කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG
හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. මෙයට අපේ අම්මලාගේ කාර්යබහුල බව ප්‍රධාන වශයෙන්ම බලපානවා. රැකියාවේ නියැලිලා ඉන්න ඔවුන් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ අතරේ කෑම උයන එක කියන්නේ බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ නිසාම සතියකට වේල් දෙකක්වත් මිලදී ගත් ආහාර වේලකින් කුස පුරවා ගන්නට සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඇත්තෙන්ම සෞඛ්‍යාරක්‍ෂිතද ? ඒ ආහාරවලට යොදන දෑ මොනවද ? අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.
අපේ දරුවන් පවා නිවසේ සකසන ආහාරවලට වඩා පිටින් ගෙනෙන ආහාරවලට දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාම වලින් හැඳින්වෙන මේ දෑ සමහරවිට දීර්ඝකාලීනව ශරීරගතවීම ශරීරයට අහිතකර වන්නට පුළුවනි. ඔබ සමහරවිට මෙවැනි වෙළඳසැලකින් ආහාර ගත් විට තරමක වැඩි පිපාසාවක් දැනෙන්නට පුළුවනි. එයින් ඔබට දක්වන්නේ ඔබ MSG නැතහොත් මොනො සෝඩියම් ග්ලූටමේට් කයන රසායනයේ ගොදුරක් බවට පත් වූ බවයි..
Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්‍ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නෙ. නමුත් මෙය අනෙක් ආහාර සමඟ හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto, Ac’cent, සහ Vestin යන වෙළඳ නාම වලින් ලොව පුරා බෙදාහැරෙනවා.
මෙය ශතවර්ශයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ කිකුනේ ඉකෙඩා (Kikune Ikeda) විසින් මුහුදු පැලෑටියකින් නිස්සාරණය කරගෙන වෙන් කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම “Umami” උමාමි ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස-ලුණු රස-ඇඹුල් රස-සහ තිත්ත රස වන රස වලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්‍ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනීකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමඟ සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්‍ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රාව්‍යතාවයක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් MSG ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළඳපළට ඉදිරිපත් කළා.
MSG ස්වභාවිකවම තක්කාලි, චීස් ආදී ආහාරවල තිබෙනවා. නමුත් බොහොම අඩු ප්‍රමාණවලින්. ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමඟ එකතුකළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ.. නියම ප්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරක වල ඇති රසයන් උළුප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමඟ හොඳින් මුසු වෙනවා. ඒ කියන්නෙ ඒ ආහාර වල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් භාවිතා කළහොත් පමණයි.. වැඩිපුර භාවිතා කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නෙ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්‍ෂණය නම් නියුක්ලියෝටයිඩ සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාර වලට අවශ්‍ය ලුණු වැනි දේ වල ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට MSG දමා ආහාරය රසවත් කිරීම නිසා ලුණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිතා කරන ලුණු ප්‍රමාණය 30% ක් අඩු කරගන්නට MSG භාවිතා කිරීමෙන් හැකි වෙනවා ලු. ලුණු වල ඇති 39% ක් වන සෝඩියම් ප්‍රතිශතය වෙනුවට MSG වල ඇත්තේ 12% ක සෝඩියම් ප්‍රතිශතයක්.
බොහෝ සැකසූ ආහාරවලට MSG ඇතුලත්කර ඇති බව සත්‍යයක්. ඔබ ඒ ආහාරවල ලේබල් පරීක්‍ෂාවෙන් කියවා බැලුවහොත් එය එක්කෝ Mono Sodium Glutamate ලෙසින් හෝ
අජි-නෝ-මොටෝ අනතුරුදායකද ?
MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාළයක් රසකාරකයක් ලෙස භාවිතා වෙමින් පවතිනවා. මේ කාළය තුළ මෙහි ආරක්‍ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුව ආහාර පිළිබඳ ආරක්‍ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නෙ. “MSG symptom complex” කියන රෝග තත්ත්‍වය නැතිනම් “Chinese Restaurant Syndrome” කියන රෝග තත්ත්‍වය මුලින්ම වාර්තා වුනේ Robert Ho Man Kwok විසින් ඇමරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පස් ඇති වූ රෝගී තත්ත්‍වයක් නිසා. ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවයක් හෝ ප්‍රතික්‍රියාවක් නිසා මේ තත්ත්‍වය ඇතිවිය හැකි වූ බවයි. වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සම්බන්ධය කිසිමදාක අධ්‍යයනය නොවුනත්, එදා සිට MSG මේ රෝග තත්ත්‍වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුනා. MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 g/kg ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. එනම් ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම් ඔබ එකවර MSG ග්‍රෑම් 900 ක් ආහාරයට ගත යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට- මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්) මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණ වලට පසුව රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හොත් යෙදෙන MSG ප්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විෂ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නෙ.
MSG නිසා ඇතිවන රෝගී තත්ත්‍වයන් පිළිබඳ පැහැදිළිතාවයක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්‍වයන්හි එකඟතාවයක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තා වලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්‍වයක් වත් වාර්තා වී නැහැ. එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරනලද පර්යේෂණ වලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්‍වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට් වල ඇති දායකත්‍වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් දැක්වී නැහැ. නමුත් MSG අහිතකරතාවයන් ඇති බවට බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා. එසේම රජරට ගොවියන් සිය වල්පැල නාශක ඉසිනයන්ට MSG පැකට්ටුවක් කවලම් කරන්නේ එහි ප්‍රබලතාවය කිහිපගුණයකින් වැඩිකර ගැනීමට. එසේනම් සත්‍ය වශයෙන්ම එහි කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති බව අනුමාන කළ හැකියි.
MSG ආහාරවලට එකතුකර ඇති බව පාරිභෝගිකයන්ට දැන්විය යුතු බවට ආහාර නියාමන අධිකාරියෙන් නීති පණවා තිබෙනවා. මේ නිසාම සමහර ආහාර ලේබල්වල MSG නමිනුත්, තවත් සමහර ලේබල් රසය වැඩිකර දෙන්නක් (Flavor Enhancer) ලෙසිනුත් දක්වා තිබෙනවා. සමහර ආහාර ලේබල් 621 අංකයෙන් එය දක්වා තිබෙනවා.
කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට MSG නිසා අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා අතර හිසරදය, වමනය, මුහුණ අත්පා ආදියෙහි හිරිවැටීම හෝ හැඟීම් දැනීමක් නොමැති වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවන්නට පුළුවන්. කෙසේ වුවත් අධිකලෙස ශරීරගත වුනත් MSG එකවරම විෂවන රසායනිකයක් නොවෙයි. නමුත් විවිධාකාර ආකාරයෙන් ඒ සංකූලතා දැක්වෙන්න පුළුවනි. මෙහි අනතුරුදායක භාවය වැඩිපර නොපෙනෙන්නේ එහි රෝග ලක්‍ෂණ දැඩිව පිටතට නොපෙනෙන නිසායි. ඒ වුනත් බොහෝවිට සමාජයේ කියවෙන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්‍වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. ඒ හා සම්බන්ධ සාක්‍ෂි කොහෙන්වත් හමු වී නැහැ. නමුත්, සාමාන්‍ය ලුණු මෙන් නොවෙයි MSG අධික මාත්‍රාවක් ආහාරයට එකතු කළත් එය සරළව සොයාගැනීමේ ක්‍රමයක් නැති නිසා ආහාරයට MSG කොපමණ එකතු වී ඇතිදැයි කියන්නට කිසිම කෙනෙකුට සරළව බැහැ. ලුණු එකතු වීමේදී එහි ඇති අධික ලුණු රසය නිසා හඳුනා ගන්නට පුළුවනි. මේ නිසා ඔබේ ආහාරයේ MSG කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතදැයි සායා ගැනීමට නොහැකියි. ග්ලූටමේට් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක්, නමුත් යම් ප්‍රමාණයක් ශරීරයේම නිපදවෙනවා…ඒ නිසා විශේෂයෙන් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ… අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ…
බොහෝ චීන අවන්හල් සහ වෙනත් ආහාර විකිණීමේ ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිතා වනවා, ඒ ඔවුන්ගේ ආහාරවල රස වැඩි කරන්නට බව අමතක කරන්න එපා… ඒ කෑම නිවසේ හදන කෑම වලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි… ඔබ එම රසයට ඇබ්බැහි වෙනවා, ඔබේ දරුවන් එයට ඇබ්බැහි වනවා. මේ නිසාම ඔබ වැඩි වැඩියෙන් ඒ ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා. මේ නිසා ඔබේ ශරීරයට සිදුවන දීර්ඝකාලීන හානිය වැඩියි. එසේම ඔබ වැඩි වැඩියෙන් මෙවැනි දෑ සහ තෙල් අධික, ආහාර ලබා ගැනීමේදී නිතැතින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, වෙනත් හෘද රෝග වැනි දෑ වලට නිතැතින්ම ගොදුරු වනවා. ඔබට පිටතින් බලා කවදාවත් ආහාරවලට MSG දමා ඇතිදැයි සොයාගත හැකි වන්නේ නැහැ. එය ආහාර ගත් පසුව ඔබට දැනෙන අසාමාන්‍ය තිබහ මගින් වැනි පසු කාලීන ප්‍රතික්‍රියාවක් මගින්ම පමණයි දැනගත හැක්කේ. නමුත් එවිට ඔභ ප්‍රමාද වැඩියි.
ඔබට විමසන්නට පුළුවනි, ඔබේ ආහාරය ලබාදෙන වෙලඳසැළ, හෝ පුද්ගලයාගෙන් ඔබට ලබාදෙන ආහාරයට MSG එකතු කර ඇත්දැයි කියා. ඔබට ඇණවුම් කරන්නට පුළුවන් MSG එකතු නොකර ආහාර ලබා දෙන ලෙසට, ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන් තව තවත් MSG එකතු කරන්නේ නම්, ඔබට තීරණය කරන්න පුළුවනි තව දුරටත් එතැනින් ඔබ ආහාර ලබා ගන්නේදැයි…
රිවිර සබැඳිය මෙතැනින්.
http://www.rivira.lk/online/2017/08/26/123879
Posted on සැප්තැම්බර් 1, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged Ajino moto, අජිනොමොටෝ, රසකාරක, ලිංගික කටයුතුවලට ආහාර, වතුර තිබහ හැදෙන්නේ ඇයි, වස විස, Mono Sodium GLutamate. Bookmark the permalink. ප්‍රතිචාර 3.
Lethal dose එක මීයන්ට වගේ පස් ගුණයක් කියන්නේ කිලෝ හැටක මනුස්සයෙකුට නම් කිලෝ හතර හමාරක් (900g X 5) කියනෙකද? එතන පැහැදිලි මදි.
අපේ ලොකු ලමයිනුත් ඔය රයිස් කොත්තු කඩෙන් ගෙනත් කන්න ඉස්සර හරි කැමතියි.. මම කරේ ඔය කියුව වගේ එතන ඉදල රසකාරක අඩුවෙන් දාගෙන හෝ නොදාම හදවල ගිහින් දුන්න එක.. එතකොට රහ නෑ කියල කන්නේ නෑ..දැන් වැඩිය ඉල්ලන්නෙත් නෑ.. 🙂
කැමතියිකැමතියි
ඇත්තෙන්ම Lethal Dose එක හැදෙන්නෙ එහෙමයි. නමුත් කිලෝ 4.5 ක් මෙලෝ පුතෙකුට කන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොම වුනත්, කිසිම කෙමිකල් එකක් වැඩියෙන් ශරීරයට ඕනම නෑ… ග්ලූටමේට් කියන්නෙ ශරීරයට අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක්… රහට කෑවා වගේ නෙවෙයි විවිධ අයගේ ශරීරවලට ඒවා ක්‍රියා කරන්නෙ විවිධ ආකාරයට.
රසකාරක අවශ්‍ය නම්, බොහොම පොඩ්ඩක් දාගෙන කන එක තමයි හොඳ, වෙන රටවල නම් මේ හැමදේම වෙන වෙනම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑම මේසයෙදිම දා ගන්නවා…
අවශ්‍ය නම්, මුලින් MSG නොමැතිව කෑම ගෙනැවිත්, ළමන්ට අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් දාලා කන්න දෙන්න…. ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණය අඩු කරලා, අවසානයේ MSG නොදමා ම කන්න දෙන්න පුළුවන් වේවි…
කැමතියිකැමතියි
Thank you very much for delivering the promise you made !!!
කැමතියිකැමතියි