Monthly Archives: ඔක්තෝබර් 2017
නුදුරු දිනෙක ලොව හොල්ලන කෘත්‍රිම බුද්ධිය – Artificial Intelligence
මිනිසා තරම් බුද්ධිමත් සත්ත්‍ව කොට්ඨාසයක් තවමත් මිහිපිට සොයා නොගත්තත්, සමහර මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බැලීමේදී මේ මිනිසාගේ හිස තුළ මොළයක් ඇත්දැයි සිතෙන තරමට මන්ද බුද්ධික සිදුවීම් ද සිදු වෙනවා. විශේෂයෙන් දිනපතා ප්‍රවෘත්ති විකාශනයන්හි වැඩි ඉඩක් ගන්නා දේශපාලන කණ්ඩායම්, එතැනට යද්දී මොළය ගෙදර තබාගොස් ඇති දැයි නොසිතෙනවා ද නොවේ. ලංකාවේ දුක්ඛිත තත්ත්‍වය එසේ වුවත්, පසුගිය සතියේ ලොව පුරා දියුණුව පතන පුද්ගලයන්ගේ දෑස් හැරීමට එක් සිදුවීමක් සමත් වුනා. එනම් සවුදි අරාබිය, ලෝකයේ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ඇමතිවරයෙකු පත් කිරීමයි. මේ පත්කිරීම සවුදි අරාබියේ 2030 දැක්ම හා සමගාමීව කරන ලද්දක්. ලෝකය කෙසේ ඉදිරියට ගියත්, අපට තවමත් බුද්ධියේ මූලික අඩිතාලම වන අධ්‍යාපනය හරිහැටි සකසා ගන්නට නොහැකිව සිටින නිසා, තවත් අවුරුදු 50 ක් ගියත් මේ පිළිබඳ අනතුරුදායක තත්ත්‍වයක අප නොසිටින බව නොබියව පුරෝකථනය කළ හැකියි.
මිනිසා සහ සතුන්ගේ සාමාන්‍ය බුද්ධිය හැරුණුකොටගෙන, යන්ත්‍ර මගින් සිදු කරන බුද්ධිමත් හැසිරීම කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ලෙස සරළවම විස්තර කළ හැකියි. කෙසේ වුවත් කෘත්‍රිම බුද්ධිය මේ යැයි යනුවෙන් පැහැදිලිවම අර්ථකථනයක් දීමට නොහැක්කේ මෙය විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වන නිසා. උදාහරණයක් ලෙස ගත්විට සාමාන්‍ය පරිඝණකයක ක්‍රියාකාරීත්‍වය එම පරිඝණකයට දත්ත කැවීමෙන් පසුව සිදු කරන ක්‍රියාදාම වලින් සමන්විතයි. එය භාවිතයෙන් අළුතෙන් යමක් කරවා ගැනීමට අවශ්‍ය නම්, එයට නැවත මෘදුකාංගයක් ඇතුලත් කළ යුතුමයි. එසේ නොකළහොත් නවතාවයකින් යමක් සිදු කිරීමට පරිඝණකයට නොහැකියි. නමුත් එම පරිඝණකයම ඔබේ දත්ත සැපයීමේ හෝ වෙනත් අන්තර් සම්බන්ධතාවයක් භාවිතයෙන් නව ප්‍රවණතාවයක් ඇතිකර ගනී නම්, එය කෘත්‍රිම බුද්ධිය හා සබැඳි ක්‍රියාදාමයක්. ඔබේ උදෑසන අවදිවීම සෑමවිටම උදෑසන හයට සිදුවේ නම්, පරිඝණකය එය බලාපොරොත්තුවෙන් උදෑසන හය වනවිට සිය මෙහෙයුම් පද්ධතිය බාහිර දත්ත කැවීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රිියාත්මක වී ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටී නම්, ඔබ දෙනු ලබන විධානයන්ට තාර්කිකව ස්වයංක්‍රීයව ප්‍රතිචාර ලබා දේ නම්, එම පද්ධතිය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ක්‍රියා කරන පද්ධතියක් ලෙස හඳුන්වන්නට පුළුවනි.
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලිකම උත්සාහය යෙදෙන්නේ ක්‍රිස්තු පූර්ව 1300 තරම් ඈතකදී Ramon Llull විසින් ගණනයන් සිදු කිරීමට මිනිස් මොළයට අමතරව කිසියම් යන්ත්‍රයක් නිපදවීමට දරන උත්සාහයත් සමගයි. ඇබකසයේ භාවිතයත් ඊට සමගාමීවම සිදු වුනා. Gottfried Leibniz විසින් ඉලක්කම් ගණනයට වඩා වෙනස් වූ සංසිද්ධි ගණනය කළ හැකි කැල්කියුලේටරයේ මූලික අවස්ථාවක් නිපදවීම සහ Wilhelm Schickard විසින් 1623 දී එය යතාර්ථයක් බවට පත්කිරීම වැනි දෑ එහි ආරම්භක උත්සාහයන් ලෙසින් හඳුන්වන්නට පුළුවනි.
කෘත්‍රිම බුද්ධිය මුලින්ම එළි දැක්වෙන්නේ 1956 දී වුවත්, එහි මූලික අඩිතාලම වැටෙන්නේ 0 සහ 1 අනුසාරයෙන් විවිධාකාර ගණනය කිරීම් සිදු කළ හැකිය යන Alan Turing ගේ ගණිතමය සිද්ධාන්තයත් සමගයි. සංඛ්‍යාංක (Digital) පරිඝණකවලට ඕනෑම විධිමත් තර්කනයක් කළ හැකිය යන Church–Turing Thesis යන සංකල්පය සහ ස්නායු ශල්‍ය විද්‍යාව, සතුන් හා යන්ත්‍ර අතර පණිවුඩ හුවමාරු අධ්‍යයන විද්‍යාව (Cybernetics) ආශ්‍රිත තවත් සොයාගැනීම් නිසා ඉලෙක්ට්‍රොණික මොළයක් නිපදවිය හැකි බවට විද්‍යාඥයින් අතර විශ්වාසයක් පැන නැංගා. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මූලිකවම හඳුනාගත හැකි සැලැස්ම Warren Sturgis McCulloch සහ Walter Pitt විසින් 1943 විසින් එලිදැක්වූවා.
කෙසේ වුවත්, කෘත්‍රිම බුද්ධිය නම් විෂයය සැලසුම් සහගතව අධ්‍යාපනික ක්‍ෂෙත්‍රයක් ලෙස මුලින්ම හඳුනා ගැනෙන්නේ 1956 වසරේදී ඩාර්ට්මවුත් විශ්ව විද්‍යාලයේදී තිබූ වැඩමුළුවකදීයි. එයට සහභාගී වූ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ Allen Newell සහ Herbert Simon, මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියේ John McCarthy සහ, Marvin Minsky මෙන්ම අයි බී එම් ආයතනයේ Arthur Samuel යන අය වර්තමාන කෘත්‍රිම බුද්ධිය යන සංකල්පයේ නිර්මාතෘ වරුන් ලෙස හඳුන්වනවා. එම වැඩමුළුවේදී ඔවුන්ගේ සිසුන් මිනිස් බුද්ධිය පරදවන චෙස් ක්‍රීඩා සහ වෙනත් තාර්කිකව ක්‍රීඩා කරන පරිඝණක වැඩසටහන් නිෂ්පාදනය කිරීම මෙහි මූලාරම්භය ලෙස සනිටුහන් කළ හැකියි. 1960 ගණන්වලදී මේ පිළිබඳ ආයෝජන අයිතිය ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ලොව පුරා විවිධාකාර පර්යේෂණායතන පිහිටවූවා.
එදායින් පසුව මෙම විෂයය ක්‍ෂෙත්‍රය විවිධාකාර රැලි කිහිපයක් පසුකරමින් අද පවතින ඉතා මතභේදකාරී සහ දියුණ තත්ත්‍වයට පත්ව තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය පර්යේෂණවල සාම්ප්‍රදායික උප ක්‍ෂෙත්‍ර බොහොමයක්. තාර්කික බුද්ධිය, සැලසුම්, ඉගෙනීම, ස්වභාවිකව භාෂාවන් භාවිතය, ස්වයං අවබෝධය සහ විවිධ වස්තූන් චලනය සහ භාවිතය වැනි ක්‍ෂෙත්‍ර ඒ අතරින් ප්‍රධානයි. මෙහි දීර්ඝකාලීන බලාපොරොත්තු වන්නේ සංඛ්‍යානමය දත්ත සැකසීම සහ භාවිතය, ස්වයංක්‍රීය ගණනය කිරීම් පිළිබඳ බුද්ධිමත් තීරණ ගැනීම් වැනි උප ක්‍ෂෙත්‍රයි. මේ හා සමගාමීව දැන් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් බොහෝ දෑ සිදු කර අවසන්. උදාහරණ වශයෙන් ගණිතමය ගණනය කිරීම් සහ ඒවා ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම, විද්‍යාත්මක ගණනයන්, මානසික විද්‍යාත්මක උපකල්පනය කිරීම්, භාෂා භාවිතය, දර්ශනය, ස්නායු ශල්‍ය විද්‍යාව, කෘත්‍රිම මානසික විද්‍යාව වැනි දෑ ඉදිරියෙන්ම තිබෙනවා.
1970 දශකයේදී මන්දගාමී ස්වරූපයක් ගත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ නැවතත් පණ ලබා පැමිණියේ 1980 ගණන්වලදී තැනූ Expert Systems නම් පරිඝණකයේ නිමැවුමත් සමගයි. 1985 වනවිටත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ව්‍යාපාර වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබුණේ එහි ඇති වැදගත්කම ලොවට පසක් කරමින්. මේ වනවිටම ජපානයේ සිදුවෙමින් පැවතුන පස්වන පරම්පරාවේ පරිඝණක ව්‍යාපෘතිය නිසා ඇමරිකානු සහ බ්‍රිතාත්‍ය රාජ්‍ය තුළ නව තරඟයක් ඇති වූවා. කෙසේ වුවත් ලොව පළමු තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිඝණකය වූ Lisp Machine හි අසාර්ථකත්‍වයත් සමගම නැවතත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ පසුගාමීත්‍වයකට පත් වූවා.
නැවත 1990 ගණන්වල, සිදු වූ පුනරුදය මේ දක්වාම නොනැසී පැවතීම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ ලැබූ ලොකුම ජයග්‍රහණයයි. මෙහි ප්‍රධානතම සාර්ථකත්‍වය වන්නේ පරිඝණකවල බලය සහ වේගය ඉතා ඉක්මනින්ම දියුණු වීම සහ දත්ත සැකසීම සහ භාවිතයේ දියුණුව සුවිශාල වශයෙන් වැඩි වීමයි. ඒ අනුව 1997 වසරේදී කෘත්‍රිම බුද්ධිය තනා සැකසූ Deep Blue නම් පරිඝණකය 1997 වසරේ මැයි 11 වන දින ප්‍රථම වරට එවකට ලෝක චෙස් ශුරයා වූ Garry Kasparov පරාජය කිරීම මගින් සිය අද්විතීයභාවය සනිටුහන් කරනු ලැබුවා.
2010 වනවිට විශාල ප්‍රමාණයක් දත්ත ප්‍රයෝජනයට ගැනීම සහ පරිඝණකවල සුපිරි ක්‍රියාකාරීත්‍වය නිසා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ විශාල පරිණාමයක් සටහන් වූවා. ඇමරිකාවේ ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන Jeopardy නම් වැඩසටහනේ ශූරයින් වන , Brad Rutter සහ Ken Jennings දෙදෙනා ප්‍රදර්ශන තරඟයකදී IBM සමාගම විසින් නිපදවූ Watson නම් කෘත්‍රිම බුද්ධිය සහිත පරිඝණකය මගින් ඉතා ඉහළ ලකුණු වෙනසකින් පරාජය වූයේ කෘත්‍රිම බුද්ධියේ පරිණාමය සනිටුහන් කරමින්., මෙයට අමතරව විවිධාකාර සංකීර්ණ පරිඝණක ක්‍රීඩා සහ වෙනත් අවස්ථාවලදී මානව බුද්ධිය අභිබවමින් කෘත්‍රිම බුද්ධිය ගවු ගණනක් ඉදිරියෙන් සිටින බවට බොහෝ අවස්ථාවල තහවුරු වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කළ තරඟ ගණනාවකදී පැහැදිලිවම මානව බුද්ධිය පරාජය වීම නිසායි.
ක්‍රීඩා සහ වෙනත් තරඟ අංශවලින් එසේ වුවත්, ප්‍රායෝගික භාවිතාවේදීත් කෘත්‍රිම බුද්ධිය ඉතා ඉදිරියෙන් සිටිනවා. එසේම Microsoft සමාගම මගින් මෑතකදී එලිදැක්වුණ Skype මගින් භාෂාවන් පරිවර්තනය කිරීමේ හැකියාව සහ Facebook හි අන්ධ පුද්ගලයින්ට පින්තූර විස්තර කිරීමේ හැකියාව ආදිය කෘත්‍රිම බුද්ධියේ වැදගත් සන්ධිස්ථානයන් වූවා.
අන් සෑම කටයුත්තක් මෙන්ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධවත් කිසියම් අභිප්‍රායන් තිබෙනවා. එහි මූලිකම අභිප්‍රාය වන්නේ පරිඝණක සහ යන්ත්‍රවලට බුද්ධිමත් ආකාරයෙන් ස්වයංක්‍රීයව කටයුතු කිරීමට තාක්‍ෂණික ඉඩ පහසුකම් සැලසීමයි. ඒ අනුව මේ වැඩසටහන උප කොටස් ගණනාවකට බෙදා තිබෙනවා.
හේතු දැක්වීම සහ ප්‍රශ්න විසඳීම – Reasoning, problem solving
ස්වභාවික බුද්ධියේදී සිදු වන්නේ ප්‍රශ්නයක් පියවරෙන් පියවර විසඳීමයි. කෘත්‍රිම බුද්ධිය එලිදැක්වුන කාලයේ පර්යේෂකයන් සිදු කළේද ප්‍රශ්න විසඳීම පියවරෙන් පියවර සිදු කරන ආකාරයේ හෝ තාර්කික ඉවත්කිරීම් අනුසාරයෙන් ප්‍රශ්න විසඳන ඇලොගරිදම් එලිදැක්වීමයි. නමුත් 1980-90 ගණන්වලදී එය වැඩිදියුණු වී අසම්පූර්ණ තොරතුරු මත පවා පදනම් වී ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් එලිදැක්වූවා. මෙය බොහෝ විට අහඹුතාවය සහ ආර්ථිකමය ප්‍රශ්න විසඳීමට විශාල පිටිවහලක් වූවා.
බුද්ධිය නියෝජනය – Knowledge Representation
බුද්ධිය නියෝජනය සහ බුද්ධි ඉංජිනේරු ශිල්පය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණවල කේන්‍ද්‍රය වනවා. මෙහිදී සිදු කෙරෙන බොහෝ විසඳුම් සඳහා ලෝකය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අවශ්‍ය වනවා. ඒ අතර වස්තූන්, ඒවායේ ගුණ, ප්‍රභේද සහ එම වස්තූන් අතර වූ අන්තර් සම්බන්ධතා, විවිධ අවස්ථා, තත්ත්‍වයන් සහ කාලය, හේතුව සහ ඵලය, දැනුම පිළිබඳ වෙනත් අය දන්නා දේ ආදිය ප්‍රධානයි. තවත් කොටසක් වන අර්ථශාස්ත්‍රයේදී යෙදෙන තාර්කික මූලධර්ම, පුද්ගලයන් සහ චරිත, ගතිගුණ සහ නියෝජිත භාෂාවන් භාවිතා වනවා. උදාහරණයක් ලෙස වීඩියෝ හෝ චිත්‍රපටවල ස්වයංක්‍රීයව උපසිරැසි සැකසෙන ක්‍රමවේදය සකසා ඇත්තේ මෙම ක්‍රමය උපයෝගී කරගෙනයි.
සැලසුම් – Planning
සාමාන්‍යයෙන් සැලසුම් සකස් කරන්නන් සිදු කරන්නේ අනාගතය පිළිබඳ යම් දැකීමක් ඇතිව කටයුතු කිරීමයි. එහිදී අදාල සම්පත් භාවිතා කර එම අවස්ථාවට වඩාත්ම උචිත සැලසුම ඉදිරිපත් කෙරෙනවා. මෙහිදී තනි පුද්ගලයෙකු සේ ක්‍රියා කිරීම සහ සමූහයක් ලෙස තීරණ ගැනීම යන අංශ දෙකෙන්ම සැලසුම් කිරීම සළකා බැලෙනවා.
ඉගෙනීම – Learning
කෘත්‍රිම බුද්ධියේ මූලිකම සිද්ධාන්තයක් වන්නේ යාන්ත්‍රික ඉගෙනීමයි. එහිදී පවතින ක්‍රමය මෙන්ම අත්දැකීම් ද පාදක කරගනිමින් කෘත්‍රිම බුද්ධිය තීරණ ගනු ලබනවා. කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු කටයුතු කරන්නේ මේ ආකාරයටයි. මුලින්ම රොබෝවරුන්ට යම් බුද්ධිමය තොරතුරු කැවීමක් සිදු කළ පසු ඒවා ඒ සිද්ධාන්ත සහ අත්දැකීම් උපයෝගී කරගෙන ස්වයං ඉගෙනුමක නිරත වනවා. ඉන්පසු බුද්ධිය මෙහෙයවමින් සිය කාර්යයන් සිදු කරනවා.
ස්වභාවිකව භාෂා සැකසුම – Natural Language Processing
මෙමගින් මානව භාෂාවන් කියවීම, හඳුනාගැනීම සහ තේරුම්ගැනීමේ හැකියාව යන්ත්‍රවලට ලබාදීම සිදු කරනවා. මේ අනුව එය ලිඛිත භාෂා හඳුනාගැනීම සෘජුවම භාවිතා කරන අතර එය මූලිකවම සිදු කරන්නේ අර්ථශාස්ත්‍රමය ක්‍රම භාවිතයෙන් වෙන් කරගැනීමයි. ඒ මගින් තොරතුරු නිරාවරණය, ලිඛිත වගන්තීන් සොයාගැනීම, ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සහ පරිවර්තනය සිදු වනවා.
අවබෝධය – Perception
යාන්ත්‍රිකමය අවබෝධය යනු, කැමරා, මයික්‍රෆෝන, ආදී විවිධාකාර සංවේදක හරහා ලැබෙන සංනිවේදනයන් සකසා අදාල තොරතුරු නිර්ණය කිරීමයි. එයට හොඳම උදාහරණ වන්නේ මුහුණු හඳුනාගැනීමේ ක්‍රමවේදය, භාෂා විලාශයන් හඳුනා ගැනීම, සහ වස්තූන් හඳුනාගැනීමේ ක්‍රමවේද වනවා.
රොබෝවිද්‍යාව – Robotics
කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යය පිළිබඳ වඩාත්ම ප්‍රචලිත උදාහරණය වන්නේ රොබෝ විද්‍යාවයි. මෙහිදී භාණ්ඩ හැසිරවීම සහ ස්ථාන, සිතියම් ආදිය භාවිතයෙන් සිදු කරන යාත්‍රණය, ආදී චලනාත්මක උපයෝගීතා සිදුවනවා.
සමාජයීය බුද්ධිය – Social Intelligence
මෙහිදී මිනිස් සිතිවිලි හඳුනාගැනීම, තේරුම් ගැනීම, සහ සැකසීම මූලික වශයෙන්ම සිදු කෙරෙනවා. මෙය පරිඝණක විද්‍යාව, මානසික වෛද්‍ය විද්‍යාව සහ බුද්ධිමය දැනුම් ක්‍ෂෙත්‍රවල අන්තර්ස බඳතාවයකින් සැකසුනු ක්‍ෂෙත්‍රයක්. මෙය වඩාත් වැදගත් වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ අභිප්‍රායන් උපකල්පනය කිරීමේ හැකියාව ලබාගෙන වඩා හොඳ අනාවැකි කීමට හැකිවීමයි. මේ නිසා මානව – යන්ත්‍ර අන්තර් සබඳතාවයන් ඉතාම සුමටව සිදුකිරීමේ හැකියාව ලැබෙනවා. එනම් සමහරවිට හැඟීම් හඳුනාගැනීම සහ හැඟීම් පළකිරීම දක්වාම දියුණු වන්නට පුළුවන්. එය කෘත්‍රිම බුද්ධිය නව මානයකට ගෙන යාමට සමත් වනවා.
නිර්මාණශීලීත්‍වය – Creativity
නිර්මාණශීලීත්‍වය තවමත් මිනිසුන් සතු වූ දෙයක් වූවත්, ක්‍රම ක්‍රමයෙන් යන්ත්‍ර මගින් මානව හැඟීම් හඳුනාගැනීම වැඩි වනවිට නිර්මාණශීලීත්‍වය වුවත් කෘත්‍රිම බුද්ධිය හරහා සිදු වන්නට පුළුවනි. ඒ අනුව නව නිර්මාණ සැකසීම, ඇඟළුම් ක්‍ෂෙත්‍රය වැනි අංශවල නව සැලසුම්, වර්ණ සංයෝජන සැකසීම වැනි දෑ පරිඝණක මගින් සිදු වන්නට පුළුවනි.
සාමාන්‍ය බුද්ධිය – General Intelligence
බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන පරිදි අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය, ඉහත කී අංශ සියල්ලේම එකතුවකින් මානව බුද්ධිය අභිබවා කටයුතු කරනු ඇති. තවත සමහරු කල්පනා කරන්නේ මනුෂ්‍යාරෝපිත ලක්‍ෂණ වන කෘත්‍රිම විඥානය එසේත් නැතිනම් කෘත්‍රිම මොළයක් පවා තැනීම මේ මගින් සිදු විය හැකි බවයි. කෙසේ වුවත් භාෂාවන් සැකසීම, හේතු දැක්වීම, දැනුම සහ සමාජයීය බුද්ධිය වන කරුණු සියල්ලම එකතුව ගත් කළ තවමත් කෘත්‍රිම බුද්ධිය මානව බුද්ධිය අභිබවා යාමට සමත් වී නොමැති නිසා අප ආරක්‍ෂා සහිතව සිටිය හැකියි.
දැන් දැන් බොහෝ පරිඝණක සහ යාන්ත්‍රික උපයෝගීතා වලදී කෘත්‍රිම බුද්ධිය භාවිතා වනවා. සුළු වශයෙන් අප භාවිතා කරන ජංගම දුරකථන වලත්, මහා පරිමාණව Google, Facebook, Amazon, වැනි වෙබ් අඩවිවලත් භාවිතා වන කෘත්‍රිම බුද්ධිය Tesla කාර් රථයේ ඉතාමත් ප්‍රබලව භාවිත වන්නේ අනාගත ලෝකයේ තත්ත්‍වය කියාපාමින්. කාර් රථයේ මාර්ග විස්තර සහ එය අත් දකින බාධක, මාර්ගයේ ස්වභාවය වැනි සියළුම දත්ත එක් Cloud Server එකකට එකතු වන මේ පද්ධතිය එයට සම්බන්ධ අනෙකුත් සියළුම Tesla කාර් සමග එය ස්වයංක්‍රීයවම බෙදා හදා ගන්නවා. එමගින් කිසිදු දිනෙක නොගිය මාවතක වුවත්, පෙර දිනක ගමන් කළාක් මෙන් පහසුවෙන් සහ නිවැරදිව ගමන් කිරීමේ හැකියාව අපට ලැබෙනවා.
කෘත්‍රිම බුද්ධිය දැන් දැන් බොහෝ අංශවල භාවිතයට ගැනෙනවා. කර්මාන්ත ශාලා, මානව සබඳතා සම්බන්ධ සංවිධාන, අන්තර්ජාල වෙළඳාම, වීඩියෝ ක්‍රීඩා, අන්තර්ජාල සේවා, බැංකු කටයුතු, ආරක්‍ෂාව සම්බන්ධ කටයුතු, අන්තර්ජාල වෙලඳ දැන්වීම් සහ අප වෙත කරනු ලබන යෝජනා, ප්‍රවෘත්ති සැකසීම, සුපිරි උපාංග, ජංගම දුරකථන, ආදී නොයෙකුත් අංශවලින් අප නොදැනුවත්වම අපට කෘත්‍රිම බුද්ධිය මගින් සේවා සැපයෙනවා. මේ නිසා අපට දැන් කෘත්‍රිම බුද්ධිය නැතිවම බැහැ. කෘත්‍රිම බුද්ධිය අතිශය ප්‍රයෝජනවත් සේම, අතිශය භයානක වන්නත් පුළුවන්. බටහිර චිත්‍රපටයක් වූ iRobot චිත්‍රපටයේ දැක්වෙන පරිදිම, කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ වරයෙකුට තවත් රොබෝ හමුදාවක් තැනීම අපහසු කටයුත්තක් නොවන්නට පුළුවනි. මේ නිසාම කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමේ අවශ්‍යතාවය ඉලොන් මස්ක් විසින් මෑතකදී ප්‍රකාශ කළේ Facebook මගින් සිදු කළ කෘත්‍රිම බුද්ධිමය සැකසීමක භාෂාව එමගින්ම වෙනස් කරගෙන, පරිඝණක අතර අන්තර් සම්බන්ධතාවයක් සකසා ගැනීම පරිඝණක විද්‍යාඥයන්ගේ අතට හසුවීම නිසා. මේ අනුව කෘත්‍රිම බුද්ධිය අපේ ඇස්වලට වැලි ගසා තනිවම ක්‍රියා කරන්නට පුළුවනි. වාසනාවකට දැන් ඒ තත්ත්‍වය හඳුනාගෙන එවැනි ස්වයං භාෂා නිර්මාණය කිරීමේ හැකියාව නවතාලූවත්, අනාගතයේ ඊටත් වඩා සූක්‍ෂමව ඔවුන් අපව මුලා නොකරනු ඇතැයි සිතිය හැක්කේ කාටද ?
පිටස්තරයා – 13
සත්තකින්ම….ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා…
දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.
විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි… අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි…
අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි… නමුත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න… මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්… නමුත් අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ සෘෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා… මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගපල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්.. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාළයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ… ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ සෘෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ…
වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය…
සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා… ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා… මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුන පුද්ගලයෝ ගැන… මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුන අවධියක සිටිනවද කියලා මට සැකයි… කොහොම වුනත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්‍වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්‍වයට ගෙන එනවද කියන එක නොවයි නෙ… ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමුද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි…
කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස… මමත් ඒකට එකඟයි… අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු… මම ඉඩකඩ සලස්වා දෙන්නම්…
බොහොම හොඳයි දොස්තර මහත්මයා… අපි ගොහින් එන්නම්… හෙට හමුවෙමු…
එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියළු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.
ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ බොහෝ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේය… ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තාය….
නික්ම යාමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නාය….
ඇය පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි… පිටුපස නොහැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි තීක්‍ෂණව ඇය බැලුවාය…..
දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවාය…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද ජෙනී කිසි කතාවක් නැතුව………
මොනවා කතා කරන්නද ? බලනවා තමුසෙලා කරපු වැඩේ….. මේ මනුස්සයා ඉන්න තත්ත්‍වය. ! මොකද ලොක්කා කියන්නෙ ?
මොනවා කියන්නද ? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි….. හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා….මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුනත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි… අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන… ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ…. නැතිනම් වැඩිය හානියක් නැහැ…
දැන් කාර් එකට කොහොමද ?
කාර් එක ගන්න දෙයක් නැහැ… ඒක රක්‍ෂණ සමාගමට කියලා අළුතෙන් එකක් ගන්නයි වෙන්නෙ….. ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා… අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ…
මොනවා කළත් කමක් නෑ… මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න… මේ වැඩේ හරි නොගියොත් අපි තුන්දෙනාම ගස්…. මම නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ බරපතල දෙයක්… අපි මීට වඩා සූක්‍ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා… මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්… කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න…. ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියාය.
………………………………………………………………………………………………………
එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය…..
ලොකු හාමුදුරුවනේ…….. මේ මම සුමනසේකර කතා කරන්නෙ……..
ආ සුමනසේකර මහත්මයා….. අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ…. අපි බලාපොරොත්තු වුනේ තුන් දවසක්ම පිරිත් කියන්නයි…
අනේ කොයිතරම් හොඳයිද ලොකු හාමුදුරුවනේ….. කොහොමද අපේ දරුවට ?
සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ….. විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල් වලින් එකක… එතැන හොඳම පහසුකම් තියෙන්නෙ… ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන… සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ… ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා… කිසිම අඩුවක් වෙන්නෙ නැහැ…. බය වෙන්න එපා……. දැන් කවදද සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ ?
අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ…. ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ…
ආ.. බොහොම හොඳයි… බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියළුම දේ කරන්නම්… හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා…
අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;;
ආ….. මේ එන්නෙ………. අපි හිතුවෙ එන එකක් නැහැ කියලා…. කොහොමද විශ්වට දැන් ?
තවම සිහිය නැහැ…… හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා…. එතකොට නම් පොඩි වෙනසක් තිබුණා… නමුත් ආයෙම පරණ තත්ත්‍වයටම පත් වුනා….
ඒ කොහොමද එහෙම වෙන්නෙ ?
මමත් කියන්න දන්නෙ නැහැ… ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුනා… මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා… මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්‍වයක්… විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි… නමුත් සිහිය එන්නෙ නැහැ… කෝකටත් මම හෙටත් යනවා බලන්න….
අපිත් එන්නම් බලන්න යන්න… කොහොම වුනත් මිනිහා හරිම හොඳයි… කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ….
මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා… කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න… ඒක හමුදා රෝහලක් නිසා ආරක්‍ෂාව තදයි….
ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුලත් කළේ ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..
මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති… මොකද, අනතුර වුන වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ… ආරක්‍ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ… අද්මිරාල් වෙන්න ඇති විශ්ව ව හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ…
කොයි තරම් කාලයක් යයිද මිනිහට සිහිය එන්න ? පව්… ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ… ජීවිතේ පටන් ගත්තා විතරයි…
මටත් තියෙන දුක ඒකයි…. කොහොම වුනත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා… අපි බලමු…තවම දවසක් වත් ගියේ නැහැනෙ…
කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න ?
ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ… ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ… හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි… අවසන මොලී පැවසුවාය…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි….
එහෙනම්…. ?
මම මේ ගැන සොයා බැලුවා… මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්…
නමුත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුනාට පස්සෙ යථා තත්ත්‍වයට පත් වුනේ ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද ? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණද ?
නැහැ… පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුනේ… අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුනේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා.. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ…
ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහයන් විසින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි. විශේෂයෙන් මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහයන් විසින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන් වූ රෝගියෙකුගේ වූ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්‍වය ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සළකනු ලබයි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ඩොක්ට දැන් විශ්වට ?
මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවාය.
තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ… නමුත් සියළුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි… ඒක හොඳ ලකුණක්… අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා… මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී… බය වෙන්න එපා…. සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා… එහෙම නොවුනොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා… මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේදී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා… සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙදි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුනාද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්‍ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලාද කියලා.
ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළහ..
අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේය.
පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියාය… අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය… මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය… දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි… තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.
කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය… මොලී වහා නැගිට විශ්ව දෙස යාමට සැරසුනත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබීය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය… විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේය…. මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියාය… ඇගේ සිතේ මෙන්ම මුහුණේද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය….
පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවීය…. ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක… මොලීද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියාය….
එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය…
කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ. ? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි…
කලබල වෙන්න එපා දොස්තර මහත්මයා… විශ්වම තමයි අත සෙලවූවෙ… මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා…
ඇත්ත ඩොක්ට…. හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ… මටත් හරිම පුදුමයි… කොහොමද මෙහෙම වුනේ කියලා….
පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා… අපි පිළිගන්න ඕන හැම දේම විද්‍යාවෙන්ම විසඳන්න බැරිබව… සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා… නමුත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්… මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නොයන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි… එපමණක් නෙවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු… මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්‍වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු… මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන…. ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න… මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නොදන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්…
හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුනොත් අපි ඔබ වහන්සෙව සම්බන්ධ කර ගන්නම්… ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නොවෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරණවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුලත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුලත් කෙරෙන්නෙ නැහැ… වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේය….
විශ්වට සිහිය එලැඹෙයිද ?
විශ්ව අසිහියෙන් සිටියත් සන්නිවේදනය කරන්නේ කා සමගින්ද ?
විශ්වට සිදු වූ අනතුර කවුරු විසින් කරන ලද්දක්ද ?
පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ?
ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්.
අද ලෝකයේ පාවිච්චි වන බිලියන 8.4 ක් වන අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වලින් බොහොමයක්ම දෑ ස්පර්ශක සංවේදී තිර වලින් සමන්විතයි. ලොව රටවල් 88 ක ගණනයෙන් ජනගහනයෙන් සියයට 44 ක් ස්මාට් ජංගම දුරකථන භාවිතා වන බවයි සංඛ්‍යාත්මක දත්ත වලින් පැවසෙන්නේ. මෙය 2022 වනවිට සියයට 58 ක් දක්වා වැඩි වන්නට පුළුවනි. අපේ කුඩා දරුවන් පවා දැන් වැඩිහිටියන්ටත් වඩා ඉක්මනින් ස්පර්ශක සංවේදක උපාංගවලට අනුගත වෙනවා. ජංගම දුරකථනවලින් ඔබ්බට ගොස්, ටැබ්, රූපවාහිනී, ශීතකරණ, ව්‍යායාම උපකරණ, ස්වයං සේවා ස්ථාන, බැංකු, සහ වාහනවල නියාමක පුවරු ආදී බොහොමයක් දෑ පවා දැන් ස්පර්ශක සංවේදක තිරවලින් සමන්විතයි. මේ නිසා ඉදිරියේදී ලොව බොහෝ උපාංග අනිවාර්යයෙන්ම ස්පර්ශක සංවේදී තිරවලින් යුක්ත වීම වලකා ලන්න බැහැ. 2020 වනවිට අන්තර්ජාලයට සම්බන්ධ උපාංග සංඛ්‍යාව බිලියන 20 ක් දක්වා වැඩිවිය හැකි බවයි සැලකෙන්නේ. අපි හැමදාම හැම වෙලේම පාවිච්චි කළත්,මේ ස්පර්ශ සංවේදක පෘෂ්ඨවල ක්‍රියාකාරීත්‍වය කොහොමද කියලා බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවනි.
ස්මාට් දුරකථන භාවිතාවේදී ඉදිරියෙන්ම සිටින්නේ උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. නැගී එන වෙළඳපොළවලින් මධ්‍යම සහ ලතින් ඇමරිකාව මෙම උපාංග හඳුන්වාදීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටිනවා. ආසියාව ඊට පිටුපසින් සිටින අතර අප්‍රිකානු කලාපට ඉතා සෙමින් වර්ධනය වීමක් දක්වනවා.
ලෝකයේ ඇති සමහර දෑ වලට එක් පුද්ගලයෙක් පමණක් දායක වී නැහැ. අප නොදන්නවා වූවත්, මෝටර් රථ, ගුවන්යානා, පරිඝණක, ආදී දෑවල සොයා ගැනීම සහ ප්‍රගමනය බොහෝ දෙනාගේ දායකත්‍වයෙන් සිදු වූවක්, ස්පර්ශ සංවේදක තිරයටත් එක් මූලික නිමැවුම්කරුවකු නැහැ. එසේ නමුත්, එය විකාශනය වූ ආකාරය නම් බොහොම රසවත්.
ස්පර්ශ සංවේදක තිරවල සොයා ගැනීම 1950 දී පමණ සොයා ගත් තුඩෙහි ආලෝක සංවේදී කොටසක් ද, වලිගය පරිඝණකයට සම්බන්ධ ආලෝකය භාවිතයෙන් ලියැවෙන පෑනක් දක්වා අතීතයට දිව යනවා.මෙය පරිඝණක ග්‍රැෆික් තාක්‍ෂණය සඳහා සැකසුන Project Whirlwind නම් ව්‍යාපෘතියට සම්බන්ධකයි. මෙය වර්තමාන ස්පර්ශ සංවේදී තිර මෙන් ක්‍රියාත්මක නොවුනේ සියළුම ක්‍රියාවලි පෑන තුළ වූ පරිපථ මගින් පාලනය වූ නිසයි. නමුත් මේ පෑනෙන් සාමාන්‍ය පරිඝණක තිර, ස්පර්ශ සංවේද තිර මෙන් භාවිතා කළ හැකි වූවා.
ස්පර්ශ සංවේදක තිර පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත්තේ එංගලන්තයේ රාජකීය රේඩාර් ආයතනයේ (Royal Radar Establishment ) E.A. Johnson විසින් 1965 දී ප්‍රකාශ කරන ලද කෙටි ලිපියකින්. එසේ වුවත්, 1960 දශකය සහ 70 දශකයේ මුල් කාලයේදී පරිඝණක විද්‍යාඥයින් විසින් මිනිසා සහ පරිඝණකය අතර වූ පරතරය අඩු කිරීම වෙනුවෙන් කළ පරීක්‍ෂණ වලදී නව සොයාගැනීම් බොහොමයක් සිදු වූවා. ඒ අතර මවුසය සොයාගත් Douglas Engelbart, පරිඝණක ග්‍රැෆික් සහ virtual reality (අතථ්‍ය යතාර්ථය) සොයා ගත් Ivan Sutherland, සහ Graphical User Interface (GUI) සොයාගැනීමට දායක වූ ඔහුගේ සගයා වන Alan Kay කළ පර්යේෂණ වැදගත් සංධිස්ථානයක් සටහන් කළා.
වර්තමාන ස්පර්ශ සංවේදී තිරයකට ආසන්නයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් තැනීමට Elographics, Inc. නම් ආයතනයේ George S. Hurst සහ William C. Colwell සමත් වූ අතර ඔවුන් එය “Discriminating Contact Sensor,” නමින් නම් කර, 1975 ඔක්තෝබර් 07 වන දින පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. එහි විශේෂත්‍වය වූයේ විද්‍යුත් පරිවාරක ස්ථරයකින් වෙන් කළ සන්නායක තිර දෙකක් පෑනකින් තද කිරීමේදී නැවත සන්නායකතාවය ඇතිකිරීමෙන් මෙම සංවේදීතාවය ලබා ගැනීමයි. එය සාමාන්‍යයෙන් පෑනකින් ලියනවාක් වැනි කර්තව්‍යයකින් සංවේදනය ලබා ගත්තත්, දැන් භාවිතා වන ස්පර්ශ සංවේදන තිර මෙන් භාවිතා කරන්නාගේ ඇඟිලිවලට සංවේදනය ලබා දුන්නේ නැහැ.
බොහෝ දෙනා සිතා සිටින්නේ ස්පර්ශ ස්වේදී තිරයේ ආගමනය Steve Jobs ගේ ඇපල් ස්මාට් ජංගම දුරකථනයේ එළිදැක්වීමත් සමග සිදු වූවක් ලෙසින්. නමුත්, එම තාක්‍ෂණය මෙයට වසර 20 කටත් එපිට පැතිර යන එකක්. එයින් ප්‍රධානම වනුයේ 1987 දී එලි දැක්වුන Linus Write-Top නම් වූ Newton නමින් වානිජ්‍යව නම් කළ විශාල තිරයක් ඇති ටැබ්ලට් පරිඝණකයයි. ඊට අවුරුදු පහකට පසු, ඇපල් සමාගම විසින් සිය ප්‍රථම ස්පර්ශ සංවේදක උපකරණය ජපානයේ Sharp සමාගම සහ එක්ව එළිදක්වනු ලැබුවා. එයද Newton උපකරණය මෙන්ම පෑනක් භාවිතයෙන් ලියැවෙන තිරයකින් සමන්විත වුවත්, මේ අවස්ථාවේදී එහි තිරය ඉතා දියුණු කර, සියළුම ඉලෙක්ට්‍රොණික සංනිවේදනයන් තිරය මගින් සිදු කිරීමට වැඩිදියුණු කර තිබුණා. මෙය ඉතා රළු ලෙස ස්පර්ශ සටහන් ග්‍රහණය කර ගනු ලැබුවත්, එය කිසිම විටෙක වෙළඳ පොළේ සාර්ථක වූයේ නැහැ. 1990 දශකයේ මැද භාගයේ වෙළඳපොළට එළිදැක්වූ පෞද්ගලික සංඛ්‍යාක සහකාර උපාංග නොහොත් PDA (personal digital assistants) මෙවැනි පෑනක ආධාරයෙන් තිරය මත සටහන් කළ හැකි සංවේදක තිර වලින් සමන්විත වූවා. මේ නිසාම සංවේදක තිර සහිත උපාංග භාවිතා කරන සියළුම දෙනා, ඉහත කී නිර්මාණකරුවන්ට කෘතවේදී විය යුතුමයි.
ස්පර්ශ සංවේදී තිරයක ක්‍රියාකාරීත්‍වය පරිඝණක යතුරු පුවරුවක ක්‍රියාකාරීත්‍වයට මූලිකවම සමාන කළ හැකියි. එනම් එහි වූ සෑම අකුරකටම ඉලෙක්ට්‍රොණික යතුරක් වෙන්ව තිබෙනවා. ඒවා යතුරු පුවරුව පතුලේ වූ පරිපථයකට සමගාමීව සකස් කර තිබෙනවා. එම පරිපථය සහ යතුරු ප්ලාස්ටික් ස්ථර තුනකින් වෙන්ව පවතිනවා. දෙපස වූ විද්‍යුත් සන්නායක ලෝහ පරිපථ සහිත ස්ථර දෙක මැද පරිවාරක ස්ථරයකින් වෙන්ව තබා ගෙන තිබෙනවා. එම යතුර පතුලේ සංවේදක සහිත කුඩා තිතක් යොදා තිබෙනවා. මෙම යතුර තද කිරීමේදී එහි වූ පරිපථය සම්පූර්ණ වීමෙන් අකුර සඳහන් වීම සිදු වනවා. එසේම මෙම පරිපථයෙන් නිකුත් වන විද්‍යුත් ප්‍රමාණයේ වෙනස පරිඝණකය හඳුනාගැනීම මගින් ඔබ සටහන් කරන විවිධ අකුරු පරිඝණකය විසින් හඳුනා ගැනීම වීම සිදු වනවා. ස්පර්ශ සංවේදී තිරවල ද සිදු විය යුත්තේ මෙම ක්‍රියාවලියයි. එසේ වූ මුත්, තිරය තුළ පරිපථ, ස්විච ආදිය සැකසිය නොහැකි නිසා, වෙනත් ආකාරයට එය සිදු කළ යුතුයි.
කාලයාගේ ඇවෑමෙන් මෙම ස්පර්ශ සංවේදී තිර ඉතා දියුණු තත්ත්‍වයට පත් වී තිබෙනවා. සමහර ඒවා එක් ස්පර්ශයකට (Single Point Touch)පමණක් සංවේදී වන අතර දියුණු තිර බහු ස්පර්ශ සංවේදනයට (Multi Point Touch) ප්‍රතිචාර දක්වනවා. කෙසේ වුවත් මේ තාක්‍ෂණය ප්‍රධාන වශයෙන් ක්‍රම කිහිපයකින් සමන්විතයි.
ප්‍රතිරෝධක ස්පර්ශ සංවේදී තිර Resistive Touch Screens
දැනට වෙළඳපොලේ බහුලවම දක්නට ඇත්තේ මෙම කාණ්ඩයයි. මේවා ක්‍රියා කරන්නේ ද ඉහත කී යතුරු පුවරු ක්‍රියාත්මක වන ආකාරයටමයි. එහි උඩින්ම ඇති නම්‍යශීලී සන්නායක පොලිඑස්ටර් ස්ථරය පහලින්ම ඇති සන්නායක වීදුරු ස්ථරයකින් වෙන්වී ඇත්තේ පරිවාරක ස්ථරයකින්. ඔබ තිරය තද කරන විට පොලිඑස්ටර් ස්ථරය වීදුරු ස්ථරයේ ස්පර්ශ වීම නිසා පරිපථය සම්පූර්ණ වනවා. මෙය යතුරු පුවරුවේ යතුරු තද කරනවා හා සමානයි. තිරය තුළ වූ චිපයක් මගින් ස්පර්ශ කළ ස්ථානය හඳුනා ගැනීම මගින් අදාල කාර්යය සම්පූර්ණ වනවා.
ධාරිත්‍රක ස්පර්ශ සංවේදී තිර Capacitive Touch Screens
මෙම තිර නිපදවා ඇත්තේ වීදුරු ස්ථර කිහිපයක් උපයෝගී කරගෙනයි. අභ්‍යන්තර ස්ථරය මෙන්ම පිටත ස්ථරයද විද්‍යුත් සන්නායකතාවය ඇති කරනවා. මේ නිසා මුළු තිරයම විශාල ධාරිත්‍රකයක් ලෙසින් ක්‍රියා කරනවා. ඔබ ඇඟිල්ල තිරය අසළට රැගෙන ආ විට ඔබ තිරය මතුපිට වූ විද්‍යුත් ක්‍ෂෙත්‍රයේ වෙනසක් ඇති කරනවා. මේ නිසා එය සංවේදනය වෙනවා. මෙහිදී තිරය මතුපිට වූ ක්‍ෂෙත්‍රය මගින් විද්‍යුත් ආරොපණ භාවිතා කරන පුද්ගලයාගේ සිරුරට පැමිණිය යුතුයි. මේ නිසයි එම තිර අත්වැසුම් හෝ ස්ටයිලස් ආකාරයේ පෑන් සඳහා සංවේදී වන්නේ නැත්තේ. ඒ ස්ටයිලස් පෑන් සහ අත්වැසුම් ප්ලාස්ටික් වලින් හෝ පොලිමර් වර්ග වලින් නිපදවා තිබීම නිසා ඒවා තිරය මතුපිට විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් වීමකට භාජනය නොකරන නිසායි.මේ ආකාරයේ තිර බහු ස්පර්ශ සඳහා සංවේදී වනවා. මේවා ප්‍රතිරෝධක සංවේදී තිර වලට වඩා මිලෙන් වැඩියි.
අධෝරක්ත ස්පර්ශ සංවේදී තිර Infrared Touch Screens
අධෝරක්ත කැමරා සහ සොරුන් ඇල්ලීමේ නවතම සංවේදී උපකරණ මෙන් මෙම සංවේදී තිර ද ඒවායේ ප්‍රතිවිරුද්ධ ස්ථරවල ඉතා කුඩා LED සහ ප්‍රකාශ සංවේදී Photo Cell වලින් සමන්විතයි. මෙම තිරයේ ඇති LED බල්බ තිරය මතුපිටට අධෝරක්ත කිරණ එල්ල කරනවා. ඔබ ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කළ වහාම එම කිරණවලට බාධා ඇතිවනවා තිරය තුළ ඇති මයික්‍රෝ චිපය විසින් ඔබ ස්පර්ශ කළ ස්ථානය ගණනය කිරීම මගින් සංවේදනය සම්පූර්ණ කරනවා. Sony Reader ebooks හි භාවිතා වන්නේ මේ තාක්‍ෂණයයි. ඔබ විසින් අධෝරක්ත කිරණ වලට බාධාවක් සිදු කරන නිසා, ඔබ ඇඟිල්ලකින් ස්පර්ශ කළත්, ස්ටයිලස් ආකාරයේ පෑනකින් ස්පර්ශ කළත්, මේ සංවේදී තිර එක ලෙස ප්‍රතිචාර දක්වනවා.
පෘෂ්ඨික ධ්වනික තරංග (Surface Acoustic Wave)
මෙම තාක්‍ෂණය විසින් ග්‍රහණය කරනු ලබන්නේ ආලෝකය හෝ ස්පර්ශය නොව, ශබ්ධයයි. මෙම තිර මගින් මිනිස් කණට ග්‍රහණය නොවන ආකාරයේ අධි සංඛ්‍යාත ශබ්ධ තරංග නිකුත් කිරීම සහ ග්‍රහණය කරනු ලබනවා. ඔබ මෙම තිරය ස්පර්ශ කිරීමේදී එම තරංගවලට බාධා පමුණුවමින් එම ශබ්ධ තරංග අවශෝෂණක කිරීමක් සිදු කරනවා. තිරය තුළ වූ මයික්‍රෝ චිපය මගින් ඔබ තිරය ස්පර්ශ කළ ස්ථානය හඳුනාගෙන පරිපථය සම්පූර්ණ කරනු ලබනවා.
ප්‍රත්‍යාසන්න ක්‍ෂෙත්‍ර මූර්තනය (Near Field Imaging)
ඔබ පැරණි රේඩියෝවක් අසළ එහාමෙහා යනවිට රේඩියෝ තරංගවලට බාධා එල්ලවී කිසියම් ශබ්ධයක් නිකුත්වනු අත් දැක ඇති. එය සිදු වන්නේ ඔබේ ශරීරයේ ඇති විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රය මගින් ගුවන් විදුලි තරංගවලට බාධා ඇතිවීමයි. ඔබ ගුවන් විදුලි යන්ත්‍රයට ආසන්න වත්ම, ඔබ ඇතිකරන ආචරණය වැඩි බව ඔබට දැනෙනු ඇති. මේ ආකාරයේ තිර ක්‍රියාත්මක වන්නේද මෙම සංසිද්ධිය අනුසාරයෙන්. ඔබ තිරයට ලංවත්ම, වීදුරු තිරය මතුපිට ඇති විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් කරනු ලබනවා. ඔබ එය ස්පර්ශ කරත්ම, එය හඳුනා ගන්නවා. මෙය අනෙත් තාක්‍ෂණයන්ට වඩා රළු පැවැත්මට ඔරොත්තු දෙන තාක්‍ෂණයක් නිසා දැඩි පරිසර තත්ත්‍වයන්ට භාජනය වන උපකරණවලට මෙම තාක්‍ෂණය භාවිතා කරනවා. බොහොමයක් යුධ උපකරණ වල භාවිතා වන්නේ මෙම තාක්‍ෂණයයි. වෙනත් තිර මෙන් නොවෙයි, මේ තිර පෑන්, ඇඟිලි මෙන්ම අත්වැසුම් දමාගෙන හෝ පාවිච්චි කිරීමට පුළුවන්.
දැන් දැන් ස්පර්ශ සංවේදක තිර භාවිතයට නොගන්නා තැනක් සොයා ගැනීමට අපහසුයි. වෙළඳසැල්, දුම්රිය හෝ බස් ටිකට් ගන්නා ස්ථාන, කර්මාන්ත ශාලා, යුධ බිම ආදී විශාල පරාසයක විවිධාකාර භාවිතාවන් සඳහා ස්පර්ශ සංවේදක තිර භාවිතා කරනවා. එයට තිරය තිබීමම ප්‍රමාණවත් නිසා අමතර උපකරණ කිසිවක් අනවශ්‍යයි. එසේම තිරය මතුපිට සියළුම විස්තර දිස්වීම නිසා භාවිතා කරන්නාට ඉතාම සරළව, ඉක්මනින් සහ සෘජුව තොරතුරු ඇතුලත් කිරීම හෝ ලබා ගැනීමට සිදු කළ හැකියි.
අප බොහෝ දෙනා භාවිතා කරන ස්මාට් ජංගම දුරකථන අපට අවශ්‍ය සෑම විස්තරයක්ම ඒ මත දැක්වීම කරනවා පමණක් නොවෙයි, අවශ්‍ය අවස්ථාවක යතුරු පුවරු, පින්තූර, ආදී සියල්ල අන්තර් සම්බන්ධතා සහිතව අපට භාවිතා කිරීමේ පහසුව ලබා දී තිබෙනවා. ඉතින් අදින් පසුව ස්මාට් ජංගම දුරකථනයක් හෝ ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපකරණයක් භාවිතා කරනවිට එහි තාක්‍ෂණය කුමක්දැයි යන්න ගැන තරමක් සැළකිලිමත් වන්න…
පිටස්තරයා – 12
මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය..
නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….
කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ…
මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිලා… ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්.. නමුත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි… මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා… පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා… නමුත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්‍ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ… ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අපි සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..
දැන් අපට විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි… නමුත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ…
බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්… නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.
එහෙනම්…. තවත් ප්‍රශ්නයක්ද ?
නැහැ නැහැ… විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම….
මහත්මයා… මට බොහොම කණගාටුයි… දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන… විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක් තමයි… ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්‍ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා… අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජාන වලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අළුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අළුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්… විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු ඔහුට තිබෙනවා… ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.
සමාවෙන්න අහනවාට… ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද ?
මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්… විශ්ව නිර්මාංශික වුනේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ… නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..
ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද ?
මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ… හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබලා අපට හංගනවද ?
නැහැ නැහැ… අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්‍ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක… එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්… ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ… අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිතා කරන්නට සිදු වුනා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියළු විස්තර සපයන්නම්… ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්… ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්…
සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද ? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක් ?
අවිශ්වාස කරන්න එපා… විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ… ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්… ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා…
හොඳයි.. බොහොම ස්තූතියි… අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි… අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියාය.
තවමත් වෙනසක් නැද්ද ඩොක්ට ?
නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්‍වයක තිබෙන්නෙ…. මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයිද කියලා කියන්න අපට බැහැ.
මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා හොඳටම විශ්වාසද ?
නැහැ… බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ. අපි තව ටිකක් බලමු… කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල් වලින් එකක්.
මම විශ්වගෙ කාමරයට යන්නද ?
කමක් නැහැ… ගිහින් බලන්න… දැන් ඔහු ස්ථාවර තත්ත්‍වයට පත්වෙලයි ඉන්නෙ…. දැනෙන වෙනසක් නැහැ… නමුත් පියවි සිහිය ට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්‍ෂාවෙන් ඉන්නෙ….
ස්තුතියි..
ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවාය…
සියල්ල වෙනස් වී ඇත… මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ… ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්‍වයක් නොවේ. නමුත් සියල්ල සිදු වී හමාරය.. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත..
ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියාය…. විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය… වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවලදී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවාය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය.
මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.
මමත් හිතුවෙ ඒකම තමයි… කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරකද ?
මමත් ඒ ගැන හිතුවා… අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු..
………………………………………………………………………………….
එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුලය… සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිතා කර පොතක් කියවීමටත් ඇය සිය කාළය ගත කළාය.
සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යාමට සූදානම් වෙද්දී, අගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.
උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත්ය.
සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්…
මම මොලී… මොලී රියෝර්ඩන්… විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ…
මොලී… අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ… සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්‍වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට… ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ… ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්….
උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියාය…..
පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය……………….
අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය… විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය…. ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට පත් විය….
පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාටද සිදු වන්නේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි විය… පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නොදැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ… අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය…
කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත් වලට ප්‍රතිචාර දක්වන්නෙ ? ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසීය….
පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි… පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්‍ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නොදන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.
නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳවද ග්‍රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අළුත් වූ මිනිස් සන්තානයේ අවදි නොකළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි. තමා කවුරුන්දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවුදැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටියහ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේය.
පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටියහ.
ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්…
ඔව්… මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ…. මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ… මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුනා… මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ…….. උන් වහන්සේ පවසා සිටියහ.
ඇත්තෙන්ම අපටත් ගැටළුවක් වුනේ ඒක තමයි… මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ… ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා…
මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා… ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව… උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන… මේ සිදුවීමේ එතරම් විශේෂත්‍වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇතිවූ වෙනස… පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන දෙයක්. බුදුන් කාළයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේදී නියම ගණ පිහිටවා සිදු කරලා තිබෙනවා. නමුත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි… මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්‍රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යාත වලින් රෝගියාගේ හෝ අදාල පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්‍වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්‍ර ගායනා වලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේදී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේදී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා… එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්….
රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වුවා කියලද ඔබ වහන්සෙ හිතන්නෙ ?
මහාචාර්ය මයිකල් ගෝල්ඩ්බර්ග් විමතියෙන් මෙන් හිමියන්ගෙන් විමසූවා…
විශ්වට සිහිය ලැබෙයි ද ? නැතිනම් ඔහුගේ අවයව දන්දීමට සිදු වෙයිද ?
මේක හරි යන්නෙ නෑ…. අපි ගුවන්ගත වෙනවා……
සමාජය එන්න එන්න යන්නෙ ආපස්සට. විද්‍යාව කොපමණ දියුණු වුනත්, හැම දෙනාම නොපෙනෙන බලවේද පස්සෙ දුවනවා. ෆෙංෂුයි, ගණ දෙයියෝ, කතරගම දෙයියො, පස්සෙ දුවන අපේ මහාචාර්යවරුත් නාථ දෙයියො පස්සෙ දිවුවා.. වෙනකක් තියා ක්‍රිකට් කණ්ඩායමත් දැන් බෝලෙ පස්සෙ දුවන එක නවත්තලා ගංගා මෑණි පස්සෙ දුවනවා…. ලොක්කො ටිකත් එකාට එකා හොරෙන් තිරුපති ගිහින් නලළේ අළු ගාගෙන එනවා…. අහෝ රටකට ගිය කළක්…
ඉතිං… අපි කොච්චර පත්තරවල ලිවුවත්, බ්ලොග් වල ලිවුවත්, ඒවා බලන ප්‍රමාණය සීමිතයි. එහෙම වුනා කියලා අපි කරන්න තියෙන දේ නවත්වන එක යුතු නෑ,..
ඒ නිසාම සහ අපේ ව්‍යායාමය තවදුරටත් ඉදිරියට ගෙන යන්න අපි COSTI ආයතනයේ මගපෙන්වීම සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමාගේ මූලිකත්‍වය සහ ආශීර්වාදය ඇතිව, නව ගුවන් විදුලි වැඩසටහනක් ආරම්භ කරන්නේ, රටේ ජනතාවගේ විද්‍යාත්මක චින්තනය අවදි කරන්නට… දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වැඩි කරන්නට.
2016 උසස් පෙළ විභාගයේ දත්ත අනුව, සිංහල විෂයයට පසු වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය වන්නේ රසායන විද්‍යාව, නමුත් ලංකාවේ පඳුරකට පයින් ගැහුවාම 20 ක් විතර විසිවෙන රසායන විද්‍යා ටියුෂන් ගුරුවරුන් අතරේ බෙදිලා යන මේ සිසුන්ගේ දැනුම තවමත් ඉහළ මට්ටමක නැහැ. ඒ බව ප්‍රතිඵල වලින්ම සනාථ වනවා. මෙයට මූලික අඩිතාලම දැමෙන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය හරිහැටි ග්‍රහණය කර ගැනීම මත, මෑතකදී මා කළ දේශන කිහිපයකින් අත්දැකපු දෙයක් තමයි ගුරුවරුන් මෙන්ම ගුරු උපදේශකයන්ද විද්‍යාත්මක දැනුම සහ කුතුහලය, නවතාවය, නිර්මාණශීලීත්‍වය ආදී ගැනුම ප්‍රගමනයට අත්‍යවශ්‍ය සාධක වලින් බොහෝ දුර්වල බව.
ඉතින් මේ කර්තව්‍යයට, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා, ලංකාවේ ප්‍රධානතම (සහ පිළිගතහැකි පරිදි එකම) විද්‍යා සන්නිවේදක නාලක ගුණවර්ධන, මෑතකදී ආසියාවේ හොඳම තරුණ පර්යේෂක සම්මානයෙන් පුදලද මොරටු සරසවියේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර, ලේඛිකා තත්සරණි බුලත්සිංහල, ලංකාවේ ප්‍රධානතම විද්‍යාත්මක චරිතයක් වන මහාචාර්ය අජිත් ද අල්විස් මහතා, සක්‍රීය දායකත්‍වය දක්වන අතර මමත් දායක වනවා. මේ අතර මේ සියල්ල සම්පාදනය කළ COSTI ආයතනයේ සචී පනාවලට අපේ කෘතඥතාවය පිරිනැමෙන්නේ රට වෙනුවෙන් කළ යුතුව තිබූ දෙයක් ඇරඹීමට මූලිකත්‍වය ගෙන සිය ශ්‍රමය මුදල් කැප කරමින් වෙහෙස මහන්සිවීම ගැන…
ඉතිං අපි අපේ මුල්ම වැඩසටහන බොහෝ දුරට 23 වන සඳුදා සවස 6.30 ට CITY FM ඔස්සේ ප්‍රචාරය කරනවා. එන්න අපිත් සමග එක් වන්න… ලංකාව තව පොඩ්ඩක් ඉදිරියට ගෙන යන්න තල්ලුවක් දෙන්න…. ට්‍රැෆික් එකේ හිරවෙලා යන අතරේ අපේ දිහාට හැරෙන්න… යමක් ඉගෙන ගන්න පුළුවන් වේවි….
අපි ගුවන්ගත වෙනවා….. 89.6 සහ 89.8 ඔස්සේ… සෑම සඳුදා සහ බදාදාම….
එන්න… අපේ ටකරං සද්දය අහන්න….
ජීවිතය ගැටගහගන්න – රට හැර යන්න වෙයිද ?
දැන් දැන් අපේ පරිසරය අපට දැනෙන පරිදිම සෑහෙන වෙනස් වෙලා. ඉස්සර තිබූ වැසි රටාව නොවෙයි දැන් තියෙන්නෙ… වහින්න ගියාම එක පාරටම අහස කඩා වැටිලා වගේ නොනවත්වා වැහැලා ගංවතුර ගලනවා. නාය යනවා. පායන්න ගත්තාම ඉන්න බැරිවෙන්න පායනවා. මේක ලංකාවට පමණක් නොවෙයි, ලෝකයටම බලපාන අයුරුක් තමයි පෙනෙන්නේ. ලෝකයේම කාලගුණ රටා වෙනසක් පසුගිය දශකය ඇතුලත සිදු වෙලා. ඇමරිකාවේ කුණාටු දසවසරකට පෙර තිබූ ප්‍රමාණයට වඩා දරුණු වෙලා. කුණාටු වලින් සිදුවන හානිය අධිකයි. කොපමණ දියුණු රටක් වුවත් ඇමරිකාවටවත් එය දරා ගන්න අපහසුයි. රටේ එක පැත්තක් නියඟයෙන් පීඩා විඳිනවා. ලංකාවෙත් එක පැත්තකට නියඟය, අනෙක් පැත්තට ගංවතුර.. මෙහෙම වුනේ සොබාදම් කොමලිය, රකුසියක් බවට අපිම පත් කළ නිසාද ? දේශපාලනික පසුබිම කුමක් වුවත්, අපේ රටේ කැලෑ ඉතා සීඝ්‍රයෙන් කපමින් ජනතාව පදිංචි වනවා. විල්පත්තුව ඉතාම නුදුරු අනාගතයේදී කාන්තාරයක් බවට පත් වීම වලක්වන්න පුළුවන් එය කපලා ජනතාව පදිංචි කරන අයටම පමණයි. අවාසනාවන්ත කරුණක්, නමුත් එයයි සත්‍යය.
මේ සියල්ල සිදු වෙද්දී අපේ සහ ආසියානු රටවල ජනගහනය ඉතා ඉක්මනින් ඉහළ යමින් පවතිනවා. ලොව ජනගනයෙන් පහෙන් එකක් ජීවත් වන්නේ මේ කලාපයේ. එසේම අනාගතයේදී ඉතා දැඩි කාළගුණ බලපෑම් නිසා ජීවත්වීමට නොහැකිව යන්නෙත් මේ කලාපයේ මිනිසුන්ටමයි. තව වසර පණහක් ඇතුලත, ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජීවත්වීම අපහසු වන බව මැසචුසෙට්ස් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයීය සමීක්‍ෂණයකින් සොයාගෙන තිබෙනවා.
අද දින වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7.573 ක් ඉක්මවා ගොසින්. මේ අතරින් ආසියානු කලාපයේ ජනගහනය බිලියන 4.5 ඉක්මවමින් පවතී. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණයි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළත්, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරනවා.
අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා තිබෙනවා. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවයි. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය. මෙය සිදු වන්නේ කොහොමද ?
කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 407 ක් (407.25 ppm) පමණ වනවා. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm ක්. මෙම අගය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2015 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.
දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක් (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ. තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.
මෙසේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම වැඩි වනවා. එසේ වැඩිවීමේ මූලික ප්‍රතිඵලය වන්නේ ධ්‍රැවීය අයිස් දිය වී යාමයි. එසේ දියවන අයිස් සාගර වලට එකතු වීමෙන් මුහුදු මට්ටම ඉහළ යනවා. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් තවමත් ජීවත් වන්නේ වෙරළ ආසන්න නගරවල. මෙසේ වැඩිවන ජලමට්ටම නිසා ඔවුනට වෙරළබඩ අතහැර උස් බිම් කරා ඇදෙන්නට වෙනවා. එවිට සිදු වන්නේ උස්බිම් එළි පෙහළි වීම සහ වන විනාශයයි. වායුගෝලයේ ඇති ගිගා ටොන් 800 ක් වූ කාබන් අඩංගු සංයෝග වලින් ගිගා ටොන් 120 ක්ම ප්‍රතිචක්‍රීකරණය වන්නේ වනාන්තර මගින්. වනාන්තර සහ කෘෂි භෝග මගින් ප්‍රභාසංසලේෂණයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනු ලබනවා. උත්තරාර්ධගෝලය වැඩිපුරම ගොඩබිම් ප්‍රමාණයකට උරුමකම් කියන නිසාම, උත්තරාර්ධගෝලයේ ශීත ඍතුව කාළයේදී (ශීත ඍතුවේදී ශාකවල කොළ හැලීම නිසා) සාමාන්‍යයෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්නේ මේ නිසායි.
මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.
මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්. ඒ පාරිසරික පැත්ත.
සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා.නව මදුරු විශේෂ ඇතිවනවා. මේ නිසා හටගන්නා රෝග බොහොමයක් අළුත්.
අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. මෑතකදී පළවූ ප්‍රවෘත්තියක් වූයේ අප දැන් කෙතරම් ගස් සිටවූවත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමට වැඩි වී ඇති බවයි. අපි ඉතා විශාල වශයෙන් අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම සිදු කරනවා. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.
මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.
තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.
- අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
- අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
- උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
- ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
- සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
- උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
- දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
- Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
- කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
- වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
- පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම
රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී
- හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
- සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
- රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
- ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
- සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
- එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
- ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
- අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.
අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇති. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වනවා. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතිනවා. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙන්..
සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ බොහොමයි. ඇමරිකා එක්සත් ජනපදයේ Harvard සරසවි මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවක්. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී තිබෙනවා. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙන්. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටිනවා. කෙසේ වුවත් මේ සියල්ල පරදවා විද්‍යුත් කාරය එලි දැක්වීමට ඉලොන් මස්ක් සමත්වීමත් සමගම අද ලෝකයේ ප්‍රවාහන සහ බලශක්ති ක්‍ෂෙත්‍රය නව මාවතකට ගමන් කරනු ඇති.
මේ සියල්ල ආසියාතික අපට බලපාන්නේ කෙසේද, අප රට හැර යායුත්තේ මන්ද කියා ඔබ දැන් කල්පනා කරනු ඇති. ඇත්තෙන්ම ආසියාතික කලාපයේ උෂ්ණත්‍වය දිනෙන් දින ඉහළ යාමත්, ආර්ද්‍රතාවය ඉහළ යාමත් නිසා එය මිනිසාට දරාගත නොහැකි තත්ත්‍වයට ඉදිරියේදී පත් වනු ඇති. මෙම කලාපයේ බොහෝ දෙනා කෘෂිකාර්මික දිවිපෙවෙතක් තවමත් ගතකරන නිසා ඔවුන් දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ එළිමහනේ. උෂ්ණත්‍වය සෙල්සියස් 35 සහ ඉහළ ආර්ද්‍රතාවය යන එකතුව මිනිසාට ඉතාමත් අපහසුතාවයන් ඇතිකරන සබඳතාවයක්. දැන් දැන් ආසියනු කලාපයේ මෙම තත්ත්‍වය දකින්නට පුළුවන්.
ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුයි… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුයි….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැහැ.
දවසට පැය හතරක් පමණ හිරු එළිය වැටෙන දියුණු රටවල් වන ජර්මනිය සහ ප්‍රංශය දැන් සිය බලශක්ති පරිභෝජනයෙන් සියයට 60 ක් පමණ සපුරා ගන්නේ සූර්ය බලශක්තියෙන්. නමුත් දිනකට පැය 8 ක් හිරු එළිය වැටෙන අපි තවමත් ගල් අඟුරු බලාගාරවල පිහිට පැතීම විහිළුවට සහ කණගාටුවට කරුණක්. නව අයවැය යෝජනාවල ස්වභාවික බලශක්තිය සම්බන්ධ සහනයන්, සහ ඒවාට ප්‍රමුඛත්‍වය ලබා දෙන යෝජනාවන් තිබේ නම්, අවම වශයෙන් අපේ බලධරයින් හිස තුළ ඇති මොළය යම් තරමකට හෝ පාවිච්චි කරනවා යැයි ඉදිරිය ගැන සිතා හෝ සැනසීමට පුළුවනි. එසේත් නැතිනම් සිදු වන්නේ බෝට්ටුවක නැගී හෝ පිටරටකට යාමට පමණයි.
පිටස්තරයා – 11
මේ සිදුවීම නාවික පර්යේෂණ ආයතනයේ සිටි සියල්ලන් ඉතාම කලබලයට පත් කළ සිදුවීමක්. සිදුවූයේ කුමක්ද කියා හරිහැටි නොදැන සිටියත්, ඉහළම පාලනාධිකාරියේ සිට පර්යේෂණායතනයේ සෑම දෙනාම දක්වාම නොයිවසිල්ලෙන් බලා සිටින්නේ කුමක් හෝ සුබදායක තොරතුරක් ලැබේවි යන බලාපොරොත්තුවෙන්.
දැන් මොකද කරන්නෙ ?
මොනවා කරන්නද ? වෙන දෙයක් වෙනකල් බලාගෙන ඉඳිමු….
නීල් මොකද කිවුවෙ ?
නීල් කිවුවලු දැන්මම එන්නම් කියලා…. අද්මිරාල්ටත් කිවුවා… එයා කෝල් කරලා ඔක්කොම ඉක්මනින්ම ප්‍රමුඛතාවයෙන් කෙරෙන්න සැලැස්වුවා… හොඳ වෙලාවට අපි මෙතැන වැඩ කරන්නෙ….
ඔබට කවුද මේ පණිවුඩේ කිවුවෙ ?
මට කිවුවෙ මොලී…. ආරක්‍ෂක අංශයෙ ඉදිරිපස ගේට්ටුවෙ අය තමයි මුලින්ම දැකලා නීල් ට පණිවුඩේ කියලා තියෙන්නෙ… නීල් මොලීට කතා කරලා ඔක්කොටම කියන්න කියලා… මෙගන් ගෙදර ගිහින්… අපි දෙන්නට තමයි පණිවුඩේ මුලින්ම ලැබුණෙ….
දැන් මොලී කොහෙද ?
මොලී ගියා විස්තර දැනගෙන එන්න………
……………………………………………………………………………………………………….
මේ සටහනේ කිසිම ක්‍රමවත් බවක් නැහැ…… අපට හිතාගන්න බැහැ මොන වගේ දෙයක් වෙලාද කියලා…. මොළයත් එහෙමමයි…. අපට දැන්ම වචනයක් කියන්න බැහැ.
ඉතිං ඩොක්ට….. අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේද ?
ඔව් ඔව්…. බය වෙන්න එපා… මොලී….. සම්පූර්ණ ශරීරයම ස්ථාවරයි……කකුලේ දණහිස ලඟ අස්ථියේ බිඳීමක් තිබෙනවා.. අපි ඒකට ටයිටේනියම් ඇණ දමා සකස් කළා… ඒ අස්ථිය ටිකක් දරුණු විදියට බිඳිලා… ටික කලක් පුනරුත්ථාපනය කරන්න වෙයි… ඒ හැරෙන්න වාහනයෙ වායු බෑග් එක පිපිරීම නිසා මුහුණෙ සුළු තුවාල කිහිපයක් තිබෙනවා. අපට හිතා ගන්න බැහැ පපුවෙ ඉල ඇට කැඩුනෙ කොහොමද කියලා, නමුත් අපි සියල්ලම නැවත සැකසුවා, නමුත් අපටත් හිතා ගන්න බැරි මොකද වුනේ කියලා… ඇයි තවම සිහිය ආවෙ නැත්තෙ කියලා…
ඔයා කවුද එයාගෙ ? පෙම්වතියද ?
නැහැ නැහැ…. මම එයාගෙ සේවා ස්ථානයේ එයා එක්ක එකට වැඩ කරන කෙනෙක්…. නමුත් අපේ ප්‍රධානියා තමයි කිවුවෙ ඇවිත් මෙයා ගැන බලන්න කියලා… මෙයා මෙහේ ඉන්නෙ තනියම… දැන් සමහරවිට එනවත් ඇති…
ඔව් මට අද්මිරාල් බවර් පෞද්ගලිකවම කතා කරලා විස්තර කිවුවා… බය වෙන්න එපා අපි හැම දෙයක්ම කරනවා මෙයාව පියවි තත්ත්‍වයට ගෙන එන්න… අපට තිබෙන එකම ප්‍රශ්නය මොළයට හානියක් වෙලාද නැද්ද කියන එක… ඒ මත තමයි සියළුම දේවල් රඳා පවතින්නෙ…..
ඔබ මෙතැන ඉන්න එක තේරුමක් නැහැ මේ වෙලාවෙ…. දැන් හොඳටම රෑ වෙලානෙ… හෙට උදේට නැවත එන්න… ඒ වෙනකොට ලෙඩාට සිහිය ඇවිත් තිබේවි… බය වෙන්න එපා… අපි හැම දෙයක්ම කරනවා මෙතැන…
බොහොම ස්තූතියි ඩොක්ට…. එහෙනම් මම ගිහින් එන්නම්….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කෝ මේ ළමයා ෆෝන් එක ගන්නෙ නැහැනෙ…..
ආයෙම බලන්න ………………
ආයුබෝවන්…. මේ විශ්ව සමාධි සූර්යබණ්ඩාර… මම මේ අවස්ථාවේ සම්බන්ධ කරගත නොහැකි නිසා කරුණාකර ඔබේ දුරකථන අංකය සහ නම සඳහන් කර කෙටි පණිවුඩයක් තබන්න… මම හැකි වහාම නැවත ඔබට අමතන්නම්… ස්තූතියි….
සුමනසේකර යුවල ලබා ගත් සියළුම දුරකථන පණිවුඩවලට ලැබුණ එකම ප්‍රතිචාරය වුනේ විශ්වගේ දුරකථනයේ පණිවුඩ සටහන් කරන තැන වෙත යොමු වීම පමණයි… මේ නිසාම සුමනසේකර යුවල තරමක් කළබලයට පත් වුනා… ඔවුනට කතා කළ හැකි අනෙක් ස්ථානය වුනේ තම හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වැඩ සිටින වොෂිංටන් බෞද්ධ විහාරය පමණයි… ඔවුන් වොෂිංටන් බෞද්ධ විහාරයට ඇමතුමක් ලබා ගත්තා…
ආයුබෝවන්…… විහාරාධිපති හිමියන්ගෙ කාරුණික කටහඬ අනෙක් පසින් ඇසුනා.. ඔවුන් තමන්ගේ සිතේ ඇති කණස්සල්ල විහාරාධිපති හිමියන්ට පැහැදිළි කළා… කරුණු සොයා බලා සිය හිතවතාගේ දුක් ගැනවිල්ලට සහනයක් ලබා දෙන්න විහාරාධිපති හිමියෝ තමා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම පණිවුඩ යැවුවා…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ අතර ගවනර්ස් කෝර්නර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ නිවසක සෑම අස්සක් මුල්ලක් නෑරම පීරන තරුණයන් දෙදෙනෙකු සහ තරුණියක් මොනවාදෝ සොයමින් සිටිති… සිය ඉලක්කයන් කරා යාමට දැඩි පුහුණුවක් ලැබූ මේ තිදෙනා සියළුම බඩු භාණ්ඩ සීරුවෙන් ඉවත් කරමින් තමන්ගේ ඉලක්කය කරා ඇදෙමින් සිටියත් තමා මේ නිවස්නයේ සිටි බවට කිසිදු සාක්‍ෂියක් ඉතිරි නොකර යාමට ඔවුන් වග බලාගෙන ඇත. ඉවත් කරන සියළුම දෑ නැවතත් ඒ ආකාරයෙන්ම සකස් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. අවසානයේ ඔවුන් සෙවූ දේ හමු විය… තම සාක්කුවේ තිබූ කුඩා බෑගයකට තමා සෙවූ දෙයින් ස්වල්පයක් ගෙන නැවතත් එය තැබූ තැනම තබා අයෙක් සාලයට පැමිණියේය…
හරි… සෙවූව දේ හමු වුනා..
මේක ඇත්තටම මිනිහෙක් ජීවත් වෙන ගෙදරක්ද ?
මටත් හිතාගන්න බැරි ඒක තමයි… හරිම පිළිවෙලයි… කිසිම දෙයක් අනවශ්‍ය තැනක නැහැ… මේ වගේ පිළිවෙලක් තියෙන ගෙයක් දැක්කමයි…
සාමාන්‍ය කොල්ලෙක් ජීවත් වෙනව කියලා හිතාගන්නත් බෑ…
මේ මොනවද මේ කුඩා පැලෑටි ?… මල් පැලද ? නැතිනම් වෙනත් පැල ජාතියක්ද ?
තවම බොහොම කුඩා පැළ… ඒ නිසා කියන්න අමාරුයි… කෝකටත් පැලයක් අපි අරගෙන යමු… සමහර විට එළවලු පැල ද කියන්න දන්නෙත් නැහැ… මිනිහා ශාක භක්‍ෂකයෙක් නෙ…. තරුණිය පැවසුවේ ඔහු ගැන හොඳින් දන්නා අයෙක් මෙන්….
දැන් මේවා හයි කරන්නෙ කොහෙද ? මේවා හොයා ගන්න බැරි තැනක සවි කරන්නත් ඕන.. ඒ වගේම නිවැරදි සංඥා එන ආකාරයට සකස් කරන්නත් ඕන..
බය වෙන්න එපා.. මෙහාට අද කවුරුවත් එන්නෙ නැති බව හොඳටම විශ්වාසයි… ඒ නිසා කැමති විදියට කාළය අරගෙන හරියට වැඩේ කරන්න.. ආයෙ මෙහාට එන්න වැඩ සලස්ව ගන්නෙ නැතුව… මේ අවස්ථාව ආයෙ ලැබෙන්නෙ නැහැ… ඒ නිසා හොඳට සැලසුම් කරන්න… මිනිහා අමාරුකාරයා… වැරදිලාවත් අපි කළ දේ අහු වුනොත් අපිත් ගස්…
ඉතිං කොහෙද අපි මේවා සවි කරන්නෙ ? සැක නොසිතෙන තැනක වගේම වැඩිය අස්පස් නොකරන තැනක් වෙන්න ඕන…
ඒකට හොඳම තැන වායු සමන යන්ත්‍රයෙ වායුව එළියට එන කවුළුව… නමුත් වායු සමන යන්ත්‍රය ක්‍රියා කරවූවාම ඒකෙ පැහැදිලිතාවයට බාධා ඇති වෙනවා…
නැහැ… මේ පද්ධතියෙ වායු සමන යන්ත්‍රය තිබෙන්නෙ වෙන තැනක… එතැනින් එළියට එන බටයක් වහලෙන් ඇවිත් තමයි මේ කවුළුවට සම්බන්ධ වෙන්නෙ… ශබ්ධයෙන් බාධාවක් එන්නෙ නැති වෙයි…
කෝකටත් මේ කැමරා හැම කාමරයකම සවි කරලා පරීක්‍ෂා කරලා බලමු…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුභ උදෑසනක් සුමනසේකර මහත්මයා… මම රොනල්ඩ් මැන්කැඩ්… මේ මගේ හැඳුනුම්පත… ඔබ ලියාගත් තොරතුරු සමඟ සසඳා බලන්න…
උදෑසන දහය වන විට සුමනසේකර නිවස වෙත පැමිණි ඇමරිකානු තානාපති කාර්යාල වාහනයෙන් බැසගත් පාංශු දේහධාරී පුද්ගලයා සුමනසේකර මහතා වෙත සිය හැඳුනුම්පත දිගු කළේය.
වාඩිවෙන්න…
ස්තුතියි….
ඉතිං අපි කෙළින්ම ආව කාරණයට එමු.. ඔබ විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා…
ඔව්. විශ්ව මගේ නංගිගෙ පුතා… නමුත් මීට අවුරුදු හයකට පමණ පෙර විශ්වගෙ දෙමව්පියො අනතුරකින් මිය ගියා… ඉන්පසුව විශ්වගෙ නීත්‍යානුකූල භාරකාරයා වුනේ මම.
ඔව්… අපි දන්නවා ඒ සේරම විස්තර….
ඔබ කිසියම් රෝගයකට ප්‍රතිකාර ගන්නවාද ?
නැහැ… මට ඉහෙන් බහින රෝගයක් නැහැ… මම හොඳ නීරෝගී මිනිහෙක්…
ඔබේ පවුලේ කිසියම් නිධන්ගත රෝගයක් තිබෙනවද ?
නැහැ… කිසිම නිධන්ගත රෝගයක් අපේ පවුල්වල නැහැ.. ඇයි ඔබ එහෙම අහන්නෙ ? විශ්වට කිසියම් රෝගයක් තිබෙනවා කියලාවත් සොයාගෙන තිබෙනවද ?
නැහැ නැහැ…. විශ්වගේ සේවා ස්ථානයෙන් අපට මේ විස්තර ඔබෙන් අසා දැනගන්නා ලෙස දැන්වුවා… විශ්ව මෑතකදි ඔබට දුරකථනයෙන් කතා කළේ කවදාද ?
ගිය සෙනසුරාදා… එයා හැම සෙනසුරාදාම රෑට අපට කතා කරලා විස්තර අහනවා..
අද තවම කතා කළේ නැහැ…
නැහැ… නමුත් මම දැන් කතා කරලා බැලුවා…. කිසිම පිළිතුරක් නැහැ….
ඒක නිසාම තමයි මම ඔබව හමු වෙන්න ආවෙ….
කළබල වෙන්න එපා… ඔබට විශ්ව ගැන ආරංචියක් කියන්නයි ආවෙ….
ඇයි… සමාධි පුතාට කරදරයක්ද ? කාමරයක සිට මේ සංවාදයට ඇහුම්කන් දෙමින් සිටි සුමනසේකර මහත්මිය ද සාලයට පැමිණෙමින් නොයිවසිල්ලෙන් විමසුවාය…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තමන්ට සැක කටයුතු පුද්ගලයින් නිරීක්‍ෂණය කිරීමේදී උසස් තාක්‍ෂණය යොදා ගැනීම බටහිර රටවල අපරාධ පරීක්‍ෂණ ආයතනවල සාමාන්‍ය පුරුද්දකි. මෙය නියමිත සාක්‍ෂි සියල්ල පටිගත වනවා පමණක් නොව වැරදිකරුවාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේදී බිඳිය නොහැකි සාක්‍ෂි ලෙස භාවිතා කළ හැක. මේ නිසා අපරාධ පරීක්‍ෂණ සම්බන්ධව පර්යේෂණ කෙරෙන බොහෝ ආයතනවල මූලිකත්‍වය ලැබෙන්නේ ඇසට නොපෙනෙන තරමේ කුඩා කැමරා සහ පටිගත කිරීමේ උපකරණ නිපැයුම, ඒවායේ ධාවන කාළය වැඩි කරගෙන වැඩිපුර දත්ත එක්රැස් කරගැනීමේ තරඟයටය. ඉතා කුඩා කැමරා, කටහඬ සම්ප්‍රේෂණය කිරීමේ උපකරණ ආදිය නිවෙස්වල සවි කිරීම සිදු කර දත්ත එකතු කර ගනු ලැබේ. එයට ඒ අංශවල Bugging the premises යැයි කියනු ලැබේ. සමහර කැමරා සහ පටිගත කිරීමේ උපකරණ අවට ඇති චුම්භක ක්‍ෂෙත්‍රවල , සූර්යාලෝකය හෝ තාප ධාරාවක ආධාරයෙන් විදුලිය නිපදවා ගැනීමටත්, නොකඩවා මාස ගණනාවක් දත්ත සැපයීමටත්, කිසිවෙකුට නොපෙනී සඟවා තැබීමටත් හැකි වන සේ සකසා ඇත. මේ නිසා සුවිශේෂී හඳුනා ගැනීමේ උපකරණ (bug detectors) නොමැතිව මේ රහස්‍ය පටිගත කිරීමේ උපකරණ නිවසක සඟවා ඇතිදැයි සාමාන්‍ය මිනිසුන්ට සොයා ගත නොහැක.
හරිද ? ඔක්කොම වැඩ කරනවද ?
ඔව්… සාලය නම් පැහැදිලියි… නිදන කාමරයත් ප්‍රශ්නයක් නැහැ.. නාන කාමරය තමයි පොඩි ප්‍රශ්නයකට එන්නෙ…
ඇයි… මේ කැමරාව තියෙන තැන අනුව උණු ජල කරාමය ඇරියාම නාන කාමරය පුරා පැතිරෙන ජලවාෂ්ප නිසා කැමරාවෙ දර්ශන අවහිර වෙන්න පුළුවනි..
කරන්න දෙයක් නැහැ… අපිට වෙන තැනක මේක සවි කරන්න බැහැ… අහු වුනොත් අපට ප්‍රශ්නයක් නැති වුනත් අපට ලැබෙන්න තියෙන දත්ත නැති වෙනවා… කමක් නැහැ.. අනෙක් කාමර දෙකේ තියෙන කැමරා වලින් හොඳ පින්තූර අපට ලැබෙනවනෙ… ඇරත්, නාන කාමරවල කැමරා හයි කරනවට අපේ ලොක්කො වැඩිය කැමතිත් නැහැනෙ….
ඇත්ත… දැන් බලන්න ඔක්කොම හරියට නැවත තිබූ තැන්වලම තියෙනවද කියලා…. එක් තරුණයෙක් එසේ පවසද්දී…..
ආ බය වෙන්න එපා… ඒක එහෙම නැති වුනත් අපට එයාට කියන්න හේතුවක් හොයා ගන්න පුළුවන්… තරුණිය පිළිවදන් දුන්නාය….
හැබැයි ජෙනී වැරදිලාවත් ඔයා මේ ගෙදරට ආවොත් ඉතිං අපට කැමරා නවත්වන්න බැරිවෙයි…
හරි හරි… අපි ඒක පස්සෙ බලා ගනිමු…. තමුසෙලා ගෑණු නොදැකපු මිනිස්සු නෙවෙයිනෙ… අපට වැදගත් වෙන්නෙ මේ කරන්න ආපු වැඩේ….. තරුණිය නැවතත් ඔවුන් දෙදෙනාට පැවසුවාය….
එෆ් බී අයි නිලධාරීන් බොහෝ විට වෙස්වලාගෙන ගොස් තම ඉලක්කය කරා ඇදේ. මෙසේ වෙස්වලා ගැනීමේදී සමහරවිට නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, වෛද්‍ය කණ්ඩායම්, ආගම පතුරවන්නන් වැනි විවිධ අන්දමේ සමාජයීය කොට්ඨාස ලෙස හැසිරෙමින් අදාල ඉලක්කය කෙරෙහි ලඟා වීමට ඔවුහු කටයුතු කරති.
මරණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් ත්‍යාගය.
ලෝකයට, රටට, හෝ සමාජයට වටිනා සේවයක් කළ උදවියට කෘතගුණ සැළකීමක් විදියට බොහෝ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ආදි කාළයේ සිටම පැවත එන සිරිතක්. සුදුසු වුවත්, නැති වුවත්, රජවරුන්ට බැල මෙහෙවර කළ අයට ගම්වර සහ නොයෙකුත් පදවි තානාන්තර දීම රජකාළයේ තිබුණත්, ඒ පුරුද්ද වර්තමාන දේශපාලනයෙත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් සමහර සම්මාන ඉතාමත් සූක්‍ෂම ලෙස සළකා බලා, දැඩි පරිශ්‍රමයක් දරා සුදුස්සාටම ලබා දෙන්නට කටයුතු කරන ආයතන නැතුවාම නොවෙයි.
නොබෙල් ත්‍යාගය කියන්නේ ලොව කෙනෙකුට ලබන්න හැකි ඉහළම නම්බු නාමය කියලා කිවුවොත් බොහෝ නිවැරදියි. ලෝකයට සේවයක් කරන පුද්ගලයින්ගේ යටි සිතේ කොණක, තමන්ට කවදා හෝ නොබෙල් ත්‍යාගය ලැබේවි යැයි හෝ අවම වශයෙන් නිර්දේශයක් හෝ ලැබේවි යැයි පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. ලංකාවට නොබෙල් ත්‍යාගය දුර්ලභ සිදුවීමක් වන්නේ ඇත්තෙන්ම ලෝකෙන් උතුම්ම රට වුවත්, අපි අනෙක් ජාතීන් හා සැසඳීමේදී ඉතාම පහළ මට්ටමක සිටින නිසා.
නොබෙල් ත්‍යාගය සහ නොබෙල් පදනම පිහිටවීම සිදු වූයේ විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සමාජයීය ප්‍රගමනයන් සඳහා ලොව පුරා සිදුකෙරෙන පර්යේෂණ සහ දායකත්‍වයන් වෙනුවෙන් අගැයීමක් කිරීමට සිදුකරන සම්මාන ප්‍රදානයක් ලෙසින්.
නොබෙල් ත්‍යාගය මුලින්ම සංවිධානය කෙරුණේ ස්වීඩන් ජාතික නව නිර්මාණ කරුවකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් 1895 වසරේදී. ඔහු ඉපැදුනේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී 1833 ඔක්තෝබර් 21 වනදා. ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඉංජිනේරුවරුන්. එසේම ඇල්ෆ්‍රඩ් නොබෙල්ද ඉංජිනේරුවෙක්, රසායනඥයෙක් සහ නව නිර්මාණකරුවකු වූයේ පවුලේ ආරයට යමින්. ඔහු 1894 දී යකඩ සකසන කර්මාන්තශාලාවක් මිලදී ගෙන බොහෝ ආයුධ නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු එකළ ප්‍රසිද්ධ වූයේ අවි ආයුධ නිශ්පාදකයෙක් ලෙසයි. ඔහුගේ නව නිර්මාණ අතර බැලිස්ටයිට් නම් ද්‍රව්‍යය ඉතා වැදගත්. එය දුම් නොදමන පුපුරණ ද්‍රව්‍ය සැකසීමේදී මූලික අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. ඔහු කළ නව නිර්මාණ 355 ක දායකත්‍වය නිසාම ඔහු විශාල ධනයකට හිමිකම් කියූවා. මේ නව නිර්මාණ කොතෙක් තිබුණත්, ඔහු ලෝකයා අතර ප්‍රසිද්ධ වූයේ ඩයිනමයිට් සොයාගැනීම පිළිබඳවයි.
මේ අතර 1888 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් ජීවත්ව සිටියදීම ඔහුගේ මරණ දැන්වීම ප්‍රංශ පුවත්පතක් විසින් ප්‍රසිද්ධ කළ අතර එහි මාතෘකාව වූයේ මරණයේ වෙළෙන්දා මියගිය බවයි. ලෝකයා තමන් කෙසේ මතක තබා ගනීවිද යන සැකය මත මේ සිදුවීම ඔහුට මහත් කම්පනයක් ගෙන දුන්නා. මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීම දක්වා වද දුන් කාරණාවක් වුනා. 1896 දී, ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉතාලියේ සැන් රීමෝහි සිය මන්දිරයේදී වයස 63 දී අවසන් හුස්ම හෙළුවේ මොළයේ රුධිරවහනය නිසා ඇතිවූ සංකූලතා නිසා.
ඇල්ෆ්‍රඩ් නොබෙල් ජීවත්ව සිටියදී අන්තිම කැමැත්ත කිහිප විටක් වෙනස් කළ අයෙක්, අවසානයේදී 1895 නොවැම්බර් 25වනදා සිය අවසාන අන්තිම කැමැත්ත ලෙස සටහන් කළේ සිය ධනය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මානව සංහතියේ උන්නතිය උදෙසා සේවය කළ අයට වාර්ෂිකව ත්‍යාග ලබාදීම සඳහා භාවිතා කරන ලෙසයි. මේ වෙනුවෙන් සිය ධනයෙන් සියයට 94 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 186 ක් පමණ වෙන් කර තිබුණා. කෙසේ වුවත් ඔහු අන්තිම කැමති පත්‍ර කිහිපයක්ම ලියා තිබූ නිසා, මෙය 1897 වනතෙක් විසඳී තිබූ ගැටළුවක් වූයේ නැහැ. අවසානයේදී ඔහුගේ අවසන් කැමතිපත්‍රය ක්‍රියාවට නැංවීම භාරව තිබූ දෙදෙනා වන Ragnar Sohlman සහ Rudolf Lilljequist නොබෙල් පදනම පිහිටවා ඔහුගේ අවසාන කැමැත්ත ප්‍රකාරව ත්‍යාග ලබාදීමට කටයුතු කළා.
නොබෙල් ත්‍යාග කමිටුව 1895 දී පිහිටවූවත්, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මුලින්ම ත්‍යාග ප්‍රදානය සිදු වූයේ 1901 දී සිටයි. වසර 1980 වනතෙක් තැනූ සියළුම නොබෙල් ත්‍යාග පදක්කම් සැකසුනේ කැරට් 23 රත්‍රං වලින්, ඉන්පසුව එය කැරට් 18 දක්වා අඩු කර කැරට් 24 රන් ආලේපනයක් සිදු කරනවා. පසුගිය වසර වනවිට නොබෙල් ත්‍යාග 579 ක් දැන් දැන් ත්‍යාග පුද්ගලයින් කිහිප දෙනෙකු අතරේ බෙදී යාම නිසා 911 දෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා. නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය සිදුවන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වුවත්, නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය සිදු වන්නේ නෝර්වේහි ඔස්ලෝ නගරයේදීයි. සෑම ත්‍යාගලාභියෙක්ම සිය ත්‍යාග ලෙස සහතිකයක්, රන් පදක්කමක් සහ නොබෙල් කමිටුව විසින් නියම කරන ලද පරිදි ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදල් ත්‍යාගයක හිමිකරුවකු වනවා. මුලින් නියම කරනලද විෂය පථයනට අමතරව දැන් ආර්ථික විද්‍යාව සඳහා ද නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබනවා.
භෞතික විද්‍යාව සඳහා ලොව පළමු නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ එක්ස් කිරණ සොයාගත් Wilhelm Röntgen විද්‍යාඥයා වෙතයි. රසායන විද්‍යාව සඳහා බොහොමයක් නම් යෝජනා වී තිබුණේ ඒ වනවිට රසායන විද්‍යාවේ පුනරුදයක් ඇතිවී තිබූ අවධියක් නිසා, කෙසේ වුවත් පළමු රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිණැමුනේ තාපගතික රසායනය පිළිබඳ පර්යේෂණ පවත්වා ඒ වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් Jacobus van’t Hoff නම් විද්‍යාඥයාටයි. පිළිවෙලින් සාහිත්‍යය වෙනුවෙන් Sully Prudhomme ද, වෝහාරික වෛද්‍යා විද්‍යාව වෙනුවෙන් ජර්මානු වෛද්‍යවරයෙකු සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වූ ගලපටලය සඳහා ඖෂධයක් සොයා ගත් Emil von Behring ද, සාම ත්‍යාගය රතුකුරුස සංවිධානය සහ ජිනීවා සම්මුතිය ආරම්භ කිරීමට දායක වූ Jean Henri Dunant සහ ප්‍රංශ ජාතික Frédéric Passy වෙත ද පිරිනැමුවා.
සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ඉදිරි වසරේ නොබෙල් ත්‍යාගය සඳහා නාමයෝජනා කැඳවීමට අයදම්පත් 3000 ක් පමණ යවනු ලබනවා. මේ අය අතර පර්යේෂකයන් සහ විද්‍යාඥයින්ගේ නම් බහුලව සඳහන් වනවා. නොබෙල් සාම ත්‍යාගයට රජයයන් සහ මීට පෙර සාමත්‍යාගය ලත් පුද්ගලයන්ගේ නම් ඇතුලත් වනවා. මෙයට අමතරව නොබෙල් කමිටුව විසින් නොබලේ ත්‍යාග ලැබීමට සුදුසු යැයි නම් කරන ලද 300 දෙනෙකුට අයදුම්පත්‍ර වෙනම යවනු ලබනවා. මේ සියළුම අයදුම්පත් භාරගන්නා අවසාන දිනය එම වසරේ ජනවාරි 31 වනදායි. මේ නාම යෝජනා කමිටුව වෙත යවනු ලබන සියළුම නම් ඉතා රහස්‍ය ලෙස තබා ගන්නා අතර කිසිවිටෙක මේ පුද්ගලයින් 3300 දෙනාගේ නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මේ වාර්තා අදාල දිනයේ සිට අවුරුදු 50 ක් දක්වා සුරැකිව තබා ගන්නවා.
අයදුම්පත් ලද පසු නොබලේ කමිටුව විසින් නම් කරන ලද ආයතන විසින් සියළුම අයදුම්කරුවන්ගේ වාර්තාවන් සකස් කරනවා. ඔවුන්ගේ බහුතර ඡන්දයෙන් නොබෙල් ත්‍යාග ලාභියා තෝරාගනු ලබනවා. මෙය සෑම විටම අවසාන තීරණයක් වන අතර තීරණය ලද වහාම ත්‍යාගලාභියා ප්‍රසිද්ධියට පත් කරනවා. මෙහිදී කිසියම් විෂයය ක්‍ෂෙත්‍රයකින් නම් කෙරෙන්නේ උපරිම ලෙස ත්‍යාගලාභීන් තුන්දෙනෙකු පමණයි. කෙසේ වුවත් කිසියම් ආයතනයක් ත්‍යාගය ලබන්නේ නම් ඒ සඳහා දායක වූ සියල්ලන්ට ත්‍යාගය ලැබෙනවා. නොබෙල් සාම ත්‍යාගය හැර, අන් සියල්ලම ප්‍රදානය කරන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මරණ අනුස්මරණය දා වන දෙසැම්බර් 10 වනදායි. අදාල ත්‍යාග ලාභීන් සිය පර්යේෂණ පිළිබඳ දේශනයන් ඊට පෙර දිනවලදී කමිටුව හමුවේ ඉදිරිපත් කරනවා. නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ දේශනය දෙසැම්බර් 10 වන දින නෝර්වේ හි ඔස්ලෝහිදී පවත්වනු ලබන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් වෙත කරන ගෞරවයක් වශයෙන්. නොබෙල් ත්‍යාගයේ විශේෂත්‍වය වන්නේ එය ලබා දෙනු ලබන්නේ ස්වීඩනයේ රජතුමා අතින් වීමයි. නොබල් සාම ත්‍යාගය නෝර්වේ රජතුමා ඉදිරියේදී සාම කමිටුවේ සභාපතිවරයා විසින් ත්‍යාගලාභියා වෙත ප්‍රදානය කරනු ලබනවා.
මේ දක්වා නොබෙල් ත්‍යාග ලාභීන්ගෙන් විද්‍යා හා තාක්‍ෂණ අංශවලදී කාන්තාවන්ට ත්‍යාග ලැබී ඇත්තේ ඉතාම අඩුවෙන්, භෞතික විද්‍යාවෙන් කාන්තාවන් දෙදෙනකු ද, රසායන විද්‍යාවෙන් සිවු දෙනෙකුද, වෝහාරික වෛද්‍ය විද්‍යාවෙන් එකොලොස් දෙනෙකුද සම්මාන ලබා තිබෙනවා. මේ අතර සුවිශේෂීතාවය වන්නේ විකිරණශීලීතාවය සොයා ගැනීම වෙනුවෙන් මාරි කියුරී විසින් 1903 දී භෞතික විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන රේඩියම් සොයාගැනීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා ත්‍යාතය ඇය විසින්ම 1911 දී දිනා ගැනීමයි. මෙය එකම පුද්ගලයෙකු විද්‍යාවේ අංශ දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් එකම අවස්ථාව ලෙස සනිටුහන් වනවා. එසේම මාරි කියුරුගේ ස්වාමියා වන පියරේ කියුරි භෞතික විද්‍යාව වෙනුවෙන් ද දියණිය අයිරීන් ජොලියට් කියුරී රසායන විද්‍යාව වෙනුවෙන් ද නොබෙල් ත්‍යාගය දිනා ගැනීම සුවිශේෂී කාරණයක්. මීට අමතරව රසායනික බන්ධන පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරමින් 1954 දී ලීනස් පෝලිං විසින් රසායන විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර 1962 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නේ න්‍යෂ්ඨික අවි භාවිතයට එරෙහිව ගෙනගිය අරගලය වෙනුවෙන්. එසේම ට්‍රාන්සිස්ටරය සොයාගත් තිදෙනාගෙන් කෙනෙකු වන ජෝන් බාඩීන් 1956 දී ඒ වෙනුවෙන් ද, 1972 දී සුපිරි සන්නායකතාවය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඉන්සියුලින් අණුක ව්‍යුහය සොයා ගැනීම වෙනුවෙන් Frederick Sanger 1958 දී සහ 1980 දී ඩී එන් ඒ භෂ්ම සැකැස්ම සොයා ගැනීමට ක්‍රමයක් සම්පාදනය කිරීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ එකම පුද්ගලයා දෙවරක් නොබෙල් ත්‍යාගය දිනූ ගොන්නට එකතු වෙමින්.
මේ දක්වා නොබෙල් සාම ත්‍යාගය දිනූ පුද්ගලයින් අතර නෙල්සන් මැන්ඩෙලා, ඩෙස්මන්ඩ් ටුටූ, අවුන් සාං සුකී, දලයිලාමා තුමා, යසිර් අර්ෆත්, සිමොන් ෆෙරෙස්, ජිමී කාටර්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කොෆී අන්නන්, අල් ගෝර්, සහ බැරක් ඔබාමා සුවිශේෂී වනවා. මෙහිදී බැරක් ඔබාමාට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ ආන්දෝලනයක් හට ගත්තේ ඔහු ඉදිරියට කළ හැකි සාම කටයුතු සඳහා සළකා බලමින්. නමුත් ඔහුගේ පාලන සමයේ ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාවට ගෙන දුන් හානිය පිළිබඳ සඳහන් කරමින් බොහෝ සිවිල් සංවිධාන පසුව ඔහුගේ ත්‍යාගයට විරෝධතා පළකර සිටියා.
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනුවන් අතර විකිරණශීලතාවය සොයාගැනීම වෙනුවෙන් මාරි කියුරී සහ පියරේ කියුරි, රැහැන් රහිතව ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය වෙනුවෙන් ගුග්ලි එල්මෝ මාකෝනි, වායු නියමයන් සඳහා කළ දායකත්‍වය වෙනුවෙන් වැන් ඩර් වාල්ස්, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉදිරිපත් කිරීම සහ සාපේක්‍ෂතාවාදය ඇසුරින් භෞතික විද්‍යාවට කළ සේවය වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින්, පරමාණුක ව්‍යුහය නිර්ණයට දායක වීම වෙනුවෙන් නීල් බෝර්, ඉන්දියානු විද්‍යාඥ චන්‍ද්‍ර සේකර වෙන්කටරාමන් සහ වෙනත් බොහෝ ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයින් ඇතුලත්.
2017 වසර සඳහා දැනට වෝහාරික වෛද්‍ය විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙලා ත්‍යාගලාභීන් නම් කර අවසන්. වෝහාරික වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මෙවර ත්‍යාගය දිනාගෙන ඇත්තේ ජීව ඔරලෝසුව, එසේත් නැතිනම් වයසට යාම පිළිබඳ පර්යේෂණ සිදු කළ Jeffrey C. Hall, Michael Rosbash සහ Michael W. Young තිදෙනා විසින්. මේ පර්යේෂණය මුලින්ම සිදු කළේ පළතුරු මැස්සා උපයෝගී කරගෙනයි. මිනිසා ඇතුළු සියළුම බහු සෛලික සතුන්ගේ සෛලවල ඇතැම් කොටස් මේ ජීව ඔරලෝසුව වෙනුවෙන් ක්‍රියා කරනවා. මෙහිදී සිදු වන්නේ ජීවයේ රිද්මය සෛල මගින් බලාපොරොත්තු වීමයි. මෙය ජීවයේ අඛණ්ඩතාවය පාලනය කරන බවට දැන් සොයාගෙන තිබෙනවා. ජීව ඔරලෝසුවේ ආශ්චර්යය නම් එය ජීවියාට දවල් – රෑ වෙනස වැනි චක්‍රයක් ලෙස වෙනස්වන කරුණු බලාපොරොත්තුව සිටීමට උපයෝගී වීමයි. මෙහිදී නිදා ගැනීම, රුධිර පීඩනය සහ ශරීර උෂ්ණත්‍වය යාමනය, හෝමොන නිදහස් කිරීම වැනි සංකීර්ණ කාරණා සිදු කිරීම මගින් ජීවය පවත්වාගෙන යාමට ඉවහල් වනවා. මේ පර්යේෂණය සනාථ කරනු ලැබුවේ නිදිකුම්බා ශාක පත්‍රවල පිබිදීම සහ නිද්‍රාව උපයෝගී කරගෙනයි. සාමාන්‍යයෙන් අඳුරේදී හැකිලෙන නිදිකුම්බා ශාක පත්‍ර දීර්ඝකාලයක් අඳුරේම තැබීමේදී ඒවා පැය 24කට වතාවක් දිගහැරෙන බව මේ විද්‍යාඥයින් සොයාගෙන තිබුණා. ඒ අනුව සිදු කළ පර්යේෂණ සහ වෙනත් අදාල පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජීව ඔරලෝසුව යන සංකල්පය හා ඒ සම්බන්ධ න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවා.
භෞතික විද්‍යාව වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇතිකළ ගුරුත්වාකර්ෂණ තරංග සොයාගත් Kip Thorne, Rainer Weiss සහ Barry Barish තිදෙනා විසින්.
රසායන විද්‍යාව සඳහා මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබ ඇත්තේ Jacques Dubochet, Joachim Frank සහ Richard Henderson විසින් අධිශීතකළ අවස්ථාවේ ජීව අණුවල ඉලෙක්ට්‍රෝණ අන්වීක්‍ෂ ව්‍යුහයන් පැහැදිලි ලෙස රූපගත කළහැකි ක්‍රමය සොයාගැනීම වෙනුවෙන්. මේ නිසා විවිධ වෛරස සහ ජීව අණුවල නියම ස්වරූපය අධ්‍යයනය කළ හැකි වෙනවා. මෑතකදී සොයා ගැණුනු සිකා වෛරසය (Zika Virus) මේ ආකාරයෙන් රූපගත කළ වෛරසයක්, ඒ නිසාම ඒ සඳහා ඖෂධ සොයා ගැනීම ද පහසු වුනා.
ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී ලෝකෙන් උතුම්ම රටේ උතුම්මයි සැලකෙන ජාතිය තවමත් නොනවතින අගතිගාමී අරගලයන්හි යෙදෙමින් පවතිනවා. අපේ රටේ කෙනෙක් කවදා හරි සැලකිය යුතු කාරණයක් උදෙසා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබාවි යැයි, අපි නෙත් අයාගෙන බලා සිටිනවා.
පිටස්තරයා – 10
ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය… තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් විශ්වට වැටහෙන්නට විය…..
හොඳයි… දැන් දෙන්නටම අවබෝධ වෙන්න ඇතිනෙ මොනවද කෙරෙන්න ඕන කියලා….
මුලින්ම කියන්න තියෙන්නෙ මේක රහස්‍ය මට්ටමේ තුන්වන තලයේ (Level 3 Classified) ඇති ව්‍යාපෘතියක්. මේ ආයතනයෙ ඒ වගේ ව්‍යාපෘති තියෙන්නෙ තුනයි නැතිනම් හතරයි. මම මේ ව්‍යාපෘතිය ඔබ දෙදෙනාට භාර දෙන්නෙ මේ රහස්‍යභාවය ඒ වගේම තබා ගනීවි කියන විශ්වාසය මත. ඒ විශ්වාසය කඩ කරන්න එපා, ඒ වගේම කඩකළොත් සිදු වන සිදුවීම්වල වගකීම මට භාරගන්නත් බැහැ. ඒක හොඳටම මතක තියාගන්න.
දෙදෙනාම ප්‍රධානියාගේ කාමරයෙන් පිටවූයේ තමා භාරගත් ව්‍යාපෘතියේ ඇති බැරෑරුම් කම හොඳින් වටහාගෙන ය. තමන් මේ කරුණු කෙසේ සිය සගයනට විස්තර කරන්නේදැයි දෙදෙනාම පැහැදිලිව දැන සිටියේ නැති වුවත් වැඩිදුර විස්තර පැවසීමට යාමෙන් තමා අමාරුවේ වැටෙන බව පමණක් දැන සිටියහ.
මොකද උඹලා දෙන්නා පැය තුනක්ම ලොක්කා එක්ක කළේ ?
එළියට එනවිටම පසෙක සිට බිල් කෑ ගැසුවේය..
පැය තුනක්ම අපි ඇතුලෙ හිටියද ? දැනුනෙවත් නෑ…..
හොඳටම සහතිකද ලොක්කා ඇතුලෙ හිටියා කියලා ? උඹලා දෙන්නා විතරක්ද දන්නෙ නෑ හිටියෙ….
හහ්… යාළුවා… ඔන්න පොට වරද්ද ගන්නයි හදන්නෙ… තව ටිකකින් ලොක්කා එළියට එනවා… ඊට ඉස්සර වෙලා මාරු වෙමු….
ඒක නෙවෙයි… අද කොහෙද කන්න යන්නෙ…. මම හිටියෙ ඔක්කොම එකතු වෙනකල්… මට යකෙක් කන්න බඩගිනියි…..
මට නම් කොහෙත් එකයි… විශ්ව එහෙම කිවුවෙ ඇත්තෙන්ම සුවිශේෂී කුසගින්නක් නොදැනුන නිසාමයි…
ඔව් ඉතිං… මෙයා කන්නෙ කොළ විතරමනෙ…. මෙයාව වොෂිංටන් මෝල් එකෙන් දාගෙන අපි යමු හොඳ රෙස්ටෝරන්ට් එකකට… එනකොට අපි අරන් එමු… එතකොට ඇතිවෙන්න තණකොළ කාලා ඉඳීවි නෙ තණ පිට්ටනියෙන්… මෙගන්ට ටිකක් වෙන්න තරහත් ගිහින්….
තණකොළවල තියෙන ගුණය දන්නෙ තණකොළ කන අය මෙගන්…. ඒකෙ තියෙන ගුණ දැන ගත්තොත් ඔයා කවදාවත් මස් මාළු කන එකක් නෑ… නමුත්, මම කවුරුවත් නිර්මාංශ කරන්න උත්සාහ කරන්නෙ නෑ…
කමක් නෑ… අපි අද යමු Bangkok One තායි අවන්හලට…. ඒක නිර්මාංශ අයටත් හොඳ එකක්… ඉඳලා හිටලා අපිත් ඒවා කන්න උත්සාහ කරන එක හොඳයි… මොකද කට්ටිය කියන්නෙ ? මොලී යෝජනාවක් කළේ අන් කිසිවෙකුට යමක් කතා කරන්නට ඉඩක් ලබා නොදෙමින්…
හොඳයි හොඳයි… එහෙනම් යමු… මගදි හරකෙක් මරාගෙන එන්න බැරියෑ මට… මයික් එකඟත්‍වය පළ කළා…
සාමාන්‍යයෙන් සිකුරාදාට රසායනාගාරයේ සියළුම දෙනා දිවා ආහාරය ගැනීමට අසළ වූ අවන්හළකට යාමට පුරුදු වී තිබුණා. ඉතා ඉහළ වේතනයක් ලබන රාජ්‍ය රසායනාගාර විද්‍යාඥයින්ට දිනපතා වුවත් ඉහළ පෙළේ අවන්හල් වලින් ආහාර ගැනීමට තරම් වත්කමක් ඇති පුද්ගලයින් වුනා.. නමුත් ඔවුන් වෙනසක් පිණිස සිකුරාදාට ආපනශාලාවට යනවා විනා සිරිතක් ලෙස දිනපතා ඒවාට නොගියේ, ඒවායේ ඇති අයහපත් ප්‍රතිපල ගැන හොඳින් දන්නා නිසායි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද මොනවද කන්නෙ ? විශ්ව….
තණකොළ තමයි…. අපරාදෙ මෙගන්ට තිබුණෙ මාව වොෂිංටන් මෝල් එකේ දාලා එන්න…..
මම නං හරකෙක් කනවා… ඌ කන්නෙත් තණකොළ නෙ…. ඒ මයික්…
අපි සූදානම්… මොලී පසෙක සිටගෙන සිටි අවන්හලේ වේටර්වරියට දැන්වූවා…
සුපුරුදු පරිදි එදත් විශ්ව ආහාරයට ගත්තෙ කැප්රෝ ජේ නමින් ඒ ආපනශාලාවෙ හැඳින්වූ එළවලු වලින් සැකසූ ආහාරයක්. එහි ඇතුළත් වුනේ මඳ ගින්නේ රත් කළ එළවලු වලට දැමූ සුදුළූණු සහ විවිධාකාර කොළ වර්ග.
සැම දෙනාම විවිධාකාර කතා බහ වල යෙදෙමින් ආහාර ගත්තෙ බොහොම සැහැල්ලුවෙන්…. ඒ අතරෙ අවන්හලේ සිටි තරුණයන් දෙදෙනෙකුගෙ අවධානයත් නිතර නිතර ඔවුන් වෙත යොමු වුන බව විශ්ව දුටුවෙ නෙත් කොණින්…. නමුත් ඔහු ඒ දෙදෙනා ගැන අනෙක් අයට කියන්න ගියෙත් නැහැ… එය සමහර විට සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. මහ හඬික් සිනාසෙමින් විවිධාකාර දේ කතා කරමින් රූමත් තරුණියන් තිදෙනෙකු සමඟ ආහාර ගන්නා තරුණයන් හතර දෙනෙකු වෙත අවධානය යොමු නොවන්නෙ කාගෙද ? එසේම වොෂිංටනය යනු බොහෝ ධනවත් මෙන්ම බලවත් පුද්ගලයින් අරක් ගත් රාජධානියක්… මේ තරුණ තරුණියන් හත් දෙනා සමහර විට බලවත් දේශපාලනඥයෙකුගේ කාර්යාලයේ සේවය කරන අය වන්නටත් හැකියාවක් තිබෙනවා. සමහර විට ධනවත් පුද්ගලයෙකුගෙ දරුවකුගෙ මිතුරු මිතුරියන් වන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසාම ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් මෙවැනි පුද්ගලයින් දෙස බැලිය හැකියි. නමුත් ඉහත කී තරුණයින් දෙදෙනා නම් මේ සත් දෙනා කවුද යන්න හොඳින්ම දැන සිටියා පමණක් නොවෙයි ඉන් දෙදෙනෙකු ඉතාමත්ම හොඳින් හඳුනාගෙන සිටියා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිකුරාදා සවස :
විශ්ව මොකද කරන්නෙ සති අන්තයෙ ?
විශේෂ දෙයක් නැහැ, නමුත් මගේ ලොකු මාමාගේ මිතුරෙකු හමු වෙන්න යන්න නම් යොදාගෙන තිබෙනවා හෙට… ඊට අමතරව කිසිවක් නැහැ….
අපි හෙට හවසට මයික් ගෙ නවාතැනේ හමු වෙන්නයි ඉන්නෙ… විශ්ව ඉතිං වැඩිය මත්පැන් වලටත් කැමැත්තක් නැති නිසා එන්න කැමති වේද දන්නෙ නැති නිසයි අවසාන මොහොතෙ ඇහුවෙ…
ආ…. ඒකට කමක් නෑ… මට වෙලා තිබුණොත් එන්නම්…. කෝකටත් මම සෙනසුරාදා සවසට ඔයාට කෙටි පණිවුඩයක් (Text message) එවන්නම්කො.
හරි… එහෙනම් හෙට හමුවෙමු….
බොහෝ විට…… බිල් විශ්වගෙන් සමු ගත්තේය….
එදින සවස් වුවද සිය නව ව්‍යාපෘතියට අදාල පර්යේෂණ නිබන්ධන සහ පර්යේෂණ පත්‍රිකා අතර සැරිසරන්නට විශ්ව ඉටා ගත්තේය… කිසිවෙකු නොමැති රසායනාගාරය නිසොල්මන් ය… ශාන්ත දාන්තය… සිකුරාදා සවස නිසා සියළුම යන්ත්‍ර සූත්‍රවලට නිවාඩු ලැබී ඇත. ඒ සියල්ල නැවත පණ ගැන්වෙන්නේ සඳුදා උදෑසනය… සුවිසල් රසායනාගාරය මධ්‍යයේ ඇති ප්‍රති ගුරුත්‍ව මේසය වෙත විශ්වගේ සිත යොමු විය….
සෙමෙන් ඒ දෙසට ඇවිදගෙන ගිය විශ්ව මේසය මත වූ සුදු පැහැති ආවරණය මෑත් කළේය… ඔහුට එය බොහෝ හුරු පුරුදු ගතියක් දැණුනි… 100 % ක් ග්‍රැනයිට්… එය කිව නොහැකි ලෙස සුමුදු මතුපිටක් සහිත ගල් ලෑල්ලක් විය… විශ්ව ඒ මේසය සෙමෙන් අතගා බැලීය….
බීප් බීප් බීප්…………
විශ්ව ඒ හඬින් අවදි විය… තමා අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කළ පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධන සියල්ල කාර්යාල කාමරයේ වූ මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය වී අවසන් බව දැන්වෙන බීප් නාදයයි ඒ…
බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන ලොව පුරා ඇති විවිධාකාර පර්යේෂණ සඟරා සහ ජර්නල වල අන්තර්ජාල සංස්කරණයන්හි සාමාජිකත්‍වය ලබා ගෙන ඇත. සාමාන්‍යයෙන් වසරක සාමාජිකත්‍වය සඳහා ඩොලර් 100 ක සිට එමෙන් සිය ගුණයක් දක්වා වැඩි ගණන් අයකෙරෙන මේ සඟරා වලින් පර්යේෂණයන්ට ඇති ප්‍රයෝජනය මුදලින් මැනිය නොහැක. එසේම අවශ්‍ය ඕනෑම විටක අදාල ලිපිය බාගත කර ගැනීමත් ඒ සඳහා සීමාවක් නොමැති නිසාත් බොහෝ ආයතන මෙසේ තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේ සඟරා සහ ජර්නල වල සාමාජිකත්‍වය ලබාගෙන ඇත. විශ්ව සේවය කරන නාවික පර්යේෂණ ආයතනයට මෙවන් සඟරා සහ ජර්නල ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක සාමාජිකත්‍වය ලබාගෙන ඇතුවා පමණක් නොව ලෝකයේ විශාලතම පුස්තකාල වලින් එකක් වන වොෂිංටනයේ පාර්ලිමේන්තු පුස්තකාලයේද සාමාජිකත්‍වය ලබාගෙන ඇත. මේ නිසා ලොව පළවන ඕනෑම සඟරාවක තොරතුරක් මෙන්ම අමෙරිකාවේ පළවන ඕනෑම පොතක තොරතුරු ද, පළ කෙරෙන පර්යේෂණ නිබන්ධන වල තොරතුරු ද සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නාවික පර්යේෂණ ආයතන සේවකයන්ට ලැබීම ඉතා විශාල වරප්‍රසාදයකි.
මුද්‍රණ යන්ත්‍රයෙන් සිය පර්යේෂණ පත්‍රිකා ආපසු රැගෙන තම මේසය වෙත යාමට විශ්ව හැරුණා පමණි….. කිසියම් ඡායාවක් තමා පසුපස එන බවක් ඔහුට දැණුනි…. අනතුරක සේයාවක් නැතත්, තමා උගත් සහ මනාව ප්‍රගුණ කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රම වල විවිධ පියවර තම සිතට ඇතුළු වන බව විශ්වට හැඟුණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉලන්දාරියා…. මොකද තවම වැඩද ?
ඉතාමත් ලඟින් ඇසුන ඒ ගැඹුරු හඬින් විශ්ව හැරී බැලුවා…..
අද්මිරාල් රිචර්ඩ් බවර්….
ඔව් සර්…… අද අළුතෙන් ලැබුණ ව්‍යාපෘතියට ඕන කරන පර්යේෂණ පත්‍රිකා ටිකක් මුද්‍රණය කර ගන්න ටිකක් වෙලා ගියා…
හොඳයි හොඳයි…. තමා හොඳට වැඩ කරගෙන යනවා කියලා මට තොරතුරු ලැබුණා… ඒකම තමයි අපි අළුත් ව්‍යාපෘතිය ඔබට භාර දෙන්න තීරණය කළේ… සාමාන්‍යයෙන් අළුතෙන් ආපු කෙනෙකුට මේ වගේ ව්‍යාපෘතියක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්… මේ ලැබුණ අවස්ථාව අපතෙ යවන්න එපා…. මේක බොහොම වටින අවස්ථාවක්….
ඔව් සර්… මම දන්නවා….
එහෙනම් පුතා… මම ගිහින් එන්නම්… තව ගොඩක් දේවල් තියෙනවා බලාගෙන යන්න….. සුභ සති අන්තයක්….
ඔබටත් සුභ සති අන්තයක් වේවා….
නාවික පර්යේෂණ ආයතනයේ ප්‍රධානී අද්මිරාල් රිචර්ඩ් බවර් සෑම සිකුරාදා සවසකම නාවික පර්යේෂණ ආයතනයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇවිදීම පුරුද්දක් කරගෙන තිබුණි. ඇවිදීම සිය ශරීර සෞඛ්‍යයට හිතකරබව මෙන්ම ආයතනයේ ප්‍රධානියා ලෙස තමන්ට ඇති වගකීම නිසාත් සිදුවන සියල්ල තම දෑසින්ම බලාගෙන තීරණ ගැනීමේ පුරුද්ද නිසාමත් අද්මිරාල් බවර් සිය ආයතනයේ සෑම තැනකම ඇවිදීමෙන් අනතුරුවයි සිකුරාදා සවස නිවස බලා යන්නෙ..
තමා මුද්‍රණය කරගත් පර්යේෂණ පත්‍රිකා සියල්ල තම මේසය මත තැබූ විශ්ව තම නවාතැන බලා යන්නට වාහනයට නැගුන විශ්ව තම වාහනය ප්‍රධාන පාරට අවතීර්ණ කළා…. ප්‍රධාන මාර්ගයට හරවා මඳ වේලාවකින් සිය පිටුපස බලන කණ්නාඩියෙන් බැලූ විශ්වට සිය දෙනෙත් අදහාගත නොහැකි වුනා……..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙනසුරාදා උදෑසනම නාද වන දුරකථනයේ හඬින් අවදි වුන සුමනසේකර මහතා නිදිකඩමින් දුරකථනයට ඇමතුවා….
හලෝ…..
හලෝ………. සුමනසේකර මහත්මයාද කතා කරන්නෙ ?
ඔව් ඒ මම තමයි….
මම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කරන්නෙ….
ඔබ ද විශ්ව සමාධි සූර්යබණ්ඩාර ගෙ භාරකරු ?
ඔව් ඒ මම තමයි… විශ්ව කියන්නෙ මගෙ නංගිගෙ පුතා….
අපට විශ්ව ගැන තොරතුරු ටිකක් දැනගන්න තිබෙනවා… ඔබට අපහසුවක් නැතිනම් අද අපි ඔබේ නිවසට පැමිණෙන්නද ?
මම කොහොමද දැනගන්නෙ ඔබ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්මද කියලා ? අද සෙනසුරාදා ඇයි ඔබේ තානාපති කාර්යාලයෙන් පණිවුඩ ලබා දෙන්නෙ ? ඔබ වෙනත් කෙනෙක් වෙන්න බැරිද ?
ඔබ හරි… මම දැන් ඒ බව කියන්න තමයි හදන්නෙ… කරුණාකර මගේ තොරතුරු ලියාගන්න.. මම පැමිණෙන්නෙ ඇමරිකානු තානාපති කාර්යාල වාහනයක… ඒ නිසා වරදින්න විදියක් නැහැ…. සෙනසුරාදා කියලා රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු නවත්වන්න අපට බැහැනෙ… ආවම විස්තර කතා කරගනිමු. මේ මගේ තොරතුරු….කරුණාකර ලියාගන්න…
මගේ නම රොනල්ඩ් මැන්කැඩ්… මගේ හැඳුනුම්පත් අංකය USDPL17384790 ඔබට පුළුවන් මා ඔබ හමු වෙන්න පැමිණි පසු මේ අංකය සසඳා බලන්නට….
හොඳයි… මට අපහසුවක් නැහැ ඔබ හමු වන්නට… ඔබ දන්නවාද මගේ නිවස තිබෙන තැන….
කරදර වෙන්න එපා… අපට පුළුවනි සොයා ගන්නට… අපේ රියැදුරු මහතුන් සියළුම දෙනා හොඳට පාරවල් දන්න ශ්‍රී ලාංකිකයින්… අපි ඔබ හමු වෙන්නට උදෑසන දහය වනවිට එන්නම්….
සහයෝගයට ස්තූතියි….
අපි හමුවෙමු….
ස්තූතියි….
මොකක්ද සුමනෙ ? සුමනසේකර මහත්මිය සිය සැමියාගෙන් විමසූයේ කුතුහළයෙන්….
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කළේ… සමාධි ගැන ඇහැවුවෙ…. අද උදේ දහයට එනවලු විස්තර දැනගන්න… කොල්ලට මොකුත් කරදරයක් ද දන්නෙ නැහැ වැඩ කරන තැන….
ඉතිං කෝකටත් අපි එයාට කතා කරලා බැලුවොත් හොඳ නැද්ද ?
ඔව්… ඒක තමයි… අපි පුතාට කතා කරලා බලමු….
ජාන වෙනස්කළ ආහාර බිල්ලෙක්ද ?
අතීතයේ අපේ ගොවි මහතුන් සිය වගා කටයුතු කළේ ඊලඟ කන්නය පිළිබඳ හොඳ මිම්මක් හිතේ දරාගෙනයි. මේ කන්නයේ වැවෙන අස්වැන්නෙන් හොඳම කොටසක් ඊලඟ කන්නයේ වගා කිරීම සඳහා බීජ ලෙස වෙන්කර, ඒවා වෙනම සකසාගෙන, නැවත වගාව සඳහා භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණ වුනා. මේ අනුව වී වර්ග බිත්තර වී ලෙස හඳුන්වා, ඒවා ගොවිපොළේ කොණක වගාකර ඉතා උවමනාවෙන් සකසාගෙන දේවත්වයෙන් සලකන්නේ තමන්ට ඊලඟ කන්නයේ වගා කිරීමට තබා ගත්තා. එළවලුවක් නම් වෙනම තබා, අවශ්‍ය පරිදි බීජ වෙන්කරගෙන වේලාතබා ගන්නේ ඊලඟ කන්නයේ භාවිතා කිරීමටයි. මෙසේ බීජ සකස් කර ගැනීමේදී ඒවායේ මල්වල පරාගනය පවා දැඩිලෙස පාලනය කරන්නේ තමන්ට ලැබෙන ඊලඟ පරම්පරාව නිරෝගී, හොඳ පළදාවක් ලබාදෙන පරම්පරාවක් කර ගැනීමට. ඔවුන්ට අවශ්‍ය වුනේ සිය නිෂ්පාදන තත්ත්‍වයෙන් හොඳම නිෂ්පාදන කිරීමට විනා හොඳම අස්වැන්න ලබාගෙන වැඩිලාභ ලබා ගැනීමේ අදිටනින්.
පාරම්පරික ගොවිතැන කෙමෙන් අභාවයට ගියේ විවිධ යන්ත්‍රසූත්‍ර භාවිතයට පැමිණීම, අධික අස්වැන්නක් ලබාගෙන වැඩි ලාභ ලැබීම වැනි කාරණා නිසා ගොවීන් සිය පාරම්පරිකබව අතහැර නවීන කෘෂිකාර්මික ක්‍රම වලට පුරුදු වුනා. මේ නිසා අතීතයේ වගාකෙරුණු පාරම්පරික භෝග වගාව කෙමෙන් කෙමෙන් නව භෝග වර්ග, නව කෘෂිරසායන ද්‍රව්‍ය ආදියට හුරු වෙන්න පටන් ගත්තා. මේ නිසා අස්වැන්න වැඩි වුවත්, භෝගවල ඇති සමහර ගුණාත්මක භාවයන් නැසෙන්නටත් පටන් ගත්තා.
කෙසේ වුවත්, ලංකාවේ මහඉලුප්පල්ලම, බතලගොඩ වැනි කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන වලින් නව නිපැයුම් බිහි වුනා. දෙමුහුන් වී වර්ග නිසා පාරම්පරික සමහර වී වර්ගවල ඇති විවිධ දුර්වලතා මඟහරවාගන්නට ඔවුන් සමත් වුනා. මේ නිසා ගොවීන්ට තරමක වාසිදායක ප්‍රතිඵල අත් වූවා. නමුත් කෘෂිකර්මාන්තය විවෘත ආර්ථිකයට ගොදුරු වීමත් සමගම එහි ගුණාත්මක භාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයට මුල්තැන දෙන්නට ගොවියාටත් වෙළෙන්දාටත් සිදු වුනා. මේ නිසා නව බීජ වර්ග, නව පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය වෙළඳපොළට එකතු වුනා. එයින් ප්‍රමාණාත්මකව අස්වැන්න ඉහළ ගියත්, භූමියට සහ පරිසරයට සිදු වූ හානිය රජරට කලාපයේ සෑම නිවසකින්ම ඇසෙන දුක් අඳෝනා වලින්ම සනාථ වනවා.
මේ කරුණු මෙසේ වන අතර බටහිර ජාතීන් සිය කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරගැනීමට දෙමුහුන් කිරීමටත් වඩා එහාට ගිය විද්‍යාත්මක ක්‍රම අත්හදා බැලුවා. DNA සම්බන්ධ ජීව විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියත් සමගම විද්‍යාඥයින් ශාකවල DNA සැකසුම වෙනස් කර, පාරිසරික සංකූලතාවලට ඔරොත්තු දෙන, විවිධාකාර ප්‍රතිඵල ලබාගතහැකි ශාක සහ බීජ නිෂ්පාදනයට නැඹුරු වුනා. මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාන වෙනස් කළ ජීවීන් (Genetically Modified Organisms) නම් නව ආහාර ප්‍රභේදයක් ලොවට එකතු වුනා. මේ ප්‍රභේදය වෙනුවෙන් සහ එයට එරෙහිව සටන් වදින කණ්ඩායම් දෙකක් බිහි වුනේ, මේ ලොව හැමදේටම පොදු සාධකයක් වන ද්විත්ව සමතුලිතභාවය (Duality equilibrium) නිසා. මෙම ලිපියේ අරමුණ ඔබ ජාන වෙනස්කළ ආහාරවලට නැඹුරු කරගැනීම හෝ එයින් ඈත් කිරීම නොවන අතර සමබර දැක්මක් ලබාදීම පමණයි. ඒ නිසා විවෘත මනසකින් කියවන්න.
ජාන වෙනස්කළ ආහාර යනුවෙන් සරළව හඳුන්වන්නේ DNA වෙනස් කළ ශාක, සත්ත්‍ව හෝ ක්‍ෂුද්‍රජීවීන්ගේ ආධාරයෙන් සැකසූ ආහාර වර්ගයි. අප බොහෝ දෙනා දන්නා පරිදි අප ජීවය සැකසී ඇත්තේ ලොව මූලිකම ජීව පදාර්ථ වන ඩී එන් ඒ – DNA (Deoxyribose Nucleic Acid) මගින් සැකසුන පද්ධතියක් මගින්. අපේ ශරීර අවයව, ලෙඩරෝග, ආදිය සියල්ල පාලනය වන සහ පරම්පරාවෙන් පරම්පරාවට අපේ ගති ලක්‍ෂණ සියල්ල රැගෙන යන ජාන සැකසී ඇත්තේ මේ DNA කිහිපයක එකතුවකින්. මේ ජාන වෙනස් කිරීම මගින් අපට බොහෝ දෑ සිදු කල හැකියි. විද්‍යාඥයින් විසින් මිනිසාගේ මූලික ජාන සැකැස්ම හඳුනාගෙන දැන් දැන් බොහෝ රෝග නිධාන සහ ඒ්වාට නිසි පිළියම් ලබාදීම ද සිදුකරගෙන යනවා. ඒ අතරම ශාක විද්‍යාඥයින් විසින් ශාකවල ජාන පද්ධති හඳුනාගෙන ඒ ඒ ජානපද්ධතිවලින් සිදු වන කාර්යයන් හඳුනාගෙන තිබෙනවා. සමහර පද්ධති ලෙඩරෝගවලට ඔරොත්තු දෙන අතර සමහර පද්ධති රෝග ඇතිකිරීමටත් දායක වනවා. මේ නිසා අවාසිදායක පද්ධති ඉවත් කර ඒවා වාසිදායක තත්ත්‍වයට පත් කිරීම සරළව ජාන වෙනස් කිරීම යනුවෙන් හඳුන්වන්නට පුළුවනි. නමුත් මෙය ඉතා වියදම් අධික, සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහිදී සිදු වන්නේ කිසියම් ප්‍රභේද දෙකක වූ ජාන ඩී එන් ඒ ප්‍රතිසංයෝජක තාක්‍ෂණය (Recombinant DNA Technology) මගින් මිශ්‍ර කිරීමයි. උදාහරණයක් ලෙස වී වර්ග දෙකක් ගනිමු. එක් වී වර්ගයක් දැඩි වියලි කාළගුණයට ඔරෙත්තු දෙන නමුත්, ගොයම් මැස්සා කෙරෙහි ප්‍රතිරෝධයක් නොදක්වනවා. තවත් වී වර්ගයක් කිසිදු සුවිශේෂීතාවයක් නැතත් ගොයම් මැස්සාට උපරිම ප්‍රතිරෝධයක් දක්වනවා. මේ වී වර්ග දෙකෙහි සෛලවල ඇති ජාන වෙන් කරගෙන ගොයම් මැස්සාට ප්‍රතිරෝධයක් දැක්වීම ඇති කරන ජාන වෙන්කරගෙන අනෙක් වී වර්ගයේ එම ජාන වෙනුවට ආදේශ කර බීජ ලබා ගත හැකියි. මෙය සරළව ජාන වෙනස්කිරීම ලෙස හඳුන්වනවා. මේවා ශාක පමණක් නොවෙයි සතුන්ටත් සිදු කළ හැකියි. උසස් ගණයේ කිරි එළදෙනුන්, වැඩිපුර මස් ලැබෙන ඌරන් වැනි සතුන් පවා මේ ආකාරයෙන් “නිෂ්පාදනය” කළ හැකියි.
මෙසේ ජාන වෙනස් කළ ආහාර නිපදවන්නේ ඒවායෙන් ලබාගත හැකි ආර්ථික වාසි සඳහා පමණයි. මෙහිදී නිෂ්පාදනයක මිල අඩුවෙන් නිපදවීම හෝ පාරිභෝගකයාට වාසියක්, එනම් දිගු කල් පැවැත්මක්, හෝ ඉහළ පෝෂ්‍යදායක ගුණයක් ලබාදීම අදහස් වෙනවා. මුලින් ජාන තාක්‍ෂණය භාවිතා වූයේ ගොවියාට සෘජු වාසි දෙන ආකාරයේ කටයුතු සඳහා පමණයි. ශාක සඳහා ජාන තාක්‍ෂණය භාවිතා කිරීමේ අපේක්‍ෂාව වූයේ භෝග අස්වනු ආරක්‍ෂණය ඉහළ නැංවීමයි. මෙහිදී භෝගවලට විවිධ රෝගවලට ඔරෙත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට ජාන තාක්‍ෂණය භාවිතා කළා. තවත් ආකාරයක ජාන තාක්‍ෂණික පර්යේෂණයක් වන්නේ විවිධ කෘමීන්ට ඔරොත්තු දෙන භෝග සෑදීමේ අභියෝගයයි. එහිදී අදාල ජාන කොටස් ලබා ගන්නේ විෂවර්ගයක් නිකුත් කරන බැක්ටීරියාවක් වන Bacillus thuringiensis (Bt) මගින්. මෙම විෂ වර්ගය දැන් ඇමරිකාව වැනි රටවල භෝග ආරක්‍ෂණය සඳහා භාවිතා වන විෂ වර්ගයක්. නමුත් මෙය මිනිසුන්ට විෂ නැහැ. මේ නිසා ජාන තාක්‍ෂණයෙන් සැකසූ මේ ආහාර වර්ගයක කෘමින් පළවා හැරීමට මේ තාක්‍ෂණය භාවිතා කර තිබෙනවා. මේ නිසා භෝගයන්ට භාවිතා කළ යුතු කෘමිනාශක ප්‍රමාණය අවමව තිබෙනවා. එනිසා ගොවීන්ට ලැබෙන වාසි ප්‍රමාණය ඉහළයි. මේ ආකාරයෙන්ම වෛරස් රෝගවලට ඔරොත්තු දෙන භෝග සකසා ගන්නේ අදාල වෛරසයේ ජාන භාවිතයෙන්. සමහරවිට කෘමිනාශක ඉසීමේදී භෝගයන්ටද හානි පැමිණීමට පුළුවනි. මේ නිසා භෝගවල වැඩීම දුර්වල වනවා. එසේත් නැතිනම් විනාශ වනවා. මේ සඳහා පිළියම වන්නේ කෘමිනාශකවලට ඔරොත්තු දෙන කෘමීන්ගේ ජාන ලබාගෙන ඒවා ශාක ජාන සමග බද්ධ කිරීමයි. මේ නිසා අදාල භෝගය කෘමිනාශකවලට ඔරොත්තු දීමක් සිදු කරනවා.
අප ආහාරයට ගන්නා දෑ පිළිබඳ සාමාන්‍ය මතය නම් ස්වභාවිකව සැකසුන ආහාර ආරක්‍ෂාකාරී බවයි. එසේම නව දෙමුහුම් භෝග හඳුන්වාදීමේදී සිදු වන වෙනස වන්නේ ඒවා පරාගණයෙන් නව බීජ ලබා ගැනීමයි. නමුත් මෙහිදී අවශ්‍ය සහ අනවශ්‍ය සියළුම ජාන මිශ්‍ර වන නිසා අදාල භෝගය සමහරවිට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා නොදෙන්න පුළුවනි. සමහරවිට එයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලැබේවි.. ඒවා ශරීරවලට කෙසේ බලපානවාදැයි කියන්නට පර්යේෂණ බොහොමයක් කරන්නට සිදු වනවා. මේ පර්යේෂණ සැලසුම් සහගතව කළ හැකි ඒවා නොවේ. නමුත් ජාන වෙනස්කළ ආහාරවල පර්යේෂණ සහ ඒවායේ ආරක්‍ෂාව පිළිබඳ පරීක්‍ෂණ සියල්ල ඉතාම සැලසුම් සහගතව සිදු කර තිබෙනවා. එසේම මෙම ජාන වෙනස් කිරීම හැම දෙනාටම කළ නොහැකියි. සුවිශේෂී තත්ත්‍ව යටතේ සිදු කරන නිසා සහ බෙහෝ පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ගොවීන්ට නිකුත් කිරීම නිසා ආරක්‍ෂාකාරී බවයි පැවසෙන්නේ.
ජාන වෙනස්කළ ආහාර පිළිබඳ මෙම ආරක්‍ෂණ පරීක්‍ෂණ සිදු කරන්නේ විවිධාකාර අංශ කේන්‍ද්‍ර කරගෙනයි.
1. එම ආහාර මගින් සිදු වන සෘජු විෂවීම් සඳහා
2. එම ආහාර මගින් ආසාත්මිකතාවයන් මතුවීමට ඇති සම්භාවිතාවය
3. සෘජු විෂවීම් ඇති වේයැයි උපකල්පනය කරන සුවිශේෂී ආහාර කොටස් සඳහා කරන පර්යේෂණ
4. ඇතුළත් කළ ජානයේ ස්ථායීතාවය
5. ඇතුලත් කළ ජානය මගින් බලාපොරොත්තු වන පෝෂණමය වටිනාකම කෙසේ සහ කොපමණ වැඩිවීමකින් ලැබේද යන්න
6. වෙනත් නොසිතූ ප්‍රතික්‍රියා මේ අළුතින් ඇතුලත් කළ ජානය මගින් සිදු කරයිද යන්න
සළකා බැලෙනවා.
ජාන වෙනස්කළ ආහාර පිළිබඳ සිද්ධාන්තමය කරුණු බැලූ බැල්මට නිවැරදි ලෙස දැනුනත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී නොයෙකුත් කරුණු කාරණා මතු වන්නට පුළුවනි. මෙයින් ප්‍රධාන වනුයේ මානව සෞඛ්‍යට මේ ආහාර කෙසේ බලපායිද යන්න මූලිකවම සාකච්ඡා විය යුත්තක්. මෙය කරුණු තුනක් යටතේ සාකච්ඡා වෙනවා.
ආසාත්මිකතාවයන් ඇතිවීම (Allergenicity)
ප්‍රතිපත්තියක් ලෙස, ආසාත්මිකතාවයක් ඇති නොවන බවට සහතිකයක් නොමැති නම්, ආසාත්මිකතාවයන් ඇතිකළ හැකි ආහාර හෝ ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් ලබා ගන්නා ජාන සාමාන්‍ය ආහාර සමඟ මිශ්‍රකිරීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසාම ඒවා ඉතාමත් ප්‍රශස්ත තත්ත්‍ව යටතේ ජාන හුවමාරුව කරන නිසා මේ වනතෙක් කිසිදු ආකාරයක ආසාත්මිකතාවයක් ජාන වෙනස්කළ ආහාරවලින් වාර්තා වී නැහැ..
ජාන හුවමාරුව (Gene Mixing)
බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය වූ එක් කරුණක් වන්නේ ජාන වෙනස් කළ ආහාරවල ඇති ජාන, මිනිසාගේ ආහාර මාර්ගයේදී මිනිස් ජාන හෝ ආහාර මාර්ගයේ සිටින බැක්ටීරියාවල ජාන සමග හුවමාරුවීමේ හැකියාවයි. බොහෝවිට ජාන තාක්‍ෂණයේදී බැක්ටීරියා ජාන යොදා ගන්නා නිසා, මෙම හුවමාරුවට වැඩි ඉඩකඩක් පවතිනවා. මෙය වඩාත් සංකීර්ණ වන්නේ ප්‍රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදාගෙන ජාන වෙනස්කිරීම කළහොත් පමණයි. මේ නිසා, ප්‍රතිපත්තියක් ලෙස ජාන තාක්‍ෂණයේදී ප්‍රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදාගැනීම අවම කර තිබෙනවා.
ජාන බහිශ්මාරුව (Gene Outcrossing)
ජාන වෙනස්කළ ආහාර බීජවලින් හටගන්නා ශාක සහ එසේ නොකළ එම වර්ගයේම ශාක පරාගනයේදී ජාන මාරුවීම මෙසේ හඳුන්වනවා. මෙය සාමාන්‍ය භාවිතයේදී දෙමුහුන්වීමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙසේ වීමේදී තුන්වන පරම්පරාවේ ශාකවල ජාන සංයුතිය මේ දෙකෙහි මිශ්‍රණයක් ලෙස එලිදැක්වෙනවා. එය විශේෂයෙන් මිනිස් පරිභෝජනය සඳහා සකසන ආහාර ආරක්‍ෂණය වෙත නරක බලපෑම් ඇතිකළ හැකියි. සත්ත්‍ව පරිභෝජනයට හෝ කාර්මික කටයුතු වෙනුවෙන් සැකසූ ආහාරවල පවතින ජාන මිනිස් පරිභෝජනය වෙනුවෙන් සැකසූ ආහාරවල ඉතා කුඩා ප්‍රමාණවලින් හමුවීම නිසා මේ කරුණු එළිදරව් වූවා. මේ හේතුවෙන් ජාන වෙනස්කළ ආහාර වගා කෙරෙන පෙදෙස්වල, එවැනි වර්ගයේ සාමාන්‍ය ආහාරයන් වගා නොකිරීමට ප්‍රතිපත්තියක් ගෙන තිබෙනවා. නමුත් මෙය අනාගතයේදී සාමාන්‍ය ගොවියන් අතින් නොදැනුවත්වම සිදු නොවේදැයි කිසිවකුට සහතිකයක් දීමට නොහැකි ප්‍රශ්නයක්.
මේ කරුණු නිසාම ජාන වෙනස්කළ ආහාර මගින් සිදුවිය හැකි හානි පිළිබඳ තක්සේරුවක් (Risk Assessment) සිදු කරනවා. මෙය ජාන වෙනස් කිරීමේදී පරිසරයට, සත්ත්‍වයන්ට සහ පරිසර පද්ධතීන්ට සිදුවන බලපෑම සහ එම වෙනස් කිරීමේදී සිදුවිය හැකි අභව්‍ය තත්ත්‍වයන් පිළිබඳවද පරීක්‍ෂා කෙරෙනවා. යම් හෙයකින් මේ වෙනස් කිරීමකදී පරිසරයට හෝ සත්ත්‍වයනට හානිකර ජීවී විශේෂයක් බිහි වුවහොත් එයම අපේ පැවැත්මට තිත තැබිය හැකියි. මෙය වලක්වා ගැනීමට එවැනි තක්සේරුවකින් (Risk Assessment) තොරව කිසිදු පර්යේෂණයක් සිදු කරන්නේ නැහැ. පාරිසරිකව මෙය දැඩි බලපෑම් ඇතිකළහැකි නිසාම මේ පර්යේෂණ උපකල්පන කිහිපයක් මත පදනම් කරගෙන සිදු කරනවා. එනම් ජාන වෙනස්කළ ආහාරවල ඇති ජාන සාමාන්‍ය භෝග සමග මිශ්‍රවුවහොත් ඇතිවිය හැකි තත්ත්‍වයන්, තෙවන පරම්පරාවේ භෝගවල විකෘතීන්, වෙනත් භෝගයන්ට ඇතිවිය හැකි ආචරණ, ජෛව විවිධත්‍වයට ඇතිවිය හැකි ප්‍රශ්න සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන වෙනස්වීම් ආදී බොහෝ අංශ හරහා මේ පර්යේෂණ සිදු කරනවා.
ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිතද ?
මෙය බොහෝ දෙනාට ඇති ලොකුම ගැටළුවයි. ජාන වෙනස් කිරීමේදී විවිධ ජාන විවිධ ජීවීන්ට විවිධාකාරව ඇතුලත් කරනු ලබනවා. මෙය එකම ආකාරයට සිදු වන්නේ නැහැ. මේ නිසා ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිතද නැද්ද යන්න එක වාක්‍යයකින් සර්ව සාධාරණීකරණය කළ නොහැකියි. එය වෙන් වෙන්ව විවිධ අංශවලින් සළකා බලා කළ යුත්තක්.
සාමාන්‍යයෙන් දැනට වෙළඳපොලේ පවතින සියළුම ජාන වෙනස්කළ ආහාර දැඩි තත්ත්‍ව පරීක්‍ෂණයන්ට ලක් කොට, මිනිස් සහ සත්ත්‍ව පරිභෝජනයට සුදුසු බවට සහතික කරන සියළුම ආරක්‍ෂණ තක්සේරු සිදුකර වෙළඳපොලට නිකුත් කළ ආහාර වෙනවා. මේ නිසා ඒ ගැන ගැටළුවක් ඇති වන්නේ නැහැ.
නමුත් සෑම රජයක්ම එකම ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ. සමහර රටවල ජාන වෙනස්කළ ආහාර නියාමනයක් තිබුණත්, සමහර රටවල එසේ කරන්නේ නැහැ. බොහෝවිට කෙරෙන්නේ පහසුව තකා ජාන වෙනස්කළ ආහාර තහනම් කිරීමයි.
එසේ වුවත් ලෝකයේ බොහෝ තැන්වල ජාන වෙනස්කළ ආහාර භාවිතා වෙනවා. එය කෘමී හානිවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, වෛරසවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, සහ සමහර කෘමිනාශකවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, ලෙසින්. එසේම දැන් දැන් ඉහළ පෝෂණ අගයක් ලබාදෙන ආහාර වර්ගයන් ජාන තාක්‍ෂණය මගින් නිපදවීම ආරම්භ කර තිබෙනවා. කෙසේ වුවත්, ජාන තාක්‍ෂණය මගින් නිපදවූ ආහාර අන්තර්ජාතිකව භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනීම සිදු වන්නේ ලෝක ආහාර සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගයෙන් සැකසුන The Codex Alimentarius Commission (Codex) නම් වූ ඒකකය මගින්. මෙහිදී තත්ත්‍ව පරීක්‍ෂා නිර්ණය කිරීම, භාවිතා කිරීමේ පිළිවෙත් සැකසීම ආදී බොහෝ නිර්ණායක සැකසී තිබෙනවා. එසේම සෑම රටකම රජයයන් ඒ පිළිබඳ දැනුවත් කර නිසි තත්ත්‍ව පවත්වාගෙන යාම වැනි දෑ මෙමගින් සිදුකෙරෙනවා. දැනට ලෝකයේ අන්තර්ජාතිකව භාවිතා වන ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිත බවට මෙමගින් සහතික කර තිබෙනවා.
මේ ආරක්‍ෂණ කරුණු කෙසේ වුවත්, බොහෝ පරිසර සංවිධාන, දේශපාලනඥයින් සහ විවිධ ක්‍රියාකාරීන් ජාන වෙනස්කළ ආහාර පිළිබඳ දක්වන්නේ විරෝධයක්. මෙය බොහෝ දුරට දේශපාලනික හෝ තම පුද්ගලික/ආයතනමය න්‍යායපත්‍ර මත පදනම් වූ විරෝධයක්. 1990 දශකයේ දී ජාන වෙනස්කළ ආහාර මුලින්ම වෙළඳපොලට ඉදිරිපත්කළදා සිට මේ විරෝධය පැවතුනේ මිනිසුන්ට මේ ජීව රසායනික පර්යේෂණවල සංකීර්ණත්‍වය අවබෝධ නොවීම නිසා වන්නට ඇති. ජාන වෙනස්කළ ආහාරවලට දැඩි බලපෑමක් ආගමික සංවිධානවලින් සිදු වනවා. එසේ වන්නේ ජාන වෙනස්කිරීම සාමාන්‍ය ජීව රසායනික ක්‍රියාවලියට පටහැනිව කෘත්‍රිමව සිදුකරන එකක් නිසා වීමයි. 1990 සිට මේ දක්වා ජීව රසායනික පර්යේෂණ ඉතා ඉහළ ප්‍රගතියක් ලබා තිබෙන අතර එය නොසිතූ විරූ අන්දමේ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. කණගාටුවට කරුණ වන්නේ ලෙඩ රෝග වලට බෙහෙත් සොයාගැනීමේ කටයුත්තට සහ ජාන වෙනස් කිරීමේ පර්යේෂණවල සිදුවන පර්යේෂණ යන දෙකම සිදු වන්නේ එකම ජීවරසායනික පර්යේෂණ අනුව වුනත්, මේ දෙකට ඔවුන් දෙවිදියකට සැලකීමයි.
ජාන වෙනස්කළ ආහාර නිසා ලැබෙන වාසි බොහොමයක්. රස, ගුණ වැඩි ආහාර නිෂ්පාදනය, කෘමීන් සහ දැඩි පාරිසරික තත්ත්‍ව වලට ඔරොත්තුදෙන ආහාර නිෂ්පාදනය නිසා වගා හානි අවම කරගැනීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගැනීම. මේ නිසා ආහාර මිල පහළ යාමක් කළ හැකියි. තවත් ආකාරයක වාසියක් වන්නේ පසු අස්වනු හානිය අවම වන ආකාරයේ භෝග නිෂ්පාදනය කළ හැකි වීම. මේ නිසා ද වැඩි ආහාර ප්‍රමාණයක් ලෝකයට නිකුත් වනවා. ඒ නිසා ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ. එසේ වාසි ලැබෙන අතරතුර බොහෝ දෙනාගේ සැකයට භාජනය වන්නේ ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් දැක්වීම සහ ආසාත්මිකතාවයන් ඇතිවීමේ හැකියාව වැඩි ජාන වෙනස්කළ ආහාර වෙළඳපොලේ ඇතිබව සහ එයින් මිනිසාට හානි සිදුවිය හැකි බව යන කරුණුයි. මේ නිසා බොහෝ දෙනා ජාන වෙනස්කළ ආහාර පිළිබඳ අනිතය බියක් දක්වනවා. මේ කරුණු නිසාම, ලෝක ආහාර සංවිධානය දැන් සියළුම ජාන වෙනස්කළ ආහාරවලට ලේබල් ගැසීම මගින් පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබෙනවා.
දැනටමත් බිලියන 7.5 ක් වන ඉදිරියේදී ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවා යන්නට තවත් දශක කිහිපයකට වඩා ගතවන්නේ නැහැ. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවාගැනීමට ඇත්තේ සීමිත ඉඩකඩ ප්‍රමාණයක් පමණයි. දියුණු රටවල මහාපරිමාණ කෘෂිකර්මාන්තය සිදුවුවත්, දියුණු වෙමින් පවතින රටවල එය තවමත් සිදුවන්නේ පාරම්පරිකවයි. බොහෝ ශාක සහ සතුන් නිරන්තරයෙන් පරිණාමයට පත් වනවා. මේ නිසාම ඒවා කෘෂි රසායනික ද්‍රව්‍ය වැනි රසායනයන්ට ප්‍රතිරෝධයන් දක්වන්නට පරිණාමය වනවා. ජාන තාක්‍ෂණය මගින් සිදු කරන්නේ එවැනි කෘෂිරසායන භාවිතය අවම කිරීම, උපරිම අස්වැන්නක් ලබාගැනීම, උපරිම පෝෂණයක් ලබාදීම, හානිය අවමකිරීම වැනි කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීමයි. මේ නිසා අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වනු ප්‍රමාණයක් සකසාගත හැකියි. මෙයට සමගාමීව පෙර කාළයේ සිදු කළ දෙමුහුම් කිරීම් මගින් හොඳ අස්වනු ලබාදෙන භෝග ප්‍රභේද තැනීමත් ජාන තාක්‍ෂණයේ මූලික අවධිය බව බොහෝ දෙනාට අවබෝධ නොවන කරුණක්.
ලෝකය සමග අප ඉදිරියට යා යුතුමයි. එහිදී වැඩි වැඩියෙන් තාක්‍ෂණය භාවිතා විය යුතුයි. නිසි නියාමනයකින් යුතුව කෙරේ නම්, ඕනෑම භයානක දෙයක් හරිහැටි පාවිච්චියට ගතහැකිවාක් මෙන්ම එය වැරදුනහොත් සිදුවන ප්‍රතිඵලද නොගිනිය හැකි තරම් භයංකාරයි. තවමත් ජාන වෙනස්කළ ආහාරවලින් සිදුවන හිතකර හෝ අහිතකර ආචරණයන් පිළිබඳ ඉහළපෙලේ වාර්තා නැතිව ඇති. කෙසේ වුවත්, අපි කිසිම කෙනෙක් අපේ ආහාර වේලේ ඇති එළවලු මස් මාළු කෙසේ කොහෙන් සැකසුනාද කියා හරිහැටි නොදන්නා බව නම් සත්‍යයක්. අපි ඒ තරම් නොසැලකිළිමත්, ඇත්තෙන්ම අපි මෝඩයි.