ තමන්ගේ තත්ත්වය සමාජ ජාලය හමුවේ පාරම්බෑමට යොදා ගත්තත්, අපටම අනන්‍ය වූ නව්‍යකරණ සංස්කෘතියක් ඇති ලාංකිකයා යොදා ගන්නේ බොහෝ වෙනස් දෑ වලට. කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ජනගහනය වන බිලියන 7.5 ක් වනවිට දැන් ෆේස්බුක් අඩවිය මාසිකව භාවිතා කරන සාමාජිකයන් ගණන බිලියන 2.01 ඉක්මවා යාමෙන්ම එය කෙතරම් ප්‍රබල මාධ්‍යයක්දැයි ඔබටම සිතාගත හැකියි.
1994 ජුලි මස 5 වන දින ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල්හි ජෙෆ් බෙසොස් විසින් ඇරඹූ ඇමසෝන් (Amazon) සමාගම මූලිකවම සිදු කළේ අන්තර්ජාලය හරහා පොත් විකිණීමයි. එය ඉලෙක්ට්‍රොණික වානිජ්‍ය සමාගමක් (e-commerce company) ලෙස මුලින් ඇරඹුනේ කිසිදු පොතක් හෝ භාණ්ඩයක් සිය සන්තකයේ නැතත්, ඒවා විකුණන සමාගමක් ලෙසින්. පසුව විවිධාංගීකරණය මගින් සිය බල පරාක්‍රමය විහිදූ ඇමසෝන් සමාගම 2015 වනවිට ඇමරිකාවේ සිල්ලර වෙළඳාමෙහි බලකණුවක් වූ වෝල්මාට් සමාගම පසු කරමින් වෙළඳපොලේ වටිනාම සමාගම බවට පත් වූවා. එය දැනට වැඩිම වෙළඳපොල කොටස් හිමි සමාගම වන අතර මෑතකදී අයිතිකරගත් Whole Foods සමාගමත් සමග ඔවුන් දැන් දැන් සිල්ලර බඩු වෙළඳාමටත් අත ගසා තිබෙනවා. මේ නිසා එම අංශයේ ප්‍රමුඛයින් වූ ටාගට්, වෝල්මාට්, සෑම්ස් ක්ලබ්, සහ කොස්ට්කෝ යන සමාගම්වල වෙලඳපොල ඒකාධිකාරය පවා සෙලවී තිබෙනවා.
වසර 2003 දි කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ වූ ටෙස්ලා මෝටර්ස් සමාගම ප්‍රචලිතව ඇත්තේ විදුලි මෝටර් රථ, සූර්ය කෝෂ, සහ විද්‍යුතය ගබඩා කිරීමේ ලිතියම් අයන බැටරි නිෂ්පාදකයකු ලෙසින්. කෙසේ වුවත් එය මහජනතාවගේ අවධානය ආකර්ෂණය කරගනු ලැබූවේ 2008 වසරේ නිපදවූ Roadster නම් වූ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය එලිදැක්වීමත් සමගයි. ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් දැන් දැන් ලොව පුරා කතා බහ කෙරෙන චරිතයක් බවට පත් වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථය නිසාම පමණක් නොවෙයි. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක තනතුරක සිට ඉන් ඉවත් වීමට තීරණය කිරීම, නගරාන්තර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට යෝජනා කළ හයිපර්ලූප් දුම්රිය, නිවාසවල සූර්ය බලශක්තිය වඩාත් කාර්යක්ෂමව නිපදවිය හැකි සූර්ය උළුකැට හඳුන්වාදීම වැනි මතක හිටින අන්දමේ වැඩකටයුතු බොහොමයක් සිදු කර පෙන්වීම නිසාමය. කිසිදිනෙක විද්‍යුත් මෝටර් රථයක් සාර්ථක නොවන්නේ යැයි සුවිසල් මෝටර් රථ සමාගම් පාරම් බෑ යුගයක ඔහු තැනූ ටෙස්ලා මෝටර් රථ, බලයෙන් පෙනුමෙන් මෙන්ම ක්රියාකාරීත්වෙයන්ද අනෙක් මෝටර් රථ අභිබවා යන්නේ අඩු මිලට විකිණීමත් සමගයි. මේ නිසා ටෙස්ලා මෝටර් රථයක හිමිකරුවකු වීමට බොහෝ දෙනා සිහින මවනවා.
මේ තුන්දෙනාගේ බලපරාක්‍රමය ලොව වටා විහිදීම එක්තරා ආකාරයක තර්ජනයක්. ඇමසෝන් සමාගමේ ක්‍රියාකාරීත්වය නිසා දැන් දැනි සුවිසල් රෙදිපිළි සමාගම් වන සියර්ස්, ඩිලර්ඩ්ස්, වැනි සමාගම්වල බොහොමයක් වෙළඳසැල් වසා දැමීමට සිදු වුනා. ටෙස්ලා සමාගමෙන් ඉදිකෙරෙන සුවිසල් මෝටර් රථ කර්මාන්තශාලාව නිසා සමහරවිට ඇමරිකානු මෝටර් රථ සමාගම්වලටත් ඒ ඉරණමම අත්වන්නට පුළුවනි. ෆේස්බුක් සමාජ ජාලය මගින් අත්පත් කරගෙන යන විවිධාකාර පරිඝණක සමාගම් සහ අන්තර්ජාල සමාගම් නිසා ඔවුන්ගේ ද බල පරාක්‍රමය දළුලා වැඩෙනවා. මේ සමාගම් තුන දැනටමත් විවිධ අයුරින් ලෝක ජනගහනයේ නව ප්රවණතා ඇති කර හමාරයි. නුදුරු අනාගතයේ මේ සමාගම් වලින් ඉදිරිපත් කෙරෙන නව නිර්මාණ නිසා ලෝකය කෙසේ වෙනස් වේදැයි විස්තර කෙරෙන ලිපි පෙළක් සමගින් ඉදිරි සතිවල හමුවෙමු.
කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG
හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. මෙයට අපේ අම්මලාගේ කාර්යබහුල බව ප්‍රධාන වශයෙන්ම බලපානවා. රැකියාවේ නියැලිලා ඉන්න ඔවුන් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ අතරේ කෑම උයන එක කියන්නේ බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ නිසාම සතියකට වේල් දෙකක්වත් මිලදී ගත් ආහාර වේලකින් කුස පුරවා ගන්නට සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඇත්තෙන්ම සෞඛ්යාරක්ෂිතද ? ඒ ආහාරවලට යොදන දෑ මොනවද ? අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.
අපේ දරුවන් පවා නිවසේ සකසන ආහාරවලට වඩා පිටින් ගෙනෙන ආහාරවලට දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාම වලින් හැඳින්වෙන මේ දෑ සමහරවිට දීර්ඝකාලීනව ශරීරගතවීම ශරීරයට අහිතකර වන්නට පුළුවනි. ඔබ සමහරවිට මෙවැනි වෙළඳසැලකින් ආහාර ගත් විට තරමක වැඩි පිපාසාවක් දැනෙන්නට පුළුවනි. එයින් ඔබට දක්වන්නේ ඔබ MSG නැතහොත් මොනො සෝඩියම් ග්ලූටමේට් කයන රසායනයේ ගොදුරක් බවට පත් වූ බවයි..
Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නෙ. නමුත් මෙය අනෙක් ආහාර සමඟ හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto, Ac’cent, සහ Vestin යන වෙළඳ නාම වලින් ලොව පුරා බෙදාහැරෙනවා.
මෙය ශතවර්ශයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ කිකුනේ ඉකෙඩා (Kikune Ikeda) විසින් මුහුදු පැලෑටියකින් නිස්සාරණය කරගෙන වෙන් කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම “Umami” උමාමි ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස-ලුණු රස-ඇඹුල් රස-සහ තිත්ත රස වන රස වලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනීකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමඟ සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රාව්‍යතාවයක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් MSG ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළඳපළට ඉදිරිපත් කළා.
MSG ස්වභාවිකවම තක්කාලි, චීස් ආදී ආහාරවල තිබෙනවා. නමුත් බොහොම අඩු ප්‍රමාණවලින්. ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමඟ එකතුකළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ.. නියම ප්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරක වල ඇති රසයන් උළුප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමඟ හොඳින් මුසු වෙනවා. ඒ කියන්නෙ ඒ ආහාර වල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් භාවිතා කළහොත් පමණයි.. වැඩිපුර භාවිතා කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නෙ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්ෂණය නම් නියුක්ලියෝටයිඩ සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාර වලට අවශ්‍ය ලුණු වැනි දේ වල ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට MSG දමා ආහාරය රසවත් කිරීම නිසා ලුණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිතා කරන ලුණු ප්‍රමාණය 30% ක් අඩු කරගන්නට MSG භාවිතා කිරීමෙන් හැකි වෙනවා ලු. ලුණු වල ඇති 39% ක් වන සෝඩියම් ප්‍රතිශතය වෙනුවට MSG වල ඇත්තේ 12% ක සෝඩියම් ප්‍රතිශතයක්.
බොහෝ සැකසූ ආහාරවලට MSG ඇතුලත්කර ඇති බව සත්‍යයක්. ඔබ ඒ ආහාරවල ලේබල් පරීක්ෂාවෙන් කියවා බැලුවහොත් එය එක්කෝ Mono Sodium Glutamate ලෙසින් හෝ
අජි-නෝ-මොටෝ අනතුරුදායකද ?
MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාළයක් රසකාරකයක් ලෙස භාවිතා වෙමින් පවතිනවා. මේ කාළය තුළ මෙහි ආරක්ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුව ආහාර පිළිබඳ ආරක්ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නෙ. “MSG symptom complex” කියන රෝග තත්ත්වය නැතිනම් “Chinese Restaurant Syndrome” කියන රෝග තත්ත්වය මුලින්ම වාර්තා වුනේ Robert Ho Man Kwok විසින් ඇමරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පස් ඇති වූ රෝගී තත්ත්වයක් නිසා. ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවයක් හෝ ප්‍රතික්‍රියාවක් නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි වූ බවයි. වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සම්බන්ධය කිසිමදාක අධ්‍යයනය නොවුනත්, එදා සිට MSG මේ රෝග තත්ත්වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුනා. MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 g/kg ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. එනම් ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම් ඔබ එකවර MSG ග්‍රෑම් 900 ක් ආහාරයට ගත යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට- මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්) මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණ වලට පසුව රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හොත් යෙදෙන MSG ප්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විෂ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නෙ.
MSG නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පිළිබඳ පැහැදිළිතාවයක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්වයන්හි එකඟතාවයක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තා වලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් වත් වාර්තා වී නැහැ. එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරනලද පර්යේෂණ වලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට් වල ඇති දායකත්වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් දැක්වී නැහැ. නමුත් MSG අහිතකරතාවයන් ඇති බවට බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා. එසේම රජරට ගොවියන් සිය වල්පැල නාශක ඉසිනයන්ට MSG පැකට්ටුවක් කවලම් කරන්නේ එහි ප්‍රබලතාවය කිහිපගුණයකින් වැඩිකර ගැනීමට. එසේනම් සත්‍ය වශයෙන්ම එහි කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති බව අනුමාන කළ හැකියි.
MSG ආහාරවලට එකතුකර ඇති බව පාරිභෝගිකයන්ට දැන්විය යුතු බවට ආහාර නියාමන අධිකාරියෙන් නීති පණවා තිබෙනවා. මේ නිසාම සමහර ආහාර ලේබල්වල MSG නමිනුත්, තවත් සමහර ලේබල් රසය වැඩිකර දෙන්නක් (Flavor Enhancer) ලෙසිනුත් දක්වා තිබෙනවා. සමහර ආහාර ලේබල් 621 අංකයෙන් එය දක්වා තිබෙනවා.
කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට MSG නිසා අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා අතර හිසරදය, වමනය, මුහුණ අත්පා ආදියෙහි හිරිවැටීම හෝ හැඟීම් දැනීමක් නොමැති වීම වැනි රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවන්. කෙසේ වුවත් අධිකලෙස ශරීරගත වුනත් MSG එකවරම විෂවන රසායනිකයක් නොවෙයි. නමුත් විවිධාකාර ආකාරයෙන් ඒ සංකූලතා දැක්වෙන්න පුළුවනි. මෙහි අනතුරුදායක භාවය වැඩිපර නොපෙනෙන්නේ එහි රෝග ලක්ෂණ දැඩිව පිටතට නොපෙනෙන නිසායි. ඒ වුනත් බොහෝවිට සමාජයේ කියවෙන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. ඒ හා සම්බන්ධ සාක්ෂි කොහෙන්වත් හමු වී නැහැ. නමුත්, සාමාන්‍ය ලුණු මෙන් නොවෙයි MSG අධික මාත්‍රාවක් ආහාරයට එකතු කළත් එය සරළව සොයාගැනීමේ ක්‍රමයක් නැති නිසා ආහාරයට MSG කොපමණ එකතු වී ඇතිදැයි කියන්නට කිසිම කෙනෙකුට සරළව බැහැ. ලුණු එකතු වීමේදී එහි ඇති අධික ලුණු රසය නිසා හඳුනා ගන්නට පුළුවනි. මේ නිසා ඔබේ ආහාරයේ MSG කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතදැයි සායා ගැනීමට නොහැකියි. ග්ලූටමේට් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක්, නමුත් යම් ප්‍රමාණයක් ශරීරයේම නිපදවෙනවා…ඒ නිසා විශේෂයෙන් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ… අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ…
බොහෝ චීන අවන්හල් සහ වෙනත් ආහාර විකිණීමේ ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිතා වනවා, ඒ ඔවුන්ගේ ආහාරවල රස වැඩි කරන්නට බව අමතක කරන්න එපා… ඒ කෑම නිවසේ හදන කෑම වලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි… ඔබ එම රසයට ඇබ්බැහි වෙනවා, ඔබේ දරුවන් එයට ඇබ්බැහි වනවා. මේ නිසාම ඔබ වැඩි වැඩියෙන් ඒ ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා. මේ නිසා ඔබේ ශරීරයට සිදුවන දීර්ඝකාලීන හානිය වැඩියි. එසේම ඔබ වැඩි වැඩියෙන් මෙවැනි දෑ සහ තෙල් අධික, ආහාර ලබා ගැනීමේදී නිතැතින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, වෙනත් හෘද රෝග වැනි දෑ වලට නිතැතින්ම ගොදුරු වනවා. ඔබට පිටතින් බලා කවදාවත් ආහාරවලට MSG දමා ඇතිදැයි සොයාගත හැකි වන්නේ නැහැ. එය ආහාර ගත් පසුව ඔබට දැනෙන අසාමාන්‍ය තිබහ මගින් වැනි පසු කාලීන ප්‍රතික්‍රියාවක් මගින්ම පමණයි දැනගත හැක්කේ. නමුත් එවිට ඔභ ප්‍රමාද වැඩියි.
ඔබට විමසන්නට පුළුවනි, ඔබේ ආහාරය ලබාදෙන වෙලඳසැළ, හෝ පුද්ගලයාගෙන් ඔබට ලබාදෙන ආහාරයට MSG එකතු කර ඇත්දැයි කියා. ඔබට ඇණවුම් කරන්නට පුළුවන් MSG එකතු නොකර ආහාර ලබා දෙන ලෙසට, ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන් තව තවත් MSG එකතු කරන්නේ නම්, ඔබට තීරණය කරන්න පුළුවනි තව දුරටත් එතැනින් ඔබ ආහාර ලබා ගන්නේදැයි…
රිවිර සබැඳිය මෙතැනින්.
http://www.rivira.lk/online/2017/08/26/123879